කතෝලික පල්ලියක දොරපියට, සඳකඩ පහණක් යෙදීමේ සිද්ධියක් සහ එහිදී මතුවූ උණුසුම් වාතාවරණයක් පිළිබඳව පසුගිය දිනෙක අසන්නට ලැබුණි. මේ සටහන ඒ වෙනුවෙනි.
සඳකඩ පහණ හෙවත් චන්ද්‍රඛණ්ඩ පාෂාණය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතයකි. නියම සඳකඩ පහණ නොවන, වෙනත් එවැනි ඒ හා සමරූපී වන සරල ගල් කැටයම් සහිත පාපුවරු නම් රාජමාලිගා වලත් දකින්නට ලැබුණි. නමුත් අර සාම්ප්‍රදායික කැටයම් පේළි හතම ඇති නියම සඳකඩ පහණ, වෙන කිසිවෙකුගේ වත් නොව සිංහල බෞද්ධ සංකේතයක් බව අවිවාදිතය. බෞද්ධ පමණක් නොව, සිංහල බෞද්ධ (මන්ද වෙනත් ජාතීන් සඳකඩ පහණවල් හදනවා ඉතිහාසයේ කොහෙවත් නැති නිසා) සංකේතයකි. කවුරුන් හෝ එය හුදෙක් සංස්කෘතික සංකේතයක් යැයි කියන්නේ නම්, එක්කෝ ඒ ඔහුගේ හෝ ඇයගේ නොදැනීම විය යුතුය, නැතිනම් කුහකකම විය යුතුය.
මෙහි ඇති වරද වන්නේ, ආගමික සංකේත සියල්ල පූජනීය සංකේත ලෙස වරදවා වටහා ගැනීම ය. අප එසේ කියන්නේ මන්ද?
සඳකඩ පහණ බෞද්ධයන්ගේ ආගමික සංකේතයක් නම් ඇයි ඕක පයට පෑගෙන්න තියන්නෙ යන්න බොහෝ දෙනා අසන පැනයකි. එසේ අහන බොහෝ දෙනා අබෞද්ධයන් බවද සත්‍යයකි. ඔවුන්ට අනුව පූජනීය ආගමික සංකේත සහ පූජනීය නොවන ආගමික සංකේත යනුවෙන් දෙකක් නැත. උදාහරණයක් ලෙස කුරුසිය, ජපමාලය, බයිබලය, කුරාණය වැනි මේ සෑම දෙයක්ම, පූජනීයය. යමක් ආගමිකද එය පූජනීයය. මන්ද සියලු අබෞද්ධ ආගම්, වන්දනාව සහ භක්තිය මත පදනම් වූ ඒවා බැවිනි. ආගමිකත්වය සහ පූජනීයත්වය අතර පවතින වෙනස වටහාගන්න ඔවුන්ට හැකියාවක් නැත; එය ඔවුන්ගේ අඩුවක් නොව, ඔවුන්ගේ චින්තනයේ හැටි ය. ඔවුන්ට එහෙම වුණත් අපට මෙය එතරම් සරල නැත. අපට ආගමික වන නමුත් පූජනීය, වන්දනීය නොවන සංකේත තිබේ.
බෞද්ධ අපට ඉතාම පසුකාලීන යුගයක් වනතුරු ගලින් මැටියෙන් කළ සංකේත තිබ්බේ නැත. බුදු පිළිම පවා අප හැදුවේ අනිත් බෞද්ධ සංස්කෘතීන්ට ඉතාම පසුකාලීනව ය. සඳකඩ පහණ යනු ආගමික සංකේතයක් මිසක් පූජනීය සංකේතයක් නොවන්නේ ඒ දෙකේ අරුත සහ කාර්යය වෙනස් බැවිනි. අර්ථය-කාර්ය වශයෙන් මේ දෙක අතර පැහැදිලි වෙනසක් ඇත්තේ ය. පූජනීය සංකේත වලට වෙනම නමක් ඇත. ඊට කියන්නේ චේතිය (චෛත්‍ය) කියා ය. එහෙම සංකේත ඇත්තේ තුනකි. කිසිවෙක් සඳකඩ පහණට වඳින්නේ නැත; විහාර බිත්තියේ ලියවැල් වලට වඳින්නේ නැත; වහලේ සිවිලිමේ හෝ බිම ඇති නෙළුම් මල් වලට වඳින්නේ නැත; අපට වන්දනීය සංකේත ඇත්තේ තුනයි. ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යනුවෙනි. එනම් එක්කෝ දළදා වහන්සේ වැනි ශාරීරික ධාතු ය. නැත්නම් ශ්‍රී මහා බෝධීන්නාන්සේ වැනි බුදු හිමියන් පරිභෝජනය කළ වස්තූන් ය. නැතිනම් බුදු පිළිම, බුද්ධ රූප, දාගැප් වගේ බුදුන් සිහිවන්නට තැනු ස්මාරක ය. චේතිය නොවන සංකේත ද ඇත. එසේ නොවුණා කියා එහි ආගමික මූලය නැති වන්නේ නැත. ඒ නිසා සඳකඩ පහණ කකුලට පෑගුණු පලියට එහි බෞද්ධ මූලය නැතෙයි කිව නොහැක.
බොහෝ අබෞද්ධයන් සඳකඩ පහණ වැනි දේවල් හුදෙක් අපේ සංස්කෘතියේ කොටස් පමණයි යන වැරදී නිගමනයට එන බව පෙනෙන්නට තිබේ. එහෙම දේ ද ඇති බවට සැකයක් නැත. උදාහරණයක් ලෙස වෙසක් කූඩු, වෙසක් තොරණ, ධජ පතාක සේසත්, මේවා සිංහල සංස්කෘතියේ කොටස් ය. කතෝලිකයන් නත්තලට තොරණ හැදුවාට, කූඩු හැදුවාට, දන්සැලක් දුන්නාට, සොරෝලෙට ධජ සේසත් රැගෙන ගියාට අප එරෙහි නොවන්නේ එබැවිනි.
කතෝලික ප්‍රජාව මේ රටේ සෑහෙන කාලයක පටන් සිංහල බෞද්ධ ප්‍රජාව සමග සහජීවනයෙන් ජීවත් ව තිබේ. අද අපේ බෞද්ධ සමාජයේ ඇති බොහෝ දේ අප කතෝලික ආභාසයෙන් ලබාගත් දේවල් ය. වෙසක් පෝයට කියන භක්ති ගීත වල පටන් ඉරිදා දහම් පාසල දක්වා, අද අප දෙවරක් නොසිතා අපේ දේ සේ සළකන බොහෝ දේ අප උකහා ගත්තේ කතෝලික ආභාසයෙන් බව සත්‍යයකි. ආරම්භය මොකක් වුණත් මේ රටේ සංස්කෘතියට හොඳින්ම අනුගත වුණු සභාව කතෝලික සභාව බව අවිවාදිතය.
කෙසේ වෙතත්, අප කැරොල් ආභාසය ගත්තා මිස බෞද්ධ කැරොල් කළේ නැත. අප එයින් ආභාසය ගෙන අපේම දෙයක් වන බැති ගී කළෙමු. අප ඉරිදා දේව මෙහෙය සහ ධර්මදූත සේවාව කොපි කලේ නැත. අප ඉන් ගත හැකි දේ රැගෙන අපේ පිරිවෙන් අධ්‍යාපනය මත පදනම් වූ දහම් පාසැල් ක්‍රමයක් පිහිටවා ගත්තෙමු. නමුත් සඳකඩ පහණ එවැන්නක් නොවේ. එය අමු අමුවේ කළ සංස්කෘතික මංකොල්ලයකි.
ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවේද වලත් යම් යම් සීමා මායිම් ඇත. ජාතියක, ආගමක සංස්කෘතියක අනන්‍යතාව තීරණය කිරීමෙහි ලා එහි ගෘහ නිර්මාණ ශිල්පය දක්වන බලපෑම සුළුපටු නොවේ. ඒ අනන්‍යතාව පැහැර ගැනීම බරපතල වරදකි. සමහරු මෙහිදී ආගමකට පෙර පුද්ගලික නිදහස තිබිය යුතුයැයි කීමට ඉඩ තිබේ. මෙය වැරදි කියවීමකි. පුද්ගල වරණීය නිදහස යන සංකල්පය අදාළ වන්නේ තනි තනි පුද්ගලයාට මිසක සමස්ත සමාජයට නොවේ. එහෙමනම් අපිත් කුරුසය අපට ඕනේ විදියට පාවිච්චි කළොත්? කුරාණය අපට ඕනේ විදියට පාවිච්චි කළොත්? ඉස්ලාමික හෝ වෙනත් සංකේත පාවිච්චි කරන්න ගත්තොත්?
ඒ සමගිය කඩකරන්නට සහ එමගින් සිය ගරාවැටෙන සංවිධානයන්ට යම් පොරත්වයක් ආරෝපණය කරගන්නට වළිකන පුද්ගලයන්ගේ උපක්‍රම වලින් පරෙස්සම් විය යුතු කාලයයි මේ. පළමුව කොටවනු ලැබූයේ අප සහ දමිළයන් ය. ඊළඟට මුසල්මානුවන් ය. මේ දෙකම සාර්ථක නොවුණු තැන මේ තතනන්නේ බොදු-කතෝලික වළියක් හරහා මේ රටේ සිංහලයා දෙකඩ කරන්නට ය. මෙවැනි කල් ඉකුත් වූ ලණු නොකා ඉන්නට තරම් මොළයක් මේ රටේ බුද්ධිමත් කතෝලිකයන් හට ඇතැයි අපි උදක් ම විශ්වාස කරන්නෙමු.
මං හිතන්නේ සාම්ප්‍රධායික කතෝලික පල්ලිය සිංහල ජනසමාජයට වඩා වඩා කිට්‍ටු වීම තුලින් තම දහම ජන සමාජය තුල වඩ වඩා ස්ථාවර කිරීමට උත්සහ කරනවා. මෙය ගොඩක් පැරණි අධිරාජ්‍යවාදී කාලය තරම් දිවයන ක්‍රමයක්...
ReplyDeleteඋදාහරනයක් ලෙස තමිල්නාඩුවට ගොඩ බැහැපු මිශනාරීවරුන් දේමල භාෂාව ප්‍රගුණ කිරීම මගින් දෙමල ජනසාජයට වඩ වඩා ලං වූවා පමනක් නොව ඔවුනට සාහිත්‍යක් ද නිර්මානය කර දුන්නා. ඒ විතරක් නොවෙයි උත්තර භාරතිය ආර්‍ය ස්වාඅභීමානි දැක්මට ප්‍රතිවිරුද්දව 'ද්‍රවිඩ' හා 'මොහෙන්ද්‍රජාරෝ හරප්පා' ශිෂ්ඨාචාර හදුන්වා දුන්නා..
පවතින සමාජ ක්‍රමයට අනුගත වී දේව චිශවාසය තහවුරු කිරීම ඔවුන්ගේ ක්‍රමයියි...නමුත් ලාංකාවේ කතෝලික පල්ලි ආක්‍රමණශීලී නෑ...ඒ නිසාම සංවාදය තුලින් මෙවන් ප්‍රශ්ණ චිසදාගත් හැකියි...
ඒ සදහා සංවාදය ප්‍රමාණවත් උවත් විවිධ සේනා වල සිවුර කරට ගත්ත චීවර දාරීන් මේ ප්‍රශ්ණ තුල වීරයන් වීමට දරන උත්සහය හෙලා දැකිය යුතු මෙන්ම අධර්‍ය කිරීමද සිදුවිය යුතුයි..මේ සම්භන්දව ඔබගේ අදහසට එකඟ වනවා...
බොහෝ දුරට එකඟ වෙන්න පුළුවනි. ඒත් එක දේකට ඇරෙන්න. කතෝලික ධර්මප්‍රචාරණය, ඉතිහාසයේ කවරමදාකවත් ආක්‍රමණශීලී නොවුණාය කීම වැරැදියි. පෘතුගීසි යුගයේ කතෝලික දහම ප්‍රචාරය වුණේ සීයට අනුවක් තුවක්කුවේ බලයෙන් සහ ඉතිරි සීයට දහය තාන්න මාන්න වල බලයෙන්.
Deleteඑතනින් එහාට කිතුණු දහම හරහා රෙපරමාදු දහම ලංකාවට ආවම, කතෝලික පල්ලිය මහා පුදුම විදියට අසරණභාවයට පත්වුණු බව කවුරුත් දන්නා දෙයක් ඒ නිසා ඔවුන්ට සිද්ධ වුණා වෙනත් උපායමාර්ග වෙත යොමුවෙන්න. එහෙත් එහි සමස්ත ප්‍රතිඵලය සාධනීයයි.
අද වෙද්දී තේවත්ත පල්ලිය වැනි යම් යම් දේ හරහා ආයෙම අර ආක්‍රමණශීලී ස්වභාවය ඉස්මතු වෙනවා ඩො හෝයි සැකයකුත් මතුවෙන බව නොකියාම බැහැ.
සඳකඩ පහණ ආරම්බයේදි නිකන් ගලින් කල අඩ කවයක් පමණයි. පසු කාළිනව සඳකඩ පහණට විවිධ දෑ එක් වනවා. සමහර යුගවල සඳකඩ පහණ ඇත්තෙත් නෑ. කොහොමින් කොහොම හරි අවසන් රාජ යුගය උන මහනුවර යුගයෙදි තියෙන්නේ අමුතුම ආකාරයේ සඳකඩ පහනක්. දළදා මාලිගාවේ සඳකඩ පහණ හොඳම උදාහරණයක්. මම නම් හිතන්නේ ඕකට විවිධ අර්ථකතන දුන්නට, කළාකරුවාගේ සිතේ හටගත් නිර්මාණයක් පමණයි කියන එක. කෙසේ වෙතත් පල්ලිය දේශීය දේ බොහෝ සෙයින් එකතු කර ගන්නවා. ඒකේ වරදක් මම නම් දකින්නේ නෑ. යාඤාවන් පවා කාටත් තේරෙන සිංහලෙන් තියෙනවා. අපේ අයට තමයි ගාථා ටිකවත් සිංහලට හරවගන්න බැරි. ඉතින් මෙළෝ තේරුමක් නැතුව පාලි අටුවා ඇදලා අරිනවා. ඒත් සමහර හාමුදුරුවරු නම් ගාථාවන වෙනුවට බොහොම අලංකාර කවි ගායනා කරනවා මා අසා තියෙනවා. ඒක අර පාලි එකට වඩා ඇඟට දැනෙනවා. හොඳම උදාහරණය තමයි. අරියදම්ම හාමුදුරුවන්ගේ බෝධිය වඳින ගාථාවන් ටික. කොතරම් ජනප්‍රිය උනාද.
ReplyDeleteඉතිං බං ඔය ගාථා ටික සිංහල කාව්‍යට නගන්න ඉන්නේ.. මහා සේනාවක්.. එයාල ඒක කරයි..
Deleteඑකග නෑ මාතලන්. සඳකඩ පහණ යනු හුදෙක්ම කළා නිර්මාණයක් නෙමෙයි කියන එකයි අපේ ස්ථාවරය.
Deleteඔබේ ලිපියේ හරය සමඟ එකඟයි.
ReplyDeleteසඳකඩ පහණ පිළිඹඳ වඩාත් ප්‍රචලිත, සෙනරත් පරණවිතාන ශූරීන් ගේ අර්ථ නිරූපනය. නමුත් එයට විකල්ප වූ අර්ථ නිරූපනයක් සහිත ලිපියක් මට කියවන්න ලැබුණා මුතුහර සඟරාවක තිබී.එය එය කලකට පෙර “පුරාවිද්‍යා“ සඟරාවේ පල ව තිබූවක්.
සිංහලයා ගෞරවනීය දේ පෑගීමට තබන්නේ මන්දැයි කදිම විග්‍රහයක් එහි තිබුණා. වෙනදා කුල්ලෙන් වැටුණ විටෙක ඇටින් ඇටේ අතින් ඇහිදින සහල්, මංඟල පෝරුවේදී පෑගෙන්නට තබනවා. මේ පරස්පරය පිලිබඳ ඒ පැහැදිලි කිරීම අඩංගු මූලාශ්‍රය (මගේ කුඩා පොත් එකතුවේ බොහෝ විට ඇති)මා ඔබට පසුව පවසන්නම්.
වෙලාවක කමෙන්ටුවක් පළකරන්න. කැමතියි ඒ ගැන දැනගන්න.
Deleteසඳකඩ පහණක් පල්ලියක දොරකඩට දැමීම නොගැලපෙන වැඩක් විදිහටයි මම දකින්නෙ.
ReplyDeleteඉතාමත් වැදගත් ලිපියක් මට හැඟෙන විදියට. අන්‍යාගමිකයක් විතරක් නෙමෙයි සමහර බෞද්ධ උදවිය පවා සඳකඩපහණේ නියම අර්ථය දන්නේ නැහැ.
ReplyDeleteමොකක්ද නියම අර්ථය. ළියන්නකෝ අපටත් දැනගන්න..
DeleteThanks for this blogg post
ReplyDelete