logo banner
Showing posts with label නුවර. Show all posts
Showing posts with label නුවර. Show all posts

Thursday, October 23, 2014

මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can't?



"මහින්දට බෑ...!"

කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්‍තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්‍ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් සුද්දො ඉස්සරහ ලංකාව වෙනුවෙන් අච්චර කඩ්ඩ වනපු ක්‍රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්‍ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..



ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්‍තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..


දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල? මීට පස්සෙ මාත් කියන්නෙ,


"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්.."

Sunday, August 4, 2013

වැලිවේරියේ පච හැලිය | Cauldron of Lies at Weliweriya

පසුගියදා වැලිවේරියේදී සිදු වූ අමානුෂික හමුදා ප්‍රහාරය සම්බන්ධව ඔබ දැනුවත් නැතැයි අප සිතන්නේ නැත. එසේ වන්නට නම් එක්කෝ ඔබ මෙතෙක් කල් එක්ටැම්ගෙයක, ළිං පතුළක හෝ ගල්ගුහාවක වසන ලද අයෙක් විය යුතුය; නැතිනම් දුමියාට වගේ ඔලුවට වෙඩි පාරක් කා තිබිය යුතුය. කෙසේ වෙතත් ඔබේ මතකය සති දෙකකට වඩා පරණ විය නොහැක. එය ඔබේ වරදක් නොව, සමස්ත ලාංකික ප්‍රජාවගේම පොදු ලක්ෂණයකි. එබැවින් මතකය අලුත් කරගන්න, මෙන්න පැරණි ලිපිය. 


Photo credits to AU United website

දැන් සිද්ධ වන්නේ ප්‍රහාරයේ කුණු සේදීමේ අදියරයි. එනම් කළු පැල්ලම් මකාගෙන බල්ලන් දෙයියන් වන මොහොතයි. අප මීට කියන්නේ වේසකම කියා ය. වෙශ්‍යාව යනු මුදලට හෝ වෙනත් ලාභයක් තකා සිය ශරීරය විකුණන අයෙකි. එහෙත් මේ ලංකාවේ ඉන්නා එව්වෝ විකුනන්නේ ඇඟ නොව හිත ය; හෘදය සාක්ෂිය ය. ඒ අනුව අප මීට කියන්නේ ද වේසකම කියා ය. (පසු සටහන: හෘදය සාක්ෂිය විකුණන හැටි ඇල්කෙමියාගෙන් අහන්න.)

පළමුවෙන්ම වේසකමේ ගොස් ඇත්තේ උත්තම බුද්ධ චීවරධර පණ්ඩකයෙක් වීම රටේ අවාසනාවකි. මේ දිව දෙකේ දෙපත් නයා කියන දේවල් (කුණුහබ්බ නොකියා) ලියන්නට තරම් හැකියාවක් අපට නැති නිසා ඒ ලිපිය ඡායාරූපයක් ලෙස මෙහි බහාලමු. 




ඊළඟට වේසකමේ යවා ඇත්තේ මේ මරණයට ලක් වූ කොලු පැට්ටා ගේ නෑදෑ පරපුර ය. "මේ මරණය ඉහළින්ම කරන්න අපට ඕඩර්ස් ලැබිල තියෙනවා" යයි එක්තරා පොලිස් නිලධරයෙක් කියා ඇතැයි කියවේ. 




මේ අරුම පුදුම නිරුවත් රංගනය ගැන අපේ "මොඩන් පේට්‍රියට්" බ්ලොග්කරුවා මෙසේ කියා තිබේ:


අකිල මල්ලි. මේ උඹට අගෞරවයක් කරන්න ලියන එකක් නෙමේ. උඹට උන් වෙඩි තිබ්බේ උන්ගේ ආසාවට නෙමේ. උන්ට උඩින් ඉන්න අමනයන්ගේ තකතීරු නියෝග නිසා. ඒ නිසා උඹ උන්ට වෛරකරන්න එපා. අපේ රටේ මහලොකු ජාතික මාධ්‍යය කියන එවුන් කිව්වේ උඹත් දේශපාලන ව්‍යාපාරයක එකෙක් කියල. උඹ තාමත් ඉස්කෝලෙ යන ඡන්දෙ දාන්නවත් හිමිකම නැති පොඩි එකෙක් කියල උන් නොදන්නවා නෙමේ, තමන්ගේ හිතුමතේට ආතල් එකට මිනී මරන ගමන් ඊළග ඡන්දෙදිත් ආයෙත් මිනී මරන්න ලයිසන් ඉල්ල ගන්න පුළුවන් වෙන්නේ, උඹේ මරණය ඔය විදිහට මාකට් කලොත් විතරයි. 
උඹේ ගෙදර එවුන්ට මාමා හෙට අනිද්දා කෝල් කරයි. සල්ලි ටිකකුත් මිට මොලවයි. සමහර විට උඹේ ගෙදර එවුන් ලොක්කා හොද මනුස්සයෙක් කියයි. හැබැයි ඒ උඹට තියන ආදරයේ අඩුවක් නිසා කියල උඹ වැරදියට හිතන්න එපා. ගෙදර අය උඹට ආදරේ වැඩි නිසා වගේම ඉතුරුවෙලා ඉන්න අනිත් වුන්ගේ ආරක්ෂාව ගැන හිතලයි එහෙම කරන්නේ. මොකෝ ලොක්කට විරුද්ධ වෙලා උඹට වෙච්ච දේම වෙන එකෙකුට වෙයි කියලත්, බොන්න වතුර ඉල්ලලා මැරුණ උඹව උන්ගේ පිළුණු වෙච්ච ජාතික මාධ්‍යයකාරයෝ, දේශද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහයි කියලත් ගෙදර එවුන් බය වෙයි. 
එක අතකින් උන් උඹට ආදරේටද වෙඩි තිබ්බේ කියලත් මට හිතෙනවා. ඇසිඩ් වතුර බීලා, පිළිකා හැදිලා මැරෙනවට වඩා, යුධ නීතියෙන් පාලනය වෙන ඒකාධිපති ආණ්ඩුවක් යටතේ ඉන්නවට වඩා මරල දාන එක හොදයි කියල උන්ටම හිතිලා වෙන්නත් පුළුවන්.
උඹ ජාතික වීරයෙක් කියල මම කියන්නේ නෑ, උඹ මැරුණ එකෙන් මේ ආණ්ඩුවට විරෝධතාවයක් එල්ල වෙන නිසා සතුටක් මට ඇත්තෙම නෑ. 
මට දුක උඹට මෙහෙම කරන සමාජයක ජීවත් වෙලා ඉන්න අපි හැමෝටම සිද්ධ වෙච්ච එක ගැන විතරයි. අකිල මල්ලියේ උඹට නිවන් සුව පතනවා!


ඊළඟට වේසකමේ යවා ඇත්තේ "රණවිරු" හමුදාව ය. ඒ අනුව, හමුදා මාධ්‍ය ප්‍රකාශකයා විසින් අමුම අමු වේස කතන්දර ගොන්නක් කියා තිබේ. මේ සැරසෙන්නේ ඒ පට්ට වේස ආතල් එක පටන් ගන්නට පෙරම කුඩු පට්ටම් කර දමන්නට ය. මේ පහතින් දැක්වෙන්නේ අපේ පාඨකයකු විසින් අප වෙත එවන ලද ඉ-ලිපියකින් උපුටා ගන්නා ලද සමාලෝචනයකි. 

සැ.යු.: ලිපියේ අඩංගු කරුණු, විමල් ධීරසේකර විසිනි. 

පසුගියදා වැලිවේරියේදී සිදු වූ අමානුෂික හමුදා ප්‍රහාරය සම්බන්ධව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ 58 වන බල සේනාංකය වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් කරන ලද අල්ලේ පැලවෙන මුසාවාද මෙසේය:


• හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා ප්‍රකාශකයා කීය. එය අමූලික මුසාවකි.

හමුදාවට රබර් උණ්ඩ නැත. රබර් උණ්ඩ තිඛෙන්නේ පොලිසියේ කැරලි මර්දන ඒකකය ඇතුළුව පොලිසි සතුවය. ඊයේ (02) උදයේ ලබා ගත් වාර්තා අනුව වැලිවේරිය පොලිසියෙන් එකදු රබර් උණ්ඩයක් හෝ භාවිතා කර නැත. එහි රබර් උණ්ඩ තොගය එසේම පවතී. දෙවැන්න නම් පැමිණි හමුදා ඛන්ඩය සතුව තිබුනේ ටී-56 සහ ඒ.කේ-47 අවි වන අතර එම අවි වලට රබර් උණ්ඩ යෙදිය නොහැක. රබර් උණ්ඩ යෙදිය හැක්කේ තුවක්කු වලට ය. ටී-56 සහ ඒ.කේ.-47 අවි සඳහා ජීව උණ්ඩ වෙනුවට යෙදිය හැක්කේ පුහු උණ්ඩ ය. ඒවායින් කිසිවෙකුට කිසිදු තුවාලයක් නොවන අතර ඒවා ටෙලි නාට්‍ය සඳහා යොදා ගන්නා උණ්ඩයන් ය. මේ අනුව හමුදා ප්‍රකාශක සුනඛ බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය දෙසා බෑවේ අමූලික බොරුය.

• පොලිසියේ ඉල්ලීම මත හමුදාව පැමිණි බව හමුදා ප්‍රකාශකයා ද ආණ්ඩුවේ සට්ටැඹියෝද කීය. එයද අමූලික බොරුවකි.

පොලිසියේ කුමන නිලධාරියාගේ ඉල්ලීම පරිදි පැමිණියාදැයි හෙලි කරන ලෙස අප අභියෝග කරමු. මෙවැනි තත්ත්වයකදී පොලිසියේ ඕනෑම නිලධාරියෙකුට හමුදා ආධාර ඉල්ලා සිටිය නොහැක. ජනතාවක් ප්‍රචන්ඩ වී කැරලිකාරී තත්ත්වයකට යොමු වී පොදු දේපොල මිනිස් ජීවිත හානි කරමින් සිටින්නේ නම් එය පොලිසියට පාලනය කළ නොහැක්කේ නම් පමණක් එම ස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහල නිලධාරියෙකු විසින් එම ඉල්ලීම හමුදාවෙන් ඉල්ලා සිටිය යුතුය. එවිට හමුදාවට පැමිනිය හැක. ඒ අනුව කුමන පොලිස් නිලධාරියා එලෙස හමුදා ආධාර ඉල්ලා සිටියාද කියා ඔප්පු කළ යුතුය.

• පෙට්‍රල් බෝම්බ ගැහුව නිසා වෙඩි තිබ්බා කියා සට්ටැඹියෝ පවසති. එයද වැරදිය.

සිවිල් පුරවැසියන් කලහකාරී වී පෙට්‍රල් බෝම්බ ගැහුවා කියා හමුදාවකට වැලිවේරියේ ආකාරයෙන් වෙඩි තැබිය නොහැකිය.

හදිසි නීතිය නැති සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන කාල වකවානුවකදී අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලදී භාවිතා කළ යුතු නීත්‍යාණුකූල සරඹයක් යුද හමුදාව තුල පවතී. ශ්‍රී ලංකාවත් ලෝකයත් අනුදත් එකී යුද හමුදා සරඹය මෙසේය.

සාමාන්‍ය නීතිය යටතේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලට හමුදාව කැඳවිය යුත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහල පොලිස් නිලධාරියෙකු විසිනි. ඒ පොලීසිය එකී ආරක්ෂක කටයුත්තේදී පොලිස් අවම බලය යොදා එය අසාර්ථක වූ තැනදීය.

හමුදාව පැමිණීමට පෙර කැරැලි මැඩ පැවැත්වීම පිනිස පොලිස් අවම බලය ලෙස පීඩන වතුර ප්‍රහාර එල්ල කිරීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, කුළු සහ බැටන් ප්‍රහාර එල්ල කිරීම සහ අවසානයේ රබර් උණ්ඩ යොදා ප්‍රහාර එල්ල කිරීම පවා අසාර්ථක වී තිබිය යුතුය. (රබර් උණ්ඩ වලින් වෙඩි තැබීම යුද හමුදාවට අදාල නැත) එය සිදුකළ යුත්තේ පොලිසිය විසිනි.

එම ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් තිබේනම් හමුදාව කැඳවිය හැකි අතර එසේ පැමිණෙන හමුදාව අනුගමනය කළ යුතු නීති ගණනාවක් ඇත. නැතහොත් සරඹයක් ඇත.


  • එම හමුදා ඛණ්ඩය සමග මහේස්ත්‍රාත්වරයෙකු හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥයෙකු සිටීම අනිවාර්ය වෙයි. 
  • ඉන්පසු එම හමුදා ඛණ්ඩය බලය යෙදීමට පෙර විසිරී යන ලෙස අනතුරු ඇඟවිය යුතුය. එය පෙරේදා මිනීමරු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කීවා සේ "විනාඩි 5 ක් දෙනවා විසිරී යන්න යි" කීමට නොහැකිය. 
  • අනතුරු ඇඟවීම භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රිතව ජනතාව අතර ඛෙදා හැරිය යුතු අතර එසේ කළ නොහැකි නම් භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශණය කෙරෙන බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් අවම වශයෙන් තෙවරක් භාෂා තුනෙන්ම අනතුරු ඇඟවිය යුතුය.
  • හමුදාවට වෙඩි තැබිය හැක්කේ කැරලිකාර ජනයා එය පිළිනොගන්නේ නම් ඉන් පසුවය. එය නිරීක්ෂනය සඳහා පෙර කී මහේස්ත්‍රාත්වරයා හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥවරයා සිටිය යුතුම ය.


ඉහත කී සියළු කාරණා සැපිරීමෙන් තොරව සාමාන්‍ය නීතිය යටතේ හමුදාව විසින් කෙරෙන වෙඩි තැබීමක් සහ ඉන් සිවිල් පුරවැසියන් මිය යාම යුද නීතිය අනුවත් සාමාන්‍ය රටේ නීතිය අනුවත් ජාත්‍යන්තර නීතිය අනුවත් බලවත් වරදක් වේ. එය ගිනිය හැක්කේ මානව වර්ගයාට එරෙහිව සිදුකළ අමානුෂික ඝාතනයක් ලෙසය.

මේ කිසිවක් නොමැතිව පොලිසියේ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හෝ අනුමැතියකින් තොරව වැලිවේරියේ සිදුකෙලේ සම්පූර්ණ මිනිස් සංහාරයකි.

එය සිදුකළ වුන් සහ අණ දුන් වුන් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුය.

රටේ නිරායුධ පුරවැසියන්ට ඒ රටේ හමුදාව පැමිණ අණක් ගුණක් නැතිව වෙඩි තබා මරා දමනවානම් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව බරපතල අනතුරකට වැටේ. එවන් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල අයිතියක් ඇත. තම රටේ පාලකයා සහ හමුදාව පැමිණ තමා මරා දමනවා නම් එවන් ජනතාවකට ඉතිරි වන්නේ ජාත්‍යන්තරයේ ආරක්ෂාව පැතීම පමණි.

(උපුටා ගැනීම අවසන්)

සියල්ල අවසානය වෙද්දී රටේ ජහමනයා නමින් හඳුන්වන ගොන්ගස් වලට එකක් තේරී තිබේ. එනම් මෙතෙක් කල් කරේ තබාගෙන ගිය රණවිරුවා, හිතන තරම් "දෙයියෙක්" නොවන බවයි.

"මම යුධ හමුදාවට දෙපාරක්ම ලේ දුන්න මනුස්සයෙක්. බාල පුතාට අවුරුදු 18 පිරුණම යුධහමුදාවට දුන්නා. මම මේ ලේ දුන්න අත මම කපලා දානවා..."- ප‍්‍රදේශවාසියෙක් කියයි [වීඩියෝව මෙතැනින්]

සබැඳි වෙනත් ලිපි

  1. ටැබූ - සොල්දාදුවෝ දැන් බැහැපිය කරෙන් බිමට! 
  2. මාතලන් - රතුපස්වලට අමා වතුර 
  3. කතන්දර - "කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර්"
  4. Loopholes - මහා බෝධි පුජා පිංකම 
  5. Aru "හමුදා ටින්කිරි"
  6. අපේ ඉසව්ව - "වැලිවේරිය, රූකාන්ත,චන්ද්‍රලේඛා සහ තවත් කතා"
  7. කසාපබ්බත - එක ප්‍රශ්නයකට එක බිල්ලක් 
  8. සංවේදී - වෙඩි කෑ උන් වෙනුවෙන් ධනපතියාගේ සටහන
  9. රැඩිකල් අදහස් - නිකරුණේ මිනීමරන කුලී හමුදාව
  10. අමාවක - රතුපස්වල දේශප්‍රේමය
  11. මානවක - දුෂ්ටයා හමුදාව විතරද?
  12. නාඩියා - "දයාබර වැම්පියර්තුමනි"
  13. අන්සතු දිනපොත - "අවියෙන් දුන් වතුර"
  14. ඉවාන් පවුලූශා - "පෙරළුණු නැවුම් (රතු) පස.."
  15. තුරු සෙවන ලියන මැණික් "වතුර !! කඳුලු !! වතුර !!"
  16. Sabith - උතුර දකුණ රතුපස්වල සහ අපි!
  17. නිදහස් සිතුවිලි - "පුදුකුඩිඉරුප්පු සහ වැලිවේරිය..2009 සහ 2013."
  18. බිගුසර - "ආදරණිය රණවිරුවනේ මේ ඔබේ අවධානය පිණිසයි.."

Friday, August 2, 2013

තුවක්කුවෙන් පුකේ ඇරීම | Rifle Butt in Yo Butt



කොළඹ නුවර පාරට ආසන්නව රතුපස්වල කියා දේශද්‍රෝහී ගමක් තිබේ. ඒ ගමේ වෙසෙන දේශද්‍රෝහියෝ එසේ දේශද්‍රෝහී වී ඇත්තේ මේ මෑතකදීය. ඊයේ පෙරේදා වනතුරු ඒ මිනිස්සු ද ආසියාවේ ආශ්චර්යයේ ආඩම්බරකාර පුරවැසියෝ ව සිටියහ. රතුපස්වල පිහිටි "වින්ග්‍රෝ" නම් කම්හලකින් මුදාහැරෙන අපජලය නිසා ප්‍රදේශවාසී මිනිස්සුන්ට බොන්නට වතුර නැති වීම මෙසේ දේශද්‍රෝහී වන්නට හේතුව යයි කියති.

(පසුබිමින් සජීව ආවරණය බලන්න. වැඩි විස්තර මෙතැනින්.)



අපේ රටේ මිනිස්සුලාට මොන දේ කළත් ගුණයක් නැතැයි කියන්නේ ඕකට ය. බොන වතුර ටික නැහැමයි කියමු. වතුර නැත්තං මැරෙනවාද? උගන්ඩාවේ පානීය ජල පුරස්නය විසඳීම පිණිස, ඇමරිකාවෙන් ණයට ගත් සල්ලි ඩොලර් මිලියන 160 ක් අපේ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ අත දිගෑරලා වියදං කොරාපු අපෙ ආඩම්බරකාර තාත්තා ගැන හිතනකොට, හරිහමං දේශප්‍රේමී ජනතාවක් නම් නිකංම බඩ පිරෙන්නට ඕනේ නේද? අනික මේ රටේ බොන්න වතුර ටික ද ලොකුම ප්‍රශ්නේ? නැගෙනහිර, හලාල්, කූරගල, හලාල්, තම්බි, රාමසාන්, ජිහාඩ්, හලාල්, අන්‍යාගමික කුමන්ත්‍රණ, හලාල්, හලාල්, හලාල් යකෝ හලාල්, ඩෝසර් කරපු පූජාබූමි, දඹුල්ල, උලාමාවරු, වහබි, ජිහාඩ්, හලාල්, මහියංගණේ පල්ලිය, සලාෆි, සුල්ෆික්, හලාල්, තවුෆීක්, නාශිඩ්, හලාල්, මූදු මහ විහාරය, හලාල්, නැගෙනහිර, කූරගල, උලාමා, වහාබි වැනි ප්‍රශ්න කීයක් මේ රටේ මේ මොහොතේ දැවෙන ප්‍රශ්න ද?

අනික මේ වින්ග්‍රෝ සමාගමේ බහුතර කොටස් හිමි වන්නේ හේලීස් සමාගමට වන අතර එහි අධිපති ධුරය දරන්නේ ද මේ රටේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයකු දේශප්‍රේමියකු වන ධම්මික පෙරේරා ය.

කෙසේ වෙතත් මේ දේශද්‍රෝහී පරබල්ලන් පන්දහසක් වැනි සුළු පිරිසක් අද දින බැලුම්මහර අසලදී කොළඹ නුවර මාර්ගය පැයක පමණ කාලයක් අවහිර කරගෙන උද්ඝෝෂණය කර තිබේ. වහ වහා එතැනට පැමිණි අපේ වීරෝදාර STF බලකාය විසින් සිය අවම බලය පාවිච්චි කරමින් කඳුළු ගෑස්, ජලප්‍රහාර සහ බැටන් පොලු ප්‍රහාර එල්ලකර තිබේ. මෙවැනි පාහර බල්ලන් හට පහරදී එළවා දැමීමට මෙවැනි අවම බලයක් පාවිච්චි කිරීම ගැන රටේ ජනතාව පුදුම වන අතර, මේ අහස පොළොව නූහුලන අපරාදය බලා ඉන්නට බැරි තැන, රබර් උණ්ඩ රැගත් කළහ මර්දන තුවක්කුවක් නාථ දෙවියන්ගේ ආනුභාවයෙන් ඉබේම පත්තු වී, ඉන් එක් දේශද්‍රෝහියෙක්  දේශද්‍රෝහියෝ දෙන්නෙක් දේශද්‍රෝහියෝ සිවුදෙනෙක් මියගොස් තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මුලින්ම වාර්තා වූ මරණය මේ උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති 16 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙකු වන අතර  ප්‍රදේශයේ කලක පටන් පැවති ආරවුලක් නිසා සිදු වූ සිද්ධියක් වන අතර, එය මේ සිද්ධියට සම්බන්ධ කරමින් හමුදා ප්‍රහාර වලින් පාසැල් ශිෂ්‍යයකු ගේ මරණයක් සිදු වූ බවට කැරලිකරුවෝ අසත්‍ය ප්‍රචාර ද පතුරුවමින් සිටිති.

මේ අවස්ථාවේ දී මේ උද්ඝෝෂණය මැඩලීම සියලු ජාත්‍යන්තර නීති රීති වලට අනුවම සිදුව ඇති අතර, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින්, කැරලිකරුවන් තියුණු මුවහත් පිහිවලින් ඔවුන්වම කපාගෙන, ඔවුන්ගේ තුවාලකරුවන් ඔවුන්ම පයින් පාගාගෙන, තුවාලකරුවන් බාරගන්නට සියලු රෝහල් සූදානම්ව සිටියදී ඒවාට ඇතුලත් නොකර, අන්තිමේදී එදා රාත්‍රියේ යුද හමුදාව සේ බොරුවට පෙනී සිටිමින් කැරලිකාර පවුල් වල ගෙවල් වලට පැන උද්ඝෝෂකයන් හට බිම පෙරළාගෙන පහර දී ඇති බවද "ලක්බිම" වාර්තාව අනුව අපට පැහැදිලිය. 


මඳ විරාමයක්.. මේ ගීතය ඔබ වෙත ගෙන එන්නේ රණවිරු රියල් ස්ටාර් අනුග්‍රහයෙන්..

බෝධි පූජා තිබ්බ උන්ටත් කෙළින හැටි දැක රණ මතින්....
( පැප්ප පෝං ... පැපැප්ප පෝං... )
මානුසික මෙහෙයුමේ වගතුග හිතා ගනු ඇත පිට රටුන්....
( පැප්ප පෝං ... පැපැප්ප පෝං... )
මව් බිමේ දිය පොද පතා මහ මගට බට පුර වැසි පුතුන්...
( පැප්ප පෝං ... පැපැප්ප පෝං... )
උන්ගේ ලේ සහ උතුරෙ ලේ එක ලෙස පෙරේ මහ උන් නමින්...
( පැප්ප පෝං ... පැපැප්ප පෝං... ) 
පදරචනාව දමිත් කේතක ගෙන්. 


මේ අතර මේ සිද්ධිය ගැන නයි.ටී.එන්. හෙවත් උගේ පවුලේ නාලිකාට අදහස් දක්වමින් දවටගහ පල්ලියේ බැතිමතෙක්:

බොන්න වතුර ඉල්ලං පාරට බයින්න මුන්ට පිශ්ශුනෙ අයිෂෙ. එක්කො ඉල්ලපිය වරායක්. එයාපෝට් එකක්.. ෂල් මල් කුළුනක්.. නයිට් රේෂ් එකක්.. දැයට කිරුළක්.. ශැටලයිට් එකක්.. ඇමරිකං පුබ්බෝල්... මුනාද මේ මුන් ඉල්ලුවෙ? තූ නොදකිං වෙඩි තියපු එකමයි හොද.. ඈශ්චර්යටත් කැළලක් මුං!!
නිර්මාණය Seze Caprio 


මේ අතර මේ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වන ප්‍රවීණ ගූ-තිෂවේදී ගොන්සිරි බණ්ඩා වෙනුවෙන් උගේ--සමාවෙන්න ඒ මහතාගේ නියෝජිත සුරේෂ් කොල්ලා මෙසේ අදහස් දැක්වීය.

• 2010 (ජුලි) මාතරදී සුසන්ත අරුණ බණ්ඩාර ....
• 2011 (ජුනි) කටුනායකදී රොෂාන් චානක ....
• 2012 ( පෙබරවාරි ) හලාවතදී ඇන්ටනි ෆර්නෑන්ඩෝ ....
• 2013 (අගෝස්තු) වැලිවේරියේදී .................................

ට්‍රීන් ට්‍රීන් .... ඊළඟ එන්න ......
(පොර කන්න එපා යකෝ)

සබැඳි වෙනත් ලිපි

  1. ටැබූ - සොල්දාදුවෝ දැන් බැහැපිය කරෙන් බිමට! 
  2. මාතලන්රතුපස්වලට අමා වතුර 
  3. කතන්දර - "කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර්"
  4. Loopholes - මහා බෝධි පුජා පිංකම 
  5. Aru - "හමුදා ටින්කිරි"
  6. අපේ ඉසව්ව - "වැලිවේරිය, රූකාන්ත,චන්ද්‍රලේඛා සහ තවත් කතා"
  7. කසාපබ්බත - එක ප්‍රශ්නයකට එක බිල්ලක් 
  8. සංවේදීවෙඩි කෑ උන් වෙනුවෙන් ධනපතියාගේ සටහන
  9. රැඩිකල් අදහස් - නිකරුණේ මිනීමරන කුලී හමුදාව
  10. අමාවක - රතුපස්වල දේශප්‍රේමය
  11. මානවකදුෂ්ටයා හමුදාව විතරද?
  12. නාඩියා - "දයාබර වැම්පියර්තුමනි"
  13. අන්සතු දිනපොත - "අවියෙන් දුන් වතුර"
  14. ඉවාන් පවුලූශා - "පෙරළුණු නැවුම් (රතු) පස.."
  15. තුරු සෙවන ලියන මැණික් - "වතුර !! කඳුලු !! වතුර !!"
  16. Sabithඋතුර දකුණ රතුපස්වල සහ අපි!
  17. නිදහස් සිතුවිලි - "පුදුකුඩිඉරුප්පු සහ වැලිවේරිය..2009 සහ 2013."
  18. බිගුසර - "ආදරණිය රණවිරුවනේ මේ ඔබේ අවධානය පිණිසයි.."

අදත් පිටපත උගෙන්ම තමා.


Sunday, May 26, 2013

ඉන්දරතන හිමි සහ අපි | Thero Indarathana and Us

එකම මාතෘකාව නැවත නැවත පට්ට ගැසීම අපේ සිරිත නූනත්, මේ මෑතක සිදු වූ සිද්ධිය වවාගෙන කෑමට සමහරුන් දරන කූට උත්සාහය පරාජය කරනු වස් මේ වචන ටික ලියා තබනු රිසි වෙමු. අවැසි කෙනෙක් වේනම් කලින් ලිපිය මෙතැනින් කියවිය හැකි ය. (ඒ වන විට මාධ්‍ය වාර්තා වල වැරදියට නම සටහන් ව තිබුණේ ඉන්දසාර හිමි ලෙස බව සළකන්න.)

ප්‍රස්තුතය

ප්‍රස්තුතය නම්, හැමෝම දන්නා පරිදි, මහනුවර ශ්‍රී සුගත විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් විසින්, පෙරේදා නුවර දළදා මාලිගාව ඉදිරිපිට කරන්නට යෙදුණු ගිනිතබා ගැනීමයි (හෙවත් සමහරුන්ට අනුව ජීවිත පූජාවයි). මේ ගැන අපට වඩා සවිස්තරව ලියා ඇති බොහෝ දෙනා වන නිසා ඒ ගැන පුන පුනා පැවසීමට වඩා ඒ සබැඳි ලිපි වලට පාර පෙන්නීම පහසු ය. 


ඉන්දරතන හිමිගේ අවසන් ලිපිය

ඔබ මේ වන තුරු දැක නැත්නම් උන් වහන්සේ ගේ අවසන් ලිපිය මෙතැනින් බලන්න.



මේ ලිපිය බැලීමේ දී, ඉතා හොඳ සිහියෙන් දෙවරක් බලන්න යැයි අපි ඔබට කියමු. මන්ද මේ කතාවේ අවසානයේ දී අපි නැවතත් මේ ලිපියට එන බැවිනි.

අප අපේ සංවාද කාරණයට එන්නේ දැන් ය. එනම්, මෙය සැබවින්ම ජීවිත පූජාවක් ද? 

බෝසත් සිරිත

බොහෝ දෙනා මේ සිද්ධිය බෝසත් සිරිත සමග සසඳා බලනු පෙනෙන්නට තිබිණි. එනම්, බෝසතුන් සස ජාතකයේදී සාවකු සේ ඉපිද, සිය ජීවිතය පූජා කිරීම සමගයි. අපි මේ කතාවේ ඇත්ත නැත්ත විමසමු. 

බෝසතුන් හෙවත් බෝධි-සත්ත්වයන් වහන්සේ කෙනෙක් යනු සම්‍යක් සම්බුද්ධ, පච්චේක බුද්ධ හෝ අරහන්ත බුද්ධ යන තුන්තරා බෝධියෙන් එකකින් සත්‍යාධිගමය ලබනු පිණිස පාරමී දම් පුරන කෙනෙකි. පාරමිතා දහයකි. එනම්, දාන, සීල, නෙක්ඛම්ම, පඥ්ඥා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෛත්‍රී, උපෙක්ඛා යනුයි. මේවා, පාරමී, උප පාරමී සහ පරමත්ථ පාරමී යනුවෙන් පුරන අවස්ථා තුනකි. පාරමී යනු පුද්ගලික දේපළ සහ අඹු දරුවන් පවා කැප කරගෙන කරන පිරීමයි. උප පාරමී යනු ශරීරාවයව පවා කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී යනු ජීවිතය කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. 

ඒ අනුව, පරමත්ථ පාරමී පුරන්නට නම් ඉතුරු අවස්ථා දෙකම සපුරා තිබිය යුතුය. එමෙන්ම, ජීවිතය කැප කරන්නේ දානය, සීලය වැනි කවර හෝ ඉහත දක්වා ඇති කරුණු දසයෙන් එකක් පිණිස විය යුතුය. එය බෝසත් චර්යාවක් වන්නේ එවිට ය. උදාහරණයක් ලෙස, සස ජාතකයේදී බෝසතුන් දිවි පිදුවේ, "මගේ ශරීර මාංශය තවෙකෙකු හට දානයක් වේවා!" යන චේතනාවෙනි. ඔහේ හිතුමනාපේ ජීවිතය පූජා කළාට බෝසත් සිරිතක් වන්නේ නැත. හරකුන් මැරීමට එරෙහි වීම හොඳ බව සැකයක් නැත. එහෙත් එමගින් සපිරෙන්නේ කවර නම් පාරමිතාවක් ද? 

සියදිවි නසා ගැනීම සහ ප්‍රාණඝාතය

සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් වන්නේ ද නැද්ද යන්න ගැන දැනටමත් කෙස් පැලෙන තර්ක ආරම්භ වී තිබේ. ඒ ගැන වාද කිරීමට සමර්ථකමක් අපට නැති හෙයින් අපි හුදෙක් කරුණු දැක්වීම පමණක් කරමු. 

ප්‍රාණඝාතයක් සිද්ද වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුය.
1. ප්‍රාණියෙක් බව දැනගැනීම
2. මරන චේතනාව පහළ වීම
3. මරන පිණිස උපක්‍රමයක් යෙදීම
4. උපක්‍රමය සාර්ථක වීමෙන් මරණය සිද්ධ වීම
5. ඒ බව දැනගැනීම

මෙහිදී කොහේවත් "තමාගේ" / "අනුන්ගේ" කියා බෙදීමක් නැත. සතිපට්ඨාන සුත්‍රයේ මෙම අජ්ඣත්ත-බහිද්ධ හෙවත් ඇතුළු-පිට (තමන්/අනුන්) විග්‍රහය දක්වා තිබේ. බුදු දහම අනාත්ම වාදයකි. හරියට බැලුවොත් තමා-අනුන් කියා දෙයක් නැත. ඇත්තේ එකම පංචස්කන්ධ පමණි. එසේනම් මගේ ප්‍රාණය සහ උගේ ප්‍රාණය කියා දෙකක් අතර වෙනසක් ද නැති විය යුතුය.

කෙසේ වෙතත් විනය මට්ටමින් මේ දෙක අතර වෙනසක් පවතී. තවත් මිනිසෙකුගේ ප්‍රාණය තොර කිරීම මනුස්ස විග්ගහ පාරාජිකාවකි. එනම් ඉතා බරපතල වරදකි; සිය දිවි නසා ගැනීම දුක්කටාපත්තියකි. සතෙකුගේ පණ නැසීම ඊටත් අඩු පාචිත්තිය ඇවතකි. විනය අටුවාව වන සමන්තපාසාදිකාවේ මේ ගැන සෑහෙන විස්තර දැක්වේ. 

නොදන්නවුන්ගේ දැනගැනීම පිණිස, පාරාජිකා ගැන ද යමක් කියමු. පාරාජිකා යනු "පරාජය වන්නේ ය" යන අරුත් දෙන වදනකි. එනම්, "මුල සුන් ගසක් මෙන්, කරටිය සිඳුණු තල් ගසක් මෙන්, යළි මේ ජීවිතයේ කවරදාකවත් චීවරයක් දැරීමට නුසුදුස්සෙක් වන සේ පැවිදි දිවියෙන් පැරද පලා යන්නේ යම් වරදකින් ද, එය පාරාජිකා වේ." පාරාජිකා වූ භික්ෂුවක් සාමණේරනම් උපසම්පදාව නොදිය යුතුය. උපසම්පදා වී ඇත්නම් සිවුරු හැරවිය යුතුය. එවැනි පාරාජිකා හතරකි. එනම්,

1. මෛථුන ධම්ම පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම
2. අදත්තාදාන පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් නොදුන් දෙයක් ගැනීම
3. මනුස්ස විග්ගහ පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් මනුෂ්‍ය ජීවිතයක් තොර කිරීම
4. උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව - භික්ෂුවක් නැති ලොවුතුරු ගුණ (උදා: නැති රහත් බවක්) පෙන්වීම

අදාළ පාළි පාඨ මෙතැනින්. 

සටහන: මේ අනුව අද වෙසෙන චීවරධාරීන්ගෙන් කී දෙනෙක් සිවුරු දැරීමට සුදුස්සෝ වෙත් දැයි ද ගැටළුවක් පැනනගී. 

විනය පිටකය අනුව නම්, සියදිවි නසා ගැනීම පාරාජිකාවක් නොවේ; ඊට වඩා අඩු, දුක්කටාපත්ති නම් වරදකි. දුක්කටාපත්ති හෙවත් දුකුලා නොවී සිය දිවි නසාගත හැකි අවස්ථා ද හතරක් තිබේ. 

1. බරපතල ලෙස රෝගී ව සිටින නමුත් බෙහෙත් / උපස්ථායකයන් නැති විට දී,
2. සුව නොවන ලෙස කල් පවතින රෝගයක් වැළඳ, උපස්ථායකයන් ද වෙහෙසට පත්ව ඇති විටදී,
3. මරණය වලක්වා ගත හැකිව තිබියදී, එය වළක්වන්නට කරන උත්සාහයේ දී ධ්‍යානය බිඳේ නම් එවිට දී,
4. ආහාර ගැනීම පවා බවුන් වැඩීමට ගන්නා උත්සාහයට බාධාවක් වේ නම් එවිට දී.

මේ කියන්නේ අප නොවේ.
"....උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වසකෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ... මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය...."  ~ රේරුකානේ චන්දවිමල හිමි, උපසම්පදා ශීලය

මේ අනුව, ප්‍රාණඝාතයක් වුණත් නැතත්, ඉහත දිවි නසා ගැනීම, විනයට අනුව පැහැදිලි වරදක් බව පෙනේ. 




ගෝධික තෙරුන්ගේ කතා වස්තුව

මෙයද බොහෝ දෙනා වරදවා ගන්නා උදාහරණයකි. ගෝධික යනු පිට පිට සයවරක් ධ්‍යාන වඩා ඒ සය වරම ධ්‍යානය රැකගත නොහැකිව ඉන් පිරිහී ගිය හිමිනමකි. මේ කෙරුවාව තවත් කරන්නට බැරිය, මෙවර නම් ධ්‍යානයෙන් පිරිහෙනවාට වඩා මරණය සැපයි කියා සිතු ගෝධික තෙරණුවෝ, දැලිපිහියක් ගෙන, ධ්‍යානයට එළඹෙනවාත් සමගම ගෙල සිඳ ගත් හ. එහෙත් ගෙල කැපී යත් ම දැනෙන වේදනාව අරමුණු වත්ම, මෙතෙක් කල් අවබෝධ කරගත නොහැකිව තිබූ චතුරාර්ය සත්‍යය උන් වහන්සේට අවබෝධ විය. වේදනානුපස්සනාව අරමුණු කළ උන් වහන්සේ එකෙණෙහිම සත්‍යාවබෝධය ලබා රහත් වුහ. මේ ගැන නොදන්නා මිනිස්සු, භික්ෂුවක් සිය දිවි නසා ගත්තේ ය යන කතාව පැතිරවූ හ. බණ පොතේ හැටියට මාරයා, ගෝධික තෙරුන් කොහි උපන්නේ දැයි නොදැක, අන් වෙසක් මවාගෙන බුදුන් හමුවට විත්, "ගෝධික කොයි ගියේ දැයි" විමසු බවත්, බුදු හිමි, "මාරය, ගෝධික තොපට සොයා ගන්නට බැරි තැනක නිවී ගියේ යැයි" කී ලු. 

මේ සිද්ධිය අනුව පැහැදිලි කරුණක් මතු වේ. එනම්, ගෙල කපා ගන්නට තීරණය කෙළේ පෘථග්ජනයෙකි. මරණය වන විට ඔහු රහතෙකි. ඒ අනුව, ගෝධික තෙරණුන් ගේ ක්‍රියාව හුදෙක් ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් සිදු වූ දෙයක් බවත්, ඒ පිටුපස කිසිම ලෞකික අරමුණක් නොතිබූ බවත් පැහැදිළිව පෙනේ. 

සිරිසඟබෝ සිරිත

මේ ගැන ද කියන්නට ඇත්තේ සස ජාතකය ගැන කී ටික මැයි. සිරිසඟබෝ රජු හමුවට ආ මගියා කියා සිටියේ, ඔහුගේ රාජ්‍යය පැහැර ගත් මල් බෑ තෙම, සිරිසඟබෝ යැයි සැකපිට මිනිසුන් දහස් ගණනක් මරා දමන සැටියි. සිරි සඟබෝ රජු ගෙල කපා දන් දෙන්නේ, තමාගේ හිස ලැබුණු පසු අර කී මනුෂ්‍ය ඝාතන නවතින බව සක්සුදක් සේ දැනසිටි බැවිනි. මිසක් මනුෂ්‍ය ඝාතන වළක්වපියවූ කියා උද්ඝෝෂණ කරන්නට නොවේ. 

ප්‍රායෝගික පැත්ත

දැනට දන්නා දත්ත අනුව ගත්කල අපේ ලංකාව තුළ දිනකට ගබ්සාවන් 500 කට වඩා සිදු වේ. රට වටකර ඇති මුහුදු තීරයේ මසුන් ටොන් ගණනින් මරා දැමීම සිදු කෙරේ. බෙල්ල කපාගෙන, කට කපාගෙන, මැරෙන මොහොතේ අවසන් හුස්මවත් හිමි නැතිවයි, මාළුවා මැරෙන්නේ. දිනකට මරා දමන ඌරන් ප්‍රමාණය 3000 ත් 5000 ත් පමණ වේ. කුළුගෙඩි පහර කමින් ඉහ මොළ පුපුරු ගසන තරමේ වේදනාවක් විදිමින් පැයකට අසන්න හෝ පැයකටත් වඩා මරුවා සමග පොද බදන ඌරන් වෙනුවෙන් ජීවිතය පුජා කිරීමට කිසිවකුත් නොමැත. දිනකට මරා දමන කුකුලන් ප්‍රමාණය ලක්ෂ ගණනින් මැනිය හැක. කුකුලන් මරා දමන සමහර ක්‍රම සිහි ගන්වන්නේ අපායේ වධ වේදනා ය. ගොවිකමේ දී දිනකට මැරෙන මදුරුවන්, මදුරු කීටයන්, කෘමීන් ආදිය ගැන ගණන් හිලවු වත් නැත. සත්තු සිටී වා! දිනකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි. මේ ගැන කතා කරන්නට කවුරුවත් නැත්තේ ඇයි? 

ලිපිය

අප ඔබට පොරොන්දු වූ පරිදි, මේ සූදානම් වන්නේ අර කී ලිපිය ගැන කතා කරන්නට ය. මේ අප ඔබේ සතිමත් බව පරීක්ෂා කරන මොහොතයි. සූදානම් වන්න!

පළමුව, මේ ලිපියේ දැක්වෙන ජීවිත පූජාවේ අරමුණු මොනවාද?

1. මේ ධරමද්වීපයේ ගව ඝාතනය නතර වේවා!
2. ත්‍රස්තවාද තුරන් වේවා!
3. බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ දී සම්මත වේවා!
4. බහුජාතික, බහුආගමික, සර්ව ආගමික බුදු දහම විනාශ කරන පූට්ටු නැති වේවා!
5. බෞද්ධ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය වේවා!
මේ කාරනා ඉටු නොවේ නම්, බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි.

මේ කරුණු ගැන දීර්ඝව කතා කිරීම පාඨක ඔබ වෙහෙසවීමකි. එහෙත් එය කළ යුතුය, මන්ද මේ සමස්ත සිද්ධියේ "බර" රඳා ඇත්තේ ඒ මත වීම නිසා ය. 

පළමුව, මස් කන්නන් සිටියදී, ගව ඝාතනය නතර කළොත් වෙන්නේ කුමක් ද? ගවමස් පිටරටින් ආනයනය කරන්නට සිදු වීම හැර අන් කවරක් ද? දැනටමත් ණය බරින් මිරිකෙන අප වැනි රටකට ඒ බර දරා ගත හැකි ද? අනික, මස් මරන්නෙත් නැතිව, ගෙන්වන්නෙත් නැතිව සිටීම, මස් කන්නට කැමති අයගේ සිවිල් අයිතියට කෙසේ නම් බලපායි ද? කාටවත් බලෙන් සිල් රක්කවන්නට බුදුන් ක්‍රියා කෙළේ නැත. 

දෙවනුව, ත්‍රස්තවාදය පරාජය කර ඇති නිසා ඒ ගැන යළි යළිත් මුන් වහන්සේ වදවීම අපට වටහා ගැනීම අපහසු ය. එබැවින් මේ කියන්නේ "ආගමික අන්තවාද" හෙවත් ජිහාඩ් වැනි විකාර ගැන වන්නට ඇතැයි අපි උපකල්පනය කරමු. ඒ ගැනනම් අපට ගැටළුවක් නැත. එහෙත් ඒ වෙනුවෙන් දිවි පිදීම ගැන අපට බරපතළ ගැටළුවක් ඇත. අප ජිහාඩයට එරෙහි වන්නේ ද එහි ඇති අන්තවාදී ක්‍රියා නිසා ය. ආගම වෙනුවෙන් ජීවිත පූජාව ද එවැන්නකි. අන්තවාද එපා කියමින් හිමිනමක් අන්තවාදී ලෙස දිවි පිදීම අප කෙසේ නම් අනුමත කරන්න ද? 

තුන්වෙනුව, ලංකාවේ කොහෙවත් බලහත්කාරයෙන් ආගම්වලට හරවන්නේ නැත.කෙරෙන්නේ ආර්ථික වාසි නිසා ආගම මාරු කිරීමයි. ආගම යනු සිවිල් අයිතියකි. එය මාරු කිරීම, තබා ගැනීම හෝ ආගම විසිකර දැමීම පුද්ගල අයිතියකි. සදාචාරත්මක නොවන ආගම්වලට හැරවීම ගැන අප ද එරෙහි වන නමුත්, මේ කියන පරිදි එය නෛතිකව ක්‍රියාත්මක කළ හැකි එකක් නොවන බව අපි හොඳින් ම දනිමු. අන්‍යාගමීකරණය හා සටන් වදින්නේ නම් එය කළ යුත්තේ බිම් මට්ටමිනි; හෙවත් ජනතාව අතරිනි. පාර්ලිමේන්තුවෙන් නොවේ.

සිවුවෙනුව, මේ හතරවන කාරණාව ගැන අපට කියන්නට දෙයක් නැත: එහි භාෂා භාවිතය ගැන පමණක් අවධානය යොමන්න. 

ඊළඟට: බෞද්ධ ව්‍යවස්ථාවක් යනු කුමක් ද? මත්පැන් තහනම් කරන එකක් ද? සත්ත්ව ඝාතනය තහනම් කරන එකක් ද? කුමක් ද? මේ සැරසෙන්නේ මේ ලංකාව ද, තවත් සෞදියක් කරන්න ද? ආගම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතු සීමාවක් තිබේ. ඒ සීමාව ඉක්මවා යාම බරපතල වරදකි. අපට අවැසි නීතියෙන් බෞද්ධ ලංකාවක් නොවේ: ප්‍රතිපත්තියෙන් බෞද්ධ ලංකාවකි. 

අවසානයට: මේ කියන බලවේගය කුමක්ද? දිව්‍ය බලවේගයක් නම් වන්නට බැරි ය. බලපෑම් කරන "බලවේග" කියා මේ කියන්නේ කුමක් ද යන්න වටහා ගැනීම අපට නම් අපහසු නොවේ. මරණින් මතු "බලවේග" හෙවත් යක්ෂ ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීන්ව උපදින්නේ ද්වේශයෙන් හෝ ලෝභයෙන් මරණයට පත් වන්නවුන් ය. මේ කියන්නේ මරණින් මතු එවැනි බලවේගයක් ව බලපෑම් කරන බව ද?  

බරපතලම කතාව එන්නේ මේ ලිපියේ දිනය නිසා ය.




මේ ලිපියේ දාතම සටහන් වන්නේ 2013 අප්‍රියෙල් මස 23 වන දින පස්වරු 03:29 වශයෙනි. සිද්ධිය සිද්ධ වුයේ මැයි මස 24 වන දින ය. එනම්, මේ සිද්ධිය සිද්ධ වන්නට මසකට පෙර ද මේ සියල්ල ලියා ඇත්තේ? 

සටහන: ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නිසා ද මෙසේ විය හැකි බවට පාඨක ඔබ දැනුවත් කිරීම අපේ වගකීමකි.

ජාතික හෙළ උරුමයට අනුව නම්, උන් වහන්සේ එහි මන්ත්‍රී ධුරයක් හෙබවූ කෙනෙකි. ඔවුන්ට අනුව නම්, ඒ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් උන් වහන්සේ පක්ෂයෙන් නෙරපන ලද්දේ මැයි මස 10 හෝ ඊට ආසන්න දිනක ය. එහෙත් ඊට පෙර, උන් වහන්සේ සිය පක්ෂයට කළ නිසි දැනුම් දීමකින් තොරව, සිංහල රාවය සංවිධානයට බැඳීමට ක්‍රියා කර ඇති බව ද දැන් දැනගන්නට තිබේ. ඒ ගැන ක්‍රියා කෙළේ කෙසේ ද යන්න ගැන මේ වනතුරු දැනගන්නට නැත. හෙළ උරුමය දැන් කියන්නේ ඔවුන් මේ සිද්ධිය ගැන කිසිවක් නොදන්නා බව ය. නමුත් ඔවුන්ගේ "නොදන්නාකම" මෙන්න මේ ප්‍රකාශයෙන් පෙනේ.



සිංහල රාවය සංවිධානය, මෙරට ජාතික සංවිධාන අතරින් සෑහෙන දැඩි ඉදිරිගාමී පිළිවෙතක් ඇති සංවිධානයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට පෙර ද, නාවල කොස්වත්තේ පවත්වාගෙන ගිය එක්තරා සාස්තර පොළකට කඩාපැන, බෞධයන්ට අපහාස වන අන්දමේ පිළිම සහ දේවරූප තිබුණේ යයී චෝදනා කරමින් බයිබල් පොළොවේ ගසමින් යකා නටමින් කළ විකාරය අපට මතක තිබේ. බුදු පිළිම සමග එක මට්ටමේ දේවරූප තැබීම නීතියට අනුව වරදක් නොවේ. අනික පාරෙ දුවන බස්රථ දහයක් ගත්තොත් නවයකම බුද්ධ රූප සහ දේවරූප එකම රාමුවේ ය අලවා ඇත්තේ. එහෙනම් ඔවුන්ට තිබුණේ පාරෙ යන බස්රථ වටලන්නට ය. ෆැෂන් බග් සිද්ධියේ වගකීම ද අවසානයේ මාරු කරන ලද්දේ සිංහල රාවයට උදව් කළ හිමි කෙනෙකු වෙත බව අපට අමතක නැත. 

මේ අනුව, මේ දිනය නිවැරදි නම්, එනම්, ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නොවේ නම්, මේ සිද්ධිය ගැන සිතන්නට තවත් බොහෝ දේ තිබේ. 

අපට කළ හැක්කේ කරුණු දැක්වීම පමණි. ඔබේ මතවාදය සකස් කරගැනීම ඔබේ කාරියකි.

Saturday, May 25, 2013

අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

* සටහන: ඡායාරූප උපුටා ගැනීම, අපේ සහෝදර බ්ලොග්කරුවකු වන සමකය වටේ ලියන නලීන් දිල්රුක්ෂ ගෙනි. සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර සහිත නලින්ගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න.

* පසු සටහන: මේ ලිපියට අප විසින් ලියන ලද පසු සටහන මෙතැනින් කියවිය හැකි ය.



උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ය. දැන් උන් වහන්සේ කොළඹ ජාතික රෝහලේ බරපතල මට්ටමේ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ද, ගිනි තබා ගැනීමට හේතුව ගව ඝාතනයට එරෙහි වීම බවද අහන්නට ලැබිණි. 

මේ ක්‍රියාවෙන් අනතුරුව බොහෝ දෙනා මෙය සාධාරණීකරණය කරන්නට සූදානම් වනු පෙනෙන්නට තිබිණි.  එසේම, මෙය බෝසතුන් සිය දිවි දැන් දුන්නා හා සමාන කරන්නට ද උත්සාහ ගනිමින් සිටිති. මේ ලිපිය ලියැවෙන්නේ උන් වහන්සේට අපහාස පිණිස නොව, කටුක සත්‍යය හෙළි කරනු පිණිසය.

පළමුව, ප්‍රස්තුත මාතෘකාව වන ගව ඝාතනය (සහ සමහරුන්ට අනුව ඉස්ලාම්කරණය) ගනිමු. බුද්ධ පාදස්පර්ශයෙන් තුන්වතාවක් පවිත්‍ර වුණායි කියන මේ පිංබිමේ මේ හාමුදුරුවන්ට පෙනුණේ ගව ඝාතන පමණද? ඉස්ලාම් ආක්‍රමණ පමණද? දවසකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි, කප්පම් සිද්ධි දහ අටයි. සතියකට පැහැරගැනීම් එකයි, මිනීමැරුම් එකයි, අතුරුදන් වීම් දෙකයි. දූෂණය නාස්තිය දළ ජාතික නිපැයුමෙන් 9%. මසකට ගෙවල් බිඳුම් තුනයි, කොල්ල කෑම් දෙකයි. මේ අපේ පිංබිමේ සැබෑ තත්වයයි. මේවට කතා කරන්නට, ඊට එරෙහිව උපවාස, උද්ඝෝෂණ කරන්නට, පෙළපාලි යන්නට තබා අඩුම තරමේ සත්‍යක්‍රියාවක් වත් කරන්නට කවරෙකු වත් වී ද? 

බෞද්ධයන් ලෙස ගව ඝාතනය පමණක් නෙමේ, ඕනෑම ඝාතනයක් අපට ප්‍රාණඝාතයකි. මස් මැරීම ගැන බොහෝ වේදනාවෙන් කෑගහන අපේ කීදෙනෙක් මාළු මරන ආකාරය දන්නේ ද? පිහියෙන් බෙල්ල කපනවාට වඩා සිය දහස් ගුණයකින් දරුණු වේදනාවක් විඳ ය, මාළුවා මැරෙන්නේ. බිලී කොක්ක සිය මුඛය සහ අන්තර් මෞඛ ආස්තරය පසාරු කරගෙන කැපී යද්දී, ගලන ලේ ධාරාවෙන් මුහුණම නැහැවෙත්දී, හුස්ම පොදක් ගන්නට බැරිව අපා දුක් විඳ ය, මාළුවා මැරෙන්නේ. එහෙත් ඒවාට එරෙහිව ගිනිතබා ගැනීම් ගැන අපට අහන්නට ලැබෙන්නේ නැත. නිවැරදිව බලන්නේ නම්, සත්ත්ව ඝාතනය ගැන කතා කරන්නට නිර්මාංශිකකුට හැරෙන්නට අන් කිසිවෙකුටත් අයිතියක් නැත.

ගිනිතබා ගැනීමේ සැඟවුණු කතාව

මේ සිද්ධිය ගැන අනුවේදනීයව කතා කරන බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ, මේ සිද්ධියට හරියටම දින 14 කට පෙර, බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන් ජාතික හෙළ උරුමයෙන් නෙරපා හරිනු ලැබීමට ගත් තීරණයයි. මෙන්න ඒ ගැන මාධ්‍ය වාර්තාව:
ජාතික හෙළ උරුමය නියෝජනය කල පැල්මඩුල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්‍ෂය පියවර ගෙන තිබේ. පක්ෂයේ ප‍්‍රතිපත්ති හා විනයට පටහැනිව කටයුතු කීරීම නිසා ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දැන් එතකොට මේ ගිනි තබා ගැනීම කෙළේ ගව ඝාතනයට එරෙහිව ද, නැත්නම්, තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රතිචාරයක් ලෙස දැයි ඇසීමට අපට සිදු වේ. 

ගව ඝාතනය සහ හතර මහා දේවාල

පළමුව, බුදු හිමියෝ කවදාවත් මස් කන්න එපාය කීවේ නැත. එසේ කරන්නට නීති පනවන්න යැයි ඉල්ලු දේවදත්ත තෙරුන්ගේ ඉල්ලීම ද බැහැර ලූ හ. එසේම, බුද්ධ කාලයේ, බුදු හිමි ජීවමානව සිටියදීම, ජේතවනාරාමයට අල්ලපු වැටේ තිබුණු ඌරු කොටුව බුදු හිමියන්ට ගැටළුවක් වුණේ නැත. උන් වහන්සේ කවදාකවත් අල්ලපු වැටේ චුන්ද සූකරික ගේ ඌරන් මරණ ඌරු කොටුවට එරෙහිව උද්ඝෝෂණ කෙළේ නැත. 

දළදා මැදුරු සීමාව තුළ මස් මරන්නේ නම් එය වෙනම කතාවකි. එහෙත් රටේ නීතිය අනුව මිලදී ගත් ඉඩමක සතුන් මරන්නේ නම් ඊට අපට කළ හැකි දෙයක් නැත. එය ගැටළුවක් වන්නේ නම් කළ යුත්තේ එම ඉඩම් යළි මිලදී ගැනීම හෝ පවරා ගැනීමයි. අනික, නුවර නගර සීමාවේ මස්කඩ තිබුනාම දළදා මාළිගාවට ඉන් සිද්ද වන අකරතැබ්බය කුමක් ද? ඇයි බුදු හිමි ජීවමාන කාලයේ මස් වැළඳුවේ නැද්ද? මජ්ඣිම නිකායේ සීහ සුත්‍රය බොරු ද? ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැන බුදු හිමියන් නෙමේ ද, වෙන කෙනෙක් ද කීවේ? දෙවරම් වෙහෙර තිබූ නගරයේ මස්කඩ තිබ්බේ නැද්ද? ජීවමාන බුදුන්ට වත් නොතිබුණු ප්‍රශ්න නොවැ මේ මිනිස්සුන්ට තියෙන්නේ!!

ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැනද යමක් කිව යුතුය.  ත්‍රිකෝටි යනු කෙළවරවල් තුනක් ඇති යන්නයි. ත්‍රිකෝටි පාරිශුද්ධිය කියන්නේ තුන් කෙළවරකින් පිරිසිදු යන්නයි. එනම්, අදිට්ඨ, අසුත, අපරිසංඛිත හෙවත් නොදුටු, නෑසු සහ නිසැක යන්නයි. මෙය අදාළ වන්නේ මාංශ ආහාර සඳහාය. එනම්, තම ආහාරයට ගන්නා මස, මේ කරුණු තුනෙන් පිරිසිදු විය යුතුය යන්නයි මෙහි අරුත. මෙය දැක්වෙන්නේ මජ්ඣිම නිකාය සීහ සුත්‍රයේ ය. තමා නිසා මරණ ලද බව නොදුටු, නෑසු, නිසැක මස කැප බවත්, එය ආහාරයට ගැනීමෙන් පළමු සිකපදය නොබිඳෙන බවත් ය මෙහි අරුත වන්නේ. 

එසේනම් මේ හරක් මැරීම ගැටළුවක් වන්නේ කාටද? ඒ වනාහි දළදා මැදුරට අරක්ගත් නායක්කර් වසංගතය හෙවත් හතර මහාදේවාල වලට ය. 

නායක්කර් වංශික රජ්ජුරුවරු මූනිච්චාවට බුදු දහම වැළඳ ගත්තට කවදාවත් හින්දු ආගම අතහැරියේ නැත. සතර මහා දේවාල වල වඳින්නේ කාටද? බෞද්ධ දෙවියන්ටද? කවුද මේ දෙවියෝ? විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි. හතරදෙනාම හින්දු/වෛදික දෙවිවරු වෙති. හරක් මස් ගැටළුවක් වෙන්නේ ඊනියා හින්දු/වෛදික සමාජයට මිසක් අපට නොවේ. අපේ බෞද්ධ සමාජයේ මේ වගේ Taboo සංකල්ප තිබුණේ නැත. ඔසප් දවසට ගෑණිව ගෙට වැද්ද ගන්නේ නැති මට්ටමේ ම්ලේච්ඡ සිරිත් විරිත් සුරකින සමාජයක වහුකුණු, අපේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩමවා තියෙන තැනට ලජ්ජා නැතිව වැද්ද ගත්තා මදිවට, අද අපි ඒ වෙනුවෙන් උද්ඝෝෂණත් කරන්නෙමු. සාධු!


මළමිනී සහ දළදා මැදුර

මේ ළඟදී නුවර පල්ලියට මල සිරුරක් ගෙන ආවේ යැයි මහා හයියෙන් තප්පුලෑවේ ද මේ මීහරක් මය. ඇයි හත්වලාමේ, බුදුන් හමුවෙන්නට කිසාගෝතමිය අවේ මළකඳක් අතැතිව නොවේ ද? බුදු හිමි සිරිමාවගේ මළකුණ ඉදිරියේ වාඩි වී බණ කිව්වේ නැද්ද? ශවාගාර ගැන දන්නෙම නැද්ද? මළකුණු බුදු දහමට අකැප යැයි කියා ඇත්තේ මොන බණ පොතේ ද? එතකොට නවසිවතිකය වඩන්නේ කොහොමද? දස අසුබය වඩන්නේ කොහොමද? ධුතාංග වල සොසානිකාංගය වඩන්නේ කොහොමද? මළ මිනී බෞද්ධ සිරිතට අනුව අකැප යයි කියන්නන් හට අමතක වූ කරුණු බොහොමයක් තිබේ. එනම්, සිරිමා නම් ගණිකාව මළ වේලේ බුදු හිමි ඒ මල සිරුර ආදාහනය නොකරන ලෙස සිය වචනයෙන් කොසොල් රජුට කියා යැවූ බව නොදැනීමයි. සිරිමා යනු සැවත් නුවර සුන්දරම ගණිකාවයි. ඇගේ සේවය ලබන්නට දිනකට කහවණු දහසක් ගෙවිය යුතු වී ලු. බුදු හිමි, ඈ මළ පසු ඇගේ සිරුර ආදාහනය නොකර සත් දිනක් තියෙන්නට හැර, ඊට පසු ඒ මළ සොහොනට වැඩ, ජනී ජනයා රැස්කරවා, ඒ මල සිරුර මිලට ගන්නා කෙනෙකු වේදැයි විමසූහ. කහවණු දහසෙන් පටන් ගත් ලංසුව, අන්තිමේදී මළ සිරුර මිලට ගන්නා එකාට කහවණු දහසක් දෙන්නෙමැයි කීවත් ගන්නට කිසිවෙක් සිටියේ නැත. බුදුහු ඒ අරබයා ලස්සන බණක් කියා තිබේ. 

මීට අමතරව, බුදුන් වහන්සේ සිය සව්වන් සමග අමුසොහොන් වලට වැඩ, මළමිනී ඉදිරියේ බණ කී අවස්ථා අනන්තය, අප්‍රමාණය. නවසීවතිකය සහ දස අසුභය වඩන්නේ මළකඳක් ඉදිරියේ ය. ධුතාංග වලින් එකක් නම් සොසානිකාංගය ය. එනම්, මුළු වස් කාලයම අමු සොහොනක බවුන් වැඩීමය. 



උක්ත කරුණු සැලකු විට යාබද පල්ලියට මළ මිණියක් ගෙන ඊම නිසා බුදු සමිඳුන්ට වත්, දළදා වහන්සේට වත් සිද්ද වන මොන කෙහෙල්මල් කරදරයක් වත් නැති බව සක්සුදක් සේ පැහැදිලි ය. මළ එකා මළා වේ. ඔහුගේ භූමදානය ඔහුගේ නෑදෑයෝ කරගත්තා වේ. අහක ඉන්නා බෞද්ධයන්ට ඉන් ඇති රුදාව කුමක්ද? ඇයි අපට මළමිනී අරහං ද? ජීවමාන බුදුහිමියන් හට මළ මිනී අමුත්තක් වුණේ නැත. හැබැයි බුදුන්ටත් වඩා බුදු බණ දන්නා තලේබාන් බෞද්ධයන් හට නම් එය ලොකුම ලොකු රුදාවක් බව පෙනෙන්නට තිබේ. මොවුන් හට අවශ්‍ය වන්නේ සකාරණව යමකට එරෙහි වීමක් නොව, මොකක් හෝ මළකුණක් (වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම) පටලවා ගෙන, නුවර පල්ලිය කඩා බිඳ බිමට සමතලා කිරීම දෝ හෝයි සාධාරණ සැකයක් මතුවේ. 

ඊනියා මළමිනී විරෝධය එන්නේ දළදා මැදුරෙන් නොව, ඊට බලෙන් එල්ලා ඇති හතර මහා දේවාල වලිනි. අප ඊට බලෙන් එල්ලා ඇතැයි කියන්නේ බෞද්ධකම සහ ඊනියා හින්දු වෛදික දේවාල අතර මොනම කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැති බැවිනි. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන බිමේ එල්ලා ඇති, නායක්කර් වංශික පාලනයේ ලැජ්ජාසහගත සංකේතය වන, පූර්ණ හින්දු ලක්ෂණ ඇති මේ දේවාල (කෝවිල්) හතර ගැන එකෙක් වත් කට හොල්ලන්නෙ නැත. ඊනියා "කිළි" සංකල්පය බෞද්ධ අපේ දෙයක් නොවේ. එය හින්දු සංකල්පයකි. දකුණු ඉන්දීය කන්නඩා සංස්‌කෘතිය තුළ අද ද, ඔසප් වූ කාන්තාව ගෙට වැද්ද ගන්නේ නැත. ඈ සිය ඔසප් දින පසුවන තුරු නිවසින් පිටත වෙනම කුටියක සිටිය යුතුය. කිළි කතාව අපේ සමාජයට ආවේ ඉන්දියානු වෛදික හින්දු සංස්කෘතික බලපෑම නිසා බව අපේ (නන්-ඕල්කොට්) පඬියන් දන්නේ නැතුවාට, (ඕල්කොට්) බෞද්ධයන් ලෙස මේ ලංකාවේ සංස්කෘතික ඉතිහාසය ඉගෙන ගත් අපි දනිමු. 

හරක් ඝාතන විරෝධය පසුපසද ක්‍රියාත්මක වන්නේ හින්දු බලවේග මිසක, බෞද්ධ බලවේග නොවේ. ඓතිහාසිකව, බෞද්ධයන් හට හරක් මස් නොවේ මොන මසක වත් පෙරේතකමක් හෝ බඩජහරි කමක් තිබ්බේ නැත. හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධික නම්, ඒ මස කන්නට තහංචියක් තිබ්බේ ද නැත. හරක් මස් එපා වෙන්නේ බෞද්ධයන් හට නොව, හින්දූන් හට ය. මන්ද හරකා ඔවුන්ගේ ආගමේ ත්‍රිමූර්තියෙන් එකක් වන ශිව දේවතාවා ගේ වාහනය නිසා ය. මීට අමතරව, ලංකාවේ ගොන් හරකුන් කොහොම සිතාගෙන උන්නත්, කිරි එළදෙනට කිරි අම්මා යැයි කියන හරක් සිරිතක් අපට තිබ්බේ ද නැත. අපට අපේ අම්මා සමාන වුණේ බුදුන් හට ය. එළදෙන කවදාවත් එතැනට ආවේ නැත. එළදෙනට අම්මා යැයි කීවේ දමිළයෝ ය. තෛපොංගල් නමින් දිනක් වෙන්කොට, ගවයා කිරියෙන් නහවා, මල්මාලා එල්වා, උගේ දෙපා මුල දණින් වැටී වන්දනාවේ යෙදෙන්නේ බෞද්ධයෝ නොව, හින්දුවෝ ය. ඒ ඔවුන්ගේ සංස්කෘතියයි. අපට ඊට වචනයක් වත් කීමට අයිතියක් නැත. 

මේ ටික කීවේ හින්දුන් හට උපහාස / අපහාස පිණිස නොව, මළමිනී විරෝධය, හරක් ඝාතන විරෝධය සහ හතර මහා දේවාල අතර සම්බන්ධය පහදනු පිණිසය.


බෞද්ධ සංස්කෘතිය ද, හිංදු සංස්‌කෘතිය ද?

සමහරු මීට සංස්කෘතික මුහුණුවරක් ද දෙන්නට තැත් කරනු පෙනෙන්නට තිබිණි. සමහරු මෙය ගව ඝාතනයට එරෙහිව නොව, අන්‍යාගම්කරණයට එරෙහිව කරන ලද්දක් ලෙසට ද හුවා දක්වනු පෙනෙන්නට තිබිණි. මේ ගැන සංවාද කරන්නට නම්, අහක යන කෙහෙල් මල් සංස්කෘතියක් ගැන දෙසා බාන්නට අවැසි නැත. නුවර සංස්‌කෘතිය වනාහි හුදු බෞද්ධ සංස්කෘතියක් නොව, ඇතිවෙන්නට හින්දු, ඉංග්‍රීසි ආදී සංස්කෘතීන්ගෙන් පදම් වූ සංස්කෘතියකි. නුවර මිනිස්සු අනාදිමත් කාලයක සිට මේ සංස්කෘතික විවිධත්වය ගරු කරමින් ජීවත් වූහ. එකටෙක පේන දුරින් ඇති හිල්වුඩ් විද්‍යාලයේ උදේ දේව මෙහෙය, අල්ලපු පන්සලට ගැටළුවක් වෙලා නැත. එසේම පන්සලේ පිරිත් කීම ගැන හිල්වුඩ් පාසලේ කිසිවෙක් චෝදනා කරනු මේ ලේඛකයා නම් අසා නැත. මේ දෙකටම අල්ලපු නුවර අනිවත්තේ ඉවැන්ජලික ආගමික මධ්‍යස්ථාන (ලියන ලේඛකයාගේ දැනුමට අනුව) තුනක් වත් තිබේ. මේවයින් සමහර ඒවායේ දේව මෙහෙයන් ඉතාම ශබ්ද සම්පන්න වේ. අනිවත්තේ මිනිස්සු අද වෙනතුරු ඒ ගැන කිසිම පැමිණිල්ලක් කර නැති බව ලේඛකයා පුද්ගලිකවම දනී. 

බෞද්ධ පුනරුදයේ නගරය වන පානදුර ම ගනිමු. නල්ලුරුව කෝවිලේ සිට රංකොත් වෙහෙරට ඇත්තේ ඇවිදින දුරකි. ඒ දෙකේම සිට පානදුර කතෝලික පල්ලියට ඇත්තේ ඇවිදින දුරකි. මේ තුනේම බැතිමත් ජනයෝ ඉතාම සංවරව සිය ආගමික වතාවත් කරගෙන යති. කෝවිලේ බෙරහඬ ගැන පන්සලෙන්වත්, පන්සලේ පිරිත් ගැන පල්ලියෙන්වත්, පල්ලියේ සොරෝලය ගැන කෝවිලෙන්වත් අද මේ වෙනතුරු ගැටළුවක් මතු නොවූ බව, පානදුර නගරය ගැන සිය පුද්ගලික අත්දැකීමෙන් ලේඛකයා දනී. 

මේ අනුව, නුවර හරක් මස්කඩ ඉවත් කිරීම බුදු දහමට හෝ බුදු සිරිතට අනුව මෙලෝ සම්බන්ධයක් නැති හුදෙක් දේශපාලනික අරමුණක් බව ප්‍රකාශ කළහැක. ඊනියා බෞද්ධ විද්වත්තු ලැජ්ජාවක් බයක් නැතිව ඊට බෞද්ධ ලේබලය ද අලවති. අහෝ සසුනට ගිය කල! 


අන් රටවල් සමග සංසන්දනය කරන්නවුන් සඳහා

වෙනත් ඉස්ලාම් රටවල, එනම් සෞදි අරාබිය, සුඩානය වැනි වැනි රටවල ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ද අපට කීමට ඇත්තේ ඔය ටිකමය. උන්ගේ මොළේ අමාරුවක් නිසා හෝ, අර කුරාණය නමින් වන්දනා කරන මනස්ගාත බහුබූත වලින් පිරි ග්‍රන්ථය නිසා හෝ, ඒ දෙකම නිසා හෝ, ඒ රටවල ඒ ඒ ආකාර ම්ලේච්ඡ ක්‍රියා සිද්ධ වේ. කුරාණය ක්‍රියාත්මක වන යම් හෝ රටක ස්ථිරසාර සාමයක් තිබුණේ නැත. තියෙන්නේ ද නැත. අපරාධය සහ මංකොල්ල කෑම ද, බලෙන් අල්ලා ගැනීම සහ ව්‍යාප්තවාදය ද මත පදනම් වූ ඉතාම සටකපට දේශපාලන මොඩලයක් සේ හැරෙන්නට, ඉස්ලාමය හඳුන්වන්නට අපට වෙන වචනයක් ද නැත්තේ ය. 




එහෙත් මෙකී ඉස්ලාමික සංස්‌කෘතිය තුළ ද හැම එකාම අනිකාගේ බෙල්ල කපන්නට බලාගෙන ඉන්නේ යැයි යමෙකු කියන්නේ නම්, එය ද බරපතළම ගණයේ මානසික ව්‍යාධියකි. ඉස්ලාමය තුළ ද, ෂියා, සුන්නි, සුෆී, වහාබි, මජුම්දාර්, ආහාද් වැනි විවිධාකාර නිකාය ක්‍රියාත්මක වේ. ථේරවාදය මහායානයෙන් වෙනස් වන්නේ යම් සේ ද, රෝමානු කිතුණුව, ක්‍රිස්තියානියෙන් වෙනස් වන්නේ යම් සේ ද, තාන්ත්‍රික මාර්ගය, හින්දු වෛදික සම්ප්‍රදායයෙන් වෙනස් වන්නේ යම් සේ ද, එසේම අහසට පොළොව වැනි වෙනස්කම් රාශියක් ඉස්ලාමික නිකාය අතර ද තිබේ. 

මේ වෙනස නොදැන, ලංකාවේ සියලු මුසල්මානුවෝ අපරාධකාරයෝය, ව්‍යාප්තවාදීහු ය, කියා යමෙක් කියන්නේ නම් ඔහුට හෝ ඇයට ද කියන්නට ඇත්තේ කරුණාකර දැනගෙන කතා කරපං කියා ය. 


මිසදිටුවන් හට බලෙන් හෝ හොඳ සිරිත් ඉගැන්විය යුතුයැයි කියන්නවුන් වෙත

මේ සිද්ධිය සමග සමහරු, අන්‍යාගමිකයන් හට බලෙන් හෝ පිංපවු ඉගැන්විය යුතුයැයි යන මතයේ ද සිටිනු පෙනේ. ඔවුන් ගේ ජනප්‍රියම උදාහරණ වන්නේ බක බ්‍රහ්මයා ගේ විමානයට වැඩ, ඔහු හට මරණ බිය දක්වා සලිත කොට, බුදු හිමි බණ කී අවස්ථාවයි. 

පළමුව කියන්නට ඇත්තේ බුදුන් වහන්සේ කවදාවත් අනුන් බලෙන් බෞද්ධ කෙළේ නැති බවයි. බුදු දහම වනාහි ව්‍යාප්තවාදය අතින් අවම තැනක් ගන්නා දහමකි. මගේ ගොඩ මේ යැයි කියා ගොඩ ලොකු කරගැනීමක් එහි නැත. බුදුහිමියන් තර්කයෙන් පරදවන්නට ආ උපාලි ගෘහපතියා බුදු බණ අසා පැහැදී බුදුන් දහම් සඟුන් සරණ යන බව කීවිට බුදුන් වහන්සේ කීවේ, "උපාලි, ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් තීරණ ගැනීමේදී ඉක්මන් නොවිය යුතුය" කියා මිස, "බොහොම හොඳයි, යන්න උපාලි, ගිහින් තව දහදෙනෙක් අරන් එන්න" කියා නොවේ. උපාලිගේම වචනයෙන් කියන්නේ නම්, "අන් ආගමක එකෙකු ආගම මාරුකළ විට ධජ පතාක සේසත් නංවා නුවර පුරා බෙර ලවා පාවාඩ පිටින් පිළිගන්නා" යුගයක ය, බුදුන් වහන්සේ එසේ කීවේ. 

බක බ්‍රහ්මයා හට මරණ බිය දැන්වීම වනාහි, පිං ඇති අයෙකු, දහම දක්වනු පිණිස කරන ලද බුද්ධප්‍රයෝගයකි. බුද්ධප්‍රයෝග වනාහි ඉහළම මට්ටමේ ප්‍රඥාවකින් සහ තීරණ ගැනීමේ ශක්තියකින් කළ යුතුය. කිසාගෝතමියට අබ සොයන්නට කීම, අංගුලිමාලට නැවතීම ගැන කීම, චුල්ල පන්ථක හට අව්වේ සිටගෙන රෙදි කඩක් පිරිමදින්නට කීම, මේ ආදී සියල්ල බුද්ධඥාන විෂයයෙන් කළ කී දේ මිස පුහුදුන් අපට කළ හැකි දේ නොවේ. ඒවා කරන්නට ආසයානුසය ඥානය තිබිය යුතුය. එනම්, සත්ත්වයන්ගේ කෙලෙස් මෝරා ඇත්තේ කවරාකාරයෙන්ද යන්න, සිත පිරික්සා බලන ඥානයෙන් කිව යුත්තකි. එය කරන්නට බුදු කෙනෙකුන් ම විය යුතුය. 

මේ ටික නොදත් අපේ වාහෙලා හිතන් ඉන්නේ බුදුන් කළ දේ උන්ටත් කරන්නට හැකිය කියා විය යුතුය. පඬියන් පඬියන් වන්නේ ලෞකික ඥානය තුළය. ලෝකෝත්තර අවබෝධය තුළ නොවේ. පඬියන් බුදුන් වන්නට යාම හරියන්නේ නැත. බුදුන් දන්න හැමදේම පඬියෝ දන්නේ නැත. බුදු හිමි දැන සිටි සැමදේම දේශනා කෙළේ ද නැත. සිංසපා සුත්‍රයට අනුව බුදු හිමි කොළ අහුරක් අතට ගෙන, "මවිසින් දේශිත ධර්මයෝ මෙපමණකි, අදෙශිත ධර්මයෝ මේ සිංසපා වනයේ වැටී ඇති කොළ වලටද වඩා මහත් වන්නේ ය" යි වදාළහ. එසේම වෙනත් තැනක නියපිටට ගත් පස් අහුරකින් ද බුදුහු මේ බණ ම කී හ. ඕල්කොට් බෞද්ධයන් ලෙස සමහරුන් ගරහන අප ද අසා ඇති බුද්ධෛශ්වර්යය සහ බුදු කෙනෙකුන්ට ම පමණක් කළ හැකි දේ ගැන මේ පඬියන් නොදැනීම අන්තිම ම අවාසනාවකි. 


අපේ පැතුම

පිංවත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට ඉක්මන් සුවය පතන අතරතුර ම, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ දුලබින් ලද මනුසත් බව අපතේ නොයවා, උතුම් බුද්ධ ධර්මය තවමත් ධරමානව පවතින මේ කාලයේ දීම, සම්මා දිට්ඨිය වඩාගෙන, උතුම් අමා මහා නිවන් සම්පත ලබා ගන්නට හේතු වාසනා වේවා!