logo banner

Sunday, May 26, 2013

ඉන්දරතන හිමි සහ අපි | Thero Indarathana and Us

එකම මාතෘකාව නැවත නැවත පට්ට ගැසීම අපේ සිරිත නූනත්, මේ මෑතක සිදු වූ සිද්ධිය වවාගෙන කෑමට සමහරුන් දරන කූට උත්සාහය පරාජය කරනු වස් මේ වචන ටික ලියා තබනු රිසි වෙමු. අවැසි කෙනෙක් වේනම් කලින් ලිපිය මෙතැනින් කියවිය හැකි ය. (ඒ වන විට මාධ්‍ය වාර්තා වල වැරදියට නම සටහන් ව තිබුණේ ඉන්දසාර හිමි ලෙස බව සළකන්න.)

ප්‍රස්තුතය

ප්‍රස්තුතය නම්, හැමෝම දන්නා පරිදි, මහනුවර ශ්‍රී සුගත විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් විසින්, පෙරේදා නුවර දළදා මාලිගාව ඉදිරිපිට කරන්නට යෙදුණු ගිනිතබා ගැනීමයි (හෙවත් සමහරුන්ට අනුව ජීවිත පූජාවයි). මේ ගැන අපට වඩා සවිස්තරව ලියා ඇති බොහෝ දෙනා වන නිසා ඒ ගැන පුන පුනා පැවසීමට වඩා ඒ සබැඳි ලිපි වලට පාර පෙන්නීම පහසු ය. 


ඉන්දරතන හිමිගේ අවසන් ලිපිය

ඔබ මේ වන තුරු දැක නැත්නම් උන් වහන්සේ ගේ අවසන් ලිපිය මෙතැනින් බලන්න.



මේ ලිපිය බැලීමේ දී, ඉතා හොඳ සිහියෙන් දෙවරක් බලන්න යැයි අපි ඔබට කියමු. මන්ද මේ කතාවේ අවසානයේ දී අපි නැවතත් මේ ලිපියට එන බැවිනි.

අප අපේ සංවාද කාරණයට එන්නේ දැන් ය. එනම්, මෙය සැබවින්ම ජීවිත පූජාවක් ද? 

බෝසත් සිරිත

බොහෝ දෙනා මේ සිද්ධිය බෝසත් සිරිත සමග සසඳා බලනු පෙනෙන්නට තිබිණි. එනම්, බෝසතුන් සස ජාතකයේදී සාවකු සේ ඉපිද, සිය ජීවිතය පූජා කිරීම සමගයි. අපි මේ කතාවේ ඇත්ත නැත්ත විමසමු. 

බෝසතුන් හෙවත් බෝධි-සත්ත්වයන් වහන්සේ කෙනෙක් යනු සම්‍යක් සම්බුද්ධ, පච්චේක බුද්ධ හෝ අරහන්ත බුද්ධ යන තුන්තරා බෝධියෙන් එකකින් සත්‍යාධිගමය ලබනු පිණිස පාරමී දම් පුරන කෙනෙකි. පාරමිතා දහයකි. එනම්, දාන, සීල, නෙක්ඛම්ම, පඥ්ඥා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෛත්‍රී, උපෙක්ඛා යනුයි. මේවා, පාරමී, උප පාරමී සහ පරමත්ථ පාරමී යනුවෙන් පුරන අවස්ථා තුනකි. පාරමී යනු පුද්ගලික දේපළ සහ අඹු දරුවන් පවා කැප කරගෙන කරන පිරීමයි. උප පාරමී යනු ශරීරාවයව පවා කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී යනු ජීවිතය කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. 

ඒ අනුව, පරමත්ථ පාරමී පුරන්නට නම් ඉතුරු අවස්ථා දෙකම සපුරා තිබිය යුතුය. එමෙන්ම, ජීවිතය කැප කරන්නේ දානය, සීලය වැනි කවර හෝ ඉහත දක්වා ඇති කරුණු දසයෙන් එකක් පිණිස විය යුතුය. එය බෝසත් චර්යාවක් වන්නේ එවිට ය. උදාහරණයක් ලෙස, සස ජාතකයේදී බෝසතුන් දිවි පිදුවේ, "මගේ ශරීර මාංශය තවෙකෙකු හට දානයක් වේවා!" යන චේතනාවෙනි. ඔහේ හිතුමනාපේ ජීවිතය පූජා කළාට බෝසත් සිරිතක් වන්නේ නැත. හරකුන් මැරීමට එරෙහි වීම හොඳ බව සැකයක් නැත. එහෙත් එමගින් සපිරෙන්නේ කවර නම් පාරමිතාවක් ද? 

සියදිවි නසා ගැනීම සහ ප්‍රාණඝාතය

සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් වන්නේ ද නැද්ද යන්න ගැන දැනටමත් කෙස් පැලෙන තර්ක ආරම්භ වී තිබේ. ඒ ගැන වාද කිරීමට සමර්ථකමක් අපට නැති හෙයින් අපි හුදෙක් කරුණු දැක්වීම පමණක් කරමු. 

ප්‍රාණඝාතයක් සිද්ද වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුය.
1. ප්‍රාණියෙක් බව දැනගැනීම
2. මරන චේතනාව පහළ වීම
3. මරන පිණිස උපක්‍රමයක් යෙදීම
4. උපක්‍රමය සාර්ථක වීමෙන් මරණය සිද්ධ වීම
5. ඒ බව දැනගැනීම

මෙහිදී කොහේවත් "තමාගේ" / "අනුන්ගේ" කියා බෙදීමක් නැත. සතිපට්ඨාන සුත්‍රයේ මෙම අජ්ඣත්ත-බහිද්ධ හෙවත් ඇතුළු-පිට (තමන්/අනුන්) විග්‍රහය දක්වා තිබේ. බුදු දහම අනාත්ම වාදයකි. හරියට බැලුවොත් තමා-අනුන් කියා දෙයක් නැත. ඇත්තේ එකම පංචස්කන්ධ පමණි. එසේනම් මගේ ප්‍රාණය සහ උගේ ප්‍රාණය කියා දෙකක් අතර වෙනසක් ද නැති විය යුතුය.

කෙසේ වෙතත් විනය මට්ටමින් මේ දෙක අතර වෙනසක් පවතී. තවත් මිනිසෙකුගේ ප්‍රාණය තොර කිරීම මනුස්ස විග්ගහ පාරාජිකාවකි. එනම් ඉතා බරපතල වරදකි; සිය දිවි නසා ගැනීම දුක්කටාපත්තියකි. සතෙකුගේ පණ නැසීම ඊටත් අඩු පාචිත්තිය ඇවතකි. විනය අටුවාව වන සමන්තපාසාදිකාවේ මේ ගැන සෑහෙන විස්තර දැක්වේ. 

නොදන්නවුන්ගේ දැනගැනීම පිණිස, පාරාජිකා ගැන ද යමක් කියමු. පාරාජිකා යනු "පරාජය වන්නේ ය" යන අරුත් දෙන වදනකි. එනම්, "මුල සුන් ගසක් මෙන්, කරටිය සිඳුණු තල් ගසක් මෙන්, යළි මේ ජීවිතයේ කවරදාකවත් චීවරයක් දැරීමට නුසුදුස්සෙක් වන සේ පැවිදි දිවියෙන් පැරද පලා යන්නේ යම් වරදකින් ද, එය පාරාජිකා වේ." පාරාජිකා වූ භික්ෂුවක් සාමණේරනම් උපසම්පදාව නොදිය යුතුය. උපසම්පදා වී ඇත්නම් සිවුරු හැරවිය යුතුය. එවැනි පාරාජිකා හතරකි. එනම්,

1. මෛථුන ධම්ම පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම
2. අදත්තාදාන පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් නොදුන් දෙයක් ගැනීම
3. මනුස්ස විග්ගහ පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් මනුෂ්‍ය ජීවිතයක් තොර කිරීම
4. උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව - භික්ෂුවක් නැති ලොවුතුරු ගුණ (උදා: නැති රහත් බවක්) පෙන්වීම

අදාළ පාළි පාඨ මෙතැනින්. 

සටහන: මේ අනුව අද වෙසෙන චීවරධාරීන්ගෙන් කී දෙනෙක් සිවුරු දැරීමට සුදුස්සෝ වෙත් දැයි ද ගැටළුවක් පැනනගී. 

විනය පිටකය අනුව නම්, සියදිවි නසා ගැනීම පාරාජිකාවක් නොවේ; ඊට වඩා අඩු, දුක්කටාපත්ති නම් වරදකි. දුක්කටාපත්ති හෙවත් දුකුලා නොවී සිය දිවි නසාගත හැකි අවස්ථා ද හතරක් තිබේ. 

1. බරපතල ලෙස රෝගී ව සිටින නමුත් බෙහෙත් / උපස්ථායකයන් නැති විට දී,
2. සුව නොවන ලෙස කල් පවතින රෝගයක් වැළඳ, උපස්ථායකයන් ද වෙහෙසට පත්ව ඇති විටදී,
3. මරණය වලක්වා ගත හැකිව තිබියදී, එය වළක්වන්නට කරන උත්සාහයේ දී ධ්‍යානය බිඳේ නම් එවිට දී,
4. ආහාර ගැනීම පවා බවුන් වැඩීමට ගන්නා උත්සාහයට බාධාවක් වේ නම් එවිට දී.

මේ කියන්නේ අප නොවේ.
"....උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වසකෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ... මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය...."  ~ රේරුකානේ චන්දවිමල හිමි, උපසම්පදා ශීලය

මේ අනුව, ප්‍රාණඝාතයක් වුණත් නැතත්, ඉහත දිවි නසා ගැනීම, විනයට අනුව පැහැදිලි වරදක් බව පෙනේ. 




ගෝධික තෙරුන්ගේ කතා වස්තුව

මෙයද බොහෝ දෙනා වරදවා ගන්නා උදාහරණයකි. ගෝධික යනු පිට පිට සයවරක් ධ්‍යාන වඩා ඒ සය වරම ධ්‍යානය රැකගත නොහැකිව ඉන් පිරිහී ගිය හිමිනමකි. මේ කෙරුවාව තවත් කරන්නට බැරිය, මෙවර නම් ධ්‍යානයෙන් පිරිහෙනවාට වඩා මරණය සැපයි කියා සිතු ගෝධික තෙරණුවෝ, දැලිපිහියක් ගෙන, ධ්‍යානයට එළඹෙනවාත් සමගම ගෙල සිඳ ගත් හ. එහෙත් ගෙල කැපී යත් ම දැනෙන වේදනාව අරමුණු වත්ම, මෙතෙක් කල් අවබෝධ කරගත නොහැකිව තිබූ චතුරාර්ය සත්‍යය උන් වහන්සේට අවබෝධ විය. වේදනානුපස්සනාව අරමුණු කළ උන් වහන්සේ එකෙණෙහිම සත්‍යාවබෝධය ලබා රහත් වුහ. මේ ගැන නොදන්නා මිනිස්සු, භික්ෂුවක් සිය දිවි නසා ගත්තේ ය යන කතාව පැතිරවූ හ. බණ පොතේ හැටියට මාරයා, ගෝධික තෙරුන් කොහි උපන්නේ දැයි නොදැක, අන් වෙසක් මවාගෙන බුදුන් හමුවට විත්, "ගෝධික කොයි ගියේ දැයි" විමසු බවත්, බුදු හිමි, "මාරය, ගෝධික තොපට සොයා ගන්නට බැරි තැනක නිවී ගියේ යැයි" කී ලු. 

මේ සිද්ධිය අනුව පැහැදිලි කරුණක් මතු වේ. එනම්, ගෙල කපා ගන්නට තීරණය කෙළේ පෘථග්ජනයෙකි. මරණය වන විට ඔහු රහතෙකි. ඒ අනුව, ගෝධික තෙරණුන් ගේ ක්‍රියාව හුදෙක් ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් සිදු වූ දෙයක් බවත්, ඒ පිටුපස කිසිම ලෞකික අරමුණක් නොතිබූ බවත් පැහැදිළිව පෙනේ. 

සිරිසඟබෝ සිරිත

මේ ගැන ද කියන්නට ඇත්තේ සස ජාතකය ගැන කී ටික මැයි. සිරිසඟබෝ රජු හමුවට ආ මගියා කියා සිටියේ, ඔහුගේ රාජ්‍යය පැහැර ගත් මල් බෑ තෙම, සිරිසඟබෝ යැයි සැකපිට මිනිසුන් දහස් ගණනක් මරා දමන සැටියි. සිරි සඟබෝ රජු ගෙල කපා දන් දෙන්නේ, තමාගේ හිස ලැබුණු පසු අර කී මනුෂ්‍ය ඝාතන නවතින බව සක්සුදක් සේ දැනසිටි බැවිනි. මිසක් මනුෂ්‍ය ඝාතන වළක්වපියවූ කියා උද්ඝෝෂණ කරන්නට නොවේ. 

ප්‍රායෝගික පැත්ත

දැනට දන්නා දත්ත අනුව ගත්කල අපේ ලංකාව තුළ දිනකට ගබ්සාවන් 500 කට වඩා සිදු වේ. රට වටකර ඇති මුහුදු තීරයේ මසුන් ටොන් ගණනින් මරා දැමීම සිදු කෙරේ. බෙල්ල කපාගෙන, කට කපාගෙන, මැරෙන මොහොතේ අවසන් හුස්මවත් හිමි නැතිවයි, මාළුවා මැරෙන්නේ. දිනකට මරා දමන ඌරන් ප්‍රමාණය 3000 ත් 5000 ත් පමණ වේ. කුළුගෙඩි පහර කමින් ඉහ මොළ පුපුරු ගසන තරමේ වේදනාවක් විදිමින් පැයකට අසන්න හෝ පැයකටත් වඩා මරුවා සමග පොද බදන ඌරන් වෙනුවෙන් ජීවිතය පුජා කිරීමට කිසිවකුත් නොමැත. දිනකට මරා දමන කුකුලන් ප්‍රමාණය ලක්ෂ ගණනින් මැනිය හැක. කුකුලන් මරා දමන සමහර ක්‍රම සිහි ගන්වන්නේ අපායේ වධ වේදනා ය. ගොවිකමේ දී දිනකට මැරෙන මදුරුවන්, මදුරු කීටයන්, කෘමීන් ආදිය ගැන ගණන් හිලවු වත් නැත. සත්තු සිටී වා! දිනකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි. මේ ගැන කතා කරන්නට කවුරුවත් නැත්තේ ඇයි? 

ලිපිය

අප ඔබට පොරොන්දු වූ පරිදි, මේ සූදානම් වන්නේ අර කී ලිපිය ගැන කතා කරන්නට ය. මේ අප ඔබේ සතිමත් බව පරීක්ෂා කරන මොහොතයි. සූදානම් වන්න!

පළමුව, මේ ලිපියේ දැක්වෙන ජීවිත පූජාවේ අරමුණු මොනවාද?

1. මේ ධරමද්වීපයේ ගව ඝාතනය නතර වේවා!
2. ත්‍රස්තවාද තුරන් වේවා!
3. බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ දී සම්මත වේවා!
4. බහුජාතික, බහුආගමික, සර්ව ආගමික බුදු දහම විනාශ කරන පූට්ටු නැති වේවා!
5. බෞද්ධ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය වේවා!
මේ කාරනා ඉටු නොවේ නම්, බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි.

මේ කරුණු ගැන දීර්ඝව කතා කිරීම පාඨක ඔබ වෙහෙසවීමකි. එහෙත් එය කළ යුතුය, මන්ද මේ සමස්ත සිද්ධියේ "බර" රඳා ඇත්තේ ඒ මත වීම නිසා ය. 

පළමුව, මස් කන්නන් සිටියදී, ගව ඝාතනය නතර කළොත් වෙන්නේ කුමක් ද? ගවමස් පිටරටින් ආනයනය කරන්නට සිදු වීම හැර අන් කවරක් ද? දැනටමත් ණය බරින් මිරිකෙන අප වැනි රටකට ඒ බර දරා ගත හැකි ද? අනික, මස් මරන්නෙත් නැතිව, ගෙන්වන්නෙත් නැතිව සිටීම, මස් කන්නට කැමති අයගේ සිවිල් අයිතියට කෙසේ නම් බලපායි ද? කාටවත් බලෙන් සිල් රක්කවන්නට බුදුන් ක්‍රියා කෙළේ නැත. 

දෙවනුව, ත්‍රස්තවාදය පරාජය කර ඇති නිසා ඒ ගැන යළි යළිත් මුන් වහන්සේ වදවීම අපට වටහා ගැනීම අපහසු ය. එබැවින් මේ කියන්නේ "ආගමික අන්තවාද" හෙවත් ජිහාඩ් වැනි විකාර ගැන වන්නට ඇතැයි අපි උපකල්පනය කරමු. ඒ ගැනනම් අපට ගැටළුවක් නැත. එහෙත් ඒ වෙනුවෙන් දිවි පිදීම ගැන අපට බරපතළ ගැටළුවක් ඇත. අප ජිහාඩයට එරෙහි වන්නේ ද එහි ඇති අන්තවාදී ක්‍රියා නිසා ය. ආගම වෙනුවෙන් ජීවිත පූජාව ද එවැන්නකි. අන්තවාද එපා කියමින් හිමිනමක් අන්තවාදී ලෙස දිවි පිදීම අප කෙසේ නම් අනුමත කරන්න ද? 

තුන්වෙනුව, ලංකාවේ කොහෙවත් බලහත්කාරයෙන් ආගම්වලට හරවන්නේ නැත.කෙරෙන්නේ ආර්ථික වාසි නිසා ආගම මාරු කිරීමයි. ආගම යනු සිවිල් අයිතියකි. එය මාරු කිරීම, තබා ගැනීම හෝ ආගම විසිකර දැමීම පුද්ගල අයිතියකි. සදාචාරත්මක නොවන ආගම්වලට හැරවීම ගැන අප ද එරෙහි වන නමුත්, මේ කියන පරිදි එය නෛතිකව ක්‍රියාත්මක කළ හැකි එකක් නොවන බව අපි හොඳින් ම දනිමු. අන්‍යාගමීකරණය හා සටන් වදින්නේ නම් එය කළ යුත්තේ බිම් මට්ටමිනි; හෙවත් ජනතාව අතරිනි. පාර්ලිමේන්තුවෙන් නොවේ.

සිවුවෙනුව, මේ හතරවන කාරණාව ගැන අපට කියන්නට දෙයක් නැත: එහි භාෂා භාවිතය ගැන පමණක් අවධානය යොමන්න. 

ඊළඟට: බෞද්ධ ව්‍යවස්ථාවක් යනු කුමක් ද? මත්පැන් තහනම් කරන එකක් ද? සත්ත්ව ඝාතනය තහනම් කරන එකක් ද? කුමක් ද? මේ සැරසෙන්නේ මේ ලංකාව ද, තවත් සෞදියක් කරන්න ද? ආගම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතු සීමාවක් තිබේ. ඒ සීමාව ඉක්මවා යාම බරපතල වරදකි. අපට අවැසි නීතියෙන් බෞද්ධ ලංකාවක් නොවේ: ප්‍රතිපත්තියෙන් බෞද්ධ ලංකාවකි. 

අවසානයට: මේ කියන බලවේගය කුමක්ද? දිව්‍ය බලවේගයක් නම් වන්නට බැරි ය. බලපෑම් කරන "බලවේග" කියා මේ කියන්නේ කුමක් ද යන්න වටහා ගැනීම අපට නම් අපහසු නොවේ. මරණින් මතු "බලවේග" හෙවත් යක්ෂ ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීන්ව උපදින්නේ ද්වේශයෙන් හෝ ලෝභයෙන් මරණයට පත් වන්නවුන් ය. මේ කියන්නේ මරණින් මතු එවැනි බලවේගයක් ව බලපෑම් කරන බව ද?  

බරපතලම කතාව එන්නේ මේ ලිපියේ දිනය නිසා ය.




මේ ලිපියේ දාතම සටහන් වන්නේ 2013 අප්‍රියෙල් මස 23 වන දින පස්වරු 03:29 වශයෙනි. සිද්ධිය සිද්ධ වුයේ මැයි මස 24 වන දින ය. එනම්, මේ සිද්ධිය සිද්ධ වන්නට මසකට පෙර ද මේ සියල්ල ලියා ඇත්තේ? 

සටහන: ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නිසා ද මෙසේ විය හැකි බවට පාඨක ඔබ දැනුවත් කිරීම අපේ වගකීමකි.

ජාතික හෙළ උරුමයට අනුව නම්, උන් වහන්සේ එහි මන්ත්‍රී ධුරයක් හෙබවූ කෙනෙකි. ඔවුන්ට අනුව නම්, ඒ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් උන් වහන්සේ පක්ෂයෙන් නෙරපන ලද්දේ මැයි මස 10 හෝ ඊට ආසන්න දිනක ය. එහෙත් ඊට පෙර, උන් වහන්සේ සිය පක්ෂයට කළ නිසි දැනුම් දීමකින් තොරව, සිංහල රාවය සංවිධානයට බැඳීමට ක්‍රියා කර ඇති බව ද දැන් දැනගන්නට තිබේ. ඒ ගැන ක්‍රියා කෙළේ කෙසේ ද යන්න ගැන මේ වනතුරු දැනගන්නට නැත. හෙළ උරුමය දැන් කියන්නේ ඔවුන් මේ සිද්ධිය ගැන කිසිවක් නොදන්නා බව ය. නමුත් ඔවුන්ගේ "නොදන්නාකම" මෙන්න මේ ප්‍රකාශයෙන් පෙනේ.



සිංහල රාවය සංවිධානය, මෙරට ජාතික සංවිධාන අතරින් සෑහෙන දැඩි ඉදිරිගාමී පිළිවෙතක් ඇති සංවිධානයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට පෙර ද, නාවල කොස්වත්තේ පවත්වාගෙන ගිය එක්තරා සාස්තර පොළකට කඩාපැන, බෞධයන්ට අපහාස වන අන්දමේ පිළිම සහ දේවරූප තිබුණේ යයී චෝදනා කරමින් බයිබල් පොළොවේ ගසමින් යකා නටමින් කළ විකාරය අපට මතක තිබේ. බුදු පිළිම සමග එක මට්ටමේ දේවරූප තැබීම නීතියට අනුව වරදක් නොවේ. අනික පාරෙ දුවන බස්රථ දහයක් ගත්තොත් නවයකම බුද්ධ රූප සහ දේවරූප එකම රාමුවේ ය අලවා ඇත්තේ. එහෙනම් ඔවුන්ට තිබුණේ පාරෙ යන බස්රථ වටලන්නට ය. ෆැෂන් බග් සිද්ධියේ වගකීම ද අවසානයේ මාරු කරන ලද්දේ සිංහල රාවයට උදව් කළ හිමි කෙනෙකු වෙත බව අපට අමතක නැත. 

මේ අනුව, මේ දිනය නිවැරදි නම්, එනම්, ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නොවේ නම්, මේ සිද්ධිය ගැන සිතන්නට තවත් බොහෝ දේ තිබේ. 

අපට කළ හැක්කේ කරුණු දැක්වීම පමණි. ඔබේ මතවාදය සකස් කරගැනීම ඔබේ කාරියකි.

46 comments:

  1. බත් පතේ මස් කෑල්ලට නේද මේ හැටි ...?

    ReplyDelete
    Replies
    1. කෑම පංගුවේ මස් ටික බේරගන්න මේ දරණ උත්සාහය අගනේය.

      Delete
    2. නිෂ්ඵල තර්කයකි: ලියන්නා ද පූර්ණ නිර්මාංශිකයෙකි.

      Delete
  2. ඔහේගේ පහුගිය ළිපියට මම දාපු කොමෙන්ට්ස් එකක්වත් නෑ. සමහර් විට ස්පෑම් ගොඩේද දන්නේ නෑ. ඒවාත් නැත්නම් කොමෙන්ට්ස් දැමීමෙන් පලක් නෑ..

    මාතලන්...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මාතලන්.. ස්පෑම් වෙලා තමා.. Wordpress වලට පුරුදු වෙලා හිටපු මට බ්ලොගර් interface එක තාම හුරු නැහැ..

      Delete
  3. අගනා තර්ක ගොන්නකි. තවත් හොඳ සංවාදයක් ඇතිවේවි.එකඟ මෙන්ම එකඟ නැති තැන්ද ඇත. දිගින් දිගටම එකම තර්කය ගොඩනගීමද නිෂ්ඵලය. ලිපිය ගැන නම් තව වරක් සිතාබැලිය යුතුමය. ස්තුතියි සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන ආයෙ ලියන්නෙ නැහැ සහෝ. මේ, මේ මාතෘකාව ගැන ලියන අවසාන වතාව. මේ ටිකත් නොලියා ඉන්නයි මුලින් හිතුණෙ. නමුත් සමහරුන් දහම තමන්ට ඕනෑ ඕනෑ අයුරින් විග්‍රහ කරනු දැකීම නිසයි මේ ටික ලියලම ඉන්න තීරණය කළේ. මීට පෙර මේ වගේ එකම මාතෘකාවක් ගැන ලිපි කීපයක් ලීව එකම වතාව තමා "හලාල්".

      Delete
  4. අපි දැන් කරන්නෙ ඒ හාමුදුරුවන් අපි අදහන මතය ඔප්පු කරන්න පාවිච්චි කරන එක, ප්‍රසිද්ධියේ සහ හිත ඇතුලෙන් , එක තමයි අපි හෑමෝම කරන්නේ ,

    ReplyDelete
    Replies
    1. අප පමණක් නෙමේ, ඒ හාමුදුරුවෝ වුණත් කළේ ඒ දේ ම නෙවෙයි කියන්න පුළුවන්ද?

      Delete
  5. ඉහත ෆැක්ස් ලිපිය අනුව ඉන්ද්‍රරතන තම ජීවිතය "දළදා වහන්සේට පූජාවේවා" යයි කියා ඇත. දළදා වහන්සේට බිලි පූජාවක් කල පළමු අවස්ථාව මෙය විය යුතුයි. මෙවන් දෑ කිසිදු බෞද්ධයෙක් අනුමත නොකල යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔබේ තෙවන ලිපිය හෙවත් මීට පෙරද මුන් වහන්සේ සිය දිවි නසා ගන්නට තැත් කිරීම පිලිබඳ ලිපිය දුටුවා. වටිනා සොයා ගැනීමක්. අන්න ඊට සබැඳියක් ලිපියේ මුලට යොදා ඇති.

      Delete
  6. මා ද නිර්මාංශ අනුභව කරන්නෙක්මි. නමුත් ඒ ප්‍රතිපත්තියක් හැටියට නොවේ. යම් විටක මට මාංශාහාර හැර වෙන යමක් නැතොත් එය ගන්නෙමි. කිසි දිනක මිලදී ගෙන මාංශාහාර නොබුදිමි. නමුත් ඒ මමය. මගේ දියණියට ඇවැසි විට ලබා දෙමි. බිරිදට ද එසේය. ආහාරය යනු ආහාරයයි. ඉන් ජීවය පවත්වා ගැනීම හැර වෙන අන් යමක් මම බලාපොරොත්තු නොවෙමි. කුසගින්න ඇති විට කුමක් හෝ ඇති දෙයක් බුදිමි. එසේ විනා අන් යගේ ආහාර ගැන මට කමෙක් නැත. උන් බුදින්නෙ මසද මාලුවද අපට කිම. මේ රටට වන්නේ කුමක්දැයි මට නම් නොතේරේ. මේ යන්නෙ භ්‍යානක ගමනක් බව නම් වැටහේ. මේවායේ අතුරු ප්‍රතිඵල විදින්නට වන්නේ අපේ දරුවන්ටය. මට ඇති දුක එයයි.

    ඔබේ ලිපිය අංග සම්පූර්ණ ලිපියකි. එයට යම්ක් එක් කළ නොහේ. ඉතාමත් වටිනා දෙසකට මේ කතිකාව ඔබ විසින් යොමුකැරැතැයි මට සිතේ.

    ReplyDelete
    Replies
    1. කතිකාව අවසන් කරන්නට පෙර, නිර්මාංශ මිථ්‍යාව ගැන ද ලිව යුතුම යැයි සිතෙනවා.

      Delete
  7. ආයේ මොනා කියන්නද කියන්න ඕන ඔක්කොම ටික නියමෙටම කියල.

    ReplyDelete
  8. පැහැදිලිවම නුඹ නියම ගැටළුව නොපෙනෙනා මෝඩයෙකි.
    මෙහි සිටින බොහෝ දෙනාද එවැන්නන්ම වෙති.

    නුඹ හරක් මස් කන්නේද නොකන්නෙද යන්න අපට ගැටළුවක් නැත.
    අසරණ සතෙක්ව අහාරයට ගැනීම සදහා කොමෙන්ට් කිරීමේ චේතනාව යහපත් වන්නේ කෙසේද යන්නත් අපට අදාල නැත.

    * අපට ඇති ගැටළුව වන්නේ 80% සින්හහල සහ 70% බෞද්ධයන් වෙසෙන මෙම රටෙහි මෙවැනි ගැටළුවක් විසදා ගැනීම සදහා හාමුදුරු නමකට දිවි පුදන්නට සිදු වීමය.

    * අපට ගැටළුව වන්නේ උන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් අනතුරුව අපේ ගොන් තඩි සින්හලයන් එහි හරි වැරැද්ද සෙවීමයි..

    * අපට ඇති ගැටළුව වන්නේ සින්හල රටේ ඉල්ලීම් දිනා ගන්න මෙලෙස වූ කල තව කාලයකින් අප දරුවන්ට කුමක් වෙයිද යන්නයි..

    * අපට ඇති ගැටළුව වන්නේ උඹලා බලන්නේ සින්හල කමක් නොගෑවූ වෙන ජාතියක මනසකින් යුතුව වෙන හෙයිනි.

    * අපට ඇති ගැටළුව වන්නේ නුඹලා වැනි ගොන්නු නිසා ජාතියක් විනාස වන බැව් දැකීමෙනි.

    දිවි පිදීමේ හරි වැරැද්ද සොයනා නුඹට කිව යුත්තේ බෞද්ධ ඉතිහාසයේ දිවි පිදූ උන් නැති නන් හෙළ ඉතිහාසයේ නැද්ද බලපල්ලා කියලයි.

    තමන්ගේ පරමාරථය සදහා නොව අන්‍යන්ගේ පරමාර්ථය උදෙසා දිවිදුන් එම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ දිවි පිදීම නුඹලා වැනි කුහක සින්හහල පරයන් ඉදිරියේ නිශ්ඵල බව දැකීම ඉතාමත්ම කණගාටු දායක වේ..

    අපේ රටේ අපේ කියා කිසි දෙයක් නැත. කොටින්ම අපිත් නැත..



    ReplyDelete
    Replies
    1. මම දැක්ක උබ මේ comment එක හැම තැනම දාල තියෙනවා. කරුණාකරලා මේ ලිපිය අපහු මුල ඉදල කියවල බලන්න.ගෝත්‍රික සමාජයට කැමති අයට යන්න පුළුවන්. ඒත් අනිත් එවුනුත් දක්කාගෙන යන්න හදන්න එපා.

      Delete
    2. නුඹ ගෝත්‍රික සමාජය ය‍යි කියන්නේ අපේ ඉතිහාසයටද?
      එසේ නන් නවීන සමාජය යනු නුඹලා දැන් වෙසෙන සමාජයද? පිළිගන්න පුළුවන් එක දියුණු ලක්ෂණයක් දෙනවද නුඹ කියවන ඔය ගෝත්‍රික නොවන සම්මජයේ.
      නුඹේ ඔය දියුණු සමාජ ක්‍රමය පිළි ගන්න සංස්කෘතිය මොනවගේ එකක්ද?

      ඉහත දෙසා බා ඇති කරුණු හරි යැයි සිතමු..
      රිදෙන්නේ මුස්ලිම් මිනිහටද? ක්‍රිස්තියානි පරදේශ්ක්කාරයාටද? ඇමරිකන්, ජපන්, චීන, දෙමළ ජාතිකයෙක්ටද?
      නැත්තන් සින්හල බොදුනුවන්ටම පමණකද?
      ඒකද උඹලගෙ නවීන සමාජෙයෙන් පෙන්නන්නෙ.

      නබි තුමාට හදපු වීඩියෝ එකට විරුද්ධව ලෝ පුරා පෙළපාලි දැක්කද? ඝාතන දැක්කද?

      පාප්ව අනුකරනය කරපු ගැහැනු ළමයෙක්ට කියපු කරපු දේවල් දැක්කද?
      ඒවුන් උඹලගෙ සමාජෙ නෙවෙයිද?
      එතකොට උඹලද ගෝත්‍රික අපිද?

      උඹල හපන චුයිම්ගන් එක හැමදාම හපපල්ල.
      උඹලම වෙනුවෙන් කැප කිරීමක් කරන මනුස්සයෙක්ගෙ වැරදි හොයල උඩ බලාන කෙළ ගහගන්න තරම් උඹල මෝඩද?

      හරක් මරණ එක තහනම් කිරීම 2005 ඉදන් සම්මත කර ගන්න බැරි උනේ උඹල වගේ මස් කන උන් නිසා නෙවේ ගොනෝ.

      ඕක තහනන් කරන්න පුළුවන් උනොත්
      අධ්‍යාතමකව ඉතාමත් දියුණු බුද්ධිමත් ලස්සන සංස්කෘතියක් ආරම්භයට මුල් ගලක් වෙන්න පුළුවන්, මත් පැන් ආදි ජහ ජරාව නොගන්න ජාතියක් බිහිවෙන්න පුළුවන් කියල උඹලගෙ නවීන සමාජෙ හදපු ඈයො දන්නව.

      අන්න ඒකයි ඒ.
      මස් කකා බාර් වල ලගින උන්ට ඕව තෙරෙන්නෙ නෑ..
      මනුස්ස්ය මැරුණෙ ඇයි කියල කථා කරපල්ල.
      උන් වහන්සේට අපවත් වෙන්න උනේ ඇයි.????




      Delete
    3. ඔබ හිතන්න ඕන හැටි හොදට පුරුදු කරපු ගිරවෙක් විතරයි. ඔය වචන set එක ඔය විදිහටම කාලයක් තිස්සේ ඇහෙනවා.බුද්ධ ශාසනය විනාස කරන්නේ තම්බි වත් කතෝලිකයොත් නෙමෙයි ඔය වගේ අන්තගාමී විදිහට හැසිරෙන කට්ටිය තමයි. මිනිස්සුන්ට ගුණධර්ම බලෙන් පුරුදු කරවන්න බැහැ.ඇස් ඇරලා බලපල්ලා මහලොකුවට ථෙරවාදය පිරිසිදු බුදුදහම කියා කියා උඩ පැන පැන නැටුවට අදටත් ලොවම පිළිගන්නා බෞද්ධ නියෝජනය දලයි ලාමා තුමයි. ඒ එතුමන්ලා බුදුදහම ජීවන දර්ශනයක් කරගත්ත හින්ද ඉස්සෙල්ල තම තමන් ගුණධර්ම පුරන එකයි කරන්න ඕන.බුදුහාමුදුරුවොත් ආදර්ශයෙන් තමයි මුලික උනේ.අනුන්ගේ ක්‍රියා නවත්තන්න ගිහිල්ල පණපිටින් දළදා මාලිගාව ගව බිලිපූජා තියන එක නෙමෙයි කරන්න ඕන.මේකෙන් පෙන්නේ ආධ්‍යාත්මික අවබෝධයේ හීන බවයි.ඔබ මා මාංශ භක්ෂකයෙකු හා බෙබෙද්දෙකු බව අනුමාන කල හැටි දැකල හිනා ගියා.සත්ව ඝාතනයට මමත් හදවතින්ම විරුද්ධයි.එත් මේ වගේ ගෝත්‍රික ක්‍රියා සමාජය තුල ස්ථාපනය වන්නේ නරක පුර්වදර්ශයන් ලෙසයි.එම කියාමාර්ගයටයි ඒක විකුණලා පැවැත්ම හදාගන්න දගලන උනේගේ කියාමාර්ගයටයි මම තරයේ විරුද්ධයි.අනුන් වපුරන මතවාද ගිරව් වගේ දොඩවන අයගෙන් මීටවඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ.නැවතත් කියන්න තියෙන්නේ ආපහු මේ ලිපිය මුල ඉදල බලන්න කියල විතරයි.

      Delete
    4. ****ඉහත කොමෙන්ටුවේ ///පණපිටින් දළදා මාලිගාව *ගව බිලිපූජා තියන එක///
      යන්න "පණපිටින් දළදා මාලිගාව *ගාව බිලිපූජා තියන එක"
      ලෙස වෙනස් විය යුතුය

      Delete
    5. මේ සිංහල අපගෙ රටයි
      අප ඉපදෙන මැරෙන රටයි....

      Delete
    6. මේ ඇනෝ කවුදැයි මම හොඳින්ම දනිමි. පිළිතුරු නොදෙන්නේ බියකට වත්, දෙන්නට පිළිතුරු නැතිකමට වත් නොවේ. පිළිතුර දරා ගන්නට පෙර ඔබ ඔබේ ආවේගය නිවා ගත යුතු බැවිනි. හැකිනම්, බුදුන් වහන්සේ නිර්මාංශිකව සිටි බවට එකම එක සාක්ෂ්‍යයක් හෝ දෙන්න. අපි එවිට කතා කරමු.

      Delete
    7. නුඹ් මෝඩයෙකි.
      එය සම්පූර්ණ ලෙසම නුඹට ගැලපේ..
      කුමක් නිසාද යත් මෝඩයන්ට පෙනෙන්නේ තමන්ගේ අතේ දුර පමණි..
      ඉන්දියාවේද උඹ වැනි මෝඩයින් සිටින්න්ට ඇත.
      නෙපාලයේද, බංගලඉදේශයේද, ඇෆ්ඝනිස්තානයේද සිටින්න්ට ඇත.

      Delete
    8. නැවතත් බුදු දහම සහ සින්හල සංස්කෘතිය පටලවා ගැනීමෙන් ඒ බව පැහැදිලිවේ..

      Delete
    9. දලයි ලාමා තුමා බටහිර රටවල එකම බුද සංකේතය වෙලා තියෙන්නේ උන්ට බුදු දහම තෙරෙන නිසා නොව දලයි ළමා තුමා හරහා චීනයට පහර දීමට හැකි නිසා පමණි. සිංහල මිනිස්සු හරක් මස් නොකන්නේ ආගමික හේතුවකට වැඩ සංස්කෘතික හේතුවකට නිසා බව ඔබට නොවටෙහෙන්නේ ඔබ බටහිර ඇසින් මෙම ප්‍රශ්නය දෙස බලන බැවිනි. ඇත්තටම කිඋවොත් ඔබත් මමත් දෙදෙනාම ගිරවු වෙමු.වෙනසකට ඇත්තේ ඔබ ගිරවෙක් බව ඔබ නොදන්නාකමයි.

      Delete
    10. http://medamidula.blogspot.com/
      meka neda.

      Delete
    11. සයිකෝ ඩයල් එකක් ගිනි තියා ගත්තාම අපිට පාන්ද...?...

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. පැරැණි සකු බසින් "හරකුන් සොයා ඇවිදින්නා" යන අරුත් දෙන නමකින් පෙනී සිටිමින්, "පැරැණි වලවූ වල ගෘහ නිර්මාණ අංගයක නමක්" දරන බ්ලොග් එකක් ලියන, "පැණි පිරුණු හක්ගෙඩිය" යන සැබෑ නම හිමි, මේ ඇනෝ වෙත කියන්නට ඇත්තේ ඔබේ අසහනය වෙනත් තැනක පිට කර ගන්නා ලෙසයි. ඔබට රිසි සේ මළපහ කරන්නට මෙය ඔබේ නිවසේ වැසිකිළිය වත්, ඔබට රිසි සේ ලිංගික පීඩනය මුදා හරින්නට මේ ඔබේ පියඹගේ ස්ත්‍රී නිමිත්ත වත් නොවේ. මේ ඔබට කරන අවසාන දැනුම් දීමයි.

      Delete
    2. http://medamidula.blogspot.com/
      meka neda.

      Delete
  10. Personal insults to third parties will be removed without hesitation. Repeated offense will lead to trace and/or blockade of IP Address.

    ReplyDelete
  11. බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
    අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්
    පුපුරන්නෙය කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති
    සිංහල කොල්ලකු අය්යෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්
    දෙව්රජුනේ ලක රක්නා

    ජාතික ආලෙහි ජීවනගා කිරි
    දී වෙඬරූ රස දුන්නූ
    මේ ලක ගොයි මහගේ සතු සම්පත
    කොයිබද ඒ කිරි දෙන්නූ
    කාමුක නීච සිරිත් පුරුදු කර
    උන් මරලා ගිල දැම්මෝ
    මේ එක දේම නොවේද අහෝ අද
    ජාතික හානියෙ හේතු

    එස් මහින්ද හිමි

    ReplyDelete
    Replies
    1. කිරි දෙනුන් මැරීම ගැන අපෙත් මහින්ද හිමිගේත් මතය එකයි; එනම් කිරිදෙන හෝ ගැබිණි සතුන් මැරීම සපුරා තහනම් කළයුතු බවයි.

      Delete
  12. මෙම අර්බුදය (ඉනුද්‍රරතන හිමි ඝාතනය ,මා දක්න්නේ ඒය ඝාතනයක් ලෙසය) අැතිවු අවස්තාවේ සිට කියවීමට ලැබුනු ලිපි බොහොමයක් අතුරින් ඔබේ ලිපි දෙක (මෙම ලිපිය සහ මීටපෙරදැමු ලිපිය) ඉතාමත් සාරගර්භ ලිපි දෙනන් ලෙස මට පෙනේ. සියළුම දේ නීතිය මගින් කලහැකියයි සිතාසිටින පුහුදුන් මිනිසුන් ගේ අදහස් වෙනස් කිරිමට නොහැකි වුවත් ඔබගේ උ.්සාහය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. මෙය ඝාතනයක් විය හැකිය යන මතයත් අපේ සිතේ තිබෙනවා කීර්ති. ඒ ගැන ලියන්නට තරම් සාක්ෂියක් නැති නිසයි නොලියන්නේ.

      Delete
  13. මම මේ බ්ලොග් එක දැක්කේ අද. තියෙන සේරම කොනක ඉඳන් කියවන්න ඕනි. කොමෙන්ට් එක ලිපියට අදාළ නැති වීම ගැන සමා වෙන්න. මේ බ්ලොග් එකට එද්දී අවාස්ට් එකෙන් වෝනින් එකක් එනවා http:// slickcounterdownloads . net/6262587-A75690B83B69D307B4DC567C247F16C5/counter.img ? theme කියල ඉන්ෆෙක්ට් උන සයිට් එකක් ලෝඩ් වෙන්න හදනවා කියල. මේ වයිරස් එක අයින් කරලා ප්‍රශ්නය විසඳන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න චතුර, මේ ගැටළුව එන්නේ AVG සහ Kaspersky වයිරස් ආරක්ෂක සමග පමණයි. මේ අඩවියට පැමිණෙන උදවිය පැමිණෙන වාර ගණන ගණින්නට සහ පැමිණ ගත කරන කාලය මනින්නට මෙහි විජට්ටුවක් යොදා තිබෙනවා. සැබෑවටම ලිපිය කියවන්නන් සහ ඔහේ පැමිණ යන්නන්, අප වෙන්කර හඳුනා ගන්නේ එලෙසයි. මේ ගැටළුව එන්නේ ඒ නිසා. 6262587A75690B83B69D307B4DC567C247F16C5 යනු අපේ අඩවියට අදාළ GUID/PID ද්විත්ව ලිපිනයයි. වෙනත් හානිකර දෙයක් නොවේ. අඩවියේ අන්තර්ගතය ගැන අප වගකීම භාරගන්නට සූදානම්.

      Delete
  14. හරකාගේ පනත් හාල්මැස්සගේ පනත් එකමය,

    ReplyDelete
    Replies
    1. නේපාලය හින්දු රාජ්‍යයකි. ලෝකයේ හින්දු ආගම රාජ්‍ය ආගම වූ එකම රටද නේපාලයයි. මේ රටේ ගවයන්ට සලකන්නේ දෙවියන්ට මෙනි. එළ ගවයකු පාරක්‌ මැද හිඳ සිටින විට ඌ ඉවත් නොකර වාහන සහ මිනිසුන් ඌ වටා ගොස්‌ තම ගමනේ ඉතිරි ටික යති. මේ සියලු පුද පූජාවලට හරියන්නට ඒ රටේ ජනයාට වන්දි ගෙවන්නේ මී හරක්‌ය. නේපාලය තුළ මී හරකා පූජනීය සතකු නොවන අතර මස්‌ පිණිස ඌ බහුල වශයෙන් මරණු ලැබේ. Editor - Divaina

      Delete
  15. ගව ඝාතනය තහනම් කර ඕස්ටේ්‍රලියාවෙන් ටින් කළ ගවමස් ආනයනය කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්---

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.4.00) ගව ඝාතනය නැවැත්වීමට උද්ඝෝෂනය කිරීම පිටුපස ඕස්ට්‍රේලියාවෙන් ටින්කළ ගව මස් ගෙන්වීමේ ව්‍යාපාරයක් ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසයි. චීවරධාරියෙක් ගිනි තබා ගැනීම දඩමීමා කරගෙන ආණ්ඩුව විශාල කොමිස් ගැහිල්ලක් බලාපොරොත්තුව මෙසේ කිරීමට යන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ කීවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    හරක් මස් කඩ වසා දැමීමෙන් මස් හිඟයක් ලංකාවේ ඇති වීම අනිවාර්ය වන අතර සංචාරක ව්‍යාපාරයට ද එය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. ඒ තත්ත්වය යටතේ ටින්කළ හරක් මස් ආනයනය කිරීමේ ව්‍යාපාරයට විශාල පිටුවහලක් ලැඛෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. නුඹ වැනි ගවයන් සිටිනතාක් මස් අර්බුදයක් පැන නොනගිනු ඇත යනු අපගේ අදහසයි

      Delete
  16. ===============
    දුක්කටාපත්තිය හා පාරාජිකා
    ===============
    ''න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං,යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස''
    "මහණෙනි, සියදිවි නසා ගැනීම නොකල යුතුය.යමෙක් එසේ හානි කරගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ."
    යනු එහි අදහසයි. "අනුන්ගේ" ජීවිතය නැසීමෙන් "පාරාජිකා" වන්නාක් මෙන්,
    ප්‍රපාත වලට පැනීම ආදියෙන් "සියදිවි" නසා ගැනීමෙන් "පාරාජිකාපත්ති නොවේ".
    .
    උඩසිට බිමට පැනීම,දියට පැනීම, වාහන එන මගට පැනීම, වස කෑම, ගින්නට පැනීම,ශරීරයට ගිණි දල්වාගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට "දුකුළා(දුක්කට)" ඇවැත් වේ. <-----
    දීර්ඝ කාලයක්පවත්නාඅවූ යම් දරුණු රෝගයක් ඇති භික්ශුවක් නිසා උපස්ථායකයන්ට බොහෝ වෙහෙසෙන්නට සිදු වේ නම් උපස්ථායකයෝ රෝගියා පිලිකුල් කෙරෙත් නම් මේ කරදරය කවදා කෙළවර වේදැයි සිතත් නම් ප්‍රතිකාර කලද මේ ආත්මය නොපවත්නේය, මා නිසා උපස්ථායකයෝ වෙහෙසෙත්ය යි සිතා ආහාර ප්‍රතික්ශේප කොට සිටීමෙන් "ඇවැත් නොවන" බව අටුවවෙහි දැක්වේ. සසරට තදින් කළකිරුණාවූ භික්ශුවක් ආහාර සෙවීම හා වැළදීමෙත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සදහා ආහාර ප්‍රතික්ශේප කිරීම "සුදුසු" බවද අටුවාවෙහි දක්වා ඇත.
    මේ වරද කළ මා මැරෙනවාය "මේ දෙය නුදුන හොත්" මේ දෙය නොකළහොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය.
    ~රේරුකානේ චන්දවිමල හිමි, උපසම්පදා ශීලය
    http://www.scribd.com/doc/36262698/20-Upasampada-Sheelaya-උපසම්පදා-ශීලය
    -------------------
    ඉහත සදහන් වූ දුකටාපත්ය හා පාරාජිකා ඇවැත් ප්‍රභලත්වය සැසදීම
    -------------------
    ප්‍රාතිමෝක්ෂයට අනුව උපසපන් භික්‍ෂූන් සිදුකරන ආපත්ති ව්ලට ලැබිය යුතු දඬුවම්වල ස්වභාවය.

    1. ජෙද්‍යගාමිනි (සසුනෙන් පහකිරීම තරම් බරපතල වැරැදි)--> පාරාජිකා පත්තීන්.

    2. උට්ඨාන ගාමිණි (දඬුවම් ලබා පුනරුක්ථාපනය විය හැකි අපරාධ)-->සංඝාදිසේස.

    3. දෙසනාගාමි (වරද ප්‍රකාශ කොට පිරිසුදු විය හැකියි) --->
    i)ථුල්ලවය (මහා වරද)
    ii)පාචිත්තිය (පව් රැස් කිරීම)
    iii)පටිදෙසනීය (ගැරහිය යුත්ත)
    iv)දුක්කට (නොනිසි සේ කරන ලද්ද)
    v)අබ්බාසිත (නොනිසිසේ කියන ලද්ද)
    -------------------
    "අනුන්ගේ" ජීවිතය නැසීමෙන් වන "පාරාජිකා" ඇවැත සමග දුකටාපත්ය කෙතරම් කුඩා ඇවතක්ද යනවග සංසංදනය කරගන්න.
    -------------------

    ඉතා අල්පේඡ්ච දිවියක් ගතකල බෝඅත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් සිදු කලේ දුකටාපත්යක්ද, ජීවිත පූජාවක්ද යන්න මැන බලන්න යන්නේ නැත. ගිහියන්ට සංඝයාවහන්සේ මැනබැලීමට නොහැකි බවත් කාසාය කණ්ඨක සූත්‍රයෙන් දේශනා කර ඇත. තවද බුදුන්වහන්සේ සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියෙක් අරමුණු කර ඊට හේතු පැහැදිලි කර දෙන්නේ ඔහු පෙර භවයක අබුද්ධෝප්පාද කාලයක රාජකුමාරයෙක්ව සිටියදී පසේ බුදුන්වහන්සේනමක් වස්ත්‍රයක් පොරවගෙන පැමිණි මොහොතේ දැක පසේ බුදුන්වහන්සේනමක් බව "නොදැන" මේ හිගන්නට කුෂ්ඨ රෝගයක්ද කොහෙද කියා කීම පමණක් මේ කර්මය විපාක දීමට හේතු විය. (බුදු,පසේ බුදු,මහරහතන් වහන්සේලාට චේතනාවක් නැතුව අකුසලයක් කලද විපාක දෙයි) එනම් සංඝයාවහන්සේ කෙතරම් ශක්තියක් යුක්තද යන්න තේරුම් ගත යුතුය. සංඝයාවහන්සේගේ ගින්දරක් ලෙසද හදුන්වන්නේ එනිසයි. අවබෝධය වැඩි වන්න වැඩි වන්න ඒ ගින්දර රශ්මිය වැඩිවන්නේය.

    අල්පේඡ්ච දිවියක් ගතකල බෝඅත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් වහන්සේට අවමන් කරමින් ෆේස්බුකිය තුල ධර්මකරුණු නොදන්නා මෝඩ මිනිසුන් ගෙනයන ප්‍රචාර හමුවේ උන්වහන්සේට උපහාර පිණිස උතුම් ශ්‍රී සද්ධර්ම කොටස් උපුටාගන්න ලදි.
    https://www.facebook.com/photo.php?v=10200153537630280&set=vb.1506292960&type=2&theater&refid=13&_ft_=qid.5881622357131305107%3Amf_story_key.-3910676297620104383

    තෙරුවන් සරණයි!!!

    ReplyDelete
    Replies
    1. ඉන්දරතන හිමියන් ගැන කියා තිබූ නිසා මේ ටික අකමැත්තෙන් එකතු කරන්නම්: කවුරුන් කොහොම කීවත් මෙය ජීවිත පූජාවක් නොවේ. සමහරුන් කියන ලෙස පරමත්ථ පාරමිතාවක් ද නොවේ. පාරමී, උප පාරමී සහ පරමත්ථ පාරමී යනුවෙන් පෙරුම් පුරන අවස්ථා තුනකි. පාරමී යනු පුද්ගලික දේපළ සහ අඹු දරුවන් පවා කැප කරගෙන කරන පිරීමයි. උප පාරමී යනු ශරීරාවයව පවා කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී යනු ජීවිතය කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී පුරන්නට නම් ඉතුරු අවස්ථා දෙකම සපුරා තිබිය යුතුය. එමෙන්ම, ජීවිතය කැප කරන්නේ දානය, සීලය වැනි කවර හෝ ඉහත දක්වා ඇති කරුණු දසයෙන් එකක් පිණිස විය යුතුය. එය බෝසත් චර්යාවක් වන්නේ එවිට ය. උදාහරණයක් ලෙස, සස ජාතකයේදී බෝසතුන් දිවි පිදුවේ, “මගේ ශරීර මාංශය තවෙකෙකු හට දානයක් වේවා!” යන චේතනාවෙනි. ඔහේ හිතුමනාපේ ජීවිතය පූජා කළාට බෝසත් සිරිතක් වන්නේ නැත. හරකුන් මැරීමට එරෙහි වීම හොඳ බව සැකයක් නැත. එහෙත් එමගින් සපිරෙන්නේ කවර නම් පාරමිතාවක් ද?

      අනික පරමත්ථ පාරමිතාවක් පුරන්නට නම් අබුද්ධෝත්පාද කාලයක ඉපිද සිටිය යුතුය. යුගානුක්‍රමය අනුව, පූර්ණා, තෙත්‍රා, ද්වාපර සහ කලි යනුවෙන් යුග හතරකි. පූර්ණා යුගයේ දී මුළු කාලයේම ධර්මය පවතී. තෙත්‍රා වේ දී හතරෙන් තුන් කොටසක ධර්මය ද එක කොටසක අධර්මය ද වේ, ද්වාපරයෙහි දී දෙකොටසක දහම ඇත, දෙකොටසක අදහම ඇත. කලි යුගයේදී හතරෙන් එක කොටසක දහම වෙයි. ඒවා ද, ආරෝහ වට්ටය සහ අවරෝහ වට්ටය ලෙස දෙකකි. ආරෝහවට්ටය දහම වැඩිවන පිළිවෙලට (එනම් කලි, ද්වාපර, තෙත්‍රා සහ පූර්ණා ලෙස) වේ. අවරොහ වට්ටය එහි අනිත් පැත්තයි. ආරෝහ සහ අවරෝහ වාට්ට දෙක මාරුවෙන් මාරුවට යෙදේ. අප මේ ඉන්නේ අවරෝහ වට්ටයක අවසාන කලි යුගයේ ය. එනම් ඊළඟ යුගයද කලි යුගයක් ම වේ. යුග අටක් කල්පයකි. සමහර කල්ප වල බුදුවරු නූපදිති. කල්පයකට උපරිම බුදු වරුන් බුදු වෙන්නේ පස්නමකි. එවැනි කල්ප, මහා භද්‍ර කල්ප නම් වේ. මේ කල්පය මහා භද්‍ර කල්පයකි. දැනට මෙහි බුදුවරු සිවු නමක් බුදුව අවසන් ය. එනම් කකුසඳ, කෝණාගමන, කස්සප, ගෞතම ලෙසයි. ඊළඟ බුදුන් වන මෙතේ බුදුන් බුදු වන්නට පෙර කල්ප විනාශයක් සිදු වේ. පරමත්ථ පාරමිතාවක් පුරන්නට නම් ඊට පසුව, එනම් ධර්මයේ පූර්ණ වියැකී යාමෙන් පසුවම විය යුතුය. ඒ අනුව මෙය කෙසේවත් පරමත්ථ පාරමී පිරිය හැකි කල්පයක් නොවේ.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.