logo banner

Monday, February 25, 2013

නාථ සහ ආසනික් (Natha God & Arsenic)

පූර්විකාව

පසුගිය දිනවල හොට්ම හොට් මාතෘකාවක් ව තිබුණේ රජරට වකුගඩු රෝගය ය. ඊටත් වඩා එම රෝගයට හේතුව ලෙස අපේ සමහර මහාචාර්ය වරුන් විසින් ගෙන හැර දැක්වූ සුන්දර සුරංගනා කතා ය. 

මේ ගැන අප කියනවාට වඩා එවැනි එක මහාචාර්ය වරයකු කියන ප්‍රකාශයක් මෙහි ගෙන හැර දැක්වීම වඩා ප්‍රයෝගිකයයි සිතමු.

"රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ය. මම ඔවුන් කවුරුන් දැයි නමින් හැරෙන්නට නො දනිමි. ඔවුන් සමග මගේ ඍජු සම්බන්ධයක් ද නැත. ඔවුන් සමග මගේ සියයට සියයක පෑහීමක් ද නැත. එහෙත් ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත. ඒ මෙන්ම මට නොහැකි වුව ද ආධ්‍යාත්මික ව දියුණු අයට (පාරමී දම් පුරා ඇති අයට) දෙවියන් ගෙන් බඹුන් ගෙන් නාගයන් ගෙන් දැනුම ලබා ගත හැකි බවට ද මට කිසිම සැකයක් නැත. 


රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව ද, ආසනික් එකතු වන්නේ කෘමිනාශක ඔස්සේ බව ද රජරට ප්‍රදේශවල ජලයේ කිවුල් බව හා පසෙහි ස්වභාවය එයාට බලපාන බව ද දෙවියෝ අපට කියා දුන් හ. අපි ඒ අනුව රසායන විද්‍යාවෙහි කළ හැකි පර්යේෂණ කළෙමු. මා අවුරුද්දකට මඳක් වැඩි කාලයක් කැලණියෙහි සේවා දිගුවක් ලබා ගත්තේ ද මේ පර්යේෂණ සඳහා අවශ්‍ය නිල ශක්තිය ලබා දීමට ය. අප ඒ පර්යේෂණ කළේ තමන් බටහිර විද්‍යාඥයන් යයි සිතා සිටින නිවට පුස්සන් ගේ බලවත් විරෝධතාව මධ්‍යයෙහි ය."

උපුටා ගැනීම නලින් ද සිල්වා, 2012 ජනවාරි 29, "බටහිර විද්‍යාව, ආසනික් සහ දෙවියෝ, විසිදුණු ප්‍රකාශන, ISBN 978-955-0955-09-1.

මේ කතාවෙන් ගම්‍ය වන කරුණු කීපයක්ම ඇතත් අප ඉන් වැදගත්ම කරුණු ටික මෙහි සාරාංශ කොට දක්වමු:

1. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් වේ.
2. ආසනික් එකතු වන්නේ කෘමිනාශක ඔස්සේ ය.
3. එසේ කියා ඇත්තේ "නාථ" සහ "විපස්සක" ලෙස හඳුන්වා ගන්නා ලද "දෙවිවරු" පිරිසකි. (සැ.යු. යකුන්, භූතයන්, ප්‍රේතයන් නොවේ. කෙළින්ම දෙවිවරුය. මෙය අපට පසුවට ඉතාම වැදගත් වේ.)
4. නමුත් එසේ කියා ඇත්තේ මහාචාර්ය තුමාට නොවේ. එතුමාට එවැනි ආධ්‍යාත්මික දියුණුවක් නැත.
5. එසේ කියා ඇත්තේ වෙන කාට හරි ය. මහාචාර්ය තුමා ඒ සමග ඍජු සම්බන්ධයක් නැත.
6. එසේ වුවත් එතුමා ඒ මතය ආරක්ෂා කිරීමට පමණක් නොව, ඒ වෙනුවෙන් සිය ධුර කාලය දික් කර ගැනීමට වුවද සූදානම් ය.
7. ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට යයි සහතික දීමට ද එතුමා ප්‍රමාද නොවේ. 


මේ මාතෘකාව එක ලිපියකින් කතා කොට අවසාන කළ හැකි එකක් නොවේ. එබැවින් අපි මේ ගවේෂණය පියවරෙන් පියවර ඉදිරියට කරගෙන යාමට තීරණය කළෙමු. එබැවින් එහි මූලික පියවරක් ලෙස හෙට දින, එනම් පොහොය දින, තහනම් වචන නියෝජිතයෙකු මාලබේ බලා පිටත් වනු ඇත. මාලබේ පිට්ටුගල ආසන්නයේ ඇති, "වේද ගෙදර" නමින් දන්නා තැනක, එක්තරා තැනැත්තියක් අධිමානසික බලයෙන් ලෙඩ හොඳ කරන බවත්, රජරට ජලයේ ආසනික් ඇති බව කියා ඇත්තේ එම තැනැත්තිය බවත් අපට ආරංචි වූ නිසාය. 




එම මූලික ගවේෂණය පල දරන තුරු අපි නලින් මහතා ගැනද යමක් කිව යුතුය.

නලින් ඩි සිල්වා යනු මෙරට බිහි වූ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු බවට විවාදයක් නැත. බටහිර විද්‍යාවට පදනම වූ එහි දර්ශනවාදය හෙවත් ඥානවිභාගය ගැන ඔහු තරම් මේ රටේ කතා කොට ඇති ඇත්තෝ විරල බව ලේඛකයා අවධාරණය කරයි. නලින් පෙනී සිටින්නේ මේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරය වෙනුවෙනි. ඔහු ඊට "චින්තන පදනම" යැයි නමක්ද යොදා ගෙන තිබේ. 

නලින්ට දේශපාලනයක් ද තිබේ. ඒ බොහෝ දුරට පවත්නා රජය සමග සංගාමී වන්නකි. මහින්ද චින්තනය, වාර්ගික ගැටළුව, තිස් අවුරුදු යුද්ධය, ප්‍රභාකරන් ආදී සියලු මෙකී නොකී මාතෘකා ගැන මාගල් තරම් දිග ලිපි එතුමා විසින් ලියන්නට යේදී ඇත. මින් බහුතරයක් සාමාන්‍යයෙන් හරවත්ය. හීනියට කඩේ ගියත් කරුණු වල සාරවත් භාවය ගැන අපි එතුමා අගය කරමු.

නලින් යනු දරුණු විවේචකයෙකුද වේ. බටහිර විද්‍යාව පට්ට පල් බොරු යැයිද, අවැසි නම් ඒ බව ඔප්පු කරන්නට තමා සූදානම් යැයිද ඔහු කීවේය. එමතු නොව, ඒ ගැන අවශ්‍ය නම් පානදුරා වාදය සේ දින ගණනක් පැවැත්වෙන වාදයකට ඔහු ආරාධනා කෙළේය. 


බටහිර විද්‍යාව යනු කතන්දර ගොඩකි. ඒ බව නලින් මෙන්ම අපිද දනිමු. මේ ලියන ලේඛකයාද සරසවිය පසු කෙළේ විද්‍යා විෂය ධාරාවෙන් නිසා (වෛද්‍ය හෝ ඉංජිනේරු නොව, ශුද්ධ විද්‍යා විෂය නිසා) ඒ ගැන අමුතුවෙන් පාරම් බෑම විකාරයක් බව අපේ අදහසයි. බටහිර විද්‍යාව පමණක් නොව, ඕනෑම විද්‍යාවකින් කරන්නේ කතන්දර හැදීමයි. එහෙත් මේ කතන්දර සුරංගනා කතන්දර නොවේ. තාර්කික කතාන්දරය. සුරංගනා කතාව සහ නිව්ටන් නියම වෙනස් වන්නේ එබැවිනි. කලක් නිව්ටන් ගේ නියම වලින් පැහැදිලි කළ භෞතික ලෝකය දැන් පැහැදිලි කරන්නේ වෙනත් සුසමාදර්ශයක් මගිනි. ඒ විද්‍යාවේ හැටි ය. වරදක් නොවේ. 

අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. බටහිර විද්‍යාව නිසා හිස පැළඳි මහාචාර්ය පට්ටම නොසළකා බටහිර විද්‍යාවට ම පලු යන්නට බනින එතුමා (සරලව සිතන්න. නලින් ඩි සිල්වා මහාචාර්ය වරයකු නොවුණා නම් ඔහුට මේ මාකට් එක තිබේවි ද?) දැන් මේ කරන්නේ බටහිර විද්‍යාව තුළ පැන නගින ගැටළුවකට පාර භෞතික පිළිතුරක් දීමටය. මීට කලකට පෙර "බුදු දහම විද්‍යාත්මක කිරීමේ මුළාව" නමින් විදුසරට පිටු ගණන් ලිපි ලී ඔහු, අද කරන්නේ බුදු දහම හා බැඳුණු සංකල්ප ඇසුරින් බටහිර විද්‍යාවට පැලැස්තර ඇලවීමය.

නලින්ගේ ජනප්‍රියම වචනයක් වෙයි. එනම් "ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි සංස්‌කෘතිය" යන්නයි. ඔහුට අනුව විද්‍යාව යනු තනිකරම ජෙහෝවා සොයා යන ගමනකි. ඔහුට අනුව විද්‍යාව මෝසෙස් කෙනෙකි. එදා විද්‍යාවට එහෙම කී ඔහු, අද කරන්නේ ඊටම නොදෙවෙනි ක්‍රියාවකි. එදා ජෙහෝවා අද නාථ ය. එදා මෝසෙස් අද නලින්ය. අහෝ දෛවයේ සරදමක මහත! 

නාථ

නාථ යන්නෙහි අරුත "ගැලවුම්කරුවා" යන්නයි. සනාථ, අනාථ, වැනි සමප්‍රභව වචන වලින් කෙනෙකුට අර්ථය තහවුරු කර ගත හැක. (අප ලියන සියලු අර්ථ දැක්වීම් වලට මූලාශ්‍රය වන්නේ මොනියර් විලියම්ස් සංස්කෘත ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ 2005 වර්ෂයේ නව මුද්‍රණයයි). නාථ යනු අවලෝකිතේශ්වර බොධිසත්ත්වයන්ගේ නමක් ලෙසද සැළකේ. ඒ කතාව සත්‍ය නම්, නාථ යන්නට "නොපැමිණි තැනැත්තා, ස්වරූපයක් රහිත කෙනා" වැනි අරුත් ද තිබේ. මහායාන සාහිත්‍යය අනුව නාථ වාසය කරන්නේ බඹ ලොවේය. හීනෙන් වත් මනුලොවට නොඑන බඹ ලොවේය. (දෙවියෝ නම් ඉඳ හිටලා වත් මිනිස්සු හමුවෙති). එසේ මෙසේ බඹ ලොවකද නොවේ; නිසංඛාර ප්‍රවර්තකයේ හෙවත් සුඛාවතියේ ය. අවලෝකිතේශ්වර යන්නෙහි අරුත "ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා සිටින ඊශ්වර" යන අරුතයි. අවලෝකිතේශ්වර, පද්මසම්භව (මනිපද්ම), වජ්‍ර ගර්භ සහ මෛත්‍රී යන සිවු මහා බෝසතුන් අතරින් නිහඬ ම කෙනා අවලෝකිතේශ්වර ය. එබැවින් ඔවුන'තරින් අඩුම වන්දනීයත්වයක් ලබන්නේ ද ඔහු ය. පශ්චාත් වෛදික හින්දු සමාජයේ සියල්ල අතික්‍රමණය කරමින් පැන නැගී තාන්ත්‍රික චින්තනය තුළ, ශිව හෙවත් ඊශ්වර, අවලෝකිතේශ්වර සමග සමානකරණයක් කෙරී තිබේ. මෙය ගුහ්‍යසූත්‍ර, හේවජ්‍ර තන්ත්‍ර වැනි තාන්ත්‍රික ග්‍රන්ථ වල මනාව කැපී පෙනේ. මෙකී තාන්ත්‍රික මතවාද හරහා "නාථ" (මෙය ද ශිව ගේ විරුදයකි) ලෙස අලුත් පණක් ලබන නාථ දේව සංකල්පය, ලංකාවේ රජ පෙළන්තිය නායක්කර් වංශයට අයිති වීම සමග සතර මහා දේවාල වලින් එකක අයිතිය ලැබීම දක්වා වර්ධනය වේ. අප අද දන්නේ එකී විෂ්ණු, කතරගම (ස්කන්ධ), නාථ සහ පත්තිනි යන දේවාල හතරයි. (මීට වෙනස් ව ගනේශ්වර, කෘතෙශ්වර, නාතේශ්වර සහ මහේෂ්වර ලෙස වෙනත් හතර මහා දේව සංකල්පයක් පවතින බවද අප කළ සොයා ගැනීම් වලදී පෙනී ගියේ ය). උඩරට කෙසේ වෙතත් පහත රට දී නම් නාථ එතරම් පිදුම් ලබන කෙනෙක් නොවේ. ඊට වඩා පිරිසක් ගනේශ්වර නැතහොත් සරස්වතී දෙවාලයයේ පාක්කුඩම් අල්ලාගෙන සිටිති. 

මේ සියල්ල කීවේ නාථ යනු කවුද, නලින් යනු කවුද යන්න කෙටියෙන් හඳුන්වා දිය යුතු නිසාය. කවුරු මොනවා කීවත් අපේ නම් පිළිගැනීම වන්නේ මේ කතාව විශ්වාස කිරීමට අපහසු බවයි. පූජනීය මහනුවර දළදා මාළිගයට බෝම්බ ගහද්දී, මහබෝ මැඩදී අමු අමුවේ මිනී මරද්දී, අරන්තලාවේ අහිංසක බුදු පුතුන් කපා කොටා මස් ගොඩක් කරද්දී, වන්නියේ, පදවියේ සිංහල බෞද්ධ කුල කාන්තාවන් සමූහ වශයෙන් දූෂණය කරද්දී, ජවිපෙ සහ ආණ්ඩුව තරගයට මිනී මරද්දී, තරුණ කොල්ලන් කෙල්ලන් දහස් ගණනක් දස වධ දී මරා දමද්දී, සෝම හිමි ඇස් පනා පිට අපට අහිමි කරද්දී, සුනාමියෙන් දකුණු පළාතම සෝදා ගෙන යද්දී, රටේ සාරය හූරා කද්දී, මේ සියලු කී-නොකී සියල්ල වෙද්දී නොඇරුණු නාථ ගේ ඇස දැන් ඇරී ඇතැයි ඔබ සිතන්නේ ද? දෙව්දතුන් බුදුන්ට ගල් පෙරලද්දී නාපු නාථ අපේ රජරට වකුගඩු රෝගයට පිහිට වෙන්නට ආවයි ඔබ සිතනවාද?  

කෙසේ වෙතත් මේ මාතෘකාව මෙසේ එක ලිපියකින් අවසාන කළ නොහැක්කකි. අප මින් මඳ විරාමයක් ගෙන අපේ නියෝජිතයා සිය රාජකාරිය ඉටු කොට තොරතුරු රැගෙන එනතුරු සිටිය යුතුය. 

එතෙක් අවසර! 

Thursday, February 21, 2013

ප්‍රොක්සි (Proxies)

"දැනුම ලබා ගැනීම අපරාධයක් නම් දිනෙක දැනුවත් මිනිසුන් වන්නේ අපරාධ කරුවන් පමණි..."



අටුවා ටීකා අනවශ්‍යය. Gossip9.com වෙබ් අඩවියට කළ දේ ඔබ දනී. මීළඟ අවිය එල්ල වන්නේ බ්ලොග් වදවී වලට එරෙහිවය. සියලු කේන්ද්‍රීය මාධ්‍ය රාජ්‍ය පරිපාලනය නම් වූ දඬු අඬුවට යට කොට ගෙල මිරිකා හුස්ම හිර කොට මරා දැමූ පසුව අවසානයේ අපට ඉතිරි වන්නේ විමධ්‍යගත මාධ්‍ය පමණි. එහෙත් මේ විමධ්‍යගත මාධ්‍ය පවා සිර කිරීමට තාක්ෂණයේ පිහිටෙන් දූෂක පැලැන්තියට හැකියාව තිබේ. එනිසා අප ඔවුන්ට වඩා අඩියක් නොව, අඩි දෙක තුනක් දුරින් සිටිය යුතුය. 

එනිසා නිදහස් මාධ්‍ය කරණයේ යෙදෙන ඔබට, මෙන්න අපෙන් උපදෙස් හතක්:

1. සිය IP ලිපිනය රහසක්ව තබා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න. මෙය අනිවාර්ය බව සලකන්න. (උපදෙස් පසුවට)
2. සතියකට වරක් වත්  සිය මුරපදය මාරු කරන්න. එය කොහෙවත් ලියා නොතබන්න. 
මුරපදය ලෙස ඔබේ පෙම්වතියගේ නම, ඔබේ ප්‍රියතම ගායකයාගේ නම වැනි දේ කොහෙත්ම නොයොදන්න. 

3. මුරපදය අකුරු, ඉලක්කම් සහ සංකේත යන තුනෙන්ම සමන්විත කරන්න. එහි දිග අකුරු 10කට හෝ ඊට වැඩි මිස මොනම හේතුවක් නිසා වත් අඩු නොකරන්න.
4. Phishing යන්න ගැන දැනුවත් වන්න. සෑම විටම තමා ලොග් වන අඩවිය සැබෑ අඩවියද, නැතහොත් ඒ වගේම පෙනෙන්නට තැනු වෙනත් ව්‍යාජ අඩවියක්ද යන්න ගැන අවධානයෙන් සිටින්න. 
5. Key logging යන්න ගැන දැනුවත් වන්න. සෑම විටම ඔබේ නොවන පරිගණකයකින් ඔබේ පුද්ගලික ගිණුමක් පරිහරණය කළ පසුව මුරපද සහ ජාලගත ඉතිහාසය (Passwords & Browsing history) මකා දමන්න.
6. කිසිම විටෙක ලිපිගොනු නිකන්ම Shift + Delete නොකරන්න. අදාළ මෘදුකාංග ඇති අයෙකුට එසේ මැකු ගොනු, පත්තරේ කියවන්නා සේ කියවිය හැකිය. File shredder නම් මෘදුකාංග තිබේ. යමක් කිසිවෙකුට කියවන්නට බැරි වන සේ මකන්නට අවැසි නම් මුලින් එම ගොනුව Shred කරන්න. 
7. ඔබේ දුරකථන සංවාද සහ SMS සියල්ලම වසරක කාලයක් තුළ පටිගත වන බව සලකන්න. මෙය සිදු කරන්නේ අපරාධ මර්දන පණත යටතේය. එබැවින් Phone Sex කරන්නටම අවශ්‍ය නම් ඊටම වෙන් වූ Distorter නම් මෘදුකාංග තිබේ. ඒවා පාවිච්චි කරන්න. 

ප්‍රොක්සි? 

ප්‍රොක්සි හෙවත් පෙරකලාසිකරු යනු කෙනෙකු වෙනුවට පෙනී සිටින කෙනෙකි. ඔබ වෙබ් අඩවි ලිපිනයක් සටහන් කළ විට එය මුලින්ම DNS හෙවත් අඩවි නාම සේවා සපයන්නා වෙතද, ඉන්පසු ISP හෙවත් අන්තර්ජාල සේවා සපයන්නා වෙතද ආදී වශයෙන් සර්වර රාශියක් හරහා ගමන් කරයි. මෙසේ දත්ත ගමන් කරන්නේ දත්ත පැකට්ටු වශයෙනි. නිසි බලය ලත් නිලධරයකුට මෙම පැකට්ටු Packet sniffers නම් මෘදුකාංග භාවිතයෙන් කියවීමේ අවසරය තිබේ. 

"ප්‍රොක්සි උමං" යනු මෙසේ දත්ත මාරුවන අතරේදී අතර මැදියන් රවටමින් ඔබේ පණිවුඩය කාටවත් කියවීමට නොහැකි ලෙස විකෘති කිරීමයි. උදාහරණයක් ලෙස ඔබත් ඔබේ මිතුරෙකුත් යම් රහස් භාෂාවක් භාවිත කරන්නේ යයි සිතමු. ඊට අනුව සෑම අකුරකින්ම කියවෙන්නේ ඊට පෙර අකුර යයි සිතමු. එවිට J MPWF ZPV යන්නෙහි තේරුම I LOVE YOU යන්නයි. මේ රහස නොදන්නා කෙනෙකුට මේ පණිවිඩය කියවිය නොහේ. 

ප්‍රොක්සි උමං වලින් කරන්නේ මෙයයි. එනම් ඔබේ දත්ත රහසිගතව හුවමාරු කිරීමයි. ප්‍රොක්සි උමං වඩාත් වැදගත් වන්නේ වසා දැමු හෝ බ්ලොක් කළ අඩවි වලට පිවිසීමේදීය. මෙවැනි මෘදුකාංග වලට උදාහරණ කීපයක් සළකා බලමු: 

1. Ninja Proxy: online ප්‍රොක්සි සර්වරයකි. අවශ්‍ය අඩවියේ ලිපිනය සටහන් කොට පිවිසිය හැකිය. සාමාන්‍යයෙන් හොඳය. වරකට හුවමාරු කළ හැකි දත්ත පැකට් ගණන උපරිමයක් පවතී. 



2. Security KISS: බොහෝ මෙහෙයුම් පද්ධති සඳහා බාගත කොට පාවිච්චි කළ හැකිය. දවසකට හුවමාරු කළ හැක්කේ 300MB පමණි.


3. Ultra Surf: මෙයද ඉහත කී ගනයේමය. සාමාන්‍යයෙන් පොඩ්ඩක් මන්දගාමී නමුත් ආරක්ෂාව ඉහළය. 



4. Socks chain: ප්‍රොක්සි එකක් නොව ප්‍රොක්සි දාමයකි. ආරක්ෂාව අතින් ඉතාමත්ම විශිෂ්ටය, නමුත් නොමිලේ දෙන වර්ෂන් එකේදී වරකට විවෘත කළ හැකි උමං ගණන සීමිතය.

මේ සියල්ල කීවේ මේ රටේ නැත්තටම නැති වන්නට යන ඇත්ත දන ගැනීමේ අයිතිය සුරකිනු පිණිස සහ අධ්‍යාපනික පදනම මත මිස නීති විරෝධී කටයුතු වලට අනුබල දෙනු පිණිස නොවේ. තහනම් කළ අඩවියකට පිවිසීමට හිතාමතා තැත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව තරයේ සළකන්න. මීට අමතරව  මෙම ලිපියේ එන කරුණු අනුගමනය කිරීම හෝ නොකිරීම පාඨකයාගේ තීරණයක් නිසා ඔබේ තීරණ වලට අප වග නොකියන බවද කරුණාවෙන් සළකන්න. 

Saturday, February 16, 2013

කටට දීම (Fellatio)

කට
කට යනු මනුෂ්‍ය ශරීරයේ ඇති ඉතාමත්ම වැදගත් අවයවයකි. මොන දේ කරන්නටත් කාලා ඉන්නට ඕනේ ය. ඇමීබාවන්, පහත් පණුවන් හැර අන් සියලු සත්ත්වයන් හට කටක් ඇත්තේ එම නිසාය. "එක නාම කිං" (එක යනු කුමක්ද?) යැයි ඇසු විට "සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා" යයි බුදුන් කීවේ ද එනිසාය. එහි තේරුම නම් සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙන්නෝය යන්නයි. අපේ බොහෝ දෙනෙක් මෙන් නොව බුදුහු නම් එය ක්‍රියාවෙන්ම ඔප්පු කළෝය. බණ අහන්නට ආ දුප්පත් කම්කරු වැඩකරන ජනතාවගෙන් කෙනෙකු වන ගොවියකුට මුලින්ම කන්නට දීමට තරම් බුදුහු ප්‍රායෝගික වූහ. අපට එය හොඳ වෙතත් මගේ එක්තරා සමාජවාදී මිතුරකු නම් මෙය දැක්කේ ධනේශ්වර පන්තියේ ආධිපත්‍යය විදහා දැක්වීමක් ලෙසය. ඒ ගැන පසුව කතා කරමු. වැදගත්ම දෙය නම් "කණට දීමට" පෙර, "කටට (සහ බඩට) දී සිටිය යුතු බව" අද ඉන්න සුචරිතවාදීන්ට වඩා හොඳට බුදුන්ට තේරී තිබීමයි.



දීම (1)
දීම යනුද ඉතාම හොඳ  දෙයකි. පාළියෙන් ඊට "දාන" යයි කියති. ඕක කොයි තරම් හොඳද කියතොත් දෙන හැමෝම කැමති දෙන එක හැමෝටම පේන්නට දෙන්නටය. ලවුස්කීපර් දමාගෙන, බැනර් ගහගෙන, රටටම කියාගෙන දුන්නොත් මිසක් දෙන එකේ වැඩක් නැතැයි සිතීම බොහෝ දෙනාගේ ජානබද්ධ සංලක්ෂණයකි. හැබැයි ජේසුන් නම් කීවේ දකුණ'තින් දෙන එක වම'තට වත් නොදැනෙන්නට දීපං කියාය. 

දෙන එකේ ප්‍රභේද දෙකක් තිබේ. එනම් කැමැත්තෙන් දීම සහ අකමැත්තෙන් දීමයි. කැමැත්තෙන් දීම යනු තමන්ට පාඩුවක් වන බව දන දැනත් හිතේ සංතෝසමට දීමයි. එහෙම කරන්නට නම් වෙනම හේතුවක් තිබිය යුතුය. කවුරුත් නිකං දෙන්නෙ නැත. බුදුබව ලබන්නට පාරමිතා පිරෙන්නේ නැතිනම් වෙස්සන්තර රජ්ජුරුවෝ වුනත් දරුවන් දන් දෙන්නෙ නැත. මේ නිසා දෙන්නෙ කැමැත්තෙන් වුණත් ඇත්තම කතාව නම් ඒ පිටුපස ලබාගැනීමේ අරමුණක් ද ඇති බවයි. 

අකමැත්තෙන් දීම යනු දෙන්නට කැමති නැති වුණත් දෙන්නට සිද්ද වීමයි. උදාහරණයක් ලෙස චන්දය දීම දැක්විය හැක. මේ රටේ කවුරුත් චන්දය දෙන්නට කැමති නැත. චන්දය යනු කැමැත්තයි. කැමැත්තෙන් හොරු, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන්, පට්ට පල් කෙබරයන්, ගං කබරයන් උත්තරීතර පාර්ලිමේන්තුවට යවන්නට මේ රටේ පරමාධිපත්‍ය බලය දරන සතිමත්, බුද්ධිමත්, උගත් ජනතාව කැමති යැයි ලොවෙත් හිතන්නට බැරිය. චන්දය (කැමැත්ත) දීම යන්න විහිළුවක් වන්නේ එබැවිනි. ඒකත් හරියට ස්ත්‍රී දූෂකයෙක් දූෂණය කරන්න බලන් ඉන්නා කෙල්ලෙකු ගෙන් කැමැත්ත ඇසීම වැනිය. ඕක දුන්නත් නැතත් වැඩේ වෙන්නේ එකම දේ ය. 



දීම (2)
දෙනවා යන වචනයට වත්මන් සමාජ සන්දර්භය තුළ තවත් තේරුමක් තිබේ. එනම් "ලිංගික සංතෘප්තියට ඉඩ ලබා දෙනවා" යන්නයි. ලිංගික සංසර්ගයේ විවිධාකාර ක්‍රම රාශියක් තිබේ. අරක දීම, මේක දීම ආදී වශයෙන් ඊට නම් ද තිබේ. මෙයද අපේ සමාජයේ පමණක් දැකිය හැකි සින්ඩ්‍රෝමයකි. බටහිර රටවල නම් සෙක්ස් දෙනවා කියා දෙයක් නැත. ඒ චින්තන රටාව තුළ ඇත්තේ සෙක්ස් ගන්නවා යන සංකල්පයයි. අපේ මිනිස්සු හිතන් ඉන්නේ සෙක්ස් යනු තමන්ගේ ලිංගික සහකරු / සහකාරිය විසින් තමන්ට "දෙන" දෙයක් කියාය. ඒ තරමටම අපේ සමාජය තුළ ලිංගිකත්වය යන්න පෙට්ටගමකට දමා වහංගු කොට තබන දෙයකි. තමන්ට ලිංගික ආශාවන් ඇති බව පිළිගන්නට කවුරුත් කැමති නැත. ඒකත් හරියට "අනේ මට නම් බඩගිනි නෑ.. ඔයා දෙන නිසා කනවා.. ඔයා ආදරෙන් හදල දෙන දේ නේ".. වගේ කතාවකි. කවුරු බැන්නත්, මොන තරම් පිස්සෙකු වුණත් අශෝක හඳගම සිය "අක්ෂරය" චිත්‍රපටයෙන් කතිකා කළේ මේ දෙපිටකාට්ටු සමාජ සම්මතයයි. මෑත කාලයේ බ්ලොග් අවකාශයේ දුටු "ලයිට් නිවා නින්දට යාම" නම් වූ එක්තරා ලිපියක මේ කතාවම මීට වඩා හොඳට කියා තිබිණි. 

කටට දීම 
කට යනු හොඳ වචනයකි. දීම යනුද ඉතාම හොඳ වචනයකි. එහෙත් මේ දෙක එකතු කොට ගත් විට සැදෙන "කටට දෙනවා" යන්න තහනම් වචනයකි. වත්මන් සමාජ තත්වය තුල කටට දෙනවා යන්නෙහි සාමාන්‍ය තේරුම නම් පිරිමියකු සිය ලිංගික අවයවය වෙනත් කාන්තාවක / පිරිමියකු ගේ මුව තුළට රුවා කරන ලිංගික ක්‍රියාවයි. 

කටට දීම ඒ තේරුමෙන් ගත්තාම ද හිතන්නට ගොඩක් දේ තිබේ. පළමුවෙනි වැදගත්ම දේ නම් කටට දුන්නාම ඒක ගන්නා එකාට කතා කරන්නට බැරි වීමයි. ඒ නිසා කියන්නට දහසක් දේ තිබුණත් ඒ කිසිවක් කියා ගන්නට බැරි වීමක් එහිදී සිදු වේ. කොහොමත් කටේ මොනවා හෝ තියෙද්දී කතා කිරීම හොඳ නැති ක්‍රියාවකි. ඒ නිසා කටේ මොනවා හෝ තියෙද්දී කියන වචන සේරම (හරිනම්) තහනම් වචන වේ. 

මේ සියල්ල ලීවේ අද වන විට මේ රටේ ක්‍රියාත්මක වන දේශපාලන න්‍යායක් ඔබට හඳුන්වා දීම පිණිසය. සෑහෙන කාලයක් තිස්සේ අපේ රටේ දේශපාලනය හඳුන්වා දීමට සුදුසු මොඩලයක් නැතහොත් ආකෘතියක් සොය සොයා හිටියත් එහෙම එකක් මේ වන තුරු ලැබුණේ නැත. නමුත් මේ ළඟදී අහම්බෙන් අප මිතුරකු අප සියලු දෙනා ඉන්න තැනක කී යම් කතාවකින් පසුව ඒ කතාව මොන තරම් ගැලපෙන්නේ දැයි සිය දහස් වර කල්පනා විය. මේ ලිපිය ලියවෙන්නේ අන්න ඒ අරමුණෙනි. හෙවත් අද්‍යතන ලාංකීය සමාජයේ ක්‍රියාත්මක දේශපාලන මාදිලිය පහදා දීම සඳහා ආකෘතියක් යෝජනා කිරීමටය. 


දේශපාලනික කටට දීම 
අද මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ගේ දේශපාලන මොඩලය වී ඇත්තේ කටට දීම සහ ගැනීමයි. උදාහරණයක් ලෙස මීට ටික කලකට පෙර ජාතික චින්තනය සහ සිංහල බෞද්ධ චන්ද පදනම වෙනුවෙන් බෙරිහන් දෙමින් සිට, සෝම හිමියන්ගේ (මහින්දට මහින්ද යයි කියන මා සෝමට සෝම යයි නොකියා කට පුරා සෝම හිමි යයි කියන්නේ හේතුවක් ඇතිවය) මිණිය පිටින් පාර්ලිමේන්තු ගත වූ හෙළ උරුමය සැළකිය හැකිය. එදා මහා හයියෙන් ආණ්ඩුවට රිමෝට් කොන්ට්‍රෝල් එකක් හයි කරන්නම් කියා ආණ්ඩුවට අත දුන් ඔවුන්ට අද කට පූට්ටු වී ඇත. හෙවත් ඔවුන්ට "කටට" යමක් "දීලා" තිබේ. නැතිනම් මේ දිනවල හොට්ම ටොපික් එක වන බොබසේ ගනිමු. සාරුව සුනිල්ගේ ගේ වටලනවා, වරෝ, වරෝ කියමින් සෙනග රැස් කළාට වටලාපු ගෙයක් නම් නැත. ඒ ගැන ඇසුවාම ඥාන-සාර (අපි කියන විදියට නම් "නාන - සාර") හට කට උත්තර නැත. ඒ කියන්නේ ඔහුටද කවුරුන් හෝ කටට දී තිබේ. 



ආණ්ඩුවට කොන්දක් සපයන්නම් කියා පැනගත් ජවිපෙට වූ දෙය නම් හතුරෙකුටවත් සිදු නොවිය යුතුය. කටට දුන්නා පමණක් නොව, ඔවුන්ට සිදු වූයේ තමන් ළඟ හිටි හොඳම කට ආණ්ඩුවට නිකම් දී කටක් නැතිව ගෙදර එන්නටය. අද විමලෙ මල්ලී ලස්සනට සහ කලාවට සිය කට පාවිච්චි කරමින් සිටී. කටක් නැති ජවිපෙට සිදු වූයේ පළමුව ජානිපෙ (පංචායුධ කාරයන්) සහ දෙවනුව පෙසපෙ (හෙවත් පෙරටුගාමීන්) අතින් මාරුවෙන් මාරුවට කටට ගන්නට සිදු වීමයි. 


ඔන්න ළඟදී චම්පික ගේ නම් කට ඇරී තිබේ. මෙතෙක් කල් ආණ්ඩුවේ කුණුගොඩක් කටට අරන් හිටි ඔහුට, දැන් විවේකයක් ලැබී ඇත. චම්පිකගේ කට වැසීම පිණිස කටට දී තිබූ විදුලිබල ඇමතිකම දැන් කටට අරන් ඉන්නේ පවිත්තරා දෙවින්නාන්සේය. ඇමැති කම නොවේ පුරාවිද්‍යා චක්‍රවර්තිකම තිබුණත් කටට දුන්නාම ඉබේම කට වැසේ. කොටින්ම දැන් වැද්දෝ පවා කටක් අරින්නේ නැත. 

කටට දීමේ සහ ගැනීමේ මාතෘකාව තුළ කතා නොකරම බැරි චරිතයක් වන පොනිල් අක්‍රමසිංහ ගැනද වචනයක් හෝ කිව යුතුය. මේ රටේ ඔහි තරම් කටට ගැනීමේ ශූරයෝ තවත් වේ යයි සිතන්නට අමාරුය. මන්දයත් සාමාන්‍ය එවුන් කරන්නේ එකෙක් කටට ගැනීමයි. නමුත් පොනිල්ගේ වැඩ නිසා මුළුමහත් පක්ෂයක්ම එකා මෙන් (සමහරු නම් දැන දැනම සහ සමහරු නොදැන) කටට ගෙන මුඛ පූට්ටු වී සිටිති. වාසනාවන්! 



මේ අතර සමහරු නම් කරන්නේ කටට ගැනීම නොව, කට ගැනීමයි. ඒ කියන්නේ කට ඇතුළට දේවල් ගැනීම නොව, කටෙන් එලියට දේවල් දැමීමයි. කෙනෙකුට අවැසි නම් මේවා "දිව දැමීම" ලෙසද හැඳින්විය හැක. දිව දැමීම වනාහී මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් සින්නක්කර ජොබක් ලෙස සැලකුණි. ඒ ඉස්සරය. දැන් නම් එහෙම නැත. දැන් පාර හෝදන එකාගේ සිට මහාචාරියා දක්වා සියල්ලෝම දිව දැමීමට දනිති. එහෙත් මේ ජොබ සිරාවටම කරන්නෝ නම් මාධ්‍ය කරුවෝ වෙති. මේකෙදී කෙරෙන්නේ තමන්ගේ දිව පාවිච්චි කොට සල්ලි තියෙන උන්ට ආතල් එක ලැබෙන පරිදි දිව එහෙට මෙහෙට නැටවීමය. කටට ගැනීමට වඩා දිව නැටවීම මාර ආතල් ය. කටට දීමේදී ගන්න එකා සයිලන්ට් වේ. එනිසා ඒ තරම් ආතල් එකක් නැත. නමුත් දිව දීමේදී එහෙම නැත. දිව නටවන අතර ඉතාම වියත් හරවත් වදනින් කණ පිනවන සුන්දර වදන් පැවසීම නිසා මේක ඒකට වඩා ජොලිය. ඇහින්ද ගොඩේ සුන්දරයා, නාන්නේ නැති හඩ්ඩා, බියර් මාදුවා, හසන්තගේ සූරී, මොණරපිල් සඳරුවා වැනි පිරිස මේ ජොබ වෘත්තීය මට්ටමින් කරගෙන යන්නෝ වෙති. 

එතකොට අපි? 

ඇත්තටම වැඩියෙන්ම හිනා යන දේ නම් මේ රටේ මොන දේ කරන මොකාටත් වඩා කටට ගෙන ඇත්තේ මේ රටේ මහජනතාව වීමයි. කන්න දොතේ නැතත්, බඩ පොත්ත පිට පොත්තට ඇලුනත්, මේ රටේ ජනතාව "මීක්" තරම් වත් වචනයක් නොකියා දිගටම ලැබෙන සොච්චම් පනම් කාසිය "කටට ගෙන" සිටිති.

කතාව කියා ඉවර බැවින් ගීයක් ඇසීමට සිත් විය. මෙතන ගැළපෙනම ගීය නම් "මාස්ටර් සර්" ගීයයි. මේ ගීය සහෝදර සමාගමේ සාදර අනුග්‍රහයෙනි. මඳ උත්සාහයකින් පසු පැරණි පිටපතක් සොයා ගතිමි. ජය! 



Monday, February 11, 2013

දුටුගැමුණු නම් වූ මිනීමරුවා

පූර්විකාව

මේ සටහන ලියන්නේ මෙය දෙබරයකට ගසන ලද පත ගල් බෑයක් බව නොදැන නොවේ. එමෙන්ම මෙය කියවන්නට සැරසෙන ඔබේ උත්සන්න වූ නාඩි වැටෙන වේගය යළි සන්සුන් කිරීමේ බලාපොරොත්තුවකින්ද නොවේ. මේ ලියන්නේ අපේ ඉතිහාසයේ නොව, වර්තමානයේ අපට වැරදුණු තැනක් නිවැරදි කරගැනීමට හැකි දැයි විමසා බලනු පිණිසය.

අපි කතාව වර්තමානයෙන් පටන් ගනිමු:

සුද්දා ලංකාවට නිදහස දුන්නේ කිසිදා හොඳ නොවන තුවාලයක් සමග බව නොදන්නා සමහරු අදටත් මේ රටේ ජීවත් වීම සහ ඒ මදිවාට දේශපාලනය ගැන පොර ටෝක් දීම අපට අරුමයක් නොවේ. එසේ වන්නේ එය අරුමයක් නොවන්නේ යයි සිතන්නට අප අපම පෙර සූදානම් කරගෙන ඇති බැවිනි. 1956 "පස්මහ බලවේගය" වතුර යටින් පැන නැගි දිය බුබුළක් සේ උඩට පැමිණ පුපුරා ගියේ අගමැතිවරයකුගේ ඝාතනය, ආසියාකරයේ කිට්ටුම (සහ දෙපිටකාට්ටුම) රට වන ඉන්දියාව සමග නොසිඳෙන වයිරයක් පැළපදියම් වීම  සහ පරම්පරා ගණනක් ඔඩු දුවන උපාධිධාරී විරැකියාව පමණක් ඉතිරි කරමිනි. 1980 න් පසුව ප්‍රභාකරන්ලා කරිකාලන්ලා වන්නේ, මුරලිධරන් (එනම් ක්‍රිකට් තරුව නොවේ) කරුණා අම්මාන් ලා වන්නේ, මෙකී කතා මාලාවේ පසුවදන තුළය. එහෙත් අපට 1948, 1956, 1971, 1972, 1983, 1989, 1994, 1996, 2004, 2005 ඉලක්කම් තරමට 2009 මතක තියෙන්නේ නැත්තේ මක් නිසාදැයි කීමට ඔබට එකවරම හේතුවක් හිතාගත නොහැකිය. (ඉඟිය: ඉහත කී සියලු වසරවල් වනාහි නිදහසෙන් පසු අප ජාතියක් ලෙස ඉහළින්ම සහ පහළින්ම සිටි වසරවල් වේ. දේශපාලනය සමග ඍජු සම්බන්ධ කමක් නැතත්, 1996 ද මම මේ ගොඩට ඇතුළත් කෙළේ ඒ නිසාය).

දැන් මට ඔබෙන් විශේෂ අවසරයක් අවශ්‍යය. කතාව ලියන්නේ මා බැවින් අවසරයකින් තොරව හෝ මා කැමති කාල මානයකට හෝ අවකාශයකට ඔබ ඇදගෙන යාමේ අයිතිය මට ඇතත්, මා සුදු වෑන් එකක් නොවන නිසා මේ සටහන තැබීමි. අප යන්නේ වෙනත් සමාන්තර කාල මාන දෙකකටය.

ඒ යුද්ධයකි. වර්ගවාදී සහ ජාතිවාදී ගිනි පුපුරු මතින් හමාගිය තරුණ ජවයේ සහ අහංකාර කමේ සුළං පොද වැදී වර්ධනය වී, අනතුරුව විදෙස් අත පෙවීම් මත මහා දරුණු ලැව් ගින්නක් බවට පත් වෙමින් රටක ඉතිහාසයෙන් තිස් වසක් දවා හළු කළ යුද්ධයකි. තිස් වසක් අවසන ජනතාව අතුරින් පැන නැගී නායකයෙක් ප්‍රතිවාදියා පරාජය කොට මේ යුද්ධය නිමා කරයි.

මේ කාල මාන දෙකක දිවෙන එකම කතාවකි.

මින් එකක් එළාර-දුටුගැමුණු යුද්ධයයි. දෙවැන්න කොටි ත්‍රස්තයන්ට එරෙහි යුද්ධයි.

මා ඔබෙන් අසන්නේ මින් කොයික කොයිකද කියාය. පිළිතුරු දීමට පෙර නැවත සටහන කියවන්න.

මේ දෙක වෙන් කරන්නට ඔබට භාර දුන්නොත්, ඔබ මේ දෙක අතර දකින වෙනස් කම් මොනවාද? අපි උදාහරණයක් ගනිමු: එළාර තලතුනා මිනිසෙකි, දුටුගැමුණු තරුණයෙකි. එහෙත් ප්‍රභා-මහින්ද අතර එවැනි මහා වෙනසක් නැත. අනික එළාර පරදේසක්කාරයෙකි. ප්‍රභා මේ රටේ උපන් එකෙකි. (නැත්නම් ඔහු හැඳින්විය යුත්තේ "ත්‍රස්තවාදියා" ලෙස නොව "ආක්‍රමණිකයා" ලෙසයි. එළාර ආක්‍රමණිකකි. ප්‍රභා ත්‍රස්තවාදියෙකි.) තවත් එහාට යන ඔබට මෙසේද කිව හැක. දුටුගැමුණුට සිය පියා දුර දක්නා නුවණින් තැනු රටක් සහ සේනාවක් විය. මහින්දට එසේ නොවීය. අනික දුටුගැමුණුට සෙන්පතිවරු දහයක් හිටි අතර මහින්දට හිටියේ එකෙකි. දෙන්නාටම සහෝදර සමාගම් වීම ද සැළකිය යුත්තකි.

නමුත් මේ දෙක සැබෑම ලෙස වෙන්කළ හැකි නියම සාධකය මේ එකක් වත් නොවේ, යුද්ධයෙන් පසුව කුමක් වීද යන්නයි.

එකක් අවසානයේ රටවැසියෝ, එළාරගේ පාර්ශ්වයේ සිටි අය පවා, සතුටින් ජීවත් වූහ. අනෙක අවසානයේ මිතුරෝද දුකට පත්ව හිරේ විලංගුවේ ලැග්ගා පමණක් නොව, රටේ බදු බර දෙගුණයකින් ඉහල ගියේය. එකෙක් රටේ ජනතාවට වඳින්නට මහා සෑයවල් තනද්දී අනෙකා කෙළේ පුතුන්ට රේස් පදින්නට රටේ ආර්ථික අගනුවර රෑ තුනක් වසා තැබීමයි.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

දැන් මම ඔබව තවත් මානයකට අරගෙන යන්නෙමි. කාලය වැදගත් නැත. ස්ථානය රජරටය. හරියටම කියනවා නම් සිරි මහ බෝ සමිඳු ඉදිරියේය. අමරදේවයන් සිය අනභිභවනීය ලාලිත්‍යයෙන්, මනෝහර හඬින් "මහබෝ වන්නම" ගැයූ මහා බෝධින්නාන්සේ ඉදිරියේය.


ඔබ කරණීය මෙත්ත සුත්‍රය දන්නවාද? එහි මෙන්න මෙහෙම තිබේ:


"   ...සියලු සත්ත්වයෝ සුඛිත මුදිත වෙත්වා! කිසිවෙකු අනෙකා නොපෙළත්වා! කිසිවෙකු අනෙකාගේ දුක කැමති නොවෙත්වා! සියලු පණ ඇති සතුන් අතරින් බිය වන්නා වූ, බිය නොවන්නා වූ, දික්, මහත්, මැදි, දැවැන්ත වූ, අණුක වූ, පෙනෙන්නා වූ, නොපෙනෙන්නා වූ, ළඟ වසන්නා වූ, දුර වසන්නා වූ, උපන්නා වූ හෝ මවුකුසක් සොයමින් ඉන්නා වූ, සියලු සත්තවයෝ සුවපත් වෙත්වා! වෛරී සංඥාවෙන් කිසිවෙක් අනිකා දෙස නොබලත්වා! මවක් සිය එකම පුතුන් වෙත මෛත්‍රී කරන්නේ යම් සේද, එලෙසින්ම සියලු සත්ත්වයෝ එකිනෙකා කෙරෙහි මෛත්‍රී කරත්වා!"
මේ සුත්‍රය සජ්ඣායනා කරන්නෝද එසේ මෙසේ පිරිසක් නොවෙති. ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ වෙති. කරණීය මෙත් සුතුරෙන් පිරිත් කියමින් ඔවුහු පිරිත් නූල් බඳිති.

පිරිත් නූල් බඳිති.

පිරිත් අසා සිටින සොල්දාදුවන්ගේ තුවක්කු කටේ පිරිත් නූල් බඳිති.

තුවක්කු? මෙත් සුතුර? පිරිත් නූල්??

මෙය මගේ සිතේ පැනනැගි මනෝ විකාරයක් නොවේ! මේ සැබෑම සිද්ධියකි!

අපි වෙනුවෙන් අපි.. මචං පට්ට කෑම!


සොල්දාදුවා යනු මිනී මරුවෙකි. එසේම සිය රටේ අනාගතය වෙනුවෙන් සිය කැමැත්තෙන් පවු පුරවා ගැනීම තෝරාගත් වීරයෙකි. සාමාන්‍ය මිනීමරුවකුට වඩා ඔහු වෙනස් වන්නේ ඒ නිසාය. ඔහු අප අතරින් බිහි වූ එකෙකි. අපේ එකෙකි. අප අත ගහන්නට අකමැති ගඳ ගහන පවු ගොඩ, අර දිලිසෙන යවටක් සේ රත් වුණු පාප කර්ම තොගය සිය කැමැත්තෙන් කරට ගෙන, තමාගේ උණ්ඩයට දිවිදුන් මිනිසුගේ මරණ වේදනාවෙන් සිය මුළු ආත්මයම දැවී පිලිස්සෙද්දී පවා අප දෙස සන්සුන් උදාසීන බැල්මෙන් බලන පුදුමාකාර මිනීමරුවෙකි.

එහෙත් මේ මාතෘකාව මා යෙදුවේ අර ගීතය සිහිපත් කරන්නට නොවේ: කොළඹ ගංගාරාමය අසල පිහිටි "අපි වෙනුවෙන් අපි" නම් වූ කෑම කඩය සිහිපත් කරන්නටය. මන්ද යත් අද අපේ රණ විරුවන් කරන්නේ කොළඹ පාරවල් සුද්ද කිරීම, ඩෙංගු මර්දනය, මිනිස්සුන්ට ඇවිදින්නට බ්‍රෝඩ්වෝක් තැනීම වැනි වැඩවල ය. කොළඹ නයිට් රේස් මුර කරන්නය.



මේ කොළඹ රේස් වෙනුවෙන් ලියැවුණු අදහසකි.


ගෝල්ෆේස් එකේ
නයිට් රේස් එකට
වැලි කොට්ට අදින
සොල්දාදු මාමේ
මට කියන්
කෝ උඹේ තුවක්කුව?
(කර්තෘ අඥාතයි)

දුටුගැමුණු 

අප මිනී මරුවන් ගැන කතා කළ නිසා මේ ටිකද කිව යුතුමය.


ඔබ පිළිගත්තත් නැතත්, දුටුගැමුණු යනු මිනීමරුවෙකි. එහෙත් ඔහු නිකම්ම නිකම් මිනීමරුවකු නොවේ. ජයග්‍රාහකයෙකි. දේශපාලනයේ පළමු නීතිය නම් "ජයග්‍රාහකයා සෑම විටම නිවැරදිය" යන්නයි. බැරිවෙලාවත් යුද්ධයෙන් එළාර දින්නා නම් ඔහු නිවරදි බවට ඉතිහාසය වාර්තා කරනු ඇත.

නමුත් දුටුගැමුණු නිකම්ම නිකම් ජයග්‍රාහකයකු ද නොවීය. පරාජය කලයුත්තේ එළාර නොව, "එළාර මතවාදය" බව ඔහු දැන සිටියේය. එනිසා ඔහු කිසිවිටෙකත් ජය ගැනීමෙන් පසුව ප්‍රතිවාදීන් ගෙන් පළිගත්තේ නැත. ඔහු සිය පිළිමල් එළාර රජුගේ සොහොන මලින් ගඳින් සරසා ගෞරව කෙළේය. එළාර තමාට සතුරෙකු වුවත් ඔහුගේ මිතුරන්ට වීරයෙකි යන සත්‍යය දුටුගැමුණු දන සිටියේය. බැරිවෙලාවත් එසේ නොකර එළාරගේ මිනිය දණින් පහලට තබා මහා පාර දිගේ පරිභව කරමින් ගෙන ගියා නම් සිදු වන එකම දේ එළාර වෙනුවට තවත් එළාර ලා සිය දහස් ගණනක් බිහි වීම පමණි. ඒ අර්ථයෙන් ගත් කල දුටු ගැමුණු යනු නිකම්ම නිකම් වනචාරී වීරයෙකු නොව, ඉතාම විශිෂ්ට, ආදර්ශවත් වීරයෙකි. එසේ වුයේ බෞද්ධ ආභාසය නිසා බවටද කිසිම සැකයක් නැත.

නමුත් එහෙමයි කියා දුටුගැමුණු මිනීමරුවෙකි යන සත්‍යය වසන් වන්නේ නැත.


දෙවන කාරණය නම් දුටුගැමුණු යනු ඉතාම තීක්ෂණ බුද්ධියක් සහිත රාජ්‍ය තාන්ත්‍රිකයකු බවයි. එළාර යනු පරපෝෂියෙකි. ඉන්දියාවෙන් ගුටි කා සිය රාජ්‍ය පෙළපත අහිමි වී ලංකාවට පැනවිත් මෙහි තුබූ අස්ථාවර දේශපාලන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් විසිවසකට අධික කාලයක් රාජ්‍යය කෙළේය. (මේවා අරුම දේවල් නොවේ. මීට පෙර ඉන්දියාවෙන් ආ අශ්ව වෙළෙන්දෝ ද ලංකාවේ රජපුටුවට නැංගාහ. මෙරට රජ පුටුව යනු එතරම්ම අස්ථාවර තැනකි.)

එළාර පරාජය කිරීමට කළ යුතු පළමු දේ ලෙස එළාරට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීම බව දුටු ගැමුණු දන සිටියේය. ඔහු සිය ප්‍රචාරක පාඨය පවා සකස් කෙළේ ඊට අනුරූපීවය. "මගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප ලැබීම පිණිස නොවේ. සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය පිණිසය". යන ප්‍රකාශය සකස් වුනේ ඒ පදනම මතය. එළාර වැනි ඉන්දීය චෝළ පරපුරකින් පැවතෙන පාලකයකු යටතේ බුද්ධ ශාසනය ආරක්ෂා නොවන බවට ජනතාව තුළ පවතී ශාන්කාව ප්‍රබල ජන බලයක් බවට පත් වන්නේ එලෙසය. දුටුගැමුණු බොරු කාරයකු නොවේ. ඔහු පවතින සත්‍යය වාසිදායක ලෙස උපයෝජනය කළා පමණි.

අපේ සමහරුන් මහා හයියෙන් කෑ ගහන "පෙරහරේ යුද්ධ සේනාවට පෙරටුව භික්ෂූන් වැඩියාය" යන ප්‍රකාශය වැදගත් වන්නේ අන්න එකී සන්දර්භය තුලය. භික්ෂූන් වැඩියේ යුද්ධ සේනාවකට ආශීර්වාද කරන්නට නොවේ. මේ යන්නේ යුද්ද කරන්නට බව නොදැනද නොවේ. ඔවුහු දුටුගැමුණු වෙත ජනතාව ආකර්ෂණය කළහ. නමුත් ඒ අද කළා වගේ ඉතාම නින්දිත සහ හිරිකිත ලෙස තුවක්කු බට වලට පිරිත් නූල් බඳිමින් නොවේ.

අප දුටු ගැමුණු ගෙන් උගත යුතු බොහෝ දේ තවත් ඉතිරිව තිබේ. බොහෝ දේ තිබේ. අවාසනාවකට දැන් අපේ රටේ දුටුගැමුණුලා කරන්නේ සමෘද්ධි නියාමකයින් ගස් බැඳීම, ද්‍රෝහී මිතුරන් වෙඩි තබා මරා දැමීම, මාධ්‍ය ආයතන වලට පහර දී කුඩු කිරීම වැනි දේවල් ය.

අපරැක්කේ ආතම්මේ, උඹ කොහෙද?

Friday, February 8, 2013

නි.ද.හ.ස.



අපි නිදහස්!

අපි එසේ කියමු, වසරක් වසරක් පාසා එසේ කියමු. නිකම් නොවේ, මහ උජාරුවෙන් හඬගා ගිරිය පැලෙන්නට බෙරිහන් දී මහා හයියෙන් කෑ ගසා කියමු. 

අපි නිදහස් ද?

මම ඔබෙන් අසමි. 

එකෙනෙහිම ඔබේ පපු කෙනෙති වලට යමක් දැනේවි. ඒ කුමක්දැයි මා ඔබෙන් අසන්නේ නැත. ඒ වෙනුවට "නිදහස" යනු කුමක් දැයි අපි මඳක් කතා කරමු.

"නි + දාස" හෙවත් "දාස නොවන්නේ" නිදහස් නමි. එනම් ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ නිදහස් වේ. නිදහස් තීරණ යැයි කී විට "මොනවා ගැනද" යන්නද ඇසිය යුතුමය. 

01. ආර්ථික නිදහස: එනම්, බාධාවකින් තොරව සැමට සමසේ සිය විභවතාවට අනුරූපී ක්‍රය ශක්තියක් ලැබෙන බව. 

(සභාවේ සිනා).

02. සමාජයීය නිදහස සහ ආගමික නිදහස: තමන් ජීවත් වන සමාජය තුළ සිය ආගම, සංස්‌කෘතිය වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇති බව සහ ඊට කිසිම ආකාරයක තහංචි පැනවීමක් නැති බව. 


03. නෛතික නිදහස: මොනම ආකාරයකට වත් අනීතික සිද්ධි වලට සමාවක් නැති බව..


නීතියේ සාධාරණත්වය සුරක්ෂිත කොට ඇති බව. 



තව කියන්නට දාහක් දේ ඇතත් මා ඔබේ හදවතින් අසන්නේ එකම එක පැනයකි:

ඔබ නිදහස් ද?