logo banner

Thursday, January 24, 2013

නයි නළඟනගේ කතාව

කොල්ලුපිටියේ සමාජ ශාලාවක රැඟුම් පෑ "නයි නළඟන" හෙවත් දන්තුරේ පදිංචි නිරෝෂා විමලරත්න  පසුගිය කාලයේ සයිබර් අවකාශය තුළ බොහෝ කතාබහට ලක්වූ චරිතයකි. මෙය කියවන සෑම කෙනෙකුටම පසුගිය දශකයේ ජනප්‍රිය චිත්‍රපටයක් වූ "නාගීනා" සිහි වන්නට ඇති බව නිසැක ය. සැබෑ නම නිරෝෂා විමලරත්න වුවද ඇය රඟන්නේ ඩිලානි චොප්රා යන ආරූඪ නමිනි. රටේ තොටේ වද වෙන්නට අටෝරාසියක් කරුණු කාරණා තියෙද්දී නයෙක් සහ නළඟනක් ගැන මෙතරම් වද වීමට අපේ රටේ මිනිස්සුන්ට ඇති හේතුව කුමක්දැයි සෙවීමට අපට ද සිතක් පහළ විය. මේ සටහන ලියන්නේ ඔය කතාව එදා මෙදා තුර ඇදී ආ අන්දම යළි මතක් කරමිනි.


මෙතෙක් කතාව:

කොල්ලුපිටියේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේදී නයෙකු තුරුළු කරගෙන නිදා ගත්තේ යයි යන චෝදනාව පිට 21 හැවිරිදි ඩිලානි පොලිස් අත් අඩංගුවට පත් වන්නේ 2012 දෙසැම්බර් මස දීය. ඇගේම වචනයෙන් කියන්නේ නම්, "කිසිම වග විභාගයක් නැතිව අසභ්‍ය වචනයෙන් බැන වැදී පොලිසියට ගෙනයාමෙන්" පසුව, කොල්ලුපිටිය පොලීසිය විසින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබේ. ඊට පෙර ඇය මානසික රෝගියකු යයි කියමින් කොළඹ ජාතික රෝහලට ද ඈ ඇතුළු කර තිබූ බව කියවිණි. කතාව ඇරඹෙන්නේ එතැනිනි.

අනතුරුව දිග හැරෙන නාටකයේ විවිධාකාර ජවනිකා පෙළකි. මේ අසන්නේ සැබෑ ජීවිතයේ කතාවක්ද, නැතහොත් හින්දි චිත්‍රපටයක තිර රචනාවක්දැයි සිතා ගැනීමට බැරි තරම් එය සංවේදීය. හද කකියවන සුළු ය. එබැවින් අපි මෙය කොටස් වශයෙන් විභාග කරමු.

මුලින්ම කිව යුත්තේ සුරතලයට ඇති කළ හැකි සහ නොහැකි ලෙස සතුන් වර්ග දෙකක් ඇති බවයි. කෙනෙකුට ඕනෑ ඕනෑ හැටියට සතුන් සුරතලයට හදන්නට බැරිය. එහෙම පුළුවන් වුණානම් ක්ලියෝපැට්රා අග රැජන කළා සේ චීටාවකු හදන්නට, නෙෆෙස්තිනීස් කළා සේ පිඹුරකු හදන්නට, නැතිනම් හැරී පොටර් කතාවේ voldemort සේ නයෙකු හදන්නට ඕනෑම කෙනෙකුට හැකි විය යුතුය. සත්‍ය නම් අන්තරායකර සහ වනගත සතුන් සුරතලයට හැදීම සත්ත්ව හිංසා සහ ආරක්ෂණ පනත යටතේ නීතියෙන් තහනම් බවයි. බල්ලන්, බළලුන් මෙන් නොව, නයින් පොළඟුන් ගෙදර නොහදන්නේ එබැවිනි.


එහෙත් මේ ලංකාවය. මෙහෙ නීති රීති යනු පරණ ජංගියක් වගේය. ඒ කියන්නේ නමට විලි වැහෙන්නට තිබුණත් තැන් තැන් වල ඉරුණු හිල් තිබෙන බව සහ ඒ තුළින් සමාජයේ සත්‍ය නිරුවත් භාවය පෙනෙන බවය. මේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක හදන්නට අවසර නැති වඳවී යන පක්ෂීන් රජ මැදුරේ යසට වසන්නේ එබැවිනි. කන්ට දෙන්ට එකෙකු ඉන්නවා නම් එතන දාල යන්නට සතා සීපාවා වත් කැමති වන්නේ නැත. එබැවින් ඒ ගැන වැරද්දක් සතුන්ට කියන්නට බැරිය. රජතුමා නම් කොහොමත් හරිය. එතුමා අතින් වැරදිලාවත් වැරදි වෙන්නේ නැත. (එත් එතුමාගේ අහිංසක කම සහ නොදැනුවත් කම මතින් අයුතු ප්‍රයෝජන ගන්නා විජාතික කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස යම් යම් දේ වන්නට පිළිවන. මොනවා වුනත් යුද්දේ දිනු රජ්ජුරුවන්ට කවුරුත් දොස් කීම මහම මහ තුප්පහි වැඩකි.) එතකොට වැරදි අපි ය. එනිසා අපි ඒ ගැන කට වහගෙන ඉඳීම වඩා හොඳය.

අපි යළිත් මාතෘකාවට ආවොත්, මේ කී පරිදි නයෙකු සුරතලයට හැදීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ කියන්නේ නළඟන වැරදිය. හැබැයි ඈ හරි වුනත් වැරදි වුනත් පොලීසිය ඈට කුණුහරුපයෙන් බැන වැදීම ගැන ඈ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ. මේ ද ඇගේ නොදන්නා කමය. වසර ගණනාවක් මේ රටෙන් පිට ජීවත් වුණු නිසාදෝ දිලානිට මේ රට ගැන දැනුමක් නොමැත. අංක එකේ කාරණය, නමට හදිසි නීතිය අවලංගු කළත් මේ රටේ හැමදාමත් ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය බව ඇය දන්නේ නැතිවා විය යුතුය. අංක දෙකේ කාරණය නම් මේ රටේ අධිකරණ තියෙන්නේ නමට පමණක් බවය. (අගවිනිසුරුටත් නීතිය ක්‍රියාත්මක නොවන රටේ මොන නීතිද බං.. හුකෑස්.. ) එබැවින් එතුමියගේ සහ (පොලීසිය එහෙම නොකළ යුතු යයි කියන) අපේ සම-හරක් ගේ දැනුම වැඩීම පිණිස මුලින්ම මේ කතන්දර දෙක කිව යුතුය.


කතන්දර අංක එක: වළහා සහ පොලෝසිය.



ඔන්න එකෝමත් එක කාලෙක රට රටවල පොලෝසි වල අපරාධකරුවන් ඇල්ලීමේ හැකියාව මැන බැලීමට එක්තරා පරීක්ෂණයක් සැලසුම් කළා ලු. මීට රට රටවල බොහෝ පොලොසිද සහභාගී වුණේ ලු. මීට අපේ රටේ පොලිස් මාමලා දෙන්නෙක්ද සහභාගී වුනේ ලු. කරන්නට තිබ්බේ සුළු දෙයකි. කාලයකට මුදා හළ හාවකු, අඩුම කාලයක් තුල සොයා ගෙන එන්නාට ජයග්‍රහණය හිමි වේ.

මුලින්ම කැලෑවට ගිය එංගලන්ත පොලිසිය, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගස් මුල් වලින් පවා කට උත්තර සටහන් කරගෙන අවසානයේ කියා සිටියේ හාවා ආගිය අතක් නොමැති බවත් ඌ සෙවීම සඳහා බුද්ධි අංශ සහය ලබා ගත යුතු බවත්ය.

ඇමරිකාව නම් ඊට වඩා ඉතාම ප්‍රායෝගිකව සහ ඉක්මන් ලෙස කළේ වියට්නාමයට කළා සේ මුළු කැළයටම අධිබලැති නේපාම් බෝම්බ එල්ල කොට කැලය ගිනි තැබීමයි. අන්තිමට ඔවුන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දැන් හාවාගෙන් කිසි බියක් නොමැති බවත්, ශිෂ්ට සම්පන්න ලෝකයට මින් පසුව සැකෙන් බියෙන් තොරව ජීවත් විය හැකි බවත්ය.

චීනයෙන් ගිය දෙන්නා කළේ හාවා ගේ සියලුම ළඟ ඥාතීන්ගේ සියලුම චංචල නිශ්චල දේපළ රාජ සන්තක කිරීමයි. ජනතාවාදී සමාජයක් තුල කිසිම පරගැති, ප්‍රතිගාමී හාවෙකුට සෙල්ලම් දමන්නට බැරි බවත්, ධනේශ්වර පන්තියේ බඩගත්තරවාදී බත් ගොට්ටන්ට චීනය නිසි පිළිතුර දී ඇති බවත්, ජනතාවගේ සතුරා සියල්ලගේම සතුරා බවත්..... තවත් වැල් වටාරම් රාශියකින් පසුව හාවා එළියට ආපු දිනක ඌට ජනතාව ඉදිරියේ වන්දි ගෙවන්නට සිදුවන බවත් ඔවුන්ගේ නිල ප්‍රකාශයේ සටහන් විය.

ලංකාවේ දෙන්නා කැලය තුල ගත කළේ විනාඩි 15 කටත් අඩු කාලයකි. හැබැයි ආවේ හිස් අතින්ද නොවේ. තඩි වලහෙක් ඇවිද ගන්නටත් බැරිව (ලාච්චු කෝස් එක නිසා විය හැක) උන් දෙන්නා එක්කම (දක්කා ගෙන එමින්) මෙසේ කියමින් එනු පෙනිණි. "අනේ සර් තවත් නම් ගහන්නෙපා.. මම තමා හාවා, මම තමා හාවා.. අනේ බුදු සර් ගහන්නෙපා!"


දෙවන ජවනිකාව: සුපිරි නළඟන අහිගුන්ටික වීම



කතන්දර අංක දෙක ලිපියේ අන්තිමට තබා අපි නයා සහ නළඟන දෙසට හැරෙමු. ඇගේ හදාගත් පියා වන ආර්.එම්. විමලරත්න සිහල බෞද්ධ වන අතර ඇගේ මව ඉන්දීය සම්භවයක් ඇති බව මාධ්‍ය වාර්තා වල දැක්විණි. රටේ ජනතාවට නළඟන වෙනුවෙන් කරුණු කී පිරිස කීවේ කීවේ නිරෝෂා හින්දු භක්තික බවත්, නිතර නිතර කෝවිල් යන බවත්, ඇය නයින්ට දේවත්වයෙන් සළකන බවත්ය. ඇගේ පියාද නයි නටවන්නකු වන අතර ඔහු සතුව නයින් තිදෙනෙකු ද සිටින බව කියවිණි. තවද මෙකී නාගයා ඈට දොඩම්වල දේවාලයේදී නැයින්නක විසින් දන් දුන් බවද ඈ මාධ්‍ය වෙත පවසා තිබිණි. ඒ ගැන මුළු විස්තරය මෙතනින් කියවිය හැකිය.  ඇගේ නියම පියා ඉරාන ජාතිකයකු බවද ඇගේ මව නාසික් හි සහ පියා හයිද්‍රාබාද් හි පදිංචි බවද සිය ජන්ම භූමිය ඉන්දියාව බවද ඇය කියා සිටී.

දරු තිදෙනෙකු ගෙන් සමන්විත විමලරත්න පවුලේ බාලයා වන දිලානි, දන්තුරේ මාධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ වනතුරු ඉගෙන ගෙන, අධ්‍යාපන සමත්කම් ද දක්වා ඇති තැනැත්තියක් බවද සඳහන් විය. දන්තුරේ සෙන්ට්‍රල් එකෙන් සාපෙළට උගත්, නුවර සිංහල බෞද්ධ පවුලක හැදුණු වැඩුණු, ඉරාන ජාතික නයි නටවන්නකුගේ ඉන්දීය දියණිය, කොළඹ කොල්ලුපිටියේ සුපිරිම සමාජ ශාලාවක නළඟනක් බවට පත් වීම ම අපේ සමාජය ගැන පුළුල් පැතිකඩක් ගැන විග්‍රහ කළ හැකි මාතෘකාවකි. දන්තුරේ සහ කොල්ලුපිටිය අතර මහා දුරක් තිබේ. ඒ වනාහී ඇවිදින දුරින් පමණක් නොවේ. සංස්කෘතික, සමාජයීය සහ ආර්ථික අතින්ද මේ පරිසර දෙක අහසට පොළොව වගේ ය. මේ දෙක යා කළේ කවුද, කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. ඒ ගැන ඇගේම වචනයෙන් කියනවා නම්, "ක්ලබ් ජීවිතේ ගැන ඉගෙන ගන්නකොට මම ගොඩක් දුර ගිහින් ඉවරයි."

උසාවියේදී නළඟන ගේ පැත්තට කරුණු දක්වූ විත්තියේ උගත් නීතිඥ මහත්වරු පැවසුවේ වෙන කතාවකි. එනම් ඔය කියන අන්දමට එහෙනම් මේ රටේ ඉන්නා සෑම අහිගුන්ටිකයකුම වැරදි කරුවකු වන බවත්, නයින් සමග මුළු ජීවිතයම ගත කරන ඔවුන් අල්ලන්නට මොනාක පොලීසියක් වත් එන්නේ නැති නම් මේ නඩුවට පමණක් මෙතරම් බර තබන්නේ මන්ද යන බවත්ය. කතාවද ඇත්තය. අහිගුන්ටිකයන් ජීවත් වන්නේ "පෙට්ටිය ඇතුලේ නයියා පටවාගෙන" යන තරමටය. ඕක තහනම් කළොත් වෙන්නේ වහ කන්නටය. එබැවින් අන්තිමට උසාවිය විසින් එතෙක් දෙහිවල සත්වෝද්‍යානයේ රඳවාගෙන සිටි නයා නළඟන වෙතම භාර දීමට නියෝග කරන ලදී. එහෙත් රටේ ඕනෑ තරම් නඩු, පරම්පරා හතර පහ පරක්කුවෙද්දී මෙතරම් ඉක්මනට මේ නඩුව විභාග වුණේ කෙසේද, ඊට මුදල් ලබා දුන්නේ කවුද යන්න ගැන කිසිම සටහනක් අපට දැන ගන්නට ලැබුණේ ද නැත.

නළඟන ඇල්ලු පොලිසියට විරුද්ධව ලක්ෂ 20ක වන්දියක් ඉල්ලා දිලානි විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද නඩුව, නිමල් ගාමිණි අමරතුංග, එස්.අයි. ඉමාම් සහ චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ වන විට විභාග වෙයි. එය 2013 මාර්තු මස 13 වෙනි දින යළි විභාගයට ගැනීමට නියමිතය. සිය නයාගේ දළ කඩා ඇති බවත්, ඌට රිදවා ඇති බවත් ඇය මාධ්‍ය වෙත හැඬුම්බර හඬින් කියා සිටියාය. නයා බැරිනම් යකා ඇල්ලුවත් ඌට හින්සා පීඩා පැමිණවීම නම් වරදක් ලෙස අපිද දකිමු. හැබැයි ඉතින් ඒ අපේ පොලෝසියේ හැටිය. කතන්දර අංක දෙක කියවූ පසුව වඩාත් පැහැදිලි වනු ඇත. කොහොමත් මේ නඩුවෙන් පොලිසිය පරදින්නේ නැති බව දන්නා නිසා මේ නඩුව ඉල්ලා අස් කරගැනීම වඩා හොඳය. නැතහොත් අර සමෘද්ධි නියාමක තුමා තමන්වම ගසකට බැඳ ගත්තා සේ, මේජර් රෙහාන් තමන්ටම පහර දී ගත්තා සේ, නැතිනම් ලකී මහත්තයා දුමීව දැක තමන්ටම වෙඩි තියා ගත්තා සේ නළඟන ද තමුන්ටම මොකක් හෝ කරගනු ඇත. අපි මේ කියන්නේ ඇයගේ හොඳටය.


කතන්දර අංක දෙක: ලෝවැඩ සඟරාව

එක්තරා පොලිසියක පොලිස් සේවයට බැඳීමට අයදුම් කළ කොල්ලෙකුගේ සාමාන්‍ය දැනීම පරීක්ෂා කර බැලීමට ස්ථානාධිපති හට සිත් විය. කොල්ලා ලඟට කතා කර ගත් ඕ අයි සී උගෙන් මෙසේ ඇසීය.

"තමුන් දන්නවද ලෝවැඩ සඟරාව ලිව්වේ කවුද කියල?"
"අනේ නෑ සර්, මම පත්තර සඟරා කියවන්නේ නැහැ."
"ඕයි!! ලෝවැඩ සඟරාව කියන්නේ එහෙම එකක් නෙමේ! තමුසෙට විනාඩි පහක් දෙන්නම්, කල්පනා කරලා බලල දෙනවා මට උත්තරේ!"

මෙසේ කියා සිතෙන් බැන බැන එලියට යන ගමන්, අපේ ස්ථානාධිපති තුමා ළඟ හිටි එස්.අයි. කෙනෙකුට කතා කොට මෙසේ කීය. "අන්න අරූගෙන් අහල දැනගන්නවා කවුද ලෝවැඩ සඟරාව ලිව්වේ කියල.."

විනාඩි දහයකට පසුව ලොක්කා ඇතුළට එන විට කොල්ලා හතර ගාතෙන් බිම වැටී සිටි අතර, කාමරයේ බඩු මුට්ටු වලින් හොඳ හරියක් ද ඉවරයක් කොට කඩා බිඳ දමා තිබිණි. ඒ මැද ජයග්‍රාහී විලාසයෙන් සිටගෙන සිටි එස්.අයි. මෙසේ කීය.

"බලන්න සර් මම දෙකයි ඇන්නේ.. මූ යස අගේට කිව්වේ මූ තමා ඕක ලිව්වේ කියල.. කොහෙද සර් ල මුන්ව හුරතල් කරනවනේ!!"


තුන්වන ජවනිකාව: නළඟන හලාල් වීම (සහ පොලිසිය හොඳ වීම) 


මෙතෙක් අපි කතා කළේ අතීතය ගැන නිසා අපි දැන් තිර නාටකයේ වර්තමානයට එමු. එනම්, ජනවාරි 23 වනදාට ය. කතාව ඇරඹෙන්නේ ඩිලානි චොප්රා නොහොත් නිරෝෂා විමලරත්න සිය රාත්‍රී වැඩමුරය අවසාන කොට එදින පාන්දර 3.30 ට පමණ සිය ඉරාන ජාතික පෙම්වතා වන "සුල්තාන්" සමග ඔහුගේම රථයෙන් වැල්ලම්පිටියට පැමිණීමත් සමගය. තමාව විවාහ කර ගන්නා බවට පොරොන්දු දෙමින් සිටින නමුත් දිනෙන් දින විවාහය මග හරින පෙම්වතා සමග හට ගන්නා බහින් බස් වීම දුරදිග යන්නේ එවිට ය. අවසානයේ මේ වචන හුවමාරුව අවසාන වන්නේ බෝතල් කටුවකින් ගෙල කපා දැමු ඩිලානිගේ සිහිසුන් සිරුර, වැල්ලම්පිටියේ තෙල් පිරිපහදුව අසල මහමග දමා යාමෙනි. අධික රුධිර වහනය නිසා මරණයට පත් වීමට පවා ඉඩ තිබූ ඩිලානි වැල්ලම්පිටිය පොලීසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිසිය විසින් හඳුනාගෙන ඈ පෙරවරු 5.45 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් නොකරන්නට ඈ මරණයට පත් වීමට පවා ඉඩ තිබිණි.

සුල්තාන් ගැන යමක් කියන්නේ නම්, ඩිලානි / නිරෝෂා සමග දිගු කලක් අඹු සැමියන් ලෙස එකට ජීවත් වූ පුද්ගලයකු බව මේ වන විට හෙළි වී තිබේ. නිරෝෂාගේ කොළඹ ආගමනයෙන් පසුව සීදුව සමාජ ශාලාවකදී ඇයට මුණ ගැසෙන මේ පුද්ගලයා, මුදල් හදල් අතින් පමණක් නොව ආරක්ෂාව අතින්ද ඇයට සහය දී තිබෙන බව කියවේ.

දීර්ඝ කාලයක් තිස්සේ ගෙනගිය ඇසුර සම්මත එකක් බවට පත් කරන්නට ඇයට ඉතාම තද වුවමනාවක් තිබූ බව කියවේ. සමහර විට උපන් රට, මවුපිය රට මොකක් වුණත් අපේ සංස්කෘතියෙන් කොටසක් හෝ ගෑවී තිබීම නිසා විය හැක. එහෙත් අපේ ප්‍රේමවන්තයා නම් ඊට එක පයින්ම විරුද්ධ වූ බවද කියවේ. එක අතකට ක්ලියෝ ක්ලබ් එකේ නැට්ටිච්චියකට කර ගහනවාට වඩා හොඳ තැනකින්, උපන් දා සිට බුර්ඛාවකින් මුහුණ පමණක් නොව මුළු කයම වසාගත් නහඹුල් යුවතියක් සිය ජීවන සහකාරිය ලෙස තෝරා ගන්නට ඔහුට හිතුණා වන්නට පිළිවනි. එහිද එතරම් වරදක් නොමැත. නමුත් ගැටළුව වන්නේ කසාදය නොකිරීමට හේතුව ආගමික හේතුවක් නම්, නැට්ටිච්චි "හරාම්" නම්, මෙච්චර කල් ඈ සමග නිදි වැදීම "හලාල්" වුයේ කෙසේද යන්නයි.

කොහොමත් කියන දේ නාහන ගැහැණුන් හට තරවටු කරන්නට, සිරි යහනේදී වෙන් කරන්නට, කොන් කරන්නට පමණක් නොව, අවශ්‍ය නම් කෝටුවකින් තලන්නට වුවද කුරානයෙන් නීතියෙන්ම ඉඩ දී ඇති බැවින් මේවා එතරම් වද වන්නට කාරණා නොවේ. මැද පෙරදිග නමින් හඳුන්වන නරාවලේ වහල් සේවයට යන අපේ අක්කලාට නම් මේවා සාමාන්‍ය දේවල් ය. හාම්පුතුන්ගේ බැල මෙහෙවර කරන්නට, ලිංගික අසහනය දුරු කරන්නට පමණක් නොව වරදක් වුණු විට හම යනතුරු කසෙන් තැලුම් කන්නට පවා සූදානම් වී යා යුතු ගමනකි, ගෘහ සේවය. හදිසියේ පොඩි එකාට කිරි පොවන විට ඉස්මොලයෙ ගොස් ළමයා මැරුනොත් රිසානාට කළා සේ අර සේවිකාවගේ හිස ගසා දමනු ලැබේ. එතනදී ඈ මුස්ලිම් ද නැද්ද යන්න සළකා බැලීමක් නැත. අනික එහෙම හිස් ගැසුම් කෑවත් හැදු වැඩු අම්මා අප්පා වත් ඒක වැරදියි කියන්නේ නැත. මේ එම සමාජයේ හැටි ය. ඒක අපට කෙසේ වෙතත් ඔවුන්ට නම් වරදක් නොවනවා වන්නට ඇත.

එබැවින් ඩිලානිට ඇත්තේ, ඔය ලැබුණේ සුල්තාන්ව බැන්දා නම් වෙන්නට තිබුණු ටිකේ රිහර්සල් එකක් යයි හිතා හිත හදා ගැනීමයි. කොහොමත් නියම ෂෝ එකට පෙර රිහර්සල් කිරීම නළඟනක් වන ඇයට අමුත්තක් වන්නට බැරිය. එබැවින් මෙතනින් එහාට මේ "ෂෝ" එක යන්නේ කොතැනටදැයි තීරණය කිරීම අපේ නොව, ඇගේ තීරණයකි.

අවසානයේ අපේ පොලිසිය ගැනද යමක් කිව යුතුය. පොලිසිය නිසා හිත රිදීමට ලක් වූ ඩිලානි, මහ මග හිඟන්නියක් සේ පණ අදින විට, දෛවයේ සරදමකට මෙන්,  ඈ රෝහලට ගෙන ගොස් ඇගේ ජීවිතය ගළවා ගත්තේද පොලිසිය විසින්මය. ඒ අතින් ගත් කළ මේ කතාව "නාගීනා" ට ද වඩා හොඳය. නාගීනා ඔරිජිනල් එකේ වත් මේ තරම් චරිත පරිවර්තන තිබුණේ නැත; විටෙක ඇය චතුරව හින්දි බව හසුරවන ඉන්දීය ගැමි කෙල්ලකි. විටෙක ඇය දුප්පත් සිංහල බෞද්ධ පවුලක බාල දියණියකි. විටෙක ඇය, ඔබට මට, හැමදාම හමුවන, නුවර සාප්පුවක ෂොප් ගර්ල් කෙනෙකි. විටෙක ඇය ඉරාන ජාතික නයි නටවන පියෙකුගේ දුවකි. නයින් සමග සාංසාරික බැඳීමක් ඇති අමුතුම කෙල්ලකි. නයින් සමග මිත්‍ර වීමට මතු නොව, උන් කියන දේ තේරුම් ගැනීමට පවා හැකි කෙල්ලකි. තවත් විටෙක ඇය සිය ඉරාන ජාතික මුස්ලිම් පෙම්වතාගෙන් බැට කන මධ්‍යකාලීන ඉස්ලාමික පීඩිත යුවතියකි. එහෙත් ඒ සමගම තමාට සහ තම නයි සුරතලාට කළ හිංසාවට එරෙහිව උසාවි යන්නට පවා ශක්තියක් ඇති විප්ලවකාරියකි.

එහෙත් අපේ සමාජය නම් හැමදාමත් ඈ දකිනු ඇත්තේ කොළඹ සුපිරි ක්ලබ් එකක නයින් සමග රැඟුම්පාන නයි නළඟනක් ලෙසය.


6 comments:

  1. උබේ කාතාව ඇත්ත බන්.... අනික පට්ට ගති විදියට ලියල තියෙනවා...

    ReplyDelete
  2. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  3. තහනම් වචන වලට ඔබේ දායකත්වය යොමු කරන්න කැමති නම්: mailto:thahanam.wachana.contrib@blogger.com

    ReplyDelete
  4. හාස්‍ය යෙන් වගේ ලියල තිබුනට, හැංගිච්ච මහා භයානක ඒ වගේම තිත්ත ඇත්තක් තියනව. ඇත්තටම නයි නලගනට චන්දෙ ඉල්ලන්න කාලෙ හරි කියලත් හිතෙනව... :)

    niyemeta liyala thiayanawa...

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.