ප්‍රස්තුතය
ප්‍රස්තුතය නම්, හැමෝම දන්නා පරිදි, මහනුවර ශ්‍රී සුගත විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් විසින්, පෙරේදා නුවර දළදා මාලිගාව ඉදිරිපිට කරන්නට යෙදුණු ගිනිතබා ගැනීමයි (හෙවත් සමහරුන්ට අනුව ජීවිත පූජාවයි). මේ ගැන අපට වඩා සවිස්තරව ලියා ඇති බොහෝ දෙනා වන නිසා ඒ ගැන පුන පුනා පැවසීමට වඩා ඒ සබැඳි ලිපි වලට පාර පෙන්නීම පහසු ය.ඉන්දරතන හිමිගේ අවසන් ලිපිය
ඔබ මේ වන තුරු දැක නැත්නම් උන් වහන්සේ ගේ අවසන් ලිපිය මෙතැනින් බලන්න.මේ ලිපිය බැලීමේ දී, ඉතා හොඳ සිහියෙන් දෙවරක් බලන්න යැයි අපි ඔබට කියමු. මන්ද මේ කතාවේ අවසානයේ දී අපි නැවතත් මේ ලිපියට එන බැවිනි.
අප අපේ සංවාද කාරණයට එන්නේ දැන් ය. එනම්, මෙය සැබවින්ම ජීවිත පූජාවක් ද?
බෝසත් සිරිත
බොහෝ දෙනා මේ සිද්ධිය බෝසත් සිරිත සමග සසඳා බලනු පෙනෙන්නට තිබිණි. එනම්, බෝසතුන් සස ජාතකයේදී සාවකු සේ ඉපිද, සිය ජීවිතය පූජා කිරීම සමගයි. අපි මේ කතාවේ ඇත්ත නැත්ත විමසමු.බෝසතුන් හෙවත් බෝධි-සත්ත්වයන් වහන්සේ කෙනෙක් යනු සම්‍යක් සම්බුද්ධ, පච්චේක බුද්ධ හෝ අරහන්ත බුද්ධ යන තුන්තරා බෝධියෙන් එකකින් සත්‍යාධිගමය ලබනු පිණිස පාරමී දම් පුරන කෙනෙකි. පාරමිතා දහයකි. එනම්, දාන, සීල, නෙක්ඛම්ම, පඥ්ඥා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෛත්‍රී, උපෙක්ඛා යනුයි. මේවා, පාරමී, උප පාරමී සහ පරමත්ථ පාරමී යනුවෙන් පුරන අවස්ථා තුනකි. පාරමී යනු පුද්ගලික දේපළ සහ අඹු දරුවන් පවා කැප කරගෙන කරන පිරීමයි. උප පාරමී යනු ශරීරාවයව පවා කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී යනු ජීවිතය කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි.
ඒ අනුව, පරමත්ථ පාරමී පුරන්නට නම් ඉතුරු අවස්ථා දෙකම සපුරා තිබිය යුතුය. එමෙන්ම, ජීවිතය කැප කරන්නේ දානය, සීලය වැනි කවර හෝ ඉහත දක්වා ඇති කරුණු දසයෙන් එකක් පිණිස විය යුතුය. එය බෝසත් චර්යාවක් වන්නේ එවිට ය. උදාහරණයක් ලෙස, සස ජාතකයේදී බෝසතුන් දිවි පිදුවේ, "මගේ ශරීර මාංශය තවෙකෙකු හට දානයක් වේවා!" යන චේතනාවෙනි. ඔහේ හිතුමනාපේ ජීවිතය පූජා කළාට බෝසත් සිරිතක් වන්නේ නැත. හරකුන් මැරීමට එරෙහි වීම හොඳ බව සැකයක් නැත. එහෙත් එමගින් සපිරෙන්නේ කවර නම් පාරමිතාවක් ද?
සියදිවි නසා ගැනීම සහ ප්‍රාණඝාතය
සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් වන්නේ ද නැද්ද යන්න ගැන දැනටමත් කෙස් පැලෙන තර්ක ආරම්භ වී තිබේ. ඒ ගැන වාද කිරීමට සමර්ථකමක් අපට නැති හෙයින් අපි හුදෙක් කරුණු දැක්වීම පමණක් කරමු.ප්‍රාණඝාතයක් සිද්ද වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුය.
1. ප්‍රාණියෙක් බව දැනගැනීම
2. මරන චේතනාව පහළ වීම
3. මරන පිණිස උපක්‍රමයක් යෙදීම
4. උපක්‍රමය සාර්ථක වීමෙන් මරණය සිද්ධ වීම
5. ඒ බව දැනගැනීම
මෙහිදී කොහේවත් "තමාගේ" / "අනුන්ගේ" කියා බෙදීමක් නැත. සතිපට්ඨාන සුත්‍රයේ මෙම අජ්ඣත්ත-බහිද්ධ හෙවත් ඇතුළු-පිට (තමන්/අනුන්) විග්‍රහය දක්වා තිබේ. බුදු දහම අනාත්ම වාදයකි. හරියට බැලුවොත් තමා-අනුන් කියා දෙයක් නැත. ඇත්තේ එකම පංචස්කන්ධ පමණි. එසේනම් මගේ ප්‍රාණය සහ උගේ ප්‍රාණය කියා දෙකක් අතර වෙනසක් ද නැති විය යුතුය.
කෙසේ වෙතත් විනය මට්ටමින් මේ දෙක අතර වෙනසක් පවතී. තවත් මිනිසෙකුගේ ප්‍රාණය තොර කිරීම මනුස්ස විග්ගහ පාරාජිකාවකි. එනම් ඉතා බරපතල වරදකි; සිය දිවි නසා ගැනීම දුක්කටාපත්තියකි. සතෙකුගේ පණ නැසීම ඊටත් අඩු පාචිත්තිය ඇවතකි. විනය අටුවාව වන සමන්තපාසාදිකාවේ මේ ගැන සෑහෙන විස්තර දැක්වේ.
නොදන්නවුන්ගේ දැනගැනීම පිණිස, පාරාජිකා ගැන ද යමක් කියමු. පාරාජිකා යනු "පරාජය වන්නේ ය" යන අරුත් දෙන වදනකි. එනම්, "මුල සුන් ගසක් මෙන්, කරටිය සිඳුණු තල් ගසක් මෙන්, යළි මේ ජීවිතයේ කවරදාකවත් චීවරයක් දැරීමට නුසුදුස්සෙක් වන සේ පැවිදි දිවියෙන් පැරද පලා යන්නේ යම් වරදකින් ද, එය පාරාජිකා වේ." පාරාජිකා වූ භික්ෂුවක් සාමණේරනම් උපසම්පදාව නොදිය යුතුය. උපසම්පදා වී ඇත්නම් සිවුරු හැරවිය යුතුය. එවැනි පාරාජිකා හතරකි. එනම්,
1. මෛථුන ධම්ම පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම
2. අදත්තාදාන පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් නොදුන් දෙයක් ගැනීම
3. මනුස්ස විග්ගහ පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් මනුෂ්‍ය ජීවිතයක් තොර කිරීම
4. උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව - භික්ෂුවක් නැති ලොවුතුරු ගුණ (උදා: නැති රහත් බවක්) පෙන්වීම
අදාළ පාළි පාඨ මෙතැනින්.
සටහන: මේ අනුව අද වෙසෙන චීවරධාරීන්ගෙන් කී දෙනෙක් සිවුරු දැරීමට සුදුස්සෝ වෙත් දැයි ද ගැටළුවක් පැනනගී.
විනය පිටකය අනුව නම්, සියදිවි නසා ගැනීම පාරාජිකාවක් නොවේ; ඊට වඩා අඩු, දුක්කටාපත්ති නම් වරදකි. දුක්කටාපත්ති හෙවත් දුකුලා නොවී සිය දිවි නසාගත හැකි අවස්ථා ද හතරක් තිබේ.
1. බරපතල ලෙස රෝගී ව සිටින නමුත් බෙහෙත් / උපස්ථායකයන් නැති විට දී,
2. සුව නොවන ලෙස කල් පවතින රෝගයක් වැළඳ, උපස්ථායකයන් ද වෙහෙසට පත්ව ඇති විටදී,
3. මරණය වලක්වා ගත හැකිව තිබියදී, එය වළක්වන්නට කරන උත්සාහයේ දී ධ්‍යානය බිඳේ නම් එවිට දී,
4. ආහාර ගැනීම පවා බවුන් වැඩීමට ගන්නා උත්සාහයට බාධාවක් වේ නම් එවිට දී.
මේ කියන්නේ අප නොවේ.
"....උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වසකෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ... මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය...." ~ රේරුකානේ චන්දවිමල හිමි, උපසම්පදා ශීලය
මේ අනුව, ප්‍රාණඝාතයක් වුණත් නැතත්, ඉහත දිවි නසා ගැනීම, විනයට අනුව පැහැදිලි වරදක් බව පෙනේ.
ගෝධික තෙරුන්ගේ කතා වස්තුව
මෙයද බොහෝ දෙනා වරදවා ගන්නා උදාහරණයකි. ගෝධික යනු පිට පිට සයවරක් ධ්‍යාන වඩා ඒ සය වරම ධ්‍යානය රැකගත නොහැකිව ඉන් පිරිහී ගිය හිමිනමකි. මේ කෙරුවාව තවත් කරන්නට බැරිය, මෙවර නම් ධ්‍යානයෙන් පිරිහෙනවාට වඩා මරණය සැපයි කියා සිතු ගෝධික තෙරණුවෝ, දැලිපිහියක් ගෙන, ධ්‍යානයට එළඹෙනවාත් සමගම ගෙල සිඳ ගත් හ. එහෙත් ගෙල කැපී යත් ම දැනෙන වේදනාව අරමුණු වත්ම, මෙතෙක් කල් අවබෝධ කරගත නොහැකිව තිබූ චතුරාර්ය සත්‍යය උන් වහන්සේට අවබෝධ විය. වේදනානුපස්සනාව අරමුණු කළ උන් වහන්සේ එකෙණෙහිම සත්‍යාවබෝධය ලබා රහත් වුහ. මේ ගැන නොදන්නා මිනිස්සු, භික්ෂුවක් සිය දිවි නසා ගත්තේ ය යන කතාව පැතිරවූ හ. බණ පොතේ හැටියට මාරයා, ගෝධික තෙරුන් කොහි උපන්නේ දැයි නොදැක, අන් වෙසක් මවාගෙන බුදුන් හමුවට විත්, "ගෝධික කොයි ගියේ දැයි" විමසු බවත්, බුදු හිමි, "මාරය, ගෝධික තොපට සොයා ගන්නට බැරි තැනක නිවී ගියේ යැයි" කී ලු.මේ සිද්ධිය අනුව පැහැදිලි කරුණක් මතු වේ. එනම්, ගෙල කපා ගන්නට තීරණය කෙළේ පෘථග්ජනයෙකි. මරණය වන විට ඔහු රහතෙකි. ඒ අනුව, ගෝධික තෙරණුන් ගේ ක්‍රියාව හුදෙක් ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් සිදු වූ දෙයක් බවත්, ඒ පිටුපස කිසිම ලෞකික අරමුණක් නොතිබූ බවත් පැහැදිළිව පෙනේ.
සිරිසඟබෝ සිරිත
මේ ගැන ද කියන්නට ඇත්තේ සස ජාතකය ගැන කී ටික මැයි. සිරිසඟබෝ රජු හමුවට ආ මගියා කියා සිටියේ, ඔහුගේ රාජ්‍යය පැහැර ගත් මල් බෑ තෙම, සිරිසඟබෝ යැයි සැකපිට මිනිසුන් දහස් ගණනක් මරා දමන සැටියි. සිරි සඟබෝ රජු ගෙල කපා දන් දෙන්නේ, තමාගේ හිස ලැබුණු පසු අර කී මනුෂ්‍ය ඝාතන නවතින බව සක්සුදක් සේ දැනසිටි බැවිනි. මිසක් මනුෂ්‍ය ඝාතන වළක්වපියවූ කියා උද්ඝෝෂණ කරන්නට නොවේ.ප්‍රායෝගික පැත්ත
දැනට දන්නා දත්ත අනුව ගත්කල අපේ ලංකාව තුළ දිනකට ගබ්සාවන් 500 කට වඩා සිදු වේ. රට වටකර ඇති මුහුදු තීරයේ මසුන් ටොන් ගණනින් මරා දැමීම සිදු කෙරේ. බෙල්ල කපාගෙන, කට කපාගෙන, මැරෙන මොහොතේ අවසන් හුස්මවත් හිමි නැතිවයි, මාළුවා මැරෙන්නේ. දිනකට මරා දමන ඌරන් ප්‍රමාණය 3000 ත් 5000 ත් පමණ වේ. කුළුගෙඩි පහර කමින් ඉහ මොළ පුපුරු ගසන තරමේ වේදනාවක් විදිමින් පැයකට අසන්න හෝ පැයකටත් වඩා මරුවා සමග පොද බදන ඌරන් වෙනුවෙන් ජීවිතය පුජා කිරීමට කිසිවකුත් නොමැත. දිනකට මරා දමන කුකුලන් ප්‍රමාණය ලක්ෂ ගණනින් මැනිය හැක. කුකුලන් මරා දමන සමහර ක්‍රම සිහි ගන්වන්නේ අපායේ වධ වේදනා ය. ගොවිකමේ දී දිනකට මැරෙන මදුරුවන්, මදුරු කීටයන්, කෘමීන් ආදිය ගැන ගණන් හිලවු වත් නැත. සත්තු සිටී වා! දිනකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි. මේ ගැන කතා කරන්නට කවුරුවත් නැත්තේ ඇයි?ලිපිය
අප ඔබට පොරොන්දු වූ පරිදි, මේ සූදානම් වන්නේ අර කී ලිපිය ගැන කතා කරන්නට ය. මේ අප ඔබේ සතිමත් බව පරීක්ෂා කරන මොහොතයි. සූදානම් වන්න!
පළමුව, මේ ලිපියේ දැක්වෙන ජීවිත පූජාවේ අරමුණු මොනවාද?
1. මේ ධරමද්වීපයේ ගව ඝාතනය නතර වේවා!
2. ත්‍රස්තවාද තුරන් වේවා!
3. බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ දී සම්මත වේවා!
4. බහුජාතික, බහුආගමික, සර්ව ආගමික බුදු දහම විනාශ කරන පූට්ටු නැති වේවා!
5. බෞද්ධ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය වේවා!
මේ කාරනා ඉටු නොවේ නම්, බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි.
මේ කරුණු ගැන දීර්ඝව කතා කිරීම පාඨක ඔබ වෙහෙසවීමකි. එහෙත් එය කළ යුතුය, මන්ද මේ සමස්ත සිද්ධියේ "බර" රඳා ඇත්තේ ඒ මත වීම නිසා ය.
පළමුව, මස් කන්නන් සිටියදී, ගව ඝාතනය නතර කළොත් වෙන්නේ කුමක් ද? ගවමස් පිටරටින් ආනයනය කරන්නට සිදු වීම හැර අන් කවරක් ද? දැනටමත් ණය බරින් මිරිකෙන අප වැනි රටකට ඒ බර දරා ගත හැකි ද? අනික, මස් මරන්නෙත් නැතිව, ගෙන්වන්නෙත් නැතිව සිටීම, මස් කන්නට කැමති අයගේ සිවිල් අයිතියට කෙසේ නම් බලපායි ද? කාටවත් බලෙන් සිල් රක්කවන්නට බුදුන් ක්‍රියා කෙළේ නැත.
දෙවනුව, ත්‍රස්තවාදය පරාජය කර ඇති නිසා ඒ ගැන යළි යළිත් මුන් වහන්සේ වදවීම අපට වටහා ගැනීම අපහසු ය. එබැවින් මේ කියන්නේ "ආගමික අන්තවාද" හෙවත් ජිහාඩ් වැනි විකාර ගැන වන්නට ඇතැයි අපි උපකල්පනය කරමු. ඒ ගැනනම් අපට ගැටළුවක් නැත. එහෙත් ඒ වෙනුවෙන් දිවි පිදීම ගැන අපට බරපතළ ගැටළුවක් ඇත. අප ජිහාඩයට එරෙහි වන්නේ ද එහි ඇති අන්තවාදී ක්‍රියා නිසා ය. ආගම වෙනුවෙන් ජීවිත පූජාව ද එවැන්නකි. අන්තවාද එපා කියමින් හිමිනමක් අන්තවාදී ලෙස දිවි පිදීම අප කෙසේ නම් අනුමත කරන්න ද?
තුන්වෙනුව, ලංකාවේ කොහෙවත් බලහත්කාරයෙන් ආගම්වලට හරවන්නේ නැත.කෙරෙන්නේ ආර්ථික වාසි නිසා ආගම මාරු කිරීමයි. ආගම යනු සිවිල් අයිතියකි. එය මාරු කිරීම, තබා ගැනීම හෝ ආගම විසිකර දැමීම පුද්ගල අයිතියකි. සදාචාරත්මක නොවන ආගම්වලට හැරවීම ගැන අප ද එරෙහි වන නමුත්, මේ කියන පරිදි එය නෛතිකව ක්‍රියාත්මක කළ හැකි එකක් නොවන බව අපි හොඳින් ම දනිමු. අන්‍යාගමීකරණය හා සටන් වදින්නේ නම් එය කළ යුත්තේ බිම් මට්ටමිනි; හෙවත් ජනතාව අතරිනි. පාර්ලිමේන්තුවෙන් නොවේ.
සිවුවෙනුව, මේ හතරවන කාරණාව ගැන අපට කියන්නට දෙයක් නැත: එහි භාෂා භාවිතය ගැන පමණක් අවධානය යොමන්න.
ඊළඟට: බෞද්ධ ව්‍යවස්ථාවක් යනු කුමක් ද? මත්පැන් තහනම් කරන එකක් ද? සත්ත්ව ඝාතනය තහනම් කරන එකක් ද? කුමක් ද? මේ සැරසෙන්නේ මේ ලංකාව ද, තවත් සෞදියක් කරන්න ද? ආගම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතු සීමාවක් තිබේ. ඒ සීමාව ඉක්මවා යාම බරපතල වරදකි. අපට අවැසි නීතියෙන් බෞද්ධ ලංකාවක් නොවේ: ප්‍රතිපත්තියෙන් බෞද්ධ ලංකාවකි.
අවසානයට: මේ කියන බලවේගය කුමක්ද? දිව්‍ය බලවේගයක් නම් වන්නට බැරි ය. බලපෑම් කරන "බලවේග" කියා මේ කියන්නේ කුමක් ද යන්න වටහා ගැනීම අපට නම් අපහසු නොවේ. මරණින් මතු "බලවේග" හෙවත් යක්ෂ ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීන්ව උපදින්නේ ද්වේශයෙන් හෝ ලෝභයෙන් මරණයට පත් වන්නවුන් ය. මේ කියන්නේ මරණින් මතු එවැනි බලවේගයක් ව බලපෑම් කරන බව ද?
බරපතලම කතාව එන්නේ මේ ලිපියේ දිනය නිසා ය.
මේ ලිපියේ දාතම සටහන් වන්නේ 2013 අප්‍රියෙල් මස 23 වන දින පස්වරු 03:29 වශයෙනි. සිද්ධිය සිද්ධ වුයේ මැයි මස 24 වන දින ය. එනම්, මේ සිද්ධිය සිද්ධ වන්නට මසකට පෙර ද මේ සියල්ල ලියා ඇත්තේ?
සටහන: ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නිසා ද මෙසේ විය හැකි බවට පාඨක ඔබ දැනුවත් කිරීම අපේ වගකීමකි.
ජාතික හෙළ උරුමයට අනුව නම්, උන් වහන්සේ එහි මන්ත්‍රී ධුරයක් හෙබවූ කෙනෙකි. ඔවුන්ට අනුව නම්, ඒ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් උන් වහන්සේ පක්ෂයෙන් නෙරපන ලද්දේ මැයි මස 10 හෝ ඊට ආසන්න දිනක ය. එහෙත් ඊට පෙර, උන් වහන්සේ සිය පක්ෂයට කළ නිසි දැනුම් දීමකින් තොරව, සිංහල රාවය සංවිධානයට බැඳීමට ක්‍රියා කර ඇති බව ද දැන් දැනගන්නට තිබේ. ඒ ගැන ක්‍රියා කෙළේ කෙසේ ද යන්න ගැන මේ වනතුරු දැනගන්නට නැත. හෙළ උරුමය දැන් කියන්නේ ඔවුන් මේ සිද්ධිය ගැන කිසිවක් නොදන්නා බව ය. නමුත් ඔවුන්ගේ "නොදන්නාකම" මෙන්න මේ ප්‍රකාශයෙන් පෙනේ.
සිංහල රාවය සංවිධානය, මෙරට ජාතික සංවිධාන අතරින් සෑහෙන දැඩි ඉදිරිගාමී පිළිවෙතක් ඇති සංවිධානයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට පෙර ද, නාවල කොස්වත්තේ පවත්වාගෙන ගිය එක්තරා සාස්තර පොළකට කඩාපැන, බෞධයන්ට අපහාස වන අන්දමේ පිළිම සහ දේවරූප තිබුණේ යයී චෝදනා කරමින් බයිබල් පොළොවේ ගසමින් යකා නටමින් කළ විකාරය අපට මතක තිබේ. බුදු පිළිම සමග එක මට්ටමේ දේවරූප තැබීම නීතියට අනුව වරදක් නොවේ. අනික පාරෙ දුවන බස්රථ දහයක් ගත්තොත් නවයකම බුද්ධ රූප සහ දේවරූප එකම රාමුවේ ය අලවා ඇත්තේ. එහෙනම් ඔවුන්ට තිබුණේ පාරෙ යන බස්රථ වටලන්නට ය. ෆැෂන් බග් සිද්ධියේ වගකීම ද අවසානයේ මාරු කරන ලද්දේ සිංහල රාවයට උදව් කළ හිමි කෙනෙකු වෙත බව අපට අමතක නැත.
මේ අනුව, මේ දිනය නිවැරදි නම්, එනම්, ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නොවේ නම්, මේ සිද්ධිය ගැන සිතන්නට තවත් බොහෝ දේ තිබේ.