logo banner

Sunday, May 26, 2013

ඉන්දරතන හිමි සහ අපි | Thero Indarathana and Us

එකම මාතෘකාව නැවත නැවත පට්ට ගැසීම අපේ සිරිත නූනත්, මේ මෑතක සිදු වූ සිද්ධිය වවාගෙන කෑමට සමහරුන් දරන කූට උත්සාහය පරාජය කරනු වස් මේ වචන ටික ලියා තබනු රිසි වෙමු. අවැසි කෙනෙක් වේනම් කලින් ලිපිය මෙතැනින් කියවිය හැකි ය. (ඒ වන විට මාධ්‍ය වාර්තා වල වැරදියට නම සටහන් ව තිබුණේ ඉන්දසාර හිමි ලෙස බව සළකන්න.)

ප්‍රස්තුතය

ප්‍රස්තුතය නම්, හැමෝම දන්නා පරිදි, මහනුවර ශ්‍රී සුගත විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් විසින්, පෙරේදා නුවර දළදා මාලිගාව ඉදිරිපිට කරන්නට යෙදුණු ගිනිතබා ගැනීමයි (හෙවත් සමහරුන්ට අනුව ජීවිත පූජාවයි). මේ ගැන අපට වඩා සවිස්තරව ලියා ඇති බොහෝ දෙනා වන නිසා ඒ ගැන පුන පුනා පැවසීමට වඩා ඒ සබැඳි ලිපි වලට පාර පෙන්නීම පහසු ය. 


ඉන්දරතන හිමිගේ අවසන් ලිපිය

ඔබ මේ වන තුරු දැක නැත්නම් උන් වහන්සේ ගේ අවසන් ලිපිය මෙතැනින් බලන්න.



මේ ලිපිය බැලීමේ දී, ඉතා හොඳ සිහියෙන් දෙවරක් බලන්න යැයි අපි ඔබට කියමු. මන්ද මේ කතාවේ අවසානයේ දී අපි නැවතත් මේ ලිපියට එන බැවිනි.

අප අපේ සංවාද කාරණයට එන්නේ දැන් ය. එනම්, මෙය සැබවින්ම ජීවිත පූජාවක් ද? 

බෝසත් සිරිත

බොහෝ දෙනා මේ සිද්ධිය බෝසත් සිරිත සමග සසඳා බලනු පෙනෙන්නට තිබිණි. එනම්, බෝසතුන් සස ජාතකයේදී සාවකු සේ ඉපිද, සිය ජීවිතය පූජා කිරීම සමගයි. අපි මේ කතාවේ ඇත්ත නැත්ත විමසමු. 

බෝසතුන් හෙවත් බෝධි-සත්ත්වයන් වහන්සේ කෙනෙක් යනු සම්‍යක් සම්බුද්ධ, පච්චේක බුද්ධ හෝ අරහන්ත බුද්ධ යන තුන්තරා බෝධියෙන් එකකින් සත්‍යාධිගමය ලබනු පිණිස පාරමී දම් පුරන කෙනෙකි. පාරමිතා දහයකි. එනම්, දාන, සීල, නෙක්ඛම්ම, පඥ්ඥා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෛත්‍රී, උපෙක්ඛා යනුයි. මේවා, පාරමී, උප පාරමී සහ පරමත්ථ පාරමී යනුවෙන් පුරන අවස්ථා තුනකි. පාරමී යනු පුද්ගලික දේපළ සහ අඹු දරුවන් පවා කැප කරගෙන කරන පිරීමයි. උප පාරමී යනු ශරීරාවයව පවා කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී යනු ජීවිතය කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. 

ඒ අනුව, පරමත්ථ පාරමී පුරන්නට නම් ඉතුරු අවස්ථා දෙකම සපුරා තිබිය යුතුය. එමෙන්ම, ජීවිතය කැප කරන්නේ දානය, සීලය වැනි කවර හෝ ඉහත දක්වා ඇති කරුණු දසයෙන් එකක් පිණිස විය යුතුය. එය බෝසත් චර්යාවක් වන්නේ එවිට ය. උදාහරණයක් ලෙස, සස ජාතකයේදී බෝසතුන් දිවි පිදුවේ, "මගේ ශරීර මාංශය තවෙකෙකු හට දානයක් වේවා!" යන චේතනාවෙනි. ඔහේ හිතුමනාපේ ජීවිතය පූජා කළාට බෝසත් සිරිතක් වන්නේ නැත. හරකුන් මැරීමට එරෙහි වීම හොඳ බව සැකයක් නැත. එහෙත් එමගින් සපිරෙන්නේ කවර නම් පාරමිතාවක් ද? 

සියදිවි නසා ගැනීම සහ ප්‍රාණඝාතය

සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් වන්නේ ද නැද්ද යන්න ගැන දැනටමත් කෙස් පැලෙන තර්ක ආරම්භ වී තිබේ. ඒ ගැන වාද කිරීමට සමර්ථකමක් අපට නැති හෙයින් අපි හුදෙක් කරුණු දැක්වීම පමණක් කරමු. 

ප්‍රාණඝාතයක් සිද්ද වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුය.
1. ප්‍රාණියෙක් බව දැනගැනීම
2. මරන චේතනාව පහළ වීම
3. මරන පිණිස උපක්‍රමයක් යෙදීම
4. උපක්‍රමය සාර්ථක වීමෙන් මරණය සිද්ධ වීම
5. ඒ බව දැනගැනීම

මෙහිදී කොහේවත් "තමාගේ" / "අනුන්ගේ" කියා බෙදීමක් නැත. සතිපට්ඨාන සුත්‍රයේ මෙම අජ්ඣත්ත-බහිද්ධ හෙවත් ඇතුළු-පිට (තමන්/අනුන්) විග්‍රහය දක්වා තිබේ. බුදු දහම අනාත්ම වාදයකි. හරියට බැලුවොත් තමා-අනුන් කියා දෙයක් නැත. ඇත්තේ එකම පංචස්කන්ධ පමණි. එසේනම් මගේ ප්‍රාණය සහ උගේ ප්‍රාණය කියා දෙකක් අතර වෙනසක් ද නැති විය යුතුය.

කෙසේ වෙතත් විනය මට්ටමින් මේ දෙක අතර වෙනසක් පවතී. තවත් මිනිසෙකුගේ ප්‍රාණය තොර කිරීම මනුස්ස විග්ගහ පාරාජිකාවකි. එනම් ඉතා බරපතල වරදකි; සිය දිවි නසා ගැනීම දුක්කටාපත්තියකි. සතෙකුගේ පණ නැසීම ඊටත් අඩු පාචිත්තිය ඇවතකි. විනය අටුවාව වන සමන්තපාසාදිකාවේ මේ ගැන සෑහෙන විස්තර දැක්වේ. 

නොදන්නවුන්ගේ දැනගැනීම පිණිස, පාරාජිකා ගැන ද යමක් කියමු. පාරාජිකා යනු "පරාජය වන්නේ ය" යන අරුත් දෙන වදනකි. එනම්, "මුල සුන් ගසක් මෙන්, කරටිය සිඳුණු තල් ගසක් මෙන්, යළි මේ ජීවිතයේ කවරදාකවත් චීවරයක් දැරීමට නුසුදුස්සෙක් වන සේ පැවිදි දිවියෙන් පැරද පලා යන්නේ යම් වරදකින් ද, එය පාරාජිකා වේ." පාරාජිකා වූ භික්ෂුවක් සාමණේරනම් උපසම්පදාව නොදිය යුතුය. උපසම්පදා වී ඇත්නම් සිවුරු හැරවිය යුතුය. එවැනි පාරාජිකා හතරකි. එනම්,

1. මෛථුන ධම්ම පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම
2. අදත්තාදාන පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් නොදුන් දෙයක් ගැනීම
3. මනුස්ස විග්ගහ පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් මනුෂ්‍ය ජීවිතයක් තොර කිරීම
4. උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව - භික්ෂුවක් නැති ලොවුතුරු ගුණ (උදා: නැති රහත් බවක්) පෙන්වීම

අදාළ පාළි පාඨ මෙතැනින්. 

සටහන: මේ අනුව අද වෙසෙන චීවරධාරීන්ගෙන් කී දෙනෙක් සිවුරු දැරීමට සුදුස්සෝ වෙත් දැයි ද ගැටළුවක් පැනනගී. 

විනය පිටකය අනුව නම්, සියදිවි නසා ගැනීම පාරාජිකාවක් නොවේ; ඊට වඩා අඩු, දුක්කටාපත්ති නම් වරදකි. දුක්කටාපත්ති හෙවත් දුකුලා නොවී සිය දිවි නසාගත හැකි අවස්ථා ද හතරක් තිබේ. 

1. බරපතල ලෙස රෝගී ව සිටින නමුත් බෙහෙත් / උපස්ථායකයන් නැති විට දී,
2. සුව නොවන ලෙස කල් පවතින රෝගයක් වැළඳ, උපස්ථායකයන් ද වෙහෙසට පත්ව ඇති විටදී,
3. මරණය වලක්වා ගත හැකිව තිබියදී, එය වළක්වන්නට කරන උත්සාහයේ දී ධ්‍යානය බිඳේ නම් එවිට දී,
4. ආහාර ගැනීම පවා බවුන් වැඩීමට ගන්නා උත්සාහයට බාධාවක් වේ නම් එවිට දී.

මේ කියන්නේ අප නොවේ.
"....උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වසකෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ... මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය...."  ~ රේරුකානේ චන්දවිමල හිමි, උපසම්පදා ශීලය

මේ අනුව, ප්‍රාණඝාතයක් වුණත් නැතත්, ඉහත දිවි නසා ගැනීම, විනයට අනුව පැහැදිලි වරදක් බව පෙනේ. 




ගෝධික තෙරුන්ගේ කතා වස්තුව

මෙයද බොහෝ දෙනා වරදවා ගන්නා උදාහරණයකි. ගෝධික යනු පිට පිට සයවරක් ධ්‍යාන වඩා ඒ සය වරම ධ්‍යානය රැකගත නොහැකිව ඉන් පිරිහී ගිය හිමිනමකි. මේ කෙරුවාව තවත් කරන්නට බැරිය, මෙවර නම් ධ්‍යානයෙන් පිරිහෙනවාට වඩා මරණය සැපයි කියා සිතු ගෝධික තෙරණුවෝ, දැලිපිහියක් ගෙන, ධ්‍යානයට එළඹෙනවාත් සමගම ගෙල සිඳ ගත් හ. එහෙත් ගෙල කැපී යත් ම දැනෙන වේදනාව අරමුණු වත්ම, මෙතෙක් කල් අවබෝධ කරගත නොහැකිව තිබූ චතුරාර්ය සත්‍යය උන් වහන්සේට අවබෝධ විය. වේදනානුපස්සනාව අරමුණු කළ උන් වහන්සේ එකෙණෙහිම සත්‍යාවබෝධය ලබා රහත් වුහ. මේ ගැන නොදන්නා මිනිස්සු, භික්ෂුවක් සිය දිවි නසා ගත්තේ ය යන කතාව පැතිරවූ හ. බණ පොතේ හැටියට මාරයා, ගෝධික තෙරුන් කොහි උපන්නේ දැයි නොදැක, අන් වෙසක් මවාගෙන බුදුන් හමුවට විත්, "ගෝධික කොයි ගියේ දැයි" විමසු බවත්, බුදු හිමි, "මාරය, ගෝධික තොපට සොයා ගන්නට බැරි තැනක නිවී ගියේ යැයි" කී ලු. 

මේ සිද්ධිය අනුව පැහැදිලි කරුණක් මතු වේ. එනම්, ගෙල කපා ගන්නට තීරණය කෙළේ පෘථග්ජනයෙකි. මරණය වන විට ඔහු රහතෙකි. ඒ අනුව, ගෝධික තෙරණුන් ගේ ක්‍රියාව හුදෙක් ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් සිදු වූ දෙයක් බවත්, ඒ පිටුපස කිසිම ලෞකික අරමුණක් නොතිබූ බවත් පැහැදිළිව පෙනේ. 

සිරිසඟබෝ සිරිත

මේ ගැන ද කියන්නට ඇත්තේ සස ජාතකය ගැන කී ටික මැයි. සිරිසඟබෝ රජු හමුවට ආ මගියා කියා සිටියේ, ඔහුගේ රාජ්‍යය පැහැර ගත් මල් බෑ තෙම, සිරිසඟබෝ යැයි සැකපිට මිනිසුන් දහස් ගණනක් මරා දමන සැටියි. සිරි සඟබෝ රජු ගෙල කපා දන් දෙන්නේ, තමාගේ හිස ලැබුණු පසු අර කී මනුෂ්‍ය ඝාතන නවතින බව සක්සුදක් සේ දැනසිටි බැවිනි. මිසක් මනුෂ්‍ය ඝාතන වළක්වපියවූ කියා උද්ඝෝෂණ කරන්නට නොවේ. 

ප්‍රායෝගික පැත්ත

දැනට දන්නා දත්ත අනුව ගත්කල අපේ ලංකාව තුළ දිනකට ගබ්සාවන් 500 කට වඩා සිදු වේ. රට වටකර ඇති මුහුදු තීරයේ මසුන් ටොන් ගණනින් මරා දැමීම සිදු කෙරේ. බෙල්ල කපාගෙන, කට කපාගෙන, මැරෙන මොහොතේ අවසන් හුස්මවත් හිමි නැතිවයි, මාළුවා මැරෙන්නේ. දිනකට මරා දමන ඌරන් ප්‍රමාණය 3000 ත් 5000 ත් පමණ වේ. කුළුගෙඩි පහර කමින් ඉහ මොළ පුපුරු ගසන තරමේ වේදනාවක් විදිමින් පැයකට අසන්න හෝ පැයකටත් වඩා මරුවා සමග පොද බදන ඌරන් වෙනුවෙන් ජීවිතය පුජා කිරීමට කිසිවකුත් නොමැත. දිනකට මරා දමන කුකුලන් ප්‍රමාණය ලක්ෂ ගණනින් මැනිය හැක. කුකුලන් මරා දමන සමහර ක්‍රම සිහි ගන්වන්නේ අපායේ වධ වේදනා ය. ගොවිකමේ දී දිනකට මැරෙන මදුරුවන්, මදුරු කීටයන්, කෘමීන් ආදිය ගැන ගණන් හිලවු වත් නැත. සත්තු සිටී වා! දිනකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි. මේ ගැන කතා කරන්නට කවුරුවත් නැත්තේ ඇයි? 

ලිපිය

අප ඔබට පොරොන්දු වූ පරිදි, මේ සූදානම් වන්නේ අර කී ලිපිය ගැන කතා කරන්නට ය. මේ අප ඔබේ සතිමත් බව පරීක්ෂා කරන මොහොතයි. සූදානම් වන්න!

පළමුව, මේ ලිපියේ දැක්වෙන ජීවිත පූජාවේ අරමුණු මොනවාද?

1. මේ ධරමද්වීපයේ ගව ඝාතනය නතර වේවා!
2. ත්‍රස්තවාද තුරන් වේවා!
3. බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ දී සම්මත වේවා!
4. බහුජාතික, බහුආගමික, සර්ව ආගමික බුදු දහම විනාශ කරන පූට්ටු නැති වේවා!
5. බෞද්ධ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය වේවා!
මේ කාරනා ඉටු නොවේ නම්, බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි.

මේ කරුණු ගැන දීර්ඝව කතා කිරීම පාඨක ඔබ වෙහෙසවීමකි. එහෙත් එය කළ යුතුය, මන්ද මේ සමස්ත සිද්ධියේ "බර" රඳා ඇත්තේ ඒ මත වීම නිසා ය. 

පළමුව, මස් කන්නන් සිටියදී, ගව ඝාතනය නතර කළොත් වෙන්නේ කුමක් ද? ගවමස් පිටරටින් ආනයනය කරන්නට සිදු වීම හැර අන් කවරක් ද? දැනටමත් ණය බරින් මිරිකෙන අප වැනි රටකට ඒ බර දරා ගත හැකි ද? අනික, මස් මරන්නෙත් නැතිව, ගෙන්වන්නෙත් නැතිව සිටීම, මස් කන්නට කැමති අයගේ සිවිල් අයිතියට කෙසේ නම් බලපායි ද? කාටවත් බලෙන් සිල් රක්කවන්නට බුදුන් ක්‍රියා කෙළේ නැත. 

දෙවනුව, ත්‍රස්තවාදය පරාජය කර ඇති නිසා ඒ ගැන යළි යළිත් මුන් වහන්සේ වදවීම අපට වටහා ගැනීම අපහසු ය. එබැවින් මේ කියන්නේ "ආගමික අන්තවාද" හෙවත් ජිහාඩ් වැනි විකාර ගැන වන්නට ඇතැයි අපි උපකල්පනය කරමු. ඒ ගැනනම් අපට ගැටළුවක් නැත. එහෙත් ඒ වෙනුවෙන් දිවි පිදීම ගැන අපට බරපතළ ගැටළුවක් ඇත. අප ජිහාඩයට එරෙහි වන්නේ ද එහි ඇති අන්තවාදී ක්‍රියා නිසා ය. ආගම වෙනුවෙන් ජීවිත පූජාව ද එවැන්නකි. අන්තවාද එපා කියමින් හිමිනමක් අන්තවාදී ලෙස දිවි පිදීම අප කෙසේ නම් අනුමත කරන්න ද? 

තුන්වෙනුව, ලංකාවේ කොහෙවත් බලහත්කාරයෙන් ආගම්වලට හරවන්නේ නැත.කෙරෙන්නේ ආර්ථික වාසි නිසා ආගම මාරු කිරීමයි. ආගම යනු සිවිල් අයිතියකි. එය මාරු කිරීම, තබා ගැනීම හෝ ආගම විසිකර දැමීම පුද්ගල අයිතියකි. සදාචාරත්මක නොවන ආගම්වලට හැරවීම ගැන අප ද එරෙහි වන නමුත්, මේ කියන පරිදි එය නෛතිකව ක්‍රියාත්මක කළ හැකි එකක් නොවන බව අපි හොඳින් ම දනිමු. අන්‍යාගමීකරණය හා සටන් වදින්නේ නම් එය කළ යුත්තේ බිම් මට්ටමිනි; හෙවත් ජනතාව අතරිනි. පාර්ලිමේන්තුවෙන් නොවේ.

සිවුවෙනුව, මේ හතරවන කාරණාව ගැන අපට කියන්නට දෙයක් නැත: එහි භාෂා භාවිතය ගැන පමණක් අවධානය යොමන්න. 

ඊළඟට: බෞද්ධ ව්‍යවස්ථාවක් යනු කුමක් ද? මත්පැන් තහනම් කරන එකක් ද? සත්ත්ව ඝාතනය තහනම් කරන එකක් ද? කුමක් ද? මේ සැරසෙන්නේ මේ ලංකාව ද, තවත් සෞදියක් කරන්න ද? ආගම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතු සීමාවක් තිබේ. ඒ සීමාව ඉක්මවා යාම බරපතල වරදකි. අපට අවැසි නීතියෙන් බෞද්ධ ලංකාවක් නොවේ: ප්‍රතිපත්තියෙන් බෞද්ධ ලංකාවකි. 

අවසානයට: මේ කියන බලවේගය කුමක්ද? දිව්‍ය බලවේගයක් නම් වන්නට බැරි ය. බලපෑම් කරන "බලවේග" කියා මේ කියන්නේ කුමක් ද යන්න වටහා ගැනීම අපට නම් අපහසු නොවේ. මරණින් මතු "බලවේග" හෙවත් යක්ෂ ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීන්ව උපදින්නේ ද්වේශයෙන් හෝ ලෝභයෙන් මරණයට පත් වන්නවුන් ය. මේ කියන්නේ මරණින් මතු එවැනි බලවේගයක් ව බලපෑම් කරන බව ද?  

බරපතලම කතාව එන්නේ මේ ලිපියේ දිනය නිසා ය.




මේ ලිපියේ දාතම සටහන් වන්නේ 2013 අප්‍රියෙල් මස 23 වන දින පස්වරු 03:29 වශයෙනි. සිද්ධිය සිද්ධ වුයේ මැයි මස 24 වන දින ය. එනම්, මේ සිද්ධිය සිද්ධ වන්නට මසකට පෙර ද මේ සියල්ල ලියා ඇත්තේ? 

සටහන: ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නිසා ද මෙසේ විය හැකි බවට පාඨක ඔබ දැනුවත් කිරීම අපේ වගකීමකි.

ජාතික හෙළ උරුමයට අනුව නම්, උන් වහන්සේ එහි මන්ත්‍රී ධුරයක් හෙබවූ කෙනෙකි. ඔවුන්ට අනුව නම්, ඒ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් උන් වහන්සේ පක්ෂයෙන් නෙරපන ලද්දේ මැයි මස 10 හෝ ඊට ආසන්න දිනක ය. එහෙත් ඊට පෙර, උන් වහන්සේ සිය පක්ෂයට කළ නිසි දැනුම් දීමකින් තොරව, සිංහල රාවය සංවිධානයට බැඳීමට ක්‍රියා කර ඇති බව ද දැන් දැනගන්නට තිබේ. ඒ ගැන ක්‍රියා කෙළේ කෙසේ ද යන්න ගැන මේ වනතුරු දැනගන්නට නැත. හෙළ උරුමය දැන් කියන්නේ ඔවුන් මේ සිද්ධිය ගැන කිසිවක් නොදන්නා බව ය. නමුත් ඔවුන්ගේ "නොදන්නාකම" මෙන්න මේ ප්‍රකාශයෙන් පෙනේ.



සිංහල රාවය සංවිධානය, මෙරට ජාතික සංවිධාන අතරින් සෑහෙන දැඩි ඉදිරිගාමී පිළිවෙතක් ඇති සංවිධානයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට පෙර ද, නාවල කොස්වත්තේ පවත්වාගෙන ගිය එක්තරා සාස්තර පොළකට කඩාපැන, බෞධයන්ට අපහාස වන අන්දමේ පිළිම සහ දේවරූප තිබුණේ යයී චෝදනා කරමින් බයිබල් පොළොවේ ගසමින් යකා නටමින් කළ විකාරය අපට මතක තිබේ. බුදු පිළිම සමග එක මට්ටමේ දේවරූප තැබීම නීතියට අනුව වරදක් නොවේ. අනික පාරෙ දුවන බස්රථ දහයක් ගත්තොත් නවයකම බුද්ධ රූප සහ දේවරූප එකම රාමුවේ ය අලවා ඇත්තේ. එහෙනම් ඔවුන්ට තිබුණේ පාරෙ යන බස්රථ වටලන්නට ය. ෆැෂන් බග් සිද්ධියේ වගකීම ද අවසානයේ මාරු කරන ලද්දේ සිංහල රාවයට උදව් කළ හිමි කෙනෙකු වෙත බව අපට අමතක නැත. 

මේ අනුව, මේ දිනය නිවැරදි නම්, එනම්, ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නොවේ නම්, මේ සිද්ධිය ගැන සිතන්නට තවත් බොහෝ දේ තිබේ. 

අපට කළ හැක්කේ කරුණු දැක්වීම පමණි. ඔබේ මතවාදය සකස් කරගැනීම ඔබේ කාරියකි.

Saturday, May 25, 2013

අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

* සටහන: ඡායාරූප උපුටා ගැනීම, අපේ සහෝදර බ්ලොග්කරුවකු වන සමකය වටේ ලියන නලීන් දිල්රුක්ෂ ගෙනි. සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර සහිත නලින්ගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න.

* පසු සටහන: මේ ලිපියට අප විසින් ලියන ලද පසු සටහන මෙතැනින් කියවිය හැකි ය.



උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ය. දැන් උන් වහන්සේ කොළඹ ජාතික රෝහලේ බරපතල මට්ටමේ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ද, ගිනි තබා ගැනීමට හේතුව ගව ඝාතනයට එරෙහි වීම බවද අහන්නට ලැබිණි. 

මේ ක්‍රියාවෙන් අනතුරුව බොහෝ දෙනා මෙය සාධාරණීකරණය කරන්නට සූදානම් වනු පෙනෙන්නට තිබිණි.  එසේම, මෙය බෝසතුන් සිය දිවි දැන් දුන්නා හා සමාන කරන්නට ද උත්සාහ ගනිමින් සිටිති. මේ ලිපිය ලියැවෙන්නේ උන් වහන්සේට අපහාස පිණිස නොව, කටුක සත්‍යය හෙළි කරනු පිණිසය.

පළමුව, ප්‍රස්තුත මාතෘකාව වන ගව ඝාතනය (සහ සමහරුන්ට අනුව ඉස්ලාම්කරණය) ගනිමු. බුද්ධ පාදස්පර්ශයෙන් තුන්වතාවක් පවිත්‍ර වුණායි කියන මේ පිංබිමේ මේ හාමුදුරුවන්ට පෙනුණේ ගව ඝාතන පමණද? ඉස්ලාම් ආක්‍රමණ පමණද? දවසකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි, කප්පම් සිද්ධි දහ අටයි. සතියකට පැහැරගැනීම් එකයි, මිනීමැරුම් එකයි, අතුරුදන් වීම් දෙකයි. දූෂණය නාස්තිය දළ ජාතික නිපැයුමෙන් 9%. මසකට ගෙවල් බිඳුම් තුනයි, කොල්ල කෑම් දෙකයි. මේ අපේ පිංබිමේ සැබෑ තත්වයයි. මේවට කතා කරන්නට, ඊට එරෙහිව උපවාස, උද්ඝෝෂණ කරන්නට, පෙළපාලි යන්නට තබා අඩුම තරමේ සත්‍යක්‍රියාවක් වත් කරන්නට කවරෙකු වත් වී ද? 

බෞද්ධයන් ලෙස ගව ඝාතනය පමණක් නෙමේ, ඕනෑම ඝාතනයක් අපට ප්‍රාණඝාතයකි. මස් මැරීම ගැන බොහෝ වේදනාවෙන් කෑගහන අපේ කීදෙනෙක් මාළු මරන ආකාරය දන්නේ ද? පිහියෙන් බෙල්ල කපනවාට වඩා සිය දහස් ගුණයකින් දරුණු වේදනාවක් විඳ ය, මාළුවා මැරෙන්නේ. බිලී කොක්ක සිය මුඛය සහ අන්තර් මෞඛ ආස්තරය පසාරු කරගෙන කැපී යද්දී, ගලන ලේ ධාරාවෙන් මුහුණම නැහැවෙත්දී, හුස්ම පොදක් ගන්නට බැරිව අපා දුක් විඳ ය, මාළුවා මැරෙන්නේ. එහෙත් ඒවාට එරෙහිව ගිනිතබා ගැනීම් ගැන අපට අහන්නට ලැබෙන්නේ නැත. නිවැරදිව බලන්නේ නම්, සත්ත්ව ඝාතනය ගැන කතා කරන්නට නිර්මාංශිකකුට හැරෙන්නට අන් කිසිවෙකුටත් අයිතියක් නැත.

ගිනිතබා ගැනීමේ සැඟවුණු කතාව

මේ සිද්ධිය ගැන අනුවේදනීයව කතා කරන බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ, මේ සිද්ධියට හරියටම දින 14 කට පෙර, බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන් ජාතික හෙළ උරුමයෙන් නෙරපා හරිනු ලැබීමට ගත් තීරණයයි. මෙන්න ඒ ගැන මාධ්‍ය වාර්තාව:
ජාතික හෙළ උරුමය නියෝජනය කල පැල්මඩුල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්‍ෂය පියවර ගෙන තිබේ. පක්ෂයේ ප‍්‍රතිපත්ති හා විනයට පටහැනිව කටයුතු කීරීම නිසා ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දැන් එතකොට මේ ගිනි තබා ගැනීම කෙළේ ගව ඝාතනයට එරෙහිව ද, නැත්නම්, තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රතිචාරයක් ලෙස දැයි ඇසීමට අපට සිදු වේ. 

ගව ඝාතනය සහ හතර මහා දේවාල

පළමුව, බුදු හිමියෝ කවදාවත් මස් කන්න එපාය කීවේ නැත. එසේ කරන්නට නීති පනවන්න යැයි ඉල්ලු දේවදත්ත තෙරුන්ගේ ඉල්ලීම ද බැහැර ලූ හ. එසේම, බුද්ධ කාලයේ, බුදු හිමි ජීවමානව සිටියදීම, ජේතවනාරාමයට අල්ලපු වැටේ තිබුණු ඌරු කොටුව බුදු හිමියන්ට ගැටළුවක් වුණේ නැත. උන් වහන්සේ කවදාකවත් අල්ලපු වැටේ චුන්ද සූකරික ගේ ඌරන් මරණ ඌරු කොටුවට එරෙහිව උද්ඝෝෂණ කෙළේ නැත. 

දළදා මැදුරු සීමාව තුළ මස් මරන්නේ නම් එය වෙනම කතාවකි. එහෙත් රටේ නීතිය අනුව මිලදී ගත් ඉඩමක සතුන් මරන්නේ නම් ඊට අපට කළ හැකි දෙයක් නැත. එය ගැටළුවක් වන්නේ නම් කළ යුත්තේ එම ඉඩම් යළි මිලදී ගැනීම හෝ පවරා ගැනීමයි. අනික, නුවර නගර සීමාවේ මස්කඩ තිබුනාම දළදා මාළිගාවට ඉන් සිද්ද වන අකරතැබ්බය කුමක් ද? ඇයි බුදු හිමි ජීවමාන කාලයේ මස් වැළඳුවේ නැද්ද? මජ්ඣිම නිකායේ සීහ සුත්‍රය බොරු ද? ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැන බුදු හිමියන් නෙමේ ද, වෙන කෙනෙක් ද කීවේ? දෙවරම් වෙහෙර තිබූ නගරයේ මස්කඩ තිබ්බේ නැද්ද? ජීවමාන බුදුන්ට වත් නොතිබුණු ප්‍රශ්න නොවැ මේ මිනිස්සුන්ට තියෙන්නේ!!

ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැනද යමක් කිව යුතුය.  ත්‍රිකෝටි යනු කෙළවරවල් තුනක් ඇති යන්නයි. ත්‍රිකෝටි පාරිශුද්ධිය කියන්නේ තුන් කෙළවරකින් පිරිසිදු යන්නයි. එනම්, අදිට්ඨ, අසුත, අපරිසංඛිත හෙවත් නොදුටු, නෑසු සහ නිසැක යන්නයි. මෙය අදාළ වන්නේ මාංශ ආහාර සඳහාය. එනම්, තම ආහාරයට ගන්නා මස, මේ කරුණු තුනෙන් පිරිසිදු විය යුතුය යන්නයි මෙහි අරුත. මෙය දැක්වෙන්නේ මජ්ඣිම නිකාය සීහ සුත්‍රයේ ය. තමා නිසා මරණ ලද බව නොදුටු, නෑසු, නිසැක මස කැප බවත්, එය ආහාරයට ගැනීමෙන් පළමු සිකපදය නොබිඳෙන බවත් ය මෙහි අරුත වන්නේ. 

එසේනම් මේ හරක් මැරීම ගැටළුවක් වන්නේ කාටද? ඒ වනාහි දළදා මැදුරට අරක්ගත් නායක්කර් වසංගතය හෙවත් හතර මහාදේවාල වලට ය. 

නායක්කර් වංශික රජ්ජුරුවරු මූනිච්චාවට බුදු දහම වැළඳ ගත්තට කවදාවත් හින්දු ආගම අතහැරියේ නැත. සතර මහා දේවාල වල වඳින්නේ කාටද? බෞද්ධ දෙවියන්ටද? කවුද මේ දෙවියෝ? විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි. හතරදෙනාම හින්දු/වෛදික දෙවිවරු වෙති. හරක් මස් ගැටළුවක් වෙන්නේ ඊනියා හින්දු/වෛදික සමාජයට මිසක් අපට නොවේ. අපේ බෞද්ධ සමාජයේ මේ වගේ Taboo සංකල්ප තිබුණේ නැත. ඔසප් දවසට ගෑණිව ගෙට වැද්ද ගන්නේ නැති මට්ටමේ ම්ලේච්ඡ සිරිත් විරිත් සුරකින සමාජයක වහුකුණු, අපේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩමවා තියෙන තැනට ලජ්ජා නැතිව වැද්ද ගත්තා මදිවට, අද අපි ඒ වෙනුවෙන් උද්ඝෝෂණත් කරන්නෙමු. සාධු!


මළමිනී සහ දළදා මැදුර

මේ ළඟදී නුවර පල්ලියට මල සිරුරක් ගෙන ආවේ යැයි මහා හයියෙන් තප්පුලෑවේ ද මේ මීහරක් මය. ඇයි හත්වලාමේ, බුදුන් හමුවෙන්නට කිසාගෝතමිය අවේ මළකඳක් අතැතිව නොවේ ද? බුදු හිමි සිරිමාවගේ මළකුණ ඉදිරියේ වාඩි වී බණ කිව්වේ නැද්ද? ශවාගාර ගැන දන්නෙම නැද්ද? මළකුණු බුදු දහමට අකැප යැයි කියා ඇත්තේ මොන බණ පොතේ ද? එතකොට නවසිවතිකය වඩන්නේ කොහොමද? දස අසුබය වඩන්නේ කොහොමද? ධුතාංග වල සොසානිකාංගය වඩන්නේ කොහොමද? මළ මිනී බෞද්ධ සිරිතට අනුව අකැප යයි කියන්නන් හට අමතක වූ කරුණු බොහොමයක් තිබේ. එනම්, සිරිමා නම් ගණිකාව මළ වේලේ බුදු හිමි ඒ මල සිරුර ආදාහනය නොකරන ලෙස සිය වචනයෙන් කොසොල් රජුට කියා යැවූ බව නොදැනීමයි. සිරිමා යනු සැවත් නුවර සුන්දරම ගණිකාවයි. ඇගේ සේවය ලබන්නට දිනකට කහවණු දහසක් ගෙවිය යුතු වී ලු. බුදු හිමි, ඈ මළ පසු ඇගේ සිරුර ආදාහනය නොකර සත් දිනක් තියෙන්නට හැර, ඊට පසු ඒ මළ සොහොනට වැඩ, ජනී ජනයා රැස්කරවා, ඒ මල සිරුර මිලට ගන්නා කෙනෙකු වේදැයි විමසූහ. කහවණු දහසෙන් පටන් ගත් ලංසුව, අන්තිමේදී මළ සිරුර මිලට ගන්නා එකාට කහවණු දහසක් දෙන්නෙමැයි කීවත් ගන්නට කිසිවෙක් සිටියේ නැත. බුදුහු ඒ අරබයා ලස්සන බණක් කියා තිබේ. 

මීට අමතරව, බුදුන් වහන්සේ සිය සව්වන් සමග අමුසොහොන් වලට වැඩ, මළමිනී ඉදිරියේ බණ කී අවස්ථා අනන්තය, අප්‍රමාණය. නවසීවතිකය සහ දස අසුභය වඩන්නේ මළකඳක් ඉදිරියේ ය. ධුතාංග වලින් එකක් නම් සොසානිකාංගය ය. එනම්, මුළු වස් කාලයම අමු සොහොනක බවුන් වැඩීමය. 



උක්ත කරුණු සැලකු විට යාබද පල්ලියට මළ මිණියක් ගෙන ඊම නිසා බුදු සමිඳුන්ට වත්, දළදා වහන්සේට වත් සිද්ද වන මොන කෙහෙල්මල් කරදරයක් වත් නැති බව සක්සුදක් සේ පැහැදිලි ය. මළ එකා මළා වේ. ඔහුගේ භූමදානය ඔහුගේ නෑදෑයෝ කරගත්තා වේ. අහක ඉන්නා බෞද්ධයන්ට ඉන් ඇති රුදාව කුමක්ද? ඇයි අපට මළමිනී අරහං ද? ජීවමාන බුදුහිමියන් හට මළ මිනී අමුත්තක් වුණේ නැත. හැබැයි බුදුන්ටත් වඩා බුදු බණ දන්නා තලේබාන් බෞද්ධයන් හට නම් එය ලොකුම ලොකු රුදාවක් බව පෙනෙන්නට තිබේ. මොවුන් හට අවශ්‍ය වන්නේ සකාරණව යමකට එරෙහි වීමක් නොව, මොකක් හෝ මළකුණක් (වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම) පටලවා ගෙන, නුවර පල්ලිය කඩා බිඳ බිමට සමතලා කිරීම දෝ හෝයි සාධාරණ සැකයක් මතුවේ. 

ඊනියා මළමිනී විරෝධය එන්නේ දළදා මැදුරෙන් නොව, ඊට බලෙන් එල්ලා ඇති හතර මහා දේවාල වලිනි. අප ඊට බලෙන් එල්ලා ඇතැයි කියන්නේ බෞද්ධකම සහ ඊනියා හින්දු වෛදික දේවාල අතර මොනම කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැති බැවිනි. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන බිමේ එල්ලා ඇති, නායක්කර් වංශික පාලනයේ ලැජ්ජාසහගත සංකේතය වන, පූර්ණ හින්දු ලක්ෂණ ඇති මේ දේවාල (කෝවිල්) හතර ගැන එකෙක් වත් කට හොල්ලන්නෙ නැත. ඊනියා "කිළි" සංකල්පය බෞද්ධ අපේ දෙයක් නොවේ. එය හින්දු සංකල්පයකි. දකුණු ඉන්දීය කන්නඩා සංස්‌කෘතිය තුළ අද ද, ඔසප් වූ කාන්තාව ගෙට වැද්ද ගන්නේ නැත. ඈ සිය ඔසප් දින පසුවන තුරු නිවසින් පිටත වෙනම කුටියක සිටිය යුතුය. කිළි කතාව අපේ සමාජයට ආවේ ඉන්දියානු වෛදික හින්දු සංස්කෘතික බලපෑම නිසා බව අපේ (නන්-ඕල්කොට්) පඬියන් දන්නේ නැතුවාට, (ඕල්කොට්) බෞද්ධයන් ලෙස මේ ලංකාවේ සංස්කෘතික ඉතිහාසය ඉගෙන ගත් අපි දනිමු. 

හරක් ඝාතන විරෝධය පසුපසද ක්‍රියාත්මක වන්නේ හින්දු බලවේග මිසක, බෞද්ධ බලවේග නොවේ. ඓතිහාසිකව, බෞද්ධයන් හට හරක් මස් නොවේ මොන මසක වත් පෙරේතකමක් හෝ බඩජහරි කමක් තිබ්බේ නැත. හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධික නම්, ඒ මස කන්නට තහංචියක් තිබ්බේ ද නැත. හරක් මස් එපා වෙන්නේ බෞද්ධයන් හට නොව, හින්දූන් හට ය. මන්ද හරකා ඔවුන්ගේ ආගමේ ත්‍රිමූර්තියෙන් එකක් වන ශිව දේවතාවා ගේ වාහනය නිසා ය. මීට අමතරව, ලංකාවේ ගොන් හරකුන් කොහොම සිතාගෙන උන්නත්, කිරි එළදෙනට කිරි අම්මා යැයි කියන හරක් සිරිතක් අපට තිබ්බේ ද නැත. අපට අපේ අම්මා සමාන වුණේ බුදුන් හට ය. එළදෙන කවදාවත් එතැනට ආවේ නැත. එළදෙනට අම්මා යැයි කීවේ දමිළයෝ ය. තෛපොංගල් නමින් දිනක් වෙන්කොට, ගවයා කිරියෙන් නහවා, මල්මාලා එල්වා, උගේ දෙපා මුල දණින් වැටී වන්දනාවේ යෙදෙන්නේ බෞද්ධයෝ නොව, හින්දුවෝ ය. ඒ ඔවුන්ගේ සංස්කෘතියයි. අපට ඊට වචනයක් වත් කීමට අයිතියක් නැත. 

මේ ටික කීවේ හින්දුන් හට උපහාස / අපහාස පිණිස නොව, මළමිනී විරෝධය, හරක් ඝාතන විරෝධය සහ හතර මහා දේවාල අතර සම්බන්ධය පහදනු පිණිසය.


බෞද්ධ සංස්කෘතිය ද, හිංදු සංස්‌කෘතිය ද?

සමහරු මීට සංස්කෘතික මුහුණුවරක් ද දෙන්නට තැත් කරනු පෙනෙන්නට තිබිණි. සමහරු මෙය ගව ඝාතනයට එරෙහිව නොව, අන්‍යාගම්කරණයට එරෙහිව කරන ලද්දක් ලෙසට ද හුවා දක්වනු පෙනෙන්නට තිබිණි. මේ ගැන සංවාද කරන්නට නම්, අහක යන කෙහෙල් මල් සංස්කෘතියක් ගැන දෙසා බාන්නට අවැසි නැත. නුවර සංස්‌කෘතිය වනාහි හුදු බෞද්ධ සංස්කෘතියක් නොව, ඇතිවෙන්නට හින්දු, ඉංග්‍රීසි ආදී සංස්කෘතීන්ගෙන් පදම් වූ සංස්කෘතියකි. නුවර මිනිස්සු අනාදිමත් කාලයක සිට මේ සංස්කෘතික විවිධත්වය ගරු කරමින් ජීවත් වූහ. එකටෙක පේන දුරින් ඇති හිල්වුඩ් විද්‍යාලයේ උදේ දේව මෙහෙය, අල්ලපු පන්සලට ගැටළුවක් වෙලා නැත. එසේම පන්සලේ පිරිත් කීම ගැන හිල්වුඩ් පාසලේ කිසිවෙක් චෝදනා කරනු මේ ලේඛකයා නම් අසා නැත. මේ දෙකටම අල්ලපු නුවර අනිවත්තේ ඉවැන්ජලික ආගමික මධ්‍යස්ථාන (ලියන ලේඛකයාගේ දැනුමට අනුව) තුනක් වත් තිබේ. මේවයින් සමහර ඒවායේ දේව මෙහෙයන් ඉතාම ශබ්ද සම්පන්න වේ. අනිවත්තේ මිනිස්සු අද වෙනතුරු ඒ ගැන කිසිම පැමිණිල්ලක් කර නැති බව ලේඛකයා පුද්ගලිකවම දනී. 

බෞද්ධ පුනරුදයේ නගරය වන පානදුර ම ගනිමු. නල්ලුරුව කෝවිලේ සිට රංකොත් වෙහෙරට ඇත්තේ ඇවිදින දුරකි. ඒ දෙකේම සිට පානදුර කතෝලික පල්ලියට ඇත්තේ ඇවිදින දුරකි. මේ තුනේම බැතිමත් ජනයෝ ඉතාම සංවරව සිය ආගමික වතාවත් කරගෙන යති. කෝවිලේ බෙරහඬ ගැන පන්සලෙන්වත්, පන්සලේ පිරිත් ගැන පල්ලියෙන්වත්, පල්ලියේ සොරෝලය ගැන කෝවිලෙන්වත් අද මේ වෙනතුරු ගැටළුවක් මතු නොවූ බව, පානදුර නගරය ගැන සිය පුද්ගලික අත්දැකීමෙන් ලේඛකයා දනී. 

මේ අනුව, නුවර හරක් මස්කඩ ඉවත් කිරීම බුදු දහමට හෝ බුදු සිරිතට අනුව මෙලෝ සම්බන්ධයක් නැති හුදෙක් දේශපාලනික අරමුණක් බව ප්‍රකාශ කළහැක. ඊනියා බෞද්ධ විද්වත්තු ලැජ්ජාවක් බයක් නැතිව ඊට බෞද්ධ ලේබලය ද අලවති. අහෝ සසුනට ගිය කල! 


අන් රටවල් සමග සංසන්දනය කරන්නවුන් සඳහා

වෙනත් ඉස්ලාම් රටවල, එනම් සෞදි අරාබිය, සුඩානය වැනි වැනි රටවල ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ද අපට කීමට ඇත්තේ ඔය ටිකමය. උන්ගේ මොළේ අමාරුවක් නිසා හෝ, අර කුරාණය නමින් වන්දනා කරන මනස්ගාත බහුබූත වලින් පිරි ග්‍රන්ථය නිසා හෝ, ඒ දෙකම නිසා හෝ, ඒ රටවල ඒ ඒ ආකාර ම්ලේච්ඡ ක්‍රියා සිද්ධ වේ. කුරාණය ක්‍රියාත්මක වන යම් හෝ රටක ස්ථිරසාර සාමයක් තිබුණේ නැත. තියෙන්නේ ද නැත. අපරාධය සහ මංකොල්ල කෑම ද, බලෙන් අල්ලා ගැනීම සහ ව්‍යාප්තවාදය ද මත පදනම් වූ ඉතාම සටකපට දේශපාලන මොඩලයක් සේ හැරෙන්නට, ඉස්ලාමය හඳුන්වන්නට අපට වෙන වචනයක් ද නැත්තේ ය. 




එහෙත් මෙකී ඉස්ලාමික සංස්‌කෘතිය තුළ ද හැම එකාම අනිකාගේ බෙල්ල කපන්නට බලාගෙන ඉන්නේ යැයි යමෙකු කියන්නේ නම්, එය ද බරපතළම ගණයේ මානසික ව්‍යාධියකි. ඉස්ලාමය තුළ ද, ෂියා, සුන්නි, සුෆී, වහාබි, මජුම්දාර්, ආහාද් වැනි විවිධාකාර නිකාය ක්‍රියාත්මක වේ. ථේරවාදය මහායානයෙන් වෙනස් වන්නේ යම් සේ ද, රෝමානු කිතුණුව, ක්‍රිස්තියානියෙන් වෙනස් වන්නේ යම් සේ ද, තාන්ත්‍රික මාර්ගය, හින්දු වෛදික සම්ප්‍රදායයෙන් වෙනස් වන්නේ යම් සේ ද, එසේම අහසට පොළොව වැනි වෙනස්කම් රාශියක් ඉස්ලාමික නිකාය අතර ද තිබේ. 

මේ වෙනස නොදැන, ලංකාවේ සියලු මුසල්මානුවෝ අපරාධකාරයෝය, ව්‍යාප්තවාදීහු ය, කියා යමෙක් කියන්නේ නම් ඔහුට හෝ ඇයට ද කියන්නට ඇත්තේ කරුණාකර දැනගෙන කතා කරපං කියා ය. 


මිසදිටුවන් හට බලෙන් හෝ හොඳ සිරිත් ඉගැන්විය යුතුයැයි කියන්නවුන් වෙත

මේ සිද්ධිය සමග සමහරු, අන්‍යාගමිකයන් හට බලෙන් හෝ පිංපවු ඉගැන්විය යුතුයැයි යන මතයේ ද සිටිනු පෙනේ. ඔවුන් ගේ ජනප්‍රියම උදාහරණ වන්නේ බක බ්‍රහ්මයා ගේ විමානයට වැඩ, ඔහු හට මරණ බිය දක්වා සලිත කොට, බුදු හිමි බණ කී අවස්ථාවයි. 

පළමුව කියන්නට ඇත්තේ බුදුන් වහන්සේ කවදාවත් අනුන් බලෙන් බෞද්ධ කෙළේ නැති බවයි. බුදු දහම වනාහි ව්‍යාප්තවාදය අතින් අවම තැනක් ගන්නා දහමකි. මගේ ගොඩ මේ යැයි කියා ගොඩ ලොකු කරගැනීමක් එහි නැත. බුදුහිමියන් තර්කයෙන් පරදවන්නට ආ උපාලි ගෘහපතියා බුදු බණ අසා පැහැදී බුදුන් දහම් සඟුන් සරණ යන බව කීවිට බුදුන් වහන්සේ කීවේ, "උපාලි, ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් තීරණ ගැනීමේදී ඉක්මන් නොවිය යුතුය" කියා මිස, "බොහොම හොඳයි, යන්න උපාලි, ගිහින් තව දහදෙනෙක් අරන් එන්න" කියා නොවේ. උපාලිගේම වචනයෙන් කියන්නේ නම්, "අන් ආගමක එකෙකු ආගම මාරුකළ විට ධජ පතාක සේසත් නංවා නුවර පුරා බෙර ලවා පාවාඩ පිටින් පිළිගන්නා" යුගයක ය, බුදුන් වහන්සේ එසේ කීවේ. 

බක බ්‍රහ්මයා හට මරණ බිය දැන්වීම වනාහි, පිං ඇති අයෙකු, දහම දක්වනු පිණිස කරන ලද බුද්ධප්‍රයෝගයකි. බුද්ධප්‍රයෝග වනාහි ඉහළම මට්ටමේ ප්‍රඥාවකින් සහ තීරණ ගැනීමේ ශක්තියකින් කළ යුතුය. කිසාගෝතමියට අබ සොයන්නට කීම, අංගුලිමාලට නැවතීම ගැන කීම, චුල්ල පන්ථක හට අව්වේ සිටගෙන රෙදි කඩක් පිරිමදින්නට කීම, මේ ආදී සියල්ල බුද්ධඥාන විෂයයෙන් කළ කී දේ මිස පුහුදුන් අපට කළ හැකි දේ නොවේ. ඒවා කරන්නට ආසයානුසය ඥානය තිබිය යුතුය. එනම්, සත්ත්වයන්ගේ කෙලෙස් මෝරා ඇත්තේ කවරාකාරයෙන්ද යන්න, සිත පිරික්සා බලන ඥානයෙන් කිව යුත්තකි. එය කරන්නට බුදු කෙනෙකුන් ම විය යුතුය. 

මේ ටික නොදත් අපේ වාහෙලා හිතන් ඉන්නේ බුදුන් කළ දේ උන්ටත් කරන්නට හැකිය කියා විය යුතුය. පඬියන් පඬියන් වන්නේ ලෞකික ඥානය තුළය. ලෝකෝත්තර අවබෝධය තුළ නොවේ. පඬියන් බුදුන් වන්නට යාම හරියන්නේ නැත. බුදුන් දන්න හැමදේම පඬියෝ දන්නේ නැත. බුදු හිමි දැන සිටි සැමදේම දේශනා කෙළේ ද නැත. සිංසපා සුත්‍රයට අනුව බුදු හිමි කොළ අහුරක් අතට ගෙන, "මවිසින් දේශිත ධර්මයෝ මෙපමණකි, අදෙශිත ධර්මයෝ මේ සිංසපා වනයේ වැටී ඇති කොළ වලටද වඩා මහත් වන්නේ ය" යි වදාළහ. එසේම වෙනත් තැනක නියපිටට ගත් පස් අහුරකින් ද බුදුහු මේ බණ ම කී හ. ඕල්කොට් බෞද්ධයන් ලෙස සමහරුන් ගරහන අප ද අසා ඇති බුද්ධෛශ්වර්යය සහ බුදු කෙනෙකුන්ට ම පමණක් කළ හැකි දේ ගැන මේ පඬියන් නොදැනීම අන්තිම ම අවාසනාවකි. 


අපේ පැතුම

පිංවත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට ඉක්මන් සුවය පතන අතරතුර ම, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ දුලබින් ලද මනුසත් බව අපතේ නොයවා, උතුම් බුද්ධ ධර්මය තවමත් ධරමානව පවතින මේ කාලයේ දීම, සම්මා දිට්ඨිය වඩාගෙන, උතුම් අමා මහා නිවන් සම්පත ලබා ගන්නට හේතු වාසනා වේවා!

Tuesday, May 21, 2013

වර්ජනය අසාර්ථකයි | The Failed Strike

වර්ජනය අසාර්ථකයැයි ද, ආණ්ඩුව සාර්ථක යැයි ද මේ දිනවල මහා ගෝසෙට කතාව යනු පෙනේ. මේ "ජයග්‍රහණයෙන් මත්වී උද්දාම වන උදවියගේ ආතල් කැඩීමට අපට සිත් නොදෙතත්, උන්ගේ ආතල් වලට ගෙවන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ වචන ටික කිව යුතුමය. මේ ඔබ දකින්නේ අපට ඉතිරිව ඇති එකම විමධ්‍යගත මාධ්‍ය වන අන්තර්ජාලය ඔස්සේ පළවූ අදහස් කීපයකි.




රජු දිගා වේවා!

අපේ ඉතිහාසයේ ඈත ඉඳන් පැවත එන එක්තරා සෙට් එකක් සිටිති; ඒ වනාහි, ඒ කාලයේ, සිය අඹුව, සිය දුවණිය, ඒ කාලයේ රට පාලනය කළ කෙනා සමග නිදි වද්දවති. ඊට පසුව, "මගේ ගෑනි, මගේ දුව අහවල් රජතුමාත් එක්ක රැය පහන් කළා" යනුවෙන් මුළු රටටම බොහොම උජාරුවෙන් කියති.. සුද්දා ආ පසු ද වුණේ ඔය ටික මය. සුද්දා ගේ සුදු හමට ලොබ බැඳි අපේ වාහෙලා එළිපිටම සුද්දන් සමග ලැග්ගා පමණක් නොව, ඒ ගැන හරිම ආඩම්බරයෙන් කියන්නට ද පෙළඹ සිටියෝ ය. අනේ ඉතින් අර ගොබ්බ රජු මොනවා කලත් සාදු, කියනවා ඇරෙන්නට වෙන මුන්ගෙන් සිදු වූ දෙයක් නැත..අදටත් ඒ පරම්පරාවෙන් පැවත එන අය සිටිති, උන් අද කියන්නේ කරන්ට් බිල වැඩි කරාට මොකද? අපේ රජතුමානේ කියා ය..

~~ලසන්ත සංජය ගෙන් උපුටා ගන්නා ලදී.

ලබ්බට තිබ්බ අතමය පුහුලටත් කියන සංකල්පය යටතේ, රාජ්‍යයට එරෙහිව ආ ලබ්බේ බලවේග මර්දනයට යොදාගත් අවනීති හා අව-සංකල්ප පුහුලේ බලවේග සඳහාද යොදාගැනෙනු ඇත. එමෙන්ම ජාතිකවාදීන් විසින් සාධාරණීකරනය කරමින් තිබුනු අතීතකාමයද මෙ මොහොතේ ආණ්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට යොදාගනු ඇත. මේ අනුව මේ තිබෙන්නේ නිකන් සිල්ලර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් පත්වූ ආන්ඩුවක් නොවේ. මේක මහාසම්මත රාජාණ්ඩුවකි. ජනතාව මහාසම්මතයකින් අනුමත කරනතාක් සියලු ආන්ඩු විරෝධී කටයුතු රාජ්‍ය-විරෝධී යැයි සම්මතය. කොටින්ම මහාසම්මත ක්‍රමය යටතේ 'රාජ්‍යය' (state) හා 'ආන්ඩුව' (regime) අතර වෙනසක් නැත. එහෙම වෙනස් කම් ඇත්තෙ පර-සුද්දාගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේය.
~~"රිටිගල ජයසේන"

මේ කතාවල් මැද්දට ම අපට ද කතාවක් කියන්නට සිත් විය.


එකෝමත් එක කාලෙක, සිය රදළ ස්වාමියා ගැන මහත් ආඩම්බරයෙන් අනිත් වහලුන් සමග දබර කරගත් වහලෙක් අරබයා, මේ කතාව මහළු මිනිහෙක් විසින් කීවේ ලු.


රදළ දවසක් රදළයෙක් අස්ස කරත්තයෙන් යනකොට දැක්කලු ගොවියෙක් තමන්ගෙ භාර්යාවත් එක්ක පොළට යනවා.. ඉතිං මේ රදළයාට මේ ගොවි තරුණිය ගැන සරාගී සිතක් පහළ වුණාලු. රදළයන්ට මොන තහංචි ද? ඉතිං මූ කිව්වලු අර ගොවියට, "උඹේ ගෑණිව කරත්තේ ඇතුළට නග්ගල උඹ ගිහිං අර අස්සයව අල්ලං හිටපං කොහෙවත් යන්න නොදී.. ඌට පොඩ්ඩක් මද කිපිලා.. ඒ නිසා රිදෙන්න හයියෙන් වෘෂණ කෝෂ දෙක අල්ලං හිටපං එතකොට දඟලන්නෙ නැහැ"යි කියල. අනේ අර මිණිහත් ඉතිං රදළයා තමන්ගෙ ගෑණිත් එක්ක රමණකෘත්‍යයේ යෙදෙද්දී අර අස්සයගේ වෘෂණ කෝෂ දෙක අල්ලං ඉන්නවලු. කොහොමිං හරි රදළයත් වැඩේ අහවර කරලා ගොවිය දිහාට රිදී කාසියක් විසික් කරලා යන්න ගියාලු. ගියාට පස්සේ අර ගොවියා බොහොම උජාරුවෙන් තමන්ගෙ නෝනට කියනවලු.. "ඔය දන්නවද.. ඌ හිතං ඉන්නේ මම උගෙ අස්සයගේ ඇටදෙක අල්ලං හිටියාය කියල වෙන්නැති.. මම අල්ලං හිටපු ඇටයක් නැහැ.. උන්දෑ හිතං ඉන්නවා ඇති අපි මේ එයාගෙ අත පල්ලෙන් වැටිලා කියල උගේ අස්සන්යන්ගේ ඇට දෙක අල්ලං ඉන්න.. හුහ්.. එව්වා කොහෙද මාත් එක්ක.. "
ආණ්ඩුව කියන දේ ත් එක අතකට ඇත්ත ය. වැඩ වර්ජනය අසාර්ථක ය. වෙනින් මොකුත් ම නිසා නොවේ. සමහරු හරි උජාරුවෙන් අල්ලං ඉන්නා වෘෂණ කෝෂ බිම තබ්බවන්නට අපට නොහැකි වූ බැවිනි. 

අවසාන වශයෙන් මේ කතාව පුරාවට ආණ්ඩුවට කඩේ ගිය උන්ගෙන් අහන්නට ඇත්තේ එක දෙයකි: ඔබ තවමත් පාලක අස්සයාගේ ඇටදෙක අල්ලං ඉන්නවාද?

Monday, May 20, 2013

විදුලි වේසකම | Electricity in Prostitution

අවවාදයයි! මේ පොස්ටුවේ සමහරුන් කුණුහරුප සේ සළකන වචන තිබිය හැකිය.


මුලින්ම කියන්නට ඕනේ දෙයක් තිබේ. එනම් වේසකම යනු හරි සිංහලෙන් බැලුකල, කුණුහරුපයක් නොවන බවයි. වේස යන වචනය හැදෙන්නේ "වේශ්‍යා" යන සංස්කෘත වචනයෙනි. බොහෝ දෙනා මෙය "වෛශ්‍යා" යනුවෙන් වැරැදියට වහරති. "වෛශ්‍යා" යනු "වෛශ්‍ය" හෙවත් වෙළෙන්දා ගේ ස්ත්‍රී ලිංග පදයයි. ගණිකාව යන අරුතක් ඊට නැත. ගණිකාව හෙවත් වේශ්‍යාව යන අර්ථය දෙන නියම සිංහල වදන වන්නේ වේසිය යන්නයි. කෙසේ වෙතත් මෙය බලන හුදී ජන පහන් සංවේගය සහ නාඩිවේගය ගැන සිතා අපි හැකි සෑමවිටම ගණිකාව යන වදන යොදමු. අවැසි නම් අපට ඊට වඩා ලස්සනට "නගර ශෝභණී" ("නගර ශෝභිණි" කිව්වොත් වැරැදි ය) කියා ද කිව හැකි මුත් මේ කියන්නට යන අසුන්දර කතාවට එවැනි සුන්දර වදනක් ගැළපෙන්නේ නැත. 

වේස කම හෙවත් ගණිකා වෘත්තීය ලෝකයේ පළමු රැකියාවය කියති. මුලින් ලෝකයේ රැකියා කියා දෙයක් තිබ්බේ නැත. එක එකා තමන්ට හැකි පමණ වගා කරගෙන හෝ මරාගෙන කෑහ. "මම දෙයක් දෙන්නම්, මට දෙයක් දෙන්න" යනාර්ථයෙන් කරන දේ ය, රැකියාව වන්නේ. එනයින් බැලූකළ මේ කතාව ඇත්ත වන්නට ද පිළිවනි. එහෙත් පුද්ගලිකව මේ ලියන ලේඛකයා නම් ඒ අදහසට එකඟ නැත. ඒ තිබියේ වා! වැදගත් ම දේ, ගණිකා වෘත්තීය තුළ, අනෙකාගේ ලිංගික සන්තර්පණය පිණිස සිය ශරීරය විකිණීම සිදු වීමයි. සාමාන්‍ය බස් වහරින් මෙයට "දීම" යයි කියති. දීම ගැන අපි කලින් වතාවක දීර්ඝ විස්තරයක් ලියා ඇත. 

ශරීරය කිව්වාම ඒකෙ විවිධාකාර අංගෝපාංග ද තිබේ. ඒ හා බැඳුණු ලිංගික කෘත්‍ය ද ඇත්තේ යි. ඒවාට විවිධාකාර නම් ද තිබේ. සාමාන්‍යයෙන් සන්නිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඉන් වැදගත්ම අවයවය වන්නේ කටයි. මේ කට ද, ඉහළ මිලකට විකිණිය හැකි ඉතා හොඳ වෙළෙඳ භාණ්ඩයකි. විශේෂයෙන් ම පාරිභෝගික සමාජයක ඊට ඉතා දැවැන්ත වටිනාකමක් තිබේ. 

අප ප්‍රස්තුත මාතෘකාව වෙත දැන් දෑස යොමා බැලුවහොත්, ඉන් කියවෙන්නේ "විදුලි වේසකමක්" ගැනයි. මේ වදන අප විසින් තනන්නට යෙදුණේ, මෑතකදී අන්තිම අසාධාරණ ලෙස වැඩි කළ විදුලි බිලට "පක්ෂව" පෙළපාලි ගිය කාලකන්ණි ටික දැක ය. 

විදුලි බිල අහස උසට නැග්ගවූ ආණ්ඩුවේ ඒකායන පරමාර්ථය වුයේ මේ රටේ ජනතාව යළි ඇන්දවීමකි. පිටකොටුවේ පදික වෙළෙන්දෝ සහ වෙළෙන්දියෝ (එනම්, වෛශ්‍යයෝ සහ වෛශ්‍යාවෝ) ද පාවිච්චි කරන සරල දෙයකි. එනම්, තමන්ට කපා ගන්නට ඕනෑ ගණන තබාගෙන හෙට්ටු කරන්නට ඉඩ දීමයි. ඒකක 60 කට අඩු නම් ලැබෙන්නේ යයි කියන ඊනියා සහනය පුස්සක් වන්නේ අන්න ඒ හේතුව නිසා ය. 



මේ කතාව පැහැදිලි කරගනු වස් අපි සරල ගණිත කර්මයක් කරමු: ඒකකයක් යනු කිලෝ වොට් පැය එකකි. ඒකක 60 ක් යනු කිලෝ වොට් පැය හැටකි. එනම් වොට් හැටේ බල්බයක් පැයක් දල්වා තැබූ විට වොට් පැය හැටකි.

වොට් 60 බල්බය පැයක් දැල්වේ නම්----------------- වොට් පැය  1
වොට් 60 බල්බය දිනකට පැය 12ක් දැල්වේ නම් ----- වොට් පැය 12
එවැනි දින 30 කට ----------------------------------- වොට් පැය 12 x 30 = වොට් පැය 360
එවැනි බල්බ 5ක් ගෙදර ඇත්තේ නම් ----------------- වොට් පැය 360 x 5 = වොට් පැය 1800 කි. 

එනම් වොට් හැටේ බල්බ 5 ක් පමණක් පාවිච්චි කරන ගෙදරක මාසික බිල ඒකක 1.8 කි. 

වොට් අගය යනු තාපජනක අගය ගැන මිනුමකි. බල්බය ඉතා අඩු අගයක් ගනී. සාමාන්‍ය ගෙදරක හීටරය වොට් 100-300 පරාසයේ ද, රූපවාහිනිය වොට් 100-500 පරාසයේ ද, තාපකයක් වේ නම් එය වොට් 300-1000 පරාසයේ ද වේ. මේ අනුව වැඩි කළ විදුලි බිල් කතුරට හසු නොවීමට නම් අප කළ යුත්තේ මෙන්න මේ ඡායාරූප දෙකෙන් එකකි.


ඒ පළමු වැන්නයි.

මේ දෙවැන්නයි.



එසේ හෙයින්, මේ මස 15 වෙනිදා පවත්වන්නට යෙදුණු සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වුයේ එක්තරා "මහාචාරිය වරයෙක්" කී ලෙස අධික විදුලි පාරිභෝගිකයන් නොවේ. මේ රටේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව ය. 



පෙළපාලි ගියවුන්ට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය සිය සුපුරුදු මර්දන කාරී ප්‍රතිපත්තිය දිගහැර තිබිණි.
ආණ්ඩුව විසින් විදුලි බිල් ගාස්තු ඉහළ දැමීමට එරෙහි විරෝධතා සටන් පාඨ සහිත පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු අද (17) අළුයම කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
"රැවටිලි එපා, විදුලිය ගාස්තු වහා අඩු කරනු" යනුවෙන් ජනතා විමුක්ති පෙරමු‍ණ විසින් අද සවස කුරුණෑගල නගරයේ පැවැත්වීමට නියමිත ජනතා උද්ඝෝෂණයට සම්බන්ධ පෝස්ටරයක් ඔවුන් විසින් අලවමින් සිට ඇත.


පෙළපාලිය අතරතුර, ඊට එරෙහිව, එනම්, විදුලි බිල වැඩිකිරීමට "පක්ෂව" ද වෙනත් පෙළපාලියක් පවත්වන්නට යෙදිණි. 

උපුටාගැනීම "මුරුක්කු" පිටුවෙන්

දැන්නම් රාජ්‍ය මාධ්‍ය රෙදි නැතුව කියන්නේ මේ දෙවෙනි එක කෙළේ විදුලි බිලට එරෙහි අපට එරෙහිව නොව, ඊට අත පොවන්නට සැරසුණු අමෙරිකානු තානාපතීන්ට එරෙහිව බවය. අනේ අපි බබ්බු ය. නයි ටී එන් එකේ යන හැමදේම අහං ඉන්නට තරම් බබ්බු ය. 

නයි ටී එන් නිවුස් කියන්නට ඉගෙන ගන්න--පාඩම් අංක එක.

"මරා, මරා, මරා.... කෝ කියන්න...?..."
"මලා, මලා, මලා..."
"ඔහොම නෙමෙයි, මෙහෙම...අයියෝ....මරා, මරා, මරා, මරා, මරා, බැරා, බැරා, බැරා, බැරා, මරා, මරා, මරා, ගෝරා, ගෝරා, චරා, මරා, මරා, බැරා, නාරා, නාරා, මරා, මරා, මරා, ඉඳල හිටල ශිරා, මරා, මරා, මරා, මරා, යෝරා, චරා, මරා, බැරා, බැරා, ඉඳහිට රෝරා, මරා, මරා, මරා,බැරා, බැරා, ගෝරා....."
"මොනවද පුතේ කරන්නෙ...සද්දේ ඇහෙනවා කුස්සියට...?"
"මම මේ නංගිට අයි.ටී.එන් එකේ නිව්ස් කියන්න උගන්නනො..."

විදුලි ගණිකාවෝ

විදුලි බිලට එරෙහි ජනතා ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත් වෙද්දී, වෙන්නේ මොකද්දැයි අපි කළින්ම කීවෙමු. හූනෙකුටවත් ඊට වඩා හොඳ අනාවැකියක් කියන්නට බැරි ය. දැන් දැන්, ඒ අනාවැකියට අමතරව, එක එකා එක එක මට්ටමේ විචාර දෙන්නට පටන් ගෙන තිබේ. උදේ පාන්දර ජනතාවගේ දවස මූසල කරන, නාන්නෙ නැති හඩ්ඩා මේ ඊයේ පෙරේදා කීවේ "විදුලිය යනු ලක්ෂරි අයිටම් එකක්" බවය. විදුලිය ලක්ෂරි අයිටම් එකක් වන්නේ නයිට් රේස් සාමාන්‍ය වන රටේ ය. පන්සලෙන් නිකං කා හැදුණු මේ පිං බතා නොදන්නවාට විදුලිය යනු ලක්ෂරි  අයිටම් එකක් නොව, මූලික මට්ටමේ යටිතල පහසුකමකි. මේ කියන අමන කතාවලට අනුව නම්, මුගේ ආදරණීය පිතෘ රත්නය, මූව පිළිසිඳ ගනු පිණිස සිය ශුක්‍රධාතුව විමෝචනය කළාට වඩා ඒ ටික සිය සරමේ පිහිදා ගත්තා නම් හොඳ යැයි සිතෙන්නේ ය; අඩුම ගානේ කූඹි වත් කනවා ඇත. 

මීට අමතරව බ්ලොග් අවකාශයේ "දෙන සේනා" නමින් තවත් ගණිකා මඩමක් පටන් ගෙන තිබේ. අප ඊට ගණිකා මඩමක් යැයි කියන්නේ අර කී ලෙස, ගණිකා වෘත්තියේ යෙදෙන නිසා ය. ඒ ගැන අපට අහිතක් නැත. එහෙත්, අප කියන දේ වැරදි නම් ඊට එරෙහිව සකාරණ ව තාර්කිකව කරුණු දැක්වීම වෙනුවට, හුදෙක් ජෝක් සහ ආතල් සැපයීම පමණක් කරන්නේ නම් ඊට ගණිකා වෘත්තීය විනා වෙන නමක් නො හොබී. 

මේ උදවියට කියන්නට ඇත්තේ, සිය පදනමක් නැති ගොන්කතා සියල්ල පසෙක ලා හැකිනම්, මේ විදුලි බිලෙහි වැඩිවීම සාධාරණ බැව් පෙන්වන්න කියා ය. විදුලි බිල වැඩිවීම මතු නොව, එය සාමාන්‍ය පාරිභෝගිකයාට සහ ධනවත් එකාට බලපාන අන්දම ගැන වෙනම ම විශ්ලේෂණයක් කර පෙන්වන්න කියා ය. 

මේ තිබියදී, අර කී පෙළපාලි කරුවෝ එදා පාර දෙපැත්තට, ආණ්ඩුවට කඩේ යමින් විදුලි බිල වැඩි කළ යුත්තේ ඇයිද යන්න ගැන "දැනුවත් කෙරෙන" පත්‍රිකා ද බෙදා හැර තිබිණි. අංශු මාත්‍ර ඇත්තක් නැති මේ කසිකබල් පත්‍රිකා වලට කරන්නට සරි එකම එක වැඩක් අපට යෝජනා කළ හැකි ය. එනම් පෙළපාලියට ගිය එක එකාටම, සිය දෙපා සීරුවෙන් දෙපසට කොට, ඇඳ සිටින මොකක් හෝ එක උස්සා/පහත් කොට, ජංගිය ගළවා (ජොකා වෙන්නට බැරි ය; අනිවා ජංගිය විය යුතුය.) සිය අන්තර් තට්ටම් අවකාශය අතරින් ඇඟිල්ල සීරුවෙන් යවා, ගුද මාර්ග විවරය සොයා ගෙන, අර කී පත්‍රිකාව හොඳහැටි තුනීවට රෝල් කර ඒ තුළට ඔබා ගන්නා ලෙසයි.  


පසු සටහන

විදුලි බිල සාධාරණ යයි බෙරිහන් දෙන උන්දෙලාට තව එක දෙයක් අවසාන වශයෙන් කියන්නට පිළිවනි: එනම්, අනේ බං, අපේ බිලත් එක්ක ගෙවාපන් කියා ය.

Saturday, May 18, 2013

සත්තයි සහතිකයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි! විදුලිය වගේ! | Works like a Flash

විදුලි බිලේ උණුසුම ජනතාවට දැනීමත් සමග, 21 වැඩ වර්ජනයට දහස් ගණනින් සෙනග ඒකරාශී වන බවට තොරතුරු ලැබීමත් සමග, අපේ මාධ්‍ය නඩ සිය වැඩ කිඩ පටන් ගෙන තිබේ. මෙන්න මැයි මස 09 වන දින  ඒ ගැන බුකියේ දමිත් කේතක සොයුරා විසින් කරන ලද සටහනක්.




පුරෝකථනය

විදුලි මංකොල්ලයට එරෙහි වැඩ වර්ජන දිනය ලං වනවිට, ඒ වැඩ වර්ජනයේ සහාභාගීත්වය උද්යෝගිමත් බව පෙනෙන්නට තිබුණහොත් මෙන්න මේ දේවල් සිද්ද වෙනු ඇත....

1. අඳුරට අධිපති දෙවඟන, තුම්මුල්ලේ ලෙමන් පෆ්, සහ ඇහින්දානන්ද වැනි හතර පස් දෙනෙකු සමග රජය සරණ ගිය වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා හම්පඩ ප්‍රාණ කාරයන් කිහිප දෙනෙකු සූපවාහිනියට හෝ නයිටියෙන් එකේ පැවැත්වෙන් ඒක පාර්ශ්වික "සාකච්ඡා වටයකට" සහභාගී වී, විදුලි බිල ගැන පට්ටම ඇනලයිස් පාරක් දෙනු ඇත...විදුලි බිලෙන් ජනතාවට ලැබෙන සහන, සහ මේ විදුලි බිල නිසා ජනතාව පෙරටත් වඩා සුඛිත මුදිත වී දෙව් මිනිස් සැප කෙළවර ආසියාවේ අමා මහ ආශ්චර්ය ළඟා කර ගන්නා හැටි කියා දෙනු ඇත....ගොට්ට ඇල්ලීමට සහ හොට්ට හැලීමට ගෙන ආ වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා කබරයන් ටික "වැඩ වර්ජනය කිරීම නම් මොන තරම් වසල ක්‍රියාවක්දැයි" පැහැදිලි කරනු ඇත...

2. බොහෝ විට මේ තකතීරු විග්‍රහයන් අසා ජනතාව තවත් කෝප වන බැවින්, තත්වය තවත් නරක අතට හැරුණහොත්, අනිත් අය පසෙක සිටියදී ලෙමන් පෆ් තනියෙන් ගේමට බැස "එරික් සෝල්හයිම්ගේ සිට ධවල මන්දිරයේ බැරැක් ඔබාමාගේ සුරතල් බල්ලා දක්වා සියල්ලෝම" මතක් කොට, අප සැමගේ පෙර කළ කුශල ශක්තියෙන් පහළ වූ මේ පාලනය හොඳින් දිගා වී, හාන්සි වී රැක ගැනීම අප සැමගේ පරම යුතුකම බවත්, ඒ වෙනුවෙන් ඇඳිවත ඉරි ගොස්, වෙන ඇඳුම් මහන්නට රෙදි නැතිව, නිරුවත් වූවත් ඉවසා වැදෑරිය යුතු බවත්, කියා දෙනු ඇත.....

එසේම මේ වැඩවර්ජනය කරන්නට ඉදිරිපත් වන අය පෙරේදා රාත්‍රී ආහාරය ගත්තේ ඇමරිකානු තානාපතිනිය / නෝර්වේ තානාපති / ස්වීඩන් තානාපති / බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ( මෙයින් සුදුසු නම තබා අනෙක්වා කපා දමන්න ) සමග බවත්, එහිදී මේ රජය අපාසුතාවයට පත් කරන්න උපදෙස් ලැබුණු බවත් කියනු ඇත....

3 . දේශයේ පිනෙන් පහළ වූ හිටපු විදුලි තුමා වැඩිය ප්‍රසිද්ධ නැති ජන මාධ්‍ය වල ප්‍රාදුර්භූත වී, මේ විදුලි අර්බුදයට තමා වග නොකිව යුතු බවත්, දැන් ඉන්න එකී වැඩේ අනා ඇති බවත්, මේ විදුලි අර්බුදයේ මුල් ඇත්තේ කෝණාගම බුදුන් සමයටත් එපිට බවත්, එවකට මේ ශ්‍රී ලංකා ද්වීපය හැඳින්වූයේ වෙනත් නමකින් බවත්, මේ අර්බුදයට මුල් වූයේ මෙහි එවකට රජ කළ රජවරුන් බවත් පවසනු ඇත....

4. ජනතාව තව, තව මේ සටනේදී ආණ්ඩුවට එරෙහිව එකතු වේගෙන එන බවක් පෙනුනොත්, දැනට යටපත්ව ඇති සිංහල - මුස්ලිම් ගැටුම එක පාරටම යළිත් ගොජ දමමින් උතුරා එනු ඇත....හන්දියක් හන්දියක් ගානේ තෙද විකුම් පාන රැළි එකසිය ගාණට සංවිධානය වනු ඇත....

5. යුද සමරුවේදී මෙන්න මෙවැනි කථාවක් ඇසෙනු ඇත... 
" දැන් ඒ බලවේගම නැවත මේ රට අස්ථාවර කරන්න වැඩ වර්ජන රැල්ලක් සූදානම් කරගෙන එනවා....මේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඒකට ඉඩ දෙන්නෙ නෑ හාමුදුරුවනේ...එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්...!"

6. ඉරිදාට පළවන පුවත් පතක, සතිපතා ඵලවන එක්තරා ලිපියක මෙසේ ලියැවෙනු ඇත... // " වැඩ වර්ජන යනු යුදෙව් ක්‍රිස්තියානි සංකල්පයකි....අද මෙරට වැඩ වර්ජන කරුවන් බටහිරයන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කරමින් සිටිති....මෙහිදී වැඩ වර්ජකයෝ රජය පැරදවීමට ක්‍රියා කරතත්, යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක් වන "විදුලි බලය" පරාජය කිරීමට සූදානම් නැත....අප කළ යුත්තේ බටහිරයන්ගේ කසි කබල් "විදුලිය" පරාජය කොට, අපේ පැරැන්නන්ට හුරු පරිදි ආධ්‍යාත්මික බලයෙන් ආලෝකය සපයා ගැනීමයි.....වාස්තවික විදුලිය කියා දෙයක් නැති බැවින් ***** //

7 . මොන බාධක ආවත් එදිනට වැඩ වර්ජනය පැවතුණොත්, සූපවාහිනි සහ නයිටියෙන් ප්‍රධාන පර-වෘත්ති වල මෙසේ ඇසුනු ඇත.... // ... " ***තුමා තමයි මේ රට නිදහස් කරල දුන්නේ....අද අපට ආණ්ඩුවේ කන්තෝරු වලට ඇවිල්ලා වැඩක් කර ගන්න නෑ....බලන්න අපි මොන තරම් රස්තියාදු වෙනවද කියලා....මම ත්‍රිකුණාමලේ ඉඳන් ආවේ....මේ මිනිස්සු ස්ට්‍රයික් කරනවා....අපි තමයි මේකෙන් තැලෙන්නෙ....මම හාරිස්පත්තුවෙ ඉඳන් උදේ පාන්දර බස් එකේ ආවේ...... ****තුමාට අපි කියන්නෙ ඔබතුමා නිදහස් කර ගත්තු මේ රටේ මේ වැඩවර්ජකයො පරාජය කරලා අපිට සහනය සලසන්න කියලා...බලන්න මම කීයෙ ඉඳලද මෙතන ඉන්නෙ..?..."

මෙන්න අංක 6 සැබෑවක් වූ හැටි


"විදුලි වසන්තය හා නිදහස" [මූලාශ්‍රය]


මා කුඩා කළ අප නිවසේ විදුලිය නො තිබිණි. අප විදුලිය ලබාගත්තේ මා තුන්වැනි පංතියේ සිටිය දී ය. එදා සිට මා පශ්චාත් උපාධියක්‌ ලබාගෙන විදුලි උපකරණ භාවිතය හඳුන්වා දෙන තෙක්‌ අප නිවසේ විදුලි පරිභෝජනය ඒකක තිහකට අඩුවිය. එහෙත් අද වන විට මගේත් සහෝදර සහෝදරියන්ගේත් නිවෙස්‌වල විදුලි පරිභෝජනය ඒකක සියය ඉක්‌මවා ගොස්‌ ඇත. අද බටහිර ලෝකයේ දියුණුව යන්නෙන් අදහස්‌ කරන්නේ ශක්‌ති පරිභෝජනය ඉහළ යැම ය. අපේ ඉඳුරන් වැඩි වැඩියෙන් පිනවීම ය. ඉඳුරන් පිනවීම පිනක්‌ ද යන්න තීරණය කෙරෙන්නේ සංස්‌කෘතියට සාපේක්‌ෂව ය. අප නමින් සිංහල බෞද්ධ වූවත් සංස්‌කෘතියෙන් බටහිර ක්‍රිස්‌තියානි වෙමු. ඒ තාක්‌ අපට නිදහසක්‌ නැත.

විදුලි බිල වැඩිවීම ගැන කිසිදු අයකු සතුටට පත් නො වේ. පසුගිය දා ඇතැමුන් පෙළපාලි ගියේ විදුලි බිල වැඩිකිරීමට පක්‌ෂව නොවන බව පාර්ලිමේන්තුවේ දී මුග්ධ ප්‍රශ්න අසන විපක්‌ෂයේ කිහිප දෙනාට නොතේරුණාද මෙරට බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇත. ඔවුන් පෙළපාලි ගියේ විරුද්ධ පක්‌ෂය බටහිරයන්, විශේෂයෙන් ම ඇමරිකානු තානාපතිනිය සමග එක්‌ වී ආණ්‌ඩුව අස්‌ථායී කර රට අවුල් කර දෙමළ ජාතිවාදයට රට යටකිරීමට ගන්නා උත්සාහයට විරුද්ධව ය. මෙරට වත්මන් අමෙරිකානු තානාපතිනිය රටවල් අස්‌ථායී කර අවුල් කිරීම පිළිබඳ නම් දැරූ අයෙකි. ඇය මෙරට කුණු අහුලන්නේ කුණු දමමින්ය. දැනට සති කිහිපයකට පෙර ඇය ලංකා විදුලි බල මණ්‌ඩලයේ කටයුතුවලට අත දැමීමට කිසිදු තානාපතිවරයකු එතෙක්‌ කර නොතිබූ අයුරින් කටයුතු කළේ මෙරට අමෙරිකාවේ යටත්විජිතයක්‌ ලෙස සලකමිනි. විදුලි බිල වැඩිවීමට හේතු ගණනාවකි. ආණ්‌ඩුව කළ යුතුව තිබුණේ ඒ හේතු එකින් එක ගෙන ජනතාවට පැහැදිලි කිරීම ය. එසේ ම එයින් නැතිකිරීමට හැකි හේතු සොයා බලා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ය. කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් ඒකක හැටකට අඩු අයට විදුලි බිල වැඩි නොකිරීමට කටයුතු කර ඇත. අද විරුද්ධ පක්‌ෂය පෙළපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නේ ඒකක හැටකට වඩා විදුලිය පරිභෝජනය කරන්නන් වෙනුවෙනි. එනම් අධික විදුලි පරිභෝජකයන් වෙනුවෙනි. ඔවුහු රටේ බහුතරයක්‌ නො වෙති. මගේ දෙමවුපියන් ජීවත් ව සිටියේ නම් ඔවුන්ට මේ උද්ඝෝෂණයෙන් කිසිම ප්‍රතිලාභයක්‌ අත්නොවනු ඇත. මෙරට බහුතරයකට මේ උද්ඝෝෂණය වැඩක්‌ නැත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට අනුව විරුද්ධ පක්‌ෂයේ කාර්යභාරය ආණ්‌ඩුව අවශ්‍ය විට විවේචනය කරමින් රටට වැඩදායක වන අයුරින් කටයුතු කිරීම මිස බටහිර තානාපතිවරුන් සමග එක්‌ වී ආණ්‌ඩු පෙරළිම නො වේ. කසිකබල් මාක්‌ස්‌වාදී පක්‌ෂ නම් බලාපොරොත්තුවන්නේ ඊනියා කම්කරු පංති විප්ලවය සිදු කිරීමට ය. මාක්‌ස්‌වාදය යනු ඊනියා කම්කරු පංති නායකයන්ට බලාපොරොත්තු ගෙන දෙන අබිං ය. බටහිර ගැති ඊනියා රාජ්‍ය නොවන සංවිධාන බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ආණ්‌ඩුව පෙරළිමට වසන්ත කිහිපයක්‌ පසු කළේ ය. කටුනායක, ධීවර, විශ්වවිද්‍යාල, අලුත්කඩේ කඩේ වසන්ත ඒ අතර විය. තවම ක්‍රිකට්‌ වසන්තයේ නායකයාට අවශ්‍ය ජනප්‍රියතාව නැති බැවින් ඔවුන් විදුලි වසන්තයකට මාරු වී ඇත. බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නො වී ත්‍රස්‌තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල් වූ මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළා රාජ්‍ය නොවන බැළයන්ගේ කසිකබල් මාක්‌ස්‌වාදීන්ගේ හා ලිබරලයන්ගේ ආධාරයෙන් මහින්ද රාජපක්‌ෂ මහතාත් ගෝඨාභය රාජපක්‌ෂ මහතාත් දංගෙඩියට යවා අප ලබාගෙන ඇති සීමිත නිදහසත් නැති කිරීම ය, රට බෙදීම ය. විරුද්ධ පක්‌ෂයේ උද්ඝෝෂකයන් විදුලි වසන්තය ක්‍රියාත්මක කිරීම සඳහා මැයි 21 තෝරාගැනීම අපට සංකේතාත්මක ව යමක්‌ කියා දෙයි. මැයි 21 වැටෙන්නේ මැයි 18 (නන්දිකඩාල්) හා මැයි 22 (ජනරජ) දින අතරට ය. ත්‍රස්‌තවාදය පැරදවීමට විරුද්ධ වූ මොවුන් බොහෝ දෙනාට අවශ්‍ය රට බෙදීම ය. විදුලි වසන්තය ද බටහිර අධ්‍යාපනය විසින් බිහිකර ඇති කසිකබලුන් ද පරදවා පුර්ණ නිදහස දිනා ගනිමු.





අපට හිතෙන හැටියට නම් මේ විචාරයේ මහා විසාල අඩුවක් තිබේ. නලින් තුමාණන් හැමදාම සිය විචාරයන් හි දෙසන කාරනා කිහිපයක් ම ඉන් හැලී ගොස් යැ. ඒ නැති වැ ඒ විචාරයේ රසයක් ද නැත්තේ යැ. එබැවින් එතුමා මේ ලිපිය ලියන්නට ඇත්තේ හදිසියකින් වෙන්නට ඇති බව සිතමින් ද, ඒ හදිසියෙදී එතුමාට මෙන්න මේ මේ දේවල් මගහැරුනා වෙන්නට පිළිවනි යයි උපකල්පනය කරමින් ද, මේවා බලන් ඉඳීමෙන් කෙසාන්තයේ සිට පාදාන්තය තෙක් මැ රෝමෝද්ගමනය වන, ආශ්චර්යය හසන්තය, ආශ්චර්යය යැයි කියවෙන හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ද, අපි, ඒ ලිපියට මෙසේ ඌණ පූරණයක් ඉදිරිපත් කරන්නෙමු. 

මෙන්න එතුමාට සිය විචාරයේදී අමතක වූ කරුණු බිඳක්!

"විදුලිය විදුලියක් වෙන්නේ යම් දැනුම් පද්ධතියක් තුළ ය. ඒ දැනුම බටහිරයන්ගේ ඊනියා වාස්තවික දැනුම නොවේ. අපේ දැනුම තුළ බලෙන් බැඳ තබාගෙන වැඩ ගන්නා විදුලියක් නැත. අපට හිටියේ විජ්ජුල්ලතාවෝ ය. ඒ සාපේක්ෂ දැනුම, බටහිරයන්ගේ ඊනියා වාස්තවික දැනුමට ගෝචර වන්නේ නැත. වාස්තවික දැනුම කියා එකක් කොහෙවත් ඇත්තේ නැත. බටහිරයන්ට සහ උන්ට වඳින පුදන අපේ ඇන්කරයන්ට, ඇන්කරියන්ට නොතේරුණාට මේවා අපේ පෙරදිග චතුෂ්කෝටික දැනුම් පද්ධතිය තුළ අරුම දේ නොවේ. මේ අනුව මා හැමදාමත් කී ලෙස, බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ඉතිහාසය තුළ යළිත් වරක් සනාථ වී යයි.

විදුලිය යනු විදු-ලිය හෙවත් දැනුම් ලතාවයි. බටහිර ගැති අපේ කළු සුද්දන්ට දැනුම යනු අන්තර්ජාලයෙන්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් ලබා ගන්නා දැනුමයි. මේවා සියල්ලම බටහිරයන් ගේ නිර්මාණ ය. ඔවුන්ගේ විශ්ව විද්‍යාල යැයි කියා ගන්නා දැනුම් කඩ තුළින් කරන්නා සේ ම, මෙකී මාධ්‍ය හරහා ද ඔවුන්ගේ ඊනියා දැනුම අපේ මොළ වලට බලෙන් එන්නත් කරනු ලැබේ. මෙය පැහැදිලි ලෙසම ව්‍යසනයකි. එහෙත් අපට ඊට එරෙහි විය නොහැක. මන්ද සුද්දන් විසින් ම බලෙන් පටවා ගිය රෝම ලන්දේසි නීතිය නිසා ය. අපේ පැරැණි රාජ නීතිය අනුව මේ කෙහෙල් මල් මානව නිදහසක් තිබ්බේ නැත. අවශ්‍ය වන්නේ ද නැත. එහෙත් අපේ දෙරණේ පිනකට පත්ව සිටින, සිවු මහා බඹුන් දුන් විවරණ බෙලෙන් රට කරවන (අපේ දැනුමට අනුව රට පාලනය කරනවා කියා එකක් නැත. අපට අනුව ඇත්තේ රට කරවනවා යන්නකි.) අපේ සවන මිහිඳු රජාණෝ මේ ව්‍යසනය තේරුම් ගෙන තිබේ.


විදුලිය බිල වැඩි කිරීම හරහා සුද්දන්ගේ විදුලිය වෙනුවට, අපේම විජු-ලිය සොයා යාමට අපට අවස්ථාව ලැබී ඇත. විදුලිය නැති නිසා එයින් දුවන කම් හල් ද නැතිවනු ඇත. එවිට පෙර අප මුතුන් මිත්තන් කළා සේ අමුඩයක් ගසාගෙන එළියට බැස නියම ගොවිකමේ යෙදෙන්නට අපට හැකිවනු ඇත. ඇවසි නම්, කැලයකට ගොස් කොළ අතු හැඳගෙන පවා සිටිය හැකිය. බටහිරයන්ගේ ඊනියා දැනුම බෙදන වස විස බෙදන වාහිනී සියල්ලම වැසී යනු ඇත. එදාට, රටේ ජනයාට සත්‍යය කියන පවුලේ නාලිකාව සහ ජාතික රූපවාහිනී පමණක් විකාශය වනු ඇති අතර, ඒ බැලීමට ද මහා ලොකු සෙනගක් නැතිවනු ඇත. කොහොමත් මේ රූප වාහිනී, ගුවන් විදුලි, පරිගණක, අන්තර්ජාලය වැනි එව්වා කොල්ලයි බල්ලයි හැම එකාටම දෙන්නට ගියාම උන් පිටරටින් එන මාක්ස්වාදී ද අරකද මේකද යනාදී වෛරස වලින් ඔලුව පුරවා ගන්නා නිසා ඔව්වා නැති තරමට හොඳ ය. මගේ පුතා නම් ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඌට ඔව්ව බැලුවට කමක් නැත.


මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන්නට දිවා රෑ නිදි නොබලා වෙහෙසෙන අපේ මහරජතුමන් හට සැබෑ ජාතිකත්ව මතධාරීන් ලෙස (කොළ අතු ඇඳගෙන) අපි අපේ ගෞරව භක්ති පූර්වක දණ්ඩ නමස්කාරය මෙසේ පුදකරමු...." 

ඩෑන් බ්‍රවුන් සහ මොනාලීසා | Dan Brown & Mona Lisa

සටහන: මේ ලිපිය මුලින් පල කෙරුණේ, පාප් වහන්සේ සහ අලුත් සාන්තුවරු යන මැයෙන් අප ලී පැරැණි ලිපියක කොටසක් ලෙස ය. එහෙත් මෙහි දැක්වෙන යම් යම් කරුණු, බොහෝ පාඨකයන් හට නුහුරු නුපුරුදු හෙයින් දෝ, ඒ ගැන මීට වඩා සවිස්තරව ලියන මෙන් පාඨක ඉල්ලීමක් ලැබී තිබිණි. ඒ ඉල්ලීම සපුරා ලමින්, මේ ලියැවෙන්නේ එතෙක් මෙතෙක් කතෝලික පල්ලිය සම්බන්ධ තහනම් ම වචනය ගැනයි. එනම් "ශුද්ධ වූ කුසලාන" ගැනයි. 


Dan Brown සහ ඩාවින්චි කෝඩ්

මෑත කාලයේ බටහිරින් බිහි වූ පච වට්ටෝරු රචකයන් අතර අංක එකේ ස්ථානය දිනාගෙන සිටින්නේ කවුදැයි ඇසුවහොත්, ඊට නොවරදින සුලු පිළිතුරක් දිය හැකි ය. එනම් Dan Brown යනුවෙනි. පල්ලියේ පමණක් නොව මානව ඉතිහාසයම විකෘති කරමින් කතන්දර ලියා සිය මඩිය තරකර ගැනීම ගැන ඔහුට සමාව දිය හැකි නමුත්, අනුන්ගේ පර්යේෂණ තමන්ගේ කරගෙන විකුණා ගැනීම ගැන නම් ඔහුට කිසිම ලේඛකයකුගේ සමාවක් හිමි නොවිය යුතුය. ගවේෂණාත්මක මට්ටමේ සරල බ්ලොග් ලිපියක් ලියන්නට පවා මොනතරම් කරුණු සම්භාරයක් සෙවිය යුත්තේ ද යන්න සිතීම ම පමණක් ඒ සඳහා සැහේ. 

Dan Brown විසින් අමු අමුවේ කොල්ලකන ලද අදහස වන්නේ, කිතුණු ප්‍රවාද අතර වඩාත්ම ප්‍රචලිත ප්‍රවාදය වන, ශුද්ධ වූ කුසලාන හෙවත් Holy Grail යන සංකල්පයයි. පසුගිය විංශකයේ අග භාගයේ Holy Grail පිලිබඳ සමකාලීන විචාරකයන් පිරිසක් විසින් [1] පර්යේෂණාත්මක මට්ටමින් ඉදිරිපත් කරන්නට යෙදුණු, එක්තරා ආන්දෝලනාත්මක අදහසකින් කිතුණු සමාජය හෙල්ලුම් කෑවේ ය. එනම් ජේසුන් අවසන් වරට පානය කළ බවට පැවසෙන කුසලාන, සත්‍ය කුසලානක් නොව, කාන්තාවක් සංකේතවත් කරන සළකුණක් බවයි. [2]

මෙය අපේ රටේ කිතුණුවන් හට අලුත් අදහසක් වූවාට, බටහිර රටවල නම් මේ කතාව සෑහෙන පැරැණි, පිළුණු කතාවකි. එමෙන්ම දේව ධර්ම සාකච්ඡා වල දී ඇතිවන්නට පට්ට ගසා ඇති මාතෘකාවකි. විශේෂයෙන්ම ඊජිප්තු නිම්න ආශ්‍රිත ඉස්ලාම්-කතෝලික සම්මිශ්‍ර කොප්තික නිකායයන්ට සහ ඉන්දීය සම්මිශ්‍ර නොස්ටික (ඥානවාදී) නිකායයන්ට අනුව, ජේසුන් "තඹවන් හිසකේ ඇත්තියක් සමග" විවාහ වුවා පමණක් නොව, ඒ විවාහයෙන් ලද දැරියක ද වන බව පැවසේ. ඉන් බහුතරයකට අනුව ජේසුන් ගේ බිරිඳ වන්නේ අන් කවරෙකුවත් නොව, බයිබලය විසින් ගණිකාවක ලෙස හඳුන්වන මරිය මග්දලේනා ය. 

සටහන: මග්දලා යන නම ද එක්තරා විධියක ද්වියාර්ථ නමකි. පාදක සටහන් අංක [3] බලන්න.

මේ කතාවේ ඉතිරිය කියන්නට පෙර කිතුණුවන් ගේ ශුද්ධ වූ බයිබලයේ ඉතිහාසය ගැන ද වචනයක් කිව යුතු ය. බයිබලයේ පැරැණි තෙස්තමේන්තුව (පැරැණි ගිවිසුම) සහ නව තෙස්තමේන්තුව (නව ගිවිසුම) ලෙස කොටස් දෙකකි. බයිබලයේ නව තෙස්තමේන්තුව වනාහි, ජේසුන් ගේ ශුභාරංචිය වාර්තා කළ අති මහත් බහුතරයගේ වාර්තා වලින් තෝරා ගත් ස්වල්පයක් පමණි. (එහි වරදක් නැත. ආරංචිය කියන අයගෙන්, වඩාත්ම නිරවද්‍යව කියන කෙනා ගේ වාර්තාව පිළිගැනීමේ වරදක් නැත. බයිබලය පිළිගන්නා ශුභාරංචි කරුවෝ හතර දෙනෙකි: එනම්, මතෙව්, මාක්, ලුක් සහ යොහන් යනුවෙනි.) එහෙත් පැරැණි තෙස්තමෙන්තුවත්, නව තෙස්තමෙන්තුවත් යන දෙකටම අයත් නොවන, එහෙත් බයිබලීය තත්ත්වය ලබන වෙනත් ග්‍රන්ථ ද රාශියක් තිබේ. ඒවා, ද්විතීය සම්මත ග්‍රන්ථ නම් වන අතර, කතෝලික බයිබලයන්හි සාමාන්‍යයෙන් පැරැණි සහ නව ගිවිසුම් වලට අතරමැද එක්කර තිබේ. මේ වනාහි ක්‍රි.ව. 400 දී පමණ, එස්රා විසින් ජෙරුසලමේ පවුරු ගොඩනගා, ව්‍යවස්ථාව ප්‍රකාශ කිරීමෙන් පසුව, සහ ජේසුන් ලොව පහළ වීමට පෙර යන වසර 300ක පමණ කාලය පිලිබඳ ව විස්තර කරන ලියවිලි සමූහයකි.

නොස්ටික වාදී නිකාය සහ කොප්තික නිකාය වලට අනුව, ශුභාරංචි වලින් ඉවත් කළ වෙනත් ග්‍රන්ථ රාශියක් තිබේ ලු. මරියා යනු අන් කවරෙකුවත් නොව, ජේසුන් විසින් මරණින් නැගිටුවන ලද්දේ යයී කියන ලාසරස් ගේ නැගණිය වන්නේ ලු. එමෙන්ම ඈ, ජුදා ගෝත්‍ර දහතුනෙන් ප්‍රබලම ගෝත්‍රය වූ බෙන්ජමින් ගේ ගෝත්‍රයට අයත් වී ලු. කොප්තිකයන් හට අනුව නම් මරියා නමින් ද ශුභාරංචියක් වන්නේ ය. ඒ අනුව, ජේසුන් විවාහ වූ සැටි, දරුවා ලැබුණු සැටි, අපොස්තුළුවරුන් එකිනෙකා අසමගි වූ සැටි, ඒ අතර බල අරගල හටගත් සැටි සහ අවසානයේ ගැබ්බර මරියා ජෙසුන්ගේ පාවාදීමෙන් අනතුරුව ගෝල් දේශයට (වර්තමාන ප්‍රංශයට) පළා ගිය සැටි ආදිය විස්තර වේ යැයි කියති. මේ එකක් වත් කතෝලික සභාව විසින් පිළිගන්නේ නැත. 

මෑත කාලයේ තවත් මීට ම සමාන්තර ව දිවු වෙනත් මතයක් ද මෙහිදී සිහිපත් කරනු වටී. එනම්, ජේසුන් බුද්ධ ශ්‍රාවකයකු වී සිටියාද යන්නයි. මේ මතය මෑත කාලයේ දී අපේ සමාජයේ ද සෑහෙන දුරට ව්‍යාප්ත වූ එකකි. මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන නොවන නිසා අපි ඒ පසෙක තබමු; වැදගත් වන්නේ, ජේසුන් ගේ තරුණ සහ මැදිවියේ විස්තර එකක් වත් බයිබලයේ නැති වීමයි. ජේසුතුමන් ගේ කුඩා කාලයේ විස්තර හැරුණාම, ආයෙම ඔහු ගැන සඳහන් වන්නේ ඔහු ආගම ප්‍රචාරය කරන්නට පටන් ගත් කාලයේ දී ය. මේ කාලයේ ඔහු කොහේ සිටියේ ද, මොනවා කළේ ද යන්න ගැන පර්යේෂණාත්මක ගවේෂණ එකක් නොව, රාශියක් ඇත. ඉන් බහුතරය, ඔහු විවාහ වුයේ ය යන අදහසට බර වේ. (රෝමකයන් ගේ යුදෙව් නීතියට අනුව, වයස 30-ආදියක් වන තුරු විවාහ නොවී සිටීමට යුදෙව්වකු හට අයිතියක් නැත.)

ප්‍රංශයේ අද දක්වාම පවත්නා "Merovingian" නම් රජ පවුලක් වේ (est c.a. 42 A.D). මේ මෙරෝවින්ජියන් රජ පවුල පවත එන්නේ, මෙසයියා (මෙසයියා යනු ගැළවුම්කරුවා යන අරුත් දේ; ජේසුන් හඳුන්වන වචනයකි.) සහ මග්දලීනා ගේ දූ, සාරා නැමත්තියකින් ය යන්න ඔවුන්ගේ පවුල් වාර්තා වල කියැවේ. එසේම ඔවුන්ගේ පුරාවෘත්ත අනුව ඔවුන්ගේ මී මිත්තණිය "දිය කිඳුරියකි". ඉතිහාසඥයන් හට අනුව, මෙය මුහුදෙන් ගසාගෙන ආ කාන්තාවක් හඳුන්වන්නට යෙදුණු සංකේතයක් බව ය, මෙතෙක් පිළිගැනීම වුයේ. එහෙත්, ඔබ අප කවුරුත් දන්නා පරිදි, "මාළුවා" හෙවත් "ඉක්තිස්" සංකේතය අන් කවරෙකු ගේ වත් නොව, අද ද කතෝලික සංකේතයකි. මුල් කාලීන ග්‍රීක ග්‍රන්ථ වල, ජේසුස් වහන්සේ හඳුන්වන සංකේතයක් ලෙස ද "මත්ස්‍ය" සංකේතය නිතර භාවිත වේ. (සමහර විට ඒ, ජේසුන් වුවමනාවෙන්ම සිය ගෝලයන් තෝරා ගත්තේ, සමාජයේ උසස් යයි සම්මත කුලවන්තයින් අතරින් නොව, පහත් යැයි සම්මත මාළුකාරයන් අතරින් වන නිසා විය හැක). "මාළුවා සහ දිය කිඳුරිය අතර කතාව" වනාහි අන්තර්ජාලයේ කන්ස්පිරසි තියරි රචකයන් විසින් පට්ට ගහන ලද කතාවකි.

ප්‍රංශ ඉතිහාසයේ මෙතැනින් ඇරඹෙන ලේ ඥාතිකම් ශ්‍රේණියක් ම පවතී. ඔවුන් හට අනුව අද ද යුරෝපීය රාජකීය පවුල් බොහොමයක දිවෙන්නේ මේ ලේ ඥාතිවරය ය. ඒ ලේ පරපුරේ අවසාන පුරුක ලෙස සැළකෙන්නේ කලකට ඉහත අබිරහස් ලෙස මිය ගිය ඩයනා කුමරිය ය. එබැවින් ඩයනා කුමරිය ගැන ගවේෂණය කරන උදවිය හට ද, මේ කතන්දර බොහොමයක් අදාළ ය. 

වැඩි විස්තර අවැසි අය වේ නම් එක්කෝ මේ සබැඳි හඹා යන්න: නැතිනම් අදාළ වචන සඳහා සෙවුමක් දියත් කරන්න: Dead Sea ScrollsNag Hammadi LibrarySang RaalMerovingians Royal Bloodline

සටහන: මේ අප උපුටා දක්වන්නේ අපේ අදහසක් නොව, ශාස්ත්‍රීය ගවේෂණ වලට ද පාදක වූ මාතෘකාවක් බව සටහන් කරනු කැමැත්තෙමු. ඉන් කියවෙන්නේ අප මේ කතාන්දරය විශ්වාස කරන බවක් වත් අප ඒ වෙනුවෙන් පෙනී සිටින බවක් වත් නොවේ. අනික, මේ සියලු කරුණු අප දක්වන්නේ අදාළ මූලාශ්‍ර සහිතව ය. අවැසි නම් මේ සඳහා අදාළ සෑම පර්යේෂණ වාර්තාවක් ම ඉදිරිපත් කිරීමට වුව අප සූදානම් ය. 

Da Vinci Code කතාව ගෙතෙන්නේ මේ ජනප්‍රවාද සහ විශ්වාස පදනම් කරගනිමිනි. අද වන විට තරුණ පරම්පරාවේ බොහෝ දෙනා මේ කතාන්දරය සම්පූර්ණ සත්‍යයක් සේ පිළිගන්නා බව ද පෙනෙන්නට තිබේ. පසුගිය කාලයේ මේ නිසා මේ ප්‍රවාද වලට වතිකානු විරෝධය ද නොමඳව ම එල්ල විය. එසේම මේ පොත සහ චිත්‍රපටය යන දෙක ම රටවල් ගණනාවක ම තහනම් කරන්නට ද යෙදී තිබිණි. 

කෙසේ වෙතත් මේ කතන්දර විශ්වාස කරන අයට නම් කියන්නට බොහෝ දේ තිබේ. මොනාලිසාගේ පින්තුරයේ සිට, මරියතුමීගේ පිළිරුව දක්වා විත් අවසන් භෝජන සංග්‍රහය දක්වාම කතා කරන්නට දේවල් තිබේ. 



  

(මේ සියල්ලේ ම ඉන්නා කාන්තාවන්ගේ කොණ්ඩා, එකම රතු පැහැතිය. ලියනාඩෝ ද වින්චි විසින් නිර්මිත අවසන් භෝජන සංග්‍රහයේ සිතුවමට කාන්තාවක් කොයින් ආවාදැයි අදටත් කිසිවෙකු නොදනිති. ඈ ඉන්නේ ද ඈතින් නොව, ජේසු තුමන්ගේ හරියට ම එහා පැත්තෙනි. එමෙන්ම ඇගේ හිස කේ තඹ වර්ණ ය. ඩිස්නි කාටූන් දහයක් ගත්තොත් නවයකම කෙල්ල ගේ කොණ්ඩය තඹ පාට ය. පසුගිය කාලයේ අති සාර්ථකව වාර්තා පිට වාර්තා පිහිටවූ තිරගත වූ Harry Potter හි ද, ලෝකය ගළවා ගන්නට දිවි පුදන වීරයා විවාහ වන්නේ තඹ පැහැ හිසකේ ඇති කෙල්ලක සමග ය. උදාහරණ නම් අනන්ත දෙන්නට හැකිය. )


Ariel & Friends - The Little Mermaid
 
Hermione Granger








The Merida Talking Doll


Ginny Weasely & Harry Potter













ශුද්ධ වූ කුසලානේ ස්ත්‍රී සංකේතයෙන් වැඩිම වාසි ලබන තවත් පිරිසක් ද වෙති. ඒ, ඊනියා ස්ත්‍රී වාදීන් ය. ඔවුන්ට අනුව මේ ලෝකය බිහිවූ දා  සිට පිරිමි අපි කර ඇත්තේ ස්ත්‍රීන් පාගා දැමීමයි. ඔවුන්ට අනුව, මෙයද එවැනි අවස්ථාවකි. 

සටහන: මේ ලියන්නේ ස්ත්‍රී වාදයට කඩේ යන්නට නොවේ. මැමේලියාවන්ට හෙවත් ක්ෂීරපායීන්ට පමණක් ඇති ලක්ෂණ අතර, ස්ථන ග්‍රන්ථි හෙවත් පියයුරු පිහිටීම ද වේ. පියයුරු සහ ගර්භාෂය විසින්, මානවයා විශේෂ දෙකක් වන තරමට ම බෙදා වෙන්කරයි. ["Women are from Venus, Men are from Mars" ග්‍රන්ථය බලන්න.] "ගැහැණියගේ නියම ලිංගික අවයවය වන්නේ යෝනිය නොව, පියයුරු ය"යි බටහිර ජීව විද්‍යාත්මක උපන්‍යාසයක් තිබේ. මන්ද මේ තරම් විශාල පියයුරු තිබීමෙන් වන මහලොකු කාර්යක්ෂමතාවක් නැතුවා මෙන්ම, ඉන් ළදරුවා හුස්ම හිර වී මියයාමේ අවදානම ද වැඩි වීමයි. එසේම, ගැහැණිය හෙවත් "ගෘහිණිය" [පරි: එනම්, ගෙදරට වී ගේ දොර බලා ගන්න තැනැත්තිය] යන පදය නිමවෙන්නේ ද එමගිනි. අප දන්නා ජීව විද්‍යාව අනුව නම් අපි ඕක එල්ලා ගනිං යැයි කීවේ නැත.

කෙසේ වෙතත් විද්වත් සමාජයට සීමාව තිබූ මේ මාතෘකාව, කරළියට එන්නේ සහ සිනමා පටයක් බලන අතර හපන පොන් කෝන් පැකට්ටුවක් බවට පත් වන්නේ අර කී ක්ෂණික නූඩ්ල්ස් රචකයා නිසා ය. එක අතකට, කවුරු කොහොම නැතෙයි කිව්වත්, ආගමික සංස්ථා විසින්  මොනතරම් ප්‍රහාර එල්ල කළත්, විකල්ප ආගමික විශ්වාස කරළියට ඒම වළක්වන්නට කවදාවත් කාටවත් හැකි වී නැත. හැකි වන එකක් ද නැත. කවද හෝ ඒවා එලි බහී. සිදු වූ එකම හොඳ එය ය. ඒ හා බැඳුණු නරක වන්නේ Dan Brown පිස්සන් ගේ සංස්‌කෘතිය විසින් මේ විද්වත් මාතෘකාව චුවිංගම් එකක් බවට ඌණනය කිරීම නිසාය. බටහිර සමාජය තුළ Dan ලා පුරවා ලන්නේ අපේ අද්‍යතන ලාංකේය සමාජය තුළ ඊනියා දේශීය සංවිධාන බහුතරයකින් පුරවා ලන හිස් තැනම ය. එනම් හිතන්නට දෙයක් නැතිකමට කාලකන්ණිව ගිය බංකොළොත් ඔලුවලට, චුවිංගම් එකක් සේ හප හපා ඉන්නට දෙයක් දීම ය. 

පාදක සටහන්

[1]. "Holy Blood, Holy Grail" by Michael Baigent, Henry Lincoln, Richard Leigh, published by Jonathan Cape in London, 1982

[2]. [The book] suggested that Jesus and Mary Magdalene were married and that their bloodline survived in Western Europe. The word "sangraal" had, it seems, been misunderstood. When the word was broken after the "n" (san graal) it was thought to mean "Holy Grail," but if it was broken after the "g," the word rendered "sang raal," which in Old French meant "blood royal."

[3]. The "chalice" is an ancient symbol for the sacred feminine and the ancient goddesses are often associated with the "Vesica Piscis"—the () shape identified in the Greek New Testament gematria with "h Magdalhnh," the epithet given to the Mary whom early Christians identified with "the tower/stronghold" in the prophetic book of Micah.

[4]. Merovingian kings with the royal bloodline of Jesus and Magdalene. One of their myths apparently hints that an ancestress of the Merovingians was a mermaid, and another says that the mother of their founding leader Merovee’ was impregnated by a sea monster. In each of these myths, the prevailing kernel of truth seems to be that this ancestry is "part man, part fish." Since among early Christians Christ was widely identified as the "ICHTHYS" (the Fish) and Mary Magdalene was identified with the shape known as the "vessel of the fish," I believe that the ancestral mythologies of the Merovingians refer to the myth of their royal lineage. Bizarre as this conclusion may appear, it rests on the fact that myths are often vehicles for veiled truths too dangerous to be revealed.

වීරාතල් විනාශනය | Busting the Heroes



ඔබට ජාතියේ පිනට උපන් ( සහ පිනට ජීවත් වෙන ) ෆේස්බුක් වීරයෙකු මුණ ගැසුණු විට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය:

~~සටහන දමිත් කේතක ගෙනි.

1. එකම වචන සෙට් එකක් පුන, පුනා දැකීම සඳහා ඔබේ දෑස් සූදානම් කර ගන්න - "යකෝ, උන්, මේක, අල්ලනවා, දවසක, උඹලට, තේරෙයි, බහුතරය, වෙච්ච, දාට, අපේ, වීර, අතීතය, දෙන්නෙ නෑ, යකෝ, ලේ කකියනවා, යකෝ, අපිට විතරද, යකෝ" වැනි පොදු වචන සෙට් එකක් සෑම කමෙන්ටුවකදීම භාවිතා වනු ඇත....

2. සංවාදය ( කියලා අපි හිතාගෙන ඉන්න එක.... සැ.යු : අපිට මේක පේන්නෙ පුටුවක ඉඳගෙන කම්පියුටරයක ටයිප් කරනවා වගේ උනාට, උන්ට මේක පේන්නෙ අර හොලිවුඩ් ඉතිහාස ෆිල්ම් වල වගේ මහා සේනා දෙකක් මුහුණට මුහුණලා හැප්පෙන්න එන ත්‍රාස ජනක දර්ශණයක් හැටියට...) ආරම්භයේදී එකම දේ පුන, පුනා ඇසීම නිසා සහ ඌ කියන ගොන් කථා වලට ඔබට මළ පනී නම් කමෙන්ටු තුන හතරක් ඇතුළත් ඉක්මණින් ඔබේ කේන්තිය පිට කරගෙන දිග හුස්මක් ගන්න....

3. හදන්න පුලුවන්, හැදෙන්න ඩිංගිත්තක් හරි මොළයක් තියෙන එකෙක් දැයි පොඩ්ඩක් මුලින් ටෙස්ට් කර බලන්න.....ඒ සඳහා, "මේ විදියට ගියොත් මේ රටට අනාගතයේ සිදුවිය හැකි දේ මෙහෙමයි, ජාත්‍යන්තර වශයෙන් වෙන බලපෑම මෙහෙමයි, රට බෙදෙන්න තියෙන ඉඩ මෙහෙමයි" යනාදි වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් මුලින් කර බලන්න....එයට දක්වන ප්‍රතිචාරය පහත සඳහන් දෙවිදිය විය හැකිය...


ප්‍රතිචාරය :


අ ) " ඒක නම් ඇත්ත තමයි බං....ඒත් අපිට මේවා බල, බල වෙන මොනවද බං කරන්න කියන්නෙ..? "

නම් ඌ හෝ ඒකි ගොඩ ගැනීමට හැකි තත්වයක් තවමත් පවතී...ටිකක් උන්ගේ ලෙවල් එකට බැස කථා කර, ටික, ටික ඌ වළෙන් ගොඩ ගෙන අඳුරු යථාර්තය තේරුම් කර දීමට උත්සාහ කරන්න....

ආ ) " මුළු ලෝකෙම ආවත් අපිව පරද්දන්න බෑ යකෝ....තොපි නිවට හැත්ත බලා හිටපියව්....අපි සිංහයො යකෝ...අපිව පරද්දන්න ඇමරිකාවටවත් බෑ..."

නම් ඌ හෝ ඒකි ගොඩ ගැනීමේ කිසිදු හැකියාවක් නැත....එවැනි කේස් වලට දර්ශණය පැහැදිලි කර දීමට යාමෙන් හෝ, අනාගතය විස්තර කර දීමට යාමෙන් හැකි තාක් වළකින්න...

4. ඔබගේ පරීක්ෂණයට ලැබෙන ප්‍රතිචාරය ඉහත තුන්වන කමෙන්ටුවේ ( ආ ) අනුඛණ්ඩයට අයිති නම්, එතැන් සිට ඔබ තරහ නොගෙන වාදය ක්‍රමයෙන් ආතල් එකක් බවට පෙරළා ගන්න.... 

* විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ - මුන් දවසේ වැඩ කොටස කරන්න කම්පියුටරය ඉස්සරහා වාඩි වෙන්නෙ, චතුරංගණී සේනාව පිරිවරා ගෙන රණමද්දව නම් වෙළඹ පිට නැඟී මාගම් පුරයෙන් නික්මෙන ගාමිණී මහරජු වගේ ෆීලිං එකකිනි....ඒක උන් ඉන්නා සිහිනයේ උච්ඡතම අවස්ථාවයි....කොම්පියුටරය මඟුල් කඩුව ලෙසත්, පුටුව අස්සයා ලෙසත් පෙනෙන අවස්ථාවකි..."ලයික් අ බොස්" ෆීලිං එක කියන්නෙ මේකටය....ඒ වෙලාවට කාමරයෙන් පිටත සිටින ලෝකයා තමා එන විට පාරෙන් කාණුවට පැන "ජය ශ්‍රී කුමරාණෙනි..!" කියනු ඇතැයි මුන් සිතයි....ඒ වෙලාවට චේන් ගන් එක සහ බුලට් මාලය දමාගෙන 1000 ක විතර හමුදාවකට නෙළන්නට හෙලිකොප්ටරයෙන් බහින රම්බෝ වගේය.....අඩු "සඟ සහ ඇඟ" පමණි... ( සමහර විට බැක් ග්‍රවුන්ඩ් එකෙන් ලේ නටන සින්දුවක් එහෙමත් දාගෙන වැඩේට බහිනවාද විය හැක...)

මෙවැනි වෙලාවට මුන්ගේ ඔලුවේ ඇති "අර ලොකුවයින් එක" නිසා බනින්න යෑමේ තේරුමක් නැත....ඒ වෙනුවට " සුදු පැටියා, උක්කුං පුතා, වස්තුව, බබෝ" වැනි වචන වලින් උන්ව ආමන්ත්‍රණය කරන්න.....ප්‍රතිඵල අත් දුටුවයි, සත්තයි...!....මවාගෙන ඉන්නා "ලොකුවයින් එක"ට එයින් සිදුවන හානිය නිසා ක්ෂණයකින් මළ පැන, මීටර් අවුල් වී, සර්කිට් ෂෝට් වී, වයර් බ්ලාස්ට් වී, මෙමරි කුඩු වී අමු තිත්ත කුණු හබ්බෙන් බැණ වැදීම අරඹනු ඇත....එතැන් සිට ඔබේ ආතල් එක සිත් සේ ගන්න....

Thursday, May 16, 2013

පාප්තුමන් සහ අලුත් සාන්තුවරු | Pope and the New Saints

විශේෂ සටහන: පාඨක අදහසක් අනුව, මේ කතාවට ම අදාළ, Dan Brown සහ මොනාලීසා ගැන කතාව, වෙනම ම ලිපියක් ලෙස, වඩා සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත. මන්දයත් මොනාලිසා සහ පල්ලිය ගැන කියන්නට සෑහෙන දිග විස්තරයක් ඇති බැවිනි. 

මෙතෙක් කතාව

XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ හදිසි සහ අනපේක්ෂිත ඉල්ලා අස්වීම පිටුපස ඇති ප්‍රසිද්ධ රහසක් ගැන අපි මීට පෙර ලිපියකින් සාක්‍ෂි සහිතව කරුණු ගෙන හැර දැක්වුයෙමු. ඒ අනුව වතිකානුව යනු තව දුරටත් ශුද්ධ වූ පූජ්‍ය නගරයක් නොව, (ශුද්ධවන්තයන් අතර) ළමා අපචාරකයන්, සමලිංගික ගණිකා වෙළෙන්දන් සහ පිම්පියන් ද වෙසෙන නගරයක් බවට අපි කරුණු ගෙන හැර දැක්වීමු.



සටහන: මේ කිසිවක් අප පවසන්නේ කිසිදු ආගමකට අපහාස කරනු පිණිස නොවන බව කාරුණිකව සළකන්න. කුණු ඇත්තේ පන්සලේ ද, කතෝලික පල්ලියේ ද, ජම්මියතුල් උලමාවේද යන්න අපට අදාළ නැත. කුණ කොහේ තිබුණත් කුණ මැයි.

බෙනඩික්ට් පාප් වහන්සේ ගෙන් අනතුරුව එම තනතුරට තෝරා පත් කරගනු ලැබුයේ ආජන්ටීනු කාදිනල් ජෝර්ජ් මාරියෝ බෙර්ගොග්ලියෝ පියනමය. මෙය ද හිටපු පාප් තුමන්ගේ නික්මයාම මෙන්ම අනපේක්ෂිත සිද්ධියකි. මන්දයත් ජෝර්ජ් මාරියෝ පියනම, පාප් ධුරයට පත්වීමට ඉඩ ඇති කාදිනල් වරුන් ලෙස සාමාන්‍ය ජනයා සිතා සිටි ලයිස්තුවේ වත්, වතිකානු විශේෂඥයන් විසින් අනුමාන කරන ලද පිරිස අතර වත් නොසිටි "සෙවණැලි" චරිතයක් බැවිනි.



මේ ගැන අදහස් දක්වන වියානාවේ අගරදගුරු කාදිනල් Christoph Schönborn, "Telegraph" පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබුණේ "මේ තීරණය ගැනීමට දිව්‍යමය හේතු සාධක බලපෑ" බවයි. මේ ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ, කාදිනල් ක්‍රිස්ටෝෆ් තෙමේ ද, මීළඟ පාප් ධුරයට පත්වීමට වඩාත්ම ඉඩ තිබුණු කිහිප දෙනාගෙන් කෙනෙකු වීම නිසා ය.

මේ හැර, වැදගත්ම සාධකයක් වන්නේ, බෙනඩික්ට් පාප්තුමන් "සාම්ප්‍රදායිකයන්ගේත් සාම්ප්‍රදායිකයකු" වන විට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාම "නූතනවාදී" අයෙකු ලෙස නමක් දිනා සිටීමයි.

ඉස්ලාම් විරෝධී සාන්තුවරු

වැදගත්ම සිද්ධිය වන්නේ අභිනව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කරන ලද ඊළඟ වීර ක්‍රියාවයි. එනම්, එතෙක් මෙතෙක් රෝමානු කතෝලික සභාවේ කරන ලද විශාලම ශුද්ධවරයට ඔසොවා තැබීම සිදු කරනු ලැබීමයි. ඒ අනුව පසුගිය 12 වන ඉරුදින සාන්ත පේදුරු චතුරශ්‍රයේ දී, අභිනව පාප් තුමෝ එකවර 800 දෙනෙක් සාන්තුවර තත්ත්වයට හෙවත් ශුද්ධවරයට ඔසොවා තැබුහ.

ශුද්ධවරයට ඔසොවා තැබීම යන්නෙන් අදහස් වනුයේ යම් පුද්ගලයකු සාන්තුවරයකු ලෙස හැඳින්වීමයි. සාන්ත අන්තෝනි, සාන්ත පීතර, සාන්ත ජෝසප් ආදී වශයෙන් හැඳින්වෙන්නේ ඔවුන් ය. සාමාන්‍යයෙන් සාන්තුවර තත්වයට කෙනෙකු නම් කරන්නේ ජීවිත කාලයක් මුළුල්ලේ පැවති අචල දේව භක්තිය කරණකොට ගෙන, ඔහු හෝ ඇය හට යම් අධිමානුෂික දිව්‍යමය බලයක් ඇතැයි සනාථ කෙරේ නම් ය. සාමාන්‍යයෙන් බැතිමතෙකු සිය ජීවිතයම දේව කාරිය වෙනුවෙන් කැපකළ විට, ඔහු හෝ ඇය ස්වර්ගස්ථ වූ පසුව, මුලින්ම භාග්‍යවරයට ඔසොවා තබනු ලැබේ. මෙය, සාන්තුවරයකු / වරියක ලෙස තෝරා ගැනීමට සුදුසු කම් ලැබීමක් හා සමාන ය.

මේ කතාව වඩාත් පැහැදිලි වීම සඳහා අපේ අසල්වැසි ඉන්දියාවේ අසරණයින් වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළ තෙරේසා මවුතුමිය සලකමු. ඇගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව, ඇය භාග්‍යවරයට ඔසොවා තබනු ලැබීය. මෙය සාන්තුවර මට්ටමට වඩා එකක් පහළින් සිටින්නේ යැයි අපට කිව හැකි ය. භාග්‍යවරයෙන් සාන්තුවරයට ඔසොවා තැබීමට නම්, අදාළ බැතිමතාගේ නාමයට හාස්කම් බලපැවැත්විය හැකි අධිමානුෂික බලයක් පැවතිය යුතුය. සිය ජීවිතයම අසරණයින් හට අඩුම ගණනේ සුන්දර මරණයක් ලබා දෙන්නට කැපකළ ඇය ද, අදටත් හැඳින්වෙන්නේ "Mother Teresa" හෙවත් තෙරේසා මවුතුමිය ලෙස මිස, සාන්ත තෙරේසා ලෙස නොවේ.

එසේනම් මේ හිටිහැටියේම ආලිප්ත කරනු ලැබූ අලුත් සාන්තුවරු කවරහු ද?

මේ පිරිස සියල්ලෝ ම ඉතාලි ජාතිකයෝ වෙති; ගණනින් හරියටම 813 දෙනෙකි. ඔවුන් ඉතිහාසයේ හැඳින්වෙන්නේ "Martyrs of Otranto" හෙවත් "ඔට්රන්ටෝ හි ජීවිත පූජා කළවුන්" ලෙස ය. මේ පිරිස දිවි දුන්නේ 1840 දී තුර්කියේ ඉස්ලාමික සේනාව විසින් කිතුණුවතට එරෙහිව කරන ලද ආක්‍රමණයේ දී ය. ඉස්ලාමයට හැරීම හෝ හිස්ගැසුම් කෑම යන දෙකෙන් එකක් තෝරාගන්නට කී විට, ආගම පාවාදෙනවාට වඩා හිස්ගැසුම් කෑම අගනේ යැයි සිය කැමැත්තෙන් මරණය තෝරාගත් පිරිසකි, ඒ.

මේ අතර බොහෝ දෙනා නොදන්නා කරුණක් ද තිබේ. එනම්, මේ පිරිස සාන්තුවරුන් ලෙස නම් කෙළේ අලුතින් පත් වූ ෆ්‍රැන්සිස් පාප් තුමන් වුණත්, ඔවුන් හට සාන්තුවරදානය ලබා දීමට තීරණය කෙළේ, ඉල්ලා අස්වූ බෙනඩික්ට් පාප් වහන්සේ බවයි.

පාප් වහන්සේගේ දෙපා සේදීම

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය තෝරා ගැනීමෙන් පසුව කළ ඓතිහාසික සිද්ධියකින් ම මේ කතාව ඇරඹිය හැකි ය. එනම් මුළු කතෝලික පල්ලියේ ඉතිහාසයේම නොවූ විරු ලෙස, මුසල්මානු සිරකාරිනියක ගේ දෙපා සේදීමෙනි. 



(දෙපා සේදීම ගැන මෙතනින් බලන්න.)

මහ සිකුරාදා ගැන බොහෝ දෙනා දනිතත්, මහ බ්‍රහස්පතින්දා ගැන දන්නේ කිතුණු නොවන සමාජයෙන් අල්පතරයකි. මහ සිකුරාදාට යෙදෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උකුත් වීමට පෙර, අවසන් භෝජන සංග්‍රහයට පසුව, උන් වහන්සේ සිය අනුගාමිකයන් ගේ දෙපා සේදු බව බයිබලයේ ශුභාරංචි වල සඳහන් වේ. 

මේ සිද්ධිය සංකේතවත් කරමින් අද ද, මහ බ්‍රහස්පතින්දා රාත්‍රී දේව මෙහෙයේ දී, පල්ලියේ පියනම විසින් චාරිත්‍රානුකූලව බැතිමතුන් දොළොස් දෙනෙකුගේ දෙපා දෝවනය කිරීම කරනු ලැබේ. සාමාන්‍ය දියෝකීසි වල මේ සඳහා බැතිමතුන් තොර ගත්තත්, බටහිර ඉහළ මට්ටමේ පල්ලි වල මේ සඳහා තෝරා ගන්නේ සිර කරුවන් හෝ රෝගීන් ය. 

පාප් වහන්සේ කෙනෙකු විසින් චාරිත්‍රානුකූලව ඉතාලි සිර ගෙදරක සිරකරුවන් ගේ දෙපා සේදීම මහ දෙයක් නොවේ. එහෙත් මෙහි වැදගත්ම සහ ආන්දෝලනාත්මක ම සිද්ධිය වන්නේ, සම්ප්‍රදායට එකහෙළා පිටුපාමින්, උන් වහන්සේ ඒ සඳහා කාන්තාවක් ද තෝරා ගැනීමයි. (ජේසු තුමන්ගේ අපොස්තුලුක වරුන් අතර කාන්තාවන් සිටියේ නැත.) දෙවැන්න සහ අරිටත් වඩා වැදගත් සිද්ධිය වන්නේ මේ කාන්තාව සර්බියානු ඉස්ලාමික සිරකාරිනියක වීමයි. සාම්ප්‍රදායික දැඩි මතධර කතෝලිකයන් හුස්ම ඉහළට ඇදගෙන බලා සිටි මේ සිද්ධිය, මාධ්‍ය විසින් ඉතාම පුළුල් ප්‍රචාරයක් දෙමින් වාර්තා කළ බව ද කිව යුතුය. 

මේ සිද්ධිය බොහෝ විචාරකයන් විසින් නොඑකුත් ආකාරයට අරුත් ගන්වන්නට යෙදුණු සිද්ධියකි. පිරිසක් මෙය ඉස්ලාම් ම්ලේච්ඡත්වයට එරෙහිව පාප් තුමන් පෙනී සිටීමේ සංකේතයක් ලෙස දැක්වුහ. තවත් පිරිසක් මෙය පාප් තුමන්ගේ නූතනත්වයට උදාහරණ ලෙස දැක්වූ හ. තවත් සමහරු මේ සිද්ධිය විවේචනයට ද ඉදිරිපත් වූ හ.

එහෙත් මේ සිද්ධියෙන් ඉහළම වාසිය නෙළා ගත්තේ කොහෙවත් ඉන්නා පිරිසකි. වචනයෙන්ම කියන්නේ නම් Dan Brown පාඨකයෝ ය. 


  

මෙතනින් කොයිබට ද?

මෑත කාලයේ ඉස්ලාමික අන්තවාදයට එරෙහිව ලොව පුරා රැල්ලක් ගොඩ නැගෙමින් පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. එහිදී කතෝලික පල්ලිය දරන්නේ කවර ආස්ථානයක් ද යන්න වැදගත් වන්නේ, ලෝකයේ බලවත්ම ආගමික පාර්ශ්වයක් ඔවුන් මගින් නියෝජනය කිරීමයි. ඉස්ලාමික-කතෝලික සම්බන්ධතා පැත්තෙන් ගත්කළ, ඉස්ලාමයට එරෙහිව දිවි දුන් මිනිසුන් ශුද්ධවන්තයන් සේ නම් කෙරෙන, නව පාප්තුමන්ගේ මේ වරදානය, ඉස්ලාමික ආක්‍රමණ වාදයට එල්ල කළ කණේ පහරකි. නිකම්ම නිකම් කණේ පහරක් නොව, වට දෙක තුනක් කරකැවී වැටෙන්නට තරම් ප්‍රබල කණේ පහරකි. පාප්තුමන් කිහිප විටක්ම දැඩි මතධාරී ඉස්ලාමික කල්ලි විවේචනය කරන සුළු ප්‍රකාශන නිකුත් කොට තිබෙන අතර, කෙළින් කතා කරන කෙනෙකු වීම නිසා දැනටම අන්තවාදී ඉස්ලාමික ලෝකය තුළ සෑහෙන සතුරන් ගණනක් ද නිර්මාණය කරගෙන තිබෙන චරිතයකි. එසේ හෙයින් මේ අවස්ථාවේදී සම්ප්‍රදායික කිතුණු පාර්ශ්ව වල සහය එතුමන් දිනා නොගන්නේ නම්, එතුමාගේ දේශපාලන බලය සෑහෙන මට්ටමකට දුර්වල වන බවද අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

මූලාශ්‍ර


1. "Pope Francis gives church hundreds of new saints", USA today, May 12, 2013
2. "A saint-making record is also a diplomatic headache for Pope Francis"— World News on NBC News, May 12, 2013
3. "Pope washes feet of young Muslim woman prisoner", The Telegraph, May 14, 2013