logo banner

Tuesday, August 20, 2013

යන්තර මන්තර හොරු | Abracadabra

සාමාන්‍යයෙන් අප ලියන කාලීන / දේශපාලන ආකෘතියෙන් ඉවතට පැමිණ, වෙනස් ආරක ලිපියක් ලියන්නැයි දන්නා කියන සහෘදයෙක්ගෙන් ඉල්ලීමක් ලැබී තිබිණි. වෙනස් ආරක දෙයක් ලියන්නට නම් වෙනස් රටක් තිබිය යුතුය. උදේ හවා පැසෙන කකුළු හොද්ද ඇතුළේ වන කකුළුවකු හට, හට්ටියේ ඩිසයින් එක ගැන කතා කරන්නට කීම මොනතරම් සාධාරණදැයි මම පෙරළා ප්‍රශ්න කෙළෙමි. සාමාන්‍යයෙන් බ්ලොග් එකකට අනන්‍යතාවක් තිබේ. අප දකින ආකාරයට ඒ අනන්‍යතාව නැති කර ගැනීම යනු ඉන් දෙනු ලබන පණිවුඩයේ බර හෑල්ලු කිරීමකි. ඇරත්, අර සහෘදයා යෝජනා කළ ආකාරයට, ජීවිතේ සත්‍ය සිද්ධි ඇසුරින් ලියන සංවේදී කතා බ්ලොග් අවකාශයේ ඕනෑතරම් තිබේ.

කෙසේ වෙතත් එකී සාකච්ඡාවේදී ඔහු මතු කළ වැදගත් කරුණක් වෙයි. එනම්, දේශපාලන හොරකං වලට වඩා වෙනත් හොරකං ද මේ රටේ අනන්තවත් සිදුවනවා ය යන්නය. එබැවින් ඒ මානයද ස්පර්ශ කරමින් මේ ලියන්නට හදන්නේ රටම දන්නා එහෙත් එකෙක්වත් මොකක්වත් නොකියන, නොලියන හොරකමක් ගැන ය.

සති අන්ත පුවත්පතක් ගන්න. පළමු කාණ්ඩයේ දහවන පිටුවෙන් එහාට පෙරළාගෙන යන්න. මතකය හරිනම්, 13 හෝ 14 වන පිටුව පෙරළාගෙන, මෙන්න මෙවැනි දේ තිබේදැයි බලන්න:


  • අසරණ දරුවා! සැමියා බිරිඳ හැරගියා ද? ජීවිතයේ බලාපොරොත්තු සිඳීගොස් ද? හඬන්න එපා, පසුතැවෙන්න එපා. එන්න මා වෙත. වරු තුනෙන් ගෙන්වාදෙමි. අත්දුටුවයි, සත්‍යයි, ප්‍රත්‍යක්ෂයි. මුහුදෙන් එතෙරට බලපාන පරිදි කරදෙමි. හරිගියාට පසුව මුදල් ගෙවන්න. මා ඉපදුනේ ඔබට සේවය කිරීමට මයි. 
  • අතිප්‍රබල නීච කුල වශී ගුරුකම්! සැමියා අනියම් ඇසුරක් පවත්වයිද? බිරිඳ ඔබ හැර ගියේද? පෙම්වතා ඔබ මගහරී ද? කැමති තරුණිය පිටුපායි ද? ප්‍රේම සම්බන්ධයට දෙමාපියන් අකැමැතියි ද? සුරාවෙන් ගැලවීමක් නැද්ද? වරු තුනෙන් විසඳා දෙමි.
  • වශී! වශී!! වශී!! ස්ත්‍රී පුරුෂ වශී. රාජ වශී. සර්වජන වශී. වශී වශී. පමාවෙන්න එපා, කැමති තරුණයා / තරුණිය පිටුපායි ද? සැමියා / බිරිඳ ඔබ හැර ගියේ ද? රැකියාවේ ප්‍රගතියක් නැද්ද? තරග විභාග වලින් ජයක් නැද්ද? මහා වශී රාජ යන්ත්‍රය තාමත් අයදුම් කළේ නැද්ද? පමා වී ලතවෙන්න එපා. අදම අයදුම් කරන්න. 
  • මාතර කඹුරුපිටියේ / නුවර මැණික්හින්නේ / කුරුණෑගල අලව්වේ අතිප්‍රබල ගුරුකම්. වරක් පැමිණෙන්න වෙනස බලන්න. 

මේ වනාහි අර කී ලැයිස්තුවේ සුප්‍රකට වචන පෙළවල් කීපයකි. මීට වඩා වුවද උදාහරණ දිය හැකි මුත් දැනට මේ ඇතිය. 

මේ කරුණු දෙස බැලුවිට වෙන මොන උලව්වක් නැතත්, අපේ රටේ ගැහැණු පිරිමි සම්බන්ධතා පිළිබඳව ඉතා හොඳ විග්‍රහයක් ලබාගත හැකිය. මේ සියල්ල පසුපස මහා දරුණු, එහෙත් අප්‍රකාශිත ලිංගික දරිද්‍රතාවක් දිවෙන බව සක්සුදක් සේ පැහැදිලිය. කොහොමත් යාලු කාලයේ කරන්නට තියෙන හැම දහඅට මගුලම නැටුවාම, කසදෙන් පසුව කරන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. ඉතිං එදා පුරහඳ වගේ පෙනුණු මූණේ ආවාට දකින විට, එදා තිසර තන අද වලිකුකුළන් සේ පෙනෙන විට, එදා පුළුලුකුළ අද ඇදවුණු ලොරි බොඩියක් සේ පෙනෙන විට, ගෙදර හුචක්කුව අතහැර, පාරේ යන බෙන්ස් එකකට නගින්නට මොන මිනිහාටත් ආසාවක් ඇති වීම සාධාරණය. (මේ හුචක්කු කතාව අපේ එකක් නොවේ. වීඩියෝව පහළින්.) ගෑණි ගැන ද එසේම ය. එදා පෙම් කුමාරයා අද රෙද්දක් හෝදන්නේ නැති කෂඩයා වන විට, එදා "සූකිරි බෝලේ" අද "ඒයි මෙහෙ එනව" වූ විට, එදා පෙම් සුවඳ වෙනුවට අද අරක්කු ගඳ හමන විට, මොන ගෑණිට වුණත් එපා වෙන්නේ ය.





කෙසේ වෙතත් අපේ අරමුණ මේ ගෑණු-පිරිමි හුචක්කු කතාවල් කතා කිරීම නොවේ. අප කියන්නට ආවේ මන්තර හොරු ගැන ය. එසේ කියන්නේ හේතුවක් ඇතිව ය. මන්ද යත් මෙකී මන්තර හොරු වැඩියක්ම මංකොල්ල කන්නෙ අහිංසක ගෑණු මිනිස්සුන්ගේ සල්ලි බැවිණි. අද ඉන්නා යන්තර මන්තර හොරුන්ගේ හොරකමේ මහත පෙන්වා දීම පිණිස සරල උදාහරණ කීපයකින් පමණක් නැවතිය හැකි වුවත් මේ ලිපියේ අරමුණ ඊට වඩා ගැඹුරට කිමිදීමක් වෙත යාම කෙරෙහි ය. 

මන්ත්‍ර ගැන ඇත්ත

මන්ත්‍ර යනු අරුත් ගැන්වෙන්නේ "මනසේ ක්‍රියාකාරීතාව" හෙවත් "මනීන්ද්‍රියතාව" ලෙස ය. හිංදු මූල ග්‍රන්ථ ඇසුරෙන් ගත්විට, මන්ත්‍ර යනු විශ්වීය සත්තාවේ ස්වරාලිත නිරූපණයයි. මූලිකව මන්ත්‍ර ගොඩනැගෙන්නේ මන්ත්‍රාක්ෂර වලිනි. එවැනි අක්ෂර එක් පනසකි. ඒවා "මාතෘකා" නම් වේ. මන්ත්‍ර ගොඩ නැගෙන්නේ මාතෘකා වලිනි.

සියලු මන්ත්‍ර, ඕම්කාරය බීජ කොට ඇතැයි කියනු ලැබේ. ඕම් යනු (අං + හුං) අක්ෂර දෙකේ එකතුවකි. පළමුවැන්නෙන් ජනනය, එනම් ඉපිදවීම ද, දෙවැන්නෙන් හායනය හෙවත් විනාශය ද නිරූපණය වේ. ඕම්කාරය තුළ සියලු මන්ත්‍ර ඇතැයි කියන්නේ එබැවිනි. එය සියලු මන්තරවල ප්‍රාණය වන බැවින් ඊට "ප්‍රණවය / ප්‍රණව මන්ත්‍රය / ප්‍රාණබීජය" කියා ද කියති. මෙකී ඕම්කාරය, වෙනත් විවිධ ස්වරස්ථානයන් හා ගැටීමෙන් මන්ත්‍රාක්ෂර උපදී. ඒවාට මූලමන්ත්‍ර යයි කියති.

මන්ත්‍රයක කොටස් හතරකි. එනම්, ප්‍රණවය, නමස්කාරය, යාඥාව සහ පල්ලවය වශයෙනි. ප්‍රණවය හෙවත් ඕම්කාරය මන්ත්‍රයක ශීර්ෂය වේ. නමස්කාරය යනු යම් දේවතාවකු, යක්ෂයකු හෝ වෙනත් සූක්ෂ්ම ශරීරධාරියකු වෙත කෙරෙන ඇමතීමකි. යාඥාව යනු තමන්ට කරගත යුතු කටයුත්තට අදාළ ඉල්ලීමයි. පල්ලවය යනු අලංකාරය යන අරුත් දේ. යාචාර්ථ, නමස්කාරාර්ථ, විධාර්ත, සමොධාර්ත, විද්වෙශාර්ථ ඈ විසින් පල්ලව පද ගණනාවක් ඇත.  මන්තරයක් ජපකරන්නා විසින් මේ සියල්ල දැනගෙන කටයුත්තේ ය.

මෙසේ කොටස් හතරකින් සම්පූර්ණ වන මන්ත්‍රය ගැන, මන්ත්‍රධාරියා විසින් කරුණු හයකින් දැනුවත් විය යුත්තේ ය. එනම් ඍෂි, රාග (ඡන්ද), දෙවතා, බීජ, ශක්ති සහ කීලක වශයෙනි. ඍෂි යනු මන්ත්‍රය නිපදවූ පුද්ගලයා ය. රාග යනු අදාළ මන්ත්‍රය දැපිය යුතු ස්වර, ළය, තාන ආදී දැනුමයි. දේවතා යනු මන්ත්‍රාධිපති දේවතාවා කවරේ ද, කවර ගුණ ඇත්තේ ද, කවරාකාරයෙන් සැළකිය යුත්තේ ද යනාදී දැනුමයි. බීජ යනු අදාළ මන්ත්‍රය කවර බීජාක්ෂර කවර ලෙසකින් සංඝටනය වී තැනී ඇත්ද යන්න ගැන දැනුමයි. ශක්ති යනු අදාළ මන්ත්‍රයට අදාළ ශක්ති ගුණයයි. කීලක යනු මන්ත්‍රය තුළ සැඟව ඇත්තා වූ චෛතන්‍ය ගුණය එළියට ගැනීම පිලිබඳ දැනුමයි. මේ සියල්ලට අමතරව, තමා ජපකරන මන්ත්‍රයේ අර්ථ, සගුණ/නිර්ගුණ භේද, මූල, සාත්වික, රාජසික,තාමසික භේද, ජපනාකාර ආදී සියල්ල ගැන මන්ත්‍රධරයා දැනුවත් විය යුතුය.

මන්තරයක් ජප කළ පමණින් ප්‍රතිඵල නොලැබේ. පළමුව අදාළ මන්ත්‍රයේ සිද්ධිය ලබා තිබිය යුතුය. හරියට තුවක්කුවක් අතට ගත් පමණින් වෙඩි තැබිය නොහැක්කා සේ ය. පළමුව අදාළ කෞශල්‍යය ලබා තිබිය යුතුය. මෙකී කෞශල්‍යය ලබාදීම පිණිස මන්ත්‍රය සුදුස්සෙක් අතින් ලැබිය යුතුය. මෙය මන්ත්‍රදීක්ෂාව නම් වන අතර මෙය වනාහි ගුරුවරයා විසින් ගෝලයාට මන්ත්‍රදානය කිරීමයි. ගුරු දානය කරයි; ගෝලයා සාධනය කරයි.

සාධනාව ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඊට දශ සංස්කාර, පංච පුරශ්චරණ, ශොඩෂෝපචාර සියල්ල සපුරා තිබිය යුතුය. ලොපසින් කඩුවක් තනන ලොකුරුවෙකු මෙන් වෙහෙස මහන්සි වී කළ යුතු මේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ වන අතර, ලිපියේ බර වැඩි නොවනු පිණිස අදාළ නොවන යම් යම් විස්තර කපාහැර අවශ්‍යම ටික පමණක් දක්වනු කැමැත්තෙමු.

1. ජනන : තඹපතක අධෝමුඛ ත්‍රිකෝණයක් ඇඳ, එහි ජනන යන්ත්‍රය ඇඳගෙන, එහි කොටු 48 හි ඕම්කාරය හා හංසය හැර ඉතිරි මාතෘකාක්ෂර 48 ලිවිය යුතුය. මෙසේ අඳින ලද යන්ත්‍රයෙන්, තමා ඉගෙනගන්නට සැරසෙන මන්තරයේ එක් එක් අකුර බැගින් ගෙන ජනන මන්ත්‍රයෙන් 108 වර ජපා තල්පතක ලිවිය යුතුය. අකුරු සියල්ල සම්පූර්ණ වූ පසුව දෙපසටම ප්‍රණවය යොදා (එනම් "ඕම්" [අදාල මන්ත්‍රය] "ඕම්" ලෙස පිහිටුවා) හත්වරක් ජපකිරීමෙන් මන්ත්‍රය "උපදී".
2.  දීපන: අලුත තනාගත් කඩුවක් ගින්නෙන් දවන්නේ යම්සේ ද, එසේම මන්ත්‍රය ද දීපනය කළ යුතුය. මීට මන්ත්‍රයේ දෙපසට මායාබීජ අක්ෂරය යොදා හත්වරක් දැපිය යුත්තේය. (සමහර පොත්වලට අනුව දෙපසට හංසය යොදා 1000 වරක් ජපකළ යුත්තේ ය).
3. බෝධන : තනාගත් කඩුව දිස්නය දෙන පරිදි මදින්නේ යම්සේද, එසේම මන්ත්‍රය බෝධනය කළ යුතුය. ඊට අදාළ මන්ත්‍රයක් ඇති අතර, තනාගත් මන්ත්‍රයේ දෙපසට එය යොදා 5000 වරක් ජපකළ යුත්තේය.
4. තාඩන: තනාගත් කඩුවක් මිටියෙන් තළා පදම් කරන්නේ යම් සේද, එසේම තනාගත් මන්ත්‍රය ද තාඩනය කළ යුත්තේ ය. මීට අදාළ තාඩන මන්ත්‍රයෙන් දෙපස යොදා 1000 වරක් ජපකළ යුත්තේ ය.
5. අභිෂේක: ගින්නෙන් දවා මිටියෙන් තළා පදම් කළ කඩුවක් දියෙන් නහවා සිසිල් කොට සවි කරන්නේ යම් සේ ද, එසේම මන්ත්‍රය ද දියෙන් අබිසෙස් කළ යුත්තේ ය. මීට අදාළ අභිෂේක මන්ත්‍රය දෙපසට යොදා තවත් 1000 වරක් ජපකළ යුත්තේ ය.
6. විමලීකරණ: අලුත තැනු කඩුපතක වන මළ සියල්ල කපාහැර ශුද්ධ කරන්නේ යම් සේ ද, විමලීකරණ මන්ත්‍රයෙන් දහස්වර ජප කිරීමෙන් මන්ත්‍ර ශුද්ධිය වේ.
7. ජීවන: මෙතෙක් හුදෙක් අජීවී අක්ෂර පෙළක් සේ වුණු මන්තරය, ජීවන මන්ත්‍රයෙන් දහස්වර ජපකිරීමෙන් සජීවී මන්ත්‍රයක් වේ.
8. තර්පණ : අලුත උපන් දරුවෙක් කිරෙන් දියෙන් නහවා පවිත්‍ර කරන්නේ යම් සේද, එසේම වමතින් කිරි දිය ගෙන දකුණතේ වන මන්ත්‍රධාර තල්පත නහවමින් අදාළ මන්ත්‍රයෙන් දහස්වර ජප කරන්නේ ය.
9. ගොපණ: අලුත සැදු ගෙයකට ගොම පිරිබඩලමින් හිස්තැන් වසා අඩුතැන් පුරවා මට සුමට කරන්නේ යම් සේද, ගොපී මන්ත්‍රයෙන් දහස්වර ජපකළ යුත්තේය.
10. ආප්‍යායණ: අලුත උපන් දරුවකු ගෙට ගෙවදන්නේ යම් සේද, එසේම ආප්‍යායණ මතුරෙන් දහස්වර මතුරා අදාළ දශ කෘත්‍යය සපුරන්නේ ය.

මේ වනාහි දශ සංස්කාරයයි. එනම් මන්ත්‍රයක් සකස් කිරීමට අදාළ කරුණු දහයයි. සකස් කළ පමණින් මන්ත්‍රය "තමාගේ" වන්නේ නැත. කඩුවක් තැනු පමණින් එය "තමාගේ" යන හුරුව ලැබෙන්නේ නැතුවාක් මෙනි. ඊට පුරශ්චරණ පහක් පිරිය යුතුය.

1. ජපන: මන්ත්‍රයේ එන එක් අකුරකට ලක්ෂවාරයක් ජප කළ යුතුය.
2. දශාංශ හෝම: සෑම ජප දහයකට වරක්ම අග්නි පූජාවක් කළ යුතුය.
3. ශතාංශ තර්පණ: සෑම ජප සියයකටම වරක්ම ජල/ක්ෂීර පූජාවක් කළ යුතුය.
4. සහශ්‍රාන්ශ අභිෂේක: සෑම ජප දහසකටම වරක් අභිෂේක කළ යුතුය.
5. සමාරාධන: සෑම ජප දස-දහසකටම වරක් බ්‍රාහ්මණ දානයක් දිය යුතුය.

මෙසේ මහත් වෙහෙසකින් පසුව සාධනය ලබන මන්ත්‍රය අවසානයේ අදාළ දේවතාවා සම්බන්ධ සිද්ධිය ලැබෙන අතර ඕහට සොළොස් ආකාර සත්කාර පුදදිය යුතුය. එනම්, ආසන, ස්වාගත, නිද්‍ය, ආර්ඝය, ආචමන, මධුපාර්ක, ස්නාන, වස්ත්‍ර, ආභරණ, ගන්ධ, පුෂ්ප, ධූප, දීප, තාම්බුල, අජ්නී, වන්දනා යනුවෙනි.

මේ සියල්ල මැද ඇදුරා සිතින් කයින් වදනින් තුන්දොරින්ම පවිත්‍රව සිටිය යුත්තේ ය. සිතින්වත් අයුත්තක් නොසිතිය යුත්තේය. නිර්මාංශික සහ අනගාරික විය යුත්තේය. (මන්ත්‍ර සාධනය කළාට පසු නම් ගිහියෙක් වෙන්නට බාධාවක් නැත.) මන්ත්‍ර සාධනය යනු මෙවැනි අසීරු ක්‍රියාවකි. මේ වනාහි හුදු එක් මන්ත්‍රයක් පිලිබඳ සාධනාව වේ. මන්ත්‍ර ශාස්ත්‍රයේ එන සෑම මන්ත්‍රයක්ම සෑම අයෙකුටම සාධනා කොට භාවිත කළ නොහැක. තමාට සීහෙන (ගැළපෙන) මන්ත්‍ර මෙන්ම නොසීහෙන මන්ත්‍ර ද වේ. සිද්ධ, සාධ්‍ය සුසිද්ධ, අරි යනාකාර මන්ත්‍ර වර්ග හතරකි. නොදනුමකින් හෝ අරි (සතුරු) මන්ත්‍රයක් භාවිතයේ යෙදුණොත් ඇදුරාත් නසා ආතුරයාත් නසා උදව් දුන් එවුනුත් නසා මිස නොනවතී. එසේම මන්ත්‍රාධිපති දේවතාවන් ගත්තත් තමා හට සීහෙන දෙවතාවන් මෙන්ම නොසීහෙන දෙවතාවන් ද වේ. තමාට නෛසර්ගිකව නොගැළපෙන දේවතාවකු හට අදාළ මන්තරයක් ජප කිරීම යනු ආයුධ සන්නද්ධ සතුරෙක් සිය කැමැත්තෙන් ගෙට වැද්දගැනීම හා සමානය.

මෙසේ අමාරුවෙන් උපයා ගත් මන්ත්‍රය වුවත් ජප කිරීමට අදාළ ක්‍රමවේද ගැන ඇදුරා දැනුවත් විය යුතුය. වාච්‍ය, ලිඛිත, වෛඛාරී, උපාංශු යන සතරාකාර ජපක්‍රම නොවරද්දා ජපකළ යුතුය. එසේම ජප කිරීමේදී, ජප-දිෂ්ටි-ප්‍රාණ-පලිප්පු-ශෝධන දැනගෙනම කළ යුත්තේ ය. එකක් හෝ වැරද්දවීම යනු මුවහත් කඩුවක් වරදවා හැසිරවීම වැනිය. එක්කෝ තමා කපා ගනී; නැත්නම් ආතුරයා විපතට හෙළයි.

මන්ත්‍ර ශාස්ත්‍රයේ අදාළ ශාඛා අටක් වේ. ඒවා අෂ්ටකර්ම නමි. එනම් මන්ත්‍ර වලින් කරන ක්‍රියා අටකි. වශීකරණය ඉන් එකකි. තව හතක් තිබේ. එක් එක් කර්මයට එක් එක් මන්ත්‍රය පමණක් දැනගෙන උන්නත්, එකී මන්ත්‍ර අට පමණක් සාධනයට යන කාලය කොපමණ වේදැයි සිතීම අපහසු නොවේ. වශීකරණය ම ගත්තත් සෑම මන්ත්‍රයක්ම එකසේ පළ දෙන්නේ නොවේ. එසේම සෑම කාලයකම ක්‍රියාවේ යෙදවිය හැක්කේ ද නොවේ. දුබල මන්ත්‍ර අතහැර ප්‍රබල මන්ත්‍ර පමණක් සාධනය කළ හැකි නොවේදැයි කෙනෙක් අසන්නට පිළිවනි. ප්‍රබල මන්ත්‍ර සෑමවිටම ගැළපෙන්නේ නොවේ. ස්නයිපර් තුවක්කුවකින් කරන වැඩේ මල්ටි බැරල් රොකට්ටුවකින් කරන්නට බැරිය. කාලතුවක්කුවකින් කරන දේ රයිෆලයකින් කරන්නටද බැරිය. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ය. දර පලන පොරොවෙන් හදවත් සැත්කම් කරන්නේ නැත.

මේ සරල සමාලෝචනය දුන්නේ සැබැවටම මන්ත්‍ර ජපනය කවරාකාර දෙයක් ද යන්න පාඨක ඔබට වටහා දීමට ය. පුවත්පත්වල වැහි වහින තරම් මන්තරකාරයෝ ඉන්නවානම් මේ රට කොහොමින් කොහොම තැනක් කරන්නට තිබුණා ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

කොවුර් අභියෝගය

ඒබ්‍රහම් ටී. කොවුර් යනු කවුදැයි කියන්නට අද කාලෙ දන්නා උදවිය අඩු වීම ඉතාම අවාසනාවකි. කොවුර් යනු හේතුවාදී (rationalists) මතවාදය වෙනුවෙන් මෑත කාලයේ පෙනී සිටි විශිෂ්ටම සහ විදග්ධම විද්වතෙකි. ජීවත්ව සිටි කාලයේ යන්තර මන්තර හොරුන් හට ප්‍රසිද්ධියේ ම අභියෝග කළ ඔහු, එතෙකින් නොනැවතී හොල්මන් බංගලාවල රාත්‍රීන් ගත කිරීම, පුනරුප්පත්ති හොරු ඇල්ලීම වැනි දේ රාශියක් හරහා හේතුවාදය ජනවිඥානයේ ඉතා වැදගත් තැනකට ඔසොවා තැබීමට සමත් වූවෙකි. පොදුවේ ගත්කළ ඉතාම අන්තවාදී ද්‍රව්‍යවාදී ස්වභාවයක් ගත්තද, කොවුර්ගේ තර්කන විධිය හා ක්‍රියාවිධි අදට ද එලෙසම වලංගු බවට සැකයක් නැත.

කොවුර් අභියෝගය ඉතාම සරලය. මෙන්න ඔහුගේම වචනයෙන්:

"I, Abraham T. Kovoor of "Tiruvalla", Pamankada Lane, Colombo-6 do hereby state that l am prepared to pay an award of 100, 000 Sri Lankan rupees to any one from any part of the world who can demonstrate supernatural or miraculous powers under fool-proof and fraud-proof conditions. This offer will remain open till my death or till I find the first winner.

Godmen, saints, yogis, and siddhas who claim that they acquired miraculous powers through spiritual exercises and divine boons win this award if they can perform any of the following "miracles"


  1. Read the serial number of a sealed up currency note.
  2. Produce an exact replica of a currency note.
  3. Stand stationary on burning cinders for half a minute without blistering the feet.
  4. Materialise from nothing an object I ask.
  5. Move or bend a solid object using psychokinetic power.
  6. Read the thought of another person using telepathic powers.
  7. Make an amputated limb grow even one inch by prayer, spiritual or faith healing powers, Lourdes water, holy ash, blessing etc.
  8. Levitate in the air by yogic power.
  9. Stop the heart-beat for five minutes by yogi power.
  10. Stop breathing for thirty minutes by yogi power.
  11. Walk on water.
  12. Leave the body in one place and reappear in another place.
  13. Predict a future event.
  14. Develop creative intelligence or get enlightened through transcendental or yogic meditation.
  15. Speak or understand an unknown language as a result of rebirth or by being possessed by a spirit, holy or evil.
  16. Produce a spirit or ghost to be photographed.
  17. Disappear from the negative when photographed.
  18. Get out of a locked room by spiritual power.
  19. Increase the quantity by weight of a substance by divine power.
  20. Detect a hidden object.
  21. Convert water into petrol or wine.
  22. Convert wine into blood.
  23. Astrologers and palmists, who hoodwink the gullible by saying that astrology and palmistry are perfectly "Scientific", can win my award if they can pick out correctly—within a margin of five percent error—those of males, females, and living and the dead from a set of ten palm prints or astrological charts giving the exact time of birth correct to the minute, and places of birth with their latitudes and longitudes.

I invite miracle performers like Satya Sai Baba, Pandrimalai Swamigal, Neelakanta Tathaji, Nirmala Devi Srivastava, Pujya Dadaji, Dattabal, Triprayar Yogini, Gtirudev Anandamurthi, Kamubhai, Chinmayanand, Acharya Rajneesh, Muktanand, Swami Rama, Swami Haridas, Sivabalayogi, Bhagavan Gnanananda, Gurumaharaj-ji, Maharishi Mahesh Yogi, Hazarath Ali, Dr. Vadlaimudi, C. S. Teerthangar, R.P.Tiwari, Uri Geller, Nelya Michailova, Jeane Dixon, Sybil Leek and the numerous "professors" of astrology and palmistry, in India and numerous other gurus, swamijis, mahants, acharyas, andas, babas and bhagavans who have found fresh pastures and wealthier gullibles in Western Countries, to take up my challenge and prove to skeptics like me that they are not hoaxers."

සිංහල පරිවර්තනය ගත්කල එය මෙසේය.

"කොළඹ 06 පාමංකඩ තිරුවැල්ල දරන ස්ථානයේ පදිංචි ඒබ්‍රහම් ටී. කොවුර් වන මම, වංචා විරහිත, සටකපටකම් වලින් තොර වාතාවරණයක් යටතේ ඕනෑම අධි-ස්වභාවික හෝ ප්‍රාතිහාර්යාත්මක දස්කමක් දැක්වීමට සමත් වන ලොව ඕනෑම ප්‍රදේශයක ඕනෑම කෙනෙකු හට, ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවීමට සූදානම් බව මෙයින් දන්වා සිටිමි.

කට්ටඩියන්, සාන්තුවරුන්, යෝගීන්, සිද්ධයින් හෝ වෙනත් අධිමානසික බලයක් හෝ දේව වරමක් සහිත යයි පවසන ඕනෑම අයෙකු හට, පහත දැක්වෙන "ප්‍රාතිහාර්ය" අතරින් එකක් හෝ පෑමෙන් මෙකී ත්‍යාග මුදල දිනාගත හැකිය.
  1. මුද්‍රා තබන ලද මුදල් නෝට්ටුවක ශ්‍රේණික අංකය කියවීම
  2. මුදල් නෝට්ටුවක සර්වසම පිටපතක් මැවීම
  3. දැවෙන අඟුරු මත විනාඩි බාගයක් දෙපා නොපිළිස්සී එකතැන සිටගෙන සිටීම
  4. මා ඉල්ලන දෙයක් හුදෙක් "හිස් ආකාශයෙන්" මවාදීම
  5. චිත්තවේග බලය ඇසුරින් ඝණ වස්තුවක් චලනය කරවීම හෝ නැවීම
  6. ටෙලිපති බලය මගින් අනෙකෙකු ගේ සිත් කියවීම
  7. කපන ලද ගාත්‍රයක් (අතක් / පයක්), යාඥා, විශ්වාසී බල, ශුද්ධ වූ අළු හෝ ජලය, ආශීර්වාද වැනි දෙයක් මගින් එක අඟලක් වවා පෙන්වීම
  8. යෝගී බලයෙන් අහසේ පාවීම
  9. යෝගී බලයෙන් විනාඩි පහක් හෘදය ස්පන්දනය නවත්වා සිටීම
  10. යෝගී බලයෙන් පැය බාගයක් ආශ්වාස-ප්‍රශ්වාස නවත්වාගෙන සිටීම
  11. ජලය මත ඇවිදීම
  12. එකතැනකින් සිරුර අතහැර ගොස් වෙනත් තැනකින් ප්‍රාදුර්භූත වීම
  13. අනාගත සිද්ධියක් පිලිබඳ පුරෝකථනය කිරීම
  14. පාරසම්භව හෝ යෝගී බලයක් ඇසුරෙන් යම් ආකාරයක නිර්මාණශීලී බුද්ධියක් ලැබීම
  15. යළි ඉපදීම, භූත බලවේගයක් ආවේශ වීම හෝ වෙනත් ක්‍රමයකින් උපතේ සිට නොදන්නා භාෂාවක් තේරුම් ගැනීම හෝ කතා කිරීම
  16. ඡායාරූපයක් ගතහැකි පරිදි හොල්මනක් හෝ අවතාරයක් ඉදිරිපත් කිරීම
  17. ඡයාරූපයක් ගත්විට නෙගටිව් තහඩුවෙන් අතුරුදන්ව සිටීම
  18. මුද්‍රා තබන ලද කාමරයක් ඇතුළතින්, යෝගී බලයෙන් නිදහස් වීම
  19. දේව බලයෙන් යම් වස්තුවක බර වැඩිකිරීම
  20. සැඟවූ වස්තුවක් සොයාගැනීම
  21. ජලය, පෙට්‍රල් හෝ වයින් බවට පත්කිරීම
  22. වයින්, ලේ බවට පත්කිරීම
  23. ජ්‍යෝතිෂය හා අතබැලීම ඉතාම විද්‍යාත්මක යයි කියමින් අසරණ ජනයා රවටන ජ්‍යෝතිෂවේදීන් හා අතබලන්නන් හට ඉතා පහසුවෙන් මගේ ත්‍යාගය දිනාගත හැකිය. ඒ සඳහා ඔවුන් කළයුතු වන්නේ මෙපමණකි: මා ලබාදෙන අත්ල සටහන් හෝ හරියටම නිරවද්‍ය උපන් වේලාවල් (උපන වෙලාවේ අක්ෂාංශ දේශාංශ සහිතව) දහයක් ඇසුරින්, (සීයට පහක නිරවද්‍යතා සීමාවක් යටතේ) ස්ත්‍රීන්, පුරුෂයන් හා ජීවත් වන්නන් සහ මළවුන් කවරේදැයි පැවසීම පමණකි. 
තවද සත්‍ය සායිබාබා, පන්ද්‍රිමලයි ස්වාමිගල්, නීලකාන්ත තථජී, නිර්මලාදේවී ශ්‍රීවාස්තව, පුජ්‍ය දදාජී, දත්තාබාල්, ත්‍රිප්‍රයාර් යෝගිනී, තිරුදේව් ආනන්දමූර්ති, කාමුභායි, චින්මයානන්ද්, ආචාර්ය රාජ්නීශ්, මුක්තානන්ද්, ස්වාමි රාමා, ස්වාමි හරිදාස්, සිවබාලයෝගී, භගවාන් ඥානානන්ද, ගුරුමහරාජ්-ජි, මහර්ශි මහේෂ් යෝගී, හzසරත් අලි,  වෛද්‍ය වද්ලායිමුධි, සී.එස්. තීර්ථන්ගර්, ආර්.පී. තිවාරි, යුරි ගෙලර්, නෙල්‍යා මිඛයිලෝවා, ජීන් ඩික්සන්, සිබිල් ලීක් සහ වෙනත් ඉන්දීය ජ්‍යෝතිෂය / හස්තරේඛා "මහාචාර්යවරු" ද, (සිය සටකපටකම් වලින් රැවටීමට බටහිර ලෝකය තුළ නව රැවටෙන්නන් සොයාගෙන ඇති) වෙනත් අනේකවිධ ගුරු, ස්වාමි ජී, මහන්තා, ආචාර්ය, ආන්ද, බාබා සහ භගවාන්වරුන්ගෙන් ද, මේ අභියෝගය බාරගෙන, මා වැනි අව්ශ්වාසිකයකු හට ඔවුන් බොරුකාරයන් නොවෙයි කියා සනාථ කරන මෙන් මම ඉල්ලා සිටිමි. "

1963 දී කරන ලද මේ අභියෝගය අදටද වලංගු වන නමුත් අද වන තුරුත් ඊට ඉදිරිපත් වූ කෙනෙක් සොයාගැනීමට නොහැකිය. (මෙය ඉදිරිපත් කළ මුල්කාලයේ විවිධ කූටෝපාය වලින් එය දිනාගැනීමට උත්සාහ කළවුන් බොහොමයක් අසාර්ථක වූ අයුරු ද පුවත්පත් වාර්තා කෙළේ ය.)

යුරි ගෙලර් සහ පීටර් පොපොෆ් ගැන වචනයක්

ඉහත ලැයිස්තුවේ නම සටහන් වූ මේ පචකාරයා ගැන නිතර පතපොත කියවන උදවියට නම් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අවිවාදයෙන්ම බටහිර ලොව ප්‍රසිද්ධම "මායාකාරයා" ලෙස ඔහු හැඳින්වුවද එහි වරදක් නොවේ. ලෝහමය වස්තු නැවීමට හා ලෝහමය /ඉලෙක්ට්‍රොනික උපකරණ චිත්ත බලයෙන් පිළිසකර කිරීමට බලයක් තිබුණේ යැයි කියන මේ පුද්ගලයා ගැන ආචාර්ය රෑන්ඩි විසින් ඉතා සුපරීක්ෂාකාරීව කරන ලද පරීක්ෂණ ශ්‍රේණියක් මගින් සත්‍යය ජනතාවට පෙන්වන ලදි. එහෙත් අදටද ඔහු සත්‍ය වශයෙන්ම මායාකාරයෙක් යැයි පිළිගන්නා පිරිසද සුළුපටු නැත. මෙන්න අදාළ වාර්තා වැඩසටහන.





එසේම පීටර් පොපොෆ් යනුද මෙසේම අසරණ මිනිසුන් දේව බලයෙන් සුවකරන බව කියමින් මුදල් ගරාගත් තවත් කාලකන්නියෙකි. ඇත්තටම ඔහු කළේ වෙන කිසිවක් නොව සිය සුවකිරීම් මෙහෙය අතරමැද සැඟවී සිටි සිය බිරියගේ උදව්වෙන් සුවය ලබන්නවුන්ගේ විස්තර කලින් දැනගෙන ඔවුන් "සුව කළා" සේ පෙන්වීමයි. අදාළ විස්තර සඳහා වීඩියෝව බලන්න. 




අපෙනුත් අභියෝගයක්

අද වන විට රට පුරා මෙවැනි සුවකිරීමේ සුභාරංචි මෙහෙයවල් හතු පිපෙන්නා සේ පවත්වනු අපට දකින්නට ලැබෙ. මේ තරම් සුවකිරීම් මෙහෙයවල් වේනම්, මේ රටට රෝහල් අවශ්‍ය වන්නේ නැත. අපට හැගෙන දේ නම් මේ සියල්ල පට්ටපල් බොරු පච බවයි. ඒ නිසා තහනම් වචන ලියන අපි ද මේ මොහොතේ සරල අභියෝගයක් කිරීමට කැමැත්තෙමු. මීළඟ මාසය ඇතුළත, මෙවැනි සුවකිරීම් මෙහෙයවල් පැවැත්වෙන තැන් කීපයකට යාමට අප බලාපොරොත්තු වන අප ඉල්ලා සිටින්නේ එහිදී අප නම්කරන පුද්ගලයකු ගේ රෝගයක් සුව කරන ලෙසයි. රෝගයවත්, අදාළ පුද්ගලයා වත් ඔහු / ඇය ගැන මොනම විස්තරයක් වත් අප විසින් ලබාදෙනු නොලැබේ. රෝගය සුවකරනු නොහැකිනම් අපට පිළිගත හැකි මට්ටමේ ඕනෑම ප්‍රාතිහාර්යයක් දක්වන අයෙකු හට අප කමිටුව විසින් සම්මාදම් කර දෙනු ලබන මුදල් ත්‍යාගයක් ලබාදෙන අතර, එයද නොහැකිනම් අඩුම තරමේ එවැනි ප්‍රාතිහාර්යයක් පෙන්විය හැකිනම් මේ ලියන්නා ඒ මොහොතේ සිට අදාළ සුවකිරීම කරන්නා ගේ ආගම වැළඳගන්නා බවට ද මේ මොහොතේ අපි දන්වා සිටිමු. 

අභියෝගය විවෘතයි! 

55 comments:

  1. ඔක්කොම පැත්තකට දාන්නකො දැං කාලෙ අනවින කොඩිවින කරන්ඩත් ඉදිරිපත් වෙලා තියෙන්නෙ හාමුදුරුවොනෙ.. ඇත්තටම ඔවුන් සංඟයා වහන්සේල නෙමේ චීවරදාරීන්..මිනිස්සුන්ව මුලාකරල බඩ වඩාගන්නව.. වශී බන්දන, අනවින කොඩිවින කරන්ඩ මොන බන පොතේද උගන්නන්නෙ?? බුද්ද ශාසනේ විනාස කරන්නෙ ඔවුන්.. ඔවුන්ට විරුද්දව පියවර ගන්න කවුරුවත් නෑ.. බොබසෙවත් නෑනේ

    ReplyDelete
    Replies
    1. හා හා කට කට! අපේ මහරජාත් ඔය රටම කොරවනවා ය කියන්නේ ඔව්වයින් එකක් මිරිකන නිසාලු නේ!

      Delete
  2. ඔව්වා ඉස්සරහට දාලා මිනිස්සු රවට්ටලා ගාන කපන උන් නැතුව නෙමෙයි. හැබැයි නොපෙනෙන බලවේග තියනවා

    ReplyDelete
    Replies
    1. ඔවු අර වැලිවෙරියෙ වෙඩි තියල තියෙන්නෙත් නොපෙනෙන බලවේගයක්...එහෙම ඒව තියෙනව..

      Delete
    2. ඇත්ත. නොපෙනෙන සහ පාරමානුෂික බලවේග නැතැයි කියල අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. මේ කතා කරන්නේ ඒවා පිටින් තියල කදමල්ල පුරවගන්න බඩජහරියෝ ගැන.

      Delete
  3. ලොව පුරා ඇති බොරු !
    නමුත් මේවා සැබෑවටම කළ හැකි සෘෂිවරු තවමත් සිටින බව මගේ පිළිගැනීමයි . නමුත් ඔවුන්ට මුදල් සෙවීමේ අවශ්‍යතාවයක් නැත ( සැබෑවටම සෘෂීවරුන් නිසා ) 

    ReplyDelete
    Replies
    1. සැබෑ සෘෂිවරු ඇති කියල හිතෙනව ලොක්කගෙ අතේ තියෙන වශී බෝලෙ දැක්කම නම්.
      හැබැයි ඉතින් මහලොකු ඉසිවරු ඉන්න ඉන්දියාවෙ ඇයි දන්නෙ නැහැ අර පාරවල් වල කක්කි කරන උදවියට කක්කුස්සි ටිකක් වත් මවල දෙන්න බැරි.

      Delete
    2. ලෝක ඉතිහාසයේම ඕනෑතරම් අධිමානුෂික බලයයන් තිබිච්චි උදවිය හිටිය බව රහසක් නෙමෙයි. ඒත්, මේ කියන තරමට මේ යක්කු වැහි වැහැලා ඉන්නවා නම් මොනා කරන්ඩ බැයිද?

      Delete
  4. Neth FM නාලිකාවෙ බැලුම්ගල වැඩ සටහනින් ඔය හොරුන්ගෙ රෙදි ගලවනව.
    ලගදි දිනක එයාලම බොරුවට සෙට් කලා පොඩි ව්‍යාපාරයක් කරන ගෑනු ළමයකුගෙන් කප්පම් ඉල්ලල කරදර කරනව ඒකෙන් බේරලා දෙන්න කියල ගුරුකම් කරන ගුරෙකුට කතා කරනව.
    අන්තිමට මේ ගුරාම කටහඩ මාරු කරල,වෙනත් නොම්මර වලින් තර්ජනය කරල කප්පම් ඉල්ලන සිද්දියක් වුනා.
    ඔය පත්තර වල දාන එක එක නොම්මර වලට කතා කරල තමන්ගෙ පුද්ගලික දේවල් කියල විශේෂයෙන් ස්ත්‍රී පක්ෂය කොපමන නම් අමාරුවෙ වැටිල ඇති ද?

    ReplyDelete
    Replies
    1. ඔය වගේ එකෙක් ඉස්සරත් හිටියා. ඌ ගල් බාසෙක්. පික්චැර් වලටත් කාලයක් ජොයින්ට් වෙලා හිටියා. පස්සේ ඒකා තැන් තැන්වල ගල් ගේම් කීපයක් දීලා ජපන් ගියා. ඇත්තටම ඌ කී දෙනෙකුට ගල් බාන්න ඇති ද. මම හන්නේ නොතෙරුම්කමට...........................
      -කා(Ka)

      Delete
    2. වැඩිපුරම වෙන්නේ ඔවැනි සිද්ධි තමා.. කොහොමත් මෙවැනි දේවල්වලට වැඩියෙන්ම පෙළඹෙන්නේ කාන්තා පාර්ශ්වය. ඒ නිසා ඔවුන්ගේ දුර්වල ස්ථානයක් සහ සුදුසු අවස්ථාවක් බලල රවට්ටගන්න හෝ බලයෙන් පොළොඹවාගන්න එක, කපටියෙකුට ඒ තරම් අපහසු වැඩක් නෙමෙයි. ඒත් අවාසනාවකට එවැනි සිද්ධි දහයක් වුණොත් අපිට අහන්න ලැබෙන්නේ දෙකයි තුනයි; මොකද අර කාන්තාව ලැජ්ජාවට කටවහගෙන ඉන්න නිසා.

      Delete
  5. (01)
    “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නැකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹු සැමියන් සමග වන්නට නකත් කීම, අඹු සැමියන් වෙන් වන්නට නකත් කීම, ....... මතුරු දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරු දපා සිරි කත කැඳැවීම යන මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ මෙබඳු අන්‍ය ව තිරශ්චීන විද්‍යායෙන් මිත්‍යාජීවයෙන් වැළැක්කේ යැ".....

    “යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම (දෙවියනට බාර වීම්), ප්‍රනිධිකර්ම (බාර ඔප්පු කිරීම), භූරිකර්ම (බිම් ගෙහි ඉඳ පරුවරහු මන්ත්‍රයට උපචාර කිරීම), පණ්ඩකයා (බෙහෙත් බලයෙන්) පිරිමියකු කිරීම......... යැයි මෙසේ තිරශ්චීන විද්‍යායෙන් මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මේ හෝ මෙබඳු අන් සියලු තිරශ්චීන විද්‍යායෙන් මිත්‍යාජීවයෙන් මහණගොයුම් තෙමේ වැළැක්කේ යැ" ....
    -බ්‍රහ්මජාල සූත්‍රය

    (02)
    ඒබ්‍රහම් ටී. කොවූර් විකිපීඩියා ලිපිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්! ඒත් ඇත්තටම ඔය කියන චුල්ල සීලය රකින සැබෑ ස්ථවිරයෝ කීයෙන් කී දෙනාද අද ඉන්නේ?

      Delete
  6. මේ සිද්ධීන් ලංකාවේ සිදුවූ යම් සිදුවීම සමග ගැලපෙන්නේ පුදුම ලෙසය. නම් කිරීමට ගියහොත් ඉතා දිග ලැයිස්තුවක් සාදාගත හැකිය. මෙහිදී පුද්ගලයාගේ පෞරුෂත්වයේ අඩු පාඩු නිසා මෙවනිදේ ඉස්මුදුනින් පිළිගැනීමට පුරුදුවී ඇති බව පෙනීයයි.
    කොපමණ කිව්වත් සක්විතිට , දඬුවම් මුදලාලිට ඉව බවක් නැතුව රැවටීමට තරම් අවිචාරවත් වූ ජනතාවකට මේවා තවමත් ප්රාතිහාර්යයන්ය.

    ReplyDelete
  7. මේ ගිය ඉරිදා ලක්බිම පත්තරෙන්...

    පොල්ගෙඩිය මත තබා කරකැවීමේ අභියෝගය

    අවසන් මොහොතේ වැඩේ කැන්සල් නොවුනොත් ලබන සතියේ මොකද උනේ කියලා බලන්න පුලුවන්වෙයි... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මමත් බලන් ඉන්නෙ ඊලග සති අන්තය වෙනකන් මේ විස්තරය බලන්න.

      Delete
    2. බලන් ඉන්න දෙයක් නැහැ. සුපුරුදු ලෙසම මෑන් අවසාන මොහොතේදී ලොවෙත් නැති කොන්දේසි දැම්මා. ඒවටත් රෙඩි වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ එකම අවශ්‍යතාවය වෙලා තිබ්බෙ මඟ හරින්න. ඒක නම් කෙරුනා. නමුත් මගේ මිත්‍රයා තිලක් අපරාදෙ අන්තිමට අර හුජ්ජ කොල්ල නිසා මිත්‍රයෝත් එක්ක නිකරුනේ රස්තියාදු වුනා. ඌ පොඩි කොල්ලෙක්. නිකම් ඇබිටිල්ලෙක්. නැති ප්‍රසිද්ධියක් ගත්තා විතරයි.

      Delete
    3. ඒකත් එහෙමද වෙදමහත්තයො?
      මැදා පොර පොල් ගේමක් බලන්න හිටිය.

      Delete
    4. මේ සිද්දිය ගැන මම ඒ තරම් දැනුවත් නැහැ. හැකි අයෙක් ඒ ගැන ලිපියක් පළකරනවා නම් සතුටුයි!

      Delete
  8. අපේ ජෝති , පේට්‍රියා , චාර්මි එහෙමත් ඔය මාතෘකා ගැන පෝස්ට් ටිකක් දාලා තිබුණා..මේකත් එළටම තියෙනවා තහනමෝ..මාත් ඔය යන්ත්‍ර මන්ත්‍ර නම් විශ්වාශ කරන්නේ අඩුවෙන්. ( ඒ කියන්නේ නැත්තේ මත් නැහැ. )

    මචන් මම තැනක් කියන්නම්..එතනට කැමති ඕනෙම විදිහකින් යන්න..ඕනෙම කෙනෙක් යවන්න.. මම මේ කියන්නේ මට වුණු සත්‍ය දෙයක්. මට නම් එක දිගට බර බර ගාලා වෙච්ච දේවලුයි , වෙන්න තියෙන දේවලුයි කිව්වා බන්. ( වහෙන් ඔරෝ නෙවේ නම් ගම් ස්ථාන , දින ඇතුව )


    මම ගෙදරින් යද්දී මගේ කේන්දරේ ගෙනිච්චේ නැහැ. ඒත් එතැනදී මගේ ලග්නේ , කේන්දරේ විස්තර , අතුරුදෂා මහ දශා ගෙවෙන හැටි හරියටම දිනේටම , තව අවුරුදු 10 ඇතුළත මේ වගේ දේවල් වෙනවා වෙනවාමයි කියලා එක දිගට කියාගෙන කියාගෙන ගියා . ( මගෙන් එක අකුරක් වත් අහන්නේ නැතුව. )


    කේන්දරත් බොරු කියමුකෝ..ඒත් ගෙදර තිබුණ කේන්දරේට සමාන දේවල්ම එයත් කිව්වේ කොහොමද ? නිකන් වහෙන් ඔරෝ නෙවේ ගෙඩි පිටින් කිව්වා..

    ( අදාළ තැන තියෙන්නේ මීරිගම.. කොටුවේ සිට මීරිගමට දුම්රිය ගාස්තුව රුපියල් 50 ක් වගේ {NOT Sure}.. කැමති කෙනෙකුට උත්සාහ කරලා බලන්න පුළුවන් )

    ReplyDelete
    Replies
    1. සහන් මල්ලි;
      ඔය විශ්වකර්මයො ටික යවන්නකො පිළිකා රෝහලට.

      Delete
    2. තහනම්ට මාත් කමෙන්ට් එකක් දාන්න යනකොටම කරන්ට් ගියේ... දැන් වැඩක් නෑ... මෙතනම කියන්නම්...

      ඔය වගේ කතාවක් කියපු කෙනෙක්ට මාත් ඔය ටිකම කිව්වා කෙන්ජි.. ගෑණියෙක් ඔය වගේ සාත්තර කියන තැනකට ගියාම ඒ ගැණිගේ හැම විස්තරෙම කිව්වලු.. ඒ ගැණී සිහිය නැතුව වැටුනලු... මං ඒ වෙලාවේ කිව්වෙ ඔච්චරට මිනිස්සුන්ගේ ගැන කියන්න පුලුවන් නම් ඔය අපේ රටේ ඉන්න දේශපාලුවොන්ගෙ හොර වැඩ ගැන කියලා උන්ට සිහි නැති වෙන්න වැඩ සලස්සන්නකෝ කියලා... රටටවත් වැඩක් තියෙනවනෙ...

      එක කකුලක් ඕව පිළිගන්නවයි, එක කකුලක් ඕවා පිළිගන්නෙ නෑයි කියල ඉන්නවට වඩා එක්කො පිලිගන්න ඕන නැත්තං නැතුව ඉන්න ඕනෙ.. නැත්තං අතේ තියෙන ටික හොරුන්ට පූජ කරලා උඩ බලං ඉන්න තමයි වෙන්නෙ... මං ලියන්න කියලා හිටපු කතාවක් ඕක...

      Delete
    3. කෙන්ජි අය්යේ එතන ලෙඩ වලට බෙහෙත් කරන්නේ , අරවට මේවට බලි තොවිල් , පූජා , ගුරුකම් වගේ දේවල් මුකුත් කරන්නේ නැහැ. සාස්තර බලනවා විතරයි..

      ( එයාම කියනවා එක එක බලි තොවිල් කරලා වෙන්න තියෙන දේවල් වළක්වන්න බැහැ කියලා. )

      Delete
    4. හිරු අක්කී............
      දැක්කා නේද මේවට කොමන්ට් දාන්න ගිහින් උන නස්පැත්තිය. බලාගෙන..........

      අංකල්@කෙන්ජි.ජපෑන් පප්පා හොර ගෙඩියා ................
      අපි ඒ විශ්වකර්මයො ටික ඔයා ගාවට එවන්ඥං. කාලෙකින් රහට කෑමකුත් නැතුව ඇති නොවැ.

      @SilentSahan පප්පා...........
      සයිලට් පප්පා නොදුටු, මීරිගම පප්පා දුටු සයිලන්ට්ගේ මෝඩකම.......
      තොගේ ඔය (උඩ) කොමන්ටුවෙන් තෝ බොග ලෝකේ හදාගත් චරිතෙම ඉවරයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මෝඩයා වාගේ තෙප්පුලෑවානම් තවත් වමාර වමාර කන්නේ නැතිව කරබාගෙන හිටු. අම්මපා මෙහෙමත් මෝඩයෝ මේ දියුණු ඉලෙක්ට්‍රෝනික ලෝකයේ ඉන්නවා නොවැ. මම කියන්නේ අපි-අපි අතරෙත්. තෝ නම් මේ පප්පලාගේ ලොකේ කෙළවර තියෙන ලෝකේ ගැට්ටෙන් එහාට විසි කරන්න ඕන එකෙක්.
      -කා(Ka) සාටකේට යටවූ ගෝල් දේශේ සිට නැවත වරක්

      Delete
    5. මචන් ඇනෝ එතන ලෙඩ හොඳ කිරිලි , පූජා කිරිලි , මැවීම් , ඉන්ද්‍රජාල නැහැ. එතන කියන්නේ සාස්තරයක් කියන එක විතරයි. මම ගියා. මගේ ජීවිතේ ඒ වෙනකොට වෙලා තිබුණු හැම දේම කිව්වා.

      මිනිහෙක්ගේ ජීවිතේ ඒ මිනිහා විතරක් දන්න රහස් තියෙනවනේ.මගේ ජීවිතෙත් ඒ වගේ දේවල් ගැන එයා කිව්වා සහ ඒවගේ අවසානය මොන වගේද වෙන්නේ කියන දේ , ඊට පස්සේ මොකද වෙන්නේ කියලා.ඒ හැම දේම මේ අද වෙනකම් හරි. මම තැන කිව්වනේ උඹම ගිහින් බලලා ඇවිත් මට කියපන් එතන බොරුද නැද්ද කියලා.

      මම පිළිගන්නවා හොරු ඉන්නවා කියලා.ඒත් මම කියන තැන හරි. උඹ ඔහොම නෙවේ කොහොම කිව්වත් මම ඇහැට දැකපු දේ මම දන්නවනේ බන්.

      Delete
    6. කෙන්ජි අය්යේ එතන ලෙඩ හොඳ කිරිලි , අන්ද්රාජාල විශ්වකර්ම වැඩ නැහැ. නිකම් සාස්තර බලන තැනක් විතරයි. ඒ වගේම සිංහල වෙද මහත්තයෙක්.

      Delete
    7. ඔබතුමා කැමතිනම් එතනට යන විදිහ ටිකක් සවිස්තරව කියන්න. ගිහිල්ලම බලාගන්න කැමතියි ඔය කියන විස්තරයෙ ඇත්ත නැත්ත.

      Delete
    8. මීරිගම ටවුන් එකෙන් ගන්න 196 බස් එක. ලින්දර හන්දියෙන් බහින්න. සිංහල බෙහෙත් කරන වෙද මහත්තයාගේ ගෙදර තියෙන තැන අහන්න.. ඕනේ කෙනෙක් කියාවි... හරි ලේසියි.. මට මතක හැටියට සීමිත දවස් කීපයක විතරයි සාස්තර කියන්නේ.. අනිත් හැම දවසෙම සිංහල බෙහෙත් නම් කරනවා... මට මේල් එකක් එව්වොත් නො එකක් දෙන්න පුළුවන්...

      Delete
    9. @කා: සහන් ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රයේ නියැලී පමණින්ම, ඔහු භෞතිකවාදියෙක් වෙන්න ඕනෙමද? ඇයි බටහිර විද්‍යාව උගත්, ඒ ඔස්සේ ජීවිකාව කරන කෙනෙකුට, විද්‍යාවට සහ ඉන්ද්‍රීයමානයට ගෝචර නොවන වෙනත් ක්ෂේත්‍රයක අත්දැකීම් තියෙන්න බැරිද?

      Delete
  9. මේ මෑතකදීත් හේතුවාදීන්ගේ සංගමය හොඳ වැඩසටහනක් කරපු බව දැක්කා ටීවී එකේ.ගිනි පෑගිලි,කටු ගැහිලි කිසි කරදරයක් නැතිව කරලා පෙන්නුවා විතරක් නෙවේ සංවිධාණය කරපු රජරට වී.වි.ශිෂ්‍යයොත් කටු ගැහුවා ගිනි පෑගුවා.කෙල්ලොත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය බොහෝ "ප්‍රාතිහාර්ය" ඇත්තටම නිසි පුහුණුවකින් පසුව ඕනෑම කෙනෙකුට කළහැකි දේවල්.

      Delete
  10. "ජපනාකාර ආදී සියල්ල ගැන මන්ත්‍රධරයා දැනුවත් විය යුතුය."

    මේ කියන්නේ කෙන්ජි ගැන නොදැන මන්තර/ගුරුකම් වානා කියලද?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි vs ඇනෝ වලිය තාම අහවර නැද්ද?

      Delete
  11. එළ මචෝ........ මෙන්න කා ගෙන්......

    මම දන්න අහල පහල ගමක හිටියා මන්ත්‍ර පප්පෙක්, හැබැයි ඒකා ගල් කාරයා. ගල් කියුවාම ගල් විතරයි. පුජා වලට ගේන පලතුරු කන්න එන පොඩ්ඩන්ට අබ සරණයි. පොඩි කෙල්ලෝ කොල්ලෝ පෙන්නන්න බෑ. දවසක් ගේම මාට්ටු වෙලා ඒ ගමේ හිටිය සූර පප්පෙක්, ගලාට ආරූඩෙන්ම පාරේ දුවන්න වැඩේ කරලා.
    එත් කරුමෙ කියන්නේ අරසූර පප්පා දවසක් ට්‍රැක්ටරයේ හිච් එක කඩා වැඩිලා අත-පය කඩා ගත්තා. (පස්සේ හරි ගියා). ඊට පස්සේ අර ගලා කියලා ආරූඩෙන් හිටිය තමාට හිරිහැර කිරීමේ පාපය තමා කියලා. මේක අහපු අර පොඩි කොල්ලගේ අම්මා බයවෙලා නොමිලේම ගලාට ගල් සපෙයුවාලු. අනේ ඕවා මේ ටිං ටිං කීවට ඌට රවුං ගහනකොට එක එක පප්පලා කියපු කතා තමා. මං ගැන එහෙම මොකුත් හිතනවා නොවේ.
    - කා(Ka) සාටකේට යටවූ ගෝල් දේශේ සිට.

    ReplyDelete
  12. කොන්ඩදෙනියේ හාමුදුරුවන් පිලි ගැනෙනුයේ මෑත කාලීනව ලංකාවේ සිටි අති දක්ශ මන්ත්‍ර ගුරුකම් මැනවින්දත් ස්වමින් වහන්සේ නමක් ලෙසටය.මෙම ලිපියේ කිසි තැනක කොන්ඩදෙනියේ හාමුදුවන් පිලිබදව හෝ එතුමන්ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිලිබදව ඔබ දරන අදහස කුමක් දැයි සදහන් නොවේ. ඒ පිලිබදව ඔබ දරන අදහස කුමක්දැයි දැන ගනු කැමැත්තෙමි

    ReplyDelete
    Replies
    1. තහනම් වචනයට පෙර කා(Ka)
      ගජිඳු මචෝ.............
      කොන්ඩදෙණියේ හාමුදුරුවෝ හාස්කම් පෙන්නුවේ කොණ්ඩේ බැන්ද චීන්නුන්ටනේ. දැන් කාලෙ උන් කොන්ඩේ කපලා කකුල් දෙකටම කලිසම ඇන්දට මල සමයං තමා. හාමුදුරුවන්ගේ වශීවලට වඩා හාමුදුරුවන්ට වශී වෙලා හිටිය අයනම් බොහෝමැයි. එතනින් එකෙක් තමයි මචං උබත්. අර අපේ වන් ෂොට් මෑනුත් කාලයක් කොන්ඩදෙණිය හාමුදුරුවෝ වාගේ චිත්තරපටියකටැ අදින්න ගියා නේද. මක්කදැ හැබෑටම උනේ?
      -කා(Ka)

      Delete
    2. තහනම් වචනයට පෙර කා(Ka)
      ගජිඳු මචෝ.............
      කොන්ඩදෙණියේ හාමුදුරුවෝ හාස්කම් පෙන්නුවේ කොණ්ඩේ බැන්ද චීන්නුන්ටනේ. දැන් කාලෙ උන් කොන්ඩේ කපලා කකුල් දෙකටම කලිසම ඇන්දට මල සමයං තමා. හාමුදුරුවන්ගේ වශීවලට වඩා හාමුදුරුවන්ට වශී වෙලා හිටිය අයනම් බොහෝමැයි. එතනින් එකෙක් තමයි මචං උබත්. අර අපේ වන් ෂොට් මෑනුත් කාලයක් කොන්ඩදෙණිය හාමුදුරුවෝ වාගේ චිත්තරපටියකටැ අදින්න ගියා නේද. මක්කදැ හැබෑටම උනේ?
      -කා(Ka)

      Delete
    3. Anonymous:

      ඔබතුමා කොන්ඩදෙනියේ හාමුදුවන් පිලිබදව අධ්‍යනයකින් පසුව මෙසෙ පවසන්නේ..?කොන්ඩදෙනියේ හාමුදුවන් කල සමහර ගුරුකම් පිලිබදව මටද ඇතැම් විට ප්‍රශ්න පවති. නමුදු එතුමන් ගෙන් උදව් උපකාර ලබා ගත් පිරිස කෙතරම් දැයි මම නොදනිමි.ඒ අතර ලන්කාවේ ජනප්‍රිය පුද්ගලයන් සිටි බවද නොරහසකි.

      මමද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිලිබවදව තරයේ විශ්වස හො අවිශ්වස නොකරමි. ප්‍රේතයන් ලවා වැඩ ගන්නා පුද්ගලයන් පුද්ගලිකවමම මුන ගැසී ඇත.. අද ලංකාවේ බොරු මන්ත්‍ර කරුවන් නිස සැබෑ මන්ත්‍ර ගුරුකම් දන්නෝ එම කාර්යයෙන් ඈත් වී සිටියි.

      Delete
    4. කොන්ඩදෙණියේ හිමියන් පිළිබඳව හොඳ මෙන්ම නරකද අසා ඇත. ඒ සියල්ල මෙහි පැවසීම යුක්තියුක්ත නොවේ යැයි සිතමි. කෙසේ වෙතත් දශමහාවිද්‍යාවන්ගෙන් එකක් හෝ ප්‍රගුණ බවට ලංකාවේ අවිවාදයෙන්ම කිවහැකි එකම මන්ත්‍රවේදියා උන් වහන්සේ වීමට ඉඩ තිබේ.

      Delete
  13. ප්‍රථමයෙන් ම මා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හෝ නොපෙනෙන බලවේග පිළිබඳව විශ්වාස නොකරන්නෙකු බව පැවසීමට කැමත්තෙමි..මනෝවිද්‍යානුකූලව ගත් කළ මේවා පිළිබඳව විශ්වාස කරනුයේ මානසික අවපීඩන තත්ත්වයක පසු වන්නන්ය‍..සර් සිග්මන්ඩ් ෆ්‍රොහිඩ්ට අනුව මෙය හිස්ටීරියා නම් මනාසික රෝගී ගණයට අයත් වේ..මෙය වඩාත් උග්‍ර වන විට මාස් හිස්ටීරියා ලෙස ද හඳුන්වනු ලබයි..ඔවුනට විද්‍යාව කුමක්ද අවිද්‍යාව කුමක්ද යන්න තෝරා බේරාගත නොහැකිය..ආගමානුකූලව ගත් කළ බෞද්ධ දර්ශනයට අනුව බුදුරජානණ් වහන්සේ ද මෙම ශාස්ත්‍ර ප්‍රතික්ෂේප කර තිබේ..බ්‍රහ්මජාල සූත්‍රයේ ඒ පිළිබඳව මනාව දක්වා ඇත..මිනිසා යනු මනසින් උසස් යන්න ගම්‍ය කරන්නාය..එසේ සුවිශේෂී වන්නේ ඔහු සතු තාර්කික බුද්ධිය නිසාවෙනි..නමුත් අද වන විට නොදියුණු මනසක් ඇති ආධ්‍යාත්මය බිඳ වැටී තිබෙන මිනිසුන් මෙවැනි ප්‍රෝඩාකාරී ප්‍රහසනයන්ට හසු වී තිබේ..මෙවැනි සමාජයක මෙලෙස අඳුරු තිරපට ඉරා දමා අඅලෝකය වෙත සමාජය රැගෙන යාමට ඔබ දරන තැත අගය කරමි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අප අධිමානසික හැකියාවන් සහ සිද්ධීන් ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. එවැනි සිද්ධි ලෝකයේ ඕනෑතරම් තිබෙන බව සහ ඉන් සුළුතරයක් හෝ සත්‍ය බවයි අපේ අදහස. ඒත් මේ ලිපිය ඉලක්ක වන්නේ අර සත්‍ය වූ සුළුතරය දිහාවට නෙමෙයි: බහුතරය වූ ගසාකන්නන් දිහාවට.

      Delete
  14. මම පාසල් ගිහින් ඉවර උන අලුතම වගේ මට හාමුදුරු නමක් ආශ්‍රය කරන්න හම්ඹුනා. උන්වහන්සේ පිළිගත් ජෝතිෂ වේදියෙක්. මම උන්වහන්සේත් එක්ක තර්ක කරලා කීව මම ඔය ග්‍රහ බලපෑම් පිළිගන්නෙත් නැ ඕවා බොරු කියලා. මට කරුණු කොච්චර කීවත් පිළිගත්තේ නැ.ඒ දවස්වල අපි ටිකක් නහයට අහන්නේ නෑ නොවැ. මේ හාමුදුරුවෝ මට කීවා අපි පොඩ්ඩක් එලියට ගිහින් කතා කරමු කියලා මමත් උන්වහන්සේත් එක්කම එලියට ගියා. දැන් අපි දෙන්නම එළියේ ඉඳගෙන කතාව වෙලාව දවල් 11 විතර ඇති. ටික වෙලාවකින් අපි දෙන්නටම හොඳටම දාඩිය දාල මුනත් කලුවෙලා ගිහින්. දැන් හාමුදුරුවො අහනවා

    මොකද නිකන් මුනත් කලුවෙලා අමාරුවෙන් වගේ

    මම කීව ඇයි අප්පේ මෙතනට හොඳටම අවුව නොවැ

    එතකොට හාමුදුරුවෝ කියපි
    මහත්තයෝ ඉර කියන්නෙත් ජොතිශය අනුව එක ග්‍රහයෙක් ඉතින් මහත්තයාට ඇස්දෙකටම දැන් පේනවා නේද ග්‍රහයන්ගෙන් අපට බලපෑම් තියනවා කියලා. ඔය වගේ තමයි අනිත් ග්‍රහයෝත් උන්ගේ බලපෑම් අපිට පෙන්නේ නැ.ඒ උනාට නෑ කියලා අයින් කරන්න බෑ. කතාව ඇත්ත මට ඉතින් කට උත්තරත් නැ



    ඔන්න ඔයවගේ තමයි සමහර දේවල්. කොහොම උනත් මෙන්න මගේ කතාව. මේක මේ සත්‍ය සිද්දියක්. මේ කතාවට සම්බන්ද අය සැහෙන පිරිසක් තවමත් අපේ ගමේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවා ම පිළිතුරක් දෙන්නම්.

      Delete
  15. http://sinduwagemiyasiya.blogspot.com/2013/09/blog-post.html

    http://sinduwagemiyasiya.blogspot.com/2013/06/blog-post_12.html

    http://sinduwagemiyasiya.blogspot.com/2013/06/blog-post_11.html

    නිකමට වගේ මේ ටික කියොලා බලන්න. :)

    ReplyDelete
    Replies
    1. අදමයි කාලෙකට පස්සේ ආවේ.. කියවන්නම්.. :)

      Delete
  16. කොන්ඩදෙණිය හාමුදුරුවො ගැන දන්නවනම් ලියනවද.දැනගන්න කැමති ඒ ගැන විස්තර..

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනා මේ ගැන අහනවා. මම හිතන්නේ ඒ ඇසීම පසුපසම යම් කතාන්දරයක් තියෙනවා. මොකද ලංකාවේ වෙනත් කිසිම යන්ත්‍ර-මන්ත්‍ර-භූත-ගුප්ත ශාස්ත්‍රවේදියෙක් පිළිබඳව මේ තරම් මිනිස්සු හාර හාර හොයන්නේ නැහැ.

      අප සම්පූර්ණ කතාව දන්නේ නැහැ. ඒත් වෙලාවක ලියන්න තරම් තොරතුරු එක්කාසු කරගෙන, ඊට පස්සේ සලකා බලන්න පිළිවනි.

      Delete
  17. mama me abiyoga baragannawa mokkda mantara walin karanna ona

    ReplyDelete
    Replies
    1. වෙන මුකුත් අවශ්‍ය නැහැ, සීල් තැබූ මුදල් නෝට්ටුවක අංකය කියවලා පෙන්වන්න!

      Delete
  18. හොල්මන් භූතයො විද්යාත්මකද?
    මෙන්න මේවට උත්තර හොයන එක ලෙසි නෑ මෙක ටිකක් බලන්න
    https://sandaruwn.blogspot.com/2015/11/tv-derana-hiru-tv.html

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.