logo banner
Showing posts with label සදාචාර කතා. Show all posts
Showing posts with label සදාචාර කතා. Show all posts

Saturday, April 11, 2015

එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න | Come, let us modernize your posterior

එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න!

ඡායාරූපය උපුටාගත්තේ "ගොඩේ බයියා" ලියු සටහනකිනි... 

ඔක්කාරය දනවන තරමේ අප්‍රසන්න මාතෘකාවක් වුවද, පසන් කොඩිකාරගේ මරණය සහ ඉන් පසුව සිදු වූ යම් යම් කාරණා පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුව තිබේ.. එසේ වන්නේ පසන් කොඩිකාරවත්, ඔහුගේ නික්මයාමෙන් අනතුරුව තමන් පොරවල් යැයි සිතාගන්නා උදවියවත් ළඟ ඇති අමුතු බක්කක් නිසාවත් නොවේ.. මේ විප්‍රකාර බලං ඉන්නා පොඩි එව්වෝ "මේ මොකක්දැයි" අපෙන් අසන බැවිනි.. මෙතෙක් කල් ඒ නොකර සිටියේ බීගත්තු මිනිහෙක් කාගේවත් පස්සක් සහ තනයක් මිරිකීම අපට ස්ටේටස් දැමීමට හේතුවක් විය යුතු නැති බැවිනි.. එහෙත් ඒ පුද්ගලයා විසින් කරන ලදැයි කියන පස්ස (සහ තනය) මිරිකීම, දැන් ජාතික දේශපාලනයේ "නවමු හැරවුම් ලක්ෂ්‍යයක්" වෙතැයි සම "හරක්" ත්‍රීවිල් මතවාදීන් විසින් සලකනු ලබන බව පෙනේ... මේ ටික ලියන්නේ ඒ නිසා ය..

මුලින්ම පසන් කොඩිකාර ගැන යමක් කිවයුතුය.. පසන් කොඩිකාර නම් මිනිසාව මා කිසිදිනෙක පුද්ගලිකව ආශ්‍රය කර නොමැති බැවින් ඔහුගේ මානුෂික මුහුණුවර කෙසේදැයි මම නොදනිමි.. එහෙත් පරිවර්තකයකු වශයෙන් පසන්ගේ පරිවර්තන නම් බඩ දඟලවන සුළු, ඔක්කාරය දනවන සුළු මට්ටමේ ඉතාම දුර්වල ඒවා බව නොකියාම බැරි ය.. "Anti-Christ" යන්න "ප්‍රතිවාදී කිතුනුවා" ලෙස පරිවර්තනය කරන පුද්ගලයකු ගැන මීට වඩා ලිවීම නිරර්ථකය.. පසන්ගේ පරිවර්තන ගැන "Feeding the Monkey" බ්ලොග ලියන අපේ මිත්‍ර චමිලයා මට වඩා හොඳට ලියා ඇත.. කීප විටක්ම පසන්ට පුද්ගලිකව සහ වෙනත් සංවාද මණ්ඩපවලදී "මොනවද යකෝ මේ ලියන අණ්ඩර දෙමළ" කියා අසා ඇති අතර, ඒවාට ප්‍රතිචාර නම් නොලැබුණු තරම් ය..

කෙසේ වෙතත් පසන් නික්මගොස් ඇත.. පරිවර්තකයකු ලෙස කෙසේ වෙතත් ලේඛකයකු ලෙස ඔහුගේ ශක්‍යතාව පිළිබඳ හොඳ මතකයක් අප සතුව ඇති බැවින්, ඔහුට නිවන් සුව පැතීමේ වරදක් ඇතැයි මම නොදකිමි.. පසන් නිර්වාණය විශ්වාස කළා ද නැද්ද යන්න මීට අදාළ නොවේ..

පසන්ගේ මරණයෙන් අනතුරුව (සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන්) යහළු මිත්‍රයන් කීප දෙනෙකු එක්ව දුක නිවාගැනීමට බාර් එකකට යාමෙනි, කතාව ආරම්භ වන්නේ.. ඒ අතර පිරිමින් මෙන්ම ගැහැණුන් ද වූ අතර, එය මහා අමුත්තක් විය යුතු නැත්තේ බීම හුදෙක් පුරුෂමූල අයිතියක් විය යුතු නැති බැවිනි.. (ඒ කෙසේ වෙතත් ලංකාවේ බාර්වල ගැහැණුන්ට මත්බීම විකිණීම තහනම් ය..) සාමාන්‍යයෙන් පදමට දෙකක් දමාගත්තාම කොයි කවුරුත් පිස්සු කෙළින බැවින් බොනපාට් එක අතර සිදු වූ දෑ වත්, හුවමාරු වූ දෑ වත් අපට අදාළ නැත.. (වැඩි විස්තර සර්පයා සිය බ්ලොගෙහි ලියා ඇත..) කොහොමත් මා එතන නොසිටි බැවින් මට නම් ඒ කතාව අදාළ ම නැත.. කෙසේ හෝ වේවා, මීවිතෙන් පටන්ගත් කතාව අවසාන වී ඇත්තේ වංගීස සුමනසේකර විසින් එහි සිටි එක්තරා කාන්තාවකගේ පස්ස මිරිකීමෙනි.. (කාන්තාවගේ නම නොලියන්නේ සහේතුකව ය..) මේ අසංවර සහ අසංස්කෘතික හැසිරීම වංගීසගෙන් මීට පෙරද ප්‍රදර්ශනය වී තිබුණු බව රහසක් නොවන අතර, ඒ අවස්ථාවන්හි කළාක් මෙන්ම මේ අවස්ථාවේදී ද සුපුරුදු පරිදි නොනවත්වා කෙරෙන සමාව ඉල්ලීම් ද පසුගිය දින කීපයේ ෆේස්බුක් හරහා දක්නට ලැබිණි..

දැන් මේ සිද්ධිය අරබයා ප්‍රශ්න කීපයක් විසඳාගත යුතුව තිබේ.. එකක් නම්, බාර් එකකදී දක්වන අසංවර හැසිරීම යම් පුද්ගලයකුගේ "ඇකඩමික්" භාවය කෙරෙහි බලපාන්නේ කෙසේ ද යන්නයි.. මානව දුර්වලකම් පසෙක තැබුවහොත් වංගීස යනු සිය දැනුම් ක්ෂේත්‍රයේ ප්‍රාමාණික උගතෙකි.. විධිමත් අධ්‍යාපනයක ඵල ලැබුවෙකි.. වංගීස කැමති වුවත් අකැමැති වුවත් මිනිස්සු ඔහු අයත් වන "කැලෑසියෙන්", "ඇකඩමියාව" නම් මෙන්න මේ වගේ එකකැයි සිතේ දෙයක් මවා දනිති.. එසේ තමා හරහා යම් පන්තියක අනන්‍යතාව නිරූපණය වීමට වංගීස අකමැති වූවාට බලා සිටින අපට කරන්නට දෙයක් නැත.. මන්දයත් වංගීස යනු මෙන්න මේ වගේ දෙයකැයි තීරණය වීමට ඔහු අයත් වන මේ "ඇකඩමික්" කුලය ටිකක් නොව ගොඩාරියක් බලපාන බැවිනි..

ඇකඩමික් vs නන්-ඇකඩමික් විරෝධය මේ සරල සිද්ධියට සීමා වූවක් නොවේ.. "උඹට තියෙන්නේ මොනවාදැයි" චාපා විසින් බාර් එකේදී සර්පයාගෙන් විමසීමත්, "ලංකාවේ උන් දන්නේ මොනවාදැයි" නලින් ද සිල්වා විසින් ධර්මවර්ධනට පැවසීමත් අතර වෙනසක් මට නම් නැත.. වෙනසක් වේ නම් ඒ පළමුවැන්න බාර් එකකදී සිදුවීමත් දෙවැන්න ජාතික තලයේ පුවත්පතක සිදුවීමත් නිසා පමණි.. දැන් සිදුවී ඇත්තේ මෙතෙක් කල් ඇකඩමියාවට ගහන්නට පොටක් සොයමින් සිටි නන්-ඇකඩමික්ලාට, වංගීසගේ පිටේ තබා ඇකඩමියාව මස් කරන්නට පොටක් පෑදී තිබීමයි.. මෙය තනිකරම ඇරියස් පිරිමහීමකැයි නොබියව කිවයුත්තේ එහෙයිනි.. (වංගීස කර ඇත්තේ වරදක් නොවේයැයි හෝ, ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් සමාව නොගත යුතුයැයි මින් අදහස් නොවේ..)

ඇකඩමික් ප්‍රශ්නය එසේ තිබියදීම, විසඳාගත යුතු වෙනත් මහා බරපතළ ගැටළුවක් ද ඇත.. එනම්, මෙතෙක් කල් "සංස්කෘතිය" සහ "සදාචාරය" යන වචන දුටුමතින් සමේ පලු නගින්නාක් මෙන් බෙරිහන් දුන් කීප දෙනෙකුට මේ හදිස්සියේ සදාචාරය සහ සංස්කෘතිය මතක් වී ඇත්තේ මන්ද කියා ය.. අප දන්නා සංස්කෘතියට අනුව නම් පස්සවල් මිරිකීම ඉතාම පෞද්ගලික ක්‍රියාවකි.. එය සිදුවිය යුත්තේ ඒ සඳහා වූ සාමාජීය ලයිසන් එකක් සහිතව ය.. සාමාන්‍ය බාසාවෙන් ඒ ලයිසන් එකට "කසාදය" කියා කියති.. (කසාද බඳින්නේ ඒකට පමණකැයි මින් අදහස් නොවේ..) එහෙත් කසාදය වැනි ඉතාම ප්‍රාථමික සංකල්පවලින් මිදී වඩා ඉහළ තලයක චින්තනයක් ඇතැයි කියන නෝනාවරු මහත්වරු අපට කියන්නේ කසාදය වනාහි පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රිය යටපත් කිරීමට යොදාගන්නා මෙවලමක් යැයි කියා ය.. මේ නෝනාවරු මහත්වරුන්ගේ චින්තනයට අනුව පස්සවල් මිරිකීම සහ වෙනත් එවැනි චර්යා රටාවන් දැක්වීමට අප සමාජයෙන් හෝ කාගෙන්වත් ලයිසන් ගත යුතු නැත.. කසාදය වැනි සම්මතයන් වනාහි සමාජය පසුගාමීත්වය වෙත ඇදගෙන යනු ලබන දෑ යැයි පවසන්නේ අප නොව මේ උත්තරීතර චින්තකයන්ම ය.. එසේනම් දැන් මේ ඊනියා චින්තකයන් "සම්මතය", "සදාචාරය" සහ "හරි වැරැද්ද" ගැන කතා කරන්නේ කෙසේ ද?

සදාචාරය කියා නිරපේක්ෂ දෙයක් නැතැයි ද, හොඳ-නරක යනු අදාළ සමාජය මත තීරණය වන සාපේක්ෂ සංකල්ප යැයි ද මෙතෙක් කල් කියූ බහුතරයක් මේ සිද්ධියේදී දක්වන ප්‍රතිචාර ගැන මට මහත් පුදුමයක් පවතී.. මෙය පැහැදිලි කරගැනීමට අපි පොඩි මනෝ-පරීක්ෂණයක් කරමු.. අප්‍රිකාවේ කොහේ හෝ නොදන්නා කොණක, පිරිමින් විසින් හිතුමතේට ගැහැණුන්ගේ පස්සවල් මිරිකීම "හොඳ" යැයි අර්ථ දැක්වෙනවා යැයි සිතමු.. දැන් එවැනි තැනක මේ සිද්ධිය සිද්ධ වීමත්, ලංකාවේ ඊ.ඒ.පී. එකේදී මේ සිද්ධිය සිද්ධ වීමත් අතර වෙනස පහදන්නේ කෙසේ ද? සදාචාරය සාපේක්ෂ නම්, ඒ සදාචාර සම්මතය වලංගු වන සීමාව හුදෙක්ම ඒක පුද්ගල නිදහස මතම තීරණය වනවාත් නම්, එදා ඊ.ඒ.පී. සිද්ධිය ගැන කාටවත් කලබල වෙන්නට දෙයක් නැත.. ඇයි, සදාචාරය කියා එකක් නිරපේක්ෂව නෑ නොවැ? සදාචාරය සාපේක්ෂ නම්, ඊ.ඒ.පී. එකේ මධුවිත බොමින් සිටින පිරිසගේ සදාචාරය ඒ අයට සාපේක්ෂ යැයි අපට කිව හැක.. එසේ නම්, ඊ.ඒ.පී. එකේදී සිදුවූ සිද්ධිය හරි ද, වැරදි ද කියා මිනිය යුත්තේ අපේ මේ සිංහල බෞද්ධ රටේ සදාචාර සම්මතය අනුව නොව, ඊ.ඒ.පී. එකේ බිබී හිටපු එවුන්ගේ සදාචාර සම්මතය අනුව ය..

මේ ඊනියා චින්තකයන්ගේ මහාර්ඝ චින්තනයේ නිරුවත්භාවය හෙළිවන්නේ සැබෑ ලෝකයේ සිදුවන මෙවැනි සිද්ධීන්ගෙනි.. පොත්වල, බ්ලොග්වල, සම්මන්ත්‍රණවල, ඊනියා කතිකාවල ආදී තැන්වලදී සිංහල බෞද්ධ සදාචාරය පට්ටා ගසන, සිංහල බෞද්ධ යන වචන හපා අඹරා හක්කේ තබා සෙම අරින, මේ රට දියුණු නොවන්නේ මේ ඊනියා සිංහල බෞද්ධ සදාචාරේ නිසා යැයි බෙරිහන් දෙන උදවියට, බෞද්ධ සදාචාරය මතක් වන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක ය.. සිංහල බෞද්ධකම වනාහි ගඳගහන මඩ ගොහොරුවකැයි ද, තමන් එතැනින් උඩට නැගගෙන, පඩිපෙලක් වගේ එකක ඉඳන් පල්ලෙහා බලාගෙන කතා කරනවාය කියා සිතා සිටින කාටවත්, බීගත්තු මිනිහෙක් තමන්ගේ පස්ස මිරිකන්නට එන විට ඔය ඒක පුද්ගල නිදහස ගැන පරසක්වළ ගසමින් කියූ කතාවන් එකක්වත් මතක් වන්නේ නැත.. එතකොට සිදුවන්නේ අර තමන් විසින් නැගගෙන සිටින මානසික පඩිපෙළෙන් පල්ලෙහාට "ඩිගි ඩිගි" ගා ඇදගෙන වැටී, තමන් මෙතෙක් කල් බැනවැදුණු සදාචාර සම්මතය දක්වාම තල්ලු වීමයි..

එබැවින් මෙකී "නූතන" සහ "පශ්චාත් නූතන" චින්තකයන් තමන්ව එසේ හඳුන්වා ගැනීම ඉතාම යුක්තියුක්ත බව කිව යුතුය.. මන්ද "නූ තන" යනු "අලුත් තන" ලෙස ද අර්ථ දැක්විය හැකි බැවිනි.. අවැසිනම්, "පශ්චාත්භාගය නූතන" කරගැනීමේ චින්තනයක් ලෙස ද එය අර්ථ දැක්විය හැකි ය.. (අවශ්‍ය නම් අපට ඒ සඳහා මෙන්න මෙහෙම ටැග් ලයින් එකක් ද ලිවිය හැකිය: "ඔබේ පශ්චාත්භාගය පැරැණි වැඩි ද? දුක්වෙන්න එපා, පශ්චාත්භාගය නූතන කරගැනීම සඳහා නොමිලේ පන්ති, ඊ.ඒ.පී. හිදී") ඒ කෙසේ හෝ වේවා, අප විසින් සම්මත යැයි සලකන සදාචාරයේ බංකොළොත්භාවය ගැන කතාකරන "නූ තන" සහ "පශ්චාත්" භාග මත පදනම් වූ චින්තකයන්ගෙන් ඒ වෙනුවට ඉදිරිපත් වන විකල්පය වනාහි, කල්පනා ඇම්බ්‍රෝස් විසින් නිවැරදිවම කියා ඇති පරිදි "යහළුවාට වඩා සෙරෙප්පුව විශ්වාස කරන්නට සිදුවන" මට්ටමේ විකල්පයක් නම්, අපට අපේ දන්න යකා හොඳා කියනු ඇරෙන්නට වෙන කිවයුතු දෙයක් නැත..

එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න!

Saturday, October 25, 2014

භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics



භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන නිමිත්තකි. එදා සිය නිවුණු ස්වරයෙන් රටක් සැනසූ පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ තාර්කික විශ්ලේෂණ වෙනුවට, අද සියල්ල පරදවා මතුව ඇත්තේ මහා කුණුහබ්බ සුත්‍ර දේශනාවයි. මෙකී කුණුහබ්බ දේශනාවලින් යුටියුබ් සිංහල සිංහල ගොසිප් පුවත් නාලිකා පිරී ඉතිරී යන බැවින් ඒවා යළි මෙහි පළකිරීමේ සෙතක් නොදකිමු. එහෙත් පසුගිය දෙතුන් වසර තුළ බොහෝ දේ වෙනස්ව ඇති බව නම් සත්‍යයකි. බොහෝ දේ වෙනස් වුණාට කමක් නැත, බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැතිව කරන්නේ නම්. එහෙත් අහන අහන අත, දකින දකින අත අපට පෙනෙන්නේ බුද්ධ ශාසනය, එතුළම වෙසෙන කඳපණුවන් විසින් කා දමන ආකාරයයි. 

කතාව පටන්ගන්නට පෙර අපි භික්ෂුව කවුදැයි බලමු. භික්ෂුව යනු කවුද? භ + ඉක්ෂු = එනම්, භය දකින්නේ භික්ෂු නම් වෙයි. දකින්නේ වෙන මොන බයක් වත් නොව සසර බය ය. සසර බය දකින භික්ෂුවට වෙන මොන කෙහෙල්මලක් වත් පෙනෙන්ට විදියක් නැත. එවැන්නකු හට දේශපාලනය ද අරකද මේකද මේ සියල්ල වැඩක් නැති හිස් ප්‍රලාප ය. ලොකුම බය ලෙස එහෙම සසර බිය පේන්නෙ නැත්නම් හෙතෙම චීවරය දැරිය යුතු ද නැත. මන්ද ඔහු භික්ෂු යන්නෙහි වචනාර්ථය පවා නොදන්නා බැවිණි. එසේ සසර බිය දකිමින් සසරින් මිදෙන්නට හදන භික්ෂුව ඇරෙන්නට වෙනත් භික්ෂුන් ඉන්නට විදියක් ද නැත. මන්දයත් භික්ෂු යන වචනයේම අර්ථය වන්නේ සසර බිය දකින පුද්ගලයා යන්න නිසා ය. ඉතිං එවැනි පුද්ගලයකු දේශපාලනය කිරීමට යාම මොන විහිළුවක් ද?

භික්ෂුවට පුද්ගලික ජීවිතයක් නැත. එසේ පුද්ගලික ජීවිත ඇත්තේ ගිහියන්ට ය. භික්ෂුව යනු දහදිය මහන්සියෙන් හරිහම්බ කරගෙන කන මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් උපන්නා වූ දෙයින් යැපෙන්නෙකි. භික්ෂුව යනු තම කය උදෙසාවත් ජීවත් නොවන්නෙකි. භික්ෂුව ආහාර ගන්නේ ද, "මේ ආහාරය මාගේ ශරීර ශෝභාව පිණිස, කය පුෂ්ටිමත් වීම පිණිස නොගනිමි, හුදෙක් කෙළෙස් දුරුකර නිවන් දකිනාතුරා ජීවත් වීමට පමණක් ආහාරය ගනිමි" යයි ප්‍රත්‍යවේක්ෂා කොට ය. එවැන්නකු ගිහි ජීවිතයේ අමාරුම ජොබ් එක වන දේශපාලනය කිරීමට උත්සාහ කිරීම කොහෙත්ම හිනා නොයන විහිළුවකි. 

දේශපාලනය කිරීම බෝධිසත්ත්ව ලක්ෂණයක් යැයිද සමහරු අර විහිළුවට උඩින් තවත් විහිළුවක් සපයති. ඔවුන්ට මතක නැතුවාට, සිදුහත් බෝසතුන් පෙරකල ක්ෂත්‍රිය මහාසාර කුලයක ඉපිද, උපතින්ම ලද පුබ්බේ නිවාසානුස්සති ඥාණය හේතුවෙන් පෙර කල රජව ඉපිද මිනිසුන් ගේ අත්පා කපා දඬුවම් කිරීමෙන් කරගත් පාපය ගෙවන්නට සිද්ද වූ හැටි දැක, රජකම කෙරෙහි බියට පත්ව, උපතින් උරුම රජකම එපා කියන්නට බැරිකමට, ගොලුවෙක් බිහිරෙක් සේ රඟපෑ අවස්ථවක් ද ජාතක පාළියේ එයි. රජකම බෝසත් සිරිතක් නම් එසේ කළේ මොන මගුලටද කියා දැන් ඇසිය යුතුය. එසේම, සිදුහත් කුමරුන් පැවිදි වුණේ සත් දවසකින් ලැබෙන්නට නියමිතව තිබුණු සක්විති වත අතහැර බව පූජාවලියේ දැක්වේ. එසේනම් ඔය කියන ලෝකානුකම්පා චර්යාව ඒ විදියට කරන්නට තිබුණා නොවැ.. අපරාදෙ දේ අර දරුවා සහ භාර්යාව අතහැරලා වනගත වුණේ.. අපේ එකෙක් ඒ කාලයේ සිදුහත් කුමරුගේ ඇමතියා වෙලා හිටියා නම් ෂුවර් එකටම කියන්නේ "යන්න එපා දේවයිනි, එක්කෝ සක්විති වත පුරන ගමන් පිළිවෙත් පුරමු, නැත්නම් සිවුරේ ඉඳන් දේශපාලනේ කරමු" කියා වෙන්ටෑ! 

දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු ගතවීම පමණක් නොවේ. සිවුරේ ඉඳගෙන ම ජාතිවාදී අදහස් දැරීමද දේශපාලනයක්ම වෙයි. භික්ෂුව යනු ජාති ගෝත්‍රවාද සියල්ල බිම තැබුවෙකි. භික්ෂුවට ජාතියක් තිබිය හැකිනම් ඒ කවර ජාතියක් ද? ඒකාන්තයෙන්ම ඒ ආර්ය ජාතියම පමණකි. ආර්ය වන්නේ කෙසේද යන්න ගැන අපේ වීරයන්ට පැහැදිලි අදහසක් නැත. වෙලාවකට සියලු උපසම්පදා භික්ෂුන් යයි කියති. වෙලාවකට සෝවාන් වත් වෙලා තිබිය යුතුයැයි කියති. අවස්ථාවේ හැටියට කෙළින පචය වෙනස් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් අංගුලිමාල සුත්‍රයෙන් ලැබෙයි. අඟුල්මල් හිමියෝ අර ගැබ්බර කාන්තාවට සෙත් පතන්නේ, "නැගණියනි, මා යම් දිනෙක ආර්ය ජාතියේ උපන්නාද, එදා සිට..." යනුවෙනි. ආර්ය ජාතියේ උපන්නා යනුවෙන් උන් වහන්සේ අදහස් කරන්නේ මාර්ග ඵල ලැබීම නොවන බව තේරුම් ගන්නට රොකට් සයන්ස් අවශ්‍ය නැත. මේ කියන්නේ යම් දිනෙක තමා බුදුසව්වෙකු වුණා නම් එදා සිට යන අර්ථයෙනි. වැඩිපුර විස්තර පහාරාද සුත්‍රයෙන් දැක්වේ. එහිදී බුදුහිමියෝ පැහැදිලිව මෙසේ කියති. "ගංගා යමුනා අචිරවතී සරභූ යන මේ කවර ගඟේ ජලය මුහුදට ආවත්, එතැන් පටන් එයට කියන්නේ එකම මහා සමුද්‍රය කියා ය. එසේම, සතර වර්ණයන්ගෙන් කවර වර්ණයෙන් පැවිදි වුණත්, පැවිද්දෙන් පසු ඔවුන් හඳුන්වන්නේ එකම ශ්‍රමණ සක්‍යපුත්‍රීය යන නාමයෙන්" කියා ය. වාසි හැටියට බොරු දෙසාබාන හුජ්ජාතිකවාදීන්ට පහාරාද සුත්‍රය පෙන්නන්න බැරි මෙන්න මේ ටික නිසා ය. 

පැහැදිලි මදි ද? කරුණාකර අම්බට්ඨ සුත්‍රය ගන්න. එහි පැහැදිලිව මෙසේ කියවේ. "යමෙක් ජාතිගොත්‍ර වලින් ගටා කතා කරනවාද එවැනි කතාවල් ඇතිවන්නේ මගුල් තුලා වලදී. එහෙම ඉන්න ඒ පුද්ගලයා සසරට බැඳිලයි ඉන්නේ, ඔහු අනුත්තර විජ්ජා චරණ සම්පත්තියේ නම් නෙමෙයි ඉන්නේ". මේ මගේ වචන නොවේ, මේ තථාගත සම්මා සම්බුද්ධ වචනය ය. ඒ අනුව, තාමත් භික්ෂුවට ජාතිගොත්‍ර තිබෙන්නට පුළුවන් කියන උදවියගෙන් "මොන මගුලක්ද" කියා ඇසීමේ කිසිදු වරදක් නැත. මන්ද ජාති ගෝත්‍ර විමසන්නේ මගුලට මිස නිවනට නොවන නිසා ය. 

සමහරු තවත් පියවරක් ඉදිරියට ගොස්, බුදුරජාණන්වහන්සේ ද ජාති ගෝත්‍රවාද අනුමත කළ කතාවක් කියති. ඔවුන්ගේ ජනප්‍රියම උදාහරණය වන්නේ අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවයි. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සුත්‍රය දේශනා කළේ චතුර්වර්ණ අතරින් බ්‍රාහ්මණ වර්ණයම උතුම් වන්නේය කියා සිතා සිටි පුද්ගලයකු හට, එය එසේ නොවේය, ඉතිහාසය ඇසුරින් ගතහොත් වඩා උත්තම වන්නේ ක්ෂත්‍රිය වංශය බව පෙන්වීමට ය. මිසක් බුදුන් වහන්සේ සිය ගෝත්‍රය ගැන පාරම්බෑමක් එතැන නැත. තමා හැදු පිය මහරජුට ද බුදුන් වහන්සේ මුහුණටම කිව්වේ, "මහරජ, ඔබේ වංශය ක්ෂත්‍රිය වංශයයි, තථාගතයන්ගේ වංශය බුද්ධ වංශයයි, මා පිළිපදින්නේ බුද්ධ වංශයේ සිරිතයි" කියා ය. එහෙම කියූ බුදුන් වහන්සේ ආයෙම වෙන තැනක "මගේ ගොත්තරේ තමා උතුම්" කියන්නේ නැත. 

ගොත්‍රවාදීන්ගේ තවත් ජනප්‍රිය උදාහරණයක් වන්නේ විඩුඩභ කුමරුන් ශාක්‍යයන් වනසන්නට යද්දී, ශාක්‍ය දේශසීමාවේ දී බුදුන් වහන්සේ කළ ප්‍රකාශයයි. ශාක්‍යයන් නසනු පිණිස සිය සේනාව සමග ශාක්‍ය දේශ සීමාවට ආ විඩුඩභ කෝසල කුමරු, බුදුන් වහන්සේ කාෂ්ඨක අව්වේ සිටිනු දැක, "වහන්ස, මෙතරම් සෙවණ ඇති ගසක් තිබියදී ඔබ වහන්සේ මේ අවුවේ ඉන්නේ මන්දැයි" විමසු බවත්, "කිඹුල්වතින් හමා එන සුළඟ ඉතාම සුවදායක ය" යනුවෙන් බුදුන් වහන්සේ ඊට උත්තර දුන් බවත්, විඩුඩභ කුමරු ඒ අසා ආපසු හැරී ගිය බවත් සඳහන් වේ. මෙතනදී බුදුන් වහන්සේ අර ප්‍රකාශය කළේ, විඩුඩභ කුමරුන් මහා පාපයක් කරගන්නවා වැළක්වීමට මිසක සිය ඥාතීන් හෝ ශාක්‍ය ගෝත්‍රය කෙරෙහි හෝ වූ අමුතු කරුණාවකින් නොවේ. එයද අර කිසාගෝතමියට අබ සොයන්නට කීවා සේම, චුල්ල පන්ථක තෙරුන්ට අවුවේ සිටගෙන රෙදිකඩක් පිරිමදින්නට කීවා සේම, අංගුලිමාලට "මම නැවතී සිටිමි, ඔබත් නවතින්න" කීවා සේම සම්‍යක් ප්‍රයෝගයකි. මිසක් වෙන ගෝත්‍රවාදයක් ඔතන නැත. 

ඒ කාලයේ ශික්ෂා පද මේ කාලයට ගැළපෙන්නේ නැතැයිද, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් අවකාශ ඇතැයිද සමහරුන්ගේ තර්කය වෙයි. කාලයට අවැසි පරිදි වෙනස්කර ගන්නට බුදුහිමියන් පිරිනිවන් මංචකයේ දී අවසර දුන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වලට ය. ඒ කියන්නේ කුඩා අනුකුඩා සිකපද ය. එහෙත් ඒ කුඩා අනුකුඩා සිකපද කවරේද යන්න අසාගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආනන්ද හිමියනට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එල්ල වූ චෝදනා පහෙන් එකකි, ඛුද්දානුඛුද්දක සිකපද අසා නොගැනීම. එබැවින් බුදුන් ධරමාන කාලයේ වෙනස් කළ සිකපද මිසක, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් ථෙරවාද සම්ප්‍රදායය තුළ එදා මෙදාතුර කවමදාකවත් සිකපද වෙනස් කරගැනීමක් සිදුවී නැත. එසේ කළ හැකියැයි යමෙක් කියන්නේ නම් එය ගල් පැලෙන පට්ටපල් කෙබරයකි. 

භික්ෂුව සිංහලකම පෝෂණය කිරීම වරදක් යයි අප කිසිදාක කියන්නේ නැත. ලංකාවේ බුදුසසුන රැකෙන්නේ සිංහලකම තිබෙන තුරු ය. එබැවින් ශාසනයේ ආරක්ෂාව ගැන සිතා, ගිහි දායකයන්ට අවවාද අනුශාසනා කිරීමේ වරදක් නැත. එහෙත් එය කුල දූෂණය දක්වා යන තැනට නොආව යුතුය. කියන එක වචනයක් හෝ වෙයි නම් එය හුදෙක් බුදුසසුන වෙනුවෙන්ම කියන්නට හැකිනම් පමණක් එසේ කිව්වාට කමක් නැත. බැරිනම් කටවසාගෙන සිටීම වඩාත් උචිත ය. මන්දයත් අග්ගික්ඛන්දොපම සුත්‍රයට අනුව, එසේ නොවන මහණුන් හට ගිලින්නට වෙන්නේ ලොහොගුලි බැවිණි.

Saturday, May 24, 2014

පැරැණි රසාංග (2) - ඔබත් කෑල්ලක් නැතිව කරවෙනවාද? | Are you a loser too?

අපේ මුහුණුපොත් පිටුවේ මීට කලකට පෙර පළකරන්නට යෙදුණු, එහෙත් බ්ලොග් අවකාශයට මුදා නොහරින ලද පැරැණි ලිපියකි. 

***



මෙතෙක් කල් ජාතිවාදී පෝස්ට් සහ මෙලෝ යකෙකුට වැඩක් නැති කාලකන්ණි ෆොටෝ කෑලි ෂෙයාර් කරමින් කරවෙවී සිටි ඔබට මෙන්න අනගි අවස්ථාවක්!

ළඟදී අවසන් වූ / වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය අහවර කළ කොල්ලන් / කෙල්ලන් මේ දිනවල බුරුතු පිටින් සිය ප්‍රොෆයිල ඇක්ටිවේට් කරගනිමින් සිටින බවට වගකිව යුතු ආරංචි මාර්ග දන්වා සිටී. මෙතෙක් කල් පාඩම් පොත්වලටම මැදිවී මෙලෝ රහක් නැතිව හිටපු ජීවිතේ ෆන් එකක් ගන්නට ඕනේ කියා ඔවුන්ට සිතීම ස්වභාවික බැවින් ද, දැන් ඉතිං කට්ට කෑවා ඇති, කොල්ලෙක් / කෙල්ලෙක් හොයාගන්න ඕනේ යයි ඔවුන්ට සිතී ඇතිනිසා ද, ඔබට මේ අවස්ථාව උපරිමයෙන් ගැළපේ. මාස ගණනකට වරක් සිදුවන මේ අතිවිශේෂ ග්‍රහචාරයෙන් මහඟු පළ නෙළාගැනීම පිණිස පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

1. මෙතෙක් කල් මැස්සෝ වහමින් (මගේ වගේ) තිබ්බ ඔබේ ප්‍රොෆයිල් පික්චර් එක මාරුකර හොඳ එකක් යොදන්න. ඒ සඳහා මුහුණේ කුරුලෑ, වල ගොඩැලි නොකැපු රැවුල වැනි දේවල් නොපෙනෙන හොඳ ෆොටෝ එකක් යොදන්න. කෙල්ලන්ට නම් වෙඩින් එකකදී ගත් ෆොටෝ එකක් වගේ නම් වඩා සුදුසුයි. කොලල්න්ට නම් ගිටාරයක් අතින් ගෙන සිටින ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ගොඩ දාන්නම බැරි මට්ටමේ එකක් නම් දන්නා කියන ෆොටෝෂොප් කාරයකු හමුවී පිලියමක් පතන්න.

2. ෆොටෝ / ඔබේ හැඟුම්බර ෆොටෝ හැර වෙනත් දේවල් (උදා: ජාතිකත්ව ෆොටෝ) යෙදීමෙන් වළකින්න. එහිදී ඔබ මාර ගුප්ත බැල්මකින් ඈත බලාගෙන සිටින ආකාරයේ සමීප රූපයක් යෙදිය හැකිනම් වඩා සුදුසුයි. කෙල්ලන්ට නම් බල්ලෙක් පූසෙක් තුරුළු කරගෙන ඉන්නා ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ඉක්මනින්ම ගොඩ දමා ගැනීමට ඇඳුමේ කොට භාවය වැඩි කිරීම හේතු විය හැකි නමුත් එයින් භයානක අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි බවද කාරුණිකව සළකන්න. මෝටර් රථයක් හෝ බයිසිකලයක් ඇති කොල්ලෙක්ට නම් වාහනයට හේත්තු වී ෆොටෝ එකක් ගැනීම ක්ෂණික ප්‍රතිඵල ලැබීමට හේතුවකි.

3. ඔබට කැමරාවක් තිබ්බත් නැතත් ඔබේ නමින් ෆොටෝග්‍රෆි පේජ් එකක් අරින්න. ඉන්පසු කොහෙන් හෝ ලස්සන ෆොටෝ කෑලි ටිකක් හොයාගෙන ෆොටෝ එකට යටින් ඔබේ නම ආටිස්ටික් ෆොන්ට් එකකින් යොදන්න..  ඊට අමතරව ඔබේ නමින් මොකක් හෝ කවි පිටුවක්, කතන්දර පිටුවක් වැනි දෙයක් අරින්න. ඊට මාර රොක් නමක් යොදන්න. ඇහුවොත්, "මං තමා අර අහවල් පේජ් එකේ ඇඩ්මින්" යයි කිව හැකි නමක් යොදාගන්න.

4. ඔබේ වෝල් එකේ ජාතික කතා ලියන්න එපා. වැරදිලාවත් දේශපාලන කතා නම් ලියන්නම එපා. පුළුවන් තරම් කවි ලියන්න. බූට් එකක් කාපු විදියට ඇඟවෙන කවි ලියන්න හැකිනම් වඩාත් සුදුසුයි. නමුත් තාමත් ඒ කෙල්ල / කොල්ල ගැන ඕනවට වඩා ආදරේ කරන බව ඇඟවෙන පරිදි ලිවීම සුදුසු නැත. හැකිනම් ආදරේ කරපු කෙල්ල / කොල්ලා දැන් රටෙත් නෑ, නැතිනම් කසාද බැඳලා වගේ (ඒ කියන්නේ අලුතින් එන කෙනාට තරගයක් නෑ වගේ) ඇඟවෙන විදියේ කවි ලියන්න. ඒ කියන්නේ ආදරේ දන්නා, එහෙත් ආදරයෙන් වේදනා විඳ ඇති, නමුත් ආදරයට වෛර නොකරන, මාර සෙන්සිටිව් චරිතයක් සේ පෙනී ඉන්න.

5. කවි ලියන්න බැරිනම් ඔබ කනගාටු විය යුතු නෑ. හොඳ රොමැන්ටික් ඉංග්‍රීසි / හින්දි ගීත කීපයක් තෝරාගන්න. මේ සඳහා හොඳ පොෂ් යාළුවකු ගේ සහය පතන්න. ඒ ගීත වල වචන ඔබට තේරීම අවශ්‍ය නැහැ. හැබැයි ගීයේ මූලික තේරුම දැනගැනීම අවශ්‍යයි. ඒ ලෙවල් වලට පොත් ගණන් කටපාඩම් කරපු ඔබට මෙය අපහසු නොවෙනු ඇති. ඊට පසු අදාළ ගීත ලැයිස්තුවක් සකසා ගන්න. ගීත පහලවක් විස්සක් තිබීම හොඳටම ප්‍රමාණවත් ය. ඉන් පසු දවස් තුනකට පමණ වතාවක් අරවායින් එක ගීතයක් ඔබේ වෝල් එකේ ෂෙයාර් කරන්න.. නිකන්ම නොවේ. අදාළ ගීයේ තේරුමට ගැළපෙන පරිදි "වැකියක්" ද සමග. (උදා: "This is my life story", "I wish she was here to listen to this") අත්දුටුවයි සත්තයි!

(අංක 5 කරන්න අමාරු නම් ඒ වෙනුවට මෙහෙමත් කරන්න පුළුවනි: ජීවිතය ගැන මාර බර ටෝක් දෙන පිටුවකින් ෆොටෝ කෑලි කීපයක් තෝරාගෙන ෂෙයාර් කරන්න. නමුත් මෙය සිංදු තරම් ඉෆෙක්ටිව් නැති බවද කරුණාවෙන් සළකන්න.)

මේවා කළපසු ඔබට අනිවාර්යයෙන් මෙන්න මේවායින් එකක් සිද්ද වේ.

* ඔබේ ෆොටෝ එකකට / කවර් ෆොටෝ එකකට ලයික් වැටීම. 
* ඔබේ ලිංක් එකකට (ගීයකට / ෂෙයාර් එකකට) ලයික් වැටීම. 
* ඔබේ මොකක් හෝ මගුලකට කමෙන්ට් වැටීම

දැන් ඇත්තේ ඊළඟ අදියරයි. ඒ කියන්නේ තොරතුරු එක්රැස් කිරීමයි. ඔබේ ෆොටෝ වලට ස්ටේටස් වලට ලයික් දාන කෙල්ලන්ගේ / කොල්ලන්ගේ ප්‍රොෆයිල් වලට ගොස් ඔවුන්ගේ කැමති අකැමැති දේ සොයා බලන්න. දිනපතාම ගොස් ඔවුන් කන්නෙ බොන්නේ කෙසේද, ජීවත් වන්නේ කෙසේද යන්න සොයා බලන්න. මීට ඉංග්‍රීසියෙන් stalking යයි කියනු ලැබෙ. එහෙත් ඔබ එසේ සොයා බලන බවට මොහොතක් වත් අඟවන්න එපා. ඊළඟට, ඔවුන් කැමති පේජස් වලට ඔබත් ලයික් කරන්න. ඔවුන් කැමති සිංදු ඔබත් ෂෙයාර් කරන්න. නමුත් මෙහිදී එකිනෙකට විරුද්ධ අදහස් දරන දෙන්නෙක්ට ට්‍රයි කිරීමෙන් වළකින්න. නැත්නම් මිනිස්සු ඔබට පිස්සු යයි සිතනු ඇත.

(විශේෂ අවවාදය: එකම ගැන්සියේ යාළුවන් දෙන්නෙක්ට එකවර ට්‍රයි කිරීම ඒ දෙදෙනාම සහ උන් දන්නා කියන හැම එකාම නැති වීමට හේතුවක් බව කරුණාවෙන් සළකන්න).

අපේ උපදෙස් මාලාවේ ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.

තොග සීමිතයි! ඉක්මනින් අයදුම් කරන්න!! පමා වී පසු නොතැවෙන්න!!

Saturday, November 16, 2013

කන්‍යාවන් අවශ්‍ය කර තිබේ (18+) | Virgins wanted (18+)

අද සමාජයේ පවතින විවාදාපන්න ම සහ පිළිකුල් දනවන සුළුම මාතෘකාවන්ගෙන් එකක් ගැන කතාකරන්නට ය, මේ සැරසෙන්නේ. ලිපියට ආරම්භයක් ලෙස අපි අපේ සහෘද බ්ලොග් රචිකා "සිත්තරී" ලියු "සංස්කාර විනිවිද" බ්ලොගයෙන් "ලේ" නම් වූ ලිපිය උපුටා දක්වමු.
ඉස්කෝලෙන් පස්සෙ ආපු අළුත් ජීවිතේ, විවාහයත් එක්ක තවත් විභාග ගණනාවක් මගේ ඉස්සරහ දිගහැරුණා. අම්මගෙ අතින් එදා සුදු රෙද්ද මගේ ඇඳුම් බෑග් එකේ උඩින්ම ඇතිරුණේ අළුත උපන් බබෙක් වගේ පරිස්සමට. ලැජ්ජාවද, බයද, කුතුහලයද, සැකයද, අස්ථාවරත්වයද කියන්න දන්නෙ නැති මොකද්දෝ හැඟීමක් එක්ක මම ඒ වෙලේ අම්ම දිහා බලල හිනා වෙන ගමන් බිම බලා ගත්තා. මංගල රැය ගැන මනාළියකගෙ හිතේ ඇතිවන තිගැස්ම අනිත් කාටත් වගේ මටත් ඒ වෙලේ ඇති වෙලා තිබුණා.  
එදා පෝරුවට නගින්න කලින් දවසෙ මුළු රෑම ඇහැරගෙන එකින් එක පොර කකා ආපු සිතිවිලි අතර ඒ වගේ සිතිවිල්ලකුත් අහම්බෙන් හරි මතු වෙන්න ඇති කියල මට හිතුණා. ඇස් වලට උනපු කඳුළු ආයෙමත් ඇස් යටටම ගිලාබස්සවන්න මම උඩ බලාගෙන ඇහිපිල්ලන් ගැහුවේ මීදුමත් එක්ක හිතේ ආයෙමත් පුරෝගත්තු මහා බර එක මොහොතකට හරි පැත්තකින් තියන්න ඕන නිසා. කඳුළු කියන දේ ඉස්සරහටත් මට ඕනකරන වටිනා දෙයක් බව තේරුම් අරන් හිටිය නිසා කඳුළු පරිස්සම් කරගන්න අවශ්‍ය වුණත් මම ඒ මොහොතෙදිත් ආයෙමත් මටම වුණ පොරොන්දුව මතක්කරගත්තා.  
'ඇඳ හදනවා' 
ඕනෑවට එපාවට සඟරාව පෙරළ පෙරළ හිටපු ඔහු මට කිවෙ රෑ කෑම මෙසේ අස් කර කර ඉද්දි. හීල්ලුණ සුසුමට ඔහේ පාවෙන්න ඇරල මම පුරුදු වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න උත්සාහයක යෙදුණෙ සීතලට නොවුණත් මටම වාරු නැතින වෙව්ලන ඇඟිලි තුඩු අවනත කරගන්න උත්සහයක යෙදෙන ගමන්. ඒ නියෝගය හැමදාම ලැබෙන එකක් නොවුණත් මම කවදාවත් කනට අහන්න ආස කරපු නියෝගයක් නෙවෙයි ඒක.

'කි පාරක් කියන්න ඕනද මළමිණියක් වගේ ඉන්ඩ එපා කියලා' 
හතියත් හුස්මත් අතර අරගලයට මද විවේකයක් දීලා කඳ කෙලින් කරගත්තු ඔහුගෙ ඇස් මගේ ඇස් වලට එබුණ ඒ තරවටුවත් එක්ක. ඒත් එක්කම ජනේලෙ විනිවිදගෙන ආපු අකුණු එළියෙන් ලා රතු පාටට ඒ ඇස් දිලිසුණා. 
'තෝ මගේ ජීවිතේ කාලකණ්ණි කළා වල් වේසාවි' මගේ කන් අස්සෙ නිදාන උන්නු ඒ වචන අඬු පඬු දිගහැරල අවදි වෙනවත් එක්කම මම කකුල් තද කරල ඔහුගෙ උකුල හිරකරගත්තා 
මගේ ඇස් කට්ට කළුපාට අඳුරෙ මමත් නොදන්න දෙයක් හෙව්වා. කවදාවත්ම මට හොයාගන්න බැරිවුණු, සමහරවිට හෙව්වත් ජීවිත කාලෙටම හොයාගන්න බැරිවෙන දෙයක්. ඔහේ බලා ඉන්නව ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නැහැ. ඔහුගෙත් මගේත් එකට කලවම් වුණු දාඩිය පිහදන්න ටිකෙක් ටික එළියෙ දඟලපු සීතල ලං වුණා. 'කල්ප, අනේ ප්ලීස් මට දරු පැටියෙක් දෙන්න' මම මට පුළුවන් උපරිම හඬින් ඒ වෙලේ මුර ගෑවා.

මේ එක් පුද්ගලයකු ගේ කතාවක් නොවේ. "මේ බුදුන්ගේ දේශයයි" කියා බස්වල තඩි පොල් අකුරෙන් ලියාගෙන යන (නමුත් ඇතුළේ තම දරුවන්ගේ වයසේ පාසැල් දරුවන්ට ජැක ගහන අංකල්ලා ඉන්න) රටේ මානවිකාවන් බොහෝ දෙනෙකු නොකියන කතාවයි. 

කාලකන්ණි වර්තමානයෙන් මොහොතකට මිදී, අතීතය දෙස හැරී බලා පොඩි සංසන්දනයක් කරනු පිණිස, අපි මොහොතක ඉසිඹුවක් ගෙන, මෙන්න මේ පුද්ගලයා දෙස බලමු.


මේ ඡායාරූපයේ දැක්වෙන්නේ, 1918 දී "What A Young Woman Ought To Know" ග්‍රන්ථය රචනා කළ ලේඛිකා Mary Wood Allen (1841-1908) මහත්මියයි. "Self and Sex" නම් ග්‍රන්ථ මාලාවේ කොටසක් ලෙස වර්ෂ 1918 දී ඈ විසින් රචනා කරන්නට යෙදුණ මේ ග්‍රන්ථය, දශක ගණනක් තිස්සේ දෙමාපියන් විසින් සිය දූවරුන්ට "හරිමග" කියා දෙන්නට පාවිච්චි කරන ලද්දකි. මේ වනාහි අද කන්‍යාභාවය මෙන්, එදා "අතිවිශිෂ්ට" ගණයේ සදාචාර සම්පන්න රාමුවක් ලෙස අර්ථ ගන්වන ලද යම් කරුණු කීපයක් දෙස, දශක ගණනකට පසුව ආපසු හැරී බැලීමකි. මූලාශ්‍ර වූ ඉංග්‍රීසි ලිපිය මෙතැනින් බලන්න.



මේ පහත දැක්වෙන්නේ එකී ග්‍රන්ථයේ "හුදෙකලා පාපය" (Solitary Vice) නම් පරිච්ඡේදයේ සිංහල පරිවර්තනයකි.


ගැහැණු දරුවකුගේ ලිංගික ප්‍රජනක පද්ධතිය අවදිවීමත් සමග, එය ස්වාභාවිකවම ඇයගේ මානසික ආකර්ෂණය ඇදගන්නට සමත්වන අතර, මෙය සිදුවීමත් සමග ඇගේ මනස (ඒ හැර) වෙනත් දේවල් වලට යොමු කරවීම කෙරෙහි උත්සුක විය යුතු වේ.  
මා කලිනුත් පවසා ඇති ආකාරයට, බොළඳ ආදර කතා කියැවීම (මේ කෙරෙහි) වඩාත්ම හානිකර බලපෑම ඇති කරයි. අනුරාගී ප්‍රේම ජවනිකා වලින් පිරී ඇති ඔවැනි ආදරබර, ශෘංගාරාත්මක කතන්දර කියැවීම මගින් එය කියවන්නා ගේ ලිංගික පද්ධතිය කෙරෙහි උත්තේජනයක් ඇති කරනු ලබන අතර, එමගින් ඇගේ ප්‍රජනක පද්ධතිය සක්‍රීය කරවීමත්, ඒ තුළින් ඇගේ මනස, එහි පියවි තත්ත්වයෙන් පිරිහීමටත් හේතු පාදක වේ. තරුණයන් සහ තරුණියන් අතර සිදුවන අල්ලාප සල්ලාප, බොළඳ කතා, හැඟුම්බර සිහින ආදියෙන් පිරි ලෝකයක අතරමංවීම, ගැහැණු දරුවකුගේ ප්‍රජනක පද්ධතිය අනවශ්‍ය ලෙස උද්දීපනය කිරීමට හේතු වන අතර, එමගින් ගැහැණු ළමයකු, ගැහැණියක බවට පත්වීම ඉක්මන් කරවයි.  
මෙකී උද්දීපනය, සමහර අවස්ථාවලදී "ස්වයං-අපහරණය" ලෙස හඳුන්වනු ලබන තත්ත්වය දක්වා වර්ධනය විය හැකි අතර, එහිදී ලිංගික අවයවයන්හි වින්දනාත්මක උත්තේජනයක් ඇතිකරනු ලබයි. මෙකී උත්තේජනය, භෞතික ක්‍රම මගින් හෝ හුදු මානසිකවම හෝ සිදු විය හැකි අතර, බොහෝ තරුණ ගැහැණු ළමෝ (සමහර විට මෙහි අහිතකර භාවය පිළිබඳව ඉවෙන් මෙන් වටහාගත්තත්) මෙහි ආදීනව පිළිබඳව දැනුවත් නොවෙති.  මෙකී උත්තේජනය ලබාගනු පිණිස භෞතිකව ස්පර්ශය හෝ වෙනත් එවැනි ක්‍රම භාවිතා කිරීමට තරම් පහත් මට්ටමට නොවැටෙන ගැහැණු ළමෝ පවා, මානසිකව මෙකී වින්දනයට ඇබ්බැහි ව සිටින හෙයින්, අර පළමු කී අයවලුන්ගෙන් එතරම් වෙනස් නොවෙති.  
ස්වයං-අපහරණයේ ප්‍රතිඵල ඉතා භයානක ය. එය මානසික ශක්තිය දුර්වල කරයි; මතක ශක්තිය පිරිහීමට හේතු වෙයි. එය සමේ වර්ණය අවපැහැ ගන්වයි; ඇස් වල දීප්තිය මිලාන කරවයි. ශරීරය දුර්වල කරවයි; එසේම උමතු භාවය දක්වා වර්ධනය විය හැකිය. ඉතාම ඇබ්බැහි කරවන සුළු මේ නරක පුරුද්දෙහි අයථා ප්‍රතිඵල දීර්ඝ කාලයක් පුරා පවතිනවා පමණක් නොව, ඉදිරි පරම්පරා වලට පවා සම්ප්‍රේෂණය විය හැකිය. 
පළමුව: මේ පොත කියවන්නට අවශ්‍ය කෙනෙක් වේ යයි සිතාගන්නට අපහසු වුණත්, මෙය ඓතිහාසික වැදගත්කමක් ඇති ග්‍රන්ථයක් නිසා, එය බාගත කරගන්නට කැමැත්තවුන් සිටී යයි උපකල්පනය කරමු. අවශ්‍ය උදවිය මෙතැනින් බා ගන්න.

දෙවනුව, අපි මේ කෘතිය වත්මන් දැනුම සමග සංසන්දනය කර බලමු. මෙය කොහෙත්ම අපහාසාත්මක විවේචනයක් නොවේ. එදා Mary Wood Allen මහත්මිය විසින් ඉතාම සද්භාවයෙන් යුතුව ලියන්නට යෙදුණු මේ කෘතියේ අඩංගු කරුණු කෙතරම් ප්‍රමාණයක් අද වන විට අවලංගු වී ඇත්දැයි සිතාගැනීම අපහසු නොවේ. විශේෂයෙන්ම දෙමාපිය පුරුදු නිසා දරුවන්ට ලිංගික සංකූලතා අත්වන්නේ ය යන කාරණයම, මෙකී මතයේ ඇති දුර්වලභාවය සනාථ කරවයි.

සටහන: කිසිදු ජීවියෙක්, සිය ජීවිත කාලය තුළ අත්කරගන්නා වූ ශාරීරික වෙනස්කම්, දරුවන් හට සම්ප්‍රේෂණය කිරීමෙහි සමත් වන්නේ නැත. එසේනම්, අතක් කැපුණු මිනිසකුගේ දරුවා ද අතක් නැතිව ඉපදිය යුතුය. මෙසේම, පරම්පරාවෙන් ඉතා කෙසඟ සිරුරක් හිමි අයෙකුට, දීර්ඝ කාලීන ව්‍යායාම මගින් පුෂ්ටිමත් සිරුරක් ලබාගත හැකිය. එහෙත් එසේ වුනාය කියා ඔහුගේ දරුවන් එවැනි සිරුරක් සහිතව උපදින්නේ නැත. 

අප මේ ලිපිය පළකෙළේ, කාලයත් සමග, සමහර සංකල්ප කෙතරම් නම් අවලංගු වන්නේ ද යන්න පෙන්වනු පිණිස ය. එදා ස්වයං-අපහරණය ලෙස හඳුන්වනු ලැබූ මෙම චර්යාව, අද හඳුන්වන්නේ ස්වයං වින්දනය යන නමිනි. එසේම එදා මෙන් නොව, අද එය වෛද්‍යවරුන් විසින් කිසිම දෝෂ දර්ශනයකට ලක් කිරීමකින් තොරව අනුමත කරනු ලබන සාමාන්‍ය චර්යාවකි. ඒ වනාහි, මීට වසර ගණනකට පෙර බටහිර ලෝකය ලිංගිකත්වය දුටු ආකාරයයි. වාසනාවකට මෙන් ඔවුන් අද ඒ ගොත්‍රිකත්වය කෙරෙන් මිදී ඇත. එහෙත් සුද්දා ගැහැණුන් වෙනුවට බල්ලන් ආදේශ කළ වනචාරී යුගයේ, යුද්දෙට යන සොල්දාදුවන්ගේ ගැහැණුන්ගේ අවංකත්වය රක්කවනු පිණිස කකුල් දෙක එක්කොට ඉබි යතුරු දැමු ම්ලේච්ඡ යුගයේ සිටිද්දී, කිසිදු සංස්කෘතික මරාලයකින් තොරව ගැහැණු උඩුකය නිරුවත්ව සිටි, එසේම ඕනෑම ගැහැනියකට ඕනෑම වෙලාවක නොබියව පාරේ යන්නට පිළිවන් ව හිටි අප, අද සුද්දාටත් වඩා කාලයේ ආපස්සට ගොස් ඇත.

ඕනෑම වැඩුණු ජීවියකු තුළ ලිංගික පරිණතියෙන් අනතුරුව ඇතිවන ලිංගික උද්දීපනයක් තිබේ. මෙය, බලෙන් යටපත් කොට වැළක්විය හැක්කක් නොවේ. එසේ කළ යුත්තක් ද නොවේ. එහෙත් ලිංගික හැගීම් සහ චර්යාවන් එළිපිට නොපෙන්වීම, මානව ශිෂ්ටාචාර ලක්ෂණයකි. එබැවින්ය, අප ඇඳුම් අඳින්නේ සහ ගෙවල් හදාගන්නේ. අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවට අනුව, ලිංගපරිණාමය නිසා නොවන්නට මිනිසුන්ට තනිව වෙසෙන්නට ගෙවල් අවශ්‍ය වන්නේ ද නැත.

එබැවින් ලිංගික උත්තේජයන් සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අපට දිය හැකි පිළිතුරු ප්‍රමාණය සීමාසහිත වෙයි. අප රහතන් වහන්සේලා හෝ සාන්තුවරුන් හෝ නොවන බැවින්, (එවැනි මානසික වර්ධනයක් ලබාගන්නා තුරු වත්, අඩුම ගණනේ) යෙදිය හැකි විසඳුම් දෙකක් වෙයි: එක්කෝ ප්‍රාග්-වෛවාහික ලිංගික සම්බන්ධතා අනුදැනිය යුතුය; නැතිනම්, ස්වයං-වින්දනය අනුදැනිය යුතුය. අපි මුලින්ම, මින් වඩාත්ම ආකර්ෂණීය මාතෘකාව වන ප්‍රාග්-වෛවාහික ලිංගිකත්වය පිළිබඳව කතා කරමු.  

පළමුව: කන්‍යාව යනු ලිංගික හැසිරීමක නොයෙදුණු තැනැත්තිය ය. කන්‍යාභාවය, ගැහැණුන්ට පමණක් අදාළ කරන්නේ මෙහි අපේ කලාපයේ ය; බටහිර රටවල නම් virgin යන වදන, ගැහැණු පිරිමි දෙපාර්ශවය කෙරෙහිම සම සේ යෙදේ. ගැහැණියට පමණක් බර පටවන මෙකී වචනය ගැන අපට ගැටළු රාශියක් ඇත. එහෙත් ඒ සියල්ලට පළමුව, මෙහි අර්ථ දැක්වීම පිළිබඳවම මහා බරපතළ ගැටළුවක් ඇති හෙයින් ඒ ගැන මුලින් සාකච්ඡා කරමු. සැබවින්ම කන්‍යාව යනු කිසිදාක ලිංගික චර්යාවක නොයෙදුණු පුද්ගලයෙකි. යුනික (vaginal), ගුදාශ්‍රීය (anal) සහ මෞඛ (oral) ලෙස ලිංගික චර්යාවන් ප්‍රධාන වර්ග තුනකි. අප රටේ මෙන්ම දකුණු ඉන්දීය කලාපයේ ම, කන්‍යාව ලෙස ගැනෙන්නේ කන්‍යා පටලය ලෙස හඳුන්වන චර්මීය සිවිය නොබිඳුණු, එනම් යුනික සංසර්ගයක නොයෙදුණු ඇත්තියකි. එසේනම්, "කටින් සහ යටින්" සියලු ශිල්ප දක්වා ඇති, එහෙත් කන්‍යා පටලය නොබිඳගත් ගැහැණියක්, මංගල යහනේදී කන්‍යාවක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද යන්න පළමුව විමසිය යුතුය.

දෙවනුව, උපතින්ම කන්‍යා පටලය අහිමිව උපදින 20%ක පමණ කාන්තාවන් සම්බන්ධයෙන් කන්‍යාභාවය පිරික්සන්නේ කෙලෙසක දැයි විමසිය යුතුය. (සටහන: අර උඩ කී සෙල්ලංකාරිය පරම පිවිතුරු කන්‍යාවක් ලෙස ගරුසම්මාන ලබා ගෙට වැද්දගනිද්දී, නොකළ දෙයකට [අප මෙහිදී "නොකළ වරදකට" යැයි නොකියා නොකළ දෙයකට කියන්නේ හිතා මතාම ය] අර දෙවනු කී කාන්තාව හතුරෙකුට වත් නොකරන අන්දමේ නින්දා අපහාස ගැරහුම් ලබන, නින්දා සම්පන්න සමාජයක් අදටත් මෙහි පවතින බව අපි ඔබට සිහිපත් කරමු).

තෙවනුව, කන්‍යා පටලය ද හුදෙක් අවයවයක් ම බව සිහියේ තබාගත යුතු බව ද කිව යුතුය. මේ කියන්නේ, කෙනෙකුගේ කේශ කලාපය, ඇස්වල වර්ණය, සමේ වර්ණය මෙන්ම, කන්‍යා පටලයේ ද ස්වභාවික වෙනස්කම් පැවතිය හැකි බව ය. සමහරුන්ගේ මෙය ඉතා ගනකම්ව පිහිටිය හැකිවාක් මෙන්ම, සමහරුන්ගේ මෙය ඉතා සියුම් ව ද පිහිටා තිබිය හැකිය. ශාරීරික ව්‍යායාම් හෝ හදිසි අනතුරු වැනි හේතු මත, අතක් පයක් තුවාල වනවා මෙන්ම, කන්‍යා පටලයට ද හානි පැමිණිය හැකිය. දැන් මේ කාණ්ඩයේ උදවිය කන්‍යාවන් සේ සලකනවාද නැද්ද යන්න ද ඇසිය යුතුය. (සටහන: මෙකී අනියත බිය නිසාම සිය දියණියන් ක්‍රීඩා වලට සහභාගි නොකරවන දෙමාපියන් ගණන අද සමාජයේ ද සුළුපටු නොවන බව කිව යුතුය).  

සිවුවෙනුව, hymenoplasty නම් සැත්කම් විශේෂය මගින්, හානි පැමිණුනු කන්‍යා පටලයක් ප්ලාස්ටික් සැත්කම් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට තරම් අද වෛද්‍ය විද්‍යාව දියුණුව ඇති බවද කිව යුතුය. අද වන විට ලක්ෂ කිහිපයක මුදලින් සිංගප්පූරුව වැනි රටකදී මෙකී සැත්කම කරවා ගැනීමේ පහසුව තිබේ. ලංකාවේ ද එක්තරා සුප්‍රසිද්ධ පුද්ගලික වෛද්‍ය ආයතනයක මෙකී සේවය සපයනු ලබන අතර, එහි මෙම සේවය ලබාගෙන ඇති පිරිස ද සුළු පටු නොවේ. (සටහන: මේ කියන්නේ මීට වසර තුනකට එපිට මතකය ඇසුරිනි; අද වන විට මෙම සැත්කම් හි සමත් අදාළ ශල්‍ය වෛද්‍යවරයා එහි සේවය කරන්නේ ද නැද්ද යන්න අප දන්නේ නැති බැවින්, ඒ ගැන විමසීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.) දැන් මෙකී සෙකන්ඩ්-හෑන්ඩ් කන්‍යාව, කන්‍යාවක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද, නැද්ද යන්න, කන්‍යා සිවියෙන් සියල්ල මනින සංස්කෘතික පොලිස්කාරයින් ගේ විචාරයට ලක්කළ යුතුය.

පස්වෙනුව, කන්‍යාභාවය තිබ්බත් නැතත්, වැදගත් වන්නේ ඉන් ඉදිරියට කාන්තාවක් හැසිරෙන ආකාරය ය. සිරි යහනේ දී කන්‍යාවක් වන ගැහැණියක්, ඉන් පසුව රට වටේ අයාලෙ යන්නියක් වුණොත්, අපේ සංස්කෘතික පොලිස්කාර අයියලා කොහොම හිටීවි ද? සැබවින්ම ඔබ තෝරාගන්නට කැමැති, මංගල යහනේ දී කන්‍යාවක් වන, එහෙත් ඉන්පසුව කිසිම සංවරයක් නැති ගැහැණියක් ද, නැතහොත් කන්‍යාවක් නොවන නමුත් විවාහය පණමෙන් රකින ගැහැණියක් ද?  

බටහිර රටවල නම් කන්‍යාභාවය යනු නොගිනිය හැකි වැදගත්කමක් ඇත්තාක් වනවා පමණක් නොව, සමහර විටෙක ලජ්ජා වීමට කාරණාවක් ද වන අවස්ථා තිබේ. එබැවින් විවාහයට ප්‍රථම ලිංගික එක්වීම යනු එහි එතරම් සැළකිය යුත්තක් ද නොවේ. එහෙත් ලාංකේය යයි අපම කියා ගන්නා සංස්කෘතිය තුළ, කන්‍යාභාවය යනු ඉතාම වැදගත්කමක් සහ බලවත්කමක් ඇති දෙයකි. ඇත්තටම අප්‍රිකානු ගෝත්‍රික සමාජ වල සහ දකුණු ඉන්දීය (උදා: කන්නඩා) වැනි සංස්කෘතීන්හි හැරෙන්නට, කන්‍යාභාවය පිරුවටයෙන් පරීක්ෂා කිරීම නම් වූ අමන ගෝත්‍රික චාරිත්‍රයට මේ තරම් වැදගත්කමක් ආරෝපණය කරන එකම රට අප විය යුතුය. 

කන්‍යාභාවය පමණක් නොව ස්ත්‍රියක් හා බැඳුණු බොහෝ සංකල්ප, ද්‍රාවිඩිය සමාජය තුළ "taboo" හෙවත් තහනම් වචන වෙයි. මෙහිදී අප ද්‍රාවිඩිය සමාජය යන්නෙන් අදහස් කරන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පැවතෙන ආර්යයන්ට අයත් නොවන, ඉන්දීය අර්ධද්වීපයට ආර්යයන් පැමිණීමට පෙර වාසය කළ ගෝත්‍රික ජනයා ය. දමිළ, තෙලිඟු, වංග, කන්නඩා, චෝඩ, මලයාලි, ආදී විවධ ජනවර්ග රාශියක් මීට අයත් වේ. මෙකී ජනවර්ග සියල්ල තුළම, කාන්තාව සහ ලිංගිකත්වය යන සංකල්ප, පෙට්ටගමක් ඇතුළේ ලා වසා තැබීමේ සිරිත දක්නට තිබේ. එසේම කාන්තාවන් හට අවසැළකිලි දැක්වීම, අසාමාන්‍ය විවාහ චාරිත්‍ර (උදා: දකුණු ඉන්දියාවේ දී කාන්තාවකගේ මවගේ බාල සොයුරු මාමා හට සිට ලේලිය අතර විවාහය තහනම් නොවේ.), ළමා විවාහ, බහු විවාහ යන මේවා සාමාන්‍ය දේවල් ය. අද ද, දකුණු ඉන්දියාවේ කන්නඩා චාරිත්‍ර අනුව, ඔසප් කාන්තාව ගෙට වැද්දගනු නොලැබේ; ඇය ඔසප් පසුවන තුරු ගෙයින් පිටත වෙනම කුටියක වාසය කළ යුතුය. ආර්යයෝ මේ චාරිත්‍ර තරයේ පිළිකුල් කළහ. ඔවුන් අතර ද බහු විවාහ සහ සොයුරු-සොයුරි විවාහ නොපැවැත්තේ නොවේ. එහෙත් ඔවුන් කිසිදාක ලිංගිකත්වය මේ තරම් හිංසක සංකල්පයක් බවට පත්කෙළේ නැත. පසුකාලීන බ්‍රාහ්මණ සංකල්ප නිසා නොවන්නට, ආර්ය සමාජය පැහැදිලිව ස්ත්‍රිය හට දිය යුතු තැන දී තිබු සංස්කෘතියක් විය. මෙය මෙවැනි තනි ලිපියකින් පැහැදිලි කළ නොහේ. 

කෙසේ වෙතත් අද අප "කිළි" කියා අදහන බොහෝ දේවල්, සැබවින්ම දකුණු ඉන්දීය ආක්‍රමණ සහ ඉන් ලද ආභාසය නිසා ලද දේවල් මිස අපේ සංකල්ප නොවන බව කිව යුතුය. 

කන්‍යාභාවය සෙවීමේ වෙනම කුහක යටි අරමුණක් ද වෙයි. එනම් තමා මේ සයනය කරන්නේ නහඹුල් යුවතියක් සමගය යන හැගීම විඳිනු පිණිස ය. එහි වරදක් අපට කිව නොහැක. එහෙමනම්, කසාදය කරගන්නට පෙරාතුවම තමා කන්‍යාවක් සොයන බව පැහැදිලිව ප්‍රකාශ කර, ඊට ගැළපෙන විදියේ සහකාරියක් සොයා ගත යුතුය. නමුත් එසේ වන්නට නම්, තමාද එවැනිම වූ සංයමයකින් යුක්තව ඉන්නා එකෙක් වී තිබිය යුතුය. සරලව, ඔබ නහඹුල් යුවතියක් සොයන්නේ නම්, ඔබද නහඹුල් විය යුතුය. මිනිහෙකුට කළ හැකි කුහකම වැඩේ වන්නේ තමා ලෝකේ වටේ ඉන්නා ගැහැණුන් සමග සයනය කරන්නටත්, එසේ සයනය කර මංගල යහනේ දී කන්‍යාවක් සමග සයනය කරනු පිණිස සිහින දකින්නට සැරසීමත් ය. 

අපේ කාන්තාවන් හට මේ විකාරය මෙතැනින්ම කපා හෙළීම එතරම් අපහසු නොවේ. මේ ගැන අපට අදහස් රාශියක් දිය හැකි නමුත් අපි සරල ප්‍රශ්නයකින් ලිපිය අහවර කරමු: වැරදිලාවත් රටේ සියලු කාන්තාවන් කන්‍යාවන් නොවන දිනයක් ආවොත්, ඔය පරසක්වළ ගහන පාරිශුද්ධභාවය සොයන සිල්වත් ගුණවත් උපාසක අයියලා එදාට කසාද නොබැඳ ඉඳීවි ද? 

Tuesday, November 5, 2013

අම්මේ, මටත් වටේ යන්න ඕනේ | Mamma, I also want to go round and round

ඇසට කඳුළක් එක්කරන්න තරම් සංවේදී වෙළඳ දැන්වීමක් දකින්න ලැබුණා කලාතුරකින්.. 


පැහැදිලි කිරීම බලන්න කලින් වීඩියෝව බලල ඉන්න.



.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔබ දැක්කද? ඒ කසාද බඳින්නෙ වැන්දඹුවක්...! වැන්දඹුවන් කසාද බඳිනවාට තාමත් එරෙහිවන, කන්‍යාභාවය ඔලුව උඩ තියාගෙන ඉන්න, හම සුදු නැත්නම් කෙල්ලෙක් ලස්සන නැහැයි කියල හිතන ගොබ්බ මානසිකත්වයේ ඉන්න සාම්ප්‍රදායික ඉන්දියානු සමාජයට දීපු ලස්සනම පණිවුඩයක්..

—උපුටාගැනීම චමීර දෙද්දුවගේ ගෙන්... 

Wednesday, July 17, 2013

විශාඛාව විකුණාගෙන කෑම | Selling the Serene

පසුගිය දිනෙක විශාඛා විද්‍යාලයය මගින් සංවිධානය කර තිබු පාගමනට ලංකාවේ ඉන්නා සංස්කෘතික බල්ලෝ බැල්ලියෝ බොහෝ දෙනෙකු හට අන්ද කයිප්පුව තද වී ඇති බව අපට දකින්නට ලැබිණි. මුලින්ම මුහුණු පොතෙන් මේ උඩුබුරලීම ඇරඹුවේ බොංග මඩවර්ධන නොහොත් සමහරුන් කියන පරිදි බොගවර්ධන සූරීහු ය; එනම් සයිබරය පුරා මෙකී (රෙද්ද පල්ලේ සදාචාර) සුනඛාලාපය හෙවත් Hyperconductophilia නම් වූ අධි සදචාරවාදය දෙසන සදාචාර ජුන්ටාවේ ඉඩි අමීන් වන්නා හ. අප උහුට දිය යුතු ඉහළම මට්ටමින් පිළිතුර දී ඇත්තෙමු. ඒ ලිපිය බලා නැත්නම් මෙතනින් බලා සිටීම වඩාත් සුදුසු ය.

කෙසේ වෙතත් මෙකී බිරිල්ල පසුපස හුදෙක් ලිංගික ඊර්ෂ්‍යාව පමණක් පදනම් ව ඇති බවට අප කළ අනුමානය වැරදි බව මේ වන විට පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ අපේ ඊනියා අධිසදාචාර වාදී හුචක්කුවන්ගේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ. අප මුලින් උපකල්පනය කෙළේ මෙකී අධිසදාචාර අයියලා වනාහි හුදෙක් "පහන තියා බුදු සාදුට හිමිදිරියේ" ගෙදරින් ඇවිත් රෑට "යටලීයෙන් නාරිලතා මල් පූදිනු" දකින තාලේ ජෙකීල්-හයිඩ් මානසිකත්වකාරයන් කියා ය. බැලින්නම් ඊට වඩා මුන්ගේ මානසික විකෘතිය දරුණු ය.

අප මීළඟට ඔබට පෙන්වන විගඩම පළකළ අපේ ෆොටෝ කරුවා තමාගේ පිටුව හඳුන්වා දෙන්නේ "සිංහල ජාතියට,බුදු දහමට වින කරන අයගේ මූණු බලන්න ආසද? එහෙනම් මෙහෙ එන්න" යනුවෙනි. ඇත්තටම එය ඇත්ත ය; මන්ද ඔහුගේ පිටුවේ ඇත්තේ ම, සිංහල ජාතියට, බුදු දහමට වින කරන ආකාරයේ පෝස්ට් පමණක් බැවිණි. මේ ඉන් මෑතදීම පළ වූ ජෝක් එක ය. මෙය උපුටාගෙන ඇත්තේ "සිංහ FBI" ලෙස තමන්වම හඳුන්වා ගන්නා නපුංසකයකු ගේ වෙනත් පිටුවකිනි. (මේ දෙකම කරන්නේ එකාම බව උන්ගේ වචන භාවිතය බැලුවාම පැහැදිලිව පෙනේ. )


පුහුල් හොරා කරෙන් දැනෙන්නේ කියන්නේ මෙව්වාට ය. මෙව්වා බලා පුකෙන් හිනා වෙනවාට වඩා මොනවා කරන්නද? "ආදරණීය විශාඛාවනි!" යැයි මේ ෆොටෝ එකේ උලා තිබෙන එකාලා සහ උගේ හැත්ත බුරුත්ත පහුගිය කාලයේ විශාඛාවන්ට ඇමතුවේ "ආදරණීය" කියා නොවේ. වේසාඛා, වෛශාඛා, වේසියෝ යනාදී සුන්දර අමෘතාවාහ වචනයෙනි.

හොරාට කලියෙන් කෙහෙල් කැන වැට පනිනවා යයි කීවා සේ ලත් තැනම රීගෙන ඇති මේ ගොන් කතාවට දෙන්නට ඇති හොඳම උත්තරය අපේ ෆේස්බුක් සහෘදයකු විසින් මුහුණටම කියා තිබිණි. අපි එයද එසේම උපුටා දක්වමු:

"සිංහ එෆ්.බී.අයි.... බඩ යනවා ඕයි හිනා වෙලා...!....ෆේක් පුණ්ඩියන්ගෙ එෆ්.බී.අයි....! එෆ්.බි.අයි එකයි, සිංහයොයි දෙගොල්ලම මුන්ට නඩු දානවා මේක දැක්ක නම්...
"අපි ඔබට බුර්කා අඳින්න කියන්නෙ නැත... ඔබලාට ලැබී ඇති නිදහස එයයි..." ... යකෝ එතකොට මුන් තමයි ගෑණුන්ට අඳින්න ඕන එක කියලා දෙන, උන්ට නිදහස දෙන පොරවල් දැන්.... මුන් බුර්කා අඳින්න නොකියන නිසා තමයි ලංකාවෙ ගෑණුන්ට ඒ නිදහස ලැබිලා තියෙන්නෙ....! අඳින්න කියලා මුන් නියෝග කළා නම් අඳින්න වෙනවද එතකොට...? .....කියලා වැඩක් නෑ ඕයි...!...ෆේස්බුක් පුණ්ඩි ගිය උඩ කිව්වලු...!....මරු අයියලා ටික නම් ගම් මූණු නැති....!"

දැන් මේ "සිංහ FBI" aka "වින කටින උන් අල්ලන මහඑකා" ගේ පේජ් එක කරන එකා කරන්නට හදන්නේ කුමක් ද? මේ කරන්න හදන්නේ "උඹලට මේ මඩ ප්‍රහාර නවත්වා ගන්න ඕනේ නම් අපිත් එක්ක වරෙවු" යනුවෙන් බ්ලැක්මේල් කිරීම නොවේ ද? මේ වනාහි හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නොව, හොරාගේ අම්මා, බඩුවේ අයිතිකාරයාගේ ගෙදෙට්ට ඇවිත් රෙද්ද ඉස්සීමකි. මීට හේතුව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. දිනෙන් දින පල්ලම් බහින ඊනියා අම්මගේ රෙද්දේ ජාතික ව්‍යාපාරය හෙවත් ජාතිකත්වය ව්‍යාපාරයක් කරගැනීම නමැති නරාවලට මිනිස්සු වැටීම ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතී. වරක් අපේ සහෘදයකු පැවසුවා සේ, අදටත් මේ ජාතිකත්ව මෙවුවා එකේ ඉදිරියෙන්ම සිටින්නේ 138 පාර දෙපැත්තේ ඇති ජනාවාස සහ (ඊට යමක් එක්කරන්නේ නම්) දෙහිවල සිට එහාට ගාලු පාර දෙපස කළුතර වාද්දුව දක්වා ජනාවාස පමණි. එයද, මෙකී අධිසදාචාරවාදීන් ගේ අහවල් වික්‍රමයක් නොව, (අපවත් වූ නොව) අපවත් කරවා වදාළ අති ගෞරවාර්හ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන් ගේ සහ ඊට පෙර, මුළු රටම දහම් සුවෙන් නැහැවූ සුමධුර ධර්ම කථික, විචිත්‍රභාණක පානදුරේ අරියධම්ම හිමිපාණන් ගේ දේශනා මහිමය නිසා ය.

එසේ වෙතත් මෙකී ජාතික ව්‍යාපාරයේ ලැගගෙන ඉන්නා අමන පිස්සු බල්ලන්ගේ ක්‍රියාවන් නිසා තත්වය මොකක් වුණත් දිනෙන් දින මිනිස්සු ඒ හා බිඳෙමින් ඉවත් වෙමින් යන බව ඇස්පනාපිට ම දකින්නට හැකි විය යුතුය. එසේ නොපෙනෙන්නේ පඬු පාට කණ්නාඩි පැළඳි දෑසින් ලොව බලන අමන මුග්ධයන් හට ය. මෙය කිසි සෙත් අප අපේක්ෂා කළ මට්ටමක් වත්, අප අනුමත කරන ප්‍රපංචයක් වත් නොවේ. කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය කෙතරම් ඛේදනීය ද යත්, සමහර සංවිධාන වලට තමන්ව ප්‍රොමෝට් කරගැනීම පිණිස මුදල් ගෙවා "ප්‍රවර්ධකයන්" ද පත්කර ගැනීමට සිදුවී තිබේ. දැන් මේ සිද්ද වන්නේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා වාගෙ, දිනෙන් දින පජාත වන ඊනියා ස්වොත්තම වාදයට උන්මාදයට අලුතින් පිරිස බඳවා ගැනීමයි. මේ එහි අලුත්ම පියවරයි. එනම් පාරෙ යන වරත්තු බල්ලකු ලයිට් කණුවකට සුළුදිය බහන්නා සේ, සිංහල බෞද්ධ සංස්කෘතියේ පාදම් කණු වලට හුලිජ්ජ වත් කරමින් එතැනින් වත් ගොඩ යා ගත හැකිදැයි බැලීම ය. මළාට මේවයින් නම් මිනිස්සු අන්දවන්නට ලැබෙන්නේ නැත. විශේෂයෙන් කොළඹ මධ්‍යයේ ගෙන්දගම් පොළොවේ රස්නේ හොඳට හුරු පුරුදු විශාඛාවන් අන්දවන්නට නම් මීට වඩා සූදුරු මාදුරු අරං එන්නට සිද්ද වනු ඇත.

තහනම් වචන ලියන අප, එදා සිටම ජාතික ව්‍යාපාරයට සහ විශේෂයෙන් ම බොදු බල සේනාවට යම් පාර්ශ්වික භාවයක් දැක්වූ බව රහසක් නොවේ. එහෙත් දැන් මේ සිද්ධ වන්නා වූ දේවල් සමග අපට එහි යම් ක්‍රියාකාරීන් (හෝ එසේ පෙනී සිටින්නන්) සමග බරපතළ මතගැටුමකට මුහුණ දීමට සිදු වී තිබේ.

වජිර S යනුවෙන් අප හඳුන්වන්නට කැමති එක්තරා ඓහිකවාදී විචාරකයෙක් ෆේස්බුක් හරහා මේ ගැන සිය දැකීම මෙසේ පැහැදිලි කර තිබිණි. මෙය වනාහි ජාතිකත්ව චින්තනයේ සීමාවෙන් ඔබ්බෙහි වසන යම් තුන්වන පාර්ශ්වයකගේ කියවීමක් ලෙස සළකමු:

"සදාචාරය පුද්ගලිකය, එය හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගය වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති නිහඬ පිළිවෙතයි, අන් අයගේ සදාචාරාත්මක භාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල ගිරිය යටින් කෑගසන්නන් සියල්ලම පාහේ වදවෙන්නේ ඔවුන්ගේ සදාචාරත්මක භාවය ගැන නොවේ. තමන්ට කිසි සේත්ම අදාලත්වයක් නැති, තමන් අන්තර්ජාලයෙන් පමණක් දැක ඇති, අන් තැනෙක වෙසෙන අයගේ හැදියාව ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්ලජ්ජිත භාවයක් සහ මුග්ධ බවක් අපේ තරුණ පරපුරට ලැබී ඇත්තේ මෙවැනි රටක වෙසෙන්නේකුගේ ස්වභාවික මානසික පීඩනය සහ ලිංගික අසහනය “ ජාතික ව්‍යාපාරය” නමැති කිණිහිරය මත තැලුම් කන විටය.  
බොදු බල සේනාව හා අනෙකුත් “ජාතික ව්‍යාපාර” වලින් රටට සිදු වන හානිය හුදෙක් ජාතිවාදය හෝ ප්‍රචණ්ඩත්වය පමණක් නොවේ - රටෙහි තරුණ පරපුරෙහි මනස තුල පසුගාමී චින්තනයක් වැපිරීමේ හානිය මේ දෙකටම වඩා භයානකය, “හම්බයින්ට” සහ “කුරුසකාරයින්ට” එල්ල වන ප්‍රචණ්ඩත්වය පිළුණු වූ විට එය නැවතත් හැරෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනදා නිදහසට, රටෙහි කාන්තාවගේ අයිතිවාසිකම්වලට එරෙහිව අන්තවාදී සහ පසුගාමී “සිංහල බෞද්ධ” යුටෝපියාවකට රට ගෙනයන බෞද්ධ සෞදි රාජයකට පාර කපන බල කඳවුරකටය.
ජාතික ව්‍යාපාරයට පෙර මෙවැනි ආකල්ප තිබුනානම් එය සුළුතරයකි, සින්හලකමද නොවන, බෞද්ධකමද නොවන මෙවැනි ආකල්ප වලට මුල් වන්නේ ඊර්ෂ්‍යාව සහ කාලකන්නිකමයි.
රටෙහි “ගැහැනුන්” සදාචාරාත්මක කිරීමට වලිකන පිරිමින් තුල ඇත්තේ සදාචාරය නොවේ, ආතතිය සහ පැරනොයාවකි, අරාබිකරයේ වෙසෙන ඔවුනේ ඉස්ලාමික අන්තවාදී සහෝදරයින් මෙය දෑනටමත් අත්පත් කරගෙන ඇත්තේ සිය කාන්තා පරපුර හිසේ සිට පාද තෙක් වසා, සමාජයෙන් කොන්කර, භාෂණයට හෝ අද්‍යාපනය ඇති අයිතීන් උල්ලංගනය කොට මුහුණක්, හඬක් හෝ සිතිවිලි නැති හුදෙක් ප්‍රජනන උපාංග බවට පත් කිරීමෙනි - ඔවුන්ට එරෙහිව හඬ නගන අපේ කරුමක්කාරයින් වෙනස් වන්නේ ජාතියෙන් සහ ආගමෙන් පමණි, ආකල්ප අතර වැඩි වෙනසක් නැත...  
සිය මව හැරෙන්නට අන් කිසි ගැහැණියකට සමීප නොවන්නෙකු ගේ මනසේ වෙසෙන ගැහැණිය, සිය මව වැනි දරදිය අදින, පියාට කීකරු, පුද්ගලිකත්වයක් නැති තැනැත්තියකි, එබැවින් සමාජයට පිළිපන් කල්හි මොවුන් අන් ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ මනෝභාවයන්ට අභියෝග නොකරන ඉතා කීකරු ඇවිදින මළකඳන් ය - ඔවුන් තනාගන්නා රාමුවෙන් පිට ජීවත් වන ගැහැණිය යනු “නිවැරදි මගට ගත යුතු” වෙය්ශ්යාවකි.
ගැටුම් විසඳිය හැක, දේපල පිළිසකර කල හැක, නමුත් මෙවන් ආකල්ප සමාජය පුර ඔඩු දිවීම ඒ දෙකටම වඩා පිළිසකර කිරීමට අපහසු තත්වයකි."
මේ මතය සමග සීයට සීයක් එකඟ විය නොහැකි තැන් ද ඇති මුත්, සමස්තයක් වශයෙන් එය ඉතා හොඳ කියවීමකි. මේ වනාහි ජාතිකත්ව ව්‍යාපාරය අද පත්ව ඇති තැන පිළිබිඹු කරන හොඳ කැටපතකි.

මේ ෆොටෝ කල්ලියේ අමනයා ගැන ද යමක් කියා ම, මෙය අවසාන කරන්නෙමු. එදා මුගේම කල්ලියේ අනිත් උන්දෙලා සමග පාගමනට පලු යන්නට බණින ෆොටෝ වලට උඩ පනිමින් ලයික් කළ, ෂෙයාර් කළ, නුරා මතින් යුතුව හූ කියමින් කමෙන්ට් කළ ජාතිකත්ව නරි රැලේ ඉහළම සාමාජිකයා හෙවත් මෙකී කාලකන්නි ෆොටෝ කරුවා දැන් (රෙදිත් ඇඳගෙන දෝ හෝ) සිය ඊනියා ජාතික ව්‍යාපාර වල රැස්වීම් වලට ද එන ලෙස "ආදරණීය විශාඛාවන්ට" ආමන්ත්‍රණය කරයි.

අනේ ආදරණීය නංගියේ.. රත්තරං දුවේ.. පණට ආදරයක් තියේ නම් මේ අසහනකාරයොන්ගෙන් හත්ගව්වක් ඈත් වෙලා හිටපල්ලා..

Saturday, July 13, 2013

විශාඛා පාගමන සහ ගෙරි පාගමන | The Visakha walk and Cattle walk

විශාඛා විද්‍යාලයීය වාර්ෂික පාගමන මේ මස එනම් ජුනි පළමුවන දින පන්දහසකට අධික ශිෂ්‍යාවන් සහ ආදී ශිෂ්‍යාවන් ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදි. ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ලක් සඳහා මුදල් සම්පාදනය කිරීම පිණිස විද්‍යාලයීය ආදී ශිෂ්‍යා සංගමයේ සහ පාසැල් සංවර්ධන සමිතියේ මෙහෙයවීම යටතේ, විද්‍යාලයීය විදුහල්පතිනිය, ආදී විදුහල්පතිනිවරුන් සහ වෙනත් බොහෝ සම්භාවය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණි.

විශාඛාවන් පාගමන ගිය එක ගැන හොඳම ඉස්ටෝරිය වාර්තා වන්නේ බුකියේ වෙසෙනා අධිසදාචාරවාදියකුගෙනි. පහසුව තකා අපි ඔහු බොංග මඩවර්ධන ලෙස හඳුන්වමු. බොංග අයියා මේ සයිබර් අවකාශයට අමුතු චරිතයක් නොවේ. හම්බාවන් නම් සත්ත්ව විශේෂය වඳකරලීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ, එදත් අදත් ආණ්ඩුවේ කුක්කු පැටියා වන මෙතුමා ගැන දන්නෝ ඉතාම හොඳින් දනිති. ඔහුට වඩා සදාචාර වාදියෝ මේ සයිබරයේ නැතැයි සිතෙන තරමට ඔහු සදාචාරවාදී ය.



කෙසේ වෙතත් අපේ බොංග අයියා විශාඛා පාගමන ගැන මෙන්න මේ ෆොටෝ කෑල්ල පළ කරමින් මෙසේ කියයි:

ඉස්සර පාසල් ජීවිතයේ අපි වාර්ශික ගමන් ගිය හැටි තාමත් මතකයි. අවුරුද්දකට වතාවක් පමණ පාසල් සුදු නිළ ඇඳුමෙන් සැරසී එක පෙළට මහ පාරේ යන විට අපේ අත් වල තිබුනේ "දුම් වැටි හා මත් වතුර බීමෙන් වළකින්න", "බුදු සසුන බැබලේවා" වගේ පාථ සඳහන් පුවරුයි. විහාරෙට යන ගමනක් නම් හැම ළමයෙක්ගේම අතේ මල් වට්ටියක් සහිතව සාදු කාර දෙමින් ගමන් කරද්දී, ළමයින්ගේ අම්මලා තාත්තලා හරිම ආසාවෙන් සතුටෙන් ඒ දිහා බලා හිටියා.
"සික්ෂාවියන්" ට අද වෙලා තියෙන දේ බලන්නත් කණගාටුයි. මේ පින්තූරයෙන් දිස් වන්නේ විශාඛා විද්‍යාලයේ "Annuel Walk" එක. පාසල් සුදු නිළ ඇඳුම වීසි කර ඒ වෙනුවට ඩෙනිම් ටී ශර්ට් ඇඳගෙන. අහළ පහළින් වාහනයකට යන්න බෑ දැක්ක ගමන් කෙල්ලො ටික එකතු වෙලා ඒකට හූ තියනවා. ඒ හින්දමදෝ "Annuel Walk" එක දාට ඒ පාර වහලා මගීන් රස්තියාදු වෙනවා. මත් උවදුරෙන් රට මුදවගැනීම, රෝහලකට වැඩිහිටි නිවාසෙකට උදව් කිරීමේ අරමුණින් ආධාර එකතු කිරීම වගේ, අසූව අනූව දසක වල සිටි හැදිච්ච දරුවන්ගේ උදාරතර චේතනාවන් වීසි කළ අද කාලේ පොෂ් කෙල්ලෝ බෙර ගගහා ෆැෂන් එකට නට නටායි පෙළපාළියේ යන්නේ.
විශාඛා විද්‍යාලයට තවදුරටත් ඔය නම භාවිතා කිරීම, එදා තම පියාණන් වහන්සේගේ උපදෙස් අනුව යමින් සංවරත්වයේ පරමාදර්ශී කාන්තාව වූ විශාඛා කුමරියටත් කරන අපහාසයක්.
මහ පරේ ඔහොම හැසිරෙන්න ඉගෙන ගන්න කොළඹ පාසල් වල දැරියන් පාසල් ඇතුළේ හැසිරෙන හැටි මෙන්න මේ වගේ.
1. http://www.youtube.com/watch?v=NZ2PObTZ6WU
2. http://www.youtube.com/watch?v=YJuvkBgVfik
පාසලෙන් පිටදි ඔවුන් හැසිරෙන හැටි බලාගන්න ඕනැනම් කොළඹ අවට ලැගුම්හල් සහ අනවසර ගබ්සා ආයතන වලින් සේවය ලබා ගන්නා අවුරුදු 18 ට අඩු දැරියන් ගැන සමීක්ෂණ වාර්තා කියවා බැලීම හොඳටම ප්‍රමාණවත්. ලැගුම්හල් වලට එන පාරිහෝගිකයින්ගෙන් 70%ක් පමණ පාසල් වයසේ දරුවන් බව දිවයින පුවත්පතේ පළ වූ එක් සමීක්ෂණ වාර්තාවක තිබුණා මතකයි.
පාසල් වලිනුත් මෙලෙසින් "බටහිර සංස්කෘතිය" පොවාපු මේ දරුවො කසාද බඳින්නත් කළියෙන් බඩ වුණාම හෝ රස්තියාදු කාරයෙක් අතින් අනාත වුණාම අන්තිමට බටහිර බැලයිනුත් බනින්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දරුවන්ට කවදාවත් හුරු නොකළ "සිංහල බෞද්ධ සංස්කෘතියට" යි. ළමයින්ව දහ දුරා කමට හදලා අන්තිමට "ධර්මද්වීපයට වෙලා තියෙන දේ" කියල කියන්නනම් උන් එක පයින් කැමතියි. 
සිංහල ගැහැණු දරුවන්ව මහ පාරේ විලි බිය නැතිව පෙළපාළි ගෙන යාමට හේතුව කුමක්ද? අදාල පාසල් වල විදුහල්පතිනියන් ඇතුළු මේවා සංවිධානය කරන අයගේ බැංකු ගිණුම් චෙක් කළානම් ඒ දේවල් වලට හේතු ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. සමලිංගික නොර්වේ තානාපතිනි ගේ‍්‍රට් ලෝචන් සහ ඇගේ ලෙස්බියන් සහකාරිය ව, සමලිංගිකත්වය තහනම් කරපු ශ්‍රී ලංකාවට පත් කර එව්වේ නොර්වේ විදේශ අමාත්‍යාංශයට වැරදීමකින් නොවෙයි. ඉදිරියේදී බ්‍රා බර්නිං ෆෙමිනිස්ට්ලා (ස්ත්‍රීවාදිනියන්) නිරුවතින් බෝඩ් ලෑලි එල්ලගෙන මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් මේ රටේත් ඇති කිරීමට බටහිරයින් කළ හැකි සෑම දේම කරාවි.

විශාඛා පාගමනට එල්ල වූ බරපතලම චෝදනාව වන්නේ එහි බාලිකාවන් ඩෙනිම් ඇඳීමයි. මේක ලෙඩකි. එසේ මෙසේ ලෙඩක් නොව තදින්ම බෝවෙන ලෙඩකි. මේ දිනවල හෝ ගා පැතිර යන මේ ලෙඩට හේතු වන්නේ අලුත්ම වෛරසයකි. මෙහි මුල් නිජබිම ඉන්දියාව වන අතර දැනට මෙය වඩාත්ම දරුණුවට පැතිර යන්නේ මැද පෙරදිග ය. නමින් මෙය Hyperconductophilia හෙවත් "අධිසදාචාරෝන්මාදය" නම් වේ. මෙහි නිත්‍ය සහ අනන්‍ය රෝග ලක්ෂණ වන්නේ කොට ගවුම්, කොට සායවල්, පාරේ නටන කෙල්ලන්, සිංදු කියන කෙල්ලන්, දත් පෙන්වා හිනාවෙන කෙල්ලන්, මොඩලින් කරන කෙල්ලන්, ජීන්ස් අඳින කෙල්ලන් පෙනෙන්ට බැරි වීමය. (සටහන: බුරිය පෙනෙන්ට සාරි අඳින කෙල්ලන් කමක් නැත. ) දෙරණේ ඩිල්කා ගේ ඇඳුමටත් මල්ලි නැග්ග උන්දෙලාට ඩෙනිම දැක්කාම මොනවා හිතෙන්නට ඇත්දැයි අපට හිතා ගන්නට පිළිවනි.

බොංග අයියාගේ බොක්කතාවට (බොග + කතාව = බොක්කතාව) කොමෙන්ටුවක් දමා තිබු එක මීහරකෙක් කමෙන්ට් කරමින් බෞද්ධ පාසලක් නම් කෝ බෞද්ධ කොඩිය කියා අසා තිබුණි. මේ ලියන ලේඛකයාද ආදී ආනන්දීයයෙකි. එසේ වෙතත් අපි බෞද්ධ කොඩිය බිග්මැච් එකට එල්ලන සිරිතක් නැත. බෞද්ධ කොඩිය දාන තැන් වගේම නොදැන තැන් ද පවතී. මේ ගොන් ප්‍රශ්නය අහපු එකා උගේ හනිමූන් එක දවසේ කාමරේ එල්ලන්නෙත් බෞද්ධ කොඩිය විය යුතුය.

බොංග අයියාගේ කතාවට තාලයට තප්පුලන සිහ සැරිය (ඔව් ඔව් අර එඩ්වඩ් ස්නොඩන්ට සිංහල කෙල්ලක් පංගාර්තු කරන්න ගිය එක තමා) නම් පිටුවක පළවූ එක්තරා පුවතක් අපි දුටිමු. එනම් සාරුවා සුනිල් පෙබරවාරි මස නවවන දින අල්ලන බවයි. දැන් අගෝස්තු ය. සුනිලා තාම එළියේ ය. අපේ උන්දෙලාට අමතක වුණොත් කියා අපි මෙන්න මේ පුංචි මතක් කිරීම කර තබන්නෙමු.



විශාඛා පාගමනට පහරදෙන උන්දෙලාට මෙතැන ඇති එකම අමාරුව වනාහි ලිංගික අහේනිය මත පදනම් වූ ඊරිසියාව ය. මන්ද අපේ ලංකාවේ ඉන්නා එව්වන්ට ඇති ලොකුම ලෙඩේ වන්නේ ලිංගික අධ්‍යාපනයක් නැතිකම වීම නිසා ය. මුන්ට පොඩි කාලේ කියන්නේ බබා ගෙනාවේ රෝස කැලෙන් ය, නැත්නම් වහලෙන් කොකා ගෙනත් දැම්මා කියා ය. ඉතින් යමක් කමක් තේරෙන වයසට ආවිට, සෙක්ස් කියන දේ තේරෙන්නට පටන්ගත් විට මුන්ට දෙලෝ රත්වෙන්නේ ය. මන්ද මුන් ඉන්නා අවමානික සහ අවර්ධිත මානසික මට්ටමේ හැටියට තමුන්ගේ අම්මා තමුන්ගේ තාත්තත් එක්ක බුදියගත්තය යන සත්‍යය පිළිගන්න තරම් ධෛර්යයක් නැති කම නිසා ය. එතනින් එහාට මුන් ලෝකේ ගෑණු දකින්නේ වර්ග දෙකකට ය. එනම් "සෙක්ස් කරන ගෑණු" සහ "අම්ම වගේ ගෑණු" ය. මුන්ට මේ වර්ග දෙකෙන්ම ඕනේ ය. එකක් අවශ්‍ය වන්නේ ආතල් ගන්නට ය. ඒ වනාහි අර කොට ඩෙනිම් සායවල් අඳින, වොඩ්කා බෝතලේ කටේ තියන් බොන, ක්ලබ් යන "කෑල්ල" ය. බොහෝවිට මේ "කෑල්ල" ගැන මුන්ගේ හිතේ තියෙන්නේ බටහිර චිත්‍රපටයක ස්ට්‍රිපර් කෙනෙක් වටා හදාගත්ත අධිස්වාභාවික මානසික විකෘතියකි. හැබැයි මුන්ට ඒක ඕනේ අවශ්‍ය ය. මොකටද, ආතල් ගන්නට ය. බඳින්නට නොවේ. 

දෙවෙනි වර්ගයේ ගෑණු වනාහි දහම් පාසැල් යන, ඩෙනිම් නාඳින, බිම බලාගෙන යන, (කොටින්ම කිව්වොත් තමන් ඇරෙන්න වෙන මිනිහෙක් එක්ක බුදිය ගන්න එකක් නැතෙයි කියල සීයට සීයක් සහතික වෙන්න පුළුවන්) ගෑණු ය. ඒ කියන්නේ "අම්ම වගේ ගෑණු" ය. ඒ හොයන්නේ බඳින්නට ය. තමුන් හතර වටේම ගිහිං පොල්පිති හතම පැනල ගෙට ආවා වුණත් කකුල් දෙක සෝදා ගෙට පිළිගන්නා, දෙවියන්ට වගේ සැමියාට සලකන ගෑණු ය.

මේ දෙකම එකට කරන්න බැරිය. මොකද මේ යක්කු "The American Pie" බලල හිතේ මවාගන්නා සාන්දෘෂ්ටික ලෝකය මේ පොළොවේ නැති නිසාය. (සටහන: මුන්ට "The American Pie" යනු සෙක්ස් ෆිල්ම් එකක් බව සළකන්න. Original Sin, Sleeping Dictionary වගේ එව්වා ගැන මුන් අහලාවත් නැත.) ඉතින් අන්න ඒ නිසා සෙක්ස් ඉල්ලුමට සරිලන සැපයුම නැතිවු විට අපේ අයියලාගේ මෝල කරවෙන්නේ ය. මෙන්න ලිංගික අහේනිය හෙවත් සෙක්ස් ඇරියස් බිහිවෙන තැන.  



මෙන්න මේ සෙක්ස් ඇරියස් සහිත සමාජයේ උන්දෙලාට ය මේ ප්‍රශ්න ඔක්කොම. කෙල්ලෙක් පාරේ ඩෙනිමක් ඇඳන් ගියාම ඒ කෙල්ලට බඩුව කියන්නේ අන්න ඒ නිසා ය. බස් එකකදී කෙල්ලෙක් ඇඟේ වැදුණත් ඒ කෙල්ලට බඩුව කියන මිනිස්සු ගැන ය, මා මේ කියන්නේ. බස්වල කෙල්ලන්ට පමණක් නොව ආච්චිලාට වුවද ජැක ගහන්නේ, ෆෝන් එකෙන් හොරෙන් ටොයිලට් ෆොටෝ ගන්නේ, නොදන්නා නම්බර් වලට මිස්කෝල් දිදී සෙක්ස් චැට් හොයන්නේ මෙන්න මේ සෙක්ස් ඇරියස් ඇති බයියලා ය.. මෙහෙව් බයියලාට මේ විශාඛා පාගමන වගේ එකක් දැක්කම පුදුම ඊරිසියාවක් මතුවෙන්නේ ය. "අම්මට සිරි මෙන්න කෙල්ලෝ පාරට බැහැලා නටනවා..!!!! %$^#$^%#^ මුන්ගේ අම්මලාට...!! " 

විශාඛා පාගමන වගේ දෙයක් දුටුවාම ඇටදෙක පොළොවේ ගහගෙන කෑගහන අපේ සමහර සිංහල බෞද්ධ අයියලා සහ, තමන්ගේ ගෑනු හිජාබ් නම් වූ ගෝනි රෙද්දෙන් වසා  සමාජයෙන් කොන් කරන සමහර ඉස්ලාම් ආගමික අයියලා අතර මොනම වෙනසක් වත් අපිනම් නොදකිමු. මේ දෙගොල්ලොම වනාහි තාර්කික බුද්ධියක් නැති, ලිංගික අසහනයෙන් පෙලෙන එකම අච්චුවේ උදවිය ය. මුන් දෙගොල්ලොම බෙල්ලෙන් අල්ලා එකම සිර කුටියක තිබ්බා නම්, එකාට එකා මරාගන්නවාට වඩා එකඟ වියයුතු බොහෝ දේ ඇති බව උන් උන්ටම වැටහෙනු ඇත.

මේ සිද්ධිය දඩමීමා කරගෙන සමහර විචාරක බයියෝ ලංකාවේ බෞද්ධ පාසැල් නැතැයි කියාද කියනු පෙනේ. මීට වඩා සාවද්‍ය කියවීමක් ගැන අපට හිතා ගන්නට වත් බැරිය. ලංකාවේ බෞද්ධ පාසැල් බෞද්ධ වන්නේ, ළමයි සරං ලමාසාරි ඇඳගෙන පාසැල් එන නිසා වත්, සිංහල රජකාලේ වගේ වැලිපිල්ලේ ලියන නිසාවත් නොවේ.  අපේ සංස්කෘතිය හඳුනන, එමෙන්ම නූතන සංස්කෘතිය සමග කිසිම ගැටලුවකින් තොරව ආබද්ධ වන බැවිණි; එසේ ආබද්ධ වන අතරම බෞද්ධ සංස්කෘතියට දිය හැකි උපරිමය දෙන බැවිණි.

විශාඛාව පාලනය වන්නේ NGO එකකින් යයි ද සමහරු කියා තිබුණි. කතෝලික පාසැල් පල්ලියෙන් පාලනය වන්නා සේ, විශාඛාව පාලනය කිරීම ද පන්සලකට දිය යුතු යැයි ද එක්තරා මීහරකෙක් තප්පු ලා තිබිණි. අනේ සාදු! අපි නම් මේ යෝජනාවට උඩින්ම එකඟය. මන්ද අද වන විට රටේ අඩුවෙනවාය කියන සිංහල ගහණය ඉබේම ඒ හරහා වැඩිවන බව දන්නා බැවිණි. එකම දේ රටේ අනාත නිවාස පොඩ්ඩක් වැඩියෙන් හදා තියන්නට වනු ඇත. කොහොමත් ඊට පෙර අනිවාරයෙන්ම ගබ්සාව නම් තහනම් කල යුතුය. නැතිනම් අපේ උන්නාසේලාගේ මහන්සිය අපතේ යනු ඇත.

කතාව සම්පූර්ණ වන්නට අපි බොංග අයියාගේ ආදරණීය "අහවල් රාවය" නම් සංවිධානය කර තිබු වෙනත් පාගමනක් ගැන විමසා බලමු. ඔය "රාවයෙන්", හරක් මැරිල්ලට එරෙහිව රුහුණේ සංවිධානය කර තිබු පාගමනක් අතරතුර දී තංගල්ලේ හරක්මස් කඩ කුඩු කරමින් යකා නැටු ආකාරය උසාවිය දක්වා දුරදිග ගිය ආකාරය අපට මතක තිබේ. මතක නැත්නම් මෙතැනින් බලන්න.

දැන් ඔය විශාඛාවන් ගියේ ද පාගමනකි. අහවල් රාවයෙන් ගියේ ද පාගමනකි. විශාඛා පාගමනින් අපේ ගොබ්බ වාහෙලාට ආතල් කුඩු වීමට අමතරව වෙනත් වරදක් නම් සිද්ද නොවීය. එහෙත් අහවල් රාවයේ පාගමනින් අවසානයේ නම්, සංවිධායකයෝ ද මිනී මරාගෙන ඇති බව ආරංචි වේ. දැන් එතකොට සැබෑ ගෙරියෝ කවුදැයි සිතා ගැනීමට වැඩි මහන්සියක් දැරිය යුතු නොවේ.

ගෙරි මැරිල්ලට එරෙහි පාගමනට ආවඩන, එහෙත් විශාඛා පාගමනේ දොස් දකින, උන්ගේ සදාචාරය ගැන බණ කියන අසහන කාරයින්ගේ ආතල් කුඩු කරනු පිණිස , දමිත් කේතක විසින ලියන ලද මෙන්න මේ ගීය බහා තබමි. (වැටෙන් එහා මල් පඳුරේ ගීයේ තාලයට ගයන්න).


වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//
 
රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
රටට දිදී......
රටට දිදී තිබුණත් ඇතුළේ - ගෙරි මරන්න නම් තහනම්....!
ගෙරි මරන්න නම් තහනම්..... 
 
වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//
 
තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
තිබෙන නිසා.....
තිබෙන නිසා අං හිස මුදුනේ - ගෙරි මරන්න නම් තහනම්....
 
වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//

Tuesday, March 5, 2013

සුලෝහිත වලිය (Maroons Clash)



වසරේ අන්තර් පාසල් ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ වී තිබේ. මේ වසරේ පළමුවෙන්ම තිබුණේ සුලෝහිත සංග්‍රාමය හෙවත් ආනන්ද--නාලන්දා සංග්‍රාමයයි. ඒ 84 වන වරටයි. සාමාන්‍යයයෙන් වාර්ෂික ක්‍රිකට් සංග්‍රාම වලදී වැඩි අවධානයක් යොමුවන සංග්‍රාම අතරින් ප්‍රමුඛ තැනක් සුලෝහිත සංග්‍රාමයට හිමිවේ. ඒ කරුණු කීපයක් නිසාය. පළමුවෙන්ම ගත් කළ, සුලෝහිත මිත්‍රත්වය ලංකාවේ පාසල් ස්වල්ප ප්‍රමාණයක පමණක් දැකිය හැකි මට්ටමේ එකක් නිසාය. දෙවැන්න, සුලොහිතයන් පමණක් සැළකුවත් රටේ ක්‍රිකට් ක්ෂේත්‍රයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කළ පාසල් ද්විත්වය වන නිසාය. තෙවනුව, මේ පිටුපස ඇති දේශපාලන බලපුළුවන්කාරකම් නිසාය. 

දැන් සුලොහිතයන් ලෙස සැළකෙන්නේ ආනන්දය සහ නාලන්දාව පමණක් වුවත්, කලකට පෙර සත් සුලොහිතයන් සේ සැලකු පාසල් හතක් තිබිණි. ආනන්ද, නාලන්දා, අශෝක, ධර්මරාජ, මලියදේව, මහින්ද සහ ධර්මපාල යනු ඒ හතයි. කෙසේ වෙතත් අදවන විට සාමාන්‍යයෙන් සුලොහිතයන් යන නම යෙදෙන්නේ මේ පාසල් දෙකටය. 

සාමාන්‍යයෙන් බිග් මැච් කාලය පිස්සුම කාලයකි. කොල්ලන් මෙන්ම කෙල්ලන් ද පුදුම උන්මාදයකින් වැළඳ ගන්නා වූ සමයකි. වීරයන් මෙන්ම පජාතයන් ද බිහිවන සමයකි. හැට් කලෙක්ෂන්, බම්පි රයිඩ්, පෙරෙඩ්, රෝම්පේ ආදී නානාවිධ විසුක දස්සන සියල්ලම මේ කාලයට බලාගත හැක. කොළඹ පාසල් වල පෙරෙඩ් අතර මරුන් පෙරෙඩ් එක සාමාන්‍යයෙන් "පොෂ්" වන්නට උත්සාහ නොකරන බවට පිළිගැනීමක් තිබුණත්, මෙවර සුලොහිතයන්ද ඒ මතය උඩු යටිකුරු කරමින් පෙරෙඩ් එකට උපරිම ෂෝ එක දී තිබුණි. වෙනෙකක් තබා මෙදා පාර පෙරෙඩ් එකට සමහරු හෙලිකොප්ටර් පවා ගෙනවිත් තිබුණි. 



මෙදා පාර සුලොහිතයන් දෙපළම කරට කර සිටි බැවින් තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි කල් තියාම කවුරුත් දැන සිටියහ. සාමාන්‍යයෙන් තරුණ පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් පෑම අනාගතයේ ජාතික කණ්ඩායමට එකතු වීමට ලැබෙන ටිකට් එකකි. මෙවර ද කණ්ඩායම් දෙකම සිය උපරිමය පෙන්වීමට සියලුම සූදානම ගෙන සැරසී සිටියහ.

තරගයේ වාසිය යම් තරමකින් හෝ බර වූවා නම් ඒ නාලන්දාවටය. නවක ක්‍රීඩක ප්‍රමුද් හෙට්ටිවත්ත විසින් නොදැවී ලබා ගත් ලකුණු 103 තරගයේ හැරවුම් ලක්ෂ්‍යය විය. නාලන්දාව කඩුලු 5 කට ලකුණු 298 ක්  ලබා ගනිද්දී, ආනන්දය කඩුලු 5 කට ලකුණු 301 ක් වාර්තා කොට සිටියේය. ධනුක පතිරණ ලබාගත් ලකුණු 109 ඊට මහඟු පිටිවහලක් විය.

තරග බිමට නරඹන්නන් කඩා වැදීම සාමාන්‍යයෙන් ඕනෑම තරග වාරයක සුලබ දෙයකි. මෙහිදීද එහි වෙනසක් නොවීය. වරින් වර පාසල් ධජ රැගෙන පිටියට පිවිසුණු ප්‍රේක්ෂකයන් නිසා තරගය ඉදිරියට ඇදුණේ මන්දගාමීවය. සාමාන්‍යයෙන් කොල්ලන් පිටියට පැනීම අරුමයක් නොවේ. කෙල්ලන්ගේ තරගයක කෙල්ලන් පිට්ටනියට පැනීම ද සාමාන්‍යයය. එහෙත් මේ ලියන ලේඛකයාගේ දැනුම අනුව මේ වසර ගණනාවකටම, පාසල් තරග වාරයක, පෙම්වතුන් යුවළක් එකට පිට්ටනියට පනිනු දුටුවේ පළමු වතාවටය. 




තරගයේ අවසන භාගය වනවිට තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නොවැලක්විය හැකි බව පෙනී යමින් තිබිණි. නමුත් කාටවත් එහි එතරම් වගක් නොතිබුණේ තරගය සහ "ආතල් එක" දෙකක් බැවිණි. සාමාන්‍යයෙන් වාර්ෂික ක්‍රිකට් ගැටුම් වලට ආදී සිසුන් සහභාගී වන්නේ පළමුව බොන්නටය. දෙවනුවද බොන්නටය. තුන් වෙනුවද බොන්නටය. බෞද්ධ පාසල්, බෞද්ධ නොවන පාසල්, ගමේ පාසල්, නගරයේ පාසල් කියා වෙනසක් නැත. තරගය පැත්තකින් තිබියදී පිට්ටනියට පැන චියර් කරන පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වී, එහි උච්චතම අවස්ථාව උදා වුයේ තේ පානයෙන් අනතුරුවය. තරගය පවත්වාගෙන යාමට දුෂ්කර තත්වයක් උද්ගත වෙද්දී, තරගය අතහැර දැමීමට සංවිධායකයන් හට සිදු විය.

දවසේ අවාසනාවන්තම සිද්ධිය ඇරඹෙන්නේ එතැනිනි. කොහේදෝ එකෙකුට දෙන්නෙකුට කුලප්පු වීමෙන් හටගත් ආරවුල, අන්තිමේ කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරයක් දක්වා වර්ධනය වුයේ විනාඩි 15කටත් නොඅඩු කාලයකිනි. සිද්දිය අප කියනවාට වඩා බැලීම හොඳය. 





වලිය නරකය. එහි කතා දෙකක් නැත. එහෙත් කවුරු කවුරුත් බඹර පදමට දෙකක් ගෙන වැනෙන මොහොතක, එකෙක්ගේ සිගරට්ටුව අනිකාගේ අතේ වැදීම පවා වලියකට මුලකි. අනික වලියක් නැති බිග් මැච් එකක් කවදාවත් තිබුණේ නැත. තියේ නම් හොඳය. එහෙත් ප්‍රයෝගික නැත. මෙහිදී මතු කළ යුතු වැදගත් කරුණු කිහිපයකි.

1. වලිය ගියේ පිට්ටනියේ ය. ක්‍රීඩාගාරයේ නොවේ. වාතාශ්‍රයක් නැති, ආවරණය වූ, ක්‍රීඩාගාරයට ගෑස් බෝම්බ ගසන්නේ අහවල් එකකටද?
2. වලිය දා ගත්තේ සුළු පිරිසකි. (වීඩියෝව බලන්න) එහෙත් පොලිසිය පන්න පන්නා පහර දෙන්නෙ හැමෝටමය.
3. පොලිසිය ගහන්නේ කාට ද? යන්න හොඳින් බලන්න: එකෙක් අනිකාට ගහයි. ගහපු එකාට උගේ වටේ ඉන්නා උන් දෙකක් දී පැත්තකට දමති. පොලිසිය ගහන්නේ කාටද? වලි කාරයන්ටද, ශේප් කරන අයටද?

කෙසේ වෙතත් මාධ්‍ය මේ සිද්ධිය වවාගෙන කෑවේ ඉතාමත්ම ජුගුප්සා ජනක ලෙස බව නොකියම බැරිය. දැන් යුද්දේ නැති නිසා, සහ වාර්තා කළ යුතු දේ වාර්තා කරන්නට මාධ්‍යයට ඉඩ නොදෙන නිසා, මාධ්‍ය පෙළෙන්නේ බරපතල නිවුස් හිඟතාවකිනි. ඒ නිසා මේ සිද්ධිය හරියට හත් අවුරුද්දකින් හාමතේ හිටපු සිවල් රැළකට අලි කුණක් ලැබුණා සේ විය. සිරසක් නැති සිරස, නයි.ටී.එන්. සහ බොරූපවාහිනිය මේ සිද්ධිය පට්ට ගැසුහ. තවත් පට්ට ගසති. තවත් හිරිකිතයක් නැත. 

මාධ්‍ය වලට ප්‍රතිචාර:

වැදගත්ම දේ නම්, මේ සිද්ධියට පාසල් දෙකේ නිල සහ නිල නොවන මාධ්‍ය කණ්ඩායම් සහ ආදී සිසුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ඔවුහු කිසිවෙකු වෙත බෝලය පාස් නොකොට වරද පිළිගත් හ. එපමණක් නොව, සැබෑ සහෝදර පාසල් දෙකක් ලෙස එකිනෙකාට කණගාටුව ප්‍රකාශ කළහ. තුවාල ලැබුවන් (බහුතරයට තුවාල වී තිබුණේ වලිය නිසා නොව, පොලිස් ප්‍රහාර නිසාය) බලන්නට එකට ගියහ. එකට ගැටළුව විසඳා ගත්හ. ෆෙස්බුකියේ සියලු ආනන්ද-නාලන්දා කණ්ඩායම් මේ ගැටුම එක සේ පිළිකෙව් කළහ. වලිය එයින් ඉවර විය යුතුය සහ පාසල් දෙක අතර මිත්‍රත්වය ඊට වඩා වටිනා බව අනායාසයෙන් ම වටහා ගත්හ. ගැටුම් වැලැක්වීම කෙසේ වෙතත් ගැටුම කළමනාකරණය කිරීම ඉතාම ප්‍රශස්ත මට්ටමකින් සිදු කළහ. මෙය වැදගත් වන්නේ තරගයට පෙර සිටම "අහවල් පාසලේ උන්ට අරක නැත", "මේ පාසලේ උන් ගූ කන්නෝය", ආදී වශයෙන් අපහාස කරගැනීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව ඇති කාලයක ය.

මේ සිද්ධියට ප්‍රතිචාර ලෙස ෆේස්බුක් වෙබ් අඩවියේ පල වූ අදහස් කිහිපයක් පහතින් උපුටා දක්වමු.

"අපි සැමදා සහෝදරයන් වන්නෙමු. ඔබ නිවස තුලදීද සහෝදරයා සමග නිරත්තරයෙන් අඩ දබර කරගන්නවා ඇති. නමුත් ඒ කිසිදු දබරයක් අවසානයේ එය ජන්මන්තර බේදයක් නොවී සහෝදරත්වයෙන් තවත් බැදුන ආකාරය සැමගේ අත්දැකීමක් වන්නට ඇති. එවන් සහෝදරත්වයක් ඇති ආන්නද සහ නාලන්දා සහෝදරයන් තුලද දබර අවසානයේ සිතේ කහටක් නොතබාගෙන සහෝදරත්වයෙන් තවත් බැදී සැබෑ සහෝදරයන් සේ එක්ව සිට සැමට ආදර්ශයක් වනවා නොඅනුමානයි. මාධ්‍යයන් විවිධාකාරයේ පුවත් නිර්මාණය කලද අප එයට සහෝදරත්වයෙන් පිළිතුරු දී සැබෑ සහෝදරයන් සේ අත්වැල් බැද පෙරට යාමට පෙළ ගැසෙමු."



"අද දින කොළඹ SSC පිටියේදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම ගැන සියලු නාලන්දීයයන් වෙත ආදී ආනන්දීයයන් ලෙස කණගාටුව ප්‍රකාශ කරමු. මේ කතාව මෙතැනින් අවසන් විය යුතුවා පමණක් නොව, මේ කතාවේ මින් ඉදිරියට අනාගතයක් ද නොතිබිය යුතුය.අපගේ සහෝදරත්වය සැමදා පවතී .."

(මේ ප්‍රකාශයම නාලන්දයීයන් ද  මෙලෙසම ආනන්ද කණ්ඩායමේ ෆේස්බුක් පිටුවෙහි පළකොට තිබිණි)




"වලිය ඉවරයි. බලා සිටි ඔබ සැමට, වලිය මාකට් කරපු සැමට, අහක ඉඳන් හූ කියපු සැමට සහ මෝඩ චූන් ගත්තු සැමට බොහොම ස්තුතියි.. අයියල මල්ලිලා සේරම දැන් ගෙදර ගියා නම්! 


ප.ලි. අනේ බං කොල්ලනේ ලබන අවුරුද්දේ වත් මරානොගෙන හිටපල්ලා.. උඹලව චාටර් වෙනකල් කී දෙනෙක් නම් බලන් ඉන්නවද..
ප.ප.ලි. කොල්ලෝ ටික ගහගත්තට, පොලෝසියේ කෂ්ටිය කඳුළු ගෑස් ගහද්දි දෙගොල්ලොම කළේ වලිය පැත්තකින් තියල සෙට් වෙලා ගෑස් බෝම්බ ටික ඇහිඳලා ආපහු ගහපු එක, හරිය මල්ලි? (මෝඩ චූන් ගන්න උන්දෙලාට ඒ ටික කිව්වේ!) "



මේ තවත් ප්‍රතිචාරයකි.

"ආනන්ද - නාලන්ද දිනුවා ලක් දෙරණ තු ල
සිරසක් නැති සිරසක් හැදුවා සමගිය නසන්න ට
නොහැකිද සොදුර අප හඩවා දමන්න ට
දුටුවද දස පරපුරක් ඇත් බව සුභ පතන්න ට

වරක් දෙවරක් තෙවරක් හැඩුවා අප බෙදුන දි න
දස වරක් යලි එක් වුවා රණ බෙර වයන්න ට
රෑ පොත තුල සිතුවම් මැව්වා අප යලි බැදෙන්න ට
දෙපිලක් යළි හමුවූවා මව් බිමේ පෙර පිනක ට

ගොන් පරපුරක් ඇති බව සිතු මහ රා ජා
රඡ පරපුරක් ඇති බව නොදනී මහ රා ජා
දුටුවද රජතුමනි කේසර අපගේ මහ රා ජා
පිං බර මව් දෙපළගේ දරැවන් සවිමත් බව ගොන් රා ජා

ආනන්ද නාලන්දා සහෝදරත්වය සදා නොමියෙනු ඇත !!!

- නාලන්දා විද්‍යාලය (2011) ශිෂ්‍යයෙක්"

ලස්සනම කතාව කියා තිබුණේ ඩේලි නිවුස් එකෙනි. මීට වඩා තව කියන්නට දෙයක් නැත. 





සුබ සහ ජය! 

Thursday, January 24, 2013

නයි නළඟනගේ කතාව

කොල්ලුපිටියේ සමාජ ශාලාවක රැඟුම් පෑ "නයි නළඟන" හෙවත් දන්තුරේ පදිංචි නිරෝෂා විමලරත්න  පසුගිය කාලයේ සයිබර් අවකාශය තුළ බොහෝ කතාබහට ලක්වූ චරිතයකි. මෙය කියවන සෑම කෙනෙකුටම පසුගිය දශකයේ ජනප්‍රිය චිත්‍රපටයක් වූ "නාගීනා" සිහි වන්නට ඇති බව නිසැක ය. සැබෑ නම නිරෝෂා විමලරත්න වුවද ඇය රඟන්නේ ඩිලානි චොප්රා යන ආරූඪ නමිනි. රටේ තොටේ වද වෙන්නට අටෝරාසියක් කරුණු කාරණා තියෙද්දී නයෙක් සහ නළඟනක් ගැන මෙතරම් වද වීමට අපේ රටේ මිනිස්සුන්ට ඇති හේතුව කුමක්දැයි සෙවීමට අපට ද සිතක් පහළ විය. මේ සටහන ලියන්නේ ඔය කතාව එදා මෙදා තුර ඇදී ආ අන්දම යළි මතක් කරමිනි.


මෙතෙක් කතාව:

කොල්ලුපිටියේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේදී නයෙකු තුරුළු කරගෙන නිදා ගත්තේ යයි යන චෝදනාව පිට 21 හැවිරිදි ඩිලානි පොලිස් අත් අඩංගුවට පත් වන්නේ 2012 දෙසැම්බර් මස දීය. ඇගේම වචනයෙන් කියන්නේ නම්, "කිසිම වග විභාගයක් නැතිව අසභ්‍ය වචනයෙන් බැන වැදී පොලිසියට ගෙනයාමෙන්" පසුව, කොල්ලුපිටිය පොලීසිය විසින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබේ. ඊට පෙර ඇය මානසික රෝගියකු යයි කියමින් කොළඹ ජාතික රෝහලට ද ඈ ඇතුළු කර තිබූ බව කියවිණි. කතාව ඇරඹෙන්නේ එතැනිනි.

අනතුරුව දිග හැරෙන නාටකයේ විවිධාකාර ජවනිකා පෙළකි. මේ අසන්නේ සැබෑ ජීවිතයේ කතාවක්ද, නැතහොත් හින්දි චිත්‍රපටයක තිර රචනාවක්දැයි සිතා ගැනීමට බැරි තරම් එය සංවේදීය. හද කකියවන සුළු ය. එබැවින් අපි මෙය කොටස් වශයෙන් විභාග කරමු.

මුලින්ම කිව යුත්තේ සුරතලයට ඇති කළ හැකි සහ නොහැකි ලෙස සතුන් වර්ග දෙකක් ඇති බවයි. කෙනෙකුට ඕනෑ ඕනෑ හැටියට සතුන් සුරතලයට හදන්නට බැරිය. එහෙම පුළුවන් වුණානම් ක්ලියෝපැට්රා අග රැජන කළා සේ චීටාවකු හදන්නට, නෙෆෙස්තිනීස් කළා සේ පිඹුරකු හදන්නට, නැතිනම් හැරී පොටර් කතාවේ voldemort සේ නයෙකු හදන්නට ඕනෑම කෙනෙකුට හැකි විය යුතුය. සත්‍ය නම් අන්තරායකර සහ වනගත සතුන් සුරතලයට හැදීම සත්ත්ව හිංසා සහ ආරක්ෂණ පනත යටතේ නීතියෙන් තහනම් බවයි. බල්ලන්, බළලුන් මෙන් නොව, නයින් පොළඟුන් ගෙදර නොහදන්නේ එබැවිනි.


එහෙත් මේ ලංකාවය. මෙහෙ නීති රීති යනු පරණ ජංගියක් වගේය. ඒ කියන්නේ නමට විලි වැහෙන්නට තිබුණත් තැන් තැන් වල ඉරුණු හිල් තිබෙන බව සහ ඒ තුළින් සමාජයේ සත්‍ය නිරුවත් භාවය පෙනෙන බවය. මේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක හදන්නට අවසර නැති වඳවී යන පක්ෂීන් රජ මැදුරේ යසට වසන්නේ එබැවිනි. කන්ට දෙන්ට එකෙකු ඉන්නවා නම් එතන දාල යන්නට සතා සීපාවා වත් කැමති වන්නේ නැත. එබැවින් ඒ ගැන වැරද්දක් සතුන්ට කියන්නට බැරිය. රජතුමා නම් කොහොමත් හරිය. එතුමා අතින් වැරදිලාවත් වැරදි වෙන්නේ නැත. (එත් එතුමාගේ අහිංසක කම සහ නොදැනුවත් කම මතින් අයුතු ප්‍රයෝජන ගන්නා විජාතික කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස යම් යම් දේ වන්නට පිළිවන. මොනවා වුනත් යුද්දේ දිනු රජ්ජුරුවන්ට කවුරුත් දොස් කීම මහම මහ තුප්පහි වැඩකි.) එතකොට වැරදි අපි ය. එනිසා අපි ඒ ගැන කට වහගෙන ඉඳීම වඩා හොඳය.

අපි යළිත් මාතෘකාවට ආවොත්, මේ කී පරිදි නයෙකු සුරතලයට හැදීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ කියන්නේ නළඟන වැරදිය. හැබැයි ඈ හරි වුනත් වැරදි වුනත් පොලීසිය ඈට කුණුහරුපයෙන් බැන වැදීම ගැන ඈ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ. මේ ද ඇගේ නොදන්නා කමය. වසර ගණනාවක් මේ රටෙන් පිට ජීවත් වුණු නිසාදෝ දිලානිට මේ රට ගැන දැනුමක් නොමැත. අංක එකේ කාරණය, නමට හදිසි නීතිය අවලංගු කළත් මේ රටේ හැමදාමත් ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය බව ඇය දන්නේ නැතිවා විය යුතුය. අංක දෙකේ කාරණය නම් මේ රටේ අධිකරණ තියෙන්නේ නමට පමණක් බවය. (අගවිනිසුරුටත් නීතිය ක්‍රියාත්මක නොවන රටේ මොන නීතිද බං.. හුකෑස්.. ) එබැවින් එතුමියගේ සහ (පොලීසිය එහෙම නොකළ යුතු යයි කියන) අපේ සම-හරක් ගේ දැනුම වැඩීම පිණිස මුලින්ම මේ කතන්දර දෙක කිව යුතුය.


කතන්දර අංක එක: වළහා සහ පොලෝසිය.



ඔන්න එකෝමත් එක කාලෙක රට රටවල පොලෝසි වල අපරාධකරුවන් ඇල්ලීමේ හැකියාව මැන බැලීමට එක්තරා පරීක්ෂණයක් සැලසුම් කළා ලු. මීට රට රටවල බොහෝ පොලොසිද සහභාගී වුණේ ලු. මීට අපේ රටේ පොලිස් මාමලා දෙන්නෙක්ද සහභාගී වුනේ ලු. කරන්නට තිබ්බේ සුළු දෙයකි. කාලයකට මුදා හළ හාවකු, අඩුම කාලයක් තුල සොයා ගෙන එන්නාට ජයග්‍රහණය හිමි වේ.

මුලින්ම කැලෑවට ගිය එංගලන්ත පොලිසිය, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගස් මුල් වලින් පවා කට උත්තර සටහන් කරගෙන අවසානයේ කියා සිටියේ හාවා ආගිය අතක් නොමැති බවත් ඌ සෙවීම සඳහා බුද්ධි අංශ සහය ලබා ගත යුතු බවත්ය.

ඇමරිකාව නම් ඊට වඩා ඉතාම ප්‍රායෝගිකව සහ ඉක්මන් ලෙස කළේ වියට්නාමයට කළා සේ මුළු කැළයටම අධිබලැති නේපාම් බෝම්බ එල්ල කොට කැලය ගිනි තැබීමයි. අන්තිමට ඔවුන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දැන් හාවාගෙන් කිසි බියක් නොමැති බවත්, ශිෂ්ට සම්පන්න ලෝකයට මින් පසුව සැකෙන් බියෙන් තොරව ජීවත් විය හැකි බවත්ය.

චීනයෙන් ගිය දෙන්නා කළේ හාවා ගේ සියලුම ළඟ ඥාතීන්ගේ සියලුම චංචල නිශ්චල දේපළ රාජ සන්තක කිරීමයි. ජනතාවාදී සමාජයක් තුල කිසිම පරගැති, ප්‍රතිගාමී හාවෙකුට සෙල්ලම් දමන්නට බැරි බවත්, ධනේශ්වර පන්තියේ බඩගත්තරවාදී බත් ගොට්ටන්ට චීනය නිසි පිළිතුර දී ඇති බවත්, ජනතාවගේ සතුරා සියල්ලගේම සතුරා බවත්..... තවත් වැල් වටාරම් රාශියකින් පසුව හාවා එළියට ආපු දිනක ඌට ජනතාව ඉදිරියේ වන්දි ගෙවන්නට සිදුවන බවත් ඔවුන්ගේ නිල ප්‍රකාශයේ සටහන් විය.

ලංකාවේ දෙන්නා කැලය තුල ගත කළේ විනාඩි 15 කටත් අඩු කාලයකි. හැබැයි ආවේ හිස් අතින්ද නොවේ. තඩි වලහෙක් ඇවිද ගන්නටත් බැරිව (ලාච්චු කෝස් එක නිසා විය හැක) උන් දෙන්නා එක්කම (දක්කා ගෙන එමින්) මෙසේ කියමින් එනු පෙනිණි. "අනේ සර් තවත් නම් ගහන්නෙපා.. මම තමා හාවා, මම තමා හාවා.. අනේ බුදු සර් ගහන්නෙපා!"


දෙවන ජවනිකාව: සුපිරි නළඟන අහිගුන්ටික වීම



කතන්දර අංක දෙක ලිපියේ අන්තිමට තබා අපි නයා සහ නළඟන දෙසට හැරෙමු. ඇගේ හදාගත් පියා වන ආර්.එම්. විමලරත්න සිහල බෞද්ධ වන අතර ඇගේ මව ඉන්දීය සම්භවයක් ඇති බව මාධ්‍ය වාර්තා වල දැක්විණි. රටේ ජනතාවට නළඟන වෙනුවෙන් කරුණු කී පිරිස කීවේ කීවේ නිරෝෂා හින්දු භක්තික බවත්, නිතර නිතර කෝවිල් යන බවත්, ඇය නයින්ට දේවත්වයෙන් සළකන බවත්ය. ඇගේ පියාද නයි නටවන්නකු වන අතර ඔහු සතුව නයින් තිදෙනෙකු ද සිටින බව කියවිණි. තවද මෙකී නාගයා ඈට දොඩම්වල දේවාලයේදී නැයින්නක විසින් දන් දුන් බවද ඈ මාධ්‍ය වෙත පවසා තිබිණි. ඒ ගැන මුළු විස්තරය මෙතනින් කියවිය හැකිය.  ඇගේ නියම පියා ඉරාන ජාතිකයකු බවද ඇගේ මව නාසික් හි සහ පියා හයිද්‍රාබාද් හි පදිංචි බවද සිය ජන්ම භූමිය ඉන්දියාව බවද ඇය කියා සිටී.

දරු තිදෙනෙකු ගෙන් සමන්විත විමලරත්න පවුලේ බාලයා වන දිලානි, දන්තුරේ මාධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ වනතුරු ඉගෙන ගෙන, අධ්‍යාපන සමත්කම් ද දක්වා ඇති තැනැත්තියක් බවද සඳහන් විය. දන්තුරේ සෙන්ට්‍රල් එකෙන් සාපෙළට උගත්, නුවර සිංහල බෞද්ධ පවුලක හැදුණු වැඩුණු, ඉරාන ජාතික නයි නටවන්නකුගේ ඉන්දීය දියණිය, කොළඹ කොල්ලුපිටියේ සුපිරිම සමාජ ශාලාවක නළඟනක් බවට පත් වීම ම අපේ සමාජය ගැන පුළුල් පැතිකඩක් ගැන විග්‍රහ කළ හැකි මාතෘකාවකි. දන්තුරේ සහ කොල්ලුපිටිය අතර මහා දුරක් තිබේ. ඒ වනාහී ඇවිදින දුරින් පමණක් නොවේ. සංස්කෘතික, සමාජයීය සහ ආර්ථික අතින්ද මේ පරිසර දෙක අහසට පොළොව වගේ ය. මේ දෙක යා කළේ කවුද, කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. ඒ ගැන ඇගේම වචනයෙන් කියනවා නම්, "ක්ලබ් ජීවිතේ ගැන ඉගෙන ගන්නකොට මම ගොඩක් දුර ගිහින් ඉවරයි."

උසාවියේදී නළඟන ගේ පැත්තට කරුණු දක්වූ විත්තියේ උගත් නීතිඥ මහත්වරු පැවසුවේ වෙන කතාවකි. එනම් ඔය කියන අන්දමට එහෙනම් මේ රටේ ඉන්නා සෑම අහිගුන්ටිකයකුම වැරදි කරුවකු වන බවත්, නයින් සමග මුළු ජීවිතයම ගත කරන ඔවුන් අල්ලන්නට මොනාක පොලීසියක් වත් එන්නේ නැති නම් මේ නඩුවට පමණක් මෙතරම් බර තබන්නේ මන්ද යන බවත්ය. කතාවද ඇත්තය. අහිගුන්ටිකයන් ජීවත් වන්නේ "පෙට්ටිය ඇතුලේ නයියා පටවාගෙන" යන තරමටය. ඕක තහනම් කළොත් වෙන්නේ වහ කන්නටය. එබැවින් අන්තිමට උසාවිය විසින් එතෙක් දෙහිවල සත්වෝද්‍යානයේ රඳවාගෙන සිටි නයා නළඟන වෙතම භාර දීමට නියෝග කරන ලදී. එහෙත් රටේ ඕනෑ තරම් නඩු, පරම්පරා හතර පහ පරක්කුවෙද්දී මෙතරම් ඉක්මනට මේ නඩුව විභාග වුණේ කෙසේද, ඊට මුදල් ලබා දුන්නේ කවුද යන්න ගැන කිසිම සටහනක් අපට දැන ගන්නට ලැබුණේ ද නැත.

නළඟන ඇල්ලු පොලිසියට විරුද්ධව ලක්ෂ 20ක වන්දියක් ඉල්ලා දිලානි විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද නඩුව, නිමල් ගාමිණි අමරතුංග, එස්.අයි. ඉමාම් සහ චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ වන විට විභාග වෙයි. එය 2013 මාර්තු මස 13 වෙනි දින යළි විභාගයට ගැනීමට නියමිතය. සිය නයාගේ දළ කඩා ඇති බවත්, ඌට රිදවා ඇති බවත් ඇය මාධ්‍ය වෙත හැඬුම්බර හඬින් කියා සිටියාය. නයා බැරිනම් යකා ඇල්ලුවත් ඌට හින්සා පීඩා පැමිණවීම නම් වරදක් ලෙස අපිද දකිමු. හැබැයි ඉතින් ඒ අපේ පොලෝසියේ හැටිය. කතන්දර අංක දෙක කියවූ පසුව වඩාත් පැහැදිලි වනු ඇත. කොහොමත් මේ නඩුවෙන් පොලිසිය පරදින්නේ නැති බව දන්නා නිසා මේ නඩුව ඉල්ලා අස් කරගැනීම වඩා හොඳය. නැතහොත් අර සමෘද්ධි නියාමක තුමා තමන්වම ගසකට බැඳ ගත්තා සේ, මේජර් රෙහාන් තමන්ටම පහර දී ගත්තා සේ, නැතිනම් ලකී මහත්තයා දුමීව දැක තමන්ටම වෙඩි තියා ගත්තා සේ නළඟන ද තමුන්ටම මොකක් හෝ කරගනු ඇත. අපි මේ කියන්නේ ඇයගේ හොඳටය.


කතන්දර අංක දෙක: ලෝවැඩ සඟරාව

එක්තරා පොලිසියක පොලිස් සේවයට බැඳීමට අයදුම් කළ කොල්ලෙකුගේ සාමාන්‍ය දැනීම පරීක්ෂා කර බැලීමට ස්ථානාධිපති හට සිත් විය. කොල්ලා ලඟට කතා කර ගත් ඕ අයි සී උගෙන් මෙසේ ඇසීය.

"තමුන් දන්නවද ලෝවැඩ සඟරාව ලිව්වේ කවුද කියල?"
"අනේ නෑ සර්, මම පත්තර සඟරා කියවන්නේ නැහැ."
"ඕයි!! ලෝවැඩ සඟරාව කියන්නේ එහෙම එකක් නෙමේ! තමුසෙට විනාඩි පහක් දෙන්නම්, කල්පනා කරලා බලල දෙනවා මට උත්තරේ!"

මෙසේ කියා සිතෙන් බැන බැන එලියට යන ගමන්, අපේ ස්ථානාධිපති තුමා ළඟ හිටි එස්.අයි. කෙනෙකුට කතා කොට මෙසේ කීය. "අන්න අරූගෙන් අහල දැනගන්නවා කවුද ලෝවැඩ සඟරාව ලිව්වේ කියල.."

විනාඩි දහයකට පසුව ලොක්කා ඇතුළට එන විට කොල්ලා හතර ගාතෙන් බිම වැටී සිටි අතර, කාමරයේ බඩු මුට්ටු වලින් හොඳ හරියක් ද ඉවරයක් කොට කඩා බිඳ දමා තිබිණි. ඒ මැද ජයග්‍රාහී විලාසයෙන් සිටගෙන සිටි එස්.අයි. මෙසේ කීය.

"බලන්න සර් මම දෙකයි ඇන්නේ.. මූ යස අගේට කිව්වේ මූ තමා ඕක ලිව්වේ කියල.. කොහෙද සර් ල මුන්ව හුරතල් කරනවනේ!!"


තුන්වන ජවනිකාව: නළඟන හලාල් වීම (සහ පොලිසිය හොඳ වීම) 


මෙතෙක් අපි කතා කළේ අතීතය ගැන නිසා අපි දැන් තිර නාටකයේ වර්තමානයට එමු. එනම්, ජනවාරි 23 වනදාට ය. කතාව ඇරඹෙන්නේ ඩිලානි චොප්රා නොහොත් නිරෝෂා විමලරත්න සිය රාත්‍රී වැඩමුරය අවසාන කොට එදින පාන්දර 3.30 ට පමණ සිය ඉරාන ජාතික පෙම්වතා වන "සුල්තාන්" සමග ඔහුගේම රථයෙන් වැල්ලම්පිටියට පැමිණීමත් සමගය. තමාව විවාහ කර ගන්නා බවට පොරොන්දු දෙමින් සිටින නමුත් දිනෙන් දින විවාහය මග හරින පෙම්වතා සමග හට ගන්නා බහින් බස් වීම දුරදිග යන්නේ එවිට ය. අවසානයේ මේ වචන හුවමාරුව අවසාන වන්නේ බෝතල් කටුවකින් ගෙල කපා දැමු ඩිලානිගේ සිහිසුන් සිරුර, වැල්ලම්පිටියේ තෙල් පිරිපහදුව අසල මහමග දමා යාමෙනි. අධික රුධිර වහනය නිසා මරණයට පත් වීමට පවා ඉඩ තිබූ ඩිලානි වැල්ලම්පිටිය පොලීසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිසිය විසින් හඳුනාගෙන ඈ පෙරවරු 5.45 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් නොකරන්නට ඈ මරණයට පත් වීමට පවා ඉඩ තිබිණි.

සුල්තාන් ගැන යමක් කියන්නේ නම්, ඩිලානි / නිරෝෂා සමග දිගු කලක් අඹු සැමියන් ලෙස එකට ජීවත් වූ පුද්ගලයකු බව මේ වන විට හෙළි වී තිබේ. නිරෝෂාගේ කොළඹ ආගමනයෙන් පසුව සීදුව සමාජ ශාලාවකදී ඇයට මුණ ගැසෙන මේ පුද්ගලයා, මුදල් හදල් අතින් පමණක් නොව ආරක්ෂාව අතින්ද ඇයට සහය දී තිබෙන බව කියවේ.

දීර්ඝ කාලයක් තිස්සේ ගෙනගිය ඇසුර සම්මත එකක් බවට පත් කරන්නට ඇයට ඉතාම තද වුවමනාවක් තිබූ බව කියවේ. සමහර විට උපන් රට, මවුපිය රට මොකක් වුණත් අපේ සංස්කෘතියෙන් කොටසක් හෝ ගෑවී තිබීම නිසා විය හැක. එහෙත් අපේ ප්‍රේමවන්තයා නම් ඊට එක පයින්ම විරුද්ධ වූ බවද කියවේ. එක අතකට ක්ලියෝ ක්ලබ් එකේ නැට්ටිච්චියකට කර ගහනවාට වඩා හොඳ තැනකින්, උපන් දා සිට බුර්ඛාවකින් මුහුණ පමණක් නොව මුළු කයම වසාගත් නහඹුල් යුවතියක් සිය ජීවන සහකාරිය ලෙස තෝරා ගන්නට ඔහුට හිතුණා වන්නට පිළිවනි. එහිද එතරම් වරදක් නොමැත. නමුත් ගැටළුව වන්නේ කසාදය නොකිරීමට හේතුව ආගමික හේතුවක් නම්, නැට්ටිච්චි "හරාම්" නම්, මෙච්චර කල් ඈ සමග නිදි වැදීම "හලාල්" වුයේ කෙසේද යන්නයි.

කොහොමත් කියන දේ නාහන ගැහැණුන් හට තරවටු කරන්නට, සිරි යහනේදී වෙන් කරන්නට, කොන් කරන්නට පමණක් නොව, අවශ්‍ය නම් කෝටුවකින් තලන්නට වුවද කුරානයෙන් නීතියෙන්ම ඉඩ දී ඇති බැවින් මේවා එතරම් වද වන්නට කාරණා නොවේ. මැද පෙරදිග නමින් හඳුන්වන නරාවලේ වහල් සේවයට යන අපේ අක්කලාට නම් මේවා සාමාන්‍ය දේවල් ය. හාම්පුතුන්ගේ බැල මෙහෙවර කරන්නට, ලිංගික අසහනය දුරු කරන්නට පමණක් නොව වරදක් වුණු විට හම යනතුරු කසෙන් තැලුම් කන්නට පවා සූදානම් වී යා යුතු ගමනකි, ගෘහ සේවය. හදිසියේ පොඩි එකාට කිරි පොවන විට ඉස්මොලයෙ ගොස් ළමයා මැරුනොත් රිසානාට කළා සේ අර සේවිකාවගේ හිස ගසා දමනු ලැබේ. එතනදී ඈ මුස්ලිම් ද නැද්ද යන්න සළකා බැලීමක් නැත. අනික එහෙම හිස් ගැසුම් කෑවත් හැදු වැඩු අම්මා අප්පා වත් ඒක වැරදියි කියන්නේ නැත. මේ එම සමාජයේ හැටි ය. ඒක අපට කෙසේ වෙතත් ඔවුන්ට නම් වරදක් නොවනවා වන්නට ඇත.

එබැවින් ඩිලානිට ඇත්තේ, ඔය ලැබුණේ සුල්තාන්ව බැන්දා නම් වෙන්නට තිබුණු ටිකේ රිහර්සල් එකක් යයි හිතා හිත හදා ගැනීමයි. කොහොමත් නියම ෂෝ එකට පෙර රිහර්සල් කිරීම නළඟනක් වන ඇයට අමුත්තක් වන්නට බැරිය. එබැවින් මෙතනින් එහාට මේ "ෂෝ" එක යන්නේ කොතැනටදැයි තීරණය කිරීම අපේ නොව, ඇගේ තීරණයකි.

අවසානයේ අපේ පොලිසිය ගැනද යමක් කිව යුතුය. පොලිසිය නිසා හිත රිදීමට ලක් වූ ඩිලානි, මහ මග හිඟන්නියක් සේ පණ අදින විට, දෛවයේ සරදමකට මෙන්,  ඈ රෝහලට ගෙන ගොස් ඇගේ ජීවිතය ගළවා ගත්තේද පොලිසිය විසින්මය. ඒ අතින් ගත් කළ මේ කතාව "නාගීනා" ට ද වඩා හොඳය. නාගීනා ඔරිජිනල් එකේ වත් මේ තරම් චරිත පරිවර්තන තිබුණේ නැත; විටෙක ඇය චතුරව හින්දි බව හසුරවන ඉන්දීය ගැමි කෙල්ලකි. විටෙක ඇය දුප්පත් සිංහල බෞද්ධ පවුලක බාල දියණියකි. විටෙක ඇය, ඔබට මට, හැමදාම හමුවන, නුවර සාප්පුවක ෂොප් ගර්ල් කෙනෙකි. විටෙක ඇය ඉරාන ජාතික නයි නටවන පියෙකුගේ දුවකි. නයින් සමග සාංසාරික බැඳීමක් ඇති අමුතුම කෙල්ලකි. නයින් සමග මිත්‍ර වීමට මතු නොව, උන් කියන දේ තේරුම් ගැනීමට පවා හැකි කෙල්ලකි. තවත් විටෙක ඇය සිය ඉරාන ජාතික මුස්ලිම් පෙම්වතාගෙන් බැට කන මධ්‍යකාලීන ඉස්ලාමික පීඩිත යුවතියකි. එහෙත් ඒ සමගම තමාට සහ තම නයි සුරතලාට කළ හිංසාවට එරෙහිව උසාවි යන්නට පවා ශක්තියක් ඇති විප්ලවකාරියකි.

එහෙත් අපේ සමාජය නම් හැමදාමත් ඈ දකිනු ඇත්තේ කොළඹ සුපිරි ක්ලබ් එකක නයින් සමග රැඟුම්පාන නයි නළඟනක් ලෙසය.