logo banner

Sunday, November 23, 2014

ජනතාවගෙන් වසං කළ "සටන" මෙන්න | "Satana" (full video of censored political program)

පූර්විකාව (මංජුල සමරසේකර විසිනි)

සිරස අද සටන දේශපාලන වැඩසටහන පැවැත්වීමේන් කලේ ඉතා හොද දෙයකි.

මේ හරහා කරුණු කීපයක් සාක්ෂාත් වුණි. මට තේරුණ කාරණාවලට අමතරව ඔබට යමක් වැටහුණා නම් මෙහි සටහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

1. මහින්ද රාජපක්ෂ යනු තව දුරටත් යුද්ධය මෙහෙයවූ අභීත නායකයා නොව, විරුද්ධ මතවාද ජනතාවට ලගා වීම වැලැක්වීම සදහා නිර්ලජ්ජිතව තාක්ෂණික කඩා කප්පල් කාරි ක්‍රියා සිදු කරවන බියගුළු ගොඩේ බයියෙකු බව බඩේ බත් මෙන් සපථ විය.

(න ජච්චා ගොඩේ බයියා හෝති - කම්මනා ගොඩේ බයියා හෝති)

2. මේ ඡන්දයේ අරමුණ වියරු ඒකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දමා සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමැති පාලනයක් සෘජු හෝ වක්‍ර බලකිරීමකින් තොරව පත්කරගත හැකි වාතාවරණයක් සැකසීම පමණක් මිස රාජපක්ෂ වෙනුවට සිරිසේන පත්කර ගැනීම නොවන බව පැහැදිලි විය.

3. ඉහත දෙවනි කාරණය අනුව කටයුතු කළද, ඒ බව මහජනතාවට සන්නිවේදනය කිරීමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජිත සේනාරත්න යම් ආකාරයක හානියක් පොදු අපේක්ෂක පාර්ශවයට සිදු කළ හැකි බව පැහැදිලි විය.

(මේ නම් අතරට තවත් නම් කීපයක් එක් විය හැකි බව ඉගි ලැබෙමින්ද පවතී, නමුත් ප්‍රභල කථිකයෙක් ලවා මේ පොදු ප්‍රයත්නයේ අපේක්ෂාව අනුව අවශේෂ තනි පුද්ගල චරිතවල ස්වභාවය ගැන තැකීමක් කළ යුතු නැති බව සන්නිවේදනය කළ යුතුව තිබේ)

3. පෞද්ගලිකව මා හටද, තවත් බොහෝ දෙනා හටද ඇති වී තිබූ ප්‍රමුඛ ගැටළුවක් වූ ජනාධිපතිවරණයේදී ජවිපෙහි භූමිකාව ගැන ඉතා පැහැදිලි හෝඩුවාවක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ලබා දෙනු ලැබිණ.

ජවිපෙ තම නිල මතය තවම සෘජුව ප්‍රකාශ නොකළද, රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත ස්වභාවය පැහැදිලි කරන, අන් සියළු පක්ෂවලට වඩා නිර්මාණශීලී ප්‍රචාරක වැඩ පිළිවෙලක් ජවිපෙහි ඉතාම මෑතකදී දියත් කරනු ඇත. ඒ හරහා මෛත්‍රී දිනවිය යුතු බව නොකීවද, මහජනතාව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇත. ජවීපෙ තම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරනු ඇත.

(මේ වැඩසටහන තුළ සිටි ප්‍රතාවත්ම චරිතය බවට පත්වූයේ නිසැකයෙන්ම මෛත්‍රී නොව අනුර කුමාරයි. මෛත්‍රීලාට, රාජිතලාට, රතන හිමියන්ට කෙළ වූ විට මතක් වූ සත්‍ය තර්ජන, අවලාද, මඩ ප්‍රහාර හමුවේ නොබියව, නොසැලී, දිගින් දිගටම පැවසූ අනුර කුමාර සහෝදරයා නැවතත් තම නායකත්ව හැකියාව මනාව ප්‍රදර්ශණය කලේය)

4. මෛත්‍රීපාල සහ රතන හිමි හෙළි කරන ලද කරුණු ඇසුරෙන් ශ්‍රීලනිපයේ සහ සංධාන ආණ්ඩුව ජේ‍ය්‍යෂ්ඨ ඇමතිවරුන් අතර ඇති තද බල පීඩනය ගැන මනාව පැහැදිලි විය. කුමන ආකාරයේ කුමන්ත්‍රණයකින් හෝ රාජපක්ෂ නැවත බලයට පත්වූවොත්, මීළග වසර කීපය තුළ රටපුරා අති භයානක ලේ වැගිරීම් සිදුවන ආකාරයේ මහජන නැගීටීමකට ඉහත කී අමාත්‍යවරුගේම සහයෙන් මාර්ගය විවර වනු ඇත.

5. අවසාන වශයෙන් රාජපක්ෂ පාලනය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් පොදු අපේක්ෂකයා කැපී පෙනෙන තත්වයක් උඩ, අපි මීට සති කීපයකිට කලින් කීවාක් මෙන්, මේ වියරු ඒකාධිපතියා ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි මට්ටමේ මිල අධික තාක්ෂණික උපකරණ, මැර කණ්ඩායම්, කටකතා බලකායන්, සයිබර් ප්‍රහාරකයන්, මාධ්‍ය මර්ධකයන්, සුරා, අල්ලස්, ගණිකාවන්, ජිල්මාට්, රාජ්‍ය දේපල, රාජ්‍ය සේවකයන් ඉදිරි සති කීපයේ සිට භාවිතා කරනු ඇත. මෙය බොහෝ විට ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති භයානකම, දූෂිතම මැතිවරණය බවට පත්වනු ඇත.


( මේ අවසාන කාරණයට බිය වන අයට කියන්නට ඇත්තේ, හැංගිලා ඉන්න ඔබට අනාගතයේ ඔබේ දරුවා ශාප කරනු ඇති බවයි )


සටන සම්පූර්ණ සංවාදය

2014 නොවැම්බර් මස 22වන දින සිරස මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ, එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් Peo TV සහ ඩයලොග් TV මගින් වාරණය කරන ලද "සටන" සම්පූර්ණ දේශපාලන සංවාදය මෙතැනින් නරඹන්න..

Part 1



Part 2



Part 3



Part 4


Tuesday, November 18, 2014

අරලිය මඩුවේ සාදය | Party at Temple Trees

[නිර්මාණ අයිතිය රුවන් නෙළු]



(උදේ 10.00)
සිහල ලියා බොදුනු ලියා
මාව දමා යන්න ගියා
රතන ලියා .... පාටලියා ....
රතන ලියා .... පාටලියා ....
රට සීතල ගඩ්ඩ කොබා
හැම රෙද්දෙ ම ඔළුව ඔබා
නිමවෙයි ගොඩ දැමුම මෙමා
පාටලියා
මාව දමා යන්න ගියා
රට එක් කළ මමය රජු
අද රජ නෙතු කඳුළු බිඳු
ආධාරෙන් උඹත් හැදූ
රතන ලියා
මාව දමා යන්න ගියා
නානසාර ළාඟ හින්දා
ඉවසමි මම දුක නින්දා
උපන් දිනේ මා අන්දා
පාටලියා
මාව දමා යන්න ගියා ....

(රාත්‍රී 10.00)
උඹ අතුරලියේ, මන්ද මෙසේ
මී රැළ සේ යන්නෙ ඇදී
මෑත සයුරෙහී ගිලෙනා
නැවද මම සුදූ ...

උඹලා කත් ඇදලද මම දිනුවේ
විමලා මර්වින් නමටද හිටියේ //
මගෙ පවුල් සමාගම තියෙන තුරා
ඔය මොකා ගියත් නොසැලෙමී මෙමා

උඹ අතුරලියේ .....

අද මෙන් හෙට මහරජ වී හිඳිමි
අඟුරෙන් පාටලියට රිටන් දෙමී //
බොදු බලු සේනාවෙන් ගොඩට යමී
පනිනා මීයන් දැක සිනාසෙමී

Sunday, November 16, 2014

ෂර්ලොක් හෝම්ස් සහ ගොක්කොල සිරි | Sherlock Holmes and Gokkola Siri


කතාව නිර්මාණය දිමුත් මධුශංක නොව රාජ්ගෙ නවාතැන ලියන රාජ් ලෙස නිවැරදි විය යුතුය.
උපුටා ගැනීම සිංහලෙන් Tricks & Tipsෆේස්බුක් පිටුවෙන්  නොව රාජ්ගෙ නවාතැනේ මෙතැනින්...




"සුභ උදෑසනක් මිත්‍රයා"

"හෝම්ස්, පැමිණියේ මා බව ඔබ දැනගත්තෙ කොහොමද?"

"ඔබ පැමිණියේ පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන් නේද?"

"ඔව්, ඒත්......"

"මේකයි, ස්ටේෂන් එකේ තියන අශ්ව කරත්ත වලින් පීටර්සන්ගෙ අශ්වයගෙ සීනුව ටිකක් වෙනස්, ඒක හඳුනගන්න පුළුවන් ලේසියෙන්ම, නෝර්විච් පැත්තෙ ඉඳල එන කෝච්චියෙන් බහින කෙනෙකුට ඉස්සෙල්ලම මුණගැහෙන්නෙත් පීටර්සන්..... ඔන්න නෝර්විච් පැත්තෙ ඉඳල කෝච්චියෙ ආපු කෙනෙක්, පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන්, පෙර දැනුම්දීමකින් තොරව මාව මුණගැහෙන්න හිතාගෙන උදෙන්ම තරප්පු පෙළ නඟිනව, සපත්තුවෙ ශබ්දය අනුව නං මහත්මයෙක්, රහස් පරීක්ෂණ වැඩ වලින් විශ්‍රාම ගිය නිසා අමුත්තෙක් වෙන්නත් බෑ, වොට්සන්-මගේ මිත්‍රය- කාලෙකින් මං මුනගැහෙන්න ආවෙත් නෑ, ඉතිං මට තියන විකල්පය නිවැරදි වෙන්න සෑහෙන්න ඉඩ තියනව"

"හහ් හහ් හහ්.... පරීක්ෂණවලින් විශ්‍රාම ගත්තට හෝම්ස්ගෙ හැකියාව නං එහෙමමයි"

"වොට්සන්, අපි කෑම කන ගමන් කතා කරමු! හඩ්සන් නෝන කෑම ලැහැස්ති කරල ඇති"

"හෝම්ස් ඔබේ අන්තිම පරීක්ෂණය ලියන්න අවසර දෙන්නෙ කවද්ද?"

"වොට්සන් කැමති නම් ලියන්න, ඒත් ඒ ගැන මොනව ලියන්නද? .........කමක් නෑ වොට්සන්ගෙ කැමැත්තක්!"


*****
ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම දැමිනි. ශ්‍රී ලංකාවේදී යම් රහස් පරීක්ෂණ කටයුත්තක් කිරීමේ ආශාවද තිබෙන්නට ඇත.

අප ගුවන් මඟින් ලංකාවට පැමිණ කොළඹ හෝටලයක නවාතැන් ගතිමු. හෝම්ස් හා මා සතියක පමණ කාලයක් සංචාරය කල අතර පුවත්පත් වල තිබූ සොරකම් ඝාතන ආදිය ගැන හෝම්ස්ගේ උනන්දුව පෙර පරිදිම විය. මේ අතර ලංකාවේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආරාධනා කිහිපයකට සහභාගී වීමටද අපට අවස්ථාව ලැබිනි.

"වොට්සන්, මෙහේ අපරාධ එච්චර සංකීර්ණ නෑ, නමුත් අපරාධකරුවන්ගේ ජාලය හරිම සංකීර්ණයි, විසඳීම අපහසුයි"

"ඒ කියන්නෙ හෝම්ස්?...."

"වොට්සන්ට මතක ඇතිනේ මොරියාටි, මොරියාටි නීතියෙන් කොටුකරගන්න අවුරුදු ගානක් ගියා. ඔහුගේ සිවිල් බලයත්, ඔහු වටා සිටි අපරාධකරුවන් අධික සංඛ්‍යාවත් නිසා කෙලින්ම ඔහු හසුකරගැනීම දුෂ්කර උනා. අන්තිමට ඔහු දිය ඇල්ලෙන් තල්ලු කරල දාන්නයි මට සිදුවුනේ"

"සර් ඔබතුමා මුනගැහෙන්න කෙනෙක් ඇවිල්ල ඉන්නව"

හෝටල් සේවකයෙකු අමුත්තෙකු කැඳවාගෙන පැමිණි අතර තවත් අපරාධ පරීක්ෂණයක ලකුණු ඉවෙන් මෙන් මට දැනෙන්නට විය. පැමිණි අමුත්තා අනාරාධිතවම කතා කිරීමට විය.

"හෝම්ස් මහත්තයා ඔබතුමා මේ උදව්ව කරන්නම ඕන.... මෙහේ පොලිසියට කියල වැඩක් නෑ..... උං &%*&*^ ......"

"හරි ඉලන්දාරියා....... මෙහෙන් වාඩි වෙන්න.... කියන්න ඔබේ ප්‍රශ්නය මුල ඉඳල" 

පැමිණ සිටියේ තරුණයෙකි. ඔහුගේ වයස විසි පහක් තිහක් පමණ වෙතැයි සිතිය හැකි විය.

"හෝම්ස් මහත්තයා දවස් දෙකකට ඉස්සෙල්ල මගේ තාත්ත මැරුව.... පොලිසියෙන් මොකුත් කරල නෑ මේ වෙනකල්....."

"බොහොම කණගාටුයි මහත්මයා...... කවුද ඔබේ පියාගේ ඝාතකයා.... කතාව මුල ඉඳල කියන්න"

"මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. අමාරුවෙන් දියුණු වුන කෙනෙක්. අපේ නගරෙ ඔය තත්වෙට දියුණු උනේ තාත්තගෙ ව්‍යාපාර නිසා.... මෑතක ඉඳල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න කල්ලියක් බිහිවුනා. හැම කෙනෙක්ම කප්පම් දීල තමයි පන බේරගෙන හිටියෙ. තාත්ත ව්‍යාපාර වලින් කප්පම් ගෙව්වෙ නැති නිසයි එයාට මැරෙන්න සිදුවුනේ......................."

"කවුද කප්පම් ගන්නෙ?"

"ගොක්කොල සිරී" (සබැඳිය බලන්න)


*****
එදිනම අප පිටත් වූයේ මිනීමැරුම සිදුවූ ස්ථානයටය. පුදුමයකට මෙන්, ඝාතනය සිදුවීමෙන් ගතවී තිබුනේ දින දෙකක් පමණක් වුවද අපරාධයක් සිදුවූ ස්ථානයක් යැයි කිව නොහැකි තරම් සාමාන්‍ය තත්වයට පත්වී තිබුනි.

"මෙතන විනාශ කරල වොට්සන්, මම හිතන්නෙ නෑ අපිට වැදගත් තොරතුරක් හොයාගන්න පුළුවන් වේවි කියල!" හාත්පස බලමින් හෝම්ස් පැවසීය. 

මේ සමඟම හෝම්ස්ගේ ඉල්ලීම පරිදි, ප්‍රදේශය අයත් පොලිස් ස්ථානයෙන් එවන ලද නිලධාරීන් දෙදෙනාද පැමිණියහ.

"සර්, මම සාජන් පෙරේර! මේ පීසී ගුණතිලක! අපේ සර් තමයි එව්වෙ, ඔබතුමාට ඕන උදව්වක් කියන්න....."

"හ්ම්....... පෙරේරා..... ඇයි මෙතන මිනීමැරුමක් වෙලත් ලේ පාරක්වත් නැත්තෙ?" හෝම්ස් විමසීය. 

එකෙනෙහිම පිළිතුරු ලැබුනේ ගුණතිලකගෙනි.

"සර්,.... පැය දෙකක් විතර ගියාට පස්සෙ ඔතන හෝදල දැම්ම! ඒකයි....."

"මොනව! හේදුව? ඔහේලට පිස්සුද? අපරාධයක් වෙච්ච ස්ථානයක තියන සාක්ෂි හෝඩුවාවල් ඔක්කොම විනාශ වෙනවනෙ මනුස්සයෝ!" හෝම්ස්ගේ කටහ‍ඬෙහි තිබුනේ කෝපයකි.

"ඕක මොකද්ද සර්, ජනාධිපති කෙනෙක් පාර මැද්දෙ මරල දාපු වෙලාවෙත් හෝදන්න කලින් තිබුනෙ පැය බාගයයි සර්!"

"මෙහෙමත් බූරුවො!" මට කියවුනේ මවුබසින් වීම භාග්‍යකි! ස්ථානීය පරීක්ෂාව අත්හැර දැමූ හෝම්ස් අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමට විය.

"ධනවර්ධන මුදලාලි වාහනෙන් බහිනකොටම තමයි බයික් එකේ ආපු, මූන වහගත් දෙන්න වෙඩිතියල තියෙන්නෙ.... නමුත් කවුරුහරි කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති වොට්සන්!"

"හරි! මේ තියෙන්නෙ තැන.... මෙතන කිහිප දෙනෙක් ඉඳල තියනව.... මේ තියෙන්නෙ එයාල බීපු සිගරට් කොට.....බීපු ප්‍රමාණය අනුව නම් සෑහෙන්න වෙලාවක් ඔත්තුකාරය මෙතන ඉඳල තියනව වොට්සන්...." 

එහෙත් ලාංකීය නිලධාරියා බාධා කලේය.

"සර්.... මේ හරියෙ ඉන්න කොල්ලො කුරුට්ටො අන්න අර කඩෙන් ගන්න සිගරට් බොන්නෙ මෙතන.... ඒකයි මෙච්චර සිගරට් කොට තියෙන්නෙ..... නැතුව ඔත්තුකාරයගෙ වැඩක් වෙන්න බෑ.... නේද සර්?"

"ඒක එහෙම නං ඒ පැත්ත ගැන වෙහෙසෙන එකත් වැඩක් නෑ වොට්සන්"

"ඔව් සර්..... ලංකාවෙ හැටි ඔහොම තමයි.... අනෙක ඔතන තාප්පෙ ගහල තියෙන්නෙ දුම්බීම තහණම් කියල..... ඒ තැන්වල තමයි සිගරට් බොන්නෙ....."

"හ්ම්! "

පොලිස් නිලධාරීන් දෙදෙනා පිටත්කල හෝම්ස් මා කැටුව "සිගරට්" කඩයට පැමිණියෙමි.

"අපි බලමු වොට්සන් මෙතනින් හෝඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියල!"

එහෙත් අවසානයේ එයද අසාර්ථක විය. හේතුව කිසිවෙකු ගොක්කොල සිරීට විරුද්ධව කිසිවක් නොපැවසීම බැව් සිතාගැනීම අපහසු නොවීය. අප නැවතත් හෝටලයට පැමිණියෙමු. සවස් කාලයේ යලිත් අමුත්තෙකු පැමිණ ඇති බැව් සේවකයා විසින් දන්වන ලදී.

"වයසක ගෑණු කෙනෙක් සර්.... යන්න කියන්නද?" සේවකයා විමසීය.

"එපා එවන්න,...... බලමු වොට්සන් ඒ ගමන මොකද වෙන්නෙ කියල!"

පර්දාවකින් වසාගත් හිස පහතට නැඹුරු කරගත් ඕ යන්තමින් හිස එසවීය, පුදුමයකි! ඇය රූමත් තරුණියකි.....

"හෝම්ස් මහත්තයා.... කරුණාකර ඔබතුමා කරන පරීක්ෂණය වහාම නවත්වන්න..... රහස් පරීක්ෂණ කරන්න ලංකාව හොඳ රටක් නෙවේ.... අන්තිමට ඔබතුමත් අපරාධකාරයෙක් වෙන්න පුළුවන්.... නැත්තං දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්.....මම යනව මෙන්න මගේ කාඩ් එක!"

"මේ මොකද වෙන්නෙ වොට්සන්! එක අතකට ඒ කාන්තාව කියපු කතාව ඇත්ත කියලත් මට හිතෙනව, හැබෑටම බලන්න ඔය කාඩ්පත, ඇයගේ නමවත් බලාගන්න!" මා කාඩ්පත බැලීමි.

"නදීෂා හේමමාලි" යනුවෙන් නමක්ද ලිපිනයක්ද දුරකතන අංකයක්ද එහි විය.

වොට්සන්, මේ ගොක්කොල සිරී කියන පාතාල නායකයට සෑහෙන්න සම්බන්ධකම් ඇති! ඒකයි අපිට අනතුරු ඇඟවීමක් ලැබුනෙ.... දැන් මේ ගැන මගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනව වොට්සන්. අපි හෙට ආයෙත් යන්න ඕන මරණය සිදුවූ ස්ථානයට"


*****
පසුදින උදෑසන ආහාරය සඳහා පිටත් වීමට මත්තෙන් හෝටල් සේවකයා විසින් කාමරයට ගෙනදුන් පුවත්පත් පෙරලමින් සිටියේ හෝම්ස් සූදානම්වන තෙක්ය. එක්තරා පුවතකට මගේ අවධානය යොමුවිය.

"හෝම්ස් මෙන්න ඔබට වැදගත් ප්‍රවෘත්තියක්! පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක්! සැකකරුව ගොක්කොල සිරී!" බාගෙට අඳිමින් සිටි හෝම්ස් ක්ෂණිකව පැමිණියේය.

"කියවන්න වොට්සන්....."

පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි!

"වැල්ලවත්ත පොලිසියේ සේවය කල පොලිස් සැරයන් පියතිලක මහතා ඊයේ රාත්‍රී නිවසේ සිටියදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇත....ඝාතකයා ගොක්කොල සිරී බව සැක කරන...."

"ඇති වොට්සන්.... අපි දැන්ම යමු..... තාම ගෙදර හෝදන්න නැතුව ඇති"

පැය භාගයක් ඇතුලත හෝම්සුත් මමත් පොලිස් නිලධාරියාගේ නිවසට ලඟාවිය. හෝම්ස්ගේ නම, ඒ වනවිටත් පොලිස් ආරක්ෂාව යොදා තිබූ නිවසට ඇතුළු වීමට තරම් බලවත් විය. විශාල වශයෙන් පැමිණ සිටි රූපවාහිනී මාධ්‍යවේදීන්, හඬමින් සිටි පොලිස් නිලධාරියාගේ භාර්යාව සහ දරුවන්ගේ විස්තර ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමේ අවකාශය මඟහැරිනි. කෙසේ වෙතත් පැයක පමණ පරීක්ෂණ කටයුතු වලින් පසු හෝම්ස් සෑහීමකට පත්වූ අයුරක් දිස්විය.

"වොට්සන් අපි යමු. සමහර විට උදේ ආහාරය තාම ඇති!"

එන ගමනේදීද කිසිවක් නොපැවසූ හෝම්ස් නිහඬව ආහාර ගත්තේය. කාමරයට පැමිණ සුරුට්ටුවක් දල්වාගත් හෝම්ස් ඉන් අඩක් පමණ අවසන් කර කටහඬ අවධි කලේය.

"වොට්සන්, ගොක්කොල සිරී අල්ලගන්න තරම් සාක්ෂි මට තියනව කියලයි හිතෙන්නෙ....බලමු! ලංකාවෙ පොලීසියට මොකද කරන්න පුළුවන් කියල! හෙට හවස අපි යනව ගොක්කොල සිරි අල්ලන්න!"

එදින සන්ධ්‍යා භාගයේ චිත්‍රපටයක් නැරඹු අප කාමරයට පැමිණෙන විට රාත්‍රී දහය පමණ විය. ඒ සමඟම කාමරයට පැමිණි හෝටල් සේවකයා යම් පාර්සලයක් හෝම්ස් වෙත දිගු කලේය.

"සර්, පොලීසියෙ මහත්තයෙක් ඇවිල්ල මේක හෝම්ස් මහත්තයට ‍දෙන්න කිව්ව" පාර්සලය හෝම්ස්ට දුන් සේවකයා පිටත් විය.

"වොට්සන්, ලංකාවෙ අපරාධ සිද්ධි සම්බන්ධ පුවත්පත් වාර්තා ටිකක් ලබාදෙන්න කියල මම අර පොලිස් අධිකාරී කෝන්ගොඩ වික්‍රමපාල මහත්තයට කිව්වනෙ.... අන්න ඒ ටික තමයි මේ.... වොට්සන් නිදාගන්න.... මම මේ ටික කියවන්න ඕන...."

"එහෙනං සුභ රාත්‍රියක් හෝම්ස්"

"සුභ රාත්‍රියක් මිත්‍රයා"


*****
පසුදින අවදිවූ මා හෝම්ස්ට කලින් සූදානම් වීමට සිතුවද ඒ වනවිටත් හෝම්ස් කලබලයෙන් මෙන් ලැහැස්ති වෙමින් සිටියේය.

"වොට්සන් ඉක්මන් කරන්න.... පරක්කු වෙන්න වෙලාවක් නෑ.... දැන්ම ගියොත් විතරයි අපිට ගොක්කොල සිරී පන පිටින් අල්ලගන්න පුළුවන් වෙන්නෙ...." 

කඩිනමින් සූදානම් වූ මා හෝම්ස් සමඟ ටැක්සියක නැඟගත්තෙමි.

"ඇයි හෝම්ස්? ඔබ කලින් කිව්වෙ හවස යනව කියල නේද?"

"ඔව් වොට්සන්..... නමුත් ඊයෙ රෑ තුන වෙනකල් අර පත්තර වාර්තා කියවපු මට තේරුනා ගොක්කොල සිරි අල්ලගන්නව නං උදේම යායුතුයි කියල.... නැත්තං අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්!..... වොට්සන්ට මතක ඇති අපි වෙනදට මෙහෙම කඩිනමින් යන්නෙ අපරාධ කාරයෙකුගෙන් අහිංසකයෙක් ‍බේරගන්න..... අද යන්නෙ අපරාධ කාරයෙක් ඊට වඩා අපරාධ කාරයෙකුගෙන් බේරගන්න......"

"ඒ කිව්වෙ හෝම්ස්?"

"යමුකො..... ඩ්‍රයිවර් මහත්තා ටිකක් ඉක්මන් කරන්න"

අප ගොක්කොල සිරිගේ නිවසට යන විට එහි සෙනඟ ටික දෙනෙකු රැස්වී සිටියේය.

"වොට්සන් අපි පරක්කු වැඩියි....."

"ඇයි හෝම්ස් මොකද වෙලා තියෙන්නෙ මට මොකුත් තේරෙන්නෙ නෑ"

"ආපහු යමු වොට්සන්..... කෙලින්ම හෝටලයට....එතනින් එංගලන්තයට......!"


*****
හෝටලයට පැමිණ ලැහැස්ති වූ අප ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානයට ගොඩවී අසුන්ගන්නා තෙක් හෝම්ස් සිටියේ නිහඬවය.

"වොට්සන්.... මම තීරණය කලා රහස් පරීක්ෂණ කටයුතු වලින් විශ්‍රාම ගන්න!"

"මොනව.....!" මට කියාගතහැකි වූයේ එපමණය. වසර ගනනාවක් තිස්සේ දිවා රෑ නොබලා හෝම්ස් සමඟ කල පරීක්ෂණ සිතුවම් පටයක් සේ මගේ මනසෙහි ඇ‍ඳෙන්නට විය. එහෙත් රහස් පරීක්ෂණ නැවැත්වීමට තරම් කලකිරීමක් ඇතිවීමට තරම් සිත් වේදනාවක් හෝම්ස්ට ඇතිවීම මවිතයට හේතුවිය.

"ලෝකයේ එක පැත්තක මේ වගේ දේවල් සිදුවෙද්දි එංගලන්තෙ ඉඳගෙන රහස් පරීක්ෂණ කටයුතු කරන්නත් මට එපාවුනා වොට්සන්..... එදා ගොක්කොල සිරී අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි මම පොලිස් නිලධාරියාගේ නිවසින් සොයාගත්ත.... නමුත් අර පත්තර වාර්තා වල හැටියට නං මේ වෙද්දි ගොක්කොල සිරී ජීවතුන් අතර නෑ!"


*****
බේකර් වීථියේ නවාතැනට පැමිණි අප ගමන් විඩාව මඟහැරෙන තෙක් නිඳාගතිමු! පසුදින උදෑසනින් අවදි වූ හෝම්ස් ළමයෙකුට පැන්ස දෙකක් දී ලංකාවේ පුවත්පත් කිහිපයක් ගෙන්වාගත්තේය.

"බලන්න වොට්සන්.... මගේ අනුමානය හරියට හරි! බලන්න මේ ප්‍රවෘත්තිය"

"දින දෙකකට පෙර වැල්ලවත්ත පොලිස් නිලධාරී ඝාතනයේ සැකකරු වූ සෙත්සිරිගම සිරිමල් හෙවත් ගොක්කොල සිරී ඊයේ පොලිස් වෙඩි පහරින් මියගියේය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු ආයුධ කිහිපයක් සඟවා තිබූ ස්ථානයක් පෙන්වීමට ගොස්, එහි තිබූ තුවක්කුවක් රැගෙන පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව සඳහා පොලිසිය තැබූ වෙඩි පහරින් තුවාල ලබා කොලඹ මහ රෝහලේදී මියගියේය. සිද්ධියෙන් කම්පණයට පත් පොලිස් නිලධාරියෙකුද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අතර ගොක්කොල සිරී මියයාම හේතුවෙන් ඔහු නිසා පීඩාවට පත්වූ ගම්වැසියන් මාර්ගය පුරා රැස්වී කිරිබත් පිස කමින් ප්‍රීති වන අයුරු දක්නට ලැබීය......."

"වොට්සන් මේ සිදුවීම ලියන්න ඔබට අවසර නෑ!"


*****
"ශ්‍රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස්?"

"නැත්තෙත් නෑ.... එදා එද්දි ගෙනාපු කේජී ටිකක් තාම තියනව වොට්සන්!" පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය..

Friday, November 7, 2014

මාලක ආලත්තිය | The Malaka Prayer

මාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්ස‍රහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු.. 



 "ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬගසා වදාරන්නේ, අහස ගුගුරුවාගෙන වර වර, මුහුද දෙබෑ කරගෙන වර වර, පොළොව මිහිකත් දෙදරවාගෙන වර වර, සක්වළ ගල උපුටාගෙන වර වර, ඉරහඳ උගුළුවාගෙන වර වර, ශිව තාන්ඩවේ නටාගෙන වර වර, මෙමා කී බස් අසාගෙන වර වර, පස්මල් පස්විළඳ පස්ගෝරස පස්දූප පස්තෙල් පස්පහන් පස්ආලත්ති විලත්ති පංචෝපහාර දී පූජාකළ මෙමල් යහනට වර වර, ඕං නමෝ මහින්දාය නමඃ, ඕං නමෝ ත්‍රිසහෝදරාය නමඃ, ඕං නමෝ ත්‍රිපුත්‍රාය නමඃ, ඕං නමෝ දෙසියපනහක් අමාත්‍යාය නමඃ, ඕං නමෝ අට අසූවක් ලේකමාය උප ලේකමාය නමඃ, ඕං නමෝ අහවල්සේනාය නමඃ, ඕං නමෝ උලාමාය නමඃ, මෙකී නොකී සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන්නේ.. මා කී කන්නලවුව අසා වදාරා මෙකී නරප්‍රාණියා දෙස බලා සිටින්නේ, මෙකුන්ගේ කන්නලවුව දිව කණින් අසා දිව නෙතින් බලා වදාරන්නේ හොඳා.. මෙකී නරප්‍රාණියා හට කොලම්බනාමනගරප්‍රවරාසන්නගත, ඔටාරා ඩෙල්ට අයත් හෙයින් ඔඩෙල්ය නාමධාරී සළුපිළි කඩේ අබියස සළුපිළි උනා ගැසූ උන් දෙස බලා වදාරා, මෙකුන්ට පහර දුන් උන්දෙලාට දිව සළු දිව යහන් දිව අමුර්ත දිව යානා, දිව සැපත් ලබාදී වදාරන්නේ.. රාජකෝප පිතෘකෝප ආචාර්ය ප්‍රාචාර්ය කෝප මාධ්‍යකෝප ධවලවර්ණ රථාපහරණ ගුටිකෙළි පොලිස්කෙළි හමුදාකෙළි, අස්ථිභග්න දෝස ශීර්ෂභග්න දෝස වෘක්ෂබන්ධන දෝස පක්ෂබන්ධන දෝස, සංධිභේදක දෝස, කෙටුම් දෝස, කැපුම් දෝස, ගැහුම් දෝස, වැටුම් දෝස, ගිලුම් දෝස, ආයුද පෙන්නන්ට යන දෝස, මාංචු පිටින් පීනන්ට යන දෝස යනාදී අට අනුවක් දෝස නව අනුවක් ව්‍යාධි එකසිය එකක් අතුරු ආන්තරා වලින් වළක්වා දී සර්වදෝස සර්වාන්තරා වලින් වළකා දෙන්නේ යහපති දේවනේ බලන්ඩ බලා වදාරන්ඩ රකින්ඩ රක්කවන්ඩ ය කියා බැගෑපත්ව ඉල්ලා හිටින්නේ පස්වාන් දහසකට ආවඩා ආයිබෝවා අයිබෝවා ආයිබෝවා!! "

හා පුතාල දැන් ගෙහුං හරියට සති දෙකක් හැංගිලා ඉන්ට හොඳා.. සති දෙකෙන් ඔක්කොම අමතකයි.. එදාට ආයෙම ඇවිත් බාරහාර ඔප්පු කොරන්ට..

Thursday, November 6, 2014

ෂර්ලොක් හෝම්ස්ට එරෙහිව හිස්.බී. | Mr. Ass Bee vs Sherlock Holmes


(by Chithru de Silva)

මොර සූරන වැස්සේ පාර පනිනා විට, ඇඟේ ළාවට ගෑවී නොගෑවී ගිය ත්‍රීවීලරථයේ රියදුරාගේ මව සහ පියා සිහිපත් කරමින් බේකර් වීදීයේ (නොබෝ දිනකින් මද්දුම බණ්ඩාර හෝ වීර පුරන් අප්පු වීදිය ලෙස නම් වනු ඇත ) නොම්බර 221 කරා පියමන් කෙළෙමි. මා යනවිට හෝම්ස් සිටියේ Assassin's Creed: Brotherhood ගසමිනි. බාගෙට කා තිබූ චිකන් කොත්තුවක්ද පසෙකින් දක්නට ලැබිණි. කෙසේ නමුත් මගේ අන්පේක්ෂිත කඩාගෙන පාත් වීම පිලිබඳ හෝම්ස් හට ‪‎ගාණක්වත් නැති‬ විය. 

'හෝම්ස්...හෝම්ස්? හෝම්ස්!!!'

'කෑවා!! වොට්සන් ආවනං කටපියන් පැත්තකට වෙලා ඉන්නවකො! බලනවා, තමුසේ නිසා Ezio තව පොඩ්ඩෙන් මැරුම් කනවා.'

'ඔහොම ගේම් ගහනකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලද හිතන් ඉන්නෙ? අන්න කොස්ලන්ද නාය ගිහින් මිනිස්සු බැර ගාණක් මිසින්. අපි මොනාහරි කරන්න ඕනෙ!'

'දුකයි තමා. ඒත් ඒ මිනිස්සු ගැන බලාගන්න තොග පිටින් ෆේස්බුක් එකේ ස්ටේටස්, පින්තූර අප්ලෝඩ් කරන සෙට් එකක් ඉන්නවානේ? ඕවාට වැටෙන ලයික්, කෑම බීම වලට පරිවර්තනය වෙලා, ඒ අසරණ ජනතාවගේ දෙපා ළඟට වැටෙනවලු. කොහොමද ආස්චර්‍ය? සම(හරක්) අය කියනවා ඕක වුන පෙර කරපු පින් පවු හේතු කොටගෙන කියලා. ඉතින් තව මොන කතාද?'

මා කරකවා අතහැරියාක් මෙන් විය.

'දෙයියනේ හෝම්ස් උඹට අමු කැවිලද? දැන් අපි යමු. ගිහින් ඒ මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් හොයා බලමු'.

දිගු නිහැඬියාවකට පසු ඔහු එකඟ විය.

'හරි, හැබැයි නවයට කලින් එන්න ඕනේ. අද Breaking Bad පෙන්නනවා.'

මා 'ඔයා හුඟක් වෙනස්වෙලා' ගීතය මුමුණමින්, හොම්ස් සමග මහ මගට පිවිසුනෙමි. 

99 බදුල්ල බස් රථයට ගොඩවුනු අප, පැය පහක් පුරාවට ගිරිය කඩාගෙන හඩා වැලපෙන මී හරක් ගීත අසමින්, අවට සිරිය නරඹමින්, රටකජු පැකට් දෙක තුනක් අනුභව කරමින් සෙමෙන් සෙමෙන් ගමනාන්තය දක්වා ළඟා විය. නමුත් සිදුවූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ සිදුවීමකි. 

'මොකක්ද ඒ සද්දේ?'

'මොකක් උනත් අපිට පාන්ද? පාන් තියා පාන් පෙත්තක්වත් නෑ වොට්සන්'

'නෑ ඉතින් නිකං ඇහුවෙ'

'මම හිතන්නේ එක්කෝ කෙල්ලෙක් අර සාම්ප්‍රදායික ස්ත්‍රී පීඩක චින්තනයට වදින්න කොල්ලෙක්ට තඩි බාලා, නැත්නම් සාදු කියපන් ඩෝ සංවිධානේ මීටිමක්, නැත්නම් වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට හමුදාවෙන් වෙඩි තියෙනවා, එහෙමත් නැත්තම් මී හරක් රංචුවක් ඇවිස්සිලා.'

නමුත් අප දුටුවේ, නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය අයිතාවාසිකම් සුරැකීම උදෙසා පාරට බැස උද්ඝෝෂණයේ නිරත වන 2000කට පමණ අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකි.

'බෙස් ඉ ගෙදර පල'

'නිදහස් අධ්‍යාපනය රැක ගනිවු!'

'හෝම්ස්..ඔයා..' මෙම කලබගෑනියෙන් මදක් දෑස් ඉවතට ගත් මා, හෝම්ස් දෙසට හැරුණු නමුත් ඔහු දක්නට නොලැබිණි. 

බසයෙන් බිමට බැසගත් මා දුටුවේ දණ ගසා පොළොව වඳිමින් සිටි හෝම්ස්වය. 

'මොනාද මනුස්සයො කරන්නේ?' මම විමතියෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙළෙමි.

'ඇයි අපේ ලොක්කා වාහනේකින් බහින බහින සැරේට 'පළමුවත් (මගෙයි ) රට, දෙවනුවත් (මගෙයි ) රට, තුන්වනුවත් (මගෙයි ) රට කියලා පොළොව අල්ලලා වැඳ වැටෙන්නේ? මම හිතුවා ඒක චාරිත්‍රයක් කියලා.'

'නැගිටපන් යකෝ!!' ඇත්ත කියපන්. අර කොත්තුවේ මොනාද තිබුනේ?'

කෙමෙන් කෙමෙන් අප මහා ජනකාය මැදින් ඉදිරියට ගමන් ගත්තෙමු. 

එක්වරම ලොරියකින් බැසගත් නිලධාරින් පිරිසක් ලවුඩ්ස්පීකරයක් ගෙන මෙසේ පැවසූහ.

'නාපු නැති කට්ටිය ඔක්කොම ඉස්සරහට එන්න. අද අපි නොමිලේ ඔගොල්ලො නාවන්න හදන්නේ. ඔන්න ඔහොම පෝලිම් ගැහිලා එන්න. හැබැයි පීනස වගේ තියෙන් එවුන් පැත්තකට වෙලා ඉන්න ඕකේ?'

ඇතිවූ සංතෝෂය හේතු කොට ගෙන රැස්වී සිටි පිරිස හූ කියමින් ප්‍රීති ඝෝෂා නැගුහ.

එක් වරම බවුසර් වලින් වතුර විදීමට පටන් ගත් අතර පිරිස සතුටින් එහෙ මෙහෙ දිව ගියහ. මුළු ප්‍රදේශයම සැණකෙළියක සිරි ගත් අතර ඇතමුන් ලිස්සා වැටී තුවාලද සිදුකරගෙන තිබුණි.

'හෝම්ස්!!! අපි යමු' 

අවාසනාවක මහත. බයිසන් හරකෙකුගේ පෙනුමින් යුත් නිලධාරියෙක් අප දෙදෙනා කුදලාගෙන ජීප් රථයකට දැමූවේය. 

'මහත්තයලා නාලා මදි. අපි නොමිලේ කුණු ටික අතුල්ලා දෙන්නම්'.

හෝම්ස් මා දෙස බලා දිග සුසුමක් හෙලුවේය.

'අද Breaking Bad බලලා ඉවරය් එහෙනන්. රෙද්ද'.

Wednesday, November 5, 2014

ෂර්ලොක් හෝම්ස් සහ අයවැය | Sherlock Holmes and the Budget



(by Charith Randika)

මා හදිසියේම බේකරි වීදියේ වූ හෝම්ස්ගේ නිවහනට ගොඩ වදින විට වේලාව සවස 6ට පමණ විය. මාගේ මිත්‍රයා හාන්සි පුටුවේ ඇල වී දුම් වලාවකින් වැසීගත්වනම බර කල්පනාවක නිමග්නව සිටී.

"හෝම්ස්" මම නිහඬතාවය බින්දෙමි.

"අය වැය බැලුවේ නැද්ද? ටවුන් එකේ රතිඤ්ඤත් පත්තු කරලා තිබ්බේ"

ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නමුදු පිළිතුර ලෙස ලැබුනේ දුගු දුම්රොටුවක් පමණි. ගැඹුරු පරීක්ෂණ සිදුවීම් විසඳන විට හෝම්ස්ගේ මෙවන් හැසිරීම් ඉසේ කෙස් ගනනට දැක ඇති බැවින් මාගේ මිත්‍රයාගේ පරීක්ෂනය ගැන දැනගනු රිසියෙන් මම කාමරය පුරා සක්මන් කලෙමි. ඔහුගේ පසෙකින් වූ ටීපෝවේ සවුකොලයක් මත වූ දේ දැකීමෙන් මා පුදුමයට මෙන්ම දුකට පත් උනෙමි.

" දෙයියනේ හෝම්ස්, අය වැයෙන් මෙච්චර සහන දෙද්දී තමුසෙට දුම්කොලයක් ගන්න සල්ලි නැද්ද ඕයි? මේ මඤ්ඤොක්කා කොළ වේලලා ගහන්නේ?"

මහ හඬින් සිනාසුනු හෝම්ස්, "අය වැයෙන් සහන හම්බු වෙන්න මම තමුසේ වගේ රජයේ සේවකයෙක් නෙවෙයිනේ වොට්සන්" "අනික බං මේ මඤ්ඤොක්කා කොළ නෙවේ. ත්‍රයිලෝක විජයපත්‍ර" මහ හඬින් සිනාසෙමින් ඔහු යමක් පවසන්නට විය.

"එක්කෝ හිනාවෙලා ඕක කියපං, නැත්තම් කියල හිනාවෙයන්, මගුල" මට ඉබේටම කියවිණි.

"හරි හරි, වොට්සන්ට මතකද මම පහුගිය මාසයක් විතර අතුරුදන් වෙලා හිටියා? "

"මොකෝ මට අමතක. මම හැම ඉරිදම වගේ පොලේ ආපු ගමන් මේ පැත්තේ ආව. හඩ්සන් අක්කගෙන් ඇහුවම කිව්වා දැන් දවස් ගානක ඉඳන් ආගිය අතක් නෑ. මාස ගානකින් ගෙවල් කුලී ගෙවලත් නැතුව මාරු වෙලාද කොහෙද කියල"

" ඇති ඇති, වෙලාවකට බලං ගියාම තමුසෙත් ගෑනියෙක්ට හපන්නේ වොට්සන්. අනුන්ගේ රෙදිමයි අපුල්ලන්නේ. ඒක නෙවේ මම ඒ මාසෙම හිටියේ තණමල්විල පැත්තේ"

"අහ් එහෙමද? එහෙනම් ඒ පැත්තේ ගංජා හේන් ඔක්කොම අල්ලලා දෙන්න ඇති."

"පොඩ්ඩක් හිටාන්කෝ බන් පනින්නේ නැතුව මම සීන් එක කියල ඉවර වෙනකං" එවර හෝම්ස්ගේ ස්වරය තරමක් දැඩි වූ බැවින් මම මුනිවත රැක්කෙමි.

"ඒ පැත්තේ ඉන්නවා පුෂ්පේ මුදලාලි කියල ඩයල් එකක්. මිනිහ තමා මල් ලෝකේ මහා බුංගරාජයා ආවේ රොන් සොයා, සඳුන් උයනේ සේ ඉඳිමූකෝ ගී ගයා. ටන නන ටනං නනන් නනන් නනන්..... " පුටුවෙන් නැගිටගත් හෝම්ස් නටන්නට විය. මගේ මිත්‍රයා හොඳටම ට්‍රැක් අවුට් නමුදු කලින් දුන් වෝනින් එක සිහි කරගත් මම ඕ.ටී කිරීමට නොගියෙමි. මද වෙලාවකින් සන්සුන් වූ හෝම්ස් නැවතත් කතාව පටන් ගත්තේය.

" ඔන්න ඔය පුෂ්පේ මුදලාලි කියන මනුස්සයා තමා එහේ ලොකුම මල් බිස්නස් කාරයා."

" ඒ කිව්වේ කතරගමට නෙලුම් මල් යවනවද?" එවර මට නොපැන සිටීමට නොහැකි විය.

" නෙද්දකින් මීමා. නෙලුම් මල් නෙවේ යකෝ. ත්‍රයිලෝක විජයපත්‍ර, ගංජා ගංජා"

මට විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවිය.

" ඉතින් ඒ මනුස්සයා ලඟකදී ඉඳලා යවන ලෝඩ් ඔක්කොම ගැන ගමේ කවුරුහරි එකෙක් පොලීසියට ඔත්තුව දෙනවලු"

"ඉතිං ? "

" ඒ මනුස්සයා මෙහෙට ඇවිත් වැළපෙන්න ගත්තා කොහොමහරි මේ ඔත්තුව දෙන එකාව අල්ලලා දෙන්නය කියලා. ඉතින් මම පහුගිය මාසේ පුරාවටම මහන්සිවෙලා ඔත්තුව දෙන එකාව පුෂ්පේ මුදලාලිට අල්ලලා දුන්නා. ඊයෙත් මුදලාලි මේ පැත්තේ ආපු වෙලාවේ දීල ගිය අලුත්ම බඩු තමා මේ."

"දෙයියන්පල්ලා හෝම්ස් තමුසේ දැන් හොරුන්ටද සපෝට් කරන්නේ?"

"මේ බලනවා වොට්සන්, අපි මැරීගෙන මංකොල්ලකාරයෝ, අපරාධ කාරයෝ අල්ලනවා. මොකද්ද වෙලා තියෙන සෙතේ? කවුරු හරි ඇමති කෙනෙක්හරි මන්ත්‍රී කෙනෙක් හරි මැදිහත් වෙලා උන්ව එලියට දානවා. නීතියක් නැති රටේ අපි අහවල් කෙන්ගෙඩියක්ද ඕයි රකින්නේ? අනිත් එක දැන් ඔය වැඩේ නිසා මිනිස්සුත් තමන්ට මොන වැරැද්ද සිද්ද උනත් කට පියාගෙන ඉන්නවා මිසක් ඉස්සර වගේ අපිව හොයන් එන්නේ නෑ අපරාධ කාරයෝ අල්ලගන්න. අපිත් ජීවත් වෙන්න එපැයි බන්. උබටනම් ඩිස්පැන්සරියක් හරි තීනවා. මට එහෙමවත් නෑනේ බන්. තේ පොල් රබර් තීනවා කියලද? අඩු තරමේ සමෘධිය වත් නෑනේ බන් මට."

" සමෘධිය නෙවේ දැන් ජන සවිය" මම ඔහුව නිවැරදි කළෙමි"

"මොන මගුල හරි"

මගේ හෑන්ඩ් පෝන් ඒකට වයිපරේගෙන් ඇමතුමක් ලැබුණු බැවින් හොම්ස්ගෙන් සමුගෙන යන්නට නැගී සිටියෙමි.

"වොට්සන් " හෝම්ස්ගේ හඬ බාල වී ඇත.

"ඇයි මචං ?"

"බෑග් එකේ තීන බූන්දි ටික දීල පලයන්කෝ"

"කොහොමද බන් දැනගත්තේ"

ඔහුගේ විමර්ශන හැකියාව ගැන පුදුමයට පත් වෙමින් මම විමසුවෙමි.

"උඹ පොලේ එන හැමදාම පවුලට බූන්දි ටිකක් ගෙනියන බව මට හොයාගන්න බැරිනම් මොකටද බන් මම රහස් පරීක්ෂණ වැඩ කරන්නේ."

Saturday, October 25, 2014

භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics



භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන නිමිත්තකි. එදා සිය නිවුණු ස්වරයෙන් රටක් සැනසූ පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ තාර්කික විශ්ලේෂණ වෙනුවට, අද සියල්ල පරදවා මතුව ඇත්තේ මහා කුණුහබ්බ සුත්‍ර දේශනාවයි. මෙකී කුණුහබ්බ දේශනාවලින් යුටියුබ් සිංහල සිංහල ගොසිප් පුවත් නාලිකා පිරී ඉතිරී යන බැවින් ඒවා යළි මෙහි පළකිරීමේ සෙතක් නොදකිමු. එහෙත් පසුගිය දෙතුන් වසර තුළ බොහෝ දේ වෙනස්ව ඇති බව නම් සත්‍යයකි. බොහෝ දේ වෙනස් වුණාට කමක් නැත, බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැතිව කරන්නේ නම්. එහෙත් අහන අහන අත, දකින දකින අත අපට පෙනෙන්නේ බුද්ධ ශාසනය, එතුළම වෙසෙන කඳපණුවන් විසින් කා දමන ආකාරයයි. 

කතාව පටන්ගන්නට පෙර අපි භික්ෂුව කවුදැයි බලමු. භික්ෂුව යනු කවුද? භ + ඉක්ෂු = එනම්, භය දකින්නේ භික්ෂු නම් වෙයි. දකින්නේ වෙන මොන බයක් වත් නොව සසර බය ය. සසර බය දකින භික්ෂුවට වෙන මොන කෙහෙල්මලක් වත් පෙනෙන්ට විදියක් නැත. එවැන්නකු හට දේශපාලනය ද අරකද මේකද මේ සියල්ල වැඩක් නැති හිස් ප්‍රලාප ය. ලොකුම බය ලෙස එහෙම සසර බිය පේන්නෙ නැත්නම් හෙතෙම චීවරය දැරිය යුතු ද නැත. මන්ද ඔහු භික්ෂු යන්නෙහි වචනාර්ථය පවා නොදන්නා බැවිණි. එසේ සසර බිය දකිමින් සසරින් මිදෙන්නට හදන භික්ෂුව ඇරෙන්නට වෙනත් භික්ෂුන් ඉන්නට විදියක් ද නැත. මන්දයත් භික්ෂු යන වචනයේම අර්ථය වන්නේ සසර බිය දකින පුද්ගලයා යන්න නිසා ය. ඉතිං එවැනි පුද්ගලයකු දේශපාලනය කිරීමට යාම මොන විහිළුවක් ද?

භික්ෂුවට පුද්ගලික ජීවිතයක් නැත. එසේ පුද්ගලික ජීවිත ඇත්තේ ගිහියන්ට ය. භික්ෂුව යනු දහදිය මහන්සියෙන් හරිහම්බ කරගෙන කන මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් උපන්නා වූ දෙයින් යැපෙන්නෙකි. භික්ෂුව යනු තම කය උදෙසාවත් ජීවත් නොවන්නෙකි. භික්ෂුව ආහාර ගන්නේ ද, "මේ ආහාරය මාගේ ශරීර ශෝභාව පිණිස, කය පුෂ්ටිමත් වීම පිණිස නොගනිමි, හුදෙක් කෙළෙස් දුරුකර නිවන් දකිනාතුරා ජීවත් වීමට පමණක් ආහාරය ගනිමි" යයි ප්‍රත්‍යවේක්ෂා කොට ය. එවැන්නකු ගිහි ජීවිතයේ අමාරුම ජොබ් එක වන දේශපාලනය කිරීමට උත්සාහ කිරීම කොහෙත්ම හිනා නොයන විහිළුවකි. 

දේශපාලනය කිරීම බෝධිසත්ත්ව ලක්ෂණයක් යැයිද සමහරු අර විහිළුවට උඩින් තවත් විහිළුවක් සපයති. ඔවුන්ට මතක නැතුවාට, සිදුහත් බෝසතුන් පෙරකල ක්ෂත්‍රිය මහාසාර කුලයක ඉපිද, උපතින්ම ලද පුබ්බේ නිවාසානුස්සති ඥාණය හේතුවෙන් පෙර කල රජව ඉපිද මිනිසුන් ගේ අත්පා කපා දඬුවම් කිරීමෙන් කරගත් පාපය ගෙවන්නට සිද්ද වූ හැටි දැක, රජකම කෙරෙහි බියට පත්ව, උපතින් උරුම රජකම එපා කියන්නට බැරිකමට, ගොලුවෙක් බිහිරෙක් සේ රඟපෑ අවස්ථවක් ද ජාතක පාළියේ එයි. රජකම බෝසත් සිරිතක් නම් එසේ කළේ මොන මගුලටද කියා දැන් ඇසිය යුතුය. එසේම, සිදුහත් කුමරුන් පැවිදි වුණේ සත් දවසකින් ලැබෙන්නට නියමිතව තිබුණු සක්විති වත අතහැර බව පූජාවලියේ දැක්වේ. එසේනම් ඔය කියන ලෝකානුකම්පා චර්යාව ඒ විදියට කරන්නට තිබුණා නොවැ.. අපරාදෙ දේ අර දරුවා සහ භාර්යාව අතහැරලා වනගත වුණේ.. අපේ එකෙක් ඒ කාලයේ සිදුහත් කුමරුගේ ඇමතියා වෙලා හිටියා නම් ෂුවර් එකටම කියන්නේ "යන්න එපා දේවයිනි, එක්කෝ සක්විති වත පුරන ගමන් පිළිවෙත් පුරමු, නැත්නම් සිවුරේ ඉඳන් දේශපාලනේ කරමු" කියා වෙන්ටෑ! 

දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු ගතවීම පමණක් නොවේ. සිවුරේ ඉඳගෙන ම ජාතිවාදී අදහස් දැරීමද දේශපාලනයක්ම වෙයි. භික්ෂුව යනු ජාති ගෝත්‍රවාද සියල්ල බිම තැබුවෙකි. භික්ෂුවට ජාතියක් තිබිය හැකිනම් ඒ කවර ජාතියක් ද? ඒකාන්තයෙන්ම ඒ ආර්ය ජාතියම පමණකි. ආර්ය වන්නේ කෙසේද යන්න ගැන අපේ වීරයන්ට පැහැදිලි අදහසක් නැත. වෙලාවකට සියලු උපසම්පදා භික්ෂුන් යයි කියති. වෙලාවකට සෝවාන් වත් වෙලා තිබිය යුතුයැයි කියති. අවස්ථාවේ හැටියට කෙළින පචය වෙනස් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් අංගුලිමාල සුත්‍රයෙන් ලැබෙයි. අඟුල්මල් හිමියෝ අර ගැබ්බර කාන්තාවට සෙත් පතන්නේ, "නැගණියනි, මා යම් දිනෙක ආර්ය ජාතියේ උපන්නාද, එදා සිට..." යනුවෙනි. ආර්ය ජාතියේ උපන්නා යනුවෙන් උන් වහන්සේ අදහස් කරන්නේ මාර්ග ඵල ලැබීම නොවන බව තේරුම් ගන්නට රොකට් සයන්ස් අවශ්‍ය නැත. මේ කියන්නේ යම් දිනෙක තමා බුදුසව්වෙකු වුණා නම් එදා සිට යන අර්ථයෙනි. වැඩිපුර විස්තර පහාරාද සුත්‍රයෙන් දැක්වේ. එහිදී බුදුහිමියෝ පැහැදිලිව මෙසේ කියති. "ගංගා යමුනා අචිරවතී සරභූ යන මේ කවර ගඟේ ජලය මුහුදට ආවත්, එතැන් පටන් එයට කියන්නේ එකම මහා සමුද්‍රය කියා ය. එසේම, සතර වර්ණයන්ගෙන් කවර වර්ණයෙන් පැවිදි වුණත්, පැවිද්දෙන් පසු ඔවුන් හඳුන්වන්නේ එකම ශ්‍රමණ සක්‍යපුත්‍රීය යන නාමයෙන්" කියා ය. වාසි හැටියට බොරු දෙසාබාන හුජ්ජාතිකවාදීන්ට පහාරාද සුත්‍රය පෙන්නන්න බැරි මෙන්න මේ ටික නිසා ය. 

පැහැදිලි මදි ද? කරුණාකර අම්බට්ඨ සුත්‍රය ගන්න. එහි පැහැදිලිව මෙසේ කියවේ. "යමෙක් ජාතිගොත්‍ර වලින් ගටා කතා කරනවාද එවැනි කතාවල් ඇතිවන්නේ මගුල් තුලා වලදී. එහෙම ඉන්න ඒ පුද්ගලයා සසරට බැඳිලයි ඉන්නේ, ඔහු අනුත්තර විජ්ජා චරණ සම්පත්තියේ නම් නෙමෙයි ඉන්නේ". මේ මගේ වචන නොවේ, මේ තථාගත සම්මා සම්බුද්ධ වචනය ය. ඒ අනුව, තාමත් භික්ෂුවට ජාතිගොත්‍ර තිබෙන්නට පුළුවන් කියන උදවියගෙන් "මොන මගුලක්ද" කියා ඇසීමේ කිසිදු වරදක් නැත. මන්ද ජාති ගෝත්‍ර විමසන්නේ මගුලට මිස නිවනට නොවන නිසා ය. 

සමහරු තවත් පියවරක් ඉදිරියට ගොස්, බුදුරජාණන්වහන්සේ ද ජාති ගෝත්‍රවාද අනුමත කළ කතාවක් කියති. ඔවුන්ගේ ජනප්‍රියම උදාහරණය වන්නේ අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවයි. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සුත්‍රය දේශනා කළේ චතුර්වර්ණ අතරින් බ්‍රාහ්මණ වර්ණයම උතුම් වන්නේය කියා සිතා සිටි පුද්ගලයකු හට, එය එසේ නොවේය, ඉතිහාසය ඇසුරින් ගතහොත් වඩා උත්තම වන්නේ ක්ෂත්‍රිය වංශය බව පෙන්වීමට ය. මිසක් බුදුන් වහන්සේ සිය ගෝත්‍රය ගැන පාරම්බෑමක් එතැන නැත. තමා හැදු පිය මහරජුට ද බුදුන් වහන්සේ මුහුණටම කිව්වේ, "මහරජ, ඔබේ වංශය ක්ෂත්‍රිය වංශයයි, තථාගතයන්ගේ වංශය බුද්ධ වංශයයි, මා පිළිපදින්නේ බුද්ධ වංශයේ සිරිතයි" කියා ය. එහෙම කියූ බුදුන් වහන්සේ ආයෙම වෙන තැනක "මගේ ගොත්තරේ තමා උතුම්" කියන්නේ නැත. 

ගොත්‍රවාදීන්ගේ තවත් ජනප්‍රිය උදාහරණයක් වන්නේ විඩුඩභ කුමරුන් ශාක්‍යයන් වනසන්නට යද්දී, ශාක්‍ය දේශසීමාවේ දී බුදුන් වහන්සේ කළ ප්‍රකාශයයි. ශාක්‍යයන් නසනු පිණිස සිය සේනාව සමග ශාක්‍ය දේශ සීමාවට ආ විඩුඩභ කෝසල කුමරු, බුදුන් වහන්සේ කාෂ්ඨක අව්වේ සිටිනු දැක, "වහන්ස, මෙතරම් සෙවණ ඇති ගසක් තිබියදී ඔබ වහන්සේ මේ අවුවේ ඉන්නේ මන්දැයි" විමසු බවත්, "කිඹුල්වතින් හමා එන සුළඟ ඉතාම සුවදායක ය" යනුවෙන් බුදුන් වහන්සේ ඊට උත්තර දුන් බවත්, විඩුඩභ කුමරු ඒ අසා ආපසු හැරී ගිය බවත් සඳහන් වේ. මෙතනදී බුදුන් වහන්සේ අර ප්‍රකාශය කළේ, විඩුඩභ කුමරුන් මහා පාපයක් කරගන්නවා වැළක්වීමට මිසක සිය ඥාතීන් හෝ ශාක්‍ය ගෝත්‍රය කෙරෙහි හෝ වූ අමුතු කරුණාවකින් නොවේ. එයද අර කිසාගෝතමියට අබ සොයන්නට කීවා සේම, චුල්ල පන්ථක තෙරුන්ට අවුවේ සිටගෙන රෙදිකඩක් පිරිමදින්නට කීවා සේම, අංගුලිමාලට "මම නැවතී සිටිමි, ඔබත් නවතින්න" කීවා සේම සම්‍යක් ප්‍රයෝගයකි. මිසක් වෙන ගෝත්‍රවාදයක් ඔතන නැත. 

ඒ කාලයේ ශික්ෂා පද මේ කාලයට ගැළපෙන්නේ නැතැයිද, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් අවකාශ ඇතැයිද සමහරුන්ගේ තර්කය වෙයි. කාලයට අවැසි පරිදි වෙනස්කර ගන්නට බුදුහිමියන් පිරිනිවන් මංචකයේ දී අවසර දුන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වලට ය. ඒ කියන්නේ කුඩා අනුකුඩා සිකපද ය. එහෙත් ඒ කුඩා අනුකුඩා සිකපද කවරේද යන්න අසාගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආනන්ද හිමියනට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එල්ල වූ චෝදනා පහෙන් එකකි, ඛුද්දානුඛුද්දක සිකපද අසා නොගැනීම. එබැවින් බුදුන් ධරමාන කාලයේ වෙනස් කළ සිකපද මිසක, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් ථෙරවාද සම්ප්‍රදායය තුළ එදා මෙදාතුර කවමදාකවත් සිකපද වෙනස් කරගැනීමක් සිදුවී නැත. එසේ කළ හැකියැයි යමෙක් කියන්නේ නම් එය ගල් පැලෙන පට්ටපල් කෙබරයකි. 

භික්ෂුව සිංහලකම පෝෂණය කිරීම වරදක් යයි අප කිසිදාක කියන්නේ නැත. ලංකාවේ බුදුසසුන රැකෙන්නේ සිංහලකම තිබෙන තුරු ය. එබැවින් ශාසනයේ ආරක්ෂාව ගැන සිතා, ගිහි දායකයන්ට අවවාද අනුශාසනා කිරීමේ වරදක් නැත. එහෙත් එය කුල දූෂණය දක්වා යන තැනට නොආව යුතුය. කියන එක වචනයක් හෝ වෙයි නම් එය හුදෙක් බුදුසසුන වෙනුවෙන්ම කියන්නට හැකිනම් පමණක් එසේ කිව්වාට කමක් නැත. බැරිනම් කටවසාගෙන සිටීම වඩාත් උචිත ය. මන්දයත් අග්ගික්ඛන්දොපම සුත්‍රයට අනුව, එසේ නොවන මහණුන් හට ගිලින්නට වෙන්නේ ලොහොගුලි බැවිණි.

Friday, October 24, 2014

රනිල් මාමේ, උඹ මාර පොරකි | Ranil you are such a badass




හිතාදර රනිල් මාමේ,


උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..


දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්‍තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්‍ත්‍රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..
එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..


නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..


මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..

Thursday, October 23, 2014

මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can't?



"මහින්දට බෑ...!"

කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්‍තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්‍ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් සුද්දො ඉස්සරහ ලංකාව වෙනුවෙන් අච්චර කඩ්ඩ වනපු ක්‍රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්‍ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..



ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්‍තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..


දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල? මීට පස්සෙ මාත් කියන්නෙ,


"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්.."

Saturday, August 16, 2014

නලින් මාමා සහ බෑණාවරු | Uncle Nalin and his Nephews

(ප්‍රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)



නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්‍ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.

අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු අවලංගුභාවය මෙතැන සාකච්ඡා නොකෙරේ.) එහි ආරම්භය හැත්තෑ - අසූ ගණන් වලට හා සමහර ඊටත් පෙරට ට්‍රේස් කළ හැකි බව සඳහන් විය යුතුය. නලින් ද සිල්වා මේ බෑන්ඩ්වැගන් එකට පසුව ගොඩ වූ කෙනෙකි. ඉන් පෙර එය පෝෂණය කළ පිරිස බොහෝය.

"ජාතික චින්තනය" යනු හැත්තෑව දශකයේ මැද හරියේ ගුණදාස අමරසේකර විසින් නිර්මිත යෙදුමකි. ඔහු මේ තේමාව යටතේ ඇත්ත පත්තරයට දීර්ඝව ලිපි පෙළක් ලිව්වේය. එවක ඔහුට විරුද්ධ පිළේ ට්‍රොට්ස්කිවාදියකු වූ නලින් එහිදී අමරසේකර සමඟ ඍජුව ගැටුණේය. "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යනු නලින්, අමරසේකරට එරෙහිව ලියූ ලිපියක මැයෙකි. අමරසේකර මේ මාතෘකාවෙන්ම නලින්ට ලියූ පිළිතුරු ලිපි එකතුව පසුව පොත් පිංචක් ලෙස මුද්‍රණය කෙරුණේය. මීට අමතරව අසූවේ දශකයේ මැද හරියේ අමරසේකර ලියූ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු" අපේ කාලයේ "චින්තනකාරයින්ගේ" බයිබලය විය.
"ජාතික චින්තනය පෝෂණය කළ" තවකකු නම් ජී. අයි. ඩී. ධර්මසේකරය. පරණ (1971) ජේ. වී. පී. කාරයකු වූ ධර්මසේකර ඔහු මාක්ස්වාදයට විකල්පයක් සේ දුටුවේ ජාතික චින්තනයයි. ලිපි කිසිවක් මට වෙසෙසින් මතක නැතද ඔහුද දිගින් දිගටම ඒ ගැන ලියූ කෙනෙකි. 1994 මහ මැතිවරණයේදී නලින් හා ධර්මසේකර දෙදෙනාම මහජන එක්සත් පෙරමුණු ටිකට් එකට පිළිවෙළින් පානදුර හා බණ්ඩාරගම සංවිධායකයින් සේ කළුතර දිස්ත්‍රික්කයට තරග කළහ. ධර්මසේකර හැම තැනම කිය කියා ගියේ "මම චන්ද හද හද යනවා, එයා (නලින්) චන්ද කඩ කඩා යනවා" කියාය. අවසානයේ සත්‍ය වූයේ එහි පරස්පරයයි. පානදුරින් නලින් චන්ද 4,000 ක් පමණ ගනිද්දී බණ්ඩාරගමින් ධර්මසේකර ගත්තේ ඡන්ද 1,000 කට කිට්ටු සංඛ්‍යාවකි. මෙය මේ දෙදෙනාම ඍජු දේශපාලනයට එක් වූ අවසාන වතාවය.

සුළුවෙන් දායකත්වය දුන් නම් කිහිපයක් අතැර ඊළඟට මම ලොකු දායකත්වයක් දුන් පුද්ගලයකුට පනිමි. නලින් ද සිල්වාගේ වත්මන් බෑනාවරුන් සමහරවිට අසාවත් නැති ඔහු ආචාර්ය සුසන්ත ගුණතිලකය. සුසන්ත ගුණතිලකගේ Crippled Minds හා Aborted Discovery පොත් දෙකෙහි අද නලින් ද සිල්වා හා බෑනාවරුන් කිය කියා යන බොහෝ දේ තිබේ. Crippled Minds යටත්විජිතවාදයෙන් ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල චින්තනය උඩුයටිකුරු වූ සැටි කියන පොතකි. Aborted Discovery යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මේ රටවල තිබුණු දැනුම් පද්ධති හා තාක්ෂණය විස්තර කරන පොතකි. පොත් දෙකම සීරියස් පර්යේෂණ ග්‍රන්ථය. (එකඟ වීම නොවීම ඔබ සතුය.) මේ දෙකම මම විදුසර ලිපි කිහිපයක් පිණිස පරිශීලනය කොට ඇත්තෙමි. පළමුවැන්න නම් මේ ලියන මොහොතේද අත ළඟින්ම ඇත. Aborted Discovery විදේශීය මුද්‍රණයක පිටපතක් සොයා ගන්ට ලැබුණේ (සාමාන්‍යයෙන් දේශීය ලේඛකයින්ගේ පොත් නොතිබුණු) බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයෙනි. එය මේ පොත් වලට තිබුණු පිළිගැන්මට නිදසුනෙකි.

මගේ මතකයට එන අවසාන නම (අද රාවණාවාදියකු වී ඇති) සූරිය ගුණසේකරගේය. හිටපු සිවිල් සේවකයකු වූ සූරිය ගුණසේකර දිවයින බදාදා අතිරේකයට ලියූ "ලන්ඩන් ගිය බණ්ඩා" ඒ යුගයේ ජනප්‍රිය ලිපි පෙළක් විය. කෙළින්ම නොපළ කළද නලින් තුළ මේ ලිපි පෙළෙහි ජනප්‍රියතාවය ගැන වූයේ එක්තරා අන්දමක ඉරිසියාවකි. එහි කියැවෙන කාරණා පට්ටපල් බොරු බව ඔහු නිතර පෞද්ගලික සංවාද වලදී කිව්වේ "අපිත් ඉතින් ලන්ඩන් ගිහින් නැතුවයැ" ශෛලියෙනි. මීට අමතරව මගේ මිතුරකු සූරිය ගුණසේකර සමඟම කළ සංවාදයක් ලිපි පෙළක් හැටියට ඩී. ජී. හපුතන්ත්‍රී නමින් දිවයිනටම ලියුවේය. (ආරූඪ නාමයකින් පෙනී සිටීමට ඔහුට ඇති අයිතිය සලකා ඔහුගේ නම හෙළි නොකරන අතර ඔහුට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමෙන්ටුවකින් දක්වන සේ ඇරැයුම් කරමි.) මේ නම් දෙකම මතක් වූයේ නලින් මෑතකදී ඔවුන් ගැන කළ සඳහනක් නිසාවෙනි.

මීට අමතරව ජාතික චින්තනය කියන ඊනියා මතවාදයට දායක වූ තවත් බොහෝ දෙනා සිටිය හැකිය. ඔවුන් ගැන විශේෂයෙන් පර්යේෂණ කරන්නට තරම් කැක්කුමක් හෝ ඉසඹුවක් මට නොවේ. ඉහත විස්තර හුදෙක් මේ මාතෘකාව ගැන සංවේදී පුද්ගලයින් වෙනුවෙන් මගේ මතකය අවදි කිරීමක් පමණය.

Tuesday, August 12, 2014

පිංබර ඇසළ පොහොයක්!

(පසුගිය වසරේ ඇසළ පොහෝ දිනයේ අපේ වත්පොත් පිටුවේ පළකරන ලද ලිපියකි. පළකරන්නට සිටියේ පොහෝදින ය. ප්‍රමාදය පිළිබඳ අපේ කණගාටුව.)



"දේවයන් වහන්ස, දරුවගෙ පලාපල ගැන කියල ඔබ වහන්සේට මා දුන් අවවාදය ගැන ඔබ වහන්සේ තැකීමක් කරල නැහැ වගෙයි.. "

"ඒ කිව්වේ ගුරුතුමනි?"

"මේක එසේ මෙසේ කේන්දරයක් නෙමෙයි. වාසනාව අවාසනාව දෙකම දෝතින් අරං උපන් මහා ගුප්ත කේන්දරයක්.. මම කිව්වා වගේම දරුවා ඉපදීලා දවස් හතෙන් මෑණියෝ අභාවප්‍රාප්ත වුණේ නැද්ද? සුළුවෙන් හිතන්න එපා! මේක සක්විති රාජයෝග සහිත කේන්දරයක්..! මේ දරුවා හරියට හැදුවොත් මුළු ලෝකයම අපේ ජාතිය යටතට පත්වෙනවා..! නරකට හැදුවොත් මේ දරුවා මැරෙන්නේ අන්ත අසරණයෙක් වගේ..! ඔබතුමා මේ යන විදියට ගියොත් වෙන දේත් කියන්නම්..! මේ දරුවා කසාදෙත් කඩාගෙන පිස්සෙක් වගේ එක එක අන්‍යාගමික කල්ලි වලට අහුවෙලා නන්නත්තාරේ ගිහිං අන්තිමට ඔබේ ඇස්පනාපිටම මේ නගරේ මේ මැදුරට යන පාරෙම හිඟා කනවා..! මතක තියාගන්න දේවයිනි මම කියපු දෙයක් වැරදිලා නැහැ!"

****

"සොයුරිය මොකද්ද මේ වැඩේ තේරුම? ඇයි මේ මනුස්සයට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම තේරෙන්නෙ නැත්තේ? අපේ රට ජාතිය තීරණාත්මක බල අරගලයක මැද්දේ ඉඳිද්දී ඒ වෙනුවෙන් කරන්න දහසකුත් එකක් දේවල් තියෙද්දී නිමක් නැති දර්ශනවාද වල එල්ලිලා ඉඳල හරියනවද?"

" ඒ ඔහුගේ හැටි, මලණ්ඩි.. ඔහු කොහොමත් අපට වඩා දුර හිතන කෙනෙක්..ඔහුගේ ගමන දේශපාලනය නොවේ."

"අක්කණ්ඩි මම එකක් කියන්නම්..! ඔය මනුස්සය යන ගමන වෙනස් කරගත්තේ නැත්නම් දවසක තමන්ගේ උරුමයත් නැතිකරගෙනයි නවතින්නේ.. උරුමය පැත්තකින් තියන්න..! මට නම් පෙනෙන්නේ නැහැ ඔහු ඔබට ආදරය කරන බවකුත්..! ඔහු ඔය ඊනියා දර්ශනවාද ගැන හොයන්න ගිහිං දවසක ඔබවත් අතෑරලා ගියොත් මොකද වෙන්නේ?"

"දෙව්දත් මලයණ්ඩි, ආදරය යනු අයිති කරගැනීම ම නෙමේ.."

"මට ඔබත් එක්ක කතාකරලා දිනන්න බැහැ.. ඔබත් හොඳයි සිද්ධාර්ථටම.. හැබැයි යසෝධරා මම එකක් කියන්නම්.. රට ජාතිය වෙනුවෙන් ශාක්‍ය වංශය වෙනුවෙන් ඔහුට කරන්න යුතුකමක් තියෙනවා.. එන ඒ යුතුකම ඉෂ්ට කරන්න ඔහුට සිහි ගන්වන්න.. මම යනවා.."

****

"ඔය මනුස්සයට මුල මතක නෑ අස්සජී.. මම නම් අන්තෙටම කළකිරිලා ඉන්නේ.."

"ඔබ පමණක් නොවේ ඇවැත්නි, ඔබ වගේම හිතන තව බොහෝ දෙනෙක් ඉන්නවා.."

"ඒ බොහෝ දෙනා වගේ නෙමේ අස්සජී මම. එදා උන්නාන්සේ ගේදොර අතෑරලා අස්සයයි ඇඳිවතයි පමණක් ඇතුව මාලිගයෙන් දොට්ට බහිද්දී ඔය එකෙක්වත් හිටියේ නැහැ ළඟ.. මේ ඡන්න ඇමති නොහිටින්න එදා උන්නනාන්සේ අබිනික්මන් කරන්නේ නැහැ.. කොටින්ම සිද්ධාර්ථ කියන්නේ වයස තිහ කිට්ටු වෙනකනුත් මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක්, භික්ෂුවක් දැකපු කෙනෙක් නෙමෙයි.. මමයි ඔහුට පළමු වතාවට වයසට යනවා කියන්නේ මොකද්ද, ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද, මැරෙනවා කියන්නේ මොකද්ද, පැවිදි වෙනවා කියන්නේ මොකද්ද කියල කියාදුන්නේ.. අද මේ උඩින් පාත් වෙච්ච මිනිස්සු සාසනේ ලොකු මිනිස්සු වෙලා.."

"ඡන්න ඇවැත්නි, ඔබ දැකපු දේවල්ම තමා ඔහුත් දැක්කේ.. නමුත් ඔබ ඒ දේවල් වටහාගත්තේ නැහැ, ඔහු ඒ දේවල් වටහාගන්න උත්සාහ කළා.. අන්න එතනයි වෙනස..හැකිනම් වටහාගන්න."

****

"ස්වාමීනී, මේ අන්‍යාගමික කල්ලි වලින් ඔබ වහන්සෙට එල්ල වන ස්ත්‍රී දූෂණ චෝදනාව නිසා නුවර වැසියා අප කෙරෙහි බොහොම කේන්තියෙන් ඉන්න බවයි පෙනෙන්නේ.. දානෙකට පින්ඩපාතෙකට වත් දොට්ට බහින්න හැකියාවක් නැහැ.. අපි මේ නුවර අතෑරලා වෙනත් නුවරකට යමු ස්වාමීනී.."

"තථාගතයෝ චෝදනා වලින් සැලෙන්නෝ නොවෙති ආනන්දය.."

"එහෙමනං අඩුම ගානෙ මේ අන්‍යාගමික කල්ලි වල තීර්ථකයන් සහ නිඝණ්ටයින් නගන චෝදනා වලට අපි නිර්භයව පිළිතුරු දෙමු.. අප නිවැරදියි නම් ඇයි අපි සැඟවෙන්නේ.. අපි පාරට බැහැලා මිනිස්සුන්ට කතා කරමු.."

"දවස් හතයි ආනන්ද, දවස් හතයි.. තථාගතයෝ විවාදකයෝ නොවෙති..මේ සියලු දේ දවස් හතයි.. එතෙක් ඉවසන්න.."

****

"පුණ්ඩරීකං යථා වග්ගු - තොයෙන නූපලිප්පති
නූපලිත්තොම්හි ලොකෙන - තස්මා බුද්ධො'ස්මි බ්‍රාහ්මණ"

"මඩෙන් උපන් පියුම මඩෙන් ඉහළට මතුව, මඩ ගා නොගෙන ඉහළට නැගී සිටින්නේ යම් සේ ද, මමද ලෝකයා නමැති මඩ ගොහොරුව මැදින් ඉපිද, ලෝකයා ගේ කෙළෙස් මඩ තවරා නොගෙන සිටින්නෙමි; බ්‍රාහ්මණය, එසේ හෙයින් මම "බුද්ධ" නම් වෙමි.

****

ගාගත් මඩ සෝදාගන්නටත්, ගැසූ මඩ වලට සමාව අයදින්නටත්, මඩෙන් තොර සැනසිල්ලක් ලබන්නටත් හේතු වාසනා වන පිංබර ඇසළ පෝ දිනක් වේවා!

Monday, August 11, 2014

මහා අබසරණ ජාතකය | Aba Saranayi Yako!


(ප්‍රබන්ධය එකා යකා විසිනි.)

තවදැ එක් සමයෙක්හි මොහොල් ගස් පැළවනාහ. පැළවුණාවූ මොහොල් ගස් මස්තකයෙහි කැදැළි තැනූ ධවල කපුටුවෝ අං ඇති ගැරඬින් හා සහවාසය කරනා හ. එකල්හි මිහිඳු රජපසයා කනිටු සොයුරු ගොටුඅබයා කල්පනාවෙහි නිමග්නවැ වසන්නේ "මෙවන් වූ භීම සමයෙක්හිදී දැ නොවතු නම් කවර කලෙක මා රජසබයටැ ගිය මනා වේදැ?"යි සිතා මෙ පවත් එසැණෙහිම සසිරි බර මෙ සිරිලක දනව්වක් පසල් දනව්වක් පාසා පතුරුවනු පිණිසැ ස්වකීය වන්දිභට්ට වූ අනඳ ජයසීහයා ලවා 'ද්වේශය' නම් වූ තල් පතෙක් කරවනා හ.

මිහිඳු රජපසයානෝ උදෑසනක් සේ මැ අවදිවැ ස්වකීය සැත්තෑ වයස් වූ තාරුණ්‍ය රැකැගනු වස් පසළොස් යොදුනක් වීථි සංචාරයෙහි නිරතවැ පැමිණ වීල, බාර, ඩම්බෙලයන්ගෙන් සන්නද්ධවැ කයවඩනාරාමයෙහි දෙපැයක් බවුන් වඩා පාතරාසය පිණිස බොජුන් ගෙයට වැඩම කොට අත් පිස්නා පිණිස තල් පතෙක් සොයන්නේ ගොටුඅබයාගේ 'ද්වේශය' තල්පත දකිනා හ. "ඉදින් මා රජසබයට එත් නම් ඒ හුදෙක් මා දෙටු සොයුරු මහරජාණන් ඇරැයුමින් පමණක් මැ වනාහ" යනුයෙන් වූ ගොටුඅබයාගේ පාණිය දැකැ මහත්සේ සොයුරු පෙම් උපදවා මේ කෙරෙහි තීරණ කරනු වස් රජසබයට ඉහළින් පිහිටුවා ලූ වරිග සබය කැඳවනා හ.

චාමලයා යැ, නාමලයා යැ, බැරිසිලයා යැ ආදීන් හා උන් සියල්ලට මැ හා රජපසයාට මැ මුත් අධිපතිනී සිරන්තියාගෙන් දැ සමන්විත වරිගසබාව මස්තකයෙහි ගොටුඅබයාගේ 'ද්වේශය' එළිදැක්වූ කෙණෙහි මැ සිරන්තියා පුපුරා හැලී "ස්වාමීනි, තොප තොපගේ දරුවන් ගැනැ නොසිතනා නියාදැ" යි නේක විප්‍රකාරයන් බෙණෙමින් හඬාවැටෙන්නී රජපසයාගේ දහසක් පුෂ්ප විකසිත කරවන්නී යැ. එකල්හි විපසෙන් කිණ්ඩි ලත් ඇමැත්තෙකු සේ මහත් වූ කෝපයෙන් දැවෙනා රජපසයාණෝ "නීච ස්ත්‍රිය, මා දරුවන් ගැනැ නොසිතූ නියා නම් මෙකල්හි තී වැළැලූ තන් හි පැළවුණු නෙරළු ගස් කපා පරාළ දැ ඉරූ නියායැ. යව යව මා දෑසට නොපෙනී මෙතැනින් නිකම යා!" යි ආක්‍රෝශයෙන් පරිභව කෙරෙමින් එළවනා හ.

ඉදින් වරිගසබය එසේ නිසල වූ පසුවැ රජපසයාණෝ බැරිසිලයා අමතන්නේ, "කිමද මලණ්ඩ, ගොටුඅබයා ගෙන්වමෝදැ" යි විමසනා හ. 'මූ මා ළපැටි කල පටන් මා අතැ වූ කැවුමක් විනම් මා හඬව හඬවා මුත් උදුරා කෑ එකායැ. බාලයා සේ මැ මූ කපටයා වනා යැ. මා පතට කෙළනට මෙවර නම් නොදෙමැ' යි තරයේ සිතා මුත් මේ දැන් සෝවාන් වූ කලෙක මෙන් හැලප වතෙක් මවා ගෙන බැරිසිලයා බෙණෙන්නේ, "අයිය, ලක්සුමන කිරිඅලයා පැවැසූ සේ මැ සංග්‍රාම නම් ඕනෑම වෘෂභයෙකුහට කළ හැකි දෑ යැ. සංග්‍රාම කිරීමෙන් පමණෙක් මැ පණ්ඩිතයෝ නොවෙනා හ. මූ රජසබයෙට ඔබී දැයි වෙනත් පැණයෙක් විචාරා දැනැගම් හ" යි පවසනා හ. "වන්නාටයැ, එසේ වී නම් තොප මැ පැණයෙක් සිතා උහු විමසුව. නොපමාවැ අපටදැ දැනුම් දෙව මලඬ.. " යි වදාරා රජපසයාණෝ හදිසි වරිගසබය තුටින් විසුරුවනා හ.

මෙපවත් මෙසේ වනැ අතුර යාන බැලීමෙහි කෙළ පැමිණියේ හෙයින් ස්වකීය වූ දෙටු සොයුරා වුව නොහරණා ගොටුඅබ තෙමේ වෙහෙර රුක් මැඳුරෙහි පියස්ස මස්තකයේ යාන බැලීමෙහි රඳවා තුබූ මූෂිකයෙකු අතින් පෙරකී අටකන් මන්ත්‍රණය පිරිසිඳ දැනැපියා ස්වකීය බිළාල රැවුලු විදහා මඳහස පා ස්වකීය ගොට්ට අල්ලන්නා වූ සවනිඳයා කැඳවනා හ.

එසේ කැඳවා, "එම්බා සවනිඳය, මුහු මා ගොටුඅබයා බැව් නොදත් නියා යැ. පැණ ඇති කැරුමෙහිදැ විසඳුමෙහිදැ මා හැර සමත් යමෙක් මේ මඟුල් සක්වලැ නොවනා හ. මුහු මා විමසීමෙහි ගියේ අද පමණෙක් නොවේ, මින් පෙර දැ මා විමසීමෙහි ගොස් මුහු ඇණැ ගත් නියා යැ" පවසනා හ.

"පස්වාන් දහසකට බුදු වන්නා වූ ගොටුඅබයාණෙනි, අප කෙරේ අනුකම්පායෙන් එකී පවත් වදාරණ සේක්වා" යි සවනිඳයා බැගෑ වන්නා වූ සඳ "එසේ වී නම් අසවැ"යි පවසා 'මහා අබසරණ ජාතකය' උහුහට වදාරණා හ.


***

එක් දුර්භික්ෂ සමයෙක හඹුතොඨ්ට නම් පසල් දනව්වෙහි ගොවියකුට දාවැ පරිසි මහිනිඳ නම් වූ ගැමි කොළුවකුට මළණුවැ අබය නම් කුමරුවෙක් ඉපදෙනා හ. මුහු තෙමේ නිසි වයස් පැමිණි කළ ව්‍යාඝ්ර ගෝත්‍රිකයින් හා යුද පිණිසැ රාජ සේවයට බැඳුනා හු හෙද එකල්හි රාජ්‍යය කෙරෙනා රජුට හා මහසෙන්පතින් කෙරෙහි කළකිරී සිතන්නේ 'මුහු මහට රිසි පරිද්දෙන් යුද නිමැ කෙරුමටැ නොදෙත් ල, ඉදින් තවදැ මුහු කෙරේ ළතැ වී පල නොදෙන්නේ නික්ම යමැ" යි සිතා මහසෙන්පතිට ප්‍රේත ගොටුවක් යවා අමරික්ඛ දේශයටැ පැන යනා හ. ඉන් පසුවැ පාළොස් වසෙකින් සිය සොයුරු පරිසියා රජ වූ කළැ යළි සසිරිබර මෙසිරි ලකටැ එළඹෙනා හු ගොටුවෙක් යවා පැන ගිය ගිය හෙයින් 'ගොටු අබයා' නමින් පරසිඳු වනාහ.

මේ ගොටු අබයා පැමිණ "අයියණ්ඩිය, බිය නොවව. යුද කෙරෙනා සැටි මම් පෙන්වමැ"යි පවසා සේනා රැස් කෙරෙන්නේ මහත් සේ රුධිර ගංගා පතුරුවා සේනා විහිදුවා යුද ජය ගන්නා හ. පසු කළෙක එවකට මහසෙනවියා වැ හුන් සරත පොනසිකයා දඟ ගෙයි ලවා සිය ගැත්තා වූ සදපෙම නම් කුලී ලියන්නෙකු යොදවා 'ගොටු යුදය' නම් පුස්තකයෙක් කරවා රණකෙළියෙහි සියළු ගෞරවය තමන් නමට මැ හරවනා හ. එතැන් පටන් නගරාලංකරණයෙහි උත්සුක වන්නාවූ අබයාණෝ ඇතුළු නුවර සියළු දුගියන් පළවා හැර, සත්මහල් ප්‍රාසාද තනවා, නෙක පුෂ්පෝද්‍යාන පොකුණු දිවුම් පෙත් ආදියෙන් සරසනා හ. මෙසේ තමැ කිත් යසස සසිරිබර එසිරිලක පුරා පතුරුවා ලූ පසුවැ අබයාණෝ සිතන්නේ "ඉදින් මේ මා රණකෙළි දිනූ නියායෙන් මුන් විඳුනා ඓශ්චර්යයෙන් කොටැසක් මා දැ ලත් මනායැ. මම් දැ රජ සබයටැ පිවිසෙම්" යැයි සිතා ඒ බැව් රට පුරා පතුරුවා හරණා හ.

මෙකී පවත් සැළැ වූ කෙණෙහි පරිසි මහ රජාණෝ සිය වරිග සභාව කැඳවන්නේ මූ සුදුස්සේ දැයි සොයනු වස් පැණැයක් විචාරන්නට සිතණා හ. ඉදින් වරිග සබා වූ කේවට්ටාචාරීහු "මහරජුනි, ව්‍යාඝ්රයින් මරා ලදැ රන් කොහිදැයි විමසුව මනායැ" යි කියනාහ. තවෙකෙක් "මහරජුනි, සහල් නැළියකැ මිළ විමසුව මනායැ" කියනාහ. තවකෙකු"ලසන්තයා හා ප්‍රගීතයා ගැනැ විමසුව මනායැ" යි කියනා හ. පරිසි මහරජු තීරණයකටැ එළැඹිය නොහී "හෙද පසුවැ සළකා බලම්හ" යි නික්මී නැව්තොට ටැ ගොස් දේශාන්තර චාරිකාවකැ නික්මෙනා හ.

මෙපවත් රහසින් අසා සිටුනා ගොටු අබයාණෝ සිතන්නේ "මුහු මා ගොටුඅබ පණ්ඩිත බැව් නොදත් නියා යැ, සිටුව ! තොපට නිසි යමෙක් කැරැ පෙන්වමැ" යි කල්පනායෙහි නිමග්න වනාහ. මේ ගොටු අබයා නම් පෙර කලැ ව්‍යාඝ්රයින් මරා රැස් කරන ලද්දා වූ මහත් කුසල් ඇත්තේ හෙයින් උහු සිතුවක් එසේමැ ඉෂ්ට වන්නේ යැ.

ඉදින් මෙ අතුරෙහි නැවුම්ගම නම් වූ යවන ගෝත්‍රිකයින් හා හෙළ ගෝත්‍රිකයින් හවුලේ වසනා පෙදෙසක එක් මහණෙක් ස්වකීය රියැදුරා හා මඟට බස්නේ මඟ හරස් කළාවූ යවන තරුණයින් අතළොස්සෙක් හා දබරයෙක පැටළෙනා හ. මේ යවනයෝ රියදුරා හා ආක්‍රෝශයෙන් පරිභවයෙහි යෙදී හිඳිද්දී මැ එතැනට යවන වේශයෙන් එළැඹෙන්නා වූ උපුල්වන් දෙවියෝ යවනයන් හටැ නොපෙනෙන්නා වූ දැ හුදෙක් හෙළයින්ට පමණෙක් මැ පෙනෙන්නා වූ දැ ලෙස මහණා පිට පහරක් එළනා හ. "අපගේ මහණුන්ට යවනයෝ තළනා හ" යි සසිරිබර එසිරිලක දනව්වක් දනව්වක් පාසා පැතිර යනා හ. මේ කර්ණගත වූ ගොටු අබයාණෝ සියතින් දන් වළඳවන්නා වූ අලුකුත්ථේර නිකායෙහි ණැනසර නම් මහණෙක් කැඳවා සතර කන් මන්ත්‍රණයකැ යෙදුණා හ.


***


එකී සතර කන් මන්ත්‍රණයෙන් පසුවැ නැණසරයා සිව් දහසෙක් හෙළ බොදු සෙනඟ පිරිවරා නැවුම් ගම ටැ වැඩැ ක්‍රෝධයෙන් ඇවිළෙනා වූ හෙළයින් අතර ටැ පිදුරු හෙළන්නා සේ මහත් වෛරී වූ බසින් දහමෙක් දෙසන්නේ තුමූ බුදු සරණ හැරැ පියා ගොටු අබයාගේ සරණැ හෙවත් "අබ සරණැ" ගියේ වී හෙයින් මෙකී යවනයින් හට දැ අබයාගේ සරණින් මැ විණ කටින්නෙ මෝ යැයි වදාරමින් "අබ සරණ" සූත්‍රය එකී නැවුම් ගම් පුරයෙහී දී දෙසා වදාරනා හ. මෙකී අබ සරණ දහම ශ්‍රවණය කළාවූ සිව් දහසෙක් හෙළයෝ 'ඒහි අබ්භ' භාවයෙන් අබ සරණ වැළැඳ බුදුන් නැසුමට එළඹෙනා දස බිම්බරෙක් මාර සේනා ලීලයෙන් මහත් වූ පෙරහරෙකින් මඟට එළඹුනා හු යැ.

ඈතින් අබ සරණ ගිය හෙළයෝ යැ. මෑතින් මෙකී විප්‍රකාරය දකින් වස් රැස් කකා උන් යවනයෝ යැ. මෙවන් මොහොතෙක තව්තිසා දෙව්ලොවැ හිඳ මනුලොවැ බලන්නා වූ ශක්‍ර දේවේන්ද්‍රයෝ "ගොටු අබයාගේ බල ලෝ පතුරුවනු වස් මෙවන් මොහොතෙක් යළිදු නොඑනා හ. යමක් කෙරෙමි යි" සිතා වරෙක කුස රජුට දැ වරෙක මහෞෂධ පණ්ඩිතයින්ට දැ සරණ වූ අෂ්ටවංක මාණික්‍ය රත්නයැ ගෙනැ ඒ මෙකී රැස් කනා පිරිස් මධ්‍යය ටැ අහසින් හෙළනා හ. ඉදින් නැවුම් ගමැ පළමු ගල ගැසීයේ කවරෙකුදැයි යමෙකුට කුකුසෙක් වි නම් මේ පටන් ඒ ශක්‍ර දේවේන්ද්‍රයා මැ මිස අන් යමෙක් නොවනැ බැව් දත යුතු.

අහසින් වැටුණා වූ පාෂාණය දුටු කෙණෙහි මැ හෙළ ගෝත්‍රිකයෝ "යවනයෝ මෙතෙක් නොබියවැ අපට පහර දෙනා හ" යි මහත් සේ කිපී යවනයන් මතැ පහර පිට පහර හෙළනා හු, උහු නිවෙස් හා සල්පිල් ගිනිබත් කරනා හු, මහත් වූ කෝළාහලයෙක් අරඹනා හ. යවනයෝ දැ ස්වකීය රක්ෂාව පතා යම් තැනැකැ පෙරළා පහර දෙන්නේ නැවුම් ගම් පුරයමැ එක මැ අග්නි ජාලාවක් වනා හ.

මෙපවත් මෙසේ වෙත්දී අබ සරණැ ගිය රාජ පුරුෂයෝ නොදුටු විරූ වැ නෑ සූ කන් වැ තන් තන් හි පසු වන්නේ හෙළයින් ට මැ ආශීර්වාද කෙරෙනා හ. ඉදින් අවසන ගිනි නිවුමෙහි ළා මහානුභාව සම්පන්න වූ ගොටු අබයාණන් මැ මැදිහත් වනා හ. ගිනි ඇවිළුනා වූ දෙදවසකකට පසුවැ රාජපුරුෂයින් ලවා ගොටු අබයාණෝ ගිනි නිවා දමනා හ. එකී ගින්නෙ හි හේතූන් සොයන්නේ යම් කළෙක ද ඉදින් යවනයෝ යවනයින්ගේ මැ සල්පිල් ගිනි තබවා ගත් බැව් රාජපුරුෂයින් ලවා ඔප්පු කරවනා හ. යවනයින් හට පෙර අනුකම්පා කළ වටරැක නම් මහණෙක් පහර කා මඟ වැටී සිටුණුයේ උහු දැ ස්වයං ව මැ පහර දී ගත්හයි ඔප්පු කොටැ පෙන්වනා හ. අවසනැ රාජකීය ගබඩාවන්හි දොරගුලු හැරපියා ඉදින් පහරකෑ යවනුන්ටැ දන් දෙමැයි පිළිණ දෙනා හ.

"මෙසේ පරලොවැ ගියා වූ යවනයින් පිරිසෙක් දැ දැවුණා වූ නිවෙස් සල්පිල් ගණනෙක් දැ හැරැ මැරුවා වූ හෝ ගිනි තැබුවා වූ හෝ කිසිවෙකුත් නොවනා තැන් දක්වා මේ පැණැය විසඳුවා වූ මහත් ආශ්චර්යය දැකැ සසිරිබර මෙසිරිලක දනෝ මතු නොව සදෙව් ලොවැ දෙවියන් පවා ගොටු අබයාණන් ඉදිරියෙහි සාධුකාර දුන් නියා යැ" පවසමින් අබසරණ ජාතකය අවසන් කෙරෙන්නේ, පූර්වාපර සංධි ගලපා ගැන්ම තොපට මැ භාර කෙරෙනා හ.

Saturday, May 24, 2014

පැරැණි රසාංග (2) - ඔබත් කෑල්ලක් නැතිව කරවෙනවාද? | Are you a loser too?

අපේ මුහුණුපොත් පිටුවේ මීට කලකට පෙර පළකරන්නට යෙදුණු, එහෙත් බ්ලොග් අවකාශයට මුදා නොහරින ලද පැරැණි ලිපියකි. 

***



මෙතෙක් කල් ජාතිවාදී පෝස්ට් සහ මෙලෝ යකෙකුට වැඩක් නැති කාලකන්ණි ෆොටෝ කෑලි ෂෙයාර් කරමින් කරවෙවී සිටි ඔබට මෙන්න අනගි අවස්ථාවක්!

ළඟදී අවසන් වූ / වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය අහවර කළ කොල්ලන් / කෙල්ලන් මේ දිනවල බුරුතු පිටින් සිය ප්‍රොෆයිල ඇක්ටිවේට් කරගනිමින් සිටින බවට වගකිව යුතු ආරංචි මාර්ග දන්වා සිටී. මෙතෙක් කල් පාඩම් පොත්වලටම මැදිවී මෙලෝ රහක් නැතිව හිටපු ජීවිතේ ෆන් එකක් ගන්නට ඕනේ කියා ඔවුන්ට සිතීම ස්වභාවික බැවින් ද, දැන් ඉතිං කට්ට කෑවා ඇති, කොල්ලෙක් / කෙල්ලෙක් හොයාගන්න ඕනේ යයි ඔවුන්ට සිතී ඇතිනිසා ද, ඔබට මේ අවස්ථාව උපරිමයෙන් ගැළපේ. මාස ගණනකට වරක් සිදුවන මේ අතිවිශේෂ ග්‍රහචාරයෙන් මහඟු පළ නෙළාගැනීම පිණිස පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

1. මෙතෙක් කල් මැස්සෝ වහමින් (මගේ වගේ) තිබ්බ ඔබේ ප්‍රොෆයිල් පික්චර් එක මාරුකර හොඳ එකක් යොදන්න. ඒ සඳහා මුහුණේ කුරුලෑ, වල ගොඩැලි නොකැපු රැවුල වැනි දේවල් නොපෙනෙන හොඳ ෆොටෝ එකක් යොදන්න. කෙල්ලන්ට නම් වෙඩින් එකකදී ගත් ෆොටෝ එකක් වගේ නම් වඩා සුදුසුයි. කොලල්න්ට නම් ගිටාරයක් අතින් ගෙන සිටින ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ගොඩ දාන්නම බැරි මට්ටමේ එකක් නම් දන්නා කියන ෆොටෝෂොප් කාරයකු හමුවී පිලියමක් පතන්න.

2. ෆොටෝ / ඔබේ හැඟුම්බර ෆොටෝ හැර වෙනත් දේවල් (උදා: ජාතිකත්ව ෆොටෝ) යෙදීමෙන් වළකින්න. එහිදී ඔබ මාර ගුප්ත බැල්මකින් ඈත බලාගෙන සිටින ආකාරයේ සමීප රූපයක් යෙදිය හැකිනම් වඩා සුදුසුයි. කෙල්ලන්ට නම් බල්ලෙක් පූසෙක් තුරුළු කරගෙන ඉන්නා ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ඉක්මනින්ම ගොඩ දමා ගැනීමට ඇඳුමේ කොට භාවය වැඩි කිරීම හේතු විය හැකි නමුත් එයින් භයානක අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි බවද කාරුණිකව සළකන්න. මෝටර් රථයක් හෝ බයිසිකලයක් ඇති කොල්ලෙක්ට නම් වාහනයට හේත්තු වී ෆොටෝ එකක් ගැනීම ක්ෂණික ප්‍රතිඵල ලැබීමට හේතුවකි.

3. ඔබට කැමරාවක් තිබ්බත් නැතත් ඔබේ නමින් ෆොටෝග්‍රෆි පේජ් එකක් අරින්න. ඉන්පසු කොහෙන් හෝ ලස්සන ෆොටෝ කෑලි ටිකක් හොයාගෙන ෆොටෝ එකට යටින් ඔබේ නම ආටිස්ටික් ෆොන්ට් එකකින් යොදන්න..  ඊට අමතරව ඔබේ නමින් මොකක් හෝ කවි පිටුවක්, කතන්දර පිටුවක් වැනි දෙයක් අරින්න. ඊට මාර රොක් නමක් යොදන්න. ඇහුවොත්, "මං තමා අර අහවල් පේජ් එකේ ඇඩ්මින්" යයි කිව හැකි නමක් යොදාගන්න.

4. ඔබේ වෝල් එකේ ජාතික කතා ලියන්න එපා. වැරදිලාවත් දේශපාලන කතා නම් ලියන්නම එපා. පුළුවන් තරම් කවි ලියන්න. බූට් එකක් කාපු විදියට ඇඟවෙන කවි ලියන්න හැකිනම් වඩාත් සුදුසුයි. නමුත් තාමත් ඒ කෙල්ල / කොල්ල ගැන ඕනවට වඩා ආදරේ කරන බව ඇඟවෙන පරිදි ලිවීම සුදුසු නැත. හැකිනම් ආදරේ කරපු කෙල්ල / කොල්ලා දැන් රටෙත් නෑ, නැතිනම් කසාද බැඳලා වගේ (ඒ කියන්නේ අලුතින් එන කෙනාට තරගයක් නෑ වගේ) ඇඟවෙන විදියේ කවි ලියන්න. ඒ කියන්නේ ආදරේ දන්නා, එහෙත් ආදරයෙන් වේදනා විඳ ඇති, නමුත් ආදරයට වෛර නොකරන, මාර සෙන්සිටිව් චරිතයක් සේ පෙනී ඉන්න.

5. කවි ලියන්න බැරිනම් ඔබ කනගාටු විය යුතු නෑ. හොඳ රොමැන්ටික් ඉංග්‍රීසි / හින්දි ගීත කීපයක් තෝරාගන්න. මේ සඳහා හොඳ පොෂ් යාළුවකු ගේ සහය පතන්න. ඒ ගීත වල වචන ඔබට තේරීම අවශ්‍ය නැහැ. හැබැයි ගීයේ මූලික තේරුම දැනගැනීම අවශ්‍යයි. ඒ ලෙවල් වලට පොත් ගණන් කටපාඩම් කරපු ඔබට මෙය අපහසු නොවෙනු ඇති. ඊට පසු අදාළ ගීත ලැයිස්තුවක් සකසා ගන්න. ගීත පහලවක් විස්සක් තිබීම හොඳටම ප්‍රමාණවත් ය. ඉන් පසු දවස් තුනකට පමණ වතාවක් අරවායින් එක ගීතයක් ඔබේ වෝල් එකේ ෂෙයාර් කරන්න.. නිකන්ම නොවේ. අදාළ ගීයේ තේරුමට ගැළපෙන පරිදි "වැකියක්" ද සමග. (උදා: "This is my life story", "I wish she was here to listen to this") අත්දුටුවයි සත්තයි!

(අංක 5 කරන්න අමාරු නම් ඒ වෙනුවට මෙහෙමත් කරන්න පුළුවනි: ජීවිතය ගැන මාර බර ටෝක් දෙන පිටුවකින් ෆොටෝ කෑලි කීපයක් තෝරාගෙන ෂෙයාර් කරන්න. නමුත් මෙය සිංදු තරම් ඉෆෙක්ටිව් නැති බවද කරුණාවෙන් සළකන්න.)

මේවා කළපසු ඔබට අනිවාර්යයෙන් මෙන්න මේවායින් එකක් සිද්ද වේ.

* ඔබේ ෆොටෝ එකකට / කවර් ෆොටෝ එකකට ලයික් වැටීම. 
* ඔබේ ලිංක් එකකට (ගීයකට / ෂෙයාර් එකකට) ලයික් වැටීම. 
* ඔබේ මොකක් හෝ මගුලකට කමෙන්ට් වැටීම

දැන් ඇත්තේ ඊළඟ අදියරයි. ඒ කියන්නේ තොරතුරු එක්රැස් කිරීමයි. ඔබේ ෆොටෝ වලට ස්ටේටස් වලට ලයික් දාන කෙල්ලන්ගේ / කොල්ලන්ගේ ප්‍රොෆයිල් වලට ගොස් ඔවුන්ගේ කැමති අකැමැති දේ සොයා බලන්න. දිනපතාම ගොස් ඔවුන් කන්නෙ බොන්නේ කෙසේද, ජීවත් වන්නේ කෙසේද යන්න සොයා බලන්න. මීට ඉංග්‍රීසියෙන් stalking යයි කියනු ලැබෙ. එහෙත් ඔබ එසේ සොයා බලන බවට මොහොතක් වත් අඟවන්න එපා. ඊළඟට, ඔවුන් කැමති පේජස් වලට ඔබත් ලයික් කරන්න. ඔවුන් කැමති සිංදු ඔබත් ෂෙයාර් කරන්න. නමුත් මෙහිදී එකිනෙකට විරුද්ධ අදහස් දරන දෙන්නෙක්ට ට්‍රයි කිරීමෙන් වළකින්න. නැත්නම් මිනිස්සු ඔබට පිස්සු යයි සිතනු ඇත.

(විශේෂ අවවාදය: එකම ගැන්සියේ යාළුවන් දෙන්නෙක්ට එකවර ට්‍රයි කිරීම ඒ දෙදෙනාම සහ උන් දන්නා කියන හැම එකාම නැති වීමට හේතුවක් බව කරුණාවෙන් සළකන්න).

අපේ උපදෙස් මාලාවේ ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.

තොග සීමිතයි! ඉක්මනින් අයදුම් කරන්න!! පමා වී පසු නොතැවෙන්න!!

Tuesday, May 20, 2014

පැරැණි රසාංග I - ඩොල්ෆින් අර්බුදය | The Dolphin Crisis

ප්‍රවේශය

ෆේස්බුක් සහ බ්ලොග් වලට ප්‍රථම සයිබර් මතවාදයන් ව්‍යාප්ත වීමෙහි ලා වැඩිම කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ඊමේල් මගිනි. සයිබරයේ අප තහනම් වචන ලියන්නට සෑහෙන කලකට පෙර පටන්ම, විද්‍යුත් තැපැල් හරහා අපි අපේ පාඨකයන් සමග බොහෝ දේ බෙදාගත්තෙමු. කාලයක් පැවති නිහඬතාව බිඳ දමමින් යළි පාඨකයන් අතරට පිවිසීමක් වනු පිණිස ද, පැරැණ්නන් හට අප කවුදැයි හඳුනාගැනීමට රුකුලක් වනු පිණිස ද, නවකයන් හට පැරැණි රසාංග රසවින්දනයට අවසරයක් ලබාදෙනු පිණිස ද, මෙතැන් පටන් ඒ පැරැණි ලිපි සටහන් කීපයක් ඔබ හමුවේ තබන්නෙමු. 

මෙතැන් පටන් දිගහැරෙන්නේ එවැනි පැරැණි ලිපියකි. 

***


"ප්‍රජාතන්ත්‍රවාදය යනු සෑමවිටම සාර්ථක වන කෝකටත් තෛලයක් ලෙස සිතාගෙන සිටින සමාජයට, ඒ මතය යළි විමසා බැලීමට හේතුවක් මෑතකාලීන සිද්ධි නිසා නිර්මාණය වී තිබේ. මෙහි ලා කිසියම්ම හෝ පක්ෂයක්, පාටක්, දේශපාලනයක් හෝ වෙනත් කල්ලිවාදයක් නියෝජනය නොකරන මධ්‍යස්ථ පුද්ගලයකුට වුවද, වරක් පෙන්වාදුන් පසුව මෙකී සිදුර සොයාගැනීම සහ එහි භයානකකම වටහාගැනීම අපහසු නොවන බව අපේ අදහසයි. එබැවින් අපි මේ සඳහා සරල උදාහරණයක් ගනිමු. 

මිනිසා ලඟට වඩාත්ම දියුණු බුද්ධියක් ඇති සත්ත්වයා වශයෙන් ලොව පිළිගැනෙන්නේ ඩොල්ෆින් මත්ස්‍යයා ය. මධ්‍යධරණීය ඩොල්ෆින් රංචු, මිනිසුන් සමග එක්ව දඩයම් කළ අවස්ථා පවා ඉතිහාස කතාවල සඳහන් වේ. සමහර පරීක්ෂණාගාර බුද්ධි පරීක්ෂණ වලින් මිනිසා ළඟටම ඒමට මෙන්ම, මිනිසා අබිබවා යාමටද ඩොල්ෆින් මසුන් සමත්වන අවස්ථා තිබේ. අපේ උපකල්පිතය සඳහා වස්තුබීජයක් ලෙස අපි එබැවින් ඩොල්ෆින් මසුන් තෝරාගනිමු. යම් පරිණාමික විපර්යාසයක් හේතුවෙන් ඩොල්ෆින් මසුන් හට මිනිසුන්ට මෙන් දියුණු සංඥා භාෂාවක් මාර්ගයෙන් අදහස් හුවමාරු කිරීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ යයි අපි මොහොතකට සිතමු. එසේම මිනිසා දරුවන් සුළු ප්‍රමාණයක් ද ඩොල්ෆින් මසුන් දරුවන් විශාල ප්‍රමාණයක් ද බිහි කරන්නේ යයි සිතමු. 

ඩොල්ෆින් මිනිසා තරමටම දියුණු සංවිධානගත ධුරාවලියකට අනුගත වන්නේ නම් මිනිසා සහ ඩොල්ෆින් අතර පැනනගින පළමු ගැටළුව මතුවන්නේ සාගර සම්පත් බෙදාගැනීම ගැන ය. සම්පත් සීමිත අතර ඒවායින් යැපෙන ජීවිත ගණන අසීමිත ය. එබැවින් සීමිත සම්පත් බෙදාගැනීම පිණිස මිනිසා සහ ඩොල්ෆින් අතර යම් තරගයක් හටගැනීම ස්වාභාවික ය. ලොව විශාලතම ස්වාභාවික සම්පත් නිධි පිහිටා ඇත්තේ සාගරයේ නිසා ද, සාගරය පාලනය කරන්නා හට නිතැතින්ම ගොඩබිම කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි හෙයින් ද, මෙහි වැඩි වාසිය යන්නේ ඩොල්ෆින් මසුන්ට බව අමුතුවෙන් කිවයුතු නොවේ. යම්තාක් දුරකට මිනිසා සාගරය මත යැපෙන්නේ ද, ඒ තාක් දුරට ඩොල්ෆින් මසුන්ගේ කේවල් කිරීමේ බලය ද විශාල වනු ඇත. යම් දිනෙක මිනිසා සාගරය මත නොයැපී සිය අවශ්‍යතා සපුරාගන්නට ක්‍රමයක් සොයාගන්නා තුරු මේ බල අසමතුලිතය එසේම පවතිනු ඇත. 

තතු මෙසේ හෙයින්, මිනිස් සමාජයේ නෛතික සීමාවෙන් අර්ථ නොදැක්වෙන, හෙවත් අපට සාපේක්ෂව වනචාරී යයි සම්මත චර්යාවන්හි පවා යෙදීමට ඩොල්ෆින් මසුන්ට සම්පූර්ණ අයිතිය තිබීම ද පිළිගත යුත්තක් බවට පත්වේ. උදාහරණයක් ලෙස ඩොල්ෆින් සමාජයේ එක පිරිමි මසෙකුට ගැහැණු මසුන් හත්දෙනෙක් සමග රමණය කළ හැකි පරිදි නීතියක් තිබුණේ යයි සිතන්න. නැතිනම් සිය සහකාරිය හට ශාරීරිකව අඩන්තේට්ටම් කරන්නට පිරිමි ඩොල්ෆිනයකු හට අවසර තිබේ යැයි සිතන්න. එසේත් නැතිනම් සිය දුවගේ වයසෙහි වන ගැහැණු මසකු සමග සංසර්ගයෙහි යෙදෙන්නට පිරිමි මසෙකු (රැළේ නායකයා යැයි සිතමු) ඉදිරිපත් වන්නේ යයි සිතමු. අපට ඒ ගැන කළ හැකි යමක් නොමැත. එහෙත් අප එය පිළිගන්නවාය, නැතහොත් ඒ චර්යාවන් අනුමත කරනවාය යන්නක් ඉන් ගම්‍ය විය නොහැකිය. අපට කළ හැකි එකම දේ වන්නේ එකී චර්යාවන් පිළිකුළෙන් හෙළා දැකීම පමණි. ඒවා දැක අප කෝපදීප්තව සියලු ඩොල්ෆින් මසුන් මරන්නට යන්නේ නම්, එහි බරපතළ වරදක් තිබේ. මන්ද සෑම ඩොල්ෆිනයකුම ඉහත සඳහන් අභව්‍ය චර්යාවන්හි යෙදෙන්නේ ය, අනුමත කරන්නේ ය යන්නක් ඉන් අදහස් නොවන බැවිණි. අප සියලු ඩොල්ෆින් මසුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නේ නම් අප කරන්නේ නැති සතුරන් සාදා ගැනීමකි. 

එසේනම් අපට කළ හැක්කේ කුමක් ද? අපට කළ හැකි හොඳම දෙය වන්නේ ඩොල්ෆින් මසුන් ආර්ථිකව හාමත් කිරීමයි. එනම්, හැකිතාක් ඔවුන් මත නොයැපී අපේ අවශ්‍යතාවන් සපුරාගැනීමට කටයුතු කිරීමයි. අපට සාගරය අතහැරීම කළ නොහැකිය. මිනිසුන්ට තෙල් නොමැතිව ජීවත් විය නොහැක්කා සේම, සාගරය ද අතහැරිය නොහැකි සම්පතකි. එහෙත් අපට ඊට වඩා සුළු දේවල් වලින් ඩොල්ෆිනයන් හාමත් කළ හැකිය. අප තනි අයෙකු කරන්නේ සුළු දෙයක් විය හැකිය. එහෙත් අප බිලියන 600 ක ජනගහණය එකාත්මිකව, ඒකමතිකව, එකස්වරයෙන් යම් සුළු දෙයක් කරන්නේ නම්, ඒ සුළු දේ හි අවසාන ප්‍රතිඵලය මහත් වනු ඇත. මෙහි වක්‍ර යහපතක් ද වෙයි. එනම්, අපට ඩොල්ෆින් ගහණය වැඩිවීම කෘත්‍රිමව පාලනය කිරීමට අවශ්‍ය නොවීමයි. අධික දරුවන් පිරිසක් නඩත්තු කිරීමට අවැසි තරම් සම්පත් නැති වන දාට ඩොල්ෆින් මාපියන් දරුවන් රොත්තක් හදන්නට පෙර දෙවරක් සිතනු ඇත. එමගින් අපට වඩාත් මානුෂීයව මේ ගැටළුව විසඳාගත හැකිය. 

අප පෙන්වාදුන් සිදුර දැන් මේ වනවිට පාඨකයා හට පැහැදිලි විය යුතුය. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය භාව්තකර යම් පිරිසකට තවත් පිරිසක් යටපත් කිරීමට අවශ්‍ය වන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඔළුගෙඩි ගණනක් පමණි. එම ඔළුගෙඩි ගණන යම් සීමාකාරී අගයකින් එහාට ගියහොත් එතනින් එහාට එම සමාජය ආපසු හැරවීමක් කිසිදිනෙක කළ නොහැකි වනු ඇත. එබැවින් අපේ වගකීම වනුයේ අප වෙසෙන සමාජය මෙකී නිවර්තන ලක්ෂ්‍යය කරා එළඹෙන්නට පෙර ක්‍රියාත්මක වීමයි. "


සැ.යු.: මෙහි ස්වාභාවික සම්පතක් ලෙස තෙල් යොදාගැනීම මගින් කිසිදු ජනවර්ගයක් ඉලක්ක කිරීමක් අදහස් නොකළ බව කරුණාවෙන් සළකන්න. 

Saturday, April 26, 2014

වළෙන් නැගිටිමි | Back from grave



පුද්ගලික හේතු මත සෑහෙන කලක් නිහඬව සිටියෙමි. නිහඬතාව බිඳ ආපසු එන්නට කාලය පැමිණ ඇත. 

ඊළඟ ලිපියෙන් හමුවෙමු! 

Tuesday, February 4, 2014

නිදහස නම් වූ වාර්ෂික ආතල් එක | Annual facade called Independence

සැ.යු. මේ වනාහි මුහුණුපොතේ තැනින් තැන පළවූ අදහස් කීපයක එකතුවකි. අපේ ලියවිල්ලක් නොවේ. 



කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ අවුරුද්දේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

"මේ වගේ දවසක පණිවිඩ පොජ්ජක් මන්දෝ කිරීම කාගේ කාගේත් සිරිතක් නිසා දැන් බුකියේ පැය ගානක් ලගිමින් මාර දුකක් විඳ අකුරු ගලපා ලියන ලද වචන සමූහයකි. හිත් වේදනා ඇති කර නොගන්න.

[ටයිම් සෝන් අනුව] අද/හෙට මාර දවසකි.

දවසේ මුලින්ම කල යුත්තේ ප්‍රීති වීමයි. ප්‍රීතිවීම ට හැක්කේ බිරිතානි දේශවාසී සකලවිධ ජනතාවට සහ උන්ගේ රටේ නාමිකව ඔටුන්නක් දාගෙන ඉන්න වංශවත් කාන්තාවටයි. රටක් හැටියට ගන්න පුළුවන් හැම රෙද්දම හූරාගෙන, මිනිරන් ටිකටත් කෙලවා මිනිසුන් අවතැන් කොට උන්ගේ ඉඩම් වල තමන්ගේ ආතල් පානය වවා උපරිම ෆන් එකක් ගෙන නිසි කල්හි බරින් නිදහස් වීම ගැනයි. එහෙම නැතිනම් තමන්ගෙන් තුනෙන් පංගුවක් පමණ වන මේ මැටි කඳට කර ගහගෙන විඳින්නට වෙන දුක ගැන සිතු විට ප්‍රීති උත්සව පැවැත්විය යුත්තේ ලන්ඩනයේය.

දෙවනුව කල යුත්තේ ස්තුති කිරීමයි. ස්තුතිය හිමි විය යුත්තේ මලාට ස්තුති කල යුතු එකෙකුට නොවේ. අල්ලපු ගෙදර ඉන්න තාම පාරේ කක්කුස්සි යන ඒ වුනාට අඟහරුට රොකට් යවන නිතරම අපට නියවන කොඩිවින කරන කාලකාන්නියාටය. කාලකන්නියා අහිංසාවෙන් අධිස්ටානයෙන් කල සටන නොවෙන්නට අපිට හෙට වැනි දවසක් එන්නේ නැත. අපේ රට තුල නිදහසක් වෙනුවෙන් හඬක් නැගු එකම මිනිහාත් රට එපාවී මහණදම් පුරන්නට ඉන්දියාවට ගිය බව පාසල් පොතක තිබුණි. ඔන්න ඔහේ ඕන එකක් කියාගෙන කීකරුව බල්ලා සේ වැටී හුන් රටකට නිදහස දුන්නේ ඉන්දියාව කියන මහා රට අතහැරි පසු ලංකාව කියන හුන්ඩුව ආයෙත් මක්කටය කියා සුද්දා සිතු බැවිනි. [ලංකාව අල්ලන්නට ඉංගිරිසිකාරයා හිතුවේද ඉන්දියාව නිසාය. ඒක වෙනම කතාවකි]. අප විසින් එකලම අවුට් සෝස් කරන ලද අපේ නිදහස් සටන කරදීම වෙනුවෙන් මහත්මා ගාන්ධි ජවහල්ලාල් නේරු මොහොමඩ් අලි ජින්නා සුභාෂ් චන්ද්‍රබෝස් වැනි අපේ [අවුට්සෝසිත] නිදහස් සටනේ නියමුවන්ට ස්තුති කල යුතුය.

තෙවනුව කල යුත්තේ කනගාටු වීමයි. එය ලාංකිකයන්ටයි. සාරය හූරා ගත්තද සුද්දා දමා ගියේ කලාපීය මට්ටමින් පාරාදීසයකි. එදා පටන් අද වෙනකම් මේක ආණ්ඩුකාරකම් කල විපක්ෂකම් කල, විප්ලව කල, ප්‍රචණ්ඩ ක්‍රියා කල, ත්‍රස්තවාදී ක්‍රියා කල සියලු දේශපාලනික ප්‍රවාහයන්ට පින් සිද්ද වන්නට අපි අද එක්දහස් අටසිය අසු දෙක දක්වා ආපසු ගොස් සිටිමු. මෙය නොවැටහේ නම් හොඳ හුස්මක් අරගෙන රූපවාහිනිය දමාගෙන පැය කීපයක් නරඹන්නේ නම් ප්‍රමාණවත්ය. ගෝල්ෆේස් එක වැනි තැනක දුවන විහිළු නාටකය බලා කාටත් තමන් ඉන්නා තැන ගැන සිතා ගත හැකිය.

සිව්වෙනුව හෙට හිතන්නට දිනයකි. කාට කාටත් හාන්සි පුටුවක හිඳගෙන හිතන්නට දිනයකි. වෙන මොකවත් ගැන නොවේ. බඩ පොත්ත දක්වා හූරාගෙන ඉන්න උන්ගේ ඉතිරි දෙකහමාරටත් අරිමින්, කුඩු කාරයින් පාතාලයින් හා ආගමික ප්‍රචණ්ඩ කල්ලි අතේ රටේ උසාවි පොලිස් තීරක බලය තබමින්, දශක ගානක් තිස්සේ වීහිලු විගඩම් නටන රටේ අනිද්දා සිට ඉතිරි කාලය ගෙවන හැටිය ගැනය. හැම නිදහස් දවසකටම පස්සේ ඉතිරි වන්නේ ඒ බියකරු සිතිවිල්ල පමණි.

සිතිවිල්ල බියකරු වැඩිනම් ජාතිකාභිමානයෙන් නිර්වින්දනය වීමට හෙට ඔබට නිදහස තිබේ."

නිදහස් දිනය in a nutshell: ගිනි අවුවේ පාසල් ළමයින්ගෙන් කරවල වේලීම... උන්ව නටව නටවා පාරේ යැවීම... පොශ් අතිගරු උතුමානන්ලා හා එම මැතිනියන්ලා සිහිල් සෙවනේ කූඩාරම් යට සිට booklets වලින් පවන් සැලීම... ලොකු තැන් එන තෙක් සිටගෙන සිටීම... එන එන එකාලාව පිළිගැනීම... බෑන්ඩ් ගසා කොඩි එසවීම...

'දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති හෝතු ච
පිතෝ භවතු ලෝකෝච -රාජා භවතු ධම්මිකෝ .....'

විනාඩි දෙකක් බිම බලන් සිටීම... හිඟා කා ගත් දේ වියදම් කළ හැටි පැවසීම... හිඟා කන්නට යන දේ ගැන පැවසීම... හිඟා කා කිරීමට යන දේ ගැන පැවසීම... විදුලි පු‍ටුවට යන සැටි ගැන පුරසාරම් කීම... බටහිර ලෝකයාව ඉන්දියන් සාගරේ අමුතු ඇටේට කෙලවන්නට සිටින බව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම... කොලේ බලන් දෙමළ කියවීම... Iවන යුද්ධ කාලයේ පමණ භාවිතයට ගත් යුධ අවි ප්‍රදර්ශනය.... කූඩාරම් (V.I.P) තුළ සුද්දන් දමාගෙන උන්ටම සිංහලෙන් බැනීම... වැදි බණ දෙසමින් ජනසතුරන්ට පිරිත්නූල් බැඳීම and much more...!