logo banner

Saturday, June 29, 2013

සඳකඩ පහණ | Sandakada Pahana

කතෝලික පල්ලියක දොරපියට, සඳකඩ පහණක් යෙදීමේ සිද්ධියක් සහ එහිදී මතුවූ උණුසුම් වාතාවරණයක් පිළිබඳව පසුගිය දිනෙක අසන්නට ලැබුණි. මේ සටහන ඒ වෙනුවෙනි.



සඳකඩ පහණ හෙවත් චන්ද්‍රඛණ්ඩ පාෂාණය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතයකි. නියම සඳකඩ පහණ නොවන, වෙනත් එවැනි ඒ හා සමරූපී වන සරල ගල් කැටයම් සහිත පාපුවරු නම් රාජමාලිගා වලත් දකින්නට ලැබුණි. නමුත් අර සාම්ප්‍රදායික කැටයම් පේළි හතම ඇති නියම සඳකඩ පහණ, වෙන කිසිවෙකුගේ වත් නොව සිංහල බෞද්ධ සංකේතයක් බව අවිවාදිතය. බෞද්ධ පමණක් නොව, සිංහල බෞද්ධ (මන්ද  වෙනත් ජාතීන් සඳකඩ පහණවල් හදනවා ඉතිහාසයේ කොහෙවත් නැති නිසා) සංකේතයකි. කවුරුන් හෝ එය හුදෙක් සංස්කෘතික සංකේතයක් යැයි කියන්නේ නම්, එක්කෝ ඒ ඔහුගේ හෝ ඇයගේ නොදැනීම විය යුතුය, නැතිනම් කුහකකම විය යුතුය.

මෙහි ඇති වරද වන්නේ, ආගමික සංකේත සියල්ල පූජනීය සංකේත ලෙස වරදවා වටහා ගැනීම ය. අප එසේ කියන්නේ මන්ද?

සඳකඩ පහණ බෞද්ධයන්ගේ ආගමික සංකේතයක් නම් ඇයි ඕක පයට පෑගෙන්න තියන්නෙ යන්න බොහෝ දෙනා අසන පැනයකි. එසේ අහන බොහෝ දෙනා අබෞද්ධයන් බවද සත්‍යයකි. ඔවුන්ට අනුව පූජනීය ආගමික සංකේත සහ පූජනීය නොවන ආගමික සංකේත යනුවෙන් දෙකක් නැත. උදාහරණයක් ලෙස කුරුසිය, ජපමාලය, බයිබලය, කුරාණය වැනි මේ සෑම දෙයක්ම, පූජනීයය. යමක් ආගමිකද එය පූජනීයය. මන්ද සියලු අබෞද්ධ ආගම්, වන්දනාව සහ භක්තිය මත පදනම් වූ ඒවා බැවිනි. ආගමිකත්වය සහ පූජනීයත්වය අතර පවතින වෙනස වටහාගන්න ඔවුන්ට හැකියාවක් නැත; එය ඔවුන්ගේ අඩුවක් නොව, ඔවුන්ගේ චින්තනයේ හැටි ය. ඔවුන්ට එහෙම වුණත් අපට මෙය එතරම් සරල නැත. අපට ආගමික වන නමුත් පූජනීය, වන්දනීය නොවන සංකේත තිබේ.

බෞද්ධ අපට ඉතාම පසුකාලීන යුගයක් වනතුරු ගලින් මැටියෙන් කළ සංකේත තිබ්බේ නැත. බුදු පිළිම පවා අප හැදුවේ අනිත් බෞද්ධ සංස්කෘතීන්ට ඉතාම පසුකාලීනව ය. සඳකඩ පහණ යනු ආගමික සංකේතයක් මිසක් පූජනීය සංකේතයක් නොවන්නේ ඒ දෙකේ අරුත සහ කාර්යය වෙනස් බැවිනි. අර්ථය-කාර්ය වශයෙන් මේ දෙක අතර පැහැදිලි වෙනසක් ඇත්තේ ය. පූජනීය සංකේත වලට වෙනම නමක් ඇත. ඊට කියන්නේ චේතිය (චෛත්‍ය) කියා ය. එහෙම සංකේත ඇත්තේ තුනකි. කිසිවෙක් සඳකඩ පහණට වඳින්නේ නැත; විහාර බිත්තියේ ලියවැල් වලට වඳින්නේ නැත; වහලේ සිවිලිමේ හෝ බිම ඇති නෙළුම් මල් වලට වඳින්නේ නැත; අපට වන්දනීය සංකේත ඇත්තේ තුනයි. ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යනුවෙනි. එනම් එක්කෝ දළදා වහන්සේ වැනි ශාරීරික ධාතු ය. නැත්නම් ශ්‍රී මහා බෝධීන්නාන්සේ වැනි බුදු හිමියන් පරිභෝජනය කළ වස්තූන් ය. නැතිනම් බුදු පිළිම, බුද්ධ රූප, දාගැප් වගේ බුදුන් සිහිවන්නට තැනු ස්මාරක ය. චේතිය නොවන සංකේත ද ඇත. එසේ නොවුණා කියා එහි ආගමික මූලය නැති වන්නේ නැත. ඒ නිසා සඳකඩ පහණ කකුලට පෑගුණු පලියට එහි බෞද්ධ මූලය නැතෙයි කිව නොහැක.

බොහෝ අබෞද්ධයන් සඳකඩ පහණ වැනි දේවල් හුදෙක් අපේ සංස්කෘතියේ කොටස් පමණයි යන වැරදී නිගමනයට එන බව පෙනෙන්නට තිබේ. එහෙම දේ ද ඇති බවට සැකයක් නැත. උදාහරණයක් ලෙස වෙසක් කූඩු, වෙසක් තොරණ, ධජ පතාක සේසත්, මේවා සිංහල සංස්කෘතියේ කොටස් ය. කතෝලිකයන් නත්තලට තොරණ හැදුවාට, කූඩු හැදුවාට, දන්සැලක් දුන්නාට, සොරෝලෙට ධජ සේසත් රැගෙන ගියාට අප එරෙහි නොවන්නේ එබැවිනි.

කතෝලික ප්‍රජාව මේ රටේ සෑහෙන කාලයක පටන් සිංහල බෞද්ධ ප්‍රජාව සමග සහජීවනයෙන් ජීවත් ව තිබේ. අද අපේ බෞද්ධ සමාජයේ ඇති බොහෝ දේ අප කතෝලික ආභාසයෙන් ලබාගත් දේවල් ය. වෙසක් පෝයට කියන භක්ති ගීත වල පටන් ඉරිදා දහම් පාසල දක්වා, අද අප දෙවරක් නොසිතා අපේ දේ සේ සළකන බොහෝ දේ අප උකහා ගත්තේ කතෝලික ආභාසයෙන් බව සත්‍යයකි. ආරම්භය මොකක් වුණත් මේ රටේ සංස්කෘතියට හොඳින්ම අනුගත වුණු සභාව කතෝලික සභාව බව අවිවාදිතය.

කෙසේ වෙතත්, අප කැරොල් ආභාසය ගත්තා මිස බෞද්ධ කැරොල් කළේ නැත. අප එයින් ආභාසය ගෙන අපේම දෙයක් වන බැති ගී කළෙමු. අප ඉරිදා දේව මෙහෙය සහ ධර්මදූත සේවාව කොපි කලේ නැත. අප ඉන් ගත හැකි දේ රැගෙන අපේ පිරිවෙන් අධ්‍යාපනය මත පදනම් වූ දහම් පාසැල් ක්‍රමයක් පිහිටවා ගත්තෙමු. නමුත් සඳකඩ පහණ එවැන්නක් නොවේ. එය අමු අමුවේ කළ සංස්කෘතික මංකොල්ලයකි.

ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවේද වලත් යම් යම් සීමා මායිම් ඇත. ජාතියක, ආගමක සංස්කෘතියක අනන්‍යතාව තීරණය කිරීමෙහි ලා එහි ගෘහ නිර්මාණ ශිල්පය දක්වන බලපෑම සුළුපටු නොවේ. ඒ අනන්‍යතාව පැහැර ගැනීම බරපතල වරදකි. සමහරු මෙහිදී ආගමකට පෙර පුද්ගලික නිදහස තිබිය යුතුයැයි කීමට ඉඩ තිබේ. මෙය වැරදි කියවීමකි. පුද්ගල වරණීය නිදහස යන සංකල්පය අදාළ වන්නේ තනි තනි පුද්ගලයාට මිසක සමස්ත සමාජයට නොවේ. එහෙමනම් අපිත් කුරුසය අපට ඕනේ විදියට පාවිච්චි කළොත්? කුරාණය අපට ඕනේ විදියට පාවිච්චි කළොත්? ඉස්ලාමික හෝ වෙනත් සංකේත පාවිච්චි කරන්න ගත්තොත්?

ඒ සමගිය කඩකරන්නට සහ එමගින් සිය ගරාවැටෙන සංවිධානයන්ට යම් පොරත්වයක් ආරෝපණය කරගන්නට වළිකන පුද්ගලයන්ගේ උපක්‍රම වලින් පරෙස්සම් විය යුතු කාලයයි මේ. පළමුව කොටවනු ලැබූයේ අප සහ දමිළයන් ය. ඊළඟට මුසල්මානුවන් ය. මේ දෙකම සාර්ථක නොවුණු තැන මේ තතනන්නේ බොදු-කතෝලික වළියක් හරහා මේ රටේ සිංහලයා දෙකඩ කරන්නට ය. මෙවැනි කල් ඉකුත් වූ ලණු නොකා ඉන්නට තරම් මොළයක් මේ රටේ බුද්ධිමත් කතෝලිකයන් හට ඇතැයි අපි උදක් ම විශ්වාස කරන්නෙමු.

Saturday, June 22, 2013

ජාති මාමක බලවේගය | Protectors of Nation

ජීවන් අබේසිරිවර්ධන ගෙන් උපුටා ගැනීමකි. නිර්මාණයම කතාවක් බැවින් අප කිසිවක් එකතු නොකිරීම වැඩ සුදුසු ය. මේ කතාවේම සමාන්තර විශ්වීය දිගහැරුම, සමනළ විප්ලවය කතා මාලාවේ මෙසේ සටහන් ව තිබුණි




පිනවත් රටකි මුතු ඇටයකි පරසිද්ද
තෙවරක් බුදුන් හට පුද කල බව දත්ද
සුවහස් කලක් රැක දීමට බොදු සද්ද
තිස් තුන් කෝටියක් දෙවිවරු දැන් නැද්ද

සිංහල ජාතියලු මෙහි උරුමක්කරුවෝ
මෙතුවක් කලක් බුදු පා නැමදුම් කෙරුවෝ
සුලු ජාතියකි තම්බින් යැයි නම් දැරුවෝ
ඉන්නට නොහැක පල සමගින් අබු දරුවෝ

කියමින් කරන මහ ලොකුවට දැන් සද්ද
එක පාරටම දෙවියනි මේ මක් වෙත්ද
සිංහල දෙමල මුස්ලිම් හා බර්ගර්ද
ජාතික කොඩියෙ ඉන්නව ඇයි අමතකද

තුන් වාරයක් බුදු පා පහසත් ලැබුවා
සුසමන් දෙවිදු හට තව පෙනුනිද මේවා
හැම ජාතියක් හා සමගිව කල් ගෙවුවා
සිංහල කමට බොදු කම සවියක් වූවා

ෆාතිම ෆයිස සමගින් අවුරුදු කාලා
උන් එක්කරන් ගෙනිහින් දන්සල් වැදලා
කල ගුන දත් එවුන් යැයි ලෝකෙට කියලා
දැන් මේ මොකද කඩු උන් දෙස හරවාලා

එනු ගිනිතියන්නට මේ තම්බින් හැත්ත
මුන් රට දෙකට කඩනව කෝ ගනු කැත්ත
සටනට රකින ජාතිය පෙරමුන ගත්ත
මිනිසුන් දකින විට මගෙ හද තැති ගත්ත

ආගම් බේදයෙන් තොර සැම දෙන වැන්දා
මතකයි අපට ගුරු හරු කම් දෙක දුන් දා
අවි හින්සකම ආගම මෙය යැයි කියලා
කහ සිවුරෙන්ම ඇයි ගිනි ඇවිලුවෙ වැඩලා

නායක පුටුව අරගත් චීවර දාරී
පොඩ්ඩක් අරන් එලවනවලු රිය ආරී
එය හෙලිකලා දිල්කලු නම හැඩ කාරී
දැන් හොයනවලු ගිනි තැබුමට ඇගෙ සාරී

මුල්වී රටේ හැමදේටම මග පෙන්වූ
වරදින් මුදන අදහස හදවත මුල්වූ
සැම දන වෙතම කරුනා ගුනයම පෙන්වූ
රත්නය සන්ග වේ අප හදවත එකවූ

මාමේ කවුද අර නපුරෙක් නේ එන්නේ
කියමින් පුන්චි දුව ගේ ඇතුලට යන්නේ
දුටුවා වඩිනු නායක හිමි ඒ එන්නේ
මම විමසුවා මොනවද දුව පවසන්නේ

මාමා දන්නෙ නෑ ඒවා බලනවද
ඔය කාමරෙන් එලියට වත් එවෙන වද
ඔය ඇදුමෙන්ම තව අය මෙහි ඉන්නවද
බැලුවොත් ටීවි එකෙ නම් යනවා ඇත්ත

කඩ ගිනි තියනවා සිවුරක් අතට අරන්
කෑ ගහනවා කැත වචනෙන් වැහුව සවන්
පොලිසියෙ මාම කෙනෙකුන්ටත් ගැහුව පයින්
දැක්කම බයයි මම නම් දැන් වෙනව අයින්

පොඩි දුව කියපු දේවල් ටික ගැන අහලා
මගෙ සියොලගම දහදිය යනවා ගලලා
සිවුරක් දුටු ගමන් පැදකුනු කොට වැදලා
තිබු ගවුරවය මුන් ටික දැන් නැති කරලා

ජාතිය ඕනෙ නම් ඒකත් රැකපල්ලා
ආගම ඕනෙ නම් ඒකත් රැකපල්ලා
මැරයන් ලෙසින් සතුරන් බොටුවෙන් අල්ලා
සිවුරෙන් එපා කලිසමකට බැහැපල්ලා

මුස්ලිම් දමිල හැම අත් වල නූල් පිරිත්
බැදි සග රුවන දැන් අරගෙන කඩුත් කොපුත්
මම ආදරෙයි මේකයි රට මගෙත් අපෙත්
එය නැති කරන හින්දයි කඩු ගත්තෙ අපිත්

චන්දය ලගලු හාවක් හූවක් යනවා
රගපෑමක්ලු මෙය කාටත් වැටහෙනවා
රැවුලට රෙද්දටත් චන්දය නම් දෙනවා
සිවුරට තිබෙන ගවුරවෙ නම් නැති වෙනවා

සටහන: ඡායාරූපය පූජ්‍ය දියකඩුවේ සරණසිරි හිමියන් විසින් ගන්නා ලද, මුහුදු මහා විහාරයේ ඡායාරූපයකි.

Saturday, June 1, 2013

නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

ප්‍රවිෂ්ටය
මේ දිනවල සමාජ ජාල වල වැදගත්ම මාතෘකාව වන්නේ හරක් මස් විරෝධයයි. හරකා සහ අනිත් සතුන් අතර වන මේ වෙසෙස් වෙනස අපට නම් වැටහෙන්නේ නැත. මේ ටික කී විට හරකාට කිරි අම්මා යයි කියන අයට සැහෙන්නට රිදෙනු ඇත. එහෙත් අපේ නම් අදහස, මේ කතාව ඇත්ත නම්, මුළු රටේම කිරි අම්මාවරු දැන් සිටින්නේ එක්කෝ ඕස්ට්‍රේලියාවේ නැතිනම් නව සීලන්තයේ බවයි. හරකාට අම්මා යයි කියන්නේ අප නොව, හින්දුන් බව අපි කලින් වතාවක කරුණු සහිතව දැක්වුයෙමු. එය කියවන්නට නොහැකි වූ අයෙක් වෙතොත් මෙතැනින් කියවිය හැකිය.

මේ ලියන්නා ද බෞද්ධයෙක් සහ වසර ගණනක සිට පූර්ණ නිර්මාංශික වෙයි. ඒ බුදු දහමේ කොහෙවත් නිර්මාංශික වන්නට යයි කියා ඇති නිසා නොව, පුද්ගලික හේතුවක් මත ය. 

නිර්මාංශික භාවය ඍජුව සම්බන්ධ වන්නේ අහිංසාව සමග ය. එහි වරදක් නැත. එහෙත් ප්‍රමාණතික්‍රාන්ත අහිංසාව කිසිදා ප්‍රායෝගිකව කරන්නට බැරි දෙයකි. එය බුදුන් වහන්සේ හොඳින් වටහා ගෙන සිටියෝ ය. මේ නිසාම අපි පළමුව, පළමු සිකපදය ගැන කතා කරමු.



ප්‍රාණඝාතය

ප්‍රාණඝාතය සපිරෙන්නට නම් කරුණු පහක් අවශ්‍ය ය.

1. පණ ඇති සතෙකු වීම.
2. පණ තිබෙන බව දැනගැනීම.
3. පණ නැසීමේ චේතනාව.
4. පණ නැසීම සඳහා යම් උපක්‍රමයක් යෙදීම / යෙදවීම / යෙදීමට අනුබල දීම,
5. එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස එම සතා ගේ ප්‍රාණය හානි වීම.

වැදගත්ම කරුණ වන්නේ, සතා මරණයට පත්වීමට හේතුව ඔබ අතේ තිබිය යුතුය යන්නයි. ප්‍රාණඝාතය අවිකල්පික ක්‍රියාවකි; එසේම එය නාසඥිවේ. එනම් ඔබ එකෙකු මරන්නට තැත්කරමින් කළ ක්‍රියාවෙන් වෙනෙකෙකු මළාය කියා පව නොපිරෙන්නේ නැත. එසේම මින් එකක් හෝ නොමැති තැන ප්‍රාණඝාතයක් සිදු නොවේ. 

උදාහරණයක් ලෙස, ඔබ වත්තට එන බල්ලෙකුට මරණ චේතනාවෙන් ගල්ගෙඩියකින් ගැසුවාය සිතන්න. වැරදීමකින් ඒ ගල්ගෙඩිය වැදුනේ ඔබේ මවගේ හිසේ යයි සිතන්න. ඇය ඉන් මළොත් ඔබට අනිවාර්යයෙන්ම ආනන්තරිය අකුසලය සිද්ධ වේ. බොහෝ දෙනා මෙහිදී චේතනාව ම කර්මය වේ යැයි සිතා, ආනන්තරිය අකුසලය සිද්ධ නොවන්නේ යැයි කියනු ඇත; එහෙත් අභිධර්ම විග්‍රහය (රේරුකානේ හිමියන්ට අනුව) සැලකුවොත් බල්ලා, මව යන දෙදෙනෙක් නැත; ඇත්තේ පංචස්කන්ධ දෙකක් සහ පරපණ නසන චේතනාව පමණි. එනිසා අකුසලය අනිවාර්යයෙන්ම සිද්ධ වේ.

ඊළඟ වරද්දා නොගත යුතු කාරණය මෙයයි: ප්‍රාණඝාතය සම්පූර්ණ වන්නට නම් පණ නැසීමට ඔබේ ක්‍රියාව ඍජුව හේතු විය යුතුය. එනම්, යම් නිශ්චිත ප්‍රාණියකු හට බලපෑ යුතුය. මරන චේතනාවක් නැතිනම්, ඔහේ ගහන කඩු පහරකින් වුවද මිනිසෙකු මරණයට පත්විය හැකිය. ඉන් අකුසලයක් සිද්ධ නොවේ. 

කෙටියෙන් කියන්නේ නම්, මරන චේතනාවක් නැතිව කඩුවක් අරන් වැනීම නිසා, දාහක් දෙනෙක් මළත් පවු නොපිරේ; එනමුත් බල්ලෙක් මරන චේතනාවෙන් ගලක් වීසිකොට මිනිහෙක් මළත් ප්‍රාණඝාතය සිදුවේ. (කරුණු අනුපිළිවෙල අනුව නොගැළපීමක් ඇති බවට කළ පාඨක පෙන්වාදීමක් අනුව එකතු කළෙමු)

උදාහරණයක් ගනිමු. මිනිහෙක් තව මිනිහෙකුගේ අත කපා දමයි. මෙය අකුසලයක් ද නැද්ද? අපට ඊට ඍජුව පිළිතුරු දිය නොහැක. අත කපන්නා හංදියේ චණ්ඩියෙක් නම් සහ, ඌ එය කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නම් අකුසලයකි. එහෙත් රෝගියකුගේ දිවි ගලවනු වස් වෛද්‍යවරයකු අත කපා දැමීම අකුසලයක් නොව, කුසලයකි. හැබැයි, රෝගියාගේ අත නොකපා බේරාගන්නට තිබියදී, පරණ තරහක් පිට අත කපන්නට වෙදා සිතන්නේ නම්, එය යළි අකුසලයකි. 

මාංශ අනුභවය
පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි. 

කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති. 

(පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ. 

කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි. 

මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ. 

මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

උදාහරණයක් ගනිමු. 

1. ඔබ ජීවත් වේ. 
2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
3. ඔබ පණ පිටින් බව මම දනිමි.
4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි. 

නමුත් සත්‍ය කතාව නම්,

1. මුදලාලි ඔබව මරනවා. 
2. මට මස් කන්න හිතෙනවා.
3. මම ඔබේ මළකුණ දකිනවා.
4. මට මස් කන්න හිතෙනවා.
5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි. 

ඔබේ අල්ලේ වණ තිබේද?
මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය. 

මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය. 

තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය: 

බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු. 

වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ." 

ඉංග්‍රීසි බසින් කියවන පාඨකයන් සඳහාත්, අප මෙය ලියන්නට පෙළඹවූ මුල් ලිපිය කියවනු රිසියවුන් සඳහාත්, පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමිගේ ලිපියක් මීටම සබැඳි කොට දක්වමු.

දේවදත්තාගම 
මේ දිනවල රටේ කෙසේ වෙතත් ෆෙස්බුක් වැනි සමාජ ජාල වල පැතිරී යමින් පවතින වෙනත් ආගමක් ද වේ. පෙනුමට එය පෙනෙන්නේ බුදු දහම ලෙස ය. නමුත් යම් යම් සියුම් කරුණු රාශියක් නිසා එය වඩාත් ලං වන්නේ කුරාණයට හෝ දේවදත්ත තෙරුන්ගේ පස්වැදෑරුම් ඉල්ලීමට මිසක, බුදු දහමට නොවන බව පෙනේ. කටවහරේ පහසුව තකා අපි ඊට දේවදත්තාගම යැයි කියමු. 

ඊට අනුව ප්‍රාණඝාතය සහ හිංසනය, අප දන්නා ප්‍රාණඝාතයට සහ හිංසනයට වඩා වෙනස් වේ. මෙන්න අපි දකින වෙනස්කම්: (සමහර කරුණු අපේ අදහස් නොව, අපේ ෆේස්බුක් පිටුවට ලැබුණු පාඨක අදහස් ය.)

1. අ) රට වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් හට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙන්නේ නැත.
1. ආ) බෝසතුන් නොවන අයටද ජීවිත පූජා කළ හැකිය.
1. ඇ) රට / හරක් වෙනුවෙන් ජීවිතය පිදුවාට පැවිද්දන් හට දුක්කටාපත්ති නැත.

2. අ) මස් කෑම පවු සිද්ද වෙන වැඩකි. 
2. ආ) බිත්තර මාළු කෑවාට කමක් නැත. 
2. ඇ) හරක් මස් කෑම ආනන්තරිය අකුසලයකි.
2. ඈ) එසේ කන්නවුන් හොඳින් හෝ නරකින් ඉන් මුදවා ගැනීම තුසිතයේ ඉපදීමට පවා හේතු වන කුසලයකි.
2. ඉ) ප්‍රාණඝාතයේ බරපතලකම සතාගේ ශරීර ප්‍රමාණය අනුව වැඩි වේ. 

3. අ) බුදුරදුන් සෑම භික්ෂුවක්ම බුද්ධ වංශයේ යැයි දේශනාකොට ඇතත් ඉතා පසුගාමී, ගෝත්‍රවාදී, ලෞකික මිම්මක් වන "කුලයට" අනුව නිකාය වලට බෙදී වෙන්ව සිටියාට පව් නැත.
3. ආ) භික්ෂූන්ට මද්‍යසාර භාවිතය සහ එසේ කොට රිය පැදවීම කැපය
3. ඇ) භික්ෂූන්ට ප්‍රසිද්ධියේ පරුෂ වචන භාවිතා කිරීම කැපය
3. ඈ) භික්ෂුන් දාන සීල භාවනාදියෙහි යෙදිය යුතු නොවේ; මුස්ලිම් විරෝධය මගින් සියලු පිං අත් වේ.
3. ඉ) භික්ෂූන් පෙළ ගැසිය යුත්තේ වසවත් මරු පැරදුමට නොව ආණ්ඩුවට බලපෑම් කිරීමටයි.

4. අ) අන්‍යගමිකයන්ගේ කඩවලට යන උන්ට බිත්තර ගැහුවාට පවු නැත.
4. ආ) තමන්ට එරෙහිව එන උද්ඝෝෂකයන්ගේ පින්තුර එඩිට් කර කැලෑ පත්තර ගැසීම නිවැරදිය.
4. ඇ) අන්‍යාගමිකයන් හට බලෙන් හිංසාකාරීව හෝ මේ ආගම කියා දුන්නාට පවු නැත. 

5. අ) භික්ෂුන් හට නච්ච ගීත වාදිත වලින් පිරුණු ෆේස්බුක් තහනම් නැත. 
5. ආ) භික්ෂුන් හට දේශපාලනය වරදක් නැත. 
5. ඇ) රට ජාතිය ආගම වෙනුවෙන් භික්ෂුන් සීලය කඩා ගත්තාට පවු නැත. 

6. බෞද්ධයන්ට නයිට් ක්ලබ් සහ ඉටිපන්දම් අකැපය.

මේ වාහෙලා එදා බුද්ධ කාලයේ නම් සිටියා වෙන්නට බැරිය. සිටියා නම් දෙවුදත්ට පෙර බුදුන්ට ගල් ගහන්නේ මුන්දෙලාය. මේ අයට ය, මේ සිහිපත් කිරීම:

පිංවත, සිහි තබා ගන්න! මිනී 999ක් මරපු අංගුලිමාල රහත් වූ බව සිහි තබා ගන්න. සැණකෙළියක් සැණකෙළියක් ගානේ (අද වගේ නම් නයිට් ක්ලබ් ගානේ) ඇවිද ඇවිද හිටපු උපතිස්ස කෝලිත දෙදෙනා, සාරිපුත්ත, මොග්ගල්ලාන නමින් අගසව් වූ බව සිහි තබා ගන්න. නිරුවතින් වෙහෙරට දිව ආ පටාචාරාවෝ, හික්මීමෙන් අගතැන්පත් මෙහෙණිය වූ බව සිහි තබා ගන්න. බුදු සසුනේ පන්සිල් රකින්නවුන් අතර අග්‍රස්ථානයේ සිටියේ උභය කුල පාරිශුද්ධ විසාඛාව නොවේ; ප්‍රසිද්ධ ගණිකාවක වූ අම්බපාලිය බව සිහි තබා ගන්න. සියල්ලටම වඩා, ජීවිතේට එකම එක පාරක් මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් සහ භික්ෂුවක් දැකපු සිද්ධාර්ථ බුදු වූ බවත් මතක තබා ගන්න.

මේ ලිපියට කරුණු උපුටා ගත පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසො හිමිගේ මුල් ලිපිය පහත උපුටා දක්වමු.

What the Buddha Said About Eating Meat

Ajahn Brahmavamso

Since the very beginning of Buddhism over 2500 years ago, Buddhist monks and nuns have depended on almsfood. They were, and still are, prohibited from growing their own food, storing their own provisions or cooking their own meals. Instead, every morning they would make their day's meal out of whatever was freely given to them by lay supporters. Whether it was rich food or coarse food, delicious or awful tasting it was to be accepted with gratitude and eaten regarding it as medicine. The Buddha laid down several rules forbidding monks from asking for the food that they liked. As a result, they would receive just the sort of meals that ordinary people ate - and that was often meat.

Once, a rich and influential general by the name of Siha (meaning 'Lion') went to visit the Buddha. Siha had been a famous lay supporter of the Jain monks but he was so impressed and inspired by the Teachings he heard from the Buddha that he took refuge in the Triple Gem (i.e. he became a Buddhist). General Siha then invited the Buddha, together with the large number of monks accompanying Him, to a meal at his house in the city the following morning. In preparation for the meal, Siha told one of his servants to buy some meat from the market for the feast. When the Jain monks heard of their erstwhile patron's conversion to Buddhism and the meal that he was preparing for the Buddha and the monks, they were somewhat peeved:

"Now at the time many Niganthas (Jain monks), waving their arms, were moaning from carriage road to carriage road, from cross road to cross road in the city: 'Today a fat beast, killed by Siha the general, is made into a meal for the recluse Gotama (the Buddha), the recluse Gotama makes use of this meat knowing that it was killed on purpose for him, that the deed was done for his sake'..." [1].

Siha was making the ethical distinction between buying meat already prepared for sale and ordering a certain animal to be killed, a distinction which is not obvious to many westerners but which recurs throughout the Buddha's own teachings. Then, to clarify the position on meat eating to the monks, the Buddha said:

"Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you." [2]

There are many places in the Buddhist scriptures which tell of the Buddha and his monks being offered meat and eating it. One of the most interesting of these passages occurs in the introductory story to a totally unrelated rule (Nissaggiya Pacittiya 5) and the observation that the meat is purely incidental to the main theme of the story emphasizes the authenticity of the passage:

Uppalavanna (meaning 'she of the lotus-like complexion') was one of the two chief female disciples of the Buddha. She was ordained as a nun while still a young woman and soon became fully enlightened. As well as being an arahant (enlightened) she also possessed various psychic powers to the extent that the Buddha declared her to be foremost among all the women in this field. Once, while Uppalavanna was meditating alone in the afternoon in the 'Blind-Men's Grove', a secluded forest outside of the city of Savatthi, some thieves passed by. The thieves had just stolen a cow, butchered it and were escaping with the meat. Seeing the composed and serene nun, the chief of the thieves quickly put some of the meat in a leaf-bag and left it for her. Uppalavanna picked up the meat and resolved to give it to the Buddha. Early next morning, having had the meat prepared, she rose into the air and flew to where the Buddha was staying, in the Bamboo Grove outside of Rajagaha, over 200 kilometres as the crow (or nun?) flies! Though there is no specific mention of the Buddha actually consuming this meat, obviously a nun of such high attainments would certainly have known what the Buddha ate.

However there are some meats which are specifically prohibited for monks to eat: human meat, for obvious reasons; meat from elephants and horses as these were then considered royal animals; dog meat - as this was considered by ordinary people to be disgusting; and meat from snakes, lions, tigers, panthers, bears and hyenas - because one who had just eaten the flesh of such dangerous jungle animals was thought to give forth such a smell as to draw forth revenge from the same species!

Towards the end of the Buddha's life, his cousin Devadatta attempted to usurp the leadership of the Order of monks. In order to win support from other monks, Devadatta tried to be more strict than the Buddha and show Him up as indulgent. Devadatta proposed to the Buddha that all the monks should henceforth be vegetarians. The Buddha refused and repeated once again the regulation that he had established years before, that monks and nuns may eat fish or meat as long as it is not from an animal whose meat is specifically forbidden, and as long as they had no reason to believe that the animal was slaughtered specifically for them.

The Vinaya, then, is quite clear on this matter. Monks and nuns may eat meat. Even the Buddha ate meat. Unfortunately, meat eating is often seen by westerners as an indulgence on the part of the monks. Nothing could be further from the truth - I was a strict vegetarian for three years before I became a monk. In my first years as a monk in North-East Thailand, when I bravely faced many a meal of sticky rice and boiled frog (the whole body bones and all), or rubbery snails, red-ant curry or fried grasshoppers - I would have given ANYTHING to be a vegetarian again! On my first Christmas in N.E. Thailand an American came to visit the monastery a week or so before the 25th. It seemed too good to be true, he had a turkey farm and yes, he quickly understood how we lived and promised us a turkey for Christmas. He said that he would choose a nice fat one especially for us... and my heart sank. We cannot accept meat knowing it was killed especially for monks. We refused his offer. So I had to settle for part of the villager's meal - frogs again.

Monks may not exercise choice when it comes to food and that is much harder than being a vegetarian. Nonetheless, we may encourage vegetarianism and if our lay supporters brought only vegetarian food and no meat, well... monks may not complain either!

May you take the hint and be kind to animals.

References:

[1] Book of the Discipline, Vol. 4, p. 324
[2] ibid, p. 325

Ajahn Brahmavamso

(Newsletter, April-June 1990, Buddhist Society of Western Australia.)

http://www.urbandharma.org/udharma3/meat.html