logo banner

Saturday, March 30, 2013

එන්න, අපි කතන්දර අහමු | Come, let's hear some stories



~ ~ ~ පළමු කතාව ~ ~ ~

යටගිය දවසැ මියුළු නුවරැ වේදේහ නම් රජ කෙනෙකුන් රජ කරන කල්හි, රජ තෙම මහෞෂධ නම් වූ සිය පඬිතුමන් සමග ඇතුළු නුවර උයනට යන්නා හ. උයන දොරැ තොරණෙහි වසන බොහොඬා, රජ්ජුරුවන් වඩින්නා දැක, හිස නමා ආචාර කෙළේ යැ. රජුද ඒ දැක තුටුපහටු වූ සිතැත්තේ, "රජුට කරන සේවය නොමිලේ නම් නොකළ යුතුය"යි දවස් පතා දෙවියට සමාරක් වූ රන් සම්මත මාංශ ආහාරයෙන් ඌ සන්තර්පණය කරන ලෙස රජ පුරුෂයකුට පැවරූහ. පුරුෂයාද රජ අණ පරිද්දෙන් දවස් පතා රත්රන් දෙවියැට සමාරක් වටනා මස් ඌට දෙන්නේය. 

උපෞෂත දිනයෙහි මස් වෙළෙඳාම් කරන තැනක් නොවූ හෙයින් පුරුෂයා ද නුවර මුළුල්ලේ ඇවිද වෙහෙසට පත්ව, මස් නොලද හෙයින් රත්රන් දෙවියැට සමාර කටුස්සාගේ කරේ බැන්දාහ. ඉන් මතු දිනෙක රජු ඒ පාරෙන්ම උයන් කෙළි පිණිස යන්නේ, වෙනදා හිස නමා ආචාර කරන බොහොඬා වෙනුවට, සාඩම්බරයෙන් උද්ධච්ච්ව හිස සලන කටුස්සෙකු දිටියෙ ල. "පෙර දා තොරණින් බැස ආචාර කරන බොහොඬා අද මෙසෙයින් මහන්තත්ත කම් පාන්නේ කවර හෙයින්ද"යි පඬිවරයා අතින් විචාරණ ලදුව, මහෞෂධ පණ්ඩිත තෙමේ මෙසේ කී ල. "මහරජ, පෙර වස්තු නැත්තා වූ බොහොඬා තොප දැක නිවට නියාළු ව ආසිරි කෙළේය. දැන් වේ මෙතෙම, 'එම්බා වෙදෙහයෙනි, තෙපි තොප පමණට වස්තු ඇත්තේය; මම ද මා පමණට වස්තු ඇත්තෙමි. එසේ හෙයින් තොපට මා අඩු කිමෙක්ද'යි ඉක්ම සිතන්නේ ය"යි වදාළහ. 

අනුවර්තනය උම්මග්ග ජාතකය, කකන්ටක ප්‍රශ්නය ඇසුරෙනි.



~ ~ ~ දෙවන කතාව ~ ~ ~

"මගේ අයියා හැමදාමත් ඉහල පැලැන්තියේ ජීවිතයක් ගැන සිහින මවපු කෙනෙක්. අපේ වාසගම වන චිම්ෂා-හිමාලයිස්කි කියන නම පවා විහිළුවට ලක් වෙච්චි නමක්. ඒ නම තියෙන අපේ පරම්පරාවේ අනිත් උදවිය කවදාවත් සමාජයේ ඉහල තැනක් ගත්තු උදවිය නෙමේ. නමුත් අයියට තිබුණ එහෙම වෙන්න හීනයක්. 

අයිය රාජ්‍ය සේවෙට ඇතුළත් වුණේ නිකම්ම ලිපිකරුවෙක් විදියට. එතනත් හම්බ කරපු හැම සතේම කළේ ඉතිරි කරාපු එක. කොටින්ම නාන්න අඳින්න කන්න බොන්න වත් අයියට උනන්දුවක් තිබ්බේ නැහැ. හැමදාමත් අයිය කෙළේ තමුන්ගේ හීන මාලිගාවට ප්ලැන ඇඳපු එක. හැමදාමත් ඒ ප්ලැනේ තිබ්බේ කොටස් හතරයි. a. ගෙදර, b. සේවක නිවැසිය c. කුස්සිය d. ගූස්බෙරි පඳුරු ටික. අයිය පොඩි කාලේ ඉඳන් ගූස්බෙරි කන්න හරිම ආසයි. 

අයිය බැන්දේ මැරිච්චි ඉස්ටෙෂන් මාස්ටර් කෙනෙක්ගේ කනවන්දුමියක්. ඈට සල්ලි බාගේ හෙම බොහොම තිබ්බ. අයිය බැන්දත් හරි ඒ ගෑණු කෙනාට හරියට කන්න බොන්න වත් ලැබුණේ නැහැ. අන්තිමට ඈ හාමතේ මළා. අයිය ඒ සල්ලි ටිකත් ඉතුරු කරලා තමන්ගේ හීන මාළිගාව හැදුව අන්තිමට.

මම ගියා ඒ ගෙදරට ගිය සතියේ. පැක්ටෙරියකට අල්ලපු ඉඩමක්. ඉඩම අයිනෙන් ගලාපු ගඟ පොඩි කාලේ අපි දැකපු ගඟ වගේ නෙමේ, කළුම කලුයි. අයිය මහත්තයෙක් වෙලා. මුළු ගමම අයියව දන්නේ "චිම්ෂා-හිමාලයිස්කි මහත්තය" කියල. එදා විහිළුවක් වෙච්චි ඒ නම අද අයිය පාවිච්චි කරන්නේ හරිම ආඩම්බරෙන්! 

" මම දන්නව මිනිස්සුන්ව අල්ලේ නටවන හැටි. උන් කැරකෙන්නේ මගේ මේ ඇඟිල්ල වටේ." අයිය සිය මහත ඇඟිලි කොටය කරකවන ගමන් කිව්ව. "වෙලාවකට උන් මගේ හැඩේට පඹයෝ හදල පුච්චනව. නමුත් පහුවෙනිද මගෙන් බොන බීර ගැලුමට උන්ට ඒ සේරම අමතකයි. මිනිස්සු තරහ කරගන්න එක වගේම ප්‍රශ්න අමතක කරවන එකත් කලාවක්!" අයිය බොහොම දාර්ශනික විලාසෙන් කියනව. මේ එදා රජයේ ලිපිකරුවෙක් වෙලා ඉද්දි ආණ්ඩුවට විරුද්ධව වචනයක් වත් නොකියාපු, ලොක්ක කියන හැමදේම බල්ල වාගෙ කොරාපු මගේ අයියද? මට නිනව්වක් නැතුව ගියා. 

මම ගියපු පලවෙනි දවසෙම තම අර වත්තේ ගූස්බෙරි වල පළදාව නෙළුවේ. ඒවා අරන් ආපු සේවකය ඒ ටික බන්දෙසියකින් අයිය ඉස්සරහ තියාල යන්ට ගියා. අයිය ඒ දිහා ඇස්ගෙඩි දෙක උරුක් කරන ආසාවෙන් වශී වෙලා බලා උන්නු හැටි මට මේ දැනුත් මැවී මැවී පේනව. 

"කාපං මල්ලි මෙව්වා හරිම රහයි!" එහෙම කියමින් අයිය ගූස්බෙරි අහුරක් අරන් කටේ දමා ගත්තේ ඇස්දෙක පියාන එහි රසය තළු මරමරා විඳින ගමන්. රහයි කිව්වට ඒ ගූස්බෙරි වල මෙලෝ රහක් නැහැ. කටටම ඇඹුලයි! අයිය නෙමේ ඒවා කණකට ගත්තේ. "නෑ නෑ මෙව්වා තම මගේ ජීවිතේටම කාපු රසම රස ගූස්බෙරි!" අයිය කිව්වා. 

අනුවර්තනය ඇන්ටන් චෙකොව් ගේ "මාදං" (gooseberries) කෙටිකතාව ඇසුරෙනි.




~ ~ ~ තුන්වන කතාව ~ ~ ~

"මේ අපරාධ කරුවන් දෙන්නා එසේ මෙසේ දෙන්නෙක් නෙමේ වොට්සන්. ඔවුන් ඉතාම වෘත්තීය හොරු. බලන්න එංගලන්තෙ තියෙන රජපවුල්, කෞතුකාගාර, පුරාණ වලව් වල විස්තර ඔවුන් හොයාගෙන තියෙන අපූරුව. ඔවුන්ගේ සපත්තු වල අඩිය පවා ෆෙල්ට් අල්ලපු අඩි. මේ වගේ හොරකමක් තනියෙම කරන්න බැහැ, ඔවුන්ට අනුග්‍රාහකයෙක් නැතිනම්"

"අනුග්‍රාහකයෙක්? ඔබ කියන්නේ ෂර්ලොක් මේ දෙන්නට අමතරව අප නොදන්නා තවත් කෙනෙක් ඉන්නවා කියන එක ද?"

"ඔව් වොට්සන්. අනිවාර්යයෙන්ම."

"ඔබට බැරිද ඔහුට නමක් දෙන්න, ෂර්ලොක්?"

"නමක්? ඔව්, අපට නුදුරු අනාගතෙදීම නමක් දෙන්න බැරි වෙන එකක් නැහැ. ඒත් අපි දැනට ඔහුට ගිජු ලිහිණියා කියමු."

"ගිජු ලිහිණියා??"

"ඔව් වොට්සන්. එක්තරා ලේඛකයකු ගේ කතාවලත් මේ වගේ පුද්ගලයකු ගැන සඳහන් වෙනවා. ඔහු බොහෝ විට ඉතාම දුප්පත් තැනකින් පටන්ගෙන ඉහළට ආපු කෙනෙක් වෙන්න ඕනේ. ඔහුට ආඩම්බර වෙන්න කියල කිසිම පවුල් පසුබිමක් නැහැ. ඔහුගේ පවුලේ ඥාතීන් ගැන හිතල ගර්වයෙන් බලන්න ඔහුට අතීතයක් නැහැ. අන්න ඒ නිසා එවැනි අතීතයක් ඇති අය සමග ඔහුගේ තිබෙනවා පුදුම ඊර්ෂ්‍යාවක්. බලන්න මේ හොරකම් කර තිබෙන දේවල්? මේවා සියල්ලක්ම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැදගත්ම තැනක් හිමි ව සිටි පුද්ගලයන් පෞද්ගලිකව පරිහරණය කරපු දේවල්. මේව වෙන කොහෙවත් නැහැ. ඒ අතින් ගත්තම මේවා අමිල වස්තුන්."

"අප ඔහු අල්ලා ගත යුතුයි ෂර්ලොක්!"


" අනිවාර්යයෙන්ම. නමුත් අප ඊට පෙර මේ හොරුන් දෙදෙනා අල්ලා ගත යුතුයි. මට හොඳටම විශ්වාසයි. මේ මොහොතේත් අපේ ගිජු ලිහිණියා තමා විසින් සොරකම් කරවන ලද භාණ්ඩ වලට මැදිවෙලා අපමණ සතුටක් ලබනවා ඇති." 


අනුවර්තනය, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලිගේ "The case of Vanderbilt & Yeggman"  ඇසුරිණි.





~ ~ ~ අවසාන කතාව ~ ~ ~

" මම ණය ගන්නේ නොගෙවා ඉන්න නෙමේ අයිසේ! තමුසේ හිතුවද මම මේ ණය සල්ලි උයල කනවය කියල! පිස්සෙක්! මිනිහෝ, මේ ණය ගන්නේ ඇපල් ගන්න. ඒ ඇපල් ගෙඩි වලින් ලැබෙන ඇපල් ඇට පැළකලාම එන ඇපල් වත්තේ ආදායම ඇති ඔහේගේ ණය එකපාරට දහපාරක් ගෙවන්න. බොරුනම් අහපං මේ පාදිලි උන්නාන්සේගෙන්! "

අනුවර්තනය, අන්තෝනි ගාර්ෂියා ගේ "The apple man" කෙටිකතාව ඇසුරිණි.

Sunday, March 24, 2013

රෙදි ගැලවීම | Denuding

රෙද්ද සහ රෙදි ගැලවීම
රෙද්ද යනු මේ සමාජයේ ඉතාම තහනම් වචනයකි. මීට මුලින් "අම්මගේ", "ආච්චිගේ" වැනි පදයක් එක් වූ විට එය තවත් දරුණු වෙයි. සාමාන්‍යයෙන් අම්මගෙ රෙද්දට වඩා ආච්චිගෙ රෙද්ද සැර බවින් අඩුය. ඒ මන්දැයි අප නම් නිච්චියටම දන්නේ නැත. ආච්චිට වඩා අම්මා ළඟ නිසා හෝ, කා තුළත් සැඟවී ඇතැයි කියන ඊඩිපස් සංකීර්ණය සිහිපත් වන නිසා හෝ, මේ දෙකම නොවෙන වෙනත් දෙයක් නිසා එසේ වනවා විය හැක. මවුපස ඥාතීන්ගේ රෙද්ද ගැන කියනවා මිසක පියපස ඥාතීන්ගේ රෙද්ද ගැන කවරෙකුවත් කතා කරන්නේ නැත. සමහර විට නිරුවත, පිරිමි සමාජය තුළ සාමාන්‍යයීකරණය වී ඇති නිසා හෝ, ගැහැණු නිරුවත තරම් පිරිමි නිරුවතෙහි "පෙනෙන්ට දෙයක් නැති නිසා" හෝ විය හැක. නමුත් මේ කතාවට අදාළ ජීව විද්‍යාත්මක පසුබිම ගැන කීමට මේ තැන නොවේ.

රෙදි ගැලවීම ලැජ්ජාවකි. රෙදි අඳින්නේ විළිබිය ඇති නිසාය. එහෙත් ඒ එසේ වන්නේ නො-රහත් සමාජයකය. රහත් සමාජයක රෙද්ද තිබුණත් නැතත් ඉන් වන වෙනසක් නැත. එක අතකට රෙදි අඳින්නට බල කිරීමට කාටවත් අයිතියක් නැත. නමුත් අපි අපිම, අප ජීවත් වන සමාජයේ මිනිසුන් රහත් වී නැති බව සළකා ගනිමින්, රෙදි අඳින්නට ස්වයං-වාරණයක් පණවා ගනිමු. නීතියට කළ හැක්කේ ඊට යම් අවම සීමාවක් පැනවීම පමණි. මේ සීමාව, එක් එක් රටේ, ජාතියේ, ආගමේ, සංස්කෘතියේ ස්වභාවය අනුව වෙනස් වේ.

කවුරු කොහොම කීවත් රෙදි ගැලවීමද කලාවකි. මේ කලාව නොදනී නම් පවුල් ජීවිතය ගෙනයනවාට වඩා ලොවුතුරු සැප සෙවීම අගනේය. "ලොව ඇති සුන්දරම කවිය නිරුවත් ලිය සිරුරය" කියා ඔමාර් ඛයියාම් කීවේ එනිසා විය යුතුය. "සිහිනෙන් වත් ලියන් තන නොසිපියේ සිය මවගේ යොවුන් බැව් නමැති වනයට එල්ල කළ පොරෝ පහරකැයි" අලගියවන්න මුකවෙටියෝ කීහ. (ගැලවීම පමණක් නොව රෙදි ඇන්දවීමද කලාවකි; ඇඳගැනීම ද කලාවකි; ඒ ගැන පසුවට). රෙදි ගැලවීම යන පදයටද ලිංගික අර්ථයක් මෙන්ම ව්‍යන්ගාර්ථයක් ද තිබේ. ලිංගිකව ගත් විට රෙද්ද ගැලවීම යනු අනිකාගේ ලිංගික තෘප්තිය පිණිස සිය සිරුර සූදානම් කර දීමයි. මෙය නීත්‍යානුකූලව කරන විට ඊට කසාදය කියාද, නීතිවිරෝධීව කරන විට අවලම් කම කියාද කියති. රෙදි ගැලවීමට ගාස්තුව පිණිස යම් සන්තෝසමක් ලබා ගන්නේ නම් ඊට ගණිකා වෘත්තීය කියාද කියති. මෙය මුදල් ම වීම අත්‍යවශ්‍ය නැත. වැඩකරන ඔපීසියක නම් ලොක්කාගේ බුරුල, විශ්ව විද්‍යාලයක නම් ඉහල පන්ති සාමාර්ථ, නීති විරෝධී සමාජය තුළ නම් නීතියෙන් සහනය යනාදී විවිධ මුදල් පරිමාණ වලට මෙය කෙරේ. (වැඩකරන සමාජය තුළ ලෙහෙසියෙන්ම රෙදි ගැලවීමට ලක් වන්නේ, සමාජයටම අඳින්නට රෙදි මහන සන්නාලියන් වීමද බරපතල විරුද්ධාභාසයකි. )

මේ අනුව බලන විට රෙද්ද යනු හුදෙක් සෙලියුලෝස්, නයිලෝන් කෙඳිති එක්ව සෑදෙන වියමනක් පමණක් නොව, සමාජයීය වගකීමක් ද වේ. අප රෙදි අඳින මට්ටම හෝ ආකාරය ගැන තහංචි දැමීමට සමාජයට නීති සපයා දෙන්නෙ අපම වන බැවින් එහි දේශපාලනාර්ථයක් ද වෙයි. ඒ අර්ථයෙන් ගත්විට, රෙද්ද පමණක් නොව රෙදි ගැලවීමද දේශපාලන වැදගත්කමක් ඇති ක්‍රියාවකි. (දේශපාලනයේදීද රෙදි ගැලවීම් සිදු වේ. මෑතකදී විමලෙ මල්ලි සුජීව ගෙන් ප්‍රශ්න අහන්නට ගොස් රෙද්ද ගලවා ගත්තා කාටත් මතක ඇතැයි සිතමු).

මේ සොපහාසී ආරම්භය අප ලබා ගත්තේ මේ දිනවල රෙද්ද සහ හෙළුව දේශපාලන මුහුණුවරකින් කතා කරන නිසාය. කොටින්ම අමු හිංගලෙන් කියන්නේ නම් මීළඟ දේශපාලන ගුණ්ඩුව (වරහන් තුළ: ජනතාවට අන්දවන රෙද්ද) වන්නේ බුර්කාව නිසාය.



බුර්කාව (برقع‎ )

බුර්කාව, හිජාබය, නිකාබය, පර්දාව සහ අබායාව ආදී ඉස්ලාමික සම්භවයක් ඇති විව්ධාකාර ඇඳුම් තිබේ. ඉනුත්, මුළු ශරීරයම ආවරණය වන සේ අඳිනු ලබන කළු පැහැති ලෝගුවක් වැනි ඇඳුම, බුර්කාව ලෙස හඳුන්වනු ලැබේ.

කුරාණයේ බුර්කාව ගැන සඳහන් වන්නේ මෙසේය.

And tell the believing women to reduce [some] of their vision and guard their private parts and not expose their adornment except that which [necessarily] appears thereof and to wrap [a portion of] their head-covers over their chests and not expose their adornment except to their husbands, their fathers, their husbands' fathers, their sons, their husbands' sons, their brothers, their brothers' sons, their sisters' sons, their women, that which their right hands possess, or those male attendants having no physical desire, or children who are not yet aware of the private aspects of women. And let them not stamp their feet to make known what they conceal of their adornment. And turn to Allah in repentance, all of you, O believers, that you might succeed.—Surat An-Nūr (The Light) - سورة النور
පරිවර්තනය: තවද, සිය දර්ශනයෙන් (පෙනුමෙන්, රූපයෙන්) කොටසක්ද, රහස්‍ය අංගද ආවරණය කරගන්නා ලෙසත්, ස්වභාවයෙන්ම පෙනෙන අලංකරණ හැර වෙනත් කිසිවක් ප්‍රදර්ශනය නොකරන ලෙසත්, සිය හිස් ආවරණයෙන් කොටසක් ළය වැසෙන සේ පොරොවන ලෙසත්, සිය සුන්දරත්වය සිය සැමියා, පියා, සැමියාගේ පියා, පුතා, සැමියාගේ පුතා, සහෝදරයා, සහෝදරයාගේ පුතා, සහෝදරියගේ පුතා, ඔවුන්ගේ ගැහැණුන් (අඹුවන්), වහලුන් (lit. "මා මලකත් අයිමාන්'කුම්--දකුණු අතට අයත් අය: එනම් වහලුන්), ශාරීරික ආශාවක් නැති පිරිමි සහචරයන්, කාන්තා ශරීරය ගැන අවබෝධයක් නැති කුඩා දරුවන් හැර අන් උදවිය ඉදිරියේ  නොපෙන්වන ලෙසත්, විශ්වාසී (" මුසල්මානු ": මුස්ලිම් යන්නෙහි අරුත දේව භක්තික හෙවත් විශ්වාසී යන්නයි) කාන්තාවන්ට කියන්න. 


සාමාන්‍යයෙන් අන්තවාදී යයි හංවඩු ගසනු ලබන කුරාණය, මේ කාරණාවේදී ඉතාම තර්කානුකූල ප්‍රවේශයක් ලබාගෙන ඇති බව පෙනේ. කොටින්ම මේ හදිත් වැකියෙහි සරල සාරාංශය වන්නේ, සිය ශරීරය, අන් පිරිමියකුගේ කාමාශාව වර්ධනය කරවීමට අනුබල නොදෙන්න කියාය. "පිරිමින්ගේ පාප කඳට ගැහැනුන් දෝස විඳීම" අප අනුමත නොකළත්, සදාචාර සම්පන්න සහ රහත් නොවූ සමාජයක, පිරිමින්ගේ කාමාශාව උද්දීපනය නොකර සිටීමට ගැහැණුන් හට ඇති යුතුකම අප පිළිගන්නා බැවින් මේ වැකිය දෙස අප බලන්නේ උපේක්ෂා සහගතවය. ස්ත්‍රී ශරීරය තරම් පිරිමි සිත හාත්පසින්ම වෙලාගන්නා අන් කවර හෝ දෙයක් මම නොදකිමි යයි කීවේ නබි නොව බුදුන් ය. නාබිය නොදක්වා -- සළු ඇඳ බොලට දක්වා -- නොපව තන සක්වා -- සිනා නොමසෙන් දසන් දක්වා යයි කියන තරමට සදාචාර වාදීන් සිටියත් මේ ලංකාවේ ගැහැණු සුද්දා එන්නට පෙර ඇන්දේ යටට පමණි. උඩට නොවේ. (සීගිරි ගැහැණු බ්‍රෙෂියර් ඇන්දේ නැත.) උඩුකය නිරාවරණව දළදා මැදුරට මල් ගෙනයන ගැහැණුන්ගේ චිත්‍රයක් මහනුවර කෞතුකාගාරයේ තිබේ. සූසැට බරණින් සැරසුණු පංච කල්‍යාණියකට මේ ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යසට ආවගිය හැකි කාලයක් පැවතුණු බවද සිහිපත් කළයුතුය. ඊට හේතුව වන්නේ ලංකාවේ එවුන්ට ඇති ලිංගික බෙලහීනතාවක් හෝ, මහා අමුතු සදාචාරයක් නිසා හෝ නොවේ. ලිංගිකත්වය අපේ සමාජයේ වහංගු කොට නොතැබූ නිසාය. ඕනෙම නම්, දවල්ට පාරේ යන පංච කල්‍යාණිය දකින මිනිහා රෑට සිය බිරිඳ සමග පොඩ්ඩක් වැඩියෙන් සෙල්ලම් කරනු ඇත. කතාව එතනින් අහවරය.


සංවර ඇඳුමක් ලෙස, ලිංගික ප්‍රදේශ ආවරණය වන්නට අන්දපල්ලා යයි කී රෙද්ද, මුහුණ මතු නොව, ඇස් දෙක පවා වැසෙන තැනට ආවේ කෙසේද? මෙන්න ඊට පිළිතුර:

The correct view as indicated by the evidence is that the woman's face is 'awrah which must be covered. It is the most tempting part of her body, because what people look at most is the face, so the face is the greatest 'awrah of a woman. [source]
මේ ලියන්නේ නබි නොවේ. මේ ලියන්නේ නබිගේ අහලකින්වත් තියන්නට බැරි උලෙයිමාවෙකි. අර බුකියේ ආදිවාසියා කියන පරිද්දෙන්, ගැටළු ඇතිවන්නේ ආගම් කර්තෘන් නිසා නොව, ඔවුන්ගේ සේල්ස් රෙප් ලා ගෙනි. ඔවුහු බුදුන්ට වඩා බුදුදහමද, ජේසුට වඩා කිතුණු දහමද, ක්‍රිෂ්නාට වඩා වේදයද, නබිට වඩා ඉස්ලාමයද දනිති. ඉස ගසාගෙන ජීවත් වන්නට බැරි මේ කාලකන්ණි සත්ත්ව විශේෂ නිසාය. ඔවුන්ගේ අතෘප්තකර කාමාශාව වර්ධනය වීමේ ලා ගැහැණු මුහුණක් වුව ප්‍රමාණවත් යයි මින් ගම්‍ය කරගත යුතු දේ  වන්නේය.


අපට පෙනෙන ආකාරයට නම්, හිස වැසෙන්නට ඇඳි පර්දාව, මුහුණ වැසෙන්නට ඇඳපු නිකාබයේ සිට හිජාබය සහ බුර්කාව දක්වා පරිණාමනය වීමේ ක්‍රියාවලිය එහෙම පිටින්ම පුරුෂ ලිංගික පද්ධතියේ බලපෑම මිසක, ස්ත්‍රී ලිංගික පද්ධතියේ බලපෑම නිසා සිදු වූවක් නොවන බව පෙනේ. ගැහැණුන්ට ඇඟ වැහෙන්ට අන්දන ගමන්ම, පිරිමින්ට හැඟුම් පාලනයත් ඉගැන්නුවා නම්, ඉස්ලාමය මේ කාරණාවේදී අතිවිශිෂ්ට වන්නට ඉඩ තිබිණි. නමුත් එහෙම එකක් නැත. ඉස්ලාමයේදී මේ කාරණාවේ බර එහෙම පිටින්ම දමා ඇත්තේ කාන්තාවගේ උර මතටය. අප හිජාබයට එරෙහි වන්නේ අන්න ඒ නිසාය. මන්ද මේ තුළින් ස්ත්‍රී දූෂණ වල වරද පවා ගැහැනියගේ පිට පටවා ඈ කස පහරට ලක් කිරීමට තරම් නිදහසක් සහ ආධිපත්‍යයක් පිරිමි සමාජයට ලැබෙන බැවිනි.



බුර්කා විරෝධය
අප අපේ ප්‍රස්තුත මාතෘකාවේ වැදගත්ම තැනට එන්නේ දැන්ය. එනම් බුර්කා විරෝධය දෙසටය.

කිසිම ආගමක වතාවත් වලට හෝ සිරිත් විරිත් වලට හෝ විරුද්ධ වීමට ඒ ආගමේ නොවන අප හට අයිතියක් නැත. මීට වසර ගණනකට පෙර "ටැබූ" නම් බ්ලොග් රචකයා සිය අවසන් ලිපියේදී කී වචන ටික මෙහි දක්වනු රිසියෙමි.

ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.


ටැබූ ගේ දර්ශනය සමග අපට එරෙහි වන්නට බොහෝ දෑ තිබුණත් මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් සීයෙට සීයක් එකඟ විය හැකිය. මුස්ලිම් පල්ලියක සිදුවන යම් දෙයක් වේ නම් එය ඔවුන්ගේ බිත්ති හතර තුළ පමණක් සිදු වන දෙයකි. එය සමාජ විරෝධී ක්‍රියාවක් නම් හැර, අපට ඊට එරෙහි විය නොහැක. උදාහරණයක් ලෙස මුසල්මානුවන් ගේ හලාල් සහතිකය ගැන අපට විරුද්ධ විය නොහැක, නමුත් ඒ වෙනුවෙන් අපෙන් මුදල් අයකරගැනීමට අපට විරුද්ධ විය හැක. ඔවුන්ගේ වතාවත් වලට අපට විරුද්ධ විය නොහැකි වුණත්, ඔවුන්ගේ යාඥා වෙලාවල් වල කෙරෙන කන්කරච්චලයට අපට විරුද්ධ විය හැක. හිජාබය ගැනද එසේමැයි.

මෙහිදී අපි අන්ත දෙකක් දකිමු. එකක් නම් වරෙක අපේ රටේ ද කළුතර කැලිඩෝ වෙරළෙහි අරින්නට ගිය නිරුවත් වෙරළයි. ඒ ගැන අපේ මිත්‍ර මාලන් සමරවික්‍රම සජීවී වාර්තාවක් "හැන්දෑව" හරහා ඉදිරිපත් කළා අපට මතකය. දෙවැන්න හිජාබයයි. නිරුවත් වෙරළෙහි ඇඳුම් නැත. සැවොම නිරුවතින් හිරු රැස් සුව විඳිති. රමණයේ යෙදෙනු කැමැත්තෝ එසේ කරති. රැල්ල පාගනු කැමැත්තෝ එසේ කරති. එයද එක්තරා සුන්දර දෙයකි. එහෙත් ගැටළුව අපේ රටේ සංස්කෘතියට එය නොගැලපීම කෙසේ වෙතත් අපේ අයියලාගේ අහවල් එකේ පාලනයක් නැති වීමයි. අප ඉන්නේ හිජාබය සහ නිර්වස්ත්‍ර භාවය අතර මැද සාධනීය තැනකය. අර කී අන්ත දෙකම අපට හුදෙක් අන්තවාද පමණි.

එසේනම් හිජාබයට / බුර්කාවට විරුද්ධ වීමට අපට අයිතියක් තිබේද? මා සිතන්නේ එසේ විරුද්ධ වීමක් වේ නම් එය මතුවිය යුත්තේ මුස්ල්මානු සමාජය තුළින්ම මිස ඊට පිටතින් නොවේ යනුවෙනි. එසේ විරුද්ධ වන්නන් නොවේ යයි කාටවත් කිව නොහැකිය. මුස්ලිම් ෂරියා නීතියේ අලුත්ම බිල්ල වන ඊජිප්තුව තුළ, ඇඳුම් පැළඳුම් වාරණයට එරෙහිව, අලියා-මහ්දා-එල්-මාහ්දී නම් තරුණ කාන්තාව, සිය නිරුවත් චායාරූප ප්‍රසිද්ධියේම සිය බ්ලොග් අඩවියේ පලකලාය. ඈට සහය දැක්වීමට ගිය අනිකුත් අයට විවිධ හිංසන වලට ලක්වීමට සිදු විය. එහෙත් ඉන් හිජාබයට එරෙහි ජනමතයක් ගොඩ නැගුණු බව පිළිගත යුතුය.



එහෙත් හැමදාමත් වාගෙ බොදුබල සේනා මෙහිදී පොලිස්කාරයාගේ චරිතය සිය කැමැත්තෙන්ම අතට ගෙන තිබේ. වෙන මොකක් සිදු වුණත්, නූනත්, මින් සිදුවන්නේ ඇත්තටම බුර්කාවට විරුද්ධ මුස්ලිම් ප්‍රජාව පවා, ඒ විරෝධය යටපත් කරගෙන "මේන්ස්ට්‍රීම් එකට" එකතු වීම බව අපේ අයියලාට තේරෙන්නේ නැත. එබැවින් අපට කළ හැකි එකම දේ සාධුකාරයක් දී බලා සිටීම පමණි.

Thursday, March 21, 2013

ජිනීවා සහ ජංගි | Geneva and Panties

සෑහෙන කාලෙකින් යමක් නොලීවේ වැඩ වැඩි කම නිසාම නොවේ. ලියන්නට ගියොත් කුණුහරුප ලියවේ යයි බය නිසාය. නැතිනම් මඩිස්සේ නිශාන් ගෙන ආයෙමත් අහගන්නට වෙනවාය. කෙසේ වෙතත් අද වැනි ඓතිහාසික දවසක නොලියන ලිපි ආයේ කවදා නම් ලියන්නද යයි ද සිතේ. ඒ නිසා ලියමි. 


උඩින් මොන හොඳ හිත පෙන්නුවත් ඉන්දියාව හැමදාමත් කෙළේ අපට වල කපන එකය. එසේ වෙන්නේ ඇයිදැයි ඇසුවහොත් දෙන්නට ඇති හොඳම පිළිතුර ඉතිහාසය කියවා බැලීමයි. උදාහරණයක් ලෙස රාම රාවණ යුද්ධය ගත හැකිය. රාවණා ශ්‍රේෂ්ට පාලකයකු වී යයි රාමායණය ලී වාල්මිකියෝම පවසති. එහෙත් රාම රඝු වංශිකයෙකි. කැත්කුල සම්මත රාමා, මිනීමරුවකු කෙළේ බමුණු අන්තවාදය මිස වෙන දෙයක් නොවේ.

නමුත් රාම රාවණ යුද්ධය 
අහවර වී යුග ගණනක් ගිහිණුත් ඉන්දියාවට රාවණා නරකය, රාම හොඳය. සුර්පනඛා යකින්නියක වූ පලියට ඇගේ නහය, කන් කැපු රාම හොඳය. රාවනා දෙස මුහුණ නොබැලු සීතාවගේ පතිවත ඔප්පු කරන්නට ගින්දර මැද්දෙන් ඇවිද්දවූ රාම හොඳය. එහෙමත් කරපු ගැහැණිය, රට්ටුන්ගේ කතා වලට බයේ කාලයට පිටුවහල් කල රාම හොඳය. ඒ ඔක්කොමත් මදිවාට, ශුද්‍රයකු තාපසකම් කල වරදට ඔහු ගෙල කපා මරාදැමූ රාම දෙවියෙකි. රාවණා යකෙකි.

පසුගිය දින කීපය තුළ මේ වෛරී දේශපාලනයේ තවත් ජවනිකාවක් තිරගත විය. එනම් සිංහල බෞද්ධ භික්ෂුන් ඉලක්ක කරගත් පහර දීමය. මේ වනාහි ලංකාවේ දමිළයන් ගැන බඩ පපුව පිපිරෙන්නට කෑමොර දෙන, එහෙත් කුලය නිසා එක මේසයේ වාඩි ගන්නට අකමැති, ලංකාවේ දමිළ කාන්තාවන් ගේ ආරක්ෂාව ගැන කෑමොර දෙන, එහෙත් සිය රටේදී ගැහැණුන් සමූහ දූෂණයට ලක්කොට මරාදමන, බලය සඳහා සිය පක්ෂය මෙන්ම පිළිවෙතද පාවාදෙමින් තමිල්නාඩුවේ යකා නටන කරුණානිධි සහ ජයලලිතා ප්‍රමුඛ බළල් අත්වල LTTE නපුංසක පො*** (පොළොංගු) න්ගේ තවත් හපන් කමකි. 


මෙන්න ඒ වීඩියෝව:




මේ කම්මුල් පහර ඔබටයි! රටට විණ කරන තුරන් කෙළ කෝටියක් සිටියදී නිතිනින්දේ නිදිවදින ඔබටයි!! රට වෙනුවෙන් කරන්නට දහසක් දේ තිබියදී ඒ දේ නොකළ ඔබටයි!!! 


මේ සිද්ධියෙන් පසුව අපේ යතිවරයාණන් වහන්සේද හැසිරුණු විදිය ඉතාම ප්‍රශස්තය. "අසවලා මට බැන්නේය, ගැසුවේය, මා පරාජය කෙළේය, මා සතු දේ ගත්තේය.. මෙසේ යමෙක් සිතමින් එල්බෙමින් යන්නේද ඔහුගේ වෛරය නොසන්සිඳේ.. අසවලා මට බැන්නේය, ගැසුවේය, මා පරාජය කෙළේය, මා සතු දේ ගත්තේය.. මෙසේ යමෙක් සිතමින් එල්බෙමින් යන්නේද ඔහුගේ වෛරය සන්සිඳේ. වෛරයෙන් වෛරය කිසිදා සමථ වන්නේ නැත. වෛරය සමථ වන්නේ අවෛරයෙන්ම පමණි. මෙය සනාතන දහමකි." යන බුදු බණ ආදර්ශනීය ලෙස පිලිපමින් උන් වහන්සේ හැසිරුණහ. (වෙන උන්දෙලා නම් මෙලාකට සිවුර කරේ තියාන කෑගහමින් ඉන්දියානු කොඩි ගිණි තබනවා නියතය). අන්න ඒ නිසා මේ පහර කෑමට ලක් වූ වතුපොල වංගීස නම් වූ යතිවරයාණන්ට අපේ උත්තමාචාරය පුද කරමු. 

බුද්ධ පුත්‍රයන් වහන්ස! බලු රැළක් මැදට මැදිව ජාතියේ නාමයෙන් පහර ඉවසා දරාගත් ඔබ වහන්සේට අපේ ශ්‍රද්ධා භක්ති පූර්වක දණ්ඩ නමස්කාරය මෙසේ පුද කරමු. එමෙන්ම, හැංගි හැංගී මෙවැනි පො*** (පොළොන්) තගරි දමන තමිල්නාඩු අයියලා මෙහෙම නොවේ, කොහොම කීවත්, මේ රට කවමදාකවත් දෙකඩ කරන්නේ නැති බව, ඇට මස් ලේ නහර මතු නොව, දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු. 





විය යුතුම පරිද්දෙන් මේ සිද්ධිය සියලු ලාංකිකයන්ගේ කන හරහා ගැසූ පහරක් විය. නමුත් මේ සිද්ධිය වෙත විවිධ බෞද්ධ සංවිධාන පිළිතුරු දුන්නේ විවිධාකාර ක්‍රම වලටය. පුදුමයකට මෙන් මේ සිද්ධියේ දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණය කරන්නට සිහල රාවය සමත් විය. කුලියාපිටියේදී කතෝලික නිවසකට කඩාපැන යකා නැටු සිංහල රාවයෙන් එවැනි සාධනීය දෙයක් මේ ලියන මා නම් කිසිදිනෙක බලාපොරොත්තු වුණේ නැත. එහෙත් කළ හොඳ වැඩය අගය කරන ගමන්ම, මෙන්න මේ ටිකද කිව යුතුය. තමිල්නාඩුවේ දී භික්ෂුන්ට පහර දීම වැරදි නම්, එදා කුලියාපිටියේදී සිංහල රාවය කළ දේ හරිය කියන්නටද බැරිය. 

හලාල් සිද්ධිය හරහා තරුවක් වූ බොදු බල සේනා නම් කෙළේ ඉතාම හාස්‍යජනක ප්‍රකාශයකි. විහිලුව චොර කරන්නේ නැතිව මෙන්න ඔරිමජිනල් වර්ෂන් එක. 


පසුගිය දින කිහිපයේ ඉන්දියාවේ දී ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධින්වලට අන්තවාදී මුස්ලිම් කල්ලියක් සම්බන්ධ වී ඇති බවට සැකයක් මතුවී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කිරීම සඳහා අද (19) පෙරවරු 10.30 ට බොදු බල සේනා මුලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇතැයි ද එම සංවිධානයේ ප්‍රධානියකු ‘මිරර්’වෙත පැවසිය. [source link]
මේ කතාව විහිළුවක් වන්නේ, මේ ප්‍රකාශය කරන කෙනා, පසුගිය දශක ගණනක සිට ඉන්දියාව අර අඳින්නේ මොකාටදැයි හාංකවිසියක් වත් දන්නේ නැති බබෙකු ගේ ගානට කතා කරන නිසාය. 

අන්න ඒ බබාලා සියල්ලටම බලාගන්නත් එක්කම, ඉන්දියාව අද සමස්ත ලෝකය හමුවේ සිය ජංගිය ගළවා නිරුවත පෙන්වා තිබේ. මේ ක්‍රියාවලියේ වීරවරිය වන්නේ නවනීදන් පිල්ලේ නම් මානව හිමිකම් කමිටු සභාපතිනියයි.


නවනීදන් පිල්ලෛ

සුපුරුදු පරිදි ඉන්දියාවේ කුණකටු ප්‍රතිපත්තිය නිසා අද ශ්‍රී ලංකාව UNHRC හෙවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් පරාජයට පත්විය. උතුරු නැගෙනහිර යුද්ධයේදී LTTE ත්‍රස්තයන් සමග නිදි වැදි ජෙයලලිතා ප්‍රමුඛ සුනඛයන්ගේ සහ කෙලෙහිගුණ නොදත් සෝනියා ගාන්ධිගේ අබලන්කම නිසා, අසල්වැසි ලඟම ඥාතියා වන (හිකිස්) ඉන්දියාව ප්‍රමුඛ රටවල් 25ක් එරෙහිවද, "හම්බ" පාකිස්ථානය ප්‍රමුඛ රටවල් 13ක් පක්ෂවද, රටවල් 8ක නිර්චන්දයෙන්ද ලංකාවට එරෙහි තුට්ටු දෙකේ යෝජනාව (හෙවත් නවනීදම් පිල්ලෙයි ගේ මාස්ටර් ප්ලෑන) දිනා තිබේ. උතුරු නැගෙනහිර යුද්ධයේදී සිදුවූ යුද අපරාධ පිළිබඳව අපක්ෂපාතී සහ විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට බල කෙරෙන යෝජනාවකි, ඒ.


ඉන්දියාව වෙනුවෙන් බිරුම් හඬ දුන් ඉන්දීය නියෝජිත දිලිප් සිංහා කියා සිටියේ "අන්තර්ජාතික ප්‍රජාවට පිළිගත හැකි මට්ටමේ විශ්වසනීය පරීක්ෂණයක් අවශ්‍ය බව සහ ලාංකීය දමිළ ජනතාවද ඇතුළුව සියල්ලන්ටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ගෙන එම සඳහා ලංකාවට බල කලයුතු බවත්"ය. ගොනා හැරෙන්නේ මොන පොල් පැලෙටදැයි දැන් තවත් අටුවා ටීකා අනවශ්‍යය. බලය උදෙසා මිනිස්සු නොකරන දෙයක් නැත. සිය සැමියාගේ මිනීමරුවන් හට දඬුවම් දුන් අපට වඩා සෝනියා ගාන්ධිට ලලිතා ලොකුය. කමක් නැත, ඒ දේශපාලනයේ හැටිය. දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නැත. ඉන්දීය දේශපාලනයේ සිනමා මැරයා වන ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් DMK පක්ෂය මේ යෝජනාව ගැන "සිය පූර්ණ නොසතුට" පළකළේය. ඔවුන්ට අනුව "පූර්ණ" සතුටුදායක විසඳුම කුමක්දැයි අපට නොතේරෙන්නේ නැත. 


මේ ටික වන බව අපි දැන සිටියෙමු. දැන් ප්‍රශ්නය වන්නේ ඊළඟට වන්නේ කුමක්ද යන්නයි. 

මේ තීරණාත්මක මොහොතේ චීනය ප්‍රමුඛ සමාජවාදී රටවලට අමතරව අප සමග සිටියේ "හම්බ" රටවල් වන මාලදිවයින සහ පකිස්ථානයයි. "ලංකාවේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීම සඳහා චීනය මින් ඉදිරියටත් සියලු සහයෝගය ලබාදෙන බව" චීනය පැවසීය. ඉන්දියාවේ දේශපාලන අර්බුද වවාගෙන කන්නට කරන මේ කූටෝපක්‍රමය හෙළා දැකිය යුතු බව පකිස්ථානයේ මතය විය. (හලාල් සටනින් තරුවක් වූ අහවල් සේනාවට, ගෙවල් වලට පැන බයිබල් පොළොවේ ගහන අහවල් රාවයට, සීතාවකට මුස්ලිම් පල්ලි එපාය කී අහවල් සහෝදරත්වයට දැන් මේවත් හලාල් දැයි පැහැදිලි කිරීමට සිදු වනු ඇත.)

කෙසේ වෙතත් කතාවේ දෙපැත්තක් ඇත. මරාන්ඩුවට කිසිම ලැදිකමක් නැති අපද, මේ මොහොතේ මරාන්ඩුව සමග ඉන්නේ, මොකා හෝ රට කරවන එකා රැකගත යුතු බැවිනි. නැතිනම් ඇහැලේපොළ නාඩගම ඉතිහාසය තුළ යළිත් වරක් රඟ දැක්වෙනු ඇති බැවිනි. යුධ අපරාධ චෝදනාව සදහටම පරාජය කරන්න නම් සෑහෙන මහන්සියක් වියදම් කොට අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුය. නමුත් ලෝකයේ යුද ජයග්‍රහණ වලින් දිනු අනිත් රටවලටත් මේ උදවිය මේ දේ කියාවිද? උදාහරණයක් ලෙස ඇමරිකාවේ යුද ජයග්‍රහණ වලින් පසු ඔවුන්ගේ සිර කරුවන්ට සැලකු හැටි ගැන පරීක්ෂණ කරන්නට සමත් හු වෙත්ද? නැත. මේ ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණයක් නොව, ප්‍රභා මරපු උන්ගේ ලේ දීපිය කියාය.

නමුත් එහෙමයි කියා මේ රටේ කිසිම මානව හිමිකමක් කඩවුයේ නැතැයි කටක් ඇර කීමට අපට නම් බැරිය. ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නැත. ලසන්ත වික්‍රමතුංග ආයේ කවදාවත් එන්නේ නැත. ටැබූට බ්ලොග වසා දමා යන්ට විය. මැරවින් ලා, දුමියා ලා ඉන්නේ මේ රටේය. සාරුව සුනිල් සහ සුදර්මන් රදලියගම තාමත් යහතින්ය. යුද්දේ දිනලා දීපු සරත් ෆොන්සේකාට සිදු වුයේ හිරබත් කන්ටය. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවන ලදී. පී බී අබේසුන්දරයා තාමත් ෂෝයි එකට සිටී. කොටින්ගේ අහුවුණා කී රත්රන් කොහෙවත් නැත. කටුගේ/ දුටුගැමුණු කඩුව, රාවණ උමග, ළඟදීම උස්සන් ගිය පින්නවල මහා ඇතා, මේ සියල්ල මේ රෙජීමයේ කුණුය. 

වැරදි හදාගෙන ගොඩ යන්ට තවත් අවස්ථාවක් රෙජීමයට ලැබී තිබේ. මේ සමහර විට අන්තිම අවස්ථාව වන්ට පිළිවනි. කණේ පාර සැර වුණත් එයිනුදු ඉගෙන ගන්නට දෙයක් තිබේ. මේ අවස්ථාව වත් ප්‍රයෝජනයට ගෙන මේ රට ඇත්තටම හැදේවා යයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. 

Saturday, March 16, 2013

රිදෙන්නටම වැදී තිබේ!!


මීට මාස කිහිපයකට පෙර අප “තහනම් වචන” ආරම්භ කෙළේ රට පුරා ව්‍යාප්ත වූ ඉස්ලාම් ව්‍යාප්තවාදී රැල්ලට එරෙහිව බව කාටත් මතක තිබේ. නමුත් අප වරින් වර, කිහිප විටකදීම කියා ඇති පරිදි, තහනම් වචන යනු මිනීමරු පොට් එකක් නොවේ.
අප හලාල් ගැන කතා කරන්නේ සකාරණවය. මිසක එවෙලෙට චූන් වී දඟලන පොඩි එවුන් ලෙස නොවේ. හලාල් බද්ද ගැන සත්‍යය හෙළිකළ පළමු ලිපිය පළ වී සතියක් යන්නට පෙර අපේ අඩවිය තහනම් කිරීමට පවා සමහර අන්තවාදී මුසල්මානු කුහකයන් එඩිතර වී සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ අඩවිය දින තුනක් තහනම් ව තිබිණි. ඊට අප ප්‍රතිචාර දැක්වුවේ තවත් කරුණු වලින් සන්නද්ධව, අන්තවාදී උලාමාවේ රෙදි ගැලවීමෙනි.
අපේ මූලික අඩවිය වන තහනම් වචන අඩවියට විටින් විට එල්ල වූ ප්‍රහාර නිසා අපේ අඩවිය wordpress හරහා mirror කිරීමට අප පියවර ගෙන තිබිණි. අද උදෑසන වන විට එම අඩවිය (මේ වසර සඳහා පමණක්) hits 5000ක් පසු කර තිබූ අතර, ඒ වෙනුවෙන් යම් විශේෂ ලිපියක් ලිවීමට අප අදහස් කොට තිබුණි. නමුත් එහි යාවත්කාලීන කටයුතු සඳහා ගූගල් විමසුමක් කරද්දී අහම්බෙන් ඇස ගැටුණු දසුනකි, මේ.

Hits 5000ක් සමරන්නට මීට වඩා හොඳ ක්‍රමයක් ගැන අපට නම් හිතාගන්නට වත් බැරිය. මේ ෆේස්බුක් පේජ් එකේ හැටියට, තහනම් වචන වනාහි මුස්ලිම් වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන, වඩාත්ම අවධානයෙන් සිටිය යුතු අඩවි අතරින් තුන්වන ස්ථානයේ පසුවේ. 
තහනම් වචන කවදාවත් කිසිම අන්තවාදයක් වෙනුවෙන් කඩේ ගියේ නැත. යන්තමට හෝ පක්ෂග්‍රාහී වුණා නම් ඒ මේ රටේ සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් පමණි. එහෙත් ඒ ද, කඩු කැති පොලු මුගුරු අතින් ගෙන කරන්නා වූ සංග්‍රාමයක් වෙනුවෙන් නොවේ.
එහෙත් යම් යම් මුසල්මානු අන්තවාදීන්ට නම් අපව දිරවා නැති බව පෙනේ. ඔවුන්ට පමණක් නොව, බෞද්ධ තාලිබාන් ලාටද අපව දිරවන්නේ නැත. එහෙත් “අවධානයෙන් බලා සිටිය යුතු” ලයිස්තුවේ තුන්වන තැනට අප ආවේ නිකන් වෙන්නට බැරිය. අප දෙස අවධානයෙන් බලා සිටිය යුතු යයි යමෙක් කියන්නේ නම් ඒ අප යමක් කළ නිසා විය යුතුය.
එබැවින් අපට ඒ උපහාරය ලබාදුන් මුසල්මානුවන්ට අපේ ප්‍රණාමය!!
ප.ලි. යම් හෙයකින් හෝ අපේ මවු අඩවිය (එනම් මෙය) අකර්මණ්‍ය වී නම්, මේ ලිපි වලින් බොහොමයක් මෙන්න මේ පිළිබිඹු අඩවියෙන් (mirror site එකෙන්) ලබාගත හැකි බව දන්වා සිටිමු. 

Sunday, March 10, 2013

අන්වර් ජනපති සූට් එක ගැන කතා කරයි!

ප්‍රවේශය

අන්වර් මණතුංග හෙවත් අ.මණතුංග නම් වූ මුසල්මානු අන්තවාදියා ගැන නොදන්නකු මේ බ්ලොග් අවකාශයේ සිටීයැයි සිතන්නට අපහසුය. අමණතුංග යනු ඒ තරමටම එපා කරපු චරිතයකි. හෙතෙම මේ ලංකාවේ මුසල්මානු අන්තවාදය පැතිරවීමේ උන්මාදයෙන් පෙළෙන පිස්සන්ගේ වර්තමාන වීරයාය. සකීර් නායික්ගේ ප්‍රකාශ වලින් උදම්ව, ඔහු වෙන්නට තැත් කරන පිරිසෙන් කෙනෙකි. සකීර් නායික් කෙසේ වෙතත් තමන්ම තමන්ගේ වලිගයේ වරුණය කියා ගන්නා බූරුවකුට විදග්ධ සමාජයේ ලැබෙන්නේ යම් තැනක්ද, අන්වර්ට මේ දිනවල බ්ලොග් අවකාශයේ ලැබෙන්නේ ද එසමානම තැනකි. අනික අන්වර්ලාට සකීර් ලොකු වුණාට සකීර් නායික් යනුද අන්තර්ජාලයේ තවත් එක සෙල්ලම් ළමයෙකු / කෝලමෙකු පමණි.



අන්වර්ගේ උන්මාදය පොතක් ලිවීමට වටිනා එකකි. එය ඉතා පුළුල් පරාසයක පැතිර පවතී. ඔහු විද්‍යාව ගැන හොඳට දන්නේලු. කොටින්ම හලාල් නිර්දේශය එහෙම පිටින්ම විද්‍යාත්මක වන්නේලු. එපමණක් නොව, අද විද්‍යාවට කළ නොහැකි බොහෝ දේ හලාල් ආහාර වලට කළ හැකිලු. මේ ඔහුගේ පිස්සුවේ ලෞකික අන්තයයි. අනික් පැත්තට ඔහු සිංහල බෞද්ධයකු ලෙස ඉපිද පසුව මුසල්මානු ආගම වැළඳ ගත්තේලු. එනිසා බුදු දහමේ ඇති නිස්සාර භාවය ගැන ඔහු හොඳින් දන්නේලු. මේ ඔහුගේ පිස්සුවෙ ලෝකෝත්තර අන්තයයි. මේ අන්ත දෙක හැරෙන්නට අන්වර්ගේ පිස්සුවට විවිධාකාර පැතිකඩවල් සහ මුහුණුවර තිබේ. මින් බහුතරය හාස්‍යෝත්පාදකය. උදාහරණයක් ලෙස මේ දිනවල සිංහල තරුණයන්, සිංහල කෙල්ලන්ගේ අවිනීත ඇඳුම ගැන කළකිරී, වැඩි වැඩියෙන් මුසල්මානු තරුණියන් වෙත ආකර්ෂණය වන්නේයැයි ඔහු වරක් කීය. එමෙන්ම ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළෙන සිංහල කෙල්ලන්, මුස්ලිම් තරුණියන් කරන්නා සේම හිස වැසෙන්නට පර්දාවක් වැනි දෙයක් පළඳින එක විලාසිතාවක් කරගෙන ඇතැයිද හෙතෙම වැඩි දුරටත් කීය. මේවට (කොහෙන් හෝ) සිනා වී සිටියාම හොඳටම ඇති බව අපේ අදහසයි. කෙසේ වෙතත් ඊට පිළිතුරුද නොපමාව ලැබිණි. කම්මලේ බල්ලාට හෙණ අමුත්තේ කීවා සේ අන්වර්ට ඔවැනි විවේචන අහලකින් වත් දැනෙන්නේ නැති බවටද අප තුළ විශ්වාසයක් පවතී.



නමුත් අන්වර්ගේ කතාව තුළ මීට වඩා බිය විය යුතු, සැළකිය යුතු සහ ලත් තැනම ලොප් කළ යුතු කතාද තිබේ. උදාහරණයක් ලෙස මේ ළඟදී හෙතෙම ගැහැණුන් දූෂණයට ලක් වන්නේ ඔවුන්ගේ ඇඳුමේ වරද නිසා බව කීය. තනියෙන් නොවේ. සිංහල බෞද්ධ විද්වතෙකු යැයි කියා ගන්නා එකෙකුගේද හූමිටි තැබීම මැද ය. මේ කතාව ඔස්සේ යමින් සමහරු ළඟදී ඉන්දියාවේදී සමූහ දූෂණයට ලක්ව අවාසනාවන්ත ලෙස මියගිය දාමිණී නිර්භයා (සැබෑ නම නොවේ; ඉන්දියානු රජය ඇගේ සැබෑ නම වාරණය කිරීමට තරම් බුද්ධිමත් වූහ) ගේ මරණයේ වරද, ඈ රෑ පානේ කොල්ලා සමග බාගෙට ඇඳගෙන ගමන් යාමේ ප්‍රතිඵලයක් බවද කීහ.

මේ කතාව ඉතාම මාරාන්තිකය. හේතුව එය දෙපැත්ත කැපෙන කඩුවක් වීමයි. ඉන් කොයි පැත්තට කැපුණත් අන්වර්ලාට වාසි ය. උදාහරණයක් ලෙස මෙවැනි සිද්ධි වලින් පසුව ස්ත්‍රී දූෂණයට දඬුවම ලෙස ෂරියා වැනි තද නීති අවශ්‍ය බව ඔවුහු කීහ. ඒ සමගම අනිත් පැත්තට මෙවැනි සිද්ධි මින් ඉදිරියට සිදු නොවීම පිණිස ගැහැණුන්ගේ ඇඳුමට නීති පැනවිය යුතු බවටද ඔවුහු යෝජනා කළහ. මේ දෙක තුළම ම්ලේච්ඡ ශරියාව මේ රටේ ස්ථාපිත කිරීමේ වැයමක් නොතිබී යැයි කිව නොහැක. හැබැයි අපේ විශ්වවිද්‍යාල ප්‍රජාව නම් මේ දෙකටම කණ පැලෙන්නට පිළිතුරු දුන්හ. අනිත් අතට නීති විද්‍යාල අර්බුදයද මේ සිද්ධි දාමයේම තවත් පුරුකක් විය නොහැකිදැයි සාධාරණ සැකයක් අපට උපදී. රටේ නීතිය ක්‍රියාත්මක කරන බහුතරය ආගමික අන්තවාදීන් නම් ඒ රටේ නීතිය ගැන කවර කතාද? ඊජිප්තුවට කළ දේ ලංකාවේ සිදු නොවේ යයි කාට නම් කිව හැකිද? ඉරානය, ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් එදා සහ අද සංසන්දනය කිරීමම ප්‍රමාණවත්ය.

අවාසනාවකට අන්වර්ගේ අඩවියේ වාරණ නියෝග පණවාගෙන ඇති ආකාරයට, ඔහුගේ මතවාදය විවේචනය කරන හෝ, එහි අවලංගු භාවය පෙන්නුම් කරන අදහස් එහි පළ කෙරෙන්නේ නැත. යකාගේ හැටියටලු විමානේ. අනික කොයි බල්ලාත් තමන්ගේ වැයික්කියේ රජ්ජුරුවෝය. එබැවින් මේ ළඟදී අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන බුවා අගනා ක්‍රියාවක් කොට තිබිණි. එනම් අන්වර්ට පිළිතුරු දීමටම වෙන්වූ බ්ලොගක් ඇරීමයි. අන්වර්ගේ ආතල් නොකඩා පාඩුවෙ ඉන්නට හැරීම ද හොඳය. ඒ වගේම ඔහුගේ හතරබීරි කතා වලට උත්තර බැඳීම ද සමාජයීය අවශ්‍යතාවකි.

අන්වර්ගේ බ්ලොග් අඩව්වේ නිල පින්තුරය


ප්‍රස්තුතය

දැන් මේ වන විට අන්වර් මණතුංග හෙවත් අ.මණතුංග යනු කවරෙක්දැයි බුද්ධිමත් පාඨකයා වටහාගෙන තිබෙණු ඇතැයි අපට විශ්වාසය. මේ ඉතිරි ටික ලියවෙන්නේ විසින් ළඟදීම ලියු තවත් මඥ්ඥන් කතාවකට පිළිතුරු ලෙසය. මෙන්න කතාව:

මුස්ලිම් විරෝධී අන්තවාදී බොදු බල සේනාව තමන්ගේ සංවිධානය ශක්තිමත් කරගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව තමන්ගේ පාර්ශවයට ගැනීමට දැඩි උනන්දුවක් තිබෙන බවක් දක්නට ලැබේ. ඔවුන් ඒ සඳහා ගෙනයන ප්‍රචාරය නම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගත ජනපති කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි. මෙහිදී බොදු බල සේනාව විසින් තමන්ගේ කිසිදු දේශපාලනයක් නැති බවද තමන් දේශපාලකයන් කෙරෙහි විශ්වාසයක් නොතබන බවටත් මුලින් කී ප්‍රකාශ අමු අමුවෙන් උල්ලංඝනය කරන්නට පටන් ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. බොදු බල සේනා නායක කිරම විමලජෝති හිමියන්ට දේශපාලනය ගැන අදහසක් නැතත් එම සංවිධානයෙහි අනෙකුත් අයවළුන්ට ඒ සඳහා දැඩි උනන්දුවක් පවතින බවක් දක්නට ලැබේ. කිරම හිමියන් එයට ඉඩ නොදුනහොත් ඔවුන් සංවිධාන බිඳගෙන හෝ තමන්ගේ පුද්ගලික අරමුණු මස්තකප්‍රාප්ත කරගනු ඇත.

පළමුවෙන්ම මෙකී කතාව තුළ, වෙන කවරෙක්වත් උදාහරණයට නොගෙන, ගෝඨාභයම අල්ලා ගැනීමට හේතුව පිළිවිසිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ යනු වැටෙමින් යන ආණ්ඩුවක ස්ථාවරම ශක්තිය බව නොරහසකි. "මහා යුධ වීරයෝ හොඳ නායකයෝ නොවෙන්නාහ" යනු සුප්‍රකට කියමනකි. එහි සත්‍යතාව අපි හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියාකලාපයෙන් දුටිමු. මේ ලියන අපටද, මේ රෙජීමයේ ක්‍රියාකලාපය ගැන සත පහක පැහැදීමක් නැත්තේය. එහෙත් මොන දේ වුණත් අපේ රටේ, තිස් වසක අවාසනාවන්ත කාලකන්ණි යුද්ධය අවසාන කිරීමේ මහා මෙහෙයුම සාර්ථක කරගැනීමේ ප්‍රබලතම සාධකය ලෙස, (මොන වැරදි තිබුණත්) "සහෝදර සමාගම" ගිනිය හැක. එයිනුදු, යුධ මෙහෙයුම් ගැන වඩාත්ම හසළ අවබෝධය ඇති පුද්ගලයා වන්නේ ගෝඨාභයය. එමෙන්ම පසුගිය කාලයේ කොළඹ සහ තදාසන්න පෙදෙස්වල නගර නවීකරණ ක්‍රියාවලිය ඉතාම ප්‍රශස්ත මට්ටමින් කරගෙන යාම නිසා ජනතා ප්‍රසාදය වෙනත් විදියකටද ඔහු විසින් දිනාගෙන ඇත. 



ආරන්චියක හැටියට, කොළොන්නාවේ පාරක් හැදීමට නගර සභාව මාසයක කාලයක් සහ ලක්ෂ තිස්පහක් ඉල්ලුවෙලු. එය ප්‍රතික්ෂේප කළ ගෝඨාභය, සති දෙකක් තුළ ලක්ෂ අටෙන් පාර හදා පෙන්නුවේලු. මේ එක කතාවක් පමණි. පුද්ගලයා වශයෙන් මොකා වුණත්, සංවිධාන ශක්තිය සහ රට ගැන ආදරයක් ඇති අයෙකු ලෙස තවමත් ජනතා ප්‍රසාදය ඔහුට ඇත්තේ මෙවැනි සුළු සුළු හේතු නිසාමය. 

හලාල් මතය පරිණාමය වූ හැටි

මෑත කාලයේ බොදුබල සේනා විසින් මතුකළ කරුණු අතර ප්‍රබලම ජනතා අවධානයක් දිනාගත් කරුණ වන්නේ හලාල් ය. මේ අරගලය මුලින්ම කරළියට එන්නේ පෙරමුණේ රාළ, පිටියේ අප්පු වැනි අයගේ සයිබර් හඬ තුළිනි. [මින් අදහස් වන්නේ මා රාළගේ දැකීම අනුමත කරන බව නොවේ. රාළ සහ මා අතර කිසිම ඇයි හොඳයියක් නැත. රාළලාගේ කල්ලිය පෙනී සිටින සිංහල බෞද්ධ පුනරුදය සහ ජාතික චින්තන උන්මාදය සැබෑ නොවන සුදු අලියෙක් බව මගේ දැකීමයි. ඔවුන්ගේ ගුරු දේවතාවන් වන නලින් ගැනද මට ඇත්තේ සොපහාසී කියවීමකි.] එහෙත් (අරමුණ කුමක් වුවත්) මේ ගැටළුව කාටත් ඇහෙන්නට සමාජ ගත කරනුවස් පළමු වෙඩිමුරය තැබුවන් ලෙස ඔවුන් අප සිහිපත් කළ යුතුය. 

මේ සිද්ධි දාමය ආරම්භයේ සිටම විකාශනය වුයේ එකිනෙකට පරස්පර විරෝධී මාර්ග දෙකකය. තේරෙන සිංහලෙන් කියන්නේ නම්, පිරිසක් හලාල් විරෝධීහු වූහ. පිරිසක් උලාමා විරෝධී වුහ. තවත් පිරිසක් මුස්ලිම් විරෝධී වූහ. හලාල් විරෝධීන්, උලාමා විරෝධීන් සහ මුස්ලිම් විරෝධීන් වෙන්කර හඳුනාගැනීමට හැකියාවක් නොතිබිණි. එමෙන්ම, හලාල් විරෝධීන් බොහොමයක්ද, මේ කාරණයේදී මුස්ලිම් විරෝධීන් සමග එකට සිටගත්හ. ඉන් සිදු වූයේ සතා මොකාදැයි හඳුනාගැනීමට ක්‍රමයක් නොතිබීමයි. රිසානා හිස්ගැසුම් කද්දී ඇගේ මවුපියෝ එය දේව කැමැත්ත ලෙස බාර ගත්හ. එහෙත් තුංගසිරි ගේ කතාව ඊට වඩා වෙනස් විය. මොනවා වුණත් සෞදියේ තානාපති එදත් අදත් යහතින්ය. සාධු! 

මේ අතර සිංහල රාවය, බොදු බල සේනා සහ මහමෙවුනා ලෙස කල්ලි තුනකට සිංහල බෞද්ධ සමාජය බෙදී ගියේය. හෙළ උරුමයේ කට ඇරුණේ ටිකක් ප්‍රමාද වීය. එය සිදු වන්නට චම්පිකගේ ඇමති පට්ටම නැති වන තුරු ඉන්නටම සිදු විය. රතන එදා මාවිල්ආරුවේ කළා මෙන්ම උද්ඝෝෂණ කරන්නට ද සූදානම්ව සිටියහ.  අලි මදිවාට කොටි කීවා සේ වාසු ජාතික ගීය වෙනස් කරන්නට කතාව ගෙන එමෙන් ඇවිස්සී තිබූ දෙබරයට තවත් ගල් පහරක් වැදිණි. මේ අතරට එකතු වූ ජිනීවා මානව හිමිකම් සැසිවාරය හරහා උලාමාවට තවත් තුරුම්පුවක් ඇදී තිබිණි. මහවුන් බෙදී වෙන්වෙද්දී අන්වර්ලා කළ දුටු කළ වල ඉහගත්තෝය. එල්ලෙන්නට වැලක් නැති එකා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ, ආණ්ඩුවද බොබසේ වෙත දැක්වූ උදාසීන ආකල්පය වෙනස් කරන්නට තීන්දු කොට තිබිණි.  කොටින්ම බොබසේ නායකයන් (නමට හෝ) සිරගත කිරීමට පවා සැලසුම් වී තිබිණි යැයි කියවේ. සිංහල බෞද්ධ සමාජය කාගෙත් උකුසු ඇසට ලක්ව තිබුණේය. කොටින්ම සුලෝහිත වලියට අමර ප්‍රචාරයක් ලබා දුන් සිරසක් නැති සිරස, ඒ තුළින් සිංහල බෞද්ධ ප්‍රජාව කොහොමත් ප්‍රචණ්ඩය වගේ කතාවක් සමාජගත කරන්නට පවා කටයුතු කෙළේය. 

ගෝඨාභයගේ ආගමනය

මේ සමස්ත සිද්ධිය තුළ ගෝඨාභයගේ ආගමනය සිදු වන්නේ මෙන්න මෙවැනි විපරීත පරිසරයක් තුළය. එය සැබවින්ම සිංහලයාගේ මළගම දකින්නට කෙළ හලමින් සිටි අවජාතකයන්ගේ සිහින වලට වැදුණු මාරක පහරක් විය. ගෝඨාභය කවුදැයි දන්නා නිසා ඔහුට කෙලින් ගැසීම කළ නොහේ. ඒ වෙනුවට අන්වර්ලා සිය සහජ ව්‍යාපාරික ඥානය මෙහෙයවා වෙනමම මෙහෙයුමක් දියත් කරමින් සිටිති. එනම්, ගෝඨාභය, මහරජාගේ උදහසට ලක් කිරීමයි.

මේ ලියන අපට ගෝඨාභය ගැන ඇත්තේ මිශ්‍ර හැගීමකි. එක අතකට ඔහු මේ රටේ තිස්වස් යුද්ධය නිමා කරන්නට ජීවිතය පවා පරදුවට තැබූ නායකයෙකි. අනිත් අතට ඔහුගේ නමට ඉදිරියෙන්ද චෝදනා නැත්තේ නොවේ. සරත් ෆොන්සේකා සිරගත කිරීම වැනි අවස්ථා වලදී ගෝඨා ගේ ක්‍රියා කලාපය ඉතාම දැඩි විවේචන වලට ලක්විය. කෙසේ වුණත් සිද්ධිය සමථයකට පත් කරමින්, හලාල් සහතිකය නොමිලේ නිකුත් කරන තැනට උලාමාව ගෙන ඒමේ ගෞරවය ඔහුට හිමිවේ. (එහෙම නොකළානම් මෙදා පාර අවුරුද්දේ මුස්ලිම් කඩ බංකොළොත් කිරීමට පවා චම්පිකලා සූදානම් ය). කොටිම්ම දැන් අන්වර්ට රිදෙන්නට වැදී තිබේ. ඔහු අන්න ඒ නිසා සහෝදරයන් කොටවන්නට මෙහෙම කියයි.

එක පාර්ශවයක් උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඊලඟ ජනපති අපේක්ෂකයා බවට පත්කර ගැනීමටයි. බැසිල් රාජපක්ෂ මහතාට හොඳ ඡන්ද පදනමකට අමතරව සුළුජාතීන්ගේ සහයද තිබෙන බැවින් ඔවුන් එසේ සිතනවා විය හැක. එහෙත් බොදු බල සේනාව ප්‍රමුඛ ජාතිවාදී පාර්ශවය උත්සාහ දරන්නේ අනාගත ජනපති අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ මහතාව පත්කර ගැනීමටයි. ජනාධිපති තුමාට පසුව සිංහල බෞද්ධයා ගැන කැක්කුමක් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව ඔවුන් පවසති. නමුත් මේ දෙපාර්ශවයම එකක් අමතක කර ඇත. එනම් මේ දෙපාර්ශවයම තමන්ගේ අපේක්ෂකයා ඊලඟ ජනපති කිරීමට සුට් මසන්නේ වත්මන් ජනාපති මහින්ද රාජපක්ෂ මහතා පණ පිටින් සිටියදීය. මම අසන්නේ මෙයයි. ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉක්මණින් මියයාම ඔවුන්ගේ අපේක්ෂාවද?

 මේ කරන්නේ කන්කන්බූරු සෙල්ලමක් නොවේ. මේ කරන්නේ එහෙම පිටින්ම අසමජ්ජාති කතාවකි. මේ කෙලින්ම කරන්නේ රාජපක්ෂවරුන් කෙටවීමකි. අන්වර් නොදන්නවාට මේ සිද්ධියෙන් සිදු වන්නේ රාජපක්ෂලාට මොනම පක්ෂ කමක් වත් නැති අප වැනි මිනිසුන්ට වුවද මේ සිද්ධියේදී රාජපක්ෂ වරුන්ගේ පැත්ත ගන්නට සිදු වීමයි. 

අවසානයේ සිදුවන්නේ කුමක්දැයි කීමට වඩා ඒ ගැන ඊසොප්ගේ කතාවක් ඇසුරින් කීම වඩා සුදුසුය. වරෙක කැලයක සිටි වලහෙක් සහ දිවියෙක් අතර සටනක් වීය. මේ සටන දුටු අනිත් සත්තු ඒ වටේ වට වී කටවල් අරගෙන බලා සිටියහ. සමහර හිවල්ලු සහ කැනහිල්ලු අර දෙදෙනාගෙන් ඉරී වැටෙන මස් කැබලි පවා ඇහිඳ කමින් සිටියහ. මේ අතර එක කට හැකර සූකරයෙක් මෙසේ කියන්නට වීය.

"අපෝ අර වලහගේ හැටි.. චික්.. මම මගේ මුළු ජීවිතේට දැක්කේ නෑ එහෙම කැත වළහෙක්.. අර දිවිය ඒ මදිවට.. හත් අවුරුද්දකින් පොකුණක් දැකල වත් නැති ගානයි. අන්න අන්න ඒ පාර අර මෝඩ දිවිය ආයෙත් පැන්න වැරදි පැත්තට.. මේ.. හලෝ.. ඔහොම නෙමේ පනින්නේ.. අරූගෙ බෙල්ල තමා අල්ලන්න ඕනේ.. ශික්.. කෝ කොහෙද අපි කියන දෙයක් අහනවය.. අන්න ඉතින් ආයෙත් වැරද්දුව... මේ මේ.. මෝඩ වළහෝ..  දැන්වත් ඔහේගේ ඔය නියපොතු පාවිච්චි කරනවකො... අන්න ඉතින් අර දිවිය ගොරවනවා.. මේ හලෝ.. ඒයි! බොරුවට ගොරවන්නේ නැතුව එක පාර පනිනවකෝ ගැම්ම අරගෙන.. හයියෝ මෙහෙමත් මෝඩ සටනක්!" 

ටික වෙලාවක් මේ කන්දොස්කිරියාට අසාගෙන සිටි දිවියා සහ වළහා කෙළේ සටන නවත්වා සූකරයාගේ බෙල්ල කඩා ඌ මරා දැමීමයි. අර කී ලෙසම දිවියා එක පිම්මට පැන බෙල්ල අල්ලා ගත් අතර, වළහා සිය තියුණු නියපොතුවලින් සූකර මස් ටික ඉරා දැමීය. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ. 



Saturday, March 9, 2013

හලාල් බද්ද අවසන් ද? | Will Halal tax end?

අලුතින්ම ලැබෙන ආරංචි අනුව, හලාල් බද්ද අවසාන කිරීමට උලාමාව එකඟ වී සිටීලු. මේ ආරංචිය අප වෙත ගෙන එන්නේ දෙවිදියකින් සතුටුදායක හැගීමකි. පළමුව, මේ රටේ මුසල්මානුවන් නොවන ප්‍රජාව මත බලෙන් පටවන ලද නිල නොවන හලාල් ජෙසියාව (ඇඟ බද්ද) අකුළා ගැන්නවීමට සමත් වූ ලෝකයේ පළමු සහ එකම රට අප වන නිසාය. දෙවැන්න, මෙතෙක් කල් හලාල් විරෝධයට මුවා වී මුස්ලිම් විරෝධය පෝෂණය කළ අන්තවාදීන් හට සැඟවෙන්නට තැනක් නැති වීමයි.



අතීතය:

අප හලාල් ගැන කතා කරන්නේ සකාරණවය. මිසක එවෙලෙට චූන් වී දඟලන පොඩි එවුන් ලෙස නොවේ. හලාල් බද්ද ගැන සත්‍යය හෙළිකළ පළමු ලිපිය පළ වී සතියක් යන්නට පෙර අපේ අඩවිය තහනම් කිරීමට පවා සමහර අන්තවාදී මුසල්මානු කුහකයන් එඩිතර වී සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ අඩවිය දින තුනක් තහනම් ව තිබිණි. ඊට අප ප්‍රතිචාර දැක්වුවේ තවත් කරුණු වලින් සන්නද්ධව, අන්තවාදී උලාමාවේ රෙදි ගැලවීමෙනි. ඒ ලිපිය මෙතනින් බැලිය හැක. අප ලියු තවත් ලිපි එකතුවක් "හලාල්" ලේබලය යටතේ ඔබට දක්නට හැකිය. උලාමාවට අප කළ අභියෝගය සහ අන්වර් මණතුංග නම් කුහකයාට ලබා දුන් පිළිතුරු මෙතනින් බලන්න. 

මොන මොන අඩුපාඩු තිබුණත් බොදු බල සේනා ව්‍යාපාරය මගින් මෙහිදී කරන ලද සාධනීය ක්‍රියාව අනුමත කළ යුතුය. උලාමා ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයයයි කෙළින් කීවේ ඔවුන් පමණක් නිසාය. එදා ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා නොකියා ප්‍රභාකරන් මහතා කියාපන් යැයි චන්ද්‍රිකා ආණ්ඩුව කීවා අපට මතකය. එදා සිට අද දක්වා අපට කෙළවන උන්ට මහත්තුරු පට්ටම් දී කරේ තියා ගැනීම හෙවත් කැළේ ඉන්නා නයි රෙද්ද අස්සේ ගසා ගැනීම අපේ අනන්‍යතාවේ කොටසකි. 

චම්පිකගේ විදුලිය කැපුවට පසු එතුමාද අලුතින් චූන් වී අප්‍රේල් මාසයට පෙර හලාල් අහක් කර නොගතහොත් අවුරුද්දට මුස්ලිම් කඩ වර්ජනය කරවන් බවට තර්ජනය කෙළේය. වෙනෙකක් තබා අවුරුද්දට ඉතාලියෙන් නොන්-හලාල් බිස්කට් ගෙන්වීමට පවා සිංහල රාවයේ සූදානමක් පැවතිණි. උලාමාව නම් දිගටම කීවේ හලාල් සහතිකය නොමිලේ දෙන්න බැරි බවය


වර්තමානය

වර්තමානය වන විට මේ සියල්ල උඩු යටිකුරු වී තිබේ. එක පැත්තකින් ජිනීවා වලදී ආණ්ඩුවේ හෙළුව බේරා ගන්නට උලාමාව පොරොන්දු වී සිටී. බොබසේ නායකයන් (නමට) අත්අඩංගුවට ගෙන, සියලු පහසුකම් සහිතව නවීන පුද්ගලික රෝහලක නවත්වා තැබීමට පවා කටයුතු සැලසී තිබුණේ යයි කියති. 

මුසල්මානය වනාහි හුදු ආගමක් නොවේ. එය දේශපාලන සන්දර්භයක් තුළ ගොඩනැගෙන ආගමික මුහුණුවරකින් පෙනී සිටින ව්‍යාප්තිවාදයකි. "ගර්භාෂ න්‍යාය" නමින් අප ඒ ගැනද ලිපියක් පළකොට තිබේ. සරලවම කියන්නේ නම්, යුද්ධයකදී ජය ලබන්නේ වඩා හොඳ මිනිසුන් ය. හෙවත් සුපිරි සොල්දාදුවන්ය. අප දකින විදියට මුසල්මානය වනාහි CIA, KGB වැනි සංවිධාන වල මූලයම ඇති, තවත් කොවර්ට් ඔපරේෂන් එකකි. ඔබේ සතුරා බොයි, ඔබ නොබොයි. ඔබේ සතුරා එක ළමයකු හදයි, ඔබ ළමයි ඕනා තරම් හදයි. ඔබේ සතුරා අපිරිසිදු ආහාර ගනී, ඔබ හලාල් හෙවත් පිරිසිදු ආහාර පමණක් ගනී. ඔබේ සතුරා ආගම දහම බල්ලට දමයි, ඔබ දවසට පස් වතාවක් ආගම නමදී. ඔබේ සතුරා පරජාතිකයන්ට අඹුවන් දෙයි, ඔබ කිසිදා එසේ නොකරයි. ඔබේ සතුරා ගේ සමාජයේ ගෑණු විළි ඇරගෙන අඩනිරුවතින් මහපාරේ යති. ඔබේ ගෑණු විළි පමණක් නොව මුළු ඇඟම වසාගෙන යති. ඔබේ සතුරාට සිය රටේ ආර්ථිකය ගැන වගේ වගක් නැත. ඔබ එසේ නොවේ, ඔබ ඔබ ජීවත් වන රටේ හොඳම වෙළෙන්දෙක් වේ. ඉතින් මුසල්මානය ව්‍යාප්ත නොවන්නේ මන්ද?

අපේ බහුතර සිංහල බෞද්ධ වීර අයියලාට තිබුණේ මෙන්න මෙකී සංසිද්ධිය දරාගෙන ඉන්නට බැරිව ඇති වූ ඊරිසියාවයි. නැතිව සැබෑ කැක්කුම නොවේ. 


අනාගතය:

දැන් හලාල් සහතිකය නොමිලේ දෙනවා යයි සිතමු. ඒත් කතාව එපමණද? නැත. අපට නම් එහෙම හිතෙන්නේ නැත. හලාල් සහතිකය මුවාවෙන් ආපු නාගරාජයා ඊළඟට වෙනත් මුහුණුවරකින් මතුවන දිනය වැඩි ඈතක නොවේ. නීති විද්‍යාල අර්බුදය උදාහරණයක් ලෙස ගත හැකිය.

ගිරයට අහු වූ පුවක.

මෙතන තවත් කතාවක් ද තිබේ. වැලේ වැල් නැතිව අපත වී පජාත වී කුජීත කුප්පීතු වී ඉන්නා මේ මනස්ගාත ආණ්ඩුවට, රටේ ජනතාවට ප්‍රශ්න අමතක කරවන්නට නාඩගමක් ඕනෑය. මෙතෙක් එහෙම කරපුවා ලැයිස්තුවක් මෙන්න. (මට අමතක වූ දේ වේ නම් කොමෙන්ටුවකින් හෝ දක්වන්න.)

* මාලිංග සහ මාධ්‍ය 

* නයි කෙල්ල සහ පොල් කෙල්ල
* අගවිනිසුරු නාටකය
* ප්‍රිසන් බ්‍රේක්, සීසන් වැලිකඩ
* ද උමං ඔෆ් කිං රාවණා
* මුතුරාජවෙල සත්තලන්
* නාථ, නලින් සහ ආසනික්
* ජාතික ගීයට දෙමළ පද
* යුගෝ චාවේස් (පරිවර්තනයකි) 

දැන් හලාල් හමාරය. ඊළඟට මාලි ආපහු එනවා දෝයි සැකයක් ද වේ. මාලි ගැන අපි වෙනමම දවසක වෙනමම ලිපියක් ලියමු. එතෙක් අපේ අදහස මෙන්න: 



අපට අමතරව හලාල් ගැන වෙනත් අය කී දෑ මෙතනින් බලන්න.

1. "එම්බා අන්වර් මනතුංගය!"
2. "හලාල් සහ ජාතිවාදය"
3. "‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා"
4. "අන්වර් මනතුංගගේ ප්‍රතිචාර වාරණයට පිලියමක්"
5. "අන්වර් මනතුංගට පිලිතුරු"
6. "සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය"
7. "නැගෙනහිර ජිහාඩය ගැන විකිලීක්ස් එළි කරපු දේවල්"
8. "හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ"
9.  "හලාල්, බොරුව හා පරාජය" 
10. "හලාල් වලට විරුද්ධ මුස්ලිම් ජාතිකයින්ට තර්ජන"

සියල්ල සමාලෝචනය කරමින් ලියන ලද ලස්සන සාරාංශයක් "මාතලන්" විසින් ලියා තිබිණි. ඔහුට ස්තුතිවන්ත වෙමින් ඒ උපුටාගැනීමෙන් මේ කතාව අවසාන කරමු.

එහෙයින්, කල යුතු වන්නේ, අප රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන, විදෙශ් ශ්‍රමිකයින් දඩ මීමා කරගෙන, හලාල් හා ෂරියා නීතී, රටේ ස්තාපිත කිරීමට වෙර දරනා, සියළුම ක්‍රියාදාමයන්, අද අදම කටුගා දැමීමයි, අප රජයෙන් ඉල්ලා සිටින්නේ, සැක කටයුතු දෙමල ජනතාව ගැන මෙන්ම, හලාල් ලබා ගත් සිංහල පොන්න ව්‍යාපරකයින් මෙන්ම, සැක කටයුතු සියළුම ආගම් කෙරෙහි, බුද්ධි අංශවල අවධානය, තව තවත් යොමු කල යුතු බවයි. අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ, ඉස්ලාම්, හින්දු, බෞද්ධ, සිංහල දෙමළ, මුස්ලිම් කුමන කුලකයක වේවා, අන්තවාදයකට කිසිම ඉඩක් නොතැබිය යුතු බවයි. බොදු බල සේනා නීතිය අතට ගන්නේ නම්, මේ රටේ ආන්ඩු පත් කිරීමෙන් පලක් නොවන බවත්, පොලීසියේද අවශ්‍යතාවයක් නොමැති බවත්, ඉතා කනගාටුවෙන වුවද ලියා තැබිය යුතුමය. 

කතාව නියමෙටම පටන් ගන්නේ දැන්ය. අපි උපේක්ෂාවෙන් බලා සිටිමු. 

Tuesday, March 5, 2013

සුලෝහිත වලිය (Maroons Clash)



වසරේ අන්තර් පාසල් ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ වී තිබේ. මේ වසරේ පළමුවෙන්ම තිබුණේ සුලෝහිත සංග්‍රාමය හෙවත් ආනන්ද--නාලන්දා සංග්‍රාමයයි. ඒ 84 වන වරටයි. සාමාන්‍යයයෙන් වාර්ෂික ක්‍රිකට් සංග්‍රාම වලදී වැඩි අවධානයක් යොමුවන සංග්‍රාම අතරින් ප්‍රමුඛ තැනක් සුලෝහිත සංග්‍රාමයට හිමිවේ. ඒ කරුණු කීපයක් නිසාය. පළමුවෙන්ම ගත් කළ, සුලෝහිත මිත්‍රත්වය ලංකාවේ පාසල් ස්වල්ප ප්‍රමාණයක පමණක් දැකිය හැකි මට්ටමේ එකක් නිසාය. දෙවැන්න, සුලොහිතයන් පමණක් සැළකුවත් රටේ ක්‍රිකට් ක්ෂේත්‍රයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කළ පාසල් ද්විත්වය වන නිසාය. තෙවනුව, මේ පිටුපස ඇති දේශපාලන බලපුළුවන්කාරකම් නිසාය. 

දැන් සුලොහිතයන් ලෙස සැළකෙන්නේ ආනන්දය සහ නාලන්දාව පමණක් වුවත්, කලකට පෙර සත් සුලොහිතයන් සේ සැලකු පාසල් හතක් තිබිණි. ආනන්ද, නාලන්දා, අශෝක, ධර්මරාජ, මලියදේව, මහින්ද සහ ධර්මපාල යනු ඒ හතයි. කෙසේ වෙතත් අදවන විට සාමාන්‍යයෙන් සුලොහිතයන් යන නම යෙදෙන්නේ මේ පාසල් දෙකටය. 

සාමාන්‍යයෙන් බිග් මැච් කාලය පිස්සුම කාලයකි. කොල්ලන් මෙන්ම කෙල්ලන් ද පුදුම උන්මාදයකින් වැළඳ ගන්නා වූ සමයකි. වීරයන් මෙන්ම පජාතයන් ද බිහිවන සමයකි. හැට් කලෙක්ෂන්, බම්පි රයිඩ්, පෙරෙඩ්, රෝම්පේ ආදී නානාවිධ විසුක දස්සන සියල්ලම මේ කාලයට බලාගත හැක. කොළඹ පාසල් වල පෙරෙඩ් අතර මරුන් පෙරෙඩ් එක සාමාන්‍යයෙන් "පොෂ්" වන්නට උත්සාහ නොකරන බවට පිළිගැනීමක් තිබුණත්, මෙවර සුලොහිතයන්ද ඒ මතය උඩු යටිකුරු කරමින් පෙරෙඩ් එකට උපරිම ෂෝ එක දී තිබුණි. වෙනෙකක් තබා මෙදා පාර පෙරෙඩ් එකට සමහරු හෙලිකොප්ටර් පවා ගෙනවිත් තිබුණි. 



මෙදා පාර සුලොහිතයන් දෙපළම කරට කර සිටි බැවින් තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි කල් තියාම කවුරුත් දැන සිටියහ. සාමාන්‍යයෙන් තරුණ පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් පෑම අනාගතයේ ජාතික කණ්ඩායමට එකතු වීමට ලැබෙන ටිකට් එකකි. මෙවර ද කණ්ඩායම් දෙකම සිය උපරිමය පෙන්වීමට සියලුම සූදානම ගෙන සැරසී සිටියහ.

තරගයේ වාසිය යම් තරමකින් හෝ බර වූවා නම් ඒ නාලන්දාවටය. නවක ක්‍රීඩක ප්‍රමුද් හෙට්ටිවත්ත විසින් නොදැවී ලබා ගත් ලකුණු 103 තරගයේ හැරවුම් ලක්ෂ්‍යය විය. නාලන්දාව කඩුලු 5 කට ලකුණු 298 ක්  ලබා ගනිද්දී, ආනන්දය කඩුලු 5 කට ලකුණු 301 ක් වාර්තා කොට සිටියේය. ධනුක පතිරණ ලබාගත් ලකුණු 109 ඊට මහඟු පිටිවහලක් විය.

තරග බිමට නරඹන්නන් කඩා වැදීම සාමාන්‍යයෙන් ඕනෑම තරග වාරයක සුලබ දෙයකි. මෙහිදීද එහි වෙනසක් නොවීය. වරින් වර පාසල් ධජ රැගෙන පිටියට පිවිසුණු ප්‍රේක්ෂකයන් නිසා තරගය ඉදිරියට ඇදුණේ මන්දගාමීවය. සාමාන්‍යයෙන් කොල්ලන් පිටියට පැනීම අරුමයක් නොවේ. කෙල්ලන්ගේ තරගයක කෙල්ලන් පිට්ටනියට පැනීම ද සාමාන්‍යයය. එහෙත් මේ ලියන ලේඛකයාගේ දැනුම අනුව මේ වසර ගණනාවකටම, පාසල් තරග වාරයක, පෙම්වතුන් යුවළක් එකට පිට්ටනියට පනිනු දුටුවේ පළමු වතාවටය. 




තරගයේ අවසන භාගය වනවිට තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නොවැලක්විය හැකි බව පෙනී යමින් තිබිණි. නමුත් කාටවත් එහි එතරම් වගක් නොතිබුණේ තරගය සහ "ආතල් එක" දෙකක් බැවිණි. සාමාන්‍යයෙන් වාර්ෂික ක්‍රිකට් ගැටුම් වලට ආදී සිසුන් සහභාගී වන්නේ පළමුව බොන්නටය. දෙවනුවද බොන්නටය. තුන් වෙනුවද බොන්නටය. බෞද්ධ පාසල්, බෞද්ධ නොවන පාසල්, ගමේ පාසල්, නගරයේ පාසල් කියා වෙනසක් නැත. තරගය පැත්තකින් තිබියදී පිට්ටනියට පැන චියර් කරන පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වී, එහි උච්චතම අවස්ථාව උදා වුයේ තේ පානයෙන් අනතුරුවය. තරගය පවත්වාගෙන යාමට දුෂ්කර තත්වයක් උද්ගත වෙද්දී, තරගය අතහැර දැමීමට සංවිධායකයන් හට සිදු විය.

දවසේ අවාසනාවන්තම සිද්ධිය ඇරඹෙන්නේ එතැනිනි. කොහේදෝ එකෙකුට දෙන්නෙකුට කුලප්පු වීමෙන් හටගත් ආරවුල, අන්තිමේ කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරයක් දක්වා වර්ධනය වුයේ විනාඩි 15කටත් නොඅඩු කාලයකිනි. සිද්දිය අප කියනවාට වඩා බැලීම හොඳය. 





වලිය නරකය. එහි කතා දෙකක් නැත. එහෙත් කවුරු කවුරුත් බඹර පදමට දෙකක් ගෙන වැනෙන මොහොතක, එකෙක්ගේ සිගරට්ටුව අනිකාගේ අතේ වැදීම පවා වලියකට මුලකි. අනික වලියක් නැති බිග් මැච් එකක් කවදාවත් තිබුණේ නැත. තියේ නම් හොඳය. එහෙත් ප්‍රයෝගික නැත. මෙහිදී මතු කළ යුතු වැදගත් කරුණු කිහිපයකි.

1. වලිය ගියේ පිට්ටනියේ ය. ක්‍රීඩාගාරයේ නොවේ. වාතාශ්‍රයක් නැති, ආවරණය වූ, ක්‍රීඩාගාරයට ගෑස් බෝම්බ ගසන්නේ අහවල් එකකටද?
2. වලිය දා ගත්තේ සුළු පිරිසකි. (වීඩියෝව බලන්න) එහෙත් පොලිසිය පන්න පන්නා පහර දෙන්නෙ හැමෝටමය.
3. පොලිසිය ගහන්නේ කාට ද? යන්න හොඳින් බලන්න: එකෙක් අනිකාට ගහයි. ගහපු එකාට උගේ වටේ ඉන්නා උන් දෙකක් දී පැත්තකට දමති. පොලිසිය ගහන්නේ කාටද? වලි කාරයන්ටද, ශේප් කරන අයටද?

කෙසේ වෙතත් මාධ්‍ය මේ සිද්ධිය වවාගෙන කෑවේ ඉතාමත්ම ජුගුප්සා ජනක ලෙස බව නොකියම බැරිය. දැන් යුද්දේ නැති නිසා, සහ වාර්තා කළ යුතු දේ වාර්තා කරන්නට මාධ්‍යයට ඉඩ නොදෙන නිසා, මාධ්‍ය පෙළෙන්නේ බරපතල නිවුස් හිඟතාවකිනි. ඒ නිසා මේ සිද්ධිය හරියට හත් අවුරුද්දකින් හාමතේ හිටපු සිවල් රැළකට අලි කුණක් ලැබුණා සේ විය. සිරසක් නැති සිරස, නයි.ටී.එන්. සහ බොරූපවාහිනිය මේ සිද්ධිය පට්ට ගැසුහ. තවත් පට්ට ගසති. තවත් හිරිකිතයක් නැත. 

මාධ්‍ය වලට ප්‍රතිචාර:

වැදගත්ම දේ නම්, මේ සිද්ධියට පාසල් දෙකේ නිල සහ නිල නොවන මාධ්‍ය කණ්ඩායම් සහ ආදී සිසුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ඔවුහු කිසිවෙකු වෙත බෝලය පාස් නොකොට වරද පිළිගත් හ. එපමණක් නොව, සැබෑ සහෝදර පාසල් දෙකක් ලෙස එකිනෙකාට කණගාටුව ප්‍රකාශ කළහ. තුවාල ලැබුවන් (බහුතරයට තුවාල වී තිබුණේ වලිය නිසා නොව, පොලිස් ප්‍රහාර නිසාය) බලන්නට එකට ගියහ. එකට ගැටළුව විසඳා ගත්හ. ෆෙස්බුකියේ සියලු ආනන්ද-නාලන්දා කණ්ඩායම් මේ ගැටුම එක සේ පිළිකෙව් කළහ. වලිය එයින් ඉවර විය යුතුය සහ පාසල් දෙක අතර මිත්‍රත්වය ඊට වඩා වටිනා බව අනායාසයෙන් ම වටහා ගත්හ. ගැටුම් වැලැක්වීම කෙසේ වෙතත් ගැටුම කළමනාකරණය කිරීම ඉතාම ප්‍රශස්ත මට්ටමකින් සිදු කළහ. මෙය වැදගත් වන්නේ තරගයට පෙර සිටම "අහවල් පාසලේ උන්ට අරක නැත", "මේ පාසලේ උන් ගූ කන්නෝය", ආදී වශයෙන් අපහාස කරගැනීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව ඇති කාලයක ය.

මේ සිද්ධියට ප්‍රතිචාර ලෙස ෆේස්බුක් වෙබ් අඩවියේ පල වූ අදහස් කිහිපයක් පහතින් උපුටා දක්වමු.

"අපි සැමදා සහෝදරයන් වන්නෙමු. ඔබ නිවස තුලදීද සහෝදරයා සමග නිරත්තරයෙන් අඩ දබර කරගන්නවා ඇති. නමුත් ඒ කිසිදු දබරයක් අවසානයේ එය ජන්මන්තර බේදයක් නොවී සහෝදරත්වයෙන් තවත් බැදුන ආකාරය සැමගේ අත්දැකීමක් වන්නට ඇති. එවන් සහෝදරත්වයක් ඇති ආන්නද සහ නාලන්දා සහෝදරයන් තුලද දබර අවසානයේ සිතේ කහටක් නොතබාගෙන සහෝදරත්වයෙන් තවත් බැදී සැබෑ සහෝදරයන් සේ එක්ව සිට සැමට ආදර්ශයක් වනවා නොඅනුමානයි. මාධ්‍යයන් විවිධාකාරයේ පුවත් නිර්මාණය කලද අප එයට සහෝදරත්වයෙන් පිළිතුරු දී සැබෑ සහෝදරයන් සේ අත්වැල් බැද පෙරට යාමට පෙළ ගැසෙමු."



"අද දින කොළඹ SSC පිටියේදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම ගැන සියලු නාලන්දීයයන් වෙත ආදී ආනන්දීයයන් ලෙස කණගාටුව ප්‍රකාශ කරමු. මේ කතාව මෙතැනින් අවසන් විය යුතුවා පමණක් නොව, මේ කතාවේ මින් ඉදිරියට අනාගතයක් ද නොතිබිය යුතුය.අපගේ සහෝදරත්වය සැමදා පවතී .."

(මේ ප්‍රකාශයම නාලන්දයීයන් ද  මෙලෙසම ආනන්ද කණ්ඩායමේ ෆේස්බුක් පිටුවෙහි පළකොට තිබිණි)




"වලිය ඉවරයි. බලා සිටි ඔබ සැමට, වලිය මාකට් කරපු සැමට, අහක ඉඳන් හූ කියපු සැමට සහ මෝඩ චූන් ගත්තු සැමට බොහොම ස්තුතියි.. අයියල මල්ලිලා සේරම දැන් ගෙදර ගියා නම්! 


ප.ලි. අනේ බං කොල්ලනේ ලබන අවුරුද්දේ වත් මරානොගෙන හිටපල්ලා.. උඹලව චාටර් වෙනකල් කී දෙනෙක් නම් බලන් ඉන්නවද..
ප.ප.ලි. කොල්ලෝ ටික ගහගත්තට, පොලෝසියේ කෂ්ටිය කඳුළු ගෑස් ගහද්දි දෙගොල්ලොම කළේ වලිය පැත්තකින් තියල සෙට් වෙලා ගෑස් බෝම්බ ටික ඇහිඳලා ආපහු ගහපු එක, හරිය මල්ලි? (මෝඩ චූන් ගන්න උන්දෙලාට ඒ ටික කිව්වේ!) "



මේ තවත් ප්‍රතිචාරයකි.

"ආනන්ද - නාලන්ද දිනුවා ලක් දෙරණ තු ල
සිරසක් නැති සිරසක් හැදුවා සමගිය නසන්න ට
නොහැකිද සොදුර අප හඩවා දමන්න ට
දුටුවද දස පරපුරක් ඇත් බව සුභ පතන්න ට

වරක් දෙවරක් තෙවරක් හැඩුවා අප බෙදුන දි න
දස වරක් යලි එක් වුවා රණ බෙර වයන්න ට
රෑ පොත තුල සිතුවම් මැව්වා අප යලි බැදෙන්න ට
දෙපිලක් යළි හමුවූවා මව් බිමේ පෙර පිනක ට

ගොන් පරපුරක් ඇති බව සිතු මහ රා ජා
රඡ පරපුරක් ඇති බව නොදනී මහ රා ජා
දුටුවද රජතුමනි කේසර අපගේ මහ රා ජා
පිං බර මව් දෙපළගේ දරැවන් සවිමත් බව ගොන් රා ජා

ආනන්ද නාලන්දා සහෝදරත්වය සදා නොමියෙනු ඇත !!!

- නාලන්දා විද්‍යාලය (2011) ශිෂ්‍යයෙක්"

ලස්සනම කතාව කියා තිබුණේ ඩේලි නිවුස් එකෙනි. මීට වඩා තව කියන්නට දෙයක් නැත. 





සුබ සහ ජය!