logo banner

Saturday, August 16, 2014

නලින් මාමා සහ බෑණාවරු | Uncle Nalin and his Nephews

(ප්‍රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)



නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්‍ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.

අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු අවලංගුභාවය මෙතැන සාකච්ඡා නොකෙරේ.) එහි ආරම්භය හැත්තෑ - අසූ ගණන් වලට හා සමහර ඊටත් පෙරට ට්‍රේස් කළ හැකි බව සඳහන් විය යුතුය. නලින් ද සිල්වා මේ බෑන්ඩ්වැගන් එකට පසුව ගොඩ වූ කෙනෙකි. ඉන් පෙර එය පෝෂණය කළ පිරිස බොහෝය.

"ජාතික චින්තනය" යනු හැත්තෑව දශකයේ මැද හරියේ ගුණදාස අමරසේකර විසින් නිර්මිත යෙදුමකි. ඔහු මේ තේමාව යටතේ ඇත්ත පත්තරයට දීර්ඝව ලිපි පෙළක් ලිව්වේය. එවක ඔහුට විරුද්ධ පිළේ ට්‍රොට්ස්කිවාදියකු වූ නලින් එහිදී අමරසේකර සමඟ ඍජුව ගැටුණේය. "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යනු නලින්, අමරසේකරට එරෙහිව ලියූ ලිපියක මැයෙකි. අමරසේකර මේ මාතෘකාවෙන්ම නලින්ට ලියූ පිළිතුරු ලිපි එකතුව පසුව පොත් පිංචක් ලෙස මුද්‍රණය කෙරුණේය. මීට අමතරව අසූවේ දශකයේ මැද හරියේ අමරසේකර ලියූ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු" අපේ කාලයේ "චින්තනකාරයින්ගේ" බයිබලය විය.
"ජාතික චින්තනය පෝෂණය කළ" තවකකු නම් ජී. අයි. ඩී. ධර්මසේකරය. පරණ (1971) ජේ. වී. පී. කාරයකු වූ ධර්මසේකර ඔහු මාක්ස්වාදයට විකල්පයක් සේ දුටුවේ ජාතික චින්තනයයි. ලිපි කිසිවක් මට වෙසෙසින් මතක නැතද ඔහුද දිගින් දිගටම ඒ ගැන ලියූ කෙනෙකි. 1994 මහ මැතිවරණයේදී නලින් හා ධර්මසේකර දෙදෙනාම මහජන එක්සත් පෙරමුණු ටිකට් එකට පිළිවෙළින් පානදුර හා බණ්ඩාරගම සංවිධායකයින් සේ කළුතර දිස්ත්‍රික්කයට තරග කළහ. ධර්මසේකර හැම තැනම කිය කියා ගියේ "මම චන්ද හද හද යනවා, එයා (නලින්) චන්ද කඩ කඩා යනවා" කියාය. අවසානයේ සත්‍ය වූයේ එහි පරස්පරයයි. පානදුරින් නලින් චන්ද 4,000 ක් පමණ ගනිද්දී බණ්ඩාරගමින් ධර්මසේකර ගත්තේ ඡන්ද 1,000 කට කිට්ටු සංඛ්‍යාවකි. මෙය මේ දෙදෙනාම ඍජු දේශපාලනයට එක් වූ අවසාන වතාවය.

සුළුවෙන් දායකත්වය දුන් නම් කිහිපයක් අතැර ඊළඟට මම ලොකු දායකත්වයක් දුන් පුද්ගලයකුට පනිමි. නලින් ද සිල්වාගේ වත්මන් බෑනාවරුන් සමහරවිට අසාවත් නැති ඔහු ආචාර්ය සුසන්ත ගුණතිලකය. සුසන්ත ගුණතිලකගේ Crippled Minds හා Aborted Discovery පොත් දෙකෙහි අද නලින් ද සිල්වා හා බෑනාවරුන් කිය කියා යන බොහෝ දේ තිබේ. Crippled Minds යටත්විජිතවාදයෙන් ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල චින්තනය උඩුයටිකුරු වූ සැටි කියන පොතකි. Aborted Discovery යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මේ රටවල තිබුණු දැනුම් පද්ධති හා තාක්ෂණය විස්තර කරන පොතකි. පොත් දෙකම සීරියස් පර්යේෂණ ග්‍රන්ථය. (එකඟ වීම නොවීම ඔබ සතුය.) මේ දෙකම මම විදුසර ලිපි කිහිපයක් පිණිස පරිශීලනය කොට ඇත්තෙමි. පළමුවැන්න නම් මේ ලියන මොහොතේද අත ළඟින්ම ඇත. Aborted Discovery විදේශීය මුද්‍රණයක පිටපතක් සොයා ගන්ට ලැබුණේ (සාමාන්‍යයෙන් දේශීය ලේඛකයින්ගේ පොත් නොතිබුණු) බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයෙනි. එය මේ පොත් වලට තිබුණු පිළිගැන්මට නිදසුනෙකි.

මගේ මතකයට එන අවසාන නම (අද රාවණාවාදියකු වී ඇති) සූරිය ගුණසේකරගේය. හිටපු සිවිල් සේවකයකු වූ සූරිය ගුණසේකර දිවයින බදාදා අතිරේකයට ලියූ "ලන්ඩන් ගිය බණ්ඩා" ඒ යුගයේ ජනප්‍රිය ලිපි පෙළක් විය. කෙළින්ම නොපළ කළද නලින් තුළ මේ ලිපි පෙළෙහි ජනප්‍රියතාවය ගැන වූයේ එක්තරා අන්දමක ඉරිසියාවකි. එහි කියැවෙන කාරණා පට්ටපල් බොරු බව ඔහු නිතර පෞද්ගලික සංවාද වලදී කිව්වේ "අපිත් ඉතින් ලන්ඩන් ගිහින් නැතුවයැ" ශෛලියෙනි. මීට අමතරව මගේ මිතුරකු සූරිය ගුණසේකර සමඟම කළ සංවාදයක් ලිපි පෙළක් හැටියට ඩී. ජී. හපුතන්ත්‍රී නමින් දිවයිනටම ලියුවේය. (ආරූඪ නාමයකින් පෙනී සිටීමට ඔහුට ඇති අයිතිය සලකා ඔහුගේ නම හෙළි නොකරන අතර ඔහුට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමෙන්ටුවකින් දක්වන සේ ඇරැයුම් කරමි.) මේ නම් දෙකම මතක් වූයේ නලින් මෑතකදී ඔවුන් ගැන කළ සඳහනක් නිසාවෙනි.

මීට අමතරව ජාතික චින්තනය කියන ඊනියා මතවාදයට දායක වූ තවත් බොහෝ දෙනා සිටිය හැකිය. ඔවුන් ගැන විශේෂයෙන් පර්යේෂණ කරන්නට තරම් කැක්කුමක් හෝ ඉසඹුවක් මට නොවේ. ඉහත විස්තර හුදෙක් මේ මාතෘකාව ගැන සංවේදී පුද්ගලයින් වෙනුවෙන් මගේ මතකය අවදි කිරීමක් පමණය.

Tuesday, August 12, 2014

පිංබර ඇසළ පොහොයක්!

(පසුගිය වසරේ ඇසළ පොහෝ දිනයේ අපේ වත්පොත් පිටුවේ පළකරන ලද ලිපියකි. පළකරන්නට සිටියේ පොහෝදින ය. ප්‍රමාදය පිළිබඳ අපේ කණගාටුව.)



"දේවයන් වහන්ස, දරුවගෙ පලාපල ගැන කියල ඔබ වහන්සේට මා දුන් අවවාදය ගැන ඔබ වහන්සේ තැකීමක් කරල නැහැ වගෙයි.. "

"ඒ කිව්වේ ගුරුතුමනි?"

"මේක එසේ මෙසේ කේන්දරයක් නෙමෙයි. වාසනාව අවාසනාව දෙකම දෝතින් අරං උපන් මහා ගුප්ත කේන්දරයක්.. මම කිව්වා වගේම දරුවා ඉපදීලා දවස් හතෙන් මෑණියෝ අභාවප්‍රාප්ත වුණේ නැද්ද? සුළුවෙන් හිතන්න එපා! මේක සක්විති රාජයෝග සහිත කේන්දරයක්..! මේ දරුවා හරියට හැදුවොත් මුළු ලෝකයම අපේ ජාතිය යටතට පත්වෙනවා..! නරකට හැදුවොත් මේ දරුවා මැරෙන්නේ අන්ත අසරණයෙක් වගේ..! ඔබතුමා මේ යන විදියට ගියොත් වෙන දේත් කියන්නම්..! මේ දරුවා කසාදෙත් කඩාගෙන පිස්සෙක් වගේ එක එක අන්‍යාගමික කල්ලි වලට අහුවෙලා නන්නත්තාරේ ගිහිං අන්තිමට ඔබේ ඇස්පනාපිටම මේ නගරේ මේ මැදුරට යන පාරෙම හිඟා කනවා..! මතක තියාගන්න දේවයිනි මම කියපු දෙයක් වැරදිලා නැහැ!"

****

"සොයුරිය මොකද්ද මේ වැඩේ තේරුම? ඇයි මේ මනුස්සයට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම තේරෙන්නෙ නැත්තේ? අපේ රට ජාතිය තීරණාත්මක බල අරගලයක මැද්දේ ඉඳිද්දී ඒ වෙනුවෙන් කරන්න දහසකුත් එකක් දේවල් තියෙද්දී නිමක් නැති දර්ශනවාද වල එල්ලිලා ඉඳල හරියනවද?"

" ඒ ඔහුගේ හැටි, මලණ්ඩි.. ඔහු කොහොමත් අපට වඩා දුර හිතන කෙනෙක්..ඔහුගේ ගමන දේශපාලනය නොවේ."

"අක්කණ්ඩි මම එකක් කියන්නම්..! ඔය මනුස්සය යන ගමන වෙනස් කරගත්තේ නැත්නම් දවසක තමන්ගේ උරුමයත් නැතිකරගෙනයි නවතින්නේ.. උරුමය පැත්තකින් තියන්න..! මට නම් පෙනෙන්නේ නැහැ ඔහු ඔබට ආදරය කරන බවකුත්..! ඔහු ඔය ඊනියා දර්ශනවාද ගැන හොයන්න ගිහිං දවසක ඔබවත් අතෑරලා ගියොත් මොකද වෙන්නේ?"

"දෙව්දත් මලයණ්ඩි, ආදරය යනු අයිති කරගැනීම ම නෙමේ.."

"මට ඔබත් එක්ක කතාකරලා දිනන්න බැහැ.. ඔබත් හොඳයි සිද්ධාර්ථටම.. හැබැයි යසෝධරා මම එකක් කියන්නම්.. රට ජාතිය වෙනුවෙන් ශාක්‍ය වංශය වෙනුවෙන් ඔහුට කරන්න යුතුකමක් තියෙනවා.. එන ඒ යුතුකම ඉෂ්ට කරන්න ඔහුට සිහි ගන්වන්න.. මම යනවා.."

****

"ඔය මනුස්සයට මුල මතක නෑ අස්සජී.. මම නම් අන්තෙටම කළකිරිලා ඉන්නේ.."

"ඔබ පමණක් නොවේ ඇවැත්නි, ඔබ වගේම හිතන තව බොහෝ දෙනෙක් ඉන්නවා.."

"ඒ බොහෝ දෙනා වගේ නෙමේ අස්සජී මම. එදා උන්නාන්සේ ගේදොර අතෑරලා අස්සයයි ඇඳිවතයි පමණක් ඇතුව මාලිගයෙන් දොට්ට බහිද්දී ඔය එකෙක්වත් හිටියේ නැහැ ළඟ.. මේ ඡන්න ඇමති නොහිටින්න එදා උන්නනාන්සේ අබිනික්මන් කරන්නේ නැහැ.. කොටින්ම සිද්ධාර්ථ කියන්නේ වයස තිහ කිට්ටු වෙනකනුත් මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක්, භික්ෂුවක් දැකපු කෙනෙක් නෙමෙයි.. මමයි ඔහුට පළමු වතාවට වයසට යනවා කියන්නේ මොකද්ද, ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද, මැරෙනවා කියන්නේ මොකද්ද, පැවිදි වෙනවා කියන්නේ මොකද්ද කියල කියාදුන්නේ.. අද මේ උඩින් පාත් වෙච්ච මිනිස්සු සාසනේ ලොකු මිනිස්සු වෙලා.."

"ඡන්න ඇවැත්නි, ඔබ දැකපු දේවල්ම තමා ඔහුත් දැක්කේ.. නමුත් ඔබ ඒ දේවල් වටහාගත්තේ නැහැ, ඔහු ඒ දේවල් වටහාගන්න උත්සාහ කළා.. අන්න එතනයි වෙනස..හැකිනම් වටහාගන්න."

****

"ස්වාමීනී, මේ අන්‍යාගමික කල්ලි වලින් ඔබ වහන්සෙට එල්ල වන ස්ත්‍රී දූෂණ චෝදනාව නිසා නුවර වැසියා අප කෙරෙහි බොහොම කේන්තියෙන් ඉන්න බවයි පෙනෙන්නේ.. දානෙකට පින්ඩපාතෙකට වත් දොට්ට බහින්න හැකියාවක් නැහැ.. අපි මේ නුවර අතෑරලා වෙනත් නුවරකට යමු ස්වාමීනී.."

"තථාගතයෝ චෝදනා වලින් සැලෙන්නෝ නොවෙති ආනන්දය.."

"එහෙමනං අඩුම ගානෙ මේ අන්‍යාගමික කල්ලි වල තීර්ථකයන් සහ නිඝණ්ටයින් නගන චෝදනා වලට අපි නිර්භයව පිළිතුරු දෙමු.. අප නිවැරදියි නම් ඇයි අපි සැඟවෙන්නේ.. අපි පාරට බැහැලා මිනිස්සුන්ට කතා කරමු.."

"දවස් හතයි ආනන්ද, දවස් හතයි.. තථාගතයෝ විවාදකයෝ නොවෙති..මේ සියලු දේ දවස් හතයි.. එතෙක් ඉවසන්න.."

****

"පුණ්ඩරීකං යථා වග්ගු - තොයෙන නූපලිප්පති
නූපලිත්තොම්හි ලොකෙන - තස්මා බුද්ධො'ස්මි බ්‍රාහ්මණ"

"මඩෙන් උපන් පියුම මඩෙන් ඉහළට මතුව, මඩ ගා නොගෙන ඉහළට නැගී සිටින්නේ යම් සේ ද, මමද ලෝකයා නමැති මඩ ගොහොරුව මැදින් ඉපිද, ලෝකයා ගේ කෙළෙස් මඩ තවරා නොගෙන සිටින්නෙමි; බ්‍රාහ්මණය, එසේ හෙයින් මම "බුද්ධ" නම් වෙමි.

****

ගාගත් මඩ සෝදාගන්නටත්, ගැසූ මඩ වලට සමාව අයදින්නටත්, මඩෙන් තොර සැනසිල්ලක් ලබන්නටත් හේතු වාසනා වන පිංබර ඇසළ පෝ දිනක් වේවා!

Monday, August 11, 2014

මහා අබසරණ ජාතකය | Aba Saranayi Yako!


(ප්‍රබන්ධය එකා යකා විසිනි.)

තවදැ එක් සමයෙක්හි මොහොල් ගස් පැළවනාහ. පැළවුණාවූ මොහොල් ගස් මස්තකයෙහි කැදැළි තැනූ ධවල කපුටුවෝ අං ඇති ගැරඬින් හා සහවාසය කරනා හ. එකල්හි මිහිඳු රජපසයා කනිටු සොයුරු ගොටුඅබයා කල්පනාවෙහි නිමග්නවැ වසන්නේ "මෙවන් වූ භීම සමයෙක්හිදී දැ නොවතු නම් කවර කලෙක මා රජසබයටැ ගිය මනා වේදැ?"යි සිතා මෙ පවත් එසැණෙහිම සසිරි බර මෙ සිරිලක දනව්වක් පසල් දනව්වක් පාසා පතුරුවනු පිණිසැ ස්වකීය වන්දිභට්ට වූ අනඳ ජයසීහයා ලවා 'ද්වේශය' නම් වූ තල් පතෙක් කරවනා හ.

මිහිඳු රජපසයානෝ උදෑසනක් සේ මැ අවදිවැ ස්වකීය සැත්තෑ වයස් වූ තාරුණ්‍ය රැකැගනු වස් පසළොස් යොදුනක් වීථි සංචාරයෙහි නිරතවැ පැමිණ වීල, බාර, ඩම්බෙලයන්ගෙන් සන්නද්ධවැ කයවඩනාරාමයෙහි දෙපැයක් බවුන් වඩා පාතරාසය පිණිස බොජුන් ගෙයට වැඩම කොට අත් පිස්නා පිණිස තල් පතෙක් සොයන්නේ ගොටුඅබයාගේ 'ද්වේශය' තල්පත දකිනා හ. "ඉදින් මා රජසබයට එත් නම් ඒ හුදෙක් මා දෙටු සොයුරු මහරජාණන් ඇරැයුමින් පමණක් මැ වනාහ" යනුයෙන් වූ ගොටුඅබයාගේ පාණිය දැකැ මහත්සේ සොයුරු පෙම් උපදවා මේ කෙරෙහි තීරණ කරනු වස් රජසබයට ඉහළින් පිහිටුවා ලූ වරිග සබය කැඳවනා හ.

චාමලයා යැ, නාමලයා යැ, බැරිසිලයා යැ ආදීන් හා උන් සියල්ලට මැ හා රජපසයාට මැ මුත් අධිපතිනී සිරන්තියාගෙන් දැ සමන්විත වරිගසබාව මස්තකයෙහි ගොටුඅබයාගේ 'ද්වේශය' එළිදැක්වූ කෙණෙහි මැ සිරන්තියා පුපුරා හැලී "ස්වාමීනි, තොප තොපගේ දරුවන් ගැනැ නොසිතනා නියාදැ" යි නේක විප්‍රකාරයන් බෙණෙමින් හඬාවැටෙන්නී රජපසයාගේ දහසක් පුෂ්ප විකසිත කරවන්නී යැ. එකල්හි විපසෙන් කිණ්ඩි ලත් ඇමැත්තෙකු සේ මහත් වූ කෝපයෙන් දැවෙනා රජපසයාණෝ "නීච ස්ත්‍රිය, මා දරුවන් ගැනැ නොසිතූ නියා නම් මෙකල්හි තී වැළැලූ තන් හි පැළවුණු නෙරළු ගස් කපා පරාළ දැ ඉරූ නියායැ. යව යව මා දෑසට නොපෙනී මෙතැනින් නිකම යා!" යි ආක්‍රෝශයෙන් පරිභව කෙරෙමින් එළවනා හ.

ඉදින් වරිගසබය එසේ නිසල වූ පසුවැ රජපසයාණෝ බැරිසිලයා අමතන්නේ, "කිමද මලණ්ඩ, ගොටුඅබයා ගෙන්වමෝදැ" යි විමසනා හ. 'මූ මා ළපැටි කල පටන් මා අතැ වූ කැවුමක් විනම් මා හඬව හඬවා මුත් උදුරා කෑ එකායැ. බාලයා සේ මැ මූ කපටයා වනා යැ. මා පතට කෙළනට මෙවර නම් නොදෙමැ' යි තරයේ සිතා මුත් මේ දැන් සෝවාන් වූ කලෙක මෙන් හැලප වතෙක් මවා ගෙන බැරිසිලයා බෙණෙන්නේ, "අයිය, ලක්සුමන කිරිඅලයා පැවැසූ සේ මැ සංග්‍රාම නම් ඕනෑම වෘෂභයෙකුහට කළ හැකි දෑ යැ. සංග්‍රාම කිරීමෙන් පමණෙක් මැ පණ්ඩිතයෝ නොවෙනා හ. මූ රජසබයෙට ඔබී දැයි වෙනත් පැණයෙක් විචාරා දැනැගම් හ" යි පවසනා හ. "වන්නාටයැ, එසේ වී නම් තොප මැ පැණයෙක් සිතා උහු විමසුව. නොපමාවැ අපටදැ දැනුම් දෙව මලඬ.. " යි වදාරා රජපසයාණෝ හදිසි වරිගසබය තුටින් විසුරුවනා හ.

මෙපවත් මෙසේ වනැ අතුර යාන බැලීමෙහි කෙළ පැමිණියේ හෙයින් ස්වකීය වූ දෙටු සොයුරා වුව නොහරණා ගොටුඅබ තෙමේ වෙහෙර රුක් මැඳුරෙහි පියස්ස මස්තකයේ යාන බැලීමෙහි රඳවා තුබූ මූෂිකයෙකු අතින් පෙරකී අටකන් මන්ත්‍රණය පිරිසිඳ දැනැපියා ස්වකීය බිළාල රැවුලු විදහා මඳහස පා ස්වකීය ගොට්ට අල්ලන්නා වූ සවනිඳයා කැඳවනා හ.

එසේ කැඳවා, "එම්බා සවනිඳය, මුහු මා ගොටුඅබයා බැව් නොදත් නියා යැ. පැණ ඇති කැරුමෙහිදැ විසඳුමෙහිදැ මා හැර සමත් යමෙක් මේ මඟුල් සක්වලැ නොවනා හ. මුහු මා විමසීමෙහි ගියේ අද පමණෙක් නොවේ, මින් පෙර දැ මා විමසීමෙහි ගොස් මුහු ඇණැ ගත් නියා යැ" පවසනා හ.

"පස්වාන් දහසකට බුදු වන්නා වූ ගොටුඅබයාණෙනි, අප කෙරේ අනුකම්පායෙන් එකී පවත් වදාරණ සේක්වා" යි සවනිඳයා බැගෑ වන්නා වූ සඳ "එසේ වී නම් අසවැ"යි පවසා 'මහා අබසරණ ජාතකය' උහුහට වදාරණා හ.


***

එක් දුර්භික්ෂ සමයෙක හඹුතොඨ්ට නම් පසල් දනව්වෙහි ගොවියකුට දාවැ පරිසි මහිනිඳ නම් වූ ගැමි කොළුවකුට මළණුවැ අබය නම් කුමරුවෙක් ඉපදෙනා හ. මුහු තෙමේ නිසි වයස් පැමිණි කළ ව්‍යාඝ්ර ගෝත්‍රිකයින් හා යුද පිණිසැ රාජ සේවයට බැඳුනා හු හෙද එකල්හි රාජ්‍යය කෙරෙනා රජුට හා මහසෙන්පතින් කෙරෙහි කළකිරී සිතන්නේ 'මුහු මහට රිසි පරිද්දෙන් යුද නිමැ කෙරුමටැ නොදෙත් ල, ඉදින් තවදැ මුහු කෙරේ ළතැ වී පල නොදෙන්නේ නික්ම යමැ" යි සිතා මහසෙන්පතිට ප්‍රේත ගොටුවක් යවා අමරික්ඛ දේශයටැ පැන යනා හ. ඉන් පසුවැ පාළොස් වසෙකින් සිය සොයුරු පරිසියා රජ වූ කළැ යළි සසිරිබර මෙසිරි ලකටැ එළඹෙනා හු ගොටුවෙක් යවා පැන ගිය ගිය හෙයින් 'ගොටු අබයා' නමින් පරසිඳු වනාහ.

මේ ගොටු අබයා පැමිණ "අයියණ්ඩිය, බිය නොවව. යුද කෙරෙනා සැටි මම් පෙන්වමැ"යි පවසා සේනා රැස් කෙරෙන්නේ මහත් සේ රුධිර ගංගා පතුරුවා සේනා විහිදුවා යුද ජය ගන්නා හ. පසු කළෙක එවකට මහසෙනවියා වැ හුන් සරත පොනසිකයා දඟ ගෙයි ලවා සිය ගැත්තා වූ සදපෙම නම් කුලී ලියන්නෙකු යොදවා 'ගොටු යුදය' නම් පුස්තකයෙක් කරවා රණකෙළියෙහි සියළු ගෞරවය තමන් නමට මැ හරවනා හ. එතැන් පටන් නගරාලංකරණයෙහි උත්සුක වන්නාවූ අබයාණෝ ඇතුළු නුවර සියළු දුගියන් පළවා හැර, සත්මහල් ප්‍රාසාද තනවා, නෙක පුෂ්පෝද්‍යාන පොකුණු දිවුම් පෙත් ආදියෙන් සරසනා හ. මෙසේ තමැ කිත් යසස සසිරිබර එසිරිලක පුරා පතුරුවා ලූ පසුවැ අබයාණෝ සිතන්නේ "ඉදින් මේ මා රණකෙළි දිනූ නියායෙන් මුන් විඳුනා ඓශ්චර්යයෙන් කොටැසක් මා දැ ලත් මනායැ. මම් දැ රජ සබයටැ පිවිසෙම්" යැයි සිතා ඒ බැව් රට පුරා පතුරුවා හරණා හ.

මෙකී පවත් සැළැ වූ කෙණෙහි පරිසි මහ රජාණෝ සිය වරිග සභාව කැඳවන්නේ මූ සුදුස්සේ දැයි සොයනු වස් පැණැයක් විචාරන්නට සිතණා හ. ඉදින් වරිග සබා වූ කේවට්ටාචාරීහු "මහරජුනි, ව්‍යාඝ්රයින් මරා ලදැ රන් කොහිදැයි විමසුව මනායැ" යි කියනාහ. තවෙකෙක් "මහරජුනි, සහල් නැළියකැ මිළ විමසුව මනායැ" කියනාහ. තවකෙකු"ලසන්තයා හා ප්‍රගීතයා ගැනැ විමසුව මනායැ" යි කියනා හ. පරිසි මහරජු තීරණයකටැ එළැඹිය නොහී "හෙද පසුවැ සළකා බලම්හ" යි නික්මී නැව්තොට ටැ ගොස් දේශාන්තර චාරිකාවකැ නික්මෙනා හ.

මෙපවත් රහසින් අසා සිටුනා ගොටු අබයාණෝ සිතන්නේ "මුහු මා ගොටුඅබ පණ්ඩිත බැව් නොදත් නියා යැ, සිටුව ! තොපට නිසි යමෙක් කැරැ පෙන්වමැ" යි කල්පනායෙහි නිමග්න වනාහ. මේ ගොටු අබයා නම් පෙර කලැ ව්‍යාඝ්රයින් මරා රැස් කරන ලද්දා වූ මහත් කුසල් ඇත්තේ හෙයින් උහු සිතුවක් එසේමැ ඉෂ්ට වන්නේ යැ.

ඉදින් මෙ අතුරෙහි නැවුම්ගම නම් වූ යවන ගෝත්‍රිකයින් හා හෙළ ගෝත්‍රිකයින් හවුලේ වසනා පෙදෙසක එක් මහණෙක් ස්වකීය රියැදුරා හා මඟට බස්නේ මඟ හරස් කළාවූ යවන තරුණයින් අතළොස්සෙක් හා දබරයෙක පැටළෙනා හ. මේ යවනයෝ රියදුරා හා ආක්‍රෝශයෙන් පරිභවයෙහි යෙදී හිඳිද්දී මැ එතැනට යවන වේශයෙන් එළැඹෙන්නා වූ උපුල්වන් දෙවියෝ යවනයන් හටැ නොපෙනෙන්නා වූ දැ හුදෙක් හෙළයින්ට පමණෙක් මැ පෙනෙන්නා වූ දැ ලෙස මහණා පිට පහරක් එළනා හ. "අපගේ මහණුන්ට යවනයෝ තළනා හ" යි සසිරිබර එසිරිලක දනව්වක් දනව්වක් පාසා පැතිර යනා හ. මේ කර්ණගත වූ ගොටු අබයාණෝ සියතින් දන් වළඳවන්නා වූ අලුකුත්ථේර නිකායෙහි ණැනසර නම් මහණෙක් කැඳවා සතර කන් මන්ත්‍රණයකැ යෙදුණා හ.


***


එකී සතර කන් මන්ත්‍රණයෙන් පසුවැ නැණසරයා සිව් දහසෙක් හෙළ බොදු සෙනඟ පිරිවරා නැවුම් ගම ටැ වැඩැ ක්‍රෝධයෙන් ඇවිළෙනා වූ හෙළයින් අතර ටැ පිදුරු හෙළන්නා සේ මහත් වෛරී වූ බසින් දහමෙක් දෙසන්නේ තුමූ බුදු සරණ හැරැ පියා ගොටු අබයාගේ සරණැ හෙවත් "අබ සරණැ" ගියේ වී හෙයින් මෙකී යවනයින් හට දැ අබයාගේ සරණින් මැ විණ කටින්නෙ මෝ යැයි වදාරමින් "අබ සරණ" සූත්‍රය එකී නැවුම් ගම් පුරයෙහී දී දෙසා වදාරනා හ. මෙකී අබ සරණ දහම ශ්‍රවණය කළාවූ සිව් දහසෙක් හෙළයෝ 'ඒහි අබ්භ' භාවයෙන් අබ සරණ වැළැඳ බුදුන් නැසුමට එළඹෙනා දස බිම්බරෙක් මාර සේනා ලීලයෙන් මහත් වූ පෙරහරෙකින් මඟට එළඹුනා හු යැ.

ඈතින් අබ සරණ ගිය හෙළයෝ යැ. මෑතින් මෙකී විප්‍රකාරය දකින් වස් රැස් කකා උන් යවනයෝ යැ. මෙවන් මොහොතෙක තව්තිසා දෙව්ලොවැ හිඳ මනුලොවැ බලන්නා වූ ශක්‍ර දේවේන්ද්‍රයෝ "ගොටු අබයාගේ බල ලෝ පතුරුවනු වස් මෙවන් මොහොතෙක් යළිදු නොඑනා හ. යමක් කෙරෙමි යි" සිතා වරෙක කුස රජුට දැ වරෙක මහෞෂධ පණ්ඩිතයින්ට දැ සරණ වූ අෂ්ටවංක මාණික්‍ය රත්නයැ ගෙනැ ඒ මෙකී රැස් කනා පිරිස් මධ්‍යය ටැ අහසින් හෙළනා හ. ඉදින් නැවුම් ගමැ පළමු ගල ගැසීයේ කවරෙකුදැයි යමෙකුට කුකුසෙක් වි නම් මේ පටන් ඒ ශක්‍ර දේවේන්ද්‍රයා මැ මිස අන් යමෙක් නොවනැ බැව් දත යුතු.

අහසින් වැටුණා වූ පාෂාණය දුටු කෙණෙහි මැ හෙළ ගෝත්‍රිකයෝ "යවනයෝ මෙතෙක් නොබියවැ අපට පහර දෙනා හ" යි මහත් සේ කිපී යවනයන් මතැ පහර පිට පහර හෙළනා හු, උහු නිවෙස් හා සල්පිල් ගිනිබත් කරනා හු, මහත් වූ කෝළාහලයෙක් අරඹනා හ. යවනයෝ දැ ස්වකීය රක්ෂාව පතා යම් තැනැකැ පෙරළා පහර දෙන්නේ නැවුම් ගම් පුරයමැ එක මැ අග්නි ජාලාවක් වනා හ.

මෙපවත් මෙසේ වෙත්දී අබ සරණැ ගිය රාජ පුරුෂයෝ නොදුටු විරූ වැ නෑ සූ කන් වැ තන් තන් හි පසු වන්නේ හෙළයින් ට මැ ආශීර්වාද කෙරෙනා හ. ඉදින් අවසන ගිනි නිවුමෙහි ළා මහානුභාව සම්පන්න වූ ගොටු අබයාණන් මැ මැදිහත් වනා හ. ගිනි ඇවිළුනා වූ දෙදවසකකට පසුවැ රාජපුරුෂයින් ලවා ගොටු අබයාණෝ ගිනි නිවා දමනා හ. එකී ගින්නෙ හි හේතූන් සොයන්නේ යම් කළෙක ද ඉදින් යවනයෝ යවනයින්ගේ මැ සල්පිල් ගිනි තබවා ගත් බැව් රාජපුරුෂයින් ලවා ඔප්පු කරවනා හ. යවනයින් හට පෙර අනුකම්පා කළ වටරැක නම් මහණෙක් පහර කා මඟ වැටී සිටුණුයේ උහු දැ ස්වයං ව මැ පහර දී ගත්හයි ඔප්පු කොටැ පෙන්වනා හ. අවසනැ රාජකීය ගබඩාවන්හි දොරගුලු හැරපියා ඉදින් පහරකෑ යවනුන්ටැ දන් දෙමැයි පිළිණ දෙනා හ.

"මෙසේ පරලොවැ ගියා වූ යවනයින් පිරිසෙක් දැ දැවුණා වූ නිවෙස් සල්පිල් ගණනෙක් දැ හැරැ මැරුවා වූ හෝ ගිනි තැබුවා වූ හෝ කිසිවෙකුත් නොවනා තැන් දක්වා මේ පැණැය විසඳුවා වූ මහත් ආශ්චර්යය දැකැ සසිරිබර මෙසිරිලක දනෝ මතු නොව සදෙව් ලොවැ දෙවියන් පවා ගොටු අබයාණන් ඉදිරියෙහි සාධුකාර දුන් නියා යැ" පවසමින් අබසරණ ජාතකය අවසන් කෙරෙන්නේ, පූර්වාපර සංධි ගලපා ගැන්ම තොපට මැ භාර කෙරෙනා හ.