logo banner

Sunday, April 28, 2013

විරාමයෙන් පසු | After the Break

විරාමයකින් පසු...

දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව යළිත් බ්ලොග විවෘත කොට යමක් ලියන්නට වෙර දරමි. එසේ කරන තුන්වෙනි සතිය මේ ය. මේ වන විට ලියන්නට පටන් ගෙන ලියා අහවර නැති ආටිකල් ම තුනක් තිබේ. ලියන්නට යන එව්වා කලින් කීම දැන් කාලයේ ආතල්  එක වී තිබෙන බව පෙනෙන නිසා ඔන්න ඒ ටික මෙසේ ලියා දක්වමි.

1. මා-තැලී (මාතලන් හට කිණ්ඩියක් නොව) අහවරක් නැති රථවාහන තදබදය ගැනය.
2. ඉතිං ඊට පස්සේ -- හලාල් වෙනුවට ආ HFAC සහ අන්වර් මණතුංග ගැන
3. ඉටිපන්දම් සේනාව -- දන්නෝ දනිති

මේ තුනත් ලියවේ ද නැද්ද යන්න ගැන මටම සැකයක් ඇත. එහෙත් ලිව යුතු යමක් නැතුව ලියපං ලියපං යයි යතුරු පුවරුවට කෙටුවාට ලියවෙන්නේ නැත. එක්කෝ මෙව්වා ලියන්නට තරම් කම්පනයක් නැති කම නිසා හෝ, නැතිනම් ලියන්නට තරම් කම්පනය වැඩි නිසා හෝ නොලියවුණු බව පමණක් උපකල්පනය කරමි.

එහෙත් දීර්ඝ නිහැඬියාව ගැන යමක් කිව යුතුය.

කෙටියෙන් කියන්නේ නම් මේ සමාජයීය / දේශපාලන බ්ලොග් කරුවන් හට හොඳ කාලයක් නොවේ. කාලයක් දේශපාලන බ්ලොග් නැගලා ගියේ ය. ටැබූ, කොලු වැනි චරිත හිටපු කාලය ගැනය මේ කීවේ. ඒ කාලයේ බ්ලොග් අවකාශය තුළ ඇත්තටම කතා කරන්නට දේවල් ද තිබිණි. කොටි සංවිධානය සමග එකට ක්‍රියාත්මක වූ දමිළ ඩයස්පෝරාව විසින් ගෙන ගිය අති දැවැන්ත මාධ්‍ය මෙහෙයුම් ගැන දන්නා අය අදටත් සිටිති. ඒ කාලය වනාහි ඉතා කෙටි ඡේදන සහිත උද්වේගකර සිනමා දර්ශනයක් මෙන් විය.

ඉන් පසු ජනප්‍රිය වුයේ නිර්මාණශීලී බ්ලොග් ය. මේ හරහා ද බොහෝ දේ සිද්ද විය. රට පුරා විසිරී සිටි නිර්මාණකරුවන්ගේ නිර්මාණ ශක්තිය මුදා හැරීමේ උන්නතිස්ථානය එය විය. නමුත් මේ තුළ බලාපොරොත්තු වූ දේ මෙන්ම නොවූ දේ ද බොහෝ සිදු විය. උදාහරණයක් ලෙස සෑහෙන බැංකු ගිණුම් ප්‍රමාණයක් බංකොළොත් වෙද්දී සෑහෙන දත් ප්‍රමාණයක් ද ගැළවී තිබිණි.

දැන් දැන් ට්‍රෙන්ඩ් එක වී තිබෙන්නේ ගොසිප් ය. ඔරිමජිනල් ගොසිපා ගේ නික්මයාමෙන් අනතුරුව ඒ තැන පුරවන්නට මදි නොකියන්න මිනි/මයික්‍රො ගොසිප් නම් තිබේ. අහවලා කාපු හැටි, මෙයා බීපු හැටි, අරූ අඳින හැටි, අරකි පද්දන හැටි ආදී වශයෙන් මට මෙව්වාට නම් ද දිය හැකිය.

සටහන: මා මිනි/මයික්‍රො ගොසිප් යයි කීවේ බ්ලොග් අවකාශය (කියා හිතං ඉන්නා වූ මෙවුවා එක) තුළ මේවා අතිදැවැන්ත සද්දන්ත කුලේ හස්තිරාජ ගොසිප් වුණාට මේ රටේ වත්මන් තත්වය තුළ මෙව්වා ඇමීබාවකු තරම් වත් පෙනෙන්නේ දැනෙන්නේ නැති ගොසිප් බැවිනි.

මේ සියල්ල තුළ දැන් දැන් නව පරිණාමන ක්‍රියාවලියක් ඇරඹෙන බව අපි කලක සිටම නිරීක්ෂණය කෙළෙමු. සාමාන්‍යයෙන් පරිනාමයේදී බිහිවන්නේ කලින් හිටි උන්ට වඩා පරිසරයට ගැළපෙන උන් ය. එහෙත් ඉඳ හිට පරිණාමයට ද වරදින අවස්තාවන් ඇත. මුන් මොකට උපන්නා දෝ යි සිතෙන තරමේ කැත, අවලස්සන, මෙලෝ රහක් නැති කුණු ගන්දස්කාර මළ පෙරේත යක්කු වැනි උන් බිහි වන්නේ අන්න එවිට විය යුතුය.




බ්ලොග් යනු තථ්‍යපරාස දෙයක් නොවේ. බ්ලොග් අතින් අල්ලන්නට බැරිය. ලියන එකා නම් අතින් අල්ලන්නට හැකිය. එහෙත් නිර්මාපකයා සහ නිර්මාණය යනු එකක් නොව දෙකකි. එබැවින් නිර්මාපකයා සමග හමු වී කතා කළා යනු බ්ලොග් එක සමග කතා කළා වන්නේ නැත. අනික නිර්මාණයේ අන්තර්ගතයෙන් නිර්මාපකයා මැනීම ද කළ නොහේ. මේ සරල සත්‍යය වටහා ගන්නට බැරි මී හරක් බ්ලොග් ලෝකයේ තවමත් මොකට වසන්නේ ද යන්නම ගැටළුවකි. කෙල්ලෙක් අසම්මතය ගැන ලී පමණින් ඈ සමරිසියෙකැයි ද, ස්ත්‍රීවාදීණියකයි ද මහා හඬින් උද්වේගකර ස්වරයෙන් කෑ ගසන්නේ එවැනි ළාමක ටින්ටින් චරිත ය. මෙසේ බිරුසන් දෙන පිස්සු බල්ලන්ට, සියල්ලට පළමුව කණ පැලෙන්නට දෙකක් දී සංවරය ඉගැන්විය යුතුය. දෙවනුව, අවශ්‍ය නම් පමණක් උන්ට "ලියනවා" යනු කුමක්දැයි තේරුම් කර දිය හැක.

Who let this Dog / Bitch out? 

වර්තමාන බ්ලොග් ලෝකය තුළ මා ඉහත කී සත්‍යය ඇස් පනාපිටම පෙනෙන්ට තිබේ. කෙටියෙන් කියන්නේ නම් මේ දිනවල අනුන්ගේ කුණු කණ වරත්තු බල්ලෙක්/බැල්ලියෙක්, ඌ වෙනුවෙන් කඩේ යන උන් ද සමගින් බ්ලොග් ලෝකයට පැමිණ තිබේ. රටවල් දෙකක නම් වලින් සැදී කවලන් නමකට උරුම කම් කියන මේ වල් බලු තෙම, සතියකට වරක් සිය බ්ලොග් පඩංගුවේ කාට හෝ මඩක් ගසා, ඊවටා එක රොක්වන නිලමැසි කැළ ගණන් කොට සතුටු වන්නේ ය. නමින් ඇනෝ යයි මහා සාඩම්බරයෙන් තමන්වම හඳුන්වා ගන්න මේ බ්ලොග් රාජයා ගේ ඇනෝ ගැන දැනුම දකින විට උන්හිටි තැන් දමා දුවන්නට තරම් කළකිරීමක් හට ගනී.

කරන එකා කවුදැයි මේ වන විට කියවන්නා දැනගත යුතුය. එසේ වටහා ගන්නට බැරිනම් මට ඒ ගැන කණගාටුව පල කරනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් ද නැත. එහෙත් එය කරන එකා මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන බව මම දනිමි. ඒ නිසා ඔහුගේ/ඇයගේ දැනුම පිණිස, මෙන්න මේ ටික මෙහි ලියා තබමි.



බ්ලොග් අවකාශය කියා අප කීවාට එහෙම එකක් ඇත්තේ නැත. ඇත්තේ බ්ලොග් පමණි. බ්ලොග් එකතු කර අවකාශ තනන්නේ යම් කුලකයක් තුළ බ්ලොග් වර්ගීකරණය කරන්නට සැරසෙන කෙනෙකි. මේ වර්ගීකරණය එක එකාගේ පුද්ගලික රුචිය අනුව වෙනස් වේ. ඒ අතින් ගත්විට බ්ලොග් ද ගීත වැනිය. සමහරු ආදර කතා ලියති. සමහරු විරහව ගැන ලියති. මීට අමතරව, ධර්මය, අධර්මය, මතවාද, දේශපාලනය, සමාජයීය කරුණු, රටතොට විත්ති මේ ඈ විසින් ලියන්නට අටෝරාසියක් දේ මට කිව හැකිය. එකෙක් බ්ලොග් එකක් පමණක් නොව කීපයක් ලියන්නේ නම් කතාව තවත් සංකීර්ණ වේ. අනික එකම කෙනාට ද විවිධ ආරූඪ නම් තිබිය හැක. සමහර විට එසේ ආරූඪ නමක් තබා ගැනීම සරීර සවුක්කියට හොඳ ය.

අප ඇනෝ හෙවත් නිර්නාමිකත්වයට පක්ෂ එනිසාය. තහනම් වචන යනු මේ ලියන එකෙක් ගේ වත් උප්පැන්නේ නම නොවේ. අප දකින විදියට අනුව නිර්නාමිකත්වය බ්ලොග් තුළ තිබිය යුතු අවස්ථා තිබේ. ඒ අයිතිය ගැන සැකයක් නැත. පටන් ගත් දා සිටම අපේ අඩවියේ ඇනෝ විවෘත කර තිබූ බවටත්, මේ වන විටත් එය එලෙසින්ම ඇති බවටත් පාඨක ඔබ සාක්ෂි දරනු ඇත. අඩුම තරමේ අපි කොමෙන්ටු මොඩරේට් කිරීම වත් නොකරමු. මහා ලොකුවට "අපි ඇනෝ" කියාගෙන අණබෙර ලවාගෙන පටන් ගත්තු සමහර පරමාදර්ශී ඇනෝ බ්ලොග් වල, සති දෙකක් යන්නට මත්තෙන් ඇනෝ වැසී යයි.

එහෙත් ඇනෝ යනු අනුන්ගේ කුණු ඇවිස්සීමට, රෙදි ගැළවීමට සහ තමන් මුවා වී අනිකාගේ මුහුණේ මඩ තැවරීමට දෙන අයිතියක් නොවේ. ඇනෝ යන්න අවභාවිතය තුළින් වන්නේ සමස්ත නිර්නාමිකත්වයම හෑල්ලු වීම පමණි. අනික ඇනෝ යනු ත්‍රස්තවාදයක් ද නොවේ. සැබෑ චරිතයකට පරිස්සම් කිරීමට දෙයක් ඇති නිසාත්, අසත්‍ය චරිතයට එහෙම එකක් නැති නිසාත්, බොහෝ විට සත්‍ය එකාගේ සත්‍ය භාවය ප්‍රාණ ඇපයට ගෙන, මඩ ගැසීමේ සිද්ධි දක්නට ලැබේ. තමන්ගේ රෙද්ද බේරගත යුතු නිසා අවසානයේ සත්‍ය එකාට සිද්ද වන්නේ නගුට පටළවාගෙන ගෙදර යාමටය. එවිට අර කී ඇනෝ, ත්‍රෛලෝක විජයග්‍රහණය කළා සේ සන්තුෂ්ටියෙන් උද්දාමව, "ඔන්න ඕක තමා කිව්වේ ඇනෝ/ෆේක් එක්ක හැප්පෙන්න එපා කියලා" යයි වහසි බස් බෙනේ. බලන් ඉන්නා නිලමැස්සෝ හූ තියමින් සිනා වෙති. සිහි මොළේ ඇත්තෝ හොරෙන් අයිනකට ගොස් අපුල යනු පිණිස වමනකෘත්‍යය කොට හීන් සැරේ පිටව යති.

රජ්ජුරුවෝ උඩයි උඩයි -- මිටි කොල්ලෝ බිමයි බිමයි

මේ අප කුඩා කල ඇසු ගීයකි. කුමක්දෝ හේතුවක් මත, මට මේ ගීය අසන්නට ලැබෙන්නේ ම අමුතු අවස්ථා වල ය. දැන් මේ හදිස්සියේ මේ ගීය සිහිපත් වුණේ ද, එවැනි අහම්බයක් නිසා ය.



ආරළු බීරළු නැතිව කෙළින් කියන්නේ නම්, බ්ලොග් යනු විමධ්‍යගත, විකල්ප මාධ්‍යයකි. එහි පාලකයකු නැත. එනිසා අරක කියන්න පුළුහන්ය, මේක බැරිය ආදී වශයෙන් තගා පාට දමන්නට සමත් බ්ලොගේශ්වරයකු මෙහි නැත. අලුත් එකා වුණත් ඌ ලියන දේ අහන්නට පිරිසක් වේ නම්, ඒ ශෛලිය ප්‍රිය කරන එකෙක් වේ නම් ඌ ටක් ගැන සැණින් පොරක් වේ. අනිත් අතට මොන තරම් මාධ්‍ය ක්ෂේත්‍රයේ කප් ගහපු දැවැන්තයෙක් වුණත් ඌ ලියන දේ කියවන්නට කැමති පිරිසක් නැති තැන ඌ නිකම්ම විස්ථාපනය වේ. ඒ හැටි ය. අර අයියාට අවශ්‍ය විදියට වත්, මේ අයියාගේ අදහසට අනුව වත් බ්ලොග් ලියවෙන්නේ නැත; ලියවිය යුත්තේද නැත. මෙය හුදෙක් පූර්ණ විලම්භ න්‍යාය අනුව බෙදී ගිය පාඨක ප්‍රජාවකි. ඒ නිසා බ්ලොග් අතර පැරැන්නෝ සහ නවකයෝ සිටියත්, සින්නො සහ ජුන්නො කියා එකක් මෙහි නැත. කවරෙකු හෝ එවැන්නක් සමාජගත කරන්නේ නම් ඒ උගේ හීන මානයයි.

(මේ කියන්නේ සැබෑවටම බොහෝ දේ කළ කෘත හස්ත රචකයන් හෑල්ලු කිරීමට නොවේ. අප ඔවුන් කළ කී දේට ගරු කළ යුතු මය. අකමැති දේ විවේචනය කළ හැක. එහෙත් මතවාද මිස මිනිසුන් නොගැටිය යුතුය. අනිත් අතට ගරු කරනවා යනු පුද්ගලාභිවන්දනය නොවේ. තමා ගරු කරන බ්ලොග් රචකයකු වේ නම් ඒ රචනය අගය කරනවා මිසක, ඔහු යන පියවරක් පාසා උහු පා දුහුවිලි සිප නියරසින් සැනසිය යුත්තේය කියා එකක් නැත. විවේචනය ද එසේමැයි. )

මෙතනට ගැළපෙන කතාවක් චමිල් ගේ Feeding the Monkey බ්ලොගෙන් අහුළාගතිමි. මෙන්න ඒ රත්තරං වචන ටික:


මේ ලඟකදි ඉඳන් ‍”ජේස්ට ආධුනික” බ්ලොග්කාරයො කියල දෙගොල්ලක් ගැන කතාව.
මම දන්න තරමින්‍ ජ්‍යෙෂ්ඨ/ප්‍රවීණ බ්ලොග්කරුවො කියල කොටසක් නැහැ. ආධුනික බ්ලොග්කරුවො කියල එහෙම්ම කට්ටියකුත් නැහැ. මම හිතන්නෙ ඔය ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො වැඩි කාලයක් බ්ලොග් ලියන අය වෙන්නැති. ආධුනික කියන්නෙ මේ ලඟදි ආපු අය වෙන්නැති. 
කෙටියෙන් කියන්නං. මේ බ්ලොගොස්ෆියරෙ කියන බඩකඩිත්තුව ඇතුලෙ ජ්‍යෙෂ්ඨයො කියල මොක්කුවත් නැහැ. කාලයක් තිස්සෙ බ්ලොග් ලියන එවුන් ඉන්නව. උන් කියල අමුතු පොරත්වයක් නැහැ. හොඳ ලියන්නො ඉන්නව. කුණු ලියන්නො ඉන්නව. හොඳට ලියන්න බැරි මලවන්නො ඉන්නව. මුන් ඔක්කොම බ්ලොග්කාරයො. ආධුනික ප්‍රවීණ කියල දෙකක් නැහැ. (ඔලුව වනන්න කලින් –  මම මේ කියන්නෙ “අපි ඔක්කොම එකම බ්ලොග්කරුවො. ඒ නිසා සමගියෙන් ඉමු” වගේ බබා හුකුං නෙමෙයි)
(...උපුටනය...)
අන්තිමට කියනවනං කාරණා තුනයි. 
එක : ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො ආධුනික බ්ලොග්කාරයො කියල දෙකොට්ඨාශයක් හදාගන්න දඟලන්න එපා. ජ්‍යෙෂ්ඨයො කියන එවුන්ගෙන් “අයියෙ *යියෙ” ගගා උපදෙස් පතන්න යන්නත් එපා. උන් අමුතුවෙන් දන්න දෙයක් නැහැ. බ්ලොග් ලියන්න පටන් ගන්න බොහොමයක් එවුන් හිතාගෙන ඉන්නෙ මේ ජ්‍යෙෂ්ඨ කියන අයට වැඳල පුදල අයියෙ අක්කෙ ගාලා උන්ගෙන් ආසිර්වාදයක් ගන්න එක අනිවාර්යයි කියල. මේව දකිනකොට මතක් වෙන්නෙ තව සිද්දියක්. “සින්ඩි” මාර දෙයක් වෙලා තිබුන කාලෙ අලුතින් බ්ලොග් ලියන්න පටන් ගත්ත එවුන් කරපු දෙයක් තිබුන. අලුතෙන් වාහනයක් ගත්තාම කතරගම ගිහින් බාරයක් වෙනව වගේ බ්ලොග් එක සින්ඩිකේටරේට ඇතුලත් වුනාම “අනේ බුදු අයියේ මාගේ බ්ලොග් එක අහවල් සින්ඩියට ඇතුල් කර ගත්තා වූ පිනෙන් මතු ආත්ම වල සියලු සැප සම්පත්ති ලබා කෙලවර අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා!!” වගේ පෝස්ට් එකක් ලියනව. එකෙක් දෙන්නෙක් මුලින් කරනකොට අනිත් උන් පෝලිමට. 
දෙක : ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො “මැදිහත්” වෙලා “බේරගන්න” මේ බ්ලොගොස්ෆියරෙ කුලඟන සමිතියක්වත්, ෆැකල්ටියක්වත්, අහවල් ෆෝරම් එකක්වත් නෙමෙයි.  මේකෙ ‍බේරගන්න මොකෙක්වත් අමාරුවෙ වැටිලා නෑ. බ්ලොග් කියන්නෙ එකා එකා තමන්ට ලියන්න ඕන දෙයක් ලියන තැන් මිසක් එක එකා බැඳිච්ච එකට ඇලුන සිස්ටම් එකක් නෙමෙයි. එහෙම ඒවා හදාගෙන කුණුහරප එපා, දේසපාලනේ එපා, යුනිකෝඩ් නැතුව වෙන මොනවත් එපා වගේ බබා නීති දාගෙන හිටපු කාලයක් තිබුන. දැන් එහෙම ඒවා වැලිඩ් නැහැ. 
තුන : “අනේ ඉස්සර බ්ලොග්නං මාර හොඳයි. දැන් තමයි කබ්බො මේක කාලා තියෙන්නෙ” වගේ ආපු පාර දිහා බලාගෙන අධෝ මුඛයෙන් කතා කරන්න එපා. ඉස්සර කියල මාර හොඳ බ්ලොග්කාරයො හිටියෙ නැහැ. ඉස්සරත් මේ “කබ්බො” ප්‍රතිශතය මේ අගයම තමයි. වෙනසකට තියෙන්නෙ දැන් බ්ලොග්කාරයො වැඩි නිසා “කබ්බො” ප්‍රමාණයත් වැඩි වුන එක. තමන්ට විරුද්ධ අදහස් ලියපු එවුන්ව හොයල මරණ තර්ජන කරපු, කැලෑ පත්තර ගහපු, සෙට් එක දාලා මඩ ගහපු එවුන් ඉස්සරත් හිටිය. “ඉස්කෝලෙ ෆන්” කතා විතරක් ලියන ‍බ්ලොග් ප්‍රමාණය වැඩියි. හරියට බෙහෙත් මදි වුන දවසක පිස්සන් කොටුව ඇතුලෙ “ස” ප්‍රසංගය කරනව වගේ ඒ විකාර නිසා ‍වටිනා බ්ලොග් කිහිපයක් ඇහෙන්නැතුව ගිහින් තියෙනව. හැබැයි එහෙම කියල ඔය ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාර‍යොත් වටිනව කියල අමුතු ලබ්බක් ලිව්වෙ නැහැ. බ්ලොග් හොඳ වෙන්නෙ ලියන එකා අනුව. ඉස්සර ලිව්වද දැන් ලිව්වද කියන දේ අනුව නෙමෙයි. 
බ්ලොග් කරන්න. කඩේ යන්න එපා. 

So what Next?

අප ගැන කියන්නේ නම්, මේ සියල්ල මැද අප විසින් අන්තවාදී වෛරස වලට එරෙහිව, එයිනුදු විශේෂයෙන්ම ඉස්ලාම් ආක්‍රමණවාදයට එරෙහිව කතා කළ මෙහෙයුමේ තාවකාලික නැවත්මක් ලබා ගත්තේ අන්වර්ට බයේ වත්, ගෝඨාභයට බයේ වත්, වෙනත් හේතුවක් වත් නිසා නොව, බොහෝ බොගාලා සිතා සිටිනවාට වඩා වැඩ අපට ඇති බැවිණි. ඉසිඹුව අතර මැද කෙටි නිහැඬියාව මැද බොහෝ දේ සිදු වී තිබේ. ඒ සියල්ල ග්‍රහණය කරමින් යළි ආරම්භයක් ගැනීමට කාලය එළඹ ඇත. ඒ ආරම්භය කළින්ට වඩා දරුණු සහ ප්‍රචණ්ඩ ප්‍රහාර වලින් සමන්විත වන බව කල්තබාම කියන්නෙමු. මන්ද ඉස්සර මෙන් නොව, දැන් අපට වෙඩි තැබීමට කඳවුරු එකක් නොව තුනක් ඇති බැවිනි: මෙන්න ඒ තුන:

1. ඉස්ලාම් අන්තවාදී කඳවුර
2. සිංහල අන්තවාදී කඳවුර
3. බඩකඩුත්තු ඇනෝ බ්ලොග් කඳවුර

ඉවසන්න. සිසිල් පැන් විවේකයෙන් පසු තරගය නැවතත් ඇරඹේ.

6 comments:

  1. ඔබේ ළිපිය තුලම පරස්පර අදහස් ඇති බව පෙනේ. නමුත් විය යුත්තේ මොන මළදානයක් හෝ ලියන එකය. හොඳ නරක හරි වැරදි එක එකාට පේන්නේ එක එක විදියටය. තම මතය වෙනුවෙන් පෙනි සිටින්නේ නම් ලිවිමේ අවුලක් නැත.

    ReplyDelete
    Replies
    1. පරස්පරය පෙන්වා දෙන්නෙ නම්, එක්කෝ එය ඉවත් කිරීම හෝ පැහැදිලි වන පරිදි පල කිරීම කළ හැකි නිසා පෙන්වා දෙන්නෙ නම් ස්තුතිවන්ත වෙමි.

      Delete
  2. මම මේ ලිපියේ එක් කොටසක් ගැන පමණක් මගේ අදහස් දක්වන්නම්.මමත් ඉන්නේ අනෝනිමිටි කියන ඒවා අවශ්‍යයි කියන මතයේ.මම ඕක ඇරලා තියෙන්නේ කොමන්ට් වැඩියෙන් ගන්නවත් කාගෙන්වත් හොඳක් අහන්නවත් නෙවේ ඕක ඇරලා තියෙන එකෙන් මාසෙකට ඇනෝ කොමන්ට් පහ හයක් ලැබෙනවා ඒවා අතරින් වැඩියෙන්ම මට බනින ඒවා තමයි තියෙන්නේ.ඒත් මම ඕක ඇරන් ඉන්නේ මට බැනලා හරි මගේ පෝස්ට් ගැන ඇත්තටම හිතෙන ඒවා දැනගන්න ලැබෙන නිසා. ඒ වගේම බොහොම කලාතුරකින් ඉතාමත් යහපත් ඇනෝ කොමන්ට්ස් පවා ලැබෙනවා.

    ඇනොනිමිටි ඕන කියන බ්ලොග් කරුවන් තමන්ගේ බ්ලොගය තුල අනිත් කොමන්ට් කරුවන්ට අපහාසයක් නොවෙන්න වග බලාගත යුතුයි කියලත් මම දරන මතයක්!

    ReplyDelete
  3. චමිලයාගේ පෝස්ටුව දුටිමි. එය පට්ට ඇත්තය. ඒත් උගෙ බ්ලොග සොයා ගන්නට ගොස් අසාගත් කතන්දර නම් අප්‍රසන්නය. ඌ පැරණි බ්ලොග් කරුවෙකු බව සැබෑය. එහෙත් මා නවකයෙක් නිසා උගෙ බ්ලොග නොදැන සිටීම ඔහුට කළ අපහාසයක් ලෙස කුපිතව පිරිස් පැමිණ මට පහර දුන්නෝය.

    එහිදී මට හැගුනේ නම් සින්නෝ, කබ්බෝ කියා බෙදීමක් පෙන්වන්නට කැමති පිරිසක් සිටින බවක්ය.

    ReplyDelete
    Replies
    1. දන්න තරමින් චමිලයා නම් සින්නො-කබ්බෝ බේදයට කැමතිම නැත. මමද උගේ බ්ලොග සොයා ගත්තේ අහම්බයකිනි. උගේ වටේ ඉන්නා උන් මොනවා කීවාද යන්න නම් නොදනිමි. හමු වූ විටක උගෙන්ම ඇසිය යුතුය.

      Delete
  4. මේ ගැන මට කියන්න තියෙන ටික නිවාඩු පාඩුවේ කොමෙන්ට් එකකින් දක්වන්නම් . . මේ ටිකේ පට්ට බිසී

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.