logo banner

Monday, February 25, 2013

නාථ සහ ආසනික් (Natha God & Arsenic)

පූර්විකාව

පසුගිය දිනවල හොට්ම හොට් මාතෘකාවක් ව තිබුණේ රජරට වකුගඩු රෝගය ය. ඊටත් වඩා එම රෝගයට හේතුව ලෙස අපේ සමහර මහාචාර්ය වරුන් විසින් ගෙන හැර දැක්වූ සුන්දර සුරංගනා කතා ය. 

මේ ගැන අප කියනවාට වඩා එවැනි එක මහාචාර්ය වරයකු කියන ප්‍රකාශයක් මෙහි ගෙන හැර දැක්වීම වඩා ප්‍රයෝගිකයයි සිතමු.

"රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ය. මම ඔවුන් කවුරුන් දැයි නමින් හැරෙන්නට නො දනිමි. ඔවුන් සමග මගේ ඍජු සම්බන්ධයක් ද නැත. ඔවුන් සමග මගේ සියයට සියයක පෑහීමක් ද නැත. එහෙත් ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත. ඒ මෙන්ම මට නොහැකි වුව ද ආධ්‍යාත්මික ව දියුණු අයට (පාරමී දම් පුරා ඇති අයට) දෙවියන් ගෙන් බඹුන් ගෙන් නාගයන් ගෙන් දැනුම ලබා ගත හැකි බවට ද මට කිසිම සැකයක් නැත. 


රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව ද, ආසනික් එකතු වන්නේ කෘමිනාශක ඔස්සේ බව ද රජරට ප්‍රදේශවල ජලයේ කිවුල් බව හා පසෙහි ස්වභාවය එයාට බලපාන බව ද දෙවියෝ අපට කියා දුන් හ. අපි ඒ අනුව රසායන විද්‍යාවෙහි කළ හැකි පර්යේෂණ කළෙමු. මා අවුරුද්දකට මඳක් වැඩි කාලයක් කැලණියෙහි සේවා දිගුවක් ලබා ගත්තේ ද මේ පර්යේෂණ සඳහා අවශ්‍ය නිල ශක්තිය ලබා දීමට ය. අප ඒ පර්යේෂණ කළේ තමන් බටහිර විද්‍යාඥයන් යයි සිතා සිටින නිවට පුස්සන් ගේ බලවත් විරෝධතාව මධ්‍යයෙහි ය."

උපුටා ගැනීම නලින් ද සිල්වා, 2012 ජනවාරි 29, "බටහිර විද්‍යාව, ආසනික් සහ දෙවියෝ, විසිදුණු ප්‍රකාශන, ISBN 978-955-0955-09-1.

මේ කතාවෙන් ගම්‍ය වන කරුණු කීපයක්ම ඇතත් අප ඉන් වැදගත්ම කරුණු ටික මෙහි සාරාංශ කොට දක්වමු:

1. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් වේ.
2. ආසනික් එකතු වන්නේ කෘමිනාශක ඔස්සේ ය.
3. එසේ කියා ඇත්තේ "නාථ" සහ "විපස්සක" ලෙස හඳුන්වා ගන්නා ලද "දෙවිවරු" පිරිසකි. (සැ.යු. යකුන්, භූතයන්, ප්‍රේතයන් නොවේ. කෙළින්ම දෙවිවරුය. මෙය අපට පසුවට ඉතාම වැදගත් වේ.)
4. නමුත් එසේ කියා ඇත්තේ මහාචාර්ය තුමාට නොවේ. එතුමාට එවැනි ආධ්‍යාත්මික දියුණුවක් නැත.
5. එසේ කියා ඇත්තේ වෙන කාට හරි ය. මහාචාර්ය තුමා ඒ සමග ඍජු සම්බන්ධයක් නැත.
6. එසේ වුවත් එතුමා ඒ මතය ආරක්ෂා කිරීමට පමණක් නොව, ඒ වෙනුවෙන් සිය ධුර කාලය දික් කර ගැනීමට වුවද සූදානම් ය.
7. ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට යයි සහතික දීමට ද එතුමා ප්‍රමාද නොවේ. 


මේ මාතෘකාව එක ලිපියකින් කතා කොට අවසාන කළ හැකි එකක් නොවේ. එබැවින් අපි මේ ගවේෂණය පියවරෙන් පියවර ඉදිරියට කරගෙන යාමට තීරණය කළෙමු. එබැවින් එහි මූලික පියවරක් ලෙස හෙට දින, එනම් පොහොය දින, තහනම් වචන නියෝජිතයෙකු මාලබේ බලා පිටත් වනු ඇත. මාලබේ පිට්ටුගල ආසන්නයේ ඇති, "වේද ගෙදර" නමින් දන්නා තැනක, එක්තරා තැනැත්තියක් අධිමානසික බලයෙන් ලෙඩ හොඳ කරන බවත්, රජරට ජලයේ ආසනික් ඇති බව කියා ඇත්තේ එම තැනැත්තිය බවත් අපට ආරංචි වූ නිසාය. 




එම මූලික ගවේෂණය පල දරන තුරු අපි නලින් මහතා ගැනද යමක් කිව යුතුය.

නලින් ඩි සිල්වා යනු මෙරට බිහි වූ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු බවට විවාදයක් නැත. බටහිර විද්‍යාවට පදනම වූ එහි දර්ශනවාදය හෙවත් ඥානවිභාගය ගැන ඔහු තරම් මේ රටේ කතා කොට ඇති ඇත්තෝ විරල බව ලේඛකයා අවධාරණය කරයි. නලින් පෙනී සිටින්නේ මේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරය වෙනුවෙනි. ඔහු ඊට "චින්තන පදනම" යැයි නමක්ද යොදා ගෙන තිබේ. 

නලින්ට දේශපාලනයක් ද තිබේ. ඒ බොහෝ දුරට පවත්නා රජය සමග සංගාමී වන්නකි. මහින්ද චින්තනය, වාර්ගික ගැටළුව, තිස් අවුරුදු යුද්ධය, ප්‍රභාකරන් ආදී සියලු මෙකී නොකී මාතෘකා ගැන මාගල් තරම් දිග ලිපි එතුමා විසින් ලියන්නට යේදී ඇත. මින් බහුතරයක් සාමාන්‍යයෙන් හරවත්ය. හීනියට කඩේ ගියත් කරුණු වල සාරවත් භාවය ගැන අපි එතුමා අගය කරමු.

නලින් යනු දරුණු විවේචකයෙකුද වේ. බටහිර විද්‍යාව පට්ට පල් බොරු යැයිද, අවැසි නම් ඒ බව ඔප්පු කරන්නට තමා සූදානම් යැයිද ඔහු කීවේය. එමතු නොව, ඒ ගැන අවශ්‍ය නම් පානදුරා වාදය සේ දින ගණනක් පැවැත්වෙන වාදයකට ඔහු ආරාධනා කෙළේය. 


බටහිර විද්‍යාව යනු කතන්දර ගොඩකි. ඒ බව නලින් මෙන්ම අපිද දනිමු. මේ ලියන ලේඛකයාද සරසවිය පසු කෙළේ විද්‍යා විෂය ධාරාවෙන් නිසා (වෛද්‍ය හෝ ඉංජිනේරු නොව, ශුද්ධ විද්‍යා විෂය නිසා) ඒ ගැන අමුතුවෙන් පාරම් බෑම විකාරයක් බව අපේ අදහසයි. බටහිර විද්‍යාව පමණක් නොව, ඕනෑම විද්‍යාවකින් කරන්නේ කතන්දර හැදීමයි. එහෙත් මේ කතන්දර සුරංගනා කතන්දර නොවේ. තාර්කික කතාන්දරය. සුරංගනා කතාව සහ නිව්ටන් නියම වෙනස් වන්නේ එබැවිනි. කලක් නිව්ටන් ගේ නියම වලින් පැහැදිලි කළ භෞතික ලෝකය දැන් පැහැදිලි කරන්නේ වෙනත් සුසමාදර්ශයක් මගිනි. ඒ විද්‍යාවේ හැටි ය. වරදක් නොවේ. 

අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. බටහිර විද්‍යාව නිසා හිස පැළඳි මහාචාර්ය පට්ටම නොසළකා බටහිර විද්‍යාවට ම පලු යන්නට බනින එතුමා (සරලව සිතන්න. නලින් ඩි සිල්වා මහාචාර්ය වරයකු නොවුණා නම් ඔහුට මේ මාකට් එක තිබේවි ද?) දැන් මේ කරන්නේ බටහිර විද්‍යාව තුළ පැන නගින ගැටළුවකට පාර භෞතික පිළිතුරක් දීමටය. මීට කලකට පෙර "බුදු දහම විද්‍යාත්මක කිරීමේ මුළාව" නමින් විදුසරට පිටු ගණන් ලිපි ලී ඔහු, අද කරන්නේ බුදු දහම හා බැඳුණු සංකල්ප ඇසුරින් බටහිර විද්‍යාවට පැලැස්තර ඇලවීමය.

නලින්ගේ ජනප්‍රියම වචනයක් වෙයි. එනම් "ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි සංස්‌කෘතිය" යන්නයි. ඔහුට අනුව විද්‍යාව යනු තනිකරම ජෙහෝවා සොයා යන ගමනකි. ඔහුට අනුව විද්‍යාව මෝසෙස් කෙනෙකි. එදා විද්‍යාවට එහෙම කී ඔහු, අද කරන්නේ ඊටම නොදෙවෙනි ක්‍රියාවකි. එදා ජෙහෝවා අද නාථ ය. එදා මෝසෙස් අද නලින්ය. අහෝ දෛවයේ සරදමක මහත! 

නාථ

නාථ යන්නෙහි අරුත "ගැලවුම්කරුවා" යන්නයි. සනාථ, අනාථ, වැනි සමප්‍රභව වචන වලින් කෙනෙකුට අර්ථය තහවුරු කර ගත හැක. (අප ලියන සියලු අර්ථ දැක්වීම් වලට මූලාශ්‍රය වන්නේ මොනියර් විලියම්ස් සංස්කෘත ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ 2005 වර්ෂයේ නව මුද්‍රණයයි). නාථ යනු අවලෝකිතේශ්වර බොධිසත්ත්වයන්ගේ නමක් ලෙසද සැළකේ. ඒ කතාව සත්‍ය නම්, නාථ යන්නට "නොපැමිණි තැනැත්තා, ස්වරූපයක් රහිත කෙනා" වැනි අරුත් ද තිබේ. මහායාන සාහිත්‍යය අනුව නාථ වාසය කරන්නේ බඹ ලොවේය. හීනෙන් වත් මනුලොවට නොඑන බඹ ලොවේය. (දෙවියෝ නම් ඉඳ හිටලා වත් මිනිස්සු හමුවෙති). එසේ මෙසේ බඹ ලොවකද නොවේ; නිසංඛාර ප්‍රවර්තකයේ හෙවත් සුඛාවතියේ ය. අවලෝකිතේශ්වර යන්නෙහි අරුත "ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා සිටින ඊශ්වර" යන අරුතයි. අවලෝකිතේශ්වර, පද්මසම්භව (මනිපද්ම), වජ්‍ර ගර්භ සහ මෛත්‍රී යන සිවු මහා බෝසතුන් අතරින් නිහඬ ම කෙනා අවලෝකිතේශ්වර ය. එබැවින් ඔවුන'තරින් අඩුම වන්දනීයත්වයක් ලබන්නේ ද ඔහු ය. පශ්චාත් වෛදික හින්දු සමාජයේ සියල්ල අතික්‍රමණය කරමින් පැන නැගී තාන්ත්‍රික චින්තනය තුළ, ශිව හෙවත් ඊශ්වර, අවලෝකිතේශ්වර සමග සමානකරණයක් කෙරී තිබේ. මෙය ගුහ්‍යසූත්‍ර, හේවජ්‍ර තන්ත්‍ර වැනි තාන්ත්‍රික ග්‍රන්ථ වල මනාව කැපී පෙනේ. මෙකී තාන්ත්‍රික මතවාද හරහා "නාථ" (මෙය ද ශිව ගේ විරුදයකි) ලෙස අලුත් පණක් ලබන නාථ දේව සංකල්පය, ලංකාවේ රජ පෙළන්තිය නායක්කර් වංශයට අයිති වීම සමග සතර මහා දේවාල වලින් එකක අයිතිය ලැබීම දක්වා වර්ධනය වේ. අප අද දන්නේ එකී විෂ්ණු, කතරගම (ස්කන්ධ), නාථ සහ පත්තිනි යන දේවාල හතරයි. (මීට වෙනස් ව ගනේශ්වර, කෘතෙශ්වර, නාතේශ්වර සහ මහේෂ්වර ලෙස වෙනත් හතර මහා දේව සංකල්පයක් පවතින බවද අප කළ සොයා ගැනීම් වලදී පෙනී ගියේ ය). උඩරට කෙසේ වෙතත් පහත රට දී නම් නාථ එතරම් පිදුම් ලබන කෙනෙක් නොවේ. ඊට වඩා පිරිසක් ගනේශ්වර නැතහොත් සරස්වතී දෙවාලයයේ පාක්කුඩම් අල්ලාගෙන සිටිති. 

මේ සියල්ල කීවේ නාථ යනු කවුද, නලින් යනු කවුද යන්න කෙටියෙන් හඳුන්වා දිය යුතු නිසාය. කවුරු මොනවා කීවත් අපේ නම් පිළිගැනීම වන්නේ මේ කතාව විශ්වාස කිරීමට අපහසු බවයි. පූජනීය මහනුවර දළදා මාළිගයට බෝම්බ ගහද්දී, මහබෝ මැඩදී අමු අමුවේ මිනී මරද්දී, අරන්තලාවේ අහිංසක බුදු පුතුන් කපා කොටා මස් ගොඩක් කරද්දී, වන්නියේ, පදවියේ සිංහල බෞද්ධ කුල කාන්තාවන් සමූහ වශයෙන් දූෂණය කරද්දී, ජවිපෙ සහ ආණ්ඩුව තරගයට මිනී මරද්දී, තරුණ කොල්ලන් කෙල්ලන් දහස් ගණනක් දස වධ දී මරා දමද්දී, සෝම හිමි ඇස් පනා පිට අපට අහිමි කරද්දී, සුනාමියෙන් දකුණු පළාතම සෝදා ගෙන යද්දී, රටේ සාරය හූරා කද්දී, මේ සියලු කී-නොකී සියල්ල වෙද්දී නොඇරුණු නාථ ගේ ඇස දැන් ඇරී ඇතැයි ඔබ සිතන්නේ ද? දෙව්දතුන් බුදුන්ට ගල් පෙරලද්දී නාපු නාථ අපේ රජරට වකුගඩු රෝගයට පිහිට වෙන්නට ආවයි ඔබ සිතනවාද?  

කෙසේ වෙතත් මේ මාතෘකාව මෙසේ එක ලිපියකින් අවසාන කළ නොහැක්කකි. අප මින් මඳ විරාමයක් ගෙන අපේ නියෝජිතයා සිය රාජකාරිය ඉටු කොට තොරතුරු රැගෙන එනතුරු සිටිය යුතුය. 

එතෙක් අවසර! 

21 comments:

  1. හෙ හෙ........... ඔබ කව්රැන් වුවත් මන් මේ දේ පැවසිය යුතුය........නලින්ද සිල්වාගේ කුමන දේශපාලන මත තිබුනත් මම ගරැ කරන දෙයක් නම් ඔහු ඇත්ත ඇති සැටියෙන් පැවසිමයි............. මා ඔබෙන් අසන්නේ මෙයයි........ අතීතයේදී ග්රික යුදෙව් චින්තනය මත පදනම් වූ බටහිර දැනුම නිර්මාණය කිරීමට යොහෝවා දෙවියන්ගේ පණිවිඩ වැදගත් වූ බව එබ ඔය මහ ලොකුවට කරේ තියන් කෑගසන බටහිර විද්‍යාවේ ප්රවාද නිර්මාණය කිරීමට සෘජු දායකත්වයක් දක්වන යුදෙව්වන්ද පිලිගන්නා කාරණයක්...නමුත් අපිට නාථ දෙවියන්ගෙන් හෝ තවත් එවැනිම වූ දෙවි කෙනෙක්ගෙන් බවුද්ධ අපිට පිණවිඩ ලැබේයැයි පිලිගැනිමට ඔබ වැනි අයවලුන් පිලිගැනිමට අකමැති හේතුව කුමක්ද??? ඔබ නලින්ද සිල්වාගේ ලිපි කියවන මුත් ඒවා හරියට කියවන බවක් නොපෙනේ............ ඔහු කියා ඇත්තේ දැනුම යනු නිර්මණය කරන්නාවු දෙයක් පමණක් බවත් එය අදාල ජනතාවගේ සංස්කෘතියට සාපේක්ෂ බවත් පමණි....... නැතුව සිංහල බවුද්ධ චින්තනය මත පදනම් වූ දැනුම ලෝකයේ පවතින ඇත්තම ඇත්ත කියා නොවේ............. රේඛීය චින්තනය මත පදනම් වූ (අපේ සංස්කෘතියට රේඛීය චින්තනය කොහෙත්ම නොගැලපේ) බටහිර විද්‍යාවට වඩා චක්රීය චින්තනය (බවුද්ධ චින්තනයද චක්රීය චින්තනයකි ) මත පදනම් වී නිර්මාණය වු දැනුම අපිට ගැලපෙන බව පමණි......... අනික් දේ නම් ඔබ මෙසේද කියයි
    //අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. බටහිර විද්‍යාව නිසා හිස පැළඳි මහාචාර්ය පට්ටම නොසළකා බටහිර විද්‍යාවට ම පලු යන්නට බනින එතුමා (සරලව සිතන්න. නලින් ඩි සිල්වා මහාචාර්ය වරයකු නොවුණා නම් ඔහුට මේ මාකට් එක තිබේවි ද?)//
    මෙවන් ගොන් කථා නොකියන්න........ ලෝකයේ බිහිවෙච්ච කිසිම දැනුමක් නිර්මාණය කරපු කෙනෙක් උපතින් ඒ දේ අරන් ආවෙ නෑ......උදාහරණයකට බුදුහාමුදුරැවන් ගනිමු........ උන්වහන්සේ ලෝකයට අලුතින් දැනුමක් ලබා දෙන්න කලින් කලින් සාස්තෘවරැන්ගේ දේවල් ඉගෙනගත්තෙ නැද්ද??? ඒම උනා කියලා උන්වහන්සේට ඒ තමන් ඉගෙනගත් දේ වැරදිය් කියල කියන්න අයිතියක් තිබුන් නැද්ද? නලින්ද සිල්වා කරන්නේත් ඒකයි........ අද ලංකාවේ ඉන්න බහුතරයක් අනුකාරක මහාචාර්ය වරැන් වගේ නෙවී එතුමා. එතුමා ඔය හැමෝටම වඩා බටහිර දැනුම ඉගෙනගත් තෙනෙක්........ එතුම තමයි තාමත් බටහිර විද්‍යාවට ප්රවාධයක කැල්ලක හරි නිර්මණය කරපු ඒකම විද්‍යාඥයා....... ඉතින් එතුමට බැරිද තමන් ඒ ‍ඉගෙනගත්ත දේවල් වලින් තමන් ලබාගත්ත ගවුරවය පාවිච්චි කරල මේ දේ වැරදියි කියන්න???
    අනික් දේ තමා එබ කියනවා
    //බටහිර විද්‍යාව පමණක් නොව, ඕනෑම විද්‍යාවකින් කරන්නේ කතන්දර හැදීමයි. එහෙත් මේ කතන්දර සුරංගනා කතන්දර නොවේ. තාර්කික කතාන්දරය. සුරංගනා කතාව සහ නිව්ටන් නියම වෙනස් වන්නේ එබැවිනි. කලක් නිව්ටන් ගේ නියම වලින් පැහැදිලි කළ භෞතික ලෝකය දැන් පැහැදිලි කරන්නේ වෙනත් සුසමාදර්ශයක් මගිනි. ඒ විද්‍යාවේ හැටි ය. වරදක් නොවේ. //
    ඔබ නොදන්නවා උනාට සුරංගනා කතන්දර හා මේ විද්‍යාත්මකයි කියාගන්නා නියම අතර කිසිදු වෙනසක් නැත.....හෙ හෙ... ඔබ කියන්නෙ මේ නියම තර්ක කරල ගන්න ඒවලු.........දැනගන්න.... තර්ක කරන්න දැනුම ලබාගන්නෙ පංචේන්ද්රයන්ට සාපේකෂව......පංචේන්ද්රයන් වලට දැනෙන දේ ඇත්තද?? ලෝකයේ කිසිම දෙයක් නැ නිරපේක්ෂ....... ඔක්කොම නිරික්ෂකයාට සාපේක්ෂයි....ඔබගේ පංචේන්ද්රයන්ට දැනේන දේ ඔබට සාපේක්ෂයි........ ඒක නිරපේක්ෂ නෑ......ඉතින් ඔබ කිය්නනේ කෝමද නිව්ටන් නියම තාර්කිකයි කියලා........ ඔබට පුලුවන්ද පංචේන්ද්රයන්ගේ උදව්වක් නැතුව ඒකඔප්පු කරන්න.. අනික තමා නිව්ටන් නියම තාර්කික නම් ඇයි ප්සසෙ කාලෙක බිහිවුනු ක්වොන්ටම් යාන්ත්ර විද්‍යාවෙන් ඒව ප්රිතික්ෂේප උනේ........ ඒ කියන්නෙ නිව්ටන් නියම වල වැරැද්දක් තියෙනවා කියන එක නේද?? නිව්ටන් නියම තාර්කිකව එප්පු කරන්න පුලුවන්නම් ඇයි එව්ව ප්රිතික්සේප උනේ???. දැන් බිහිවෙලා තියෙන ක්වොන්ටම් යාන්ත්ර විද්‍යාව ඇත්තද??? නෑ ........... ඒකත් නිර්ම‍ානය කරපු එකක් ..කවද හරි ඒකත් ප්රතික්සේප වෙනවා.......... ඒ කිය්නනේ මේ ඔක්කොම දැනුම බොරැයි කියන එක නේද???

    ReplyDelete
    Replies
    1. // අතීතයේදී ග්රික යුදෙව් චින්තනය මත පදනම් වූ බටහිර දැනුම නිර්මාණය කිරීමට යොහෝවා දෙවියන්ගේ පණිවිඩ වැදගත් වූ බව එබ ඔය මහ ලොකුවට කරේ තියන් කෑගසන බටහිර විද්‍යාවේ ප්රවාද නිර්මාණය කිරීමට සෘජු දායකත්වයක් දක්වන යුදෙව්වන්ද පිලිගන්නා කාරණයක්//

      පොඩි ප්‍රශ්නයක් - දැන් ඔය කියන විදිහට යෙහොවාත් ඉන්නවා , නාථත් ඉන්නවා . විද්‍යාව කියල අපි කියන්නේ ඒ ඇයින්ගේ දැනුම් පද්ධති එහෙමද ? නාථ නම් බහුදේව වාදයේ ඉන්න එක දෙය්යෙක් , ඒත් යෙහොවා කියන්නේ සර්ව බලධාරි චරිතයක් , යෙහෝවා ඉන්නවා කියල පිලිගත්තොත් පොර ගේ සර්ව බලධාරි කමත් පිලිගන්න වෙනවා

      Delete
    2. අතිගරු කේන්දර මහතා නැගු ප්‍රශ්න වලට පිළිතුරු:

      1. අතීතයේදී ග්රික යුදෙව් චින්තනය මත පදනම් වූ බටහිර දැනුම නිර්මාණය කිරීමට යොහෝවා දෙවියන්ගේ පණිවිඩ වැදගත් වූ බව එබ ඔය මහ ලොකුවට කරේ තියන් කෑගසන බටහිර විද්‍යාවේ ප්රවාද නිර්මාණය කිරීමට සෘජු දායකත්වයක් දක්වන යුදෙව්වන්ද පිලිගන්නා කාරණයක්...

      පිළිතුර: බටහිර විද්‍යාව නිර්මාණය කරන්නට ජෙහෝවා දායක වුණා යයි යුදෙව්වන් පිළිගත්තා නම් ඒක ඔවුන්ගේ වැඩකි. අපේ වැඩක් නොවේ. අනික අප බටහිර විද්‍යාව මහා ලොකුවට කරේ තබා ගැනීමක් මෙහි නැත. නලින් කරේ තබා ගෙන ඉන්නා සමහර පණ්ඩිතයන් නම් කරන එකම දේ ඔහුගෙන් ගැලවෙන වචනයක් දෙකක් අල්ලා ගෙන කෑ ගැසීමයි. මිසක මේ පණ්ඩිතයන් හට ඥාන විභාගය, දර්ශනය හෝ තර්කය ගැන මෙලෝ හසරක දැනීමක් නැත.

      Delete
    3. 2. නමුත් අපිට නාථ දෙවියන්ගෙන් හෝ තවත් එවැනිම වූ දෙවි කෙනෙක්ගෙන් බවුද්ධ අපිට පිණවිඩ ලැබේයැයි පිලිගැනිමට ඔබ වැනි අයවලුන් පිලිගැනිමට අකමැති හේතුව කුමක්ද???

      නාථ වැනි බලසම්පන්න බුද්ධාංකුර වරයෙකු මේ වැනි සිල්ලර ප්‍රශ්න විසඳන්නට ඒවි යයි ඔබ සිතන්නේ නම් එක්කෝ එය අධිමානයයි. නැත්නම් ඒ මෝඩ කමයි. දෙකෙන් කොයිකදැයි තෝරා ගැනීම මම ඔබට ම භාර කරමි.

      Delete
    4. 3. ඔබ නලින්ද සිල්වාගේ ලිපි කියවන මුත් ඒවා හරියට කියවන බවක් නොපෙනේ. ඔහු කියා ඇත්තේ දැනුම යනු නිර්මණය කරන්නාවු දෙයක් පමණක් බවත් එය අදාල ජනතාවගේ සංස්කෘතියට සාපේක්ෂ බවත් පමණි. නැතුව සිංහල බවුද්ධ චින්තනය මත පදනම් වූ දැනුම ලෝකයේ පවතින ඇත්තම ඇත්ත කියා නොවේ. රේඛීය චින්තනය මත පදනම් වූ (අපේ සංස්කෘතියට රේඛීය චින්තනය කොහෙත්ම නොගැලපේ) බටහිර විද්‍යාවට වඩා චක්රීය චින්තනය (බවුද්ධ චින්තනයද චක්රීය චින්තනයකි ) මත පදනම් වී නිර්මාණය වු දැනුම අපිට ගැලපෙන බව පමණි.

      නලින් උඩින් පල්ලෙන් කියවන්නේ මා ද ඔබද යන්න වටහා ගැනීමට මේ ප්‍රකාශය ම ප්‍රමාණවත් ය. දැනුම යනු නිර්මාණය කරන්නක් බව ඔය තරම් හයියෙන් කෑගසා කියන්නට තරම් ලොකු දෙයක් නොවේ. එය ලොකු වන්නේ ජීවිතේට බටහිර තර්කන ක්‍රමවේදය හදාරා නැති අයෙකු හට පමණි.

      ප්‍රති-ප්‍රශ්නයක් අසන්නට අවසර: ඔබ ඔය කියන රේඛීය සහ චක්‍රීය චින්තන දෙකේ වෙනස කරුණාකර පහදන්න පුලුවන්ද?

      Delete
    5. 4. මෙවන් ගොන් කථා නොකියන්න........ ලෝකයේ බිහිවෙච්ච කිසිම දැනුමක් නිර්මාණය කරපු කෙනෙක් උපතින් ඒ දේ අරන් ආවෙ නෑ......උදාහරණයකට බුදුහාමුදුරැවන් ගනිමු........ උන්වහන්සේ ලෝකයට අලුතින් දැනුමක් ලබා දෙන්න කලින් කලින් සාස්තෘවරැන්ගේ දේවල් ඉගෙනගත්තෙ නැද්ද??? ඒම උනා කියලා උන්වහන්සේට ඒ තමන් ඉගෙනගත් දේ වැරදිය් කියල කියන්න අයිතියක් තිබුන් නැද්ද? නලින්ද සිල්වා කරන්නේත් ඒකයි........ අද ලංකාවේ ඉන්න බහුතරයක් අනුකාරක මහාචාර්ය වරැන් වගේ නෙවී එතුමා. එතුමා ඔය හැමෝටම වඩා බටහිර දැනුම ඉගෙනගත් තෙනෙක්........ එතුම තමයි තාමත් බටහිර විද්‍යාවට ප්රවාධයක කැල්ලක හරි නිර්මණය කරපු ඒකම විද්‍යාඥයා....... ඉතින් එතුමට බැරිද තමන් ඒ ‍ඉගෙනගත්ත දේවල් වලින් තමන් ලබාගත්ත ගවුරවය පාවිච්චි කරල මේ දේ වැරදියි කියන්න???

      මගේ කතාව ගොන් කතාවක් නම් මිනිස් කතාව වන්නේ නලින් තුමා හිස් මුදුනින් වන්දනා කිරීම විය යුතුය. තවම එහෙමට මොළේ අමාරුවක් මට නැත. එබැවින් ඔබේ සත්ත්ව විනිශ්චය පැත්තකින් තබා අපි ඔබේ ප්‍රශ්නය වෙත යමු. අවංකවම, නලින් තුමාණන් මහාචාර්ය කෙනෙකු නොවී, අයින්ස්ටයින් වැනි නිකම්ම නිකම් ලිපිකරුවකු වුණා නම් අපේ ලංකාවේ කී දෙනෙක් එතුමා කියන දේ පිළිගනීවිද, මහත්මයා? ලංකාවේ පොදු මහජනයා නලින්ට සවන් දෙන්නෙ ඔය කියන මහා ලොකු ප්‍රවාද නිසා නොව, ඔහුගේ මහාචාර්ය පට්ටම නිසා සහ ඔහු සිංහල බෞද්ධ පදනම වෙනුවෙන් පෙනී සිටින නිසාය. බටහිර විද්‍යාවෙන් ම බිහිකළ මහාචාර්ය වරයෙකුම, එය විවේචනය කරන කොට අපේ උදවියට මාර චූන් එකක් යන නිසාය. එහෙම වන්නේ කවුරු කොහොම කිව්වත් 17 වන සියවසින් මෙහාට ජාතියක් ලෙස අප වැදගත් කියා මේ ලෝ මළදානයක් කර නැති නිසාය. රුවන්මලියත්, ලෝවා මහා පායේ ගල් කණු ටිකත්, තවත් නටබුන් රැසකුත් හැරෙන්නට ලෝක මට්ටමින් අපට ආඩම්බර වන්නට ඇති එකම දේ ක්‍රිකට් පමණක් නිසාය.

      Delete
    6. අවසාන වශයෙන් ඔබේ ප්‍රකාශයේ ඊළඟ ටික (තාර බර හැරලා ගත් විට) ගැන කියන්නට ඇත්තේ "කණගාටුයි" කියාය. ඔබ බටහිර දර්ශනය ගැන මෙලෝ දෙයක් නොදන්නා බව පැහැදිළිව පෙනෙන බැවින් බොරුවට බටර් ගෑම වෙනුවට ඔබේ නොදැනුම ඔබට කියා දීම ඔබට කරන උදව්වකි.

      විද්‍යාව ඇත්තේ ලෞකික දේ පහදන්නට ය. පහදන්නට පමණක් නොව, පුරෝකථන ඉදිරිපත් කරන්නට ය. මුළු මහත් බටහිර දැනුමම (මෙය මගේ නොව, නලින්ගේ වචනයකි) කරකැවෙන්නේ මෙන්න මේ සරල දෙය වටේ ය. බටහිරට නිරපේක්ෂ සංකල්ප අවශ්‍ය වන්නේ ඊනියා චතුස්කෝටිකය තුළ නොව, සරල ද්විකෝටිකය තුළය. එබැවින් යළිත් කිව යුත්තේ විද්‍යාව ඇත්තේ මිනිසාගේ ජීවන තත්වය උසස් කරන්නට මිස (මිනිස් සංහතියේ නොවේ; යම් මිනිස් කොටසකගේ ය) නිවන් යන්නට නොවන බවයි. එබැවින් විද්‍යාව කතා කරන්නේ පසිඳුරන් හට ගෝචර වන දේ ගැන පමණක් වීම ගැටළුවක් නැත. කෙනෙකුට භෞතික තලයෙන් එහාට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඊට ආගම සහ දර්ශනය කියා දෙයක් තිබේ. එට විද්‍යාවේ සම්බන්ධයක් නැත. වෙජිටේරියන් කඩේකින් හරක් මස් ඉල්ලීමත්, මස් කඩේකින් වැල්පෙනෙල කැඳ ඉල්ලීමත් දෙකම එක වගේ මෝඩ වැඩ ය.

      Delete
  2. http://www.vidusara.com/2013/02/13/feature1.html මේ ලින්ක් එක බලන්න......... ඒකෙ තියෙයි මන් අර කියපු දේ ......... මේක ලියල තියෙන්නෙ චන්න සුදත් ජයසුමන මහතා........ ඒත් මේ ළිපිය නලින් ද සිල්වා මහතාගේ විවේචනයට ලක්වූ බවද මතක තබාගන්න........මේකෙන් කියන්නෙ යොහොවා දෙවියන්ගේ පණවිඩ යුදෙව්වන් ලබාගත් හැටි
    :
    :
    :
    :

    ReplyDelete
    Replies
    1. මේසයට වාඩි වී කෑම ගැනීම සහ මේසයෙන් වැටෙන පාන්කුඩු අහුලන් කෑම අතර පැහැදිලි වෙනසක් පවතී. මා එසේ කියන්නේ ඉහත ඔබේ ලිපියෙන් කතා කරන්නේ යුදෙවු දෙවියන් ගැන නොව, ග්‍රීක දෙවියන් ගැන නිසා බැවිනි.

      ඔබේ ලිපිය මා මීට පෙර සැහෙන වාරයක් කියවා තිබේ. ඔබට සිහිපත් කළ යුතු දේ නම් අප හිපොක්‍රටීස් ගේ වෛද්‍ය කර්මය පිළිගත්තාට ඔහුගේ දෙවියන් පිළිගන්නේ නැති බවයි. (හිපොක්‍රටීස් ගේ වෙද කම සාර්ථකද නැද්ද යන්න වෙනම ම කතා කළ යුතුය)

      ඊනියා බටහිර බොරුව කණපිට ගසනෙමු යයි පාරම් බෑවාට, නලින් තුමා ඇතුළු පිරිසේ දර්ශනය සහ යුදෙව් දර්ශනය අතර වෙනසක් නැත. දෙපිරිසම කරන්නේ තමන්ට බැරි බවත්, දෙවියන්ට පුළුවන් බවත් පවසමින් කිසිදා අවසාන නොවන දේව වන්දනාවක තත්ත්වයට විද්‍යාව පත් කිරීමයි. හෙවත් යුදෙව්වන් අනුකරණය කිරීමයි. ඉන් මෙහාට ගත යුත්තක් ඔතැන නැත.

      ඔබේ කතාව ඇත්ත නම් අපට යෙහෝවා නමින් දෙවි කෙනෙකු සිටි බවද, ඔහුගෙන් යුදෙව්වන් දැනුම

      Delete
  3. මෙලේ තියෙන එවුන් පවා පච කරන, කඩේ යවන චින්තනයට මම තාමත් ශාප කරනවා බං.
    මෙච්චර ආතල් දෙන මුන්ට, යකෝ උපාධි හම්බුනේ කොහොමද එතකොට?

    මාලබේ ගවේශනය පිලිබද ලිපියක් බලාපොරොත්තු වෙමි !

    ජය !

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මණින් ලබා දීමට කටයුතු කරන්නෙමු. ජය!

      Delete
  4. නලින් ද සිල්වා මහාචාර්යතුමාගේ කතා, ලිපි ආදිය ගැන මට මූලික ප්‍රශ්න කීපයක් ඇත.
    බටහිර විද්‍යාව සහ පෙරදිග විද්‍යාව වෙන් වන්නේ මොන දේශාංශකයෙන්ද?
    ඔහු බටහිර විද්‍යාව යනුවෙන් සඳහන් කරන දේ උපයෝගී කරගෙන නොයෙක් මිනිසුන් විසින් ලෝකයට දායාද කර ඇති දේ එම බටහිර විද්‍යාව නොමැති වූයේනම්, නිර්මාණය කරන්නේ කෙසේද?
    බටහිර විද්‍යාව ඔය කියන තරම්ම ගර්හා කටයුතු දෙයක් නම්, එවැනි ‍විද්‍යාවකින් මෙවැනි ප්‍රයෝජනවත් දේ සාදාගෙන ඇත්තේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. වටිනා අදහස් කීපයක්.. ඊළඟ වතාවේ අපේ කෙනෙක් චින්තන පර්ෂදයේ ප්‍රසිද්ධ සැසිවාරයකට සහභාගී වන විට මේ ප්‍රශ්න ටික ඇසිය යුතුයි!!

      Delete
  5. මාත් මාලබේ ගවේෂණය ගැන ලිපිය බලාපොරොත්තු වෙනවා.මෙච්චර උගත් මහාචාර්යවරයෙක් වෙලත් මෙහෙම කතා කියන එක එකපාරින්ම බැහැර කරන්නත් බැහැනේ? :D

    ReplyDelete
    Replies
    1. එච්චර උගත්ය කිව්වට එච්චරමත් නැ බන් , මොකද ඔය "උගත්" කියන කැල්ලට අහුවෙන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද නේ , නලින් ලොක්කට අනුව ඒවා දැන ගත්තයි කියල උගත් නැනේ . ඊලඟට නලින් ලෝක්කගේ විද්‍යා මොඩලයේ දැනුම තියෙන්නේ නාථ දෙය්යන්ට මිසක් නලින්ට නෙවෙයිනේ , ඒතකොට නලින් උගතෙක් නෙවෙයි , ඔන්න නාථ දෙය්යො නම් උගත් !

      Delete
    2. @නිශාන්: මාලබේ ගිය එකා ආවේ මේ දැන් ය. මේ සතිය තුළ ලිපියක් බලාපොරොත්තු වන්න!

      @බුවා: උගත් කම කියන්නේ නලින් තුමාට අනුව අහක් කළ යුතු දෙයක් නේ? අපේ පෙරදිග දැනුමේ උගත්තු නැහැලු නේ? ඉන්නේ ඍෂිවරුලු නේ?

      Delete
  6. //විද්‍යාත්මක ක්‍රමය මූලික වශයෙන් පියවර කිහිපයකි. අදහසක් හෝ යම් නිරීක්ෂනයක් මුල් කරගෙන උපකල්පනයක් කරනු ලැබේ. මෙම උපකල්පනය පරීක්ෂාවට භාජනය කල හැකි වීම හා වැරදි/නිවැරදි බව සෙවිය හැකි වීම අවශ්‍යය. මෙම උපකල්පනය වැරදි බව තහවුරු කලහොත් වෙනත් සුදුසු උපලක්පනයක් මත මෙම ක්‍රියාවලිය කරගෙන යා යුතුය. යම් උපකල්පනයක් වැරදි බව තහවුරු කල නොහැකි නම් එය විද්‍යාත්මක ක්‍රමය යටතේ පරීක්ෂණයට ලක් නොකෙරේ.

    උදාහරණයක් ලෙස ‘දෙවියන් විසින් ලෝකය මවන ලදි’ යන උපකල්පනය වැරදි හෝ නිවැරදි බව තහවුරු කල නොහැකි නිසා එය විද්‍යාත්මක ක්‍රමය යටතේ පරීක්ෂාවට නොගැනේ.

    කිසියම් උපකල්පනයක් නිවැරදි යයි ඔප්පු කිරීමක් විද්‍යාත්මක ක්‍රමය යටතේ සිදු නොකෙරේ. විද්‍යාවේ දියුණුව සිදු වන්නේ උපකල්පන වැරදි බව ඔප්පු කිරීම නිසාය. මෙම කාරණය ඉතා වැදගත් වන අතර බොහෝ දෙනා විසින් වරදවා වටහා ගෙන සිටින දෙයක් ද වේ.

    උදාහරණයක්: ඉලෙක්ට්‍රෝන පවතින බව අපි පාසලේ විද්‍යාව විශය යටතේ ඉගෙන ඇත්තෙමු. විද්‍යාත්මක ක්‍රමය යටතේ අපට ඉලෙක්ට්‍රෝන පවතින බව ඔප්පු කල නොහැක. ඉලෙක්ට්‍රෝන පවතින බවට ඇති කල්පිතය සඳහා සාධක සිය-දහස් ගණනක් පරීක්ෂණ මගින් ලැබී ඇති අතර එම කල්පිතය බොරු/වැරදි බව ඔප්පු කල හැකි සාක්ෂි කිසිවක් ලැබී නැත. එමෙන්ම එම සිය-දහස් ගනන් පරීක්ෂන ද වැරදි බවට ඔප්පු කල හැකි වී නැත. ඉලෙක්ට්‍රෝන වල සැබෑ ස්වභාවය පිලිබඳ දැනුම තවදුරටත් නිවැරදි කිරීම් වලට ලක්වන අතර ඒවායේ පැවැත්ම පිලිබඳ පැහැදිලි විද්‍යත්මක සාක්ෂි ලැබී ඇත.//

    උපුටාගැන්ම...

    http://radicaladahas.wordpress.com/2011/07/16/science_defined/

    නාථ දෙවියෝ කියපු එකේ බඩු ෂුවර් නිසා. මහාචාර්ය පදවිය ලබලා තියෙන අජ්ජාපන් ක්‍රමේට ගරු කරලා, පොඩි පර්යේෂණ පාරක් දාලා. වාර්ථාවක් හදලා දුන්නා නම්. වර්ල්ඩ් හෙල්ත් ඕගනයිස් එකේ රිපෝට් එනකන් ඉන්න ඕන නෑනේ. නාථත් ගොඩ, නලිනුත් ගොඩ..

    මට තියෙන ප්‍රශ්ණෙ ඒක නෙම්යි. කෝ නලීන් මහත්තයා මේකට විරුද්ධව හඬක් නගන්නෙ නැත්තෙ මක්ක වෙලයි කියන කාරනේ. කෘෂිරසායන කාරයෝ ගෙවල් පැත්තෙ ගියාවද්ද කියලා අහන්න වෙන්නේත් නාථ ගෙන්ම තමයි.

    නාථ දෙවියනේ......, අනාථයි අනේ...!!!

    ReplyDelete
    Replies
    1. පර්යේෂණ කොරනවට වඩා කොච්චර ලාබයිද මාතලන් ටීවී එකෙයි, පත්තර වලයි පොර ටෝක් දෙන එක?

      Delete
  7. මම නලින්ට ගරු කරන්නේ ඔහු අලුතෙන් හිතන්න පුරුදුකළ නිසයි.මෙක ක්‍රිස්තියානි මූලධර්මවාදී බ්ලොග් එකක් වුනත් මගෙ අදහස් මෙතන කියනවා.නලින්ගෙ සමහර අදහස් ගැන මගෙත් එකඟතාවයක් නෑ.විකල්ප පෙරදිග විද්‍යාවක් ගැන අදහස නම් නිකම්ම කල්පිතයක් විතරයි.නමුත් දැනුම ලබා ගැනීමේ විකල්ප ක්‍රම තිබිය හැකියි.දැනුම පෙරදිග හා බටහිර ලෙස බෙදන්න නම් බෑ.නිවන හා වියුක්ත දෙවියන් යන සංකල්ප දෙකම සම්මුති සත්‍යයෙන් බාහිරයි.ඔය දෙකමඔප්පු කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පුදන කොටම කාපි යකා කියන්නැහේ මුන්දා කෑ කටම පහරා තිබේ. තහනම් වචන වලට මොනම ක්‍රිස්තියානි හෝ බෞද්ධ හෝ සංවිධානයක සම්බන්ධයක් නැත.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.