පූර්විකාව
මේ සටහන ලියන්නේ මෙය දෙබරයකට ගසන ලද පත ගල් බෑයක් බව නොදැන නොවේ. එමෙන්ම මෙය කියවන්නට සැරසෙන ඔබේ උත්සන්න වූ නාඩි වැටෙන වේගය යළි සන්සුන් කිරීමේ බලාපොරොත්තුවකින්ද නොවේ. මේ ලියන්නේ අපේ ඉතිහාසයේ නොව, වර්තමානයේ අපට වැරදුණු තැනක් නිවැරදි කරගැනීමට හැකි දැයි විමසා බලනු පිණිසය.අපි කතාව වර්තමානයෙන් පටන් ගනිමු:
සුද්දා ලංකාවට නිදහස දුන්නේ කිසිදා හොඳ නොවන තුවාලයක් සමග බව නොදන්නා සමහරු අදටත් මේ රටේ ජීවත් වීම සහ ඒ මදිවාට දේශපාලනය ගැන පොර ටෝක් දීම අපට අරුමයක් නොවේ. එසේ වන්නේ එය අරුමයක් නොවන්නේ යයි සිතන්නට අප අපම පෙර සූදානම් කරගෙන ඇති බැවිනි. 1956 "පස්මහ බලවේගය" වතුර යටින් පැන නැගි දිය බුබුළක් සේ උඩට පැමිණ පුපුරා ගියේ අගමැතිවරයකුගේ ඝාතනය, ආසියාකරයේ කිට්ටුම (සහ දෙපිටකාට්ටුම) රට වන ඉන්දියාව සමග නොසිඳෙන වයිරයක් පැළපදියම් වීම සහ පරම්පරා ගණනක් ඔඩු දුවන උපාධිධාරී විරැකියාව පමණක් ඉතිරි කරමිනි. 1980 න් පසුව ප්‍රභාකරන්ලා කරිකාලන්ලා වන්නේ, මුරලිධරන් (එනම් ක්‍රිකට් තරුව නොවේ) කරුණා අම්මාන් ලා වන්නේ, මෙකී කතා මාලාවේ පසුවදන තුළය. එහෙත් අපට 1948, 1956, 1971, 1972, 1983, 1989, 1994, 1996, 2004, 2005 ඉලක්කම් තරමට 2009 මතක තියෙන්නේ නැත්තේ මක් නිසාදැයි කීමට ඔබට එකවරම හේතුවක් හිතාගත නොහැකිය. (ඉඟිය: ඉහත කී සියලු වසරවල් වනාහි නිදහසෙන් පසු අප ජාතියක් ලෙස ඉහළින්ම සහ පහළින්ම සිටි වසරවල් වේ. දේශපාලනය සමග ඍජු සම්බන්ධ කමක් නැතත්, 1996 ද මම මේ ගොඩට ඇතුළත් කෙළේ ඒ නිසාය).
දැන් මට ඔබෙන් විශේෂ අවසරයක් අවශ්‍යය. කතාව ලියන්නේ මා බැවින් අවසරයකින් තොරව හෝ මා කැමති කාල මානයකට හෝ අවකාශයකට ඔබ ඇදගෙන යාමේ අයිතිය මට ඇතත්, මා සුදු වෑන් එකක් නොවන නිසා මේ සටහන තැබීමි. අප යන්නේ වෙනත් සමාන්තර කාල මාන දෙකකටය.
ඒ යුද්ධයකි. වර්ගවාදී සහ ජාතිවාදී ගිනි පුපුරු මතින් හමාගිය තරුණ ජවයේ සහ අහංකාර කමේ සුළං පොද වැදී වර්ධනය වී, අනතුරුව විදෙස් අත පෙවීම් මත මහා දරුණු ලැව් ගින්නක් බවට පත් වෙමින් රටක ඉතිහාසයෙන් තිස් වසක් දවා හළු කළ යුද්ධයකි. තිස් වසක් අවසන ජනතාව අතුරින් පැන නැගී නායකයෙක් ප්‍රතිවාදියා පරාජය කොට මේ යුද්ධය නිමා කරයි.
මේ කාල මාන දෙකක දිවෙන එකම කතාවකි.
මින් එකක් එළාර-දුටුගැමුණු යුද්ධයයි. දෙවැන්න කොටි ත්‍රස්තයන්ට එරෙහි යුද්ධයි.
මා ඔබෙන් අසන්නේ මින් කොයික කොයිකද කියාය. පිළිතුරු දීමට පෙර නැවත සටහන කියවන්න.
මේ දෙක වෙන් කරන්නට ඔබට භාර දුන්නොත්, ඔබ මේ දෙක අතර දකින වෙනස් කම් මොනවාද? අපි උදාහරණයක් ගනිමු: එළාර තලතුනා මිනිසෙකි, දුටුගැමුණු තරුණයෙකි. එහෙත් ප්‍රභා-මහින්ද අතර එවැනි මහා වෙනසක් නැත. අනික එළාර පරදේසක්කාරයෙකි. ප්‍රභා මේ රටේ උපන් එකෙකි. (නැත්නම් ඔහු හැඳින්විය යුත්තේ "ත්‍රස්තවාදියා" ලෙස නොව "ආක්‍රමණිකයා" ලෙසයි. එළාර ආක්‍රමණිකකි. ප්‍රභා ත්‍රස්තවාදියෙකි.) තවත් එහාට යන ඔබට මෙසේද කිව හැක. දුටුගැමුණුට සිය පියා දුර දක්නා නුවණින් තැනු රටක් සහ සේනාවක් විය. මහින්දට එසේ නොවීය. අනික දුටුගැමුණුට සෙන්පතිවරු දහයක් හිටි අතර මහින්දට හිටියේ එකෙකි. දෙන්නාටම සහෝදර සමාගම් වීම ද සැළකිය යුත්තකි.
නමුත් මේ දෙක සැබෑම ලෙස වෙන්කළ හැකි නියම සාධකය මේ එකක් වත් නොවේ, යුද්ධයෙන් පසුව කුමක් වීද යන්නයි.
එකක් අවසානයේ රටවැසියෝ, එළාරගේ පාර්ශ්වයේ සිටි අය පවා, සතුටින් ජීවත් වූහ. අනෙක අවසානයේ මිතුරෝද දුකට පත්ව හිරේ විලංගුවේ ලැග්ගා පමණක් නොව, රටේ බදු බර දෙගුණයකින් ඉහල ගියේය. එකෙක් රටේ ජනතාවට වඳින්නට මහා සෑයවල් තනද්දී අනෙකා කෙළේ පුතුන්ට රේස් පදින්නට රටේ ආර්ථික අගනුවර රෑ තුනක් වසා තැබීමයි.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
දැන් මම ඔබව තවත් මානයකට අරගෙන යන්නෙමි. කාලය වැදගත් නැත. ස්ථානය රජරටය. හරියටම කියනවා නම් සිරි මහ බෝ සමිඳු ඉදිරියේය. අමරදේවයන් සිය අනභිභවනීය ලාලිත්‍යයෙන්, මනෝහර හඬින් "මහබෝ වන්නම" ගැයූ මහා බෝධින්නාන්සේ ඉදිරියේය.ඔබ කරණීය මෙත්ත සුත්‍රය දන්නවාද? එහි මෙන්න මෙහෙම තිබේ:
" ...සියලු සත්ත්වයෝ සුඛිත මුදිත වෙත්වා! කිසිවෙකු අනෙකා නොපෙළත්වා! කිසිවෙකු අනෙකාගේ දුක කැමති නොවෙත්වා! සියලු පණ ඇති සතුන් අතරින් බිය වන්නා වූ, බිය නොවන්නා වූ, දික්, මහත්, මැදි, දැවැන්ත වූ, අණුක වූ, පෙනෙන්නා වූ, නොපෙනෙන්නා වූ, ළඟ වසන්නා වූ, දුර වසන්නා වූ, උපන්නා වූ හෝ මවුකුසක් සොයමින් ඉන්නා වූ, සියලු සත්තවයෝ සුවපත් වෙත්වා! වෛරී සංඥාවෙන් කිසිවෙක් අනිකා දෙස නොබලත්වා! මවක් සිය එකම පුතුන් වෙත මෛත්‍රී කරන්නේ යම් සේද, එලෙසින්ම සියලු සත්ත්වයෝ එකිනෙකා කෙරෙහි මෛත්‍රී කරත්වා!"මේ සුත්‍රය සජ්ඣායනා කරන්නෝද එසේ මෙසේ පිරිසක් නොවෙති. ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ වෙති. කරණීය මෙත් සුතුරෙන් පිරිත් කියමින් ඔවුහු පිරිත් නූල් බඳිති.
පිරිත් නූල් බඳිති.
පිරිත් අසා සිටින සොල්දාදුවන්ගේ තුවක්කු කටේ පිරිත් නූල් බඳිති.
තුවක්කු? මෙත් සුතුර? පිරිත් නූල්??
මෙය මගේ සිතේ පැනනැගි මනෝ විකාරයක් නොවේ! මේ සැබෑම සිද්ධියකි!
අපි වෙනුවෙන් අපි.. මචං පට්ට කෑම!
එහෙත් මේ මාතෘකාව මා යෙදුවේ අර ගීතය සිහිපත් කරන්නට නොවේ: කොළඹ ගංගාරාමය අසල පිහිටි "අපි වෙනුවෙන් අපි" නම් වූ කෑම කඩය සිහිපත් කරන්නටය. මන්ද යත් අද අපේ රණ විරුවන් කරන්නේ කොළඹ පාරවල් සුද්ද කිරීම, ඩෙංගු මර්දනය, මිනිස්සුන්ට ඇවිදින්නට බ්‍රෝඩ්වෝක් තැනීම වැනි වැඩවල ය. කොළඹ නයිට් රේස් මුර කරන්නය.
මේ කොළඹ රේස් වෙනුවෙන් ලියැවුණු අදහසකි.
ගෝල්ෆේස් එකේ
නයිට් රේස් එකට
වැලි කොට්ට අදින
සොල්දාදු මාමේ
මට කියන්
කෝ උඹේ තුවක්කුව?
(කර්තෘ අඥාතයි)
දුටුගැමුණු
අප මිනී මරුවන් ගැන කතා කළ නිසා මේ ටිකද කිව යුතුමය.
ඔබ පිළිගත්තත් නැතත්, දුටුගැමුණු යනු මිනීමරුවෙකි. එහෙත් ඔහු නිකම්ම නිකම් මිනීමරුවකු නොවේ. ජයග්‍රාහකයෙකි. දේශපාලනයේ පළමු නීතිය නම් "ජයග්‍රාහකයා සෑම විටම නිවැරදිය" යන්නයි. බැරිවෙලාවත් යුද්ධයෙන් එළාර දින්නා නම් ඔහු නිවරදි බවට ඉතිහාසය වාර්තා කරනු ඇත.
නමුත් දුටුගැමුණු නිකම්ම නිකම් ජයග්‍රාහකයකු ද නොවීය. පරාජය කලයුත්තේ එළාර නොව, "එළාර මතවාදය" බව ඔහු දැන සිටියේය. එනිසා ඔහු කිසිවිටෙකත් ජය ගැනීමෙන් පසුව ප්‍රතිවාදීන් ගෙන් පළිගත්තේ නැත. ඔහු සිය පිළිමල් එළාර රජුගේ සොහොන මලින් ගඳින් සරසා ගෞරව කෙළේය. එළාර තමාට සතුරෙකු වුවත් ඔහුගේ මිතුරන්ට වීරයෙකි යන සත්‍යය දුටුගැමුණු දන සිටියේය. බැරිවෙලාවත් එසේ නොකර එළාරගේ මිනිය දණින් පහලට තබා මහා පාර දිගේ පරිභව කරමින් ගෙන ගියා නම් සිදු වන එකම දේ එළාර වෙනුවට තවත් එළාර ලා සිය දහස් ගණනක් බිහි වීම පමණි. ඒ අර්ථයෙන් ගත් කල දුටු ගැමුණු යනු නිකම්ම නිකම් වනචාරී වීරයෙකු නොව, ඉතාම විශිෂ්ට, ආදර්ශවත් වීරයෙකි. එසේ වුයේ බෞද්ධ ආභාසය නිසා බවටද කිසිම සැකයක් නැත.
නමුත් එහෙමයි කියා දුටුගැමුණු මිනීමරුවෙකි යන සත්‍යය වසන් වන්නේ නැත.
දෙවන කාරණය නම් දුටුගැමුණු යනු ඉතාම තීක්ෂණ බුද්ධියක් සහිත රාජ්‍ය තාන්ත්‍රිකයකු බවයි. එළාර යනු පරපෝෂියෙකි. ඉන්දියාවෙන් ගුටි කා සිය රාජ්‍ය පෙළපත අහිමි වී ලංකාවට පැනවිත් මෙහි තුබූ අස්ථාවර දේශපාලන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් විසිවසකට අධික කාලයක් රාජ්‍යය කෙළේය. (මේවා අරුම දේවල් නොවේ. මීට පෙර ඉන්දියාවෙන් ආ අශ්ව වෙළෙන්දෝ ද ලංකාවේ රජපුටුවට නැංගාහ. මෙරට රජ පුටුව යනු එතරම්ම අස්ථාවර තැනකි.)
එළාර පරාජය කිරීමට කළ යුතු පළමු දේ ලෙස එළාරට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීම බව දුටු ගැමුණු දන සිටියේය. ඔහු සිය ප්‍රචාරක පාඨය පවා සකස් කෙළේ ඊට අනුරූපීවය. "මගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප ලැබීම පිණිස නොවේ. සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය පිණිසය". යන ප්‍රකාශය සකස් වුනේ ඒ පදනම මතය. එළාර වැනි ඉන්දීය චෝළ පරපුරකින් පැවතෙන පාලකයකු යටතේ බුද්ධ ශාසනය ආරක්ෂා නොවන බවට ජනතාව තුළ පවතී ශාන්කාව ප්‍රබල ජන බලයක් බවට පත් වන්නේ එලෙසය. දුටුගැමුණු බොරු කාරයකු නොවේ. ඔහු පවතින සත්‍යය වාසිදායක ලෙස උපයෝජනය කළා පමණි.
අපේ සමහරුන් මහා හයියෙන් කෑ ගහන "පෙරහරේ යුද්ධ සේනාවට පෙරටුව භික්ෂූන් වැඩියාය" යන ප්‍රකාශය වැදගත් වන්නේ අන්න එකී සන්දර්භය තුලය. භික්ෂූන් වැඩියේ යුද්ධ සේනාවකට ආශීර්වාද කරන්නට නොවේ. මේ යන්නේ යුද්ද කරන්නට බව නොදැනද නොවේ. ඔවුහු දුටුගැමුණු වෙත ජනතාව ආකර්ෂණය කළහ. නමුත් ඒ අද කළා වගේ ඉතාම නින්දිත සහ හිරිකිත ලෙස තුවක්කු බට වලට පිරිත් නූල් බඳිමින් නොවේ.
අප දුටු ගැමුණු ගෙන් උගත යුතු බොහෝ දේ තවත් ඉතිරිව තිබේ. බොහෝ දේ තිබේ. අවාසනාවකට දැන් අපේ රටේ දුටුගැමුණුලා කරන්නේ සමෘද්ධි නියාමකයින් ගස් බැඳීම, ද්‍රෝහී මිතුරන් වෙඩි තබා මරා දැමීම, මාධ්‍ය ආයතන වලට පහර දී කුඩු කිරීම වැනි දේවල් ය.
අපරැක්කේ ආතම්මේ, උඹ කොහෙද?
නයිට් රේස් වලට වැලි කොට්ට ඇද්දෙ එදා රට බේරගත්ත සෙල්දාදුවො. එතකොට ජෙනරල්ලා හිරේ වැටෙනකොට සොල්දාදුවො ගැන කවර කතාද?
ReplyDeleteදැන් ත්‍රිවිධ හමුදාව බලාගන්නෙ මොකාද?
ඔය කියන දුටුගැමුනුවගෙ දරුවෙක්, අර බුද්ධි අංශ පුද්ගලයෙක්ට පහර දීල, කේස් එක ඇදුනාම, බුද්ධි අංශෙ එක්කෙනා කිව්වෙ මට කවුරුත් පහර දුන්නෙ නැහැ කියල. එතකොට කෝ අර නිර්භීත කම? මැරුනත් ඇත්ත වෙනුවෙන් කතා කරල මැරෙන්න දීපු ශක්තිය කෝ උන්ගෙ???
ලියවෙන්නෝනි මේවා බං..
ජය වේවා !
අනිවාර්යයෙන්ම. කතා කළයුතු දේ රාශියක් ඇතත් එක ලිපියක ලිවිය හැකි උපරිම දිගක් තිබේ.. ;)
Deleteදුටුගැමුණු කාලේදී ත්‍රස්තවාදියා කියන වචනේ අපේ වාග්මාලාවේ තියෙන්න නැතුව ඇති. ඒකයි එළාර ආක්‍රමණිකයා වුනේ. ඊටත් වඩා එළාර පිට රටකින් ආපු එකා නිසා අනිවාර්යයෙන්ම ආක්‍රමණිකයා. ප්‍රභා මේ රටේ ඉපදුන එකෙක්නෙ.
ReplyDeleteයුද්ධය ඇති කිරීම, පවත්වාගෙනයාම, නැවත්වීම, (අර පීචං අවබෝධතා ගිවිසුම වගේ ඒවා) නැවත පටන් ගැනීම, ඔය ඔක්කොම තීරණය කරන්නේ දේශපාලන අධිකාරියනේ. සොල්දාදුවා කරන්නේ අණ පිළිපැදීමයි එය මෝඩ කමින් කරන්නක් නොවේ. හොඳ අවබෝධයෙන් කරන්නක්. මොකද සැලසුම් කරන්නේ, පහරදෙන්නේ, පසු බසින්නේ, නැවත පෙරට යන්නේ සොල්දාදුවා. අර වාහෙලා කකපුසානා කර කර ඉඳිද්දී.
අපේ රටේ ත්‍රිවිධ හමුදාව මේ තරම් දේශපාලනීකරණය වූ යුගයක් මීට පෙර තිබුනේ නැහැ. එහි අනිටු විපාක අනාගතයේදී ඒකාන්තයෙන්ම දකින්න ලැබෙනවා. ඒ පාදඩ දේශපාලනීකරණය නිසයි සොල්දාදුවා පඹයෙක් වී ඉන්නේ. යුද්දයක් සඳහානම් සොල්දාදුවා කක්කුස්සි හෙදුවත් කමක් නැහැ. පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න කරන මේ තුප්පහි වැඩ හෙළාදැකිය යුතුමයි. තව අවුරුදු දෙක තුනක් ගියාම මිනිස්සු අහයි මොකද්ද ඊලාම් යුද්ධය කියන්නේ කියලා.
කාටවත් හංගන්න බැරි සත්‍යයක් තියනවා. එය පරම සත්‍යයක්. හංගන්න වහන්න හැදුවට ඒ සත්‍යය කවදාවත් එහෙම මකාදමන්න බැහැ.
ඊලාම් යුද්ධය ජයගන්න බැහැ කියන මානසිකත්වයෙන් ඔය අම්බරු දෙස්පාලුවන්ව මුදාගෙන උන්ගේ චිත්ත ධෛර්යය නියම තැනට ගෙනාවෙත්, යුද්ධය ජයග්‍රහණයෙන් කෙලවර වීමේ සැලසුම හැදුවෙත්, ත්‍රිවිධ හමුදාවම ඒ සැලැස්ම අනුව මෙහෙයවුවෙත්, ජෙනරල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
පළමුව: ලිපියේදී හිතා මතාම සරත් ෆොන්සේකාව හලලා දැම්මෙත් මේ ප්‍රශ්නය මතු විය යුතු නිසාම තමා. මේ කතාව සිහියෙන් කියවන කෙනෙකුට "හිස්තැන්" ගොඩක් පෙනේවි. ඉන් බහුතරයක් හිතා මතා තැබූ හිස්තැන් ය.
Deleteදෙවැන්න: මේ ලිපිය සොල්දාදුවන්ට අගරු කිරීම පිණිස ලීවක් නොවේ. එසේම ඔවුන් පුම්බා උඩ තැබීම පිණිස ලියුවක් ද නොවේ. කතා නොකර තහනම් කරන ලද මාතෘකාවක් එළියට ඇද කතා කිරීම සහ කියවන්නාගේ මොලය තුල ගින්නක් ඇති වීම පිණිස වන ගිනි පුපුරක් පමණි.
රට එක් සේසත් කල රජවරුන් කොටින්ම රාජ්‍යත්වය ගැන මට හිතෙන්නේ වෙනස්ම දෙයක්.
ReplyDeleteරට එක්සේසත් කරපු හෝ රජකරපු රජවරු අතුරින් රටවැසියාගේ පහසුකම්, යහපත, සෞභාග්‍ය, සුභ සිද්ධිය ගැන කටයුතු කරපු රජ්ජුරුරුවෝද කීයෙක් කීදෙනෙක්ද ගැනද අපේ ලිඛිත වගේම මුඛපරම්පරාගත ඉතිහාසයේ පවා තියෙන්නේ.
විදේශ ආක්‍රමන ආක්‍රමන කිය කිය කෑ ගැහුවට ඉන්ග්‍රීසීන් අපිව යටත් කර ගත්තේ නැති නම් අදටත් අපි රජ අණට යටත්ව රජ ඉදිරීයේ "පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස. ගැත්තාට අනුකම්පා කර දරු පැටව් ටික නොතෙමී තියා ගන්න පැල් කොටයක් අටව ගන්න අවසර ආයෝබොන්" කියලා හුස්ම ගන්න එකට ඇර අනෙක් හැම කාරියකටම රජ්ජුරුවන්ගේ ඉදිරියේ වැඳ වැටිලා අවසර ගන්න දීනයෝ ගානට තමා ඉන්නේ.
ඒ වගේ ගෙයක් හදා ගන්නත් රජාගේ අවසරේ ඕන.
නමුත් උලු හෙවිල්ලන්න බෑ මොකෝ ඒක පුලුවන් රජාගේ මාලිගාවට විතරයි.
උසට බිත්ති බඳින්න බෑ.
ලොකු වෙන්න බෑ.
තමන්ගේ ගහක ගෙඩියක් හැදුනත් ළමයින්ට වත් කන්න දෙන්න බෑ රජාට ගිහින් දෙන්න ඕන.
ඔය වගේ දේවල් හිතුවාම විදෙස් ආක්‍රමන නොතිබුනානම් අපි අද කොහේද?
එදා ඉඳන් තිබුනු දීන ගති අතෑරගන්න බැරුව ෆේස් බුක් එකේයි අරෙහෙයි මෙහෙයි පොර ටෝක් දෙන ජාතියක ජාතිමාමකත්වය සැබෑ එකක් වෙනවද මචන් නිවහල් බවට ඇති කැමැත්ත පස්ස පැත්තේ ගහගෙන ඉන්නකොට . . .
කොමෙන්ටුව පෝස්ට් එකට අදාල නැද්ද මන්දා ඔහේ ලියාගෙන ලියාගෙන ගියා . .
අදාළ වුනත් නැතත් පොස්ටුව නිසා, කතා නොකර සිර කරගෙන සිටි වචන සමුදායක් මුදා හැරීමක් සිදු වෙලා තිබෙනවා. ඒ පිලිබඳ බොහොම සතුටුයි!
Deleteඑක අතකට අදාළ නොවේ යයි සිතෙන සමහර කොමෙන්ටු නිසා කතාවේ මූලිකම පදනම වඩාත් හොඳින් ඉස්මතු වී පෙනීමද සිදු විය හැකිය..
තවත් තහනම් වචනයක් ගේන්නම් .. ඇමෙරිකාව. මෙහෙටත් සුද්දා ඇවිත් දාලා ගිය තුවාලයක් තිබ්බ. වහල් ක්‍රමය කියලා. ඒක නම් ඔඩු දුවන්න කළින් ඒක සුද්ද කරලා තුවාලේ හොඳ කරගත්ත. සමහරු පිළිගන්නෙ නැති වුනාට සත්‍ය ඒකයි.
ReplyDeleteඅපරුක්කේ ආත්තම්මා කියපු විදියටම තමයි ඇමෙරිකන්කාරයා එය කළේ. ආවාට ගියාට එහෙන් මෙහෙන් තෝරාගත්තු (random) අදහස් වලින් හදාගත්ත ප්ලෑන් එකකින් නොවේ. නිර්ද්‍යෝෂ (precise) චින්තනයක පදනම් වෙන සත්‍යය තුලින්.
නිදහස යනු කිනම් හෝ කොටසකට පමණක් සීමා වූවක් නොවේ.
කට්ටියක ගෙන් අරගෙන තවත් කට්ටියකට බෙදලා දීලා රටක් සාර්ථක වෙන්නෙ නැහැ. එවිට තර වෙන්නේ දේශපාලනඥයේ මලු විතරයි.
සරල ප්‍රස්තුත දෙකක්. මිනිස් ස්වභාවයට සහ ලෝක ස්වභාවයට අනුව සාර්ථකත්වය අත්කර දෙනවා යැයි ඔප්පු කරන ලද ඒවා.
වැඩිම වුනොත් එක පරම්පරාවකට මේ සත්‍යයන් අමතක වුනාට, වසර 250 ක කෙටි ඇමෙරිකන් ඉතිහාසයේ එය බලයේ ඉන්නා දේශපාලනඥයන්ට මතක් කරලා දෙන්න රටේ වැසියන් නොබියව ඉදිරියට එනවා. එහෙම එන්න හැකි සුදු වෑන් නැති නිදහස පණ වගේ ආරක්ෂා කරන අය ඉන්න නිසා.
යුද්ධෙ දිනුවට ප්‍රභාකරන්ට මිනිස්සු එකතු වෙච්ච හේතුව තවම විසඳිලා නැහැ. ඇමෙරිකාවේ වහල් ක්‍රමය නැති නිසයි මෙහෙ කළු ජනාධිපති කෙනෙක් ඉන්නෙ යන්න දකින්න බැරි අයට ඒක සුව නොවුනු තුවාලයක් යැයි දකින්නත් බැහැ.
පිටත ඉන්නා හතුරෙකුව පෙන්වා ජනතාව බිය ගන්වා බලය තම අතට ගැනීම හැමදාම ලෝකයේ සිද්ධ වූවක්. තමන් අතර ඉන්නා හතුරා කවුදැයි හඳුනාගැනීමෙන් සාමය උදාවෙන බව කියන්න අපරැක්කේ ආත්තම්මා ගේ නිර්ද්‍යෝෂ චින්තනය අදට ගැලපෙන විදියට භාවිතා කරන්නේ කෙසේ දැයි වටහා ගන්න ඕනෑ.
ඉතාම දීර්ඝ ලිපියක් මගින් කිව යුතු දේ අරුණි තනි කොමෙන්ටුවකට කැටි කොට ලියා තිබෙනවා. යම් යම් අදහස් ගැන සහමුලින්ම එකඟ වීම අපහසු වුණත් ඔබ කියන කතාව නම් ඇත්ත. (ඒ වගේම එකත් ඉතාම "තහනම්" මාතෘකාවක්!)
Deleteවෙලාවක අමෙරිකාව සහ ලංකාව අතරත් මෙවැනිම සමාන්තර සැසඳීමක් කරන්නට අදහසක් ලබා දුන්නාට ස්තුතියි!
ඇත්තෙන්ම මමත් ගැස්සිල ගියා මාතෘකාව දැක්කම. ඔබ හරි. යුග දෙකම සමාන්තර කාල මාන දෙකකට අරගෙන එකට ගෙවෙන්න සැලැස්සුවොත් අපි පැත්තකට වෙලා බලා හිටියොත් අපිට මොකක් දැනෙයි ද?
ReplyDeleteඉතාම වැදගත් දෙයක්..... ඇයි අපිට මෙහෙම හිතන්න බැරි?
ඒ වගේම අරුණි අක්කගේ තහනම් වචනය ගැනත් සිතා බලන්න.
මගේ අදහස.
ඔබ ඔහොම කියන කොට මම මෙහෙම කියන්නම් දුටු ගැමුණු මිනීමරුවෙක් විතරක් නෙමෙයි සල්ලාලයෙක්. ස්ත්‍රී දූෂණයකට වන්දි ගෙවන්නෙ තම ජීවිතයෙන්. ඒ පිළිබඳ කතාව අසා ඇතැයි සිතමි.
නමුත් වැදගත් ම දේ ඒක නෙමෙයි. ඔහු ඊට පසු එනම් යුද්දයට පසු කුමක් ද කළේ?
මම හිතන විදියට අපේ රාජ්‍ය වංශාවලියේ පණ්ඩුකාභයට පසු සිටින ජාතිකත්වය පිළිබඳ සිතන එකම නායකයා මෙතුමා. අනික රටේ නියම උරුමක්කාරයන් වන කතරගම ක්ෂත්‍රියයන්, ඉන්දියානු ආක්‍රමණිකයන්, නොයෙක් ගාමිණීවරුන් සියල්ල එකට එකතු කරගෙන වසර දහසක් පමණ පවතින ප්‍රභල රාජ්‍යයක අඩිතාලම ශක්තිමත් කරන්නෙ මොහු. අන්න ඒ නිසා දුටු ගැමුණු මට අද යුගයට වඩා බොහෝ වටිනා වීරයෙක්.
අනිවාර්යයෙන්ම. ඉතිහාසය නැවත සිදු නොවුණත් ඓතිහාසික සිද්ධීන් නැවත නැවත සිදු වෙනවා. ඒ නිසා යම් සිද්ධියක වටිනාකම යළි තක්සේරු කිරීමට ගැළපෙන සමාන්තර උදාහරණයක් අතීතයෙන් සොයා ගැනීම එතරම් අපහසු නැහැ. එකම දේ ඒ පියවර තියන්න බොහෝ දෙනා බිය වීම. හෙවත් ඒ මානසික පිම්ම අපේ සමාජය තුළ "තහනම්" වීම.
Deleteඅප ලියන්නේ මේ තහංචි වැටට උඩින් පැනීමට පාඨකයා උනන්දු කරවනු පිණිසය..
//ඔබ ඔහොම කියන කොට මම මෙහෙම කියන්නම් දුටු ගැමුණු මිනීමරුවෙක් විතරක් නෙමෙයි සල්ලාලයෙක්. ස්ත්‍රී දූෂණයකට වන්දි ගෙවන්නෙ තම ජීවිතයෙන්. ඒ පිළිබඳ කතාව අසා ඇතැයි සිතමි.//
Deleteබූරුවෝ !! මිත්‍යා කතා මෙතනට ඇදගෙන ගැමුණූ රජුට අපහාස කරන්න එපා. දන්න රෙද්ද තමයි.
සහතික ඇත්ත. එදා වීරයන්ට වීරයන් ලෙස සැලකුවා. සතුරටත් මෛත්‍රී කලා.. ඒත් අද ඒ දේවල් ඒ අකාරයෙන්ම බලා පොරොත්තු වෙන්න පුළුවන්ද..? එදා සටන් තිබුනේ මුහුණට මුහුණ ඒ කියන්නේ ෆෙස් ටූ ෆේස් හැංගිලා ඉඳලා ඕන නම් ගලක් පෙරලන්න ඊයක් විදින්න පුළුවන්. නමුත් අද අවි ආයුධත් දියුණුයි. ඒක අවියකින් මියයන පිරිස ඉතා ඉහලයි. ඒ නිසා වෛරයද එදාට සාපේක්ෂව අද ඉහලයි. දෙමළ රජවරුන් යටතෙත් ආතල් එකේ හිටපු මිනිස්සු ටිකක්, ආයෙත් දුටුගැමුණු වීරයන් කර ගන්නා, දෙමළා සිංහලයාට වෛර කරන පිරිසක් බවට පත් වූයේ ඇයි..? අනෙක් කරුණ එදා පාළණ ක්‍රමය නෙමෙයි අද තියෙන්නේ (එදා තිබුන පාලන ක්‍රමයට රට ගෙනයාම වෙනම කතා කරමූ) එදා දස මහ යෝදයන් දුටුගැමුණුට ද්‍රෝහි වෙන්න ගියේ නෑ. ඒත් අද ඇත්තටම මොකද උනේ. විපක්ෂයේ පට්ට ගුලියක් නේද කෑවේ. ඉවසීම දේ තිබුනා නම්. ඉදිරිපත් වෙන්න ඕන ඊළඟ ජනාධිපතිවරණයට. සොල්දාදුවෝ ගැන කතාවේදි. මේ අයගේ රැකියා අහිමි කරනවාට වඩා සංවර්ධනය සඳහා යොදා ගැනීම හොඳයි. මොකෝ නැතුව පඩි ගෙව ගෙවා ඌරන්ට වෙඩි තියන්නය. ඒවා කරා කියලා වීරත්වය නැති වෙන්නෙ නෑ. එයාලා වීරයන් ලෙස සලකන නිසාමයි මිනිස්සුන්ට ඒ ගැන දුක. නමුත් හමුදාවට එක්තරා යුගයක වෛර කලෙත් මේ ජනතාවමයි. අනාගතේ කුමක් වෙයිද කියන්න බෑ. නමුත් සිඳුවූ සිඳුවීම්වල යම් කිසි සාධාරනත්වයක් මෙන්ම. අසාධාරන අවස්තාද නැත්තේ නොවේ.
ReplyDeleteපැහැදිලිවම! රජාගේ වරද පමණක් දකින බොහෝ දෙනාට සෙනෙවියාගේ වරද පෙනෙන්නේ නැත්තේ රජ ඒ තරමටම නරක නිසා විය යුතුය. එහෙත් වැරදිලාවත් රජා පැරදී සෙනෙවියා දින්නා නම් වෙන්නේ ඔයිට වඩා දරුණු මිලිටරි පාලනයකට රට යටත් වීම බව අද බොහෝ දෙනාට හිතෙන්නේ නැත.
Deleteසොල්දාදුවා සංවර්ධන ක්‍රියාදාමයේ සක්‍රිය සංරචකයක් විය යුතුය. එහි කිසිම විවාදයක් නැත. නමුත් රජාගේ පුතාගේ ආතල් එක ගන්නට රටේ අගනගරේ (නමින් හැර අගනගරේ) පාරවල් වසා කාර් රේස් තියන විට ඊට වැලි කොට්ට ඇද්දවීම තුළින් සොල්දාදුවා සංවර්ධනයේ සක්‍රිය සංරචකයක් වන්නේ නැත.
නමුත් එකම එක කතාවකට නම් එකඟ නැහැ මාතලන්. එදා පමණක් නොවේ කවදාවත් පරිපූර්ණ වීරයෝ හිටියේ නැහැ. හිටියේ දේශපාලකයෝ. ඔවුන් තුළින් වීර චරිත හදා ගත්තේ ජනතාව. දෙනෝ දාහක් ඉදිරියේ තමුන්ගේ පතිවත ඔප්පු කරන්න ගින්දර මැද්දෙන් ඇවිදන් ආපු ගැහැණිය, රට්ටුන්ගේ කතන්දර බහට බයේ කැලෑවට පන්නපු රාම, ශුද්‍රයෙක් තාපස කම් කරපු වරදට අමු අමුවේ බෙල්ල කපල මරපු රාම, තාපස ආරාමයක දොරටුව ඉස්සරහදීම සුර්පනඛා නම් රාක්ෂස කාන්තාවගේ නහයත් කණුත් කපල දාපු රාම, දෙවි කෙනෙක් කළේ ජනතාව.
කොමෙන්ටුවේ සඳහන් සියලුම අදහස් වලට එකඟ වෙමි.
Deleteමේක මාතෘකාවට අÞල වෙයිද දන්නෙනම් නැහැ. මම මෙ කියන්නෙ ෙඓතිහාසික කාරනා ටිකක්.
ReplyDeleteදුටුගැමුණු රජතුමා තමන්ගෙ සේනාවට ඉදිරියෙන් භික්ෂූන් වහන්සේලා වැඩමකරවාගෙන ගියෙ ජනතා ආකර්ශණයට වඩා රජරට ප්‍රදේශයේ(එලාරගෙ පාළණ ප්‍රදේශයේ) භික්ෂූන් වහන්සේලා තමන්වෙත ආකර්ශණය කරගන්න. මොකද ඒ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා කැමති උනේ නැහැ එළාර පරාජය කරනවට. ඒකට හේතුව දන්නවනෙ අදට වුනත් ඉතිහාසය තුළ අපි සලකන දෙයක් තමයි එළාර කියන්නෙ නීතිය සහ ධාර්මික බවෙන් අපේ රටේ හිටිය රජවරුනිගෙන් පළමුතැන ඉන්න කෙනා. වැඩිය ඔනෙ නෑ මහනාම හාමුදුරුවො මහාවංශය ලියද්දි පවා එළාරව හදුන්වන්නෙ ධම්මිඛෝ රාජෝ කියල. මේ නිසා රජරට මිනිස්සුවත්, භික්ෂූන් වහන්සේලාවත් එළාරව එලවනවට කැමති උනේ නෑ. මුලින්ම එළාර එලවන්න උත්සාහ කරන්නෙ කාවන්තිස්ස රජතුමා. එතුමා සියළුම දේ ලෑස්ති කළා. රටේ ඛෙදිල තිබුන කොටස් එකතු කරල දසමහා යොදයෙ ඇතුළුව 1110ක සෙනාවක් හදල, සද්ධාතිස්ස ලවා වගා කරවල ආර්ථීකය ශක්තිමත් කරල, තූවාල වෙන අයට බේත් සූධානම් කරල, ඔත්තු බලන්න චරපුරුෂයො යවල හැමදේම ලෑස්ති කළත් හරහට හිටින එකම දේ එළාරට රටෙ මින්සසු ආදරය කරපු එක. ඒ තිබුනු ආදරය නැති කරන්න පුළුවන් උනානම් ලංකාව පළවෙනිට එක්සත් කරන්නෙ දුටුගැමුණු නෙවෙයි කාවන්තිස්ස.මේ විදිහට ජනතාවගෙ විශ්වාසය දිනාගන්න වුවමනා වෙන්නෙ එහෙම නැත්තම් එළාරට පක්ෂව ඉන්න පන්සල් ටික දිනගෙන්න උත්සාහ කලේ අපේම සින්හල හමවට අවශ්‍ය සැපයුම් මාර්ග ශක්තිමත් කරන්න. ඒක කවුරුහරි කපටිකමක් හැටියට හිතනවනම් එක ලොකු වැරැද්දක්. දුටුගැමුණු රජතුමාගෙ තියුනු යුධ ඥානය පාවිච්චි කරල ඒ අභියොගය ජයගන්නව. හැබැයි එක විතරයි දුටුගැමුණු රජතුමා මේ යුද්දෙ වෙනුවෙන් කරන එකම දේ නමුත් ඒක තමා මේ යුද්දෙ හැරවුම් ලක්ෂය නමුත් ඇත්තටම ඉතිහාසයට අනුව මේ යුද්දයෙ වීරය කාවන්තිස්ස. ඒක තමා ඇත්ත.