logo banner

Sunday, November 23, 2014

ජනතාවගෙන් වසං කළ "සටන" මෙන්න | "Satana" (full video of censored political program)

පූර්විකාව (මංජුල සමරසේකර විසිනි)

සිරස අද සටන දේශපාලන වැඩසටහන පැවැත්වීමේන් කලේ ඉතා හොද දෙයකි.

මේ හරහා කරුණු කීපයක් සාක්ෂාත් වුණි. මට තේරුණ කාරණාවලට අමතරව ඔබට යමක් වැටහුණා නම් මෙහි සටහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

1. මහින්ද රාජපක්ෂ යනු තව දුරටත් යුද්ධය මෙහෙයවූ අභීත නායකයා නොව, විරුද්ධ මතවාද ජනතාවට ලගා වීම වැලැක්වීම සදහා නිර්ලජ්ජිතව තාක්ෂණික කඩා කප්පල් කාරි ක්‍රියා සිදු කරවන බියගුළු ගොඩේ බයියෙකු බව බඩේ බත් මෙන් සපථ විය.

(න ජච්චා ගොඩේ බයියා හෝති - කම්මනා ගොඩේ බයියා හෝති)

2. මේ ඡන්දයේ අරමුණ වියරු ඒකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දමා සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමැති පාලනයක් සෘජු හෝ වක්‍ර බලකිරීමකින් තොරව පත්කරගත හැකි වාතාවරණයක් සැකසීම පමණක් මිස රාජපක්ෂ වෙනුවට සිරිසේන පත්කර ගැනීම නොවන බව පැහැදිලි විය.

3. ඉහත දෙවනි කාරණය අනුව කටයුතු කළද, ඒ බව මහජනතාවට සන්නිවේදනය කිරීමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජිත සේනාරත්න යම් ආකාරයක හානියක් පොදු අපේක්ෂක පාර්ශවයට සිදු කළ හැකි බව පැහැදිලි විය.

(මේ නම් අතරට තවත් නම් කීපයක් එක් විය හැකි බව ඉගි ලැබෙමින්ද පවතී, නමුත් ප්‍රභල කථිකයෙක් ලවා මේ පොදු ප්‍රයත්නයේ අපේක්ෂාව අනුව අවශේෂ තනි පුද්ගල චරිතවල ස්වභාවය ගැන තැකීමක් කළ යුතු නැති බව සන්නිවේදනය කළ යුතුව තිබේ)

3. පෞද්ගලිකව මා හටද, තවත් බොහෝ දෙනා හටද ඇති වී තිබූ ප්‍රමුඛ ගැටළුවක් වූ ජනාධිපතිවරණයේදී ජවිපෙහි භූමිකාව ගැන ඉතා පැහැදිලි හෝඩුවාවක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ලබා දෙනු ලැබිණ.

ජවිපෙ තම නිල මතය තවම සෘජුව ප්‍රකාශ නොකළද, රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත ස්වභාවය පැහැදිලි කරන, අන් සියළු පක්ෂවලට වඩා නිර්මාණශීලී ප්‍රචාරක වැඩ පිළිවෙලක් ජවිපෙහි ඉතාම මෑතකදී දියත් කරනු ඇත. ඒ හරහා මෛත්‍රී දිනවිය යුතු බව නොකීවද, මහජනතාව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇත. ජවීපෙ තම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරනු ඇත.

(මේ වැඩසටහන තුළ සිටි ප්‍රතාවත්ම චරිතය බවට පත්වූයේ නිසැකයෙන්ම මෛත්‍රී නොව අනුර කුමාරයි. මෛත්‍රීලාට, රාජිතලාට, රතන හිමියන්ට කෙළ වූ විට මතක් වූ සත්‍ය තර්ජන, අවලාද, මඩ ප්‍රහාර හමුවේ නොබියව, නොසැලී, දිගින් දිගටම පැවසූ අනුර කුමාර සහෝදරයා නැවතත් තම නායකත්ව හැකියාව මනාව ප්‍රදර්ශණය කලේය)

4. මෛත්‍රීපාල සහ රතන හිමි හෙළි කරන ලද කරුණු ඇසුරෙන් ශ්‍රීලනිපයේ සහ සංධාන ආණ්ඩුව ජේ‍ය්‍යෂ්ඨ ඇමතිවරුන් අතර ඇති තද බල පීඩනය ගැන මනාව පැහැදිලි විය. කුමන ආකාරයේ කුමන්ත්‍රණයකින් හෝ රාජපක්ෂ නැවත බලයට පත්වූවොත්, මීළග වසර කීපය තුළ රටපුරා අති භයානක ලේ වැගිරීම් සිදුවන ආකාරයේ මහජන නැගීටීමකට ඉහත කී අමාත්‍යවරුගේම සහයෙන් මාර්ගය විවර වනු ඇත.

5. අවසාන වශයෙන් රාජපක්ෂ පාලනය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් පොදු අපේක්ෂකයා කැපී පෙනෙන තත්වයක් උඩ, අපි මීට සති කීපයකිට කලින් කීවාක් මෙන්, මේ වියරු ඒකාධිපතියා ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි මට්ටමේ මිල අධික තාක්ෂණික උපකරණ, මැර කණ්ඩායම්, කටකතා බලකායන්, සයිබර් ප්‍රහාරකයන්, මාධ්‍ය මර්ධකයන්, සුරා, අල්ලස්, ගණිකාවන්, ජිල්මාට්, රාජ්‍ය දේපල, රාජ්‍ය සේවකයන් ඉදිරි සති කීපයේ සිට භාවිතා කරනු ඇත. මෙය බොහෝ විට ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති භයානකම, දූෂිතම මැතිවරණය බවට පත්වනු ඇත.


( මේ අවසාන කාරණයට බිය වන අයට කියන්නට ඇත්තේ, හැංගිලා ඉන්න ඔබට අනාගතයේ ඔබේ දරුවා ශාප කරනු ඇති බවයි )


සටන සම්පූර්ණ සංවාදය

2014 නොවැම්බර් මස 22වන දින සිරස මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ, එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් Peo TV සහ ඩයලොග් TV මගින් වාරණය කරන ලද "සටන" සම්පූර්ණ දේශපාලන සංවාදය මෙතැනින් නරඹන්න..

Part 1



Part 2



Part 3



Part 4


Tuesday, November 18, 2014

අරලිය මඩුවේ සාදය | Party at Temple Trees

[නිර්මාණ අයිතිය රුවන් නෙළු]



(උදේ 10.00)
සිහල ලියා බොදුනු ලියා
මාව දමා යන්න ගියා
රතන ලියා .... පාටලියා ....
රතන ලියා .... පාටලියා ....
රට සීතල ගඩ්ඩ කොබා
හැම රෙද්දෙ ම ඔළුව ඔබා
නිමවෙයි ගොඩ දැමුම මෙමා
පාටලියා
මාව දමා යන්න ගියා
රට එක් කළ මමය රජු
අද රජ නෙතු කඳුළු බිඳු
ආධාරෙන් උඹත් හැදූ
රතන ලියා
මාව දමා යන්න ගියා
නානසාර ළාඟ හින්දා
ඉවසමි මම දුක නින්දා
උපන් දිනේ මා අන්දා
පාටලියා
මාව දමා යන්න ගියා ....

(රාත්‍රී 10.00)
උඹ අතුරලියේ, මන්ද මෙසේ
මී රැළ සේ යන්නෙ ඇදී
මෑත සයුරෙහී ගිලෙනා
නැවද මම සුදූ ...

උඹලා කත් ඇදලද මම දිනුවේ
විමලා මර්වින් නමටද හිටියේ //
මගෙ පවුල් සමාගම තියෙන තුරා
ඔය මොකා ගියත් නොසැලෙමී මෙමා

උඹ අතුරලියේ .....

අද මෙන් හෙට මහරජ වී හිඳිමි
අඟුරෙන් පාටලියට රිටන් දෙමී //
බොදු බලු සේනාවෙන් ගොඩට යමී
පනිනා මීයන් දැක සිනාසෙමී

Sunday, November 16, 2014

ෂර්ලොක් හෝම්ස් සහ ගොක්කොල සිරි | Sherlock Holmes and Gokkola Siri


කතාව නිර්මාණය දිමුත් මධුශංක නොව රාජ්ගෙ නවාතැන ලියන රාජ් ලෙස නිවැරදි විය යුතුය.
උපුටා ගැනීම සිංහලෙන් Tricks & Tipsෆේස්බුක් පිටුවෙන්  නොව රාජ්ගෙ නවාතැනේ මෙතැනින්...




"සුභ උදෑසනක් මිත්‍රයා"

"හෝම්ස්, පැමිණියේ මා බව ඔබ දැනගත්තෙ කොහොමද?"

"ඔබ පැමිණියේ පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන් නේද?"

"ඔව්, ඒත්......"

"මේකයි, ස්ටේෂන් එකේ තියන අශ්ව කරත්ත වලින් පීටර්සන්ගෙ අශ්වයගෙ සීනුව ටිකක් වෙනස්, ඒක හඳුනගන්න පුළුවන් ලේසියෙන්ම, නෝර්විච් පැත්තෙ ඉඳල එන කෝච්චියෙන් බහින කෙනෙකුට ඉස්සෙල්ලම මුණගැහෙන්නෙත් පීටර්සන්..... ඔන්න නෝර්විච් පැත්තෙ ඉඳල කෝච්චියෙ ආපු කෙනෙක්, පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන්, පෙර දැනුම්දීමකින් තොරව මාව මුණගැහෙන්න හිතාගෙන උදෙන්ම තරප්පු පෙළ නඟිනව, සපත්තුවෙ ශබ්දය අනුව නං මහත්මයෙක්, රහස් පරීක්ෂණ වැඩ වලින් විශ්‍රාම ගිය නිසා අමුත්තෙක් වෙන්නත් බෑ, වොට්සන්-මගේ මිත්‍රය- කාලෙකින් මං මුනගැහෙන්න ආවෙත් නෑ, ඉතිං මට තියන විකල්පය නිවැරදි වෙන්න සෑහෙන්න ඉඩ තියනව"

"හහ් හහ් හහ්.... පරීක්ෂණවලින් විශ්‍රාම ගත්තට හෝම්ස්ගෙ හැකියාව නං එහෙමමයි"

"වොට්සන්, අපි කෑම කන ගමන් කතා කරමු! හඩ්සන් නෝන කෑම ලැහැස්ති කරල ඇති"

"හෝම්ස් ඔබේ අන්තිම පරීක්ෂණය ලියන්න අවසර දෙන්නෙ කවද්ද?"

"වොට්සන් කැමති නම් ලියන්න, ඒත් ඒ ගැන මොනව ලියන්නද? .........කමක් නෑ වොට්සන්ගෙ කැමැත්තක්!"


*****
ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම දැමිනි. ශ්‍රී ලංකාවේදී යම් රහස් පරීක්ෂණ කටයුත්තක් කිරීමේ ආශාවද තිබෙන්නට ඇත.

අප ගුවන් මඟින් ලංකාවට පැමිණ කොළඹ හෝටලයක නවාතැන් ගතිමු. හෝම්ස් හා මා සතියක පමණ කාලයක් සංචාරය කල අතර පුවත්පත් වල තිබූ සොරකම් ඝාතන ආදිය ගැන හෝම්ස්ගේ උනන්දුව පෙර පරිදිම විය. මේ අතර ලංකාවේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආරාධනා කිහිපයකට සහභාගී වීමටද අපට අවස්ථාව ලැබිනි.

"වොට්සන්, මෙහේ අපරාධ එච්චර සංකීර්ණ නෑ, නමුත් අපරාධකරුවන්ගේ ජාලය හරිම සංකීර්ණයි, විසඳීම අපහසුයි"

"ඒ කියන්නෙ හෝම්ස්?...."

"වොට්සන්ට මතක ඇතිනේ මොරියාටි, මොරියාටි නීතියෙන් කොටුකරගන්න අවුරුදු ගානක් ගියා. ඔහුගේ සිවිල් බලයත්, ඔහු වටා සිටි අපරාධකරුවන් අධික සංඛ්‍යාවත් නිසා කෙලින්ම ඔහු හසුකරගැනීම දුෂ්කර උනා. අන්තිමට ඔහු දිය ඇල්ලෙන් තල්ලු කරල දාන්නයි මට සිදුවුනේ"

"සර් ඔබතුමා මුනගැහෙන්න කෙනෙක් ඇවිල්ල ඉන්නව"

හෝටල් සේවකයෙකු අමුත්තෙකු කැඳවාගෙන පැමිණි අතර තවත් අපරාධ පරීක්ෂණයක ලකුණු ඉවෙන් මෙන් මට දැනෙන්නට විය. පැමිණි අමුත්තා අනාරාධිතවම කතා කිරීමට විය.

"හෝම්ස් මහත්තයා ඔබතුමා මේ උදව්ව කරන්නම ඕන.... මෙහේ පොලිසියට කියල වැඩක් නෑ..... උං &%*&*^ ......"

"හරි ඉලන්දාරියා....... මෙහෙන් වාඩි වෙන්න.... කියන්න ඔබේ ප්‍රශ්නය මුල ඉඳල" 

පැමිණ සිටියේ තරුණයෙකි. ඔහුගේ වයස විසි පහක් තිහක් පමණ වෙතැයි සිතිය හැකි විය.

"හෝම්ස් මහත්තයා දවස් දෙකකට ඉස්සෙල්ල මගේ තාත්ත මැරුව.... පොලිසියෙන් මොකුත් කරල නෑ මේ වෙනකල්....."

"බොහොම කණගාටුයි මහත්මයා...... කවුද ඔබේ පියාගේ ඝාතකයා.... කතාව මුල ඉඳල කියන්න"

"මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. අමාරුවෙන් දියුණු වුන කෙනෙක්. අපේ නගරෙ ඔය තත්වෙට දියුණු උනේ තාත්තගෙ ව්‍යාපාර නිසා.... මෑතක ඉඳල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න කල්ලියක් බිහිවුනා. හැම කෙනෙක්ම කප්පම් දීල තමයි පන බේරගෙන හිටියෙ. තාත්ත ව්‍යාපාර වලින් කප්පම් ගෙව්වෙ නැති නිසයි එයාට මැරෙන්න සිදුවුනේ......................."

"කවුද කප්පම් ගන්නෙ?"

"ගොක්කොල සිරී" (සබැඳිය බලන්න)


*****
එදිනම අප පිටත් වූයේ මිනීමැරුම සිදුවූ ස්ථානයටය. පුදුමයකට මෙන්, ඝාතනය සිදුවීමෙන් ගතවී තිබුනේ දින දෙකක් පමණක් වුවද අපරාධයක් සිදුවූ ස්ථානයක් යැයි කිව නොහැකි තරම් සාමාන්‍ය තත්වයට පත්වී තිබුනි.

"මෙතන විනාශ කරල වොට්සන්, මම හිතන්නෙ නෑ අපිට වැදගත් තොරතුරක් හොයාගන්න පුළුවන් වේවි කියල!" හාත්පස බලමින් හෝම්ස් පැවසීය. 

මේ සමඟම හෝම්ස්ගේ ඉල්ලීම පරිදි, ප්‍රදේශය අයත් පොලිස් ස්ථානයෙන් එවන ලද නිලධාරීන් දෙදෙනාද පැමිණියහ.

"සර්, මම සාජන් පෙරේර! මේ පීසී ගුණතිලක! අපේ සර් තමයි එව්වෙ, ඔබතුමාට ඕන උදව්වක් කියන්න....."

"හ්ම්....... පෙරේරා..... ඇයි මෙතන මිනීමැරුමක් වෙලත් ලේ පාරක්වත් නැත්තෙ?" හෝම්ස් විමසීය. 

එකෙනෙහිම පිළිතුරු ලැබුනේ ගුණතිලකගෙනි.

"සර්,.... පැය දෙකක් විතර ගියාට පස්සෙ ඔතන හෝදල දැම්ම! ඒකයි....."

"මොනව! හේදුව? ඔහේලට පිස්සුද? අපරාධයක් වෙච්ච ස්ථානයක තියන සාක්ෂි හෝඩුවාවල් ඔක්කොම විනාශ වෙනවනෙ මනුස්සයෝ!" හෝම්ස්ගේ කටහ‍ඬෙහි තිබුනේ කෝපයකි.

"ඕක මොකද්ද සර්, ජනාධිපති කෙනෙක් පාර මැද්දෙ මරල දාපු වෙලාවෙත් හෝදන්න කලින් තිබුනෙ පැය බාගයයි සර්!"

"මෙහෙමත් බූරුවො!" මට කියවුනේ මවුබසින් වීම භාග්‍යකි! ස්ථානීය පරීක්ෂාව අත්හැර දැමූ හෝම්ස් අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමට විය.

"ධනවර්ධන මුදලාලි වාහනෙන් බහිනකොටම තමයි බයික් එකේ ආපු, මූන වහගත් දෙන්න වෙඩිතියල තියෙන්නෙ.... නමුත් කවුරුහරි කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති වොට්සන්!"

"හරි! මේ තියෙන්නෙ තැන.... මෙතන කිහිප දෙනෙක් ඉඳල තියනව.... මේ තියෙන්නෙ එයාල බීපු සිගරට් කොට.....බීපු ප්‍රමාණය අනුව නම් සෑහෙන්න වෙලාවක් ඔත්තුකාරය මෙතන ඉඳල තියනව වොට්සන්...." 

එහෙත් ලාංකීය නිලධාරියා බාධා කලේය.

"සර්.... මේ හරියෙ ඉන්න කොල්ලො කුරුට්ටො අන්න අර කඩෙන් ගන්න සිගරට් බොන්නෙ මෙතන.... ඒකයි මෙච්චර සිගරට් කොට තියෙන්නෙ..... නැතුව ඔත්තුකාරයගෙ වැඩක් වෙන්න බෑ.... නේද සර්?"

"ඒක එහෙම නං ඒ පැත්ත ගැන වෙහෙසෙන එකත් වැඩක් නෑ වොට්සන්"

"ඔව් සර්..... ලංකාවෙ හැටි ඔහොම තමයි.... අනෙක ඔතන තාප්පෙ ගහල තියෙන්නෙ දුම්බීම තහණම් කියල..... ඒ තැන්වල තමයි සිගරට් බොන්නෙ....."

"හ්ම්! "

පොලිස් නිලධාරීන් දෙදෙනා පිටත්කල හෝම්ස් මා කැටුව "සිගරට්" කඩයට පැමිණියෙමි.

"අපි බලමු වොට්සන් මෙතනින් හෝඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියල!"

එහෙත් අවසානයේ එයද අසාර්ථක විය. හේතුව කිසිවෙකු ගොක්කොල සිරීට විරුද්ධව කිසිවක් නොපැවසීම බැව් සිතාගැනීම අපහසු නොවීය. අප නැවතත් හෝටලයට පැමිණියෙමු. සවස් කාලයේ යලිත් අමුත්තෙකු පැමිණ ඇති බැව් සේවකයා විසින් දන්වන ලදී.

"වයසක ගෑණු කෙනෙක් සර්.... යන්න කියන්නද?" සේවකයා විමසීය.

"එපා එවන්න,...... බලමු වොට්සන් ඒ ගමන මොකද වෙන්නෙ කියල!"

පර්දාවකින් වසාගත් හිස පහතට නැඹුරු කරගත් ඕ යන්තමින් හිස එසවීය, පුදුමයකි! ඇය රූමත් තරුණියකි.....

"හෝම්ස් මහත්තයා.... කරුණාකර ඔබතුමා කරන පරීක්ෂණය වහාම නවත්වන්න..... රහස් පරීක්ෂණ කරන්න ලංකාව හොඳ රටක් නෙවේ.... අන්තිමට ඔබතුමත් අපරාධකාරයෙක් වෙන්න පුළුවන්.... නැත්තං දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්.....මම යනව මෙන්න මගේ කාඩ් එක!"

"මේ මොකද වෙන්නෙ වොට්සන්! එක අතකට ඒ කාන්තාව කියපු කතාව ඇත්ත කියලත් මට හිතෙනව, හැබෑටම බලන්න ඔය කාඩ්පත, ඇයගේ නමවත් බලාගන්න!" මා කාඩ්පත බැලීමි.

"නදීෂා හේමමාලි" යනුවෙන් නමක්ද ලිපිනයක්ද දුරකතන අංකයක්ද එහි විය.

වොට්සන්, මේ ගොක්කොල සිරී කියන පාතාල නායකයට සෑහෙන්න සම්බන්ධකම් ඇති! ඒකයි අපිට අනතුරු ඇඟවීමක් ලැබුනෙ.... දැන් මේ ගැන මගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනව වොට්සන්. අපි හෙට ආයෙත් යන්න ඕන මරණය සිදුවූ ස්ථානයට"


*****
පසුදින උදෑසන ආහාරය සඳහා පිටත් වීමට මත්තෙන් හෝටල් සේවකයා විසින් කාමරයට ගෙනදුන් පුවත්පත් පෙරලමින් සිටියේ හෝම්ස් සූදානම්වන තෙක්ය. එක්තරා පුවතකට මගේ අවධානය යොමුවිය.

"හෝම්ස් මෙන්න ඔබට වැදගත් ප්‍රවෘත්තියක්! පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක්! සැකකරුව ගොක්කොල සිරී!" බාගෙට අඳිමින් සිටි හෝම්ස් ක්ෂණිකව පැමිණියේය.

"කියවන්න වොට්සන්....."

පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි!

"වැල්ලවත්ත පොලිසියේ සේවය කල පොලිස් සැරයන් පියතිලක මහතා ඊයේ රාත්‍රී නිවසේ සිටියදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇත....ඝාතකයා ගොක්කොල සිරී බව සැක කරන...."

"ඇති වොට්සන්.... අපි දැන්ම යමු..... තාම ගෙදර හෝදන්න නැතුව ඇති"

පැය භාගයක් ඇතුලත හෝම්සුත් මමත් පොලිස් නිලධාරියාගේ නිවසට ලඟාවිය. හෝම්ස්ගේ නම, ඒ වනවිටත් පොලිස් ආරක්ෂාව යොදා තිබූ නිවසට ඇතුළු වීමට තරම් බලවත් විය. විශාල වශයෙන් පැමිණ සිටි රූපවාහිනී මාධ්‍යවේදීන්, හඬමින් සිටි පොලිස් නිලධාරියාගේ භාර්යාව සහ දරුවන්ගේ විස්තර ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමේ අවකාශය මඟහැරිනි. කෙසේ වෙතත් පැයක පමණ පරීක්ෂණ කටයුතු වලින් පසු හෝම්ස් සෑහීමකට පත්වූ අයුරක් දිස්විය.

"වොට්සන් අපි යමු. සමහර විට උදේ ආහාරය තාම ඇති!"

එන ගමනේදීද කිසිවක් නොපැවසූ හෝම්ස් නිහඬව ආහාර ගත්තේය. කාමරයට පැමිණ සුරුට්ටුවක් දල්වාගත් හෝම්ස් ඉන් අඩක් පමණ අවසන් කර කටහඬ අවධි කලේය.

"වොට්සන්, ගොක්කොල සිරී අල්ලගන්න තරම් සාක්ෂි මට තියනව කියලයි හිතෙන්නෙ....බලමු! ලංකාවෙ පොලීසියට මොකද කරන්න පුළුවන් කියල! හෙට හවස අපි යනව ගොක්කොල සිරි අල්ලන්න!"

එදින සන්ධ්‍යා භාගයේ චිත්‍රපටයක් නැරඹු අප කාමරයට පැමිණෙන විට රාත්‍රී දහය පමණ විය. ඒ සමඟම කාමරයට පැමිණි හෝටල් සේවකයා යම් පාර්සලයක් හෝම්ස් වෙත දිගු කලේය.

"සර්, පොලීසියෙ මහත්තයෙක් ඇවිල්ල මේක හෝම්ස් මහත්තයට ‍දෙන්න කිව්ව" පාර්සලය හෝම්ස්ට දුන් සේවකයා පිටත් විය.

"වොට්සන්, ලංකාවෙ අපරාධ සිද්ධි සම්බන්ධ පුවත්පත් වාර්තා ටිකක් ලබාදෙන්න කියල මම අර පොලිස් අධිකාරී කෝන්ගොඩ වික්‍රමපාල මහත්තයට කිව්වනෙ.... අන්න ඒ ටික තමයි මේ.... වොට්සන් නිදාගන්න.... මම මේ ටික කියවන්න ඕන...."

"එහෙනං සුභ රාත්‍රියක් හෝම්ස්"

"සුභ රාත්‍රියක් මිත්‍රයා"


*****
පසුදින අවදිවූ මා හෝම්ස්ට කලින් සූදානම් වීමට සිතුවද ඒ වනවිටත් හෝම්ස් කලබලයෙන් මෙන් ලැහැස්ති වෙමින් සිටියේය.

"වොට්සන් ඉක්මන් කරන්න.... පරක්කු වෙන්න වෙලාවක් නෑ.... දැන්ම ගියොත් විතරයි අපිට ගොක්කොල සිරී පන පිටින් අල්ලගන්න පුළුවන් වෙන්නෙ...." 

කඩිනමින් සූදානම් වූ මා හෝම්ස් සමඟ ටැක්සියක නැඟගත්තෙමි.

"ඇයි හෝම්ස්? ඔබ කලින් කිව්වෙ හවස යනව කියල නේද?"

"ඔව් වොට්සන්..... නමුත් ඊයෙ රෑ තුන වෙනකල් අර පත්තර වාර්තා කියවපු මට තේරුනා ගොක්කොල සිරි අල්ලගන්නව නං උදේම යායුතුයි කියල.... නැත්තං අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්!..... වොට්සන්ට මතක ඇති අපි වෙනදට මෙහෙම කඩිනමින් යන්නෙ අපරාධ කාරයෙකුගෙන් අහිංසකයෙක් ‍බේරගන්න..... අද යන්නෙ අපරාධ කාරයෙක් ඊට වඩා අපරාධ කාරයෙකුගෙන් බේරගන්න......"

"ඒ කිව්වෙ හෝම්ස්?"

"යමුකො..... ඩ්‍රයිවර් මහත්තා ටිකක් ඉක්මන් කරන්න"

අප ගොක්කොල සිරිගේ නිවසට යන විට එහි සෙනඟ ටික දෙනෙකු රැස්වී සිටියේය.

"වොට්සන් අපි පරක්කු වැඩියි....."

"ඇයි හෝම්ස් මොකද වෙලා තියෙන්නෙ මට මොකුත් තේරෙන්නෙ නෑ"

"ආපහු යමු වොට්සන්..... කෙලින්ම හෝටලයට....එතනින් එංගලන්තයට......!"


*****
හෝටලයට පැමිණ ලැහැස්ති වූ අප ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානයට ගොඩවී අසුන්ගන්නා තෙක් හෝම්ස් සිටියේ නිහඬවය.

"වොට්සන්.... මම තීරණය කලා රහස් පරීක්ෂණ කටයුතු වලින් විශ්‍රාම ගන්න!"

"මොනව.....!" මට කියාගතහැකි වූයේ එපමණය. වසර ගනනාවක් තිස්සේ දිවා රෑ නොබලා හෝම්ස් සමඟ කල පරීක්ෂණ සිතුවම් පටයක් සේ මගේ මනසෙහි ඇ‍ඳෙන්නට විය. එහෙත් රහස් පරීක්ෂණ නැවැත්වීමට තරම් කලකිරීමක් ඇතිවීමට තරම් සිත් වේදනාවක් හෝම්ස්ට ඇතිවීම මවිතයට හේතුවිය.

"ලෝකයේ එක පැත්තක මේ වගේ දේවල් සිදුවෙද්දි එංගලන්තෙ ඉඳගෙන රහස් පරීක්ෂණ කටයුතු කරන්නත් මට එපාවුනා වොට්සන්..... එදා ගොක්කොල සිරී අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි මම පොලිස් නිලධාරියාගේ නිවසින් සොයාගත්ත.... නමුත් අර පත්තර වාර්තා වල හැටියට නං මේ වෙද්දි ගොක්කොල සිරී ජීවතුන් අතර නෑ!"


*****
බේකර් වීථියේ නවාතැනට පැමිණි අප ගමන් විඩාව මඟහැරෙන තෙක් නිඳාගතිමු! පසුදින උදෑසනින් අවදි වූ හෝම්ස් ළමයෙකුට පැන්ස දෙකක් දී ලංකාවේ පුවත්පත් කිහිපයක් ගෙන්වාගත්තේය.

"බලන්න වොට්සන්.... මගේ අනුමානය හරියට හරි! බලන්න මේ ප්‍රවෘත්තිය"

"දින දෙකකට පෙර වැල්ලවත්ත පොලිස් නිලධාරී ඝාතනයේ සැකකරු වූ සෙත්සිරිගම සිරිමල් හෙවත් ගොක්කොල සිරී ඊයේ පොලිස් වෙඩි පහරින් මියගියේය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු ආයුධ කිහිපයක් සඟවා තිබූ ස්ථානයක් පෙන්වීමට ගොස්, එහි තිබූ තුවක්කුවක් රැගෙන පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව සඳහා පොලිසිය තැබූ වෙඩි පහරින් තුවාල ලබා කොලඹ මහ රෝහලේදී මියගියේය. සිද්ධියෙන් කම්පණයට පත් පොලිස් නිලධාරියෙකුද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අතර ගොක්කොල සිරී මියයාම හේතුවෙන් ඔහු නිසා පීඩාවට පත්වූ ගම්වැසියන් මාර්ගය පුරා රැස්වී කිරිබත් පිස කමින් ප්‍රීති වන අයුරු දක්නට ලැබීය......."

"වොට්සන් මේ සිදුවීම ලියන්න ඔබට අවසර නෑ!"


*****
"ශ්‍රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස්?"

"නැත්තෙත් නෑ.... එදා එද්දි ගෙනාපු කේජී ටිකක් තාම තියනව වොට්සන්!" පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය..

Friday, November 7, 2014

මාලක ආලත්තිය | The Malaka Prayer

මාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්ස‍රහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු.. 



 "ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬගසා වදාරන්නේ, අහස ගුගුරුවාගෙන වර වර, මුහුද දෙබෑ කරගෙන වර වර, පොළොව මිහිකත් දෙදරවාගෙන වර වර, සක්වළ ගල උපුටාගෙන වර වර, ඉරහඳ උගුළුවාගෙන වර වර, ශිව තාන්ඩවේ නටාගෙන වර වර, මෙමා කී බස් අසාගෙන වර වර, පස්මල් පස්විළඳ පස්ගෝරස පස්දූප පස්තෙල් පස්පහන් පස්ආලත්ති විලත්ති පංචෝපහාර දී පූජාකළ මෙමල් යහනට වර වර, ඕං නමෝ මහින්දාය නමඃ, ඕං නමෝ ත්‍රිසහෝදරාය නමඃ, ඕං නමෝ ත්‍රිපුත්‍රාය නමඃ, ඕං නමෝ දෙසියපනහක් අමාත්‍යාය නමඃ, ඕං නමෝ අට අසූවක් ලේකමාය උප ලේකමාය නමඃ, ඕං නමෝ අහවල්සේනාය නමඃ, ඕං නමෝ උලාමාය නමඃ, මෙකී නොකී සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන්නේ.. මා කී කන්නලවුව අසා වදාරා මෙකී නරප්‍රාණියා දෙස බලා සිටින්නේ, මෙකුන්ගේ කන්නලවුව දිව කණින් අසා දිව නෙතින් බලා වදාරන්නේ හොඳා.. මෙකී නරප්‍රාණියා හට කොලම්බනාමනගරප්‍රවරාසන්නගත, ඔටාරා ඩෙල්ට අයත් හෙයින් ඔඩෙල්ය නාමධාරී සළුපිළි කඩේ අබියස සළුපිළි උනා ගැසූ උන් දෙස බලා වදාරා, මෙකුන්ට පහර දුන් උන්දෙලාට දිව සළු දිව යහන් දිව අමුර්ත දිව යානා, දිව සැපත් ලබාදී වදාරන්නේ.. රාජකෝප පිතෘකෝප ආචාර්ය ප්‍රාචාර්ය කෝප මාධ්‍යකෝප ධවලවර්ණ රථාපහරණ ගුටිකෙළි පොලිස්කෙළි හමුදාකෙළි, අස්ථිභග්න දෝස ශීර්ෂභග්න දෝස වෘක්ෂබන්ධන දෝස පක්ෂබන්ධන දෝස, සංධිභේදක දෝස, කෙටුම් දෝස, කැපුම් දෝස, ගැහුම් දෝස, වැටුම් දෝස, ගිලුම් දෝස, ආයුද පෙන්නන්ට යන දෝස, මාංචු පිටින් පීනන්ට යන දෝස යනාදී අට අනුවක් දෝස නව අනුවක් ව්‍යාධි එකසිය එකක් අතුරු ආන්තරා වලින් වළක්වා දී සර්වදෝස සර්වාන්තරා වලින් වළකා දෙන්නේ යහපති දේවනේ බලන්ඩ බලා වදාරන්ඩ රකින්ඩ රක්කවන්ඩ ය කියා බැගෑපත්ව ඉල්ලා හිටින්නේ පස්වාන් දහසකට ආවඩා ආයිබෝවා අයිබෝවා ආයිබෝවා!! "

හා පුතාල දැන් ගෙහුං හරියට සති දෙකක් හැංගිලා ඉන්ට හොඳා.. සති දෙකෙන් ඔක්කොම අමතකයි.. එදාට ආයෙම ඇවිත් බාරහාර ඔප්පු කොරන්ට..

Thursday, November 6, 2014

ෂර්ලොක් හෝම්ස්ට එරෙහිව හිස්.බී. | Mr. Ass Bee vs Sherlock Holmes


(by Chithru de Silva)

මොර සූරන වැස්සේ පාර පනිනා විට, ඇඟේ ළාවට ගෑවී නොගෑවී ගිය ත්‍රීවීලරථයේ රියදුරාගේ මව සහ පියා සිහිපත් කරමින් බේකර් වීදීයේ (නොබෝ දිනකින් මද්දුම බණ්ඩාර හෝ වීර පුරන් අප්පු වීදිය ලෙස නම් වනු ඇත ) නොම්බර 221 කරා පියමන් කෙළෙමි. මා යනවිට හෝම්ස් සිටියේ Assassin's Creed: Brotherhood ගසමිනි. බාගෙට කා තිබූ චිකන් කොත්තුවක්ද පසෙකින් දක්නට ලැබිණි. කෙසේ නමුත් මගේ අන්පේක්ෂිත කඩාගෙන පාත් වීම පිලිබඳ හෝම්ස් හට ‪‎ගාණක්වත් නැති‬ විය. 

'හෝම්ස්...හෝම්ස්? හෝම්ස්!!!'

'කෑවා!! වොට්සන් ආවනං කටපියන් පැත්තකට වෙලා ඉන්නවකො! බලනවා, තමුසේ නිසා Ezio තව පොඩ්ඩෙන් මැරුම් කනවා.'

'ඔහොම ගේම් ගහනකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලද හිතන් ඉන්නෙ? අන්න කොස්ලන්ද නාය ගිහින් මිනිස්සු බැර ගාණක් මිසින්. අපි මොනාහරි කරන්න ඕනෙ!'

'දුකයි තමා. ඒත් ඒ මිනිස්සු ගැන බලාගන්න තොග පිටින් ෆේස්බුක් එකේ ස්ටේටස්, පින්තූර අප්ලෝඩ් කරන සෙට් එකක් ඉන්නවානේ? ඕවාට වැටෙන ලයික්, කෑම බීම වලට පරිවර්තනය වෙලා, ඒ අසරණ ජනතාවගේ දෙපා ළඟට වැටෙනවලු. කොහොමද ආස්චර්‍ය? සම(හරක්) අය කියනවා ඕක වුන පෙර කරපු පින් පවු හේතු කොටගෙන කියලා. ඉතින් තව මොන කතාද?'

මා කරකවා අතහැරියාක් මෙන් විය.

'දෙයියනේ හෝම්ස් උඹට අමු කැවිලද? දැන් අපි යමු. ගිහින් ඒ මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් හොයා බලමු'.

දිගු නිහැඬියාවකට පසු ඔහු එකඟ විය.

'හරි, හැබැයි නවයට කලින් එන්න ඕනේ. අද Breaking Bad පෙන්නනවා.'

මා 'ඔයා හුඟක් වෙනස්වෙලා' ගීතය මුමුණමින්, හොම්ස් සමග මහ මගට පිවිසුනෙමි. 

99 බදුල්ල බස් රථයට ගොඩවුනු අප, පැය පහක් පුරාවට ගිරිය කඩාගෙන හඩා වැලපෙන මී හරක් ගීත අසමින්, අවට සිරිය නරඹමින්, රටකජු පැකට් දෙක තුනක් අනුභව කරමින් සෙමෙන් සෙමෙන් ගමනාන්තය දක්වා ළඟා විය. නමුත් සිදුවූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ සිදුවීමකි. 

'මොකක්ද ඒ සද්දේ?'

'මොකක් උනත් අපිට පාන්ද? පාන් තියා පාන් පෙත්තක්වත් නෑ වොට්සන්'

'නෑ ඉතින් නිකං ඇහුවෙ'

'මම හිතන්නේ එක්කෝ කෙල්ලෙක් අර සාම්ප්‍රදායික ස්ත්‍රී පීඩක චින්තනයට වදින්න කොල්ලෙක්ට තඩි බාලා, නැත්නම් සාදු කියපන් ඩෝ සංවිධානේ මීටිමක්, නැත්නම් වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට හමුදාවෙන් වෙඩි තියෙනවා, එහෙමත් නැත්තම් මී හරක් රංචුවක් ඇවිස්සිලා.'

නමුත් අප දුටුවේ, නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය අයිතාවාසිකම් සුරැකීම උදෙසා පාරට බැස උද්ඝෝෂණයේ නිරත වන 2000කට පමණ අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකි.

'බෙස් ඉ ගෙදර පල'

'නිදහස් අධ්‍යාපනය රැක ගනිවු!'

'හෝම්ස්..ඔයා..' මෙම කලබගෑනියෙන් මදක් දෑස් ඉවතට ගත් මා, හෝම්ස් දෙසට හැරුණු නමුත් ඔහු දක්නට නොලැබිණි. 

බසයෙන් බිමට බැසගත් මා දුටුවේ දණ ගසා පොළොව වඳිමින් සිටි හෝම්ස්වය. 

'මොනාද මනුස්සයො කරන්නේ?' මම විමතියෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙළෙමි.

'ඇයි අපේ ලොක්කා වාහනේකින් බහින බහින සැරේට 'පළමුවත් (මගෙයි ) රට, දෙවනුවත් (මගෙයි ) රට, තුන්වනුවත් (මගෙයි ) රට කියලා පොළොව අල්ලලා වැඳ වැටෙන්නේ? මම හිතුවා ඒක චාරිත්‍රයක් කියලා.'

'නැගිටපන් යකෝ!!' ඇත්ත කියපන්. අර කොත්තුවේ මොනාද තිබුනේ?'

කෙමෙන් කෙමෙන් අප මහා ජනකාය මැදින් ඉදිරියට ගමන් ගත්තෙමු. 

එක්වරම ලොරියකින් බැසගත් නිලධාරින් පිරිසක් ලවුඩ්ස්පීකරයක් ගෙන මෙසේ පැවසූහ.

'නාපු නැති කට්ටිය ඔක්කොම ඉස්සරහට එන්න. අද අපි නොමිලේ ඔගොල්ලො නාවන්න හදන්නේ. ඔන්න ඔහොම පෝලිම් ගැහිලා එන්න. හැබැයි පීනස වගේ තියෙන් එවුන් පැත්තකට වෙලා ඉන්න ඕකේ?'

ඇතිවූ සංතෝෂය හේතු කොට ගෙන රැස්වී සිටි පිරිස හූ කියමින් ප්‍රීති ඝෝෂා නැගුහ.

එක් වරම බවුසර් වලින් වතුර විදීමට පටන් ගත් අතර පිරිස සතුටින් එහෙ මෙහෙ දිව ගියහ. මුළු ප්‍රදේශයම සැණකෙළියක සිරි ගත් අතර ඇතමුන් ලිස්සා වැටී තුවාලද සිදුකරගෙන තිබුණි.

'හෝම්ස්!!! අපි යමු' 

අවාසනාවක මහත. බයිසන් හරකෙකුගේ පෙනුමින් යුත් නිලධාරියෙක් අප දෙදෙනා කුදලාගෙන ජීප් රථයකට දැමූවේය. 

'මහත්තයලා නාලා මදි. අපි නොමිලේ කුණු ටික අතුල්ලා දෙන්නම්'.

හෝම්ස් මා දෙස බලා දිග සුසුමක් හෙලුවේය.

'අද Breaking Bad බලලා ඉවරය් එහෙනන්. රෙද්ද'.

Wednesday, November 5, 2014

ෂර්ලොක් හෝම්ස් සහ අයවැය | Sherlock Holmes and the Budget



(by Charith Randika)

මා හදිසියේම බේකරි වීදියේ වූ හෝම්ස්ගේ නිවහනට ගොඩ වදින විට වේලාව සවස 6ට පමණ විය. මාගේ මිත්‍රයා හාන්සි පුටුවේ ඇල වී දුම් වලාවකින් වැසීගත්වනම බර කල්පනාවක නිමග්නව සිටී.

"හෝම්ස්" මම නිහඬතාවය බින්දෙමි.

"අය වැය බැලුවේ නැද්ද? ටවුන් එකේ රතිඤ්ඤත් පත්තු කරලා තිබ්බේ"

ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නමුදු පිළිතුර ලෙස ලැබුනේ දුගු දුම්රොටුවක් පමණි. ගැඹුරු පරීක්ෂණ සිදුවීම් විසඳන විට හෝම්ස්ගේ මෙවන් හැසිරීම් ඉසේ කෙස් ගනනට දැක ඇති බැවින් මාගේ මිත්‍රයාගේ පරීක්ෂනය ගැන දැනගනු රිසියෙන් මම කාමරය පුරා සක්මන් කලෙමි. ඔහුගේ පසෙකින් වූ ටීපෝවේ සවුකොලයක් මත වූ දේ දැකීමෙන් මා පුදුමයට මෙන්ම දුකට පත් උනෙමි.

" දෙයියනේ හෝම්ස්, අය වැයෙන් මෙච්චර සහන දෙද්දී තමුසෙට දුම්කොලයක් ගන්න සල්ලි නැද්ද ඕයි? මේ මඤ්ඤොක්කා කොළ වේලලා ගහන්නේ?"

මහ හඬින් සිනාසුනු හෝම්ස්, "අය වැයෙන් සහන හම්බු වෙන්න මම තමුසේ වගේ රජයේ සේවකයෙක් නෙවෙයිනේ වොට්සන්" "අනික බං මේ මඤ්ඤොක්කා කොළ නෙවේ. ත්‍රයිලෝක විජයපත්‍ර" මහ හඬින් සිනාසෙමින් ඔහු යමක් පවසන්නට විය.

"එක්කෝ හිනාවෙලා ඕක කියපං, නැත්තම් කියල හිනාවෙයන්, මගුල" මට ඉබේටම කියවිණි.

"හරි හරි, වොට්සන්ට මතකද මම පහුගිය මාසයක් විතර අතුරුදන් වෙලා හිටියා? "

"මොකෝ මට අමතක. මම හැම ඉරිදම වගේ පොලේ ආපු ගමන් මේ පැත්තේ ආව. හඩ්සන් අක්කගෙන් ඇහුවම කිව්වා දැන් දවස් ගානක ඉඳන් ආගිය අතක් නෑ. මාස ගානකින් ගෙවල් කුලී ගෙවලත් නැතුව මාරු වෙලාද කොහෙද කියල"

" ඇති ඇති, වෙලාවකට බලං ගියාම තමුසෙත් ගෑනියෙක්ට හපන්නේ වොට්සන්. අනුන්ගේ රෙදිමයි අපුල්ලන්නේ. ඒක නෙවේ මම ඒ මාසෙම හිටියේ තණමල්විල පැත්තේ"

"අහ් එහෙමද? එහෙනම් ඒ පැත්තේ ගංජා හේන් ඔක්කොම අල්ලලා දෙන්න ඇති."

"පොඩ්ඩක් හිටාන්කෝ බන් පනින්නේ නැතුව මම සීන් එක කියල ඉවර වෙනකං" එවර හෝම්ස්ගේ ස්වරය තරමක් දැඩි වූ බැවින් මම මුනිවත රැක්කෙමි.

"ඒ පැත්තේ ඉන්නවා පුෂ්පේ මුදලාලි කියල ඩයල් එකක්. මිනිහ තමා මල් ලෝකේ මහා බුංගරාජයා ආවේ රොන් සොයා, සඳුන් උයනේ සේ ඉඳිමූකෝ ගී ගයා. ටන නන ටනං නනන් නනන් නනන්..... " පුටුවෙන් නැගිටගත් හෝම්ස් නටන්නට විය. මගේ මිත්‍රයා හොඳටම ට්‍රැක් අවුට් නමුදු කලින් දුන් වෝනින් එක සිහි කරගත් මම ඕ.ටී කිරීමට නොගියෙමි. මද වෙලාවකින් සන්සුන් වූ හෝම්ස් නැවතත් කතාව පටන් ගත්තේය.

" ඔන්න ඔය පුෂ්පේ මුදලාලි කියන මනුස්සයා තමා එහේ ලොකුම මල් බිස්නස් කාරයා."

" ඒ කිව්වේ කතරගමට නෙලුම් මල් යවනවද?" එවර මට නොපැන සිටීමට නොහැකි විය.

" නෙද්දකින් මීමා. නෙලුම් මල් නෙවේ යකෝ. ත්‍රයිලෝක විජයපත්‍ර, ගංජා ගංජා"

මට විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවිය.

" ඉතින් ඒ මනුස්සයා ලඟකදී ඉඳලා යවන ලෝඩ් ඔක්කොම ගැන ගමේ කවුරුහරි එකෙක් පොලීසියට ඔත්තුව දෙනවලු"

"ඉතිං ? "

" ඒ මනුස්සයා මෙහෙට ඇවිත් වැළපෙන්න ගත්තා කොහොමහරි මේ ඔත්තුව දෙන එකාව අල්ලලා දෙන්නය කියලා. ඉතින් මම පහුගිය මාසේ පුරාවටම මහන්සිවෙලා ඔත්තුව දෙන එකාව පුෂ්පේ මුදලාලිට අල්ලලා දුන්නා. ඊයෙත් මුදලාලි මේ පැත්තේ ආපු වෙලාවේ දීල ගිය අලුත්ම බඩු තමා මේ."

"දෙයියන්පල්ලා හෝම්ස් තමුසේ දැන් හොරුන්ටද සපෝට් කරන්නේ?"

"මේ බලනවා වොට්සන්, අපි මැරීගෙන මංකොල්ලකාරයෝ, අපරාධ කාරයෝ අල්ලනවා. මොකද්ද වෙලා තියෙන සෙතේ? කවුරු හරි ඇමති කෙනෙක්හරි මන්ත්‍රී කෙනෙක් හරි මැදිහත් වෙලා උන්ව එලියට දානවා. නීතියක් නැති රටේ අපි අහවල් කෙන්ගෙඩියක්ද ඕයි රකින්නේ? අනිත් එක දැන් ඔය වැඩේ නිසා මිනිස්සුත් තමන්ට මොන වැරැද්ද සිද්ද උනත් කට පියාගෙන ඉන්නවා මිසක් ඉස්සර වගේ අපිව හොයන් එන්නේ නෑ අපරාධ කාරයෝ අල්ලගන්න. අපිත් ජීවත් වෙන්න එපැයි බන්. උබටනම් ඩිස්පැන්සරියක් හරි තීනවා. මට එහෙමවත් නෑනේ බන්. තේ පොල් රබර් තීනවා කියලද? අඩු තරමේ සමෘධිය වත් නෑනේ බන් මට."

" සමෘධිය නෙවේ දැන් ජන සවිය" මම ඔහුව නිවැරදි කළෙමි"

"මොන මගුල හරි"

මගේ හෑන්ඩ් පෝන් ඒකට වයිපරේගෙන් ඇමතුමක් ලැබුණු බැවින් හොම්ස්ගෙන් සමුගෙන යන්නට නැගී සිටියෙමි.

"වොට්සන් " හෝම්ස්ගේ හඬ බාල වී ඇත.

"ඇයි මචං ?"

"බෑග් එකේ තීන බූන්දි ටික දීල පලයන්කෝ"

"කොහොමද බන් දැනගත්තේ"

ඔහුගේ විමර්ශන හැකියාව ගැන පුදුමයට පත් වෙමින් මම විමසුවෙමි.

"උඹ පොලේ එන හැමදාම පවුලට බූන්දි ටිකක් ගෙනියන බව මට හොයාගන්න බැරිනම් මොකටද බන් මම රහස් පරීක්ෂණ වැඩ කරන්නේ."