logo banner

Saturday, December 14, 2013

සල්ලි දී කක්කා කෑම | Pay to eat Shit


ලිපිය සහ ඡායාරූපය සුදේෂ් කරුණාතිලකගෙන්.

මේ රටේ මිනිස්සු කඩවලින් කන්නේ, බොන්නේ වහ! ඒක බොරුවක් නොවේ. කඩකාරයෝ හදන කෑම බීම ජාතිවලට දමන ද්‍රව්‍ය බොහෝ විට නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනාගාරවල නොවේ. ඒ වගේම මොවුන් යොදා ගන්නේ නිෂ්පාදනවලට අවශ්‍ය සැබෑ අමුද්‍රව්‍ය නොවේ. වස සහ විසයි.

මේ බව වඩාත් තහවුරු වන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් දෙසැම්බර් 11 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීමකදී. මෙම ස්ථානයේ තිබී නිලධාරින් විසින් තක්කාලි සෝස්, මිරිස් කුඩු සහ කහ කුඩු සොයා ගත්හ. තක්කාලි සෝස් සෑදීමට මෙම ජාවාරමුන් විසින් යොදා ගෙන ඇත්තේ චුයින්ගම් නිෂ්පාදනය කිරීමට ගන්නා ඇලෙන සුළු ගම් වර්ගයක් හා වර්ණ ගැන්වීම සඳහා ‍යොදා ගන්නා ෆැබ්රික් ඩයි වර්ගයකි.මොවුන් සිරයට නොව, පණපිටින් අපාගත කළත් ඒ දඬුවමත් මදි තරම් ය.

ගම් හා ඩයි මිශ්‍රණයට තක්කාලි සෝස් ස්වල්පයක් දමා ඉතිරියට වතුරද දමා කවලම් කොට ඇලන සුළු තත්ත්වයෙන් තක්කාලි සෝස් නිපදවා තිබේ. අනතුරුව විවිධ ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලවලට තක්කාලි සෝස් අසුරා කඩවලට අලෙවි කරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එවැනි තක්කාලි සෝස් ලීටර් දෙදහසක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්හ.

මෙම අපරාධකරුවන් මිරිස් කුඩු සහ කහ කුඩු නිපදවීම සඳහා යොදාගෙන ඇත්තේ කල් ඉකුත් වූ බටානා පිටි, රතු පැහැති ෆැබ්රික් ඩයි, සිවුරු වර්ණ ගන්වන ෆැබ්රික් ඩයි යනාදියයි. එම ඩයි වර්ග හා බටානා පිටි යොදා සකස් කළ ‘මිරිස් සහ කහ කුඩු’ කි‍ලෝ ග්‍රෑම් පන්සියයක් අධිකාරියේ අත්අඩංගුවට පත් විය.

ඒ වගේම මෙම ස්ථානයේ වැසිකිළි සෝදන දියර සහ පිඟන් සේදීමට ගන්නා සේදුම් දියරද නිෂ්පාදනය කර තිබෙන අතර ඒවා සකස් කිරීමට භාවිතා කළ භාජන, තක්කාලි සෝස් නිපදවන්නට පාවිච්චි කර තිබෙන බවත් අනාවරණය වී තිබේ.මෙම පවුකාරයින්ට දිය යුතු දඬුවම කුමක්දැයි මෙය කියවන ඔබම යෝජනා කරනු මැනවි. මොවුන්ට දඬුවම් ලබා දීමේ බලයක් අපට නැත. නමුත් එයින්වත් සෑහිමකට පත් වීමට පිළිවන.මේ ආකාරයට නිපදවන සෝස් වර්ග සහ මිරිස්,කහ කුඩු ඇතුළු තුනපහ වර්ග යවන්නේ කොහාටද?

මහපාරවල දිගටම දකින්නට ඇත්තේ කොත්තු රොටි කඩ, චයිනීස් රෙස්ටුරන්ට්, පේස්ට්‍රි ෂොප්, පළතුරු බීම කඩ, ආප්ප කඩ යනාදියයි. සවස 5 -6 වන විට මේවාට ඇඟිල්ලක් ඔබන්න බැරි තරමට පාරිභෝගිකයින් පිරී සිටිති. බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ සතියකට දෙතුන් වතාවක් කඩෙන් කන්නටය. ඊට රැයක් දවාලක් කියා වෙනසක් ද නැත. සමහර පේස්ට්‍රි ෂොප්වල වාඩි වී කට්ලට්ස්, පැටිස් තක්කාකාලි සෝස්වල පොඟවා ගෙන යස අපූරුවට බුදින අයුරු අමුතු දසුනක් නොවේ. නමුත් මෙම ආහාර නිපදවීමට යොදා ගන්නා පිටි, සීනි, මිරිස්, කුළු බඩු වර්ග සැබෑ පිරිසිදු ද්‍රව්‍ය නොවන බව ඉතා පැහැදිලිය.

කොත්තු රොටීකාරයට,චයිනීස් ෆුඩ් ෂොප්කාරයාට අවශ්‍ය ලාභයට කුළු බඩුය.සෝස් වර්ගය. රටට නොවේ,මිනිසුන්ගේ බඩ පපුවට මොන වසංගයක් සෑදුනත් මොවුන්ට වගක් නැත. අවශ්‍ය වන්නේ රීරිමාංශ විකුණා හෝ මුදල් උපයන්නටය. ඒවා සැපයීම සිදුකරන්නේ ඉහත කී තක්කඩි ජාවාරමුන්ය.

කොත්තුකාරයාට අවශ්‍ය කොත්තුව විකුණා ගන්නටය. ඊට යොදන සෝස් වර්ග, ලුණු, මිරිස්වල ප්‍රමිතියක් ඔහුටද අවශ්‍ය නැත. රත් වූ තැටියට ගෝදම්බ රොටි අහුරක් දමා, කුණු බිත්තරයක් ද ඊට කඩා දමා, ඩයි මිරිස් කුඩු, ඩයි සෝස් කළළුම් කොට, රටටම ඇහෙන්න තැටියට තාලයට තඩි බා, උණු උණුවේ 

ෂොපින් කොළයට දමා, පාර්සල් ගසා දෙන කුණු කොත්තුව රැගෙන යන්න පාරිභෝගිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලේය.එය බුදින තුරු ඉවසිල්ලක් නැති තරම්ය. දහදරාව දමා සකස් කළ කොත්තු හා චයිනීස් රස කරමින් ආහාරයට ගනිද්දී හෙට දවසේ තමන්ට වැළ‍‍ඳෙන්නේ දොස්තරවරුන්ටවත් සොයා ගන්නට බැරි අසනීපයක් බව අප කාටත් සිතෙන්නේ නැති තරම් ය. ඒ තරම් ප්‍රණීත ‍රසයකින් දිව පිනා යයි.

මේ අන්දමට මගෝඩියන්ට රටේ රජ කරන්නට හැකි වී ඇත්තේ රටේ නීතියට අංශබාගේ රෝගය වැළඳීම නිසාය. කුණු කරවල, කුණු පළතුරු ඕනෑ තරම් පිටකොටුව ප්‍රදේශයේ විකුණති. සමහර වෙළෙන්ඳන් බොහෝ විට රැගෙන එන එළවළු සහ මාලු වර්ග මඳක් එහා මෙහා පෙරළන විට හොඳ මාලු එළවළු අස්සේ සඟවා ගෙන ආ කුණු මාලු සහ එළවළු සොයා ගන්නට පිළිවන. මොවුන් නොබියව මෙවැනි අපරාධ සිදු කරන්නේ නීතියට අංශබාගේ වැළඳීම නිසා නොවේ නම් වෙන කුමක් නිසාද?


මෙම භාණ්ඩ කිරන්නේද හොර තරාදිවලින්ය. පාරිභෝගික ජනතාව වෙළෙන්දන්ගේ අතට අසුවුණ මොහො‍තේ පටන් ගසා කෑමකට ලක් වන්නේ නීතියේ පවතින දැවැන්ත සිදුරු නිසාය.

කෙසේ වෙතත් මෙම ජාවාරමුන් අත්අඩංගුවට ගන්න, පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දරන වෙහෙස අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. ඔවුන් මෙම මගෝඩි වෙළෙන්දන් කුදලා ගෙන ගොස් උසාවි දමා දඩ ගසන්නට කටයුතු කරති. නමුත් තක්කඩි වෙළෙඳාම රටින් තුරන් කර දැමිය නොහැක්කේ තල්මසුන් වැනි ලොකු ප්‍රමාණයේ තක්කඩි ජාවාරමුන්, පිටකොටුවේ ඇටවල්ලන් වැනි තක්කඩි වෙළෙන්ඳන්ට ඉහළින් රජ කරන නිසාය. ‘තල්මසුන්’ අත්අඩංගුවට ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ දෑත් දිගු මදිය.

ko3සමාජයේ ඉහළින් හිඳ අපරාධ කරන පුද්ගලයන් සඳහා රටේ නීතිය එකක්ය. පහළ පංතියට නීතිය තව එකක්ය. ජනතාවට පෙනෙන්නේ ඒ වගේය. මේ දෙබිඩි ප්‍රතිපත්ති නිසා නීති බල ගන්වන්ට සිටින බොහෝ නිලධාරින් පසුවන්නේ දැඩි සිත් වේදනාවෙන් බව අප දනිමු.

ආසියාවේ ලොකුම හෙරොයින් තොගයට බදු පනවන්නට එපා යැයි කී අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පවසන්නේ තමන් එවැනි ලිපියක් රේගුවට නිකුත් නොකළ බවයි. රේගුව කියන්නේ එවැනි ලිපියක් ලැබුණ බවයි. මේ සිද්ධිය ගැන සම්බන්ධිකරණ ලේකම්වරයා‍ගෙන් මේ දක්වා කිසිම කට උත්තරයක් පොලිසිය ලබාගෙන නැත. එවැනි පුද්ගලයෙක් අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වශයෙන් සේවය කළා දැයි පොලිසිය අගමැතිවරයාගෙන් විමසීමක් කර නැත.

කුඩු සිද්ධියකදී පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙලට හාත්පසින්ම වෙනස් ‘හුළං බැහැපු’ තත්ත්වයකින් මෙහිදී ක්‍රියා කරන බවක් ජනතාවට පෙනෙන්නට තිබීම කොහෙත්ම හොඳ නැත. කුඩු ග්‍රෑම් හතරට මරණ දඬුවම නියම කරන රටේ කුඩු කිලෝ ග්‍රෑම් 131ක අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙල පොලිස් නීති පොතේ කොතැන තිබේදැයි කියන්නට අප දන්නේ නැත. එහෙව් රටේ කොත්තු රොටිය, පේස්ට්‍රිය, චයිනීස් ඇතුළු ආහාර, පළතුරු බීම වස විසෙන් නිපදවීම එච්චර අරුමයක් නොවේ.

Friday, December 13, 2013

රාජපකිස්තාන් රේස් කෝස් | The Race Course in Rajapakisthan


වතාවක් යුද්ධය, සොල්දාදුවා සහ නයිට් රේස් ගැන අප ලියු ලිපි පෙළක පළමුවැන්න වූ "දුටුගැමුණු නම් වූ මිනීමරුවා" නම් ලිපියේ අපි මෙසේ කීමු. 

ගෝල්ෆේස් එකේ
නයිට් රේස් එකට
වැලි කොට්ට අදින
සොල්දාදු මාමේ
මට කියන්
කෝ උඹේ තුවක්කුව?
(කර්තෘ අඥාතයි)



රේස් ජෝක් එකේ ඊළඟ අදියර දැන් මේ දිනවල කොළඹ නගරයේ රංග කරළියට පිවිස තිබේ. එනම් බේබිලාට රේස් පදින්නට පාරවල් වසා දැමීමයි. සාධාරණව ගත්තොත් අපි බේබිලාට දොස් කිව්වට මෙව්වා උන්ගේ වැරදි නොවේ. මෙතරම් රටේ ප්‍රශ්න තිබියදී ඒ ගැන වගේ වගක් නැතිව ඕනෑම පිස්සුවක් කෙළින්නට මුන්ට ඉඩ දී ඇති අපේ රටේ කාලකන්ණි නපුංසක ප්‍රජාවට ය, අපේ දෝෂාරෝපණය එල්ල විය යුත්තේ. හැබැයි එක අතකට මේවා ලිවීම පවා අප කරන කාලය නාස්තියකි. අප මෙවැනි කාරණා කාරණා කොතෙක් කීවත් අපේ ජනී ජනයෝ උන්ට නෙමෙයි වගේ ආතල් එකේ සිටිති. ඇත්තටම ජනතාවට මෙව්වා ගැන වදවෙන්නට වෙලාවක් නැත. කාගෙ කාගේත් සිතේ ඇත්තේ පරෙස්සමට ගෙදර ගොස් බාග රොටිය හෝ පුච්චන් කා හෙට දවස ගැටගසා ගැනීමයි. දිනපතා උසුලන්නට වී ඇති (ජීවන නොවේ) ණය බර නිසා ය, බේබිලාට කාර් පදින්නට කොළඹ පාරවල් වසා තැබීම ගැන පමණක් නොව, වෙනත් මොනම මලදානයක් ගැන වත් ජනතාවට වගේ වගක් නැත්තේ.  හැබැයි එහෙමයි කියා ජනතාවට සමාවක් දිය නොහේ. යන්තං හෝ දේශපාලන දැක්මක් ඇති අපේ එව්වෝ ද එකාට එකා සෙට් වූ විට ආඩම්බරකාර බාප්පා හට පලු යන්නට බණිති. එහෙත් සාකච්ඡාව අහවර වෙන්නේ එකම තැනකිනි: එනම් මේවා අපි කොතෙක් කතා කළත් මේ රට හදන්න බැරි බවයි. දේශපාලන අවබෝධයක් නැතිව හුදෙක් මේ රටේ ජනී ජනයාගේ වහල් මානසිකත්වයට පිං සිදුවන්නට ගොන්නු පාර්ලිමේන්තු ආවාම, සහ ඇවිත් "රට" කරවනවා වෙනුවට "රටට" කරවන්නට ගත්තාම වෙන්නේ ඔය ටික පමණකි. 

කතාවට නියම පදමට සෙට් වෙන්නට, අපේ සහෘද ලේඛක දමිත් කේතක කදිම පදමාලාවක් පළකොට තිබිණි. හුදී ජන පහන් සංවේගය පිණිස අපි එය මෙසේ බෙදා හදා ගනිමු. 



Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

මැදපෙරදිග සල්ලි වලින් නටන්නෙ බයිලා...
අධ්‍යාපනයට නිදහස් කෙළින්නෙ බයිලා...
වකුගඩු ලෙඩ ගොවියන්ටත් කියන්නෙ බයිලා......
රතුපස්වල වතුර ටිකට ගහන්නෙ බයිලා...

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

උතුරු කොණේ නඩරාජට ගහන්නෙ බයිලා...
දකුණු කරේ සුමනසිරිට අරින්නෙ බයිලා ...
ජාතික ආලෙන් සමහරු නටන්නෙ බයිලා...
යූ.එන් ආවම උන්ටත් කෙළින්නෙ බයිලා...

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

චීනෙන් ණය පොළියට ගෙන නටන්නෙ බයිලා....
චෝගම් වුන චාටර් එක වහන්නෙ බයිලා...
ජහ මනයා කරබාගෙන අහන්නෙ බයිලා ...
වතුර නටන කල් කකුලුවො රඟන්නෙ බයිලා....

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

( කැරකිල... කහ, කහ , කහකහ , නැවි, නැවි )

Wednesday, December 11, 2013

එපා, එපා ණය ගන්නට චීනක්කාගේ | No Chinese Loans




ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

අහිංසක කිරි අත දරුවාටත් ණයයි වැටෙන්නේ...
එවන් ණයක් අහෝ කොයි කාළෙද නැවත ගෙවන්නේ...
ටිකක් හිතල බලනු චීනුන් ශ්‍රමයෙනි වැඩ ගන්නේ...
එහෙත් පෙරදිග මුතු ඇටයෙහි ඇයි ණයට බුදින්නේ....

කෙනෙක් පහළොස් වසරක් ගත්තොත් ණය ලෙස වැඳලා...
බලනු සීයට විසි අට වැඩි කොට ඇනුයිටි යොදලා....
ගණන දළ වශයෙන් දහ ගුණයක් කම්පවුන්ඩ් වෙලා....
ඔබට තේරුණාද ඔබ ගත් ණය දුර දිග නොබලා....

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

මුදල් තණ්හාවෙන් රටවල් චීනෙන් ණය ගන්නේ...
අහිංසක දරුවගේ ඉරණම ඉන් පසු විසඳෙන්නේ...
යළිත් ඒ චීනෙන් මල් වෙඩි ගෙන පත්තු කරන්නේ...
තමන් ණය ගත් මුදළම යන බව උන් නැහැ දන්නේ...

ගුවන් තොටුපළවල් නැව් එන් නැති වරාය දෙන්නේ...
මෙවන් දේ තැනුමට කම් කරුවන් කොහෙන්ද එන්නේ....
ඉතින් ණය නොම වී තාක්ෂණය ඉල්ලා ගන්නේ...
එවන් මොළ ඇති සිස්ටම් තුල දෙවියන් වැඩ ඉන්නේ....

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

~~නිර්මාණය දමිත් කේතක විසිනි.