logo banner
Showing posts with label පාප් වහන්සේ. Show all posts
Showing posts with label පාප් වහන්සේ. Show all posts

Thursday, May 16, 2013

පාප්තුමන් සහ අලුත් සාන්තුවරු | Pope and the New Saints

විශේෂ සටහන: පාඨක අදහසක් අනුව, මේ කතාවට ම අදාළ, Dan Brown සහ මොනාලීසා ගැන කතාව, වෙනම ම ලිපියක් ලෙස, වඩා සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත. මන්දයත් මොනාලිසා සහ පල්ලිය ගැන කියන්නට සෑහෙන දිග විස්තරයක් ඇති බැවිනි. 

මෙතෙක් කතාව

XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ හදිසි සහ අනපේක්ෂිත ඉල්ලා අස්වීම පිටුපස ඇති ප්‍රසිද්ධ රහසක් ගැන අපි මීට පෙර ලිපියකින් සාක්‍ෂි සහිතව කරුණු ගෙන හැර දැක්වුයෙමු. ඒ අනුව වතිකානුව යනු තව දුරටත් ශුද්ධ වූ පූජ්‍ය නගරයක් නොව, (ශුද්ධවන්තයන් අතර) ළමා අපචාරකයන්, සමලිංගික ගණිකා වෙළෙන්දන් සහ පිම්පියන් ද වෙසෙන නගරයක් බවට අපි කරුණු ගෙන හැර දැක්වීමු.



සටහන: මේ කිසිවක් අප පවසන්නේ කිසිදු ආගමකට අපහාස කරනු පිණිස නොවන බව කාරුණිකව සළකන්න. කුණු ඇත්තේ පන්සලේ ද, කතෝලික පල්ලියේ ද, ජම්මියතුල් උලමාවේද යන්න අපට අදාළ නැත. කුණ කොහේ තිබුණත් කුණ මැයි.

බෙනඩික්ට් පාප් වහන්සේ ගෙන් අනතුරුව එම තනතුරට තෝරා පත් කරගනු ලැබුයේ ආජන්ටීනු කාදිනල් ජෝර්ජ් මාරියෝ බෙර්ගොග්ලියෝ පියනමය. මෙය ද හිටපු පාප් තුමන්ගේ නික්මයාම මෙන්ම අනපේක්ෂිත සිද්ධියකි. මන්දයත් ජෝර්ජ් මාරියෝ පියනම, පාප් ධුරයට පත්වීමට ඉඩ ඇති කාදිනල් වරුන් ලෙස සාමාන්‍ය ජනයා සිතා සිටි ලයිස්තුවේ වත්, වතිකානු විශේෂඥයන් විසින් අනුමාන කරන ලද පිරිස අතර වත් නොසිටි "සෙවණැලි" චරිතයක් බැවිනි.



මේ ගැන අදහස් දක්වන වියානාවේ අගරදගුරු කාදිනල් Christoph Schönborn, "Telegraph" පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබුණේ "මේ තීරණය ගැනීමට දිව්‍යමය හේතු සාධක බලපෑ" බවයි. මේ ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ, කාදිනල් ක්‍රිස්ටෝෆ් තෙමේ ද, මීළඟ පාප් ධුරයට පත්වීමට වඩාත්ම ඉඩ තිබුණු කිහිප දෙනාගෙන් කෙනෙකු වීම නිසා ය.

මේ හැර, වැදගත්ම සාධකයක් වන්නේ, බෙනඩික්ට් පාප්තුමන් "සාම්ප්‍රදායිකයන්ගේත් සාම්ප්‍රදායිකයකු" වන විට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාම "නූතනවාදී" අයෙකු ලෙස නමක් දිනා සිටීමයි.

ඉස්ලාම් විරෝධී සාන්තුවරු

වැදගත්ම සිද්ධිය වන්නේ අභිනව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කරන ලද ඊළඟ වීර ක්‍රියාවයි. එනම්, එතෙක් මෙතෙක් රෝමානු කතෝලික සභාවේ කරන ලද විශාලම ශුද්ධවරයට ඔසොවා තැබීම සිදු කරනු ලැබීමයි. ඒ අනුව පසුගිය 12 වන ඉරුදින සාන්ත පේදුරු චතුරශ්‍රයේ දී, අභිනව පාප් තුමෝ එකවර 800 දෙනෙක් සාන්තුවර තත්ත්වයට හෙවත් ශුද්ධවරයට ඔසොවා තැබුහ.

ශුද්ධවරයට ඔසොවා තැබීම යන්නෙන් අදහස් වනුයේ යම් පුද්ගලයකු සාන්තුවරයකු ලෙස හැඳින්වීමයි. සාන්ත අන්තෝනි, සාන්ත පීතර, සාන්ත ජෝසප් ආදී වශයෙන් හැඳින්වෙන්නේ ඔවුන් ය. සාමාන්‍යයෙන් සාන්තුවර තත්වයට කෙනෙකු නම් කරන්නේ ජීවිත කාලයක් මුළුල්ලේ පැවති අචල දේව භක්තිය කරණකොට ගෙන, ඔහු හෝ ඇය හට යම් අධිමානුෂික දිව්‍යමය බලයක් ඇතැයි සනාථ කෙරේ නම් ය. සාමාන්‍යයෙන් බැතිමතෙකු සිය ජීවිතයම දේව කාරිය වෙනුවෙන් කැපකළ විට, ඔහු හෝ ඇය ස්වර්ගස්ථ වූ පසුව, මුලින්ම භාග්‍යවරයට ඔසොවා තබනු ලැබේ. මෙය, සාන්තුවරයකු / වරියක ලෙස තෝරා ගැනීමට සුදුසු කම් ලැබීමක් හා සමාන ය.

මේ කතාව වඩාත් පැහැදිලි වීම සඳහා අපේ අසල්වැසි ඉන්දියාවේ අසරණයින් වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළ තෙරේසා මවුතුමිය සලකමු. ඇගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව, ඇය භාග්‍යවරයට ඔසොවා තබනු ලැබීය. මෙය සාන්තුවර මට්ටමට වඩා එකක් පහළින් සිටින්නේ යැයි අපට කිව හැකි ය. භාග්‍යවරයෙන් සාන්තුවරයට ඔසොවා තැබීමට නම්, අදාළ බැතිමතාගේ නාමයට හාස්කම් බලපැවැත්විය හැකි අධිමානුෂික බලයක් පැවතිය යුතුය. සිය ජීවිතයම අසරණයින් හට අඩුම ගණනේ සුන්දර මරණයක් ලබා දෙන්නට කැපකළ ඇය ද, අදටත් හැඳින්වෙන්නේ "Mother Teresa" හෙවත් තෙරේසා මවුතුමිය ලෙස මිස, සාන්ත තෙරේසා ලෙස නොවේ.

එසේනම් මේ හිටිහැටියේම ආලිප්ත කරනු ලැබූ අලුත් සාන්තුවරු කවරහු ද?

මේ පිරිස සියල්ලෝ ම ඉතාලි ජාතිකයෝ වෙති; ගණනින් හරියටම 813 දෙනෙකි. ඔවුන් ඉතිහාසයේ හැඳින්වෙන්නේ "Martyrs of Otranto" හෙවත් "ඔට්රන්ටෝ හි ජීවිත පූජා කළවුන්" ලෙස ය. මේ පිරිස දිවි දුන්නේ 1840 දී තුර්කියේ ඉස්ලාමික සේනාව විසින් කිතුණුවතට එරෙහිව කරන ලද ආක්‍රමණයේ දී ය. ඉස්ලාමයට හැරීම හෝ හිස්ගැසුම් කෑම යන දෙකෙන් එකක් තෝරාගන්නට කී විට, ආගම පාවාදෙනවාට වඩා හිස්ගැසුම් කෑම අගනේ යැයි සිය කැමැත්තෙන් මරණය තෝරාගත් පිරිසකි, ඒ.

මේ අතර බොහෝ දෙනා නොදන්නා කරුණක් ද තිබේ. එනම්, මේ පිරිස සාන්තුවරුන් ලෙස නම් කෙළේ අලුතින් පත් වූ ෆ්‍රැන්සිස් පාප් තුමන් වුණත්, ඔවුන් හට සාන්තුවරදානය ලබා දීමට තීරණය කෙළේ, ඉල්ලා අස්වූ බෙනඩික්ට් පාප් වහන්සේ බවයි.

පාප් වහන්සේගේ දෙපා සේදීම

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය තෝරා ගැනීමෙන් පසුව කළ ඓතිහාසික සිද්ධියකින් ම මේ කතාව ඇරඹිය හැකි ය. එනම් මුළු කතෝලික පල්ලියේ ඉතිහාසයේම නොවූ විරු ලෙස, මුසල්මානු සිරකාරිනියක ගේ දෙපා සේදීමෙනි. 



(දෙපා සේදීම ගැන මෙතනින් බලන්න.)

මහ සිකුරාදා ගැන බොහෝ දෙනා දනිතත්, මහ බ්‍රහස්පතින්දා ගැන දන්නේ කිතුණු නොවන සමාජයෙන් අල්පතරයකි. මහ සිකුරාදාට යෙදෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උකුත් වීමට පෙර, අවසන් භෝජන සංග්‍රහයට පසුව, උන් වහන්සේ සිය අනුගාමිකයන් ගේ දෙපා සේදු බව බයිබලයේ ශුභාරංචි වල සඳහන් වේ. 

මේ සිද්ධිය සංකේතවත් කරමින් අද ද, මහ බ්‍රහස්පතින්දා රාත්‍රී දේව මෙහෙයේ දී, පල්ලියේ පියනම විසින් චාරිත්‍රානුකූලව බැතිමතුන් දොළොස් දෙනෙකුගේ දෙපා දෝවනය කිරීම කරනු ලැබේ. සාමාන්‍ය දියෝකීසි වල මේ සඳහා බැතිමතුන් තොර ගත්තත්, බටහිර ඉහළ මට්ටමේ පල්ලි වල මේ සඳහා තෝරා ගන්නේ සිර කරුවන් හෝ රෝගීන් ය. 

පාප් වහන්සේ කෙනෙකු විසින් චාරිත්‍රානුකූලව ඉතාලි සිර ගෙදරක සිරකරුවන් ගේ දෙපා සේදීම මහ දෙයක් නොවේ. එහෙත් මෙහි වැදගත්ම සහ ආන්දෝලනාත්මක ම සිද්ධිය වන්නේ, සම්ප්‍රදායට එකහෙළා පිටුපාමින්, උන් වහන්සේ ඒ සඳහා කාන්තාවක් ද තෝරා ගැනීමයි. (ජේසු තුමන්ගේ අපොස්තුලුක වරුන් අතර කාන්තාවන් සිටියේ නැත.) දෙවැන්න සහ අරිටත් වඩා වැදගත් සිද්ධිය වන්නේ මේ කාන්තාව සර්බියානු ඉස්ලාමික සිරකාරිනියක වීමයි. සාම්ප්‍රදායික දැඩි මතධර කතෝලිකයන් හුස්ම ඉහළට ඇදගෙන බලා සිටි මේ සිද්ධිය, මාධ්‍ය විසින් ඉතාම පුළුල් ප්‍රචාරයක් දෙමින් වාර්තා කළ බව ද කිව යුතුය. 

මේ සිද්ධිය බොහෝ විචාරකයන් විසින් නොඑකුත් ආකාරයට අරුත් ගන්වන්නට යෙදුණු සිද්ධියකි. පිරිසක් මෙය ඉස්ලාම් ම්ලේච්ඡත්වයට එරෙහිව පාප් තුමන් පෙනී සිටීමේ සංකේතයක් ලෙස දැක්වුහ. තවත් පිරිසක් මෙය පාප් තුමන්ගේ නූතනත්වයට උදාහරණ ලෙස දැක්වූ හ. තවත් සමහරු මේ සිද්ධිය විවේචනයට ද ඉදිරිපත් වූ හ.

එහෙත් මේ සිද්ධියෙන් ඉහළම වාසිය නෙළා ගත්තේ කොහෙවත් ඉන්නා පිරිසකි. වචනයෙන්ම කියන්නේ නම් Dan Brown පාඨකයෝ ය. 


  

මෙතනින් කොයිබට ද?

මෑත කාලයේ ඉස්ලාමික අන්තවාදයට එරෙහිව ලොව පුරා රැල්ලක් ගොඩ නැගෙමින් පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. එහිදී කතෝලික පල්ලිය දරන්නේ කවර ආස්ථානයක් ද යන්න වැදගත් වන්නේ, ලෝකයේ බලවත්ම ආගමික පාර්ශ්වයක් ඔවුන් මගින් නියෝජනය කිරීමයි. ඉස්ලාමික-කතෝලික සම්බන්ධතා පැත්තෙන් ගත්කළ, ඉස්ලාමයට එරෙහිව දිවි දුන් මිනිසුන් ශුද්ධවන්තයන් සේ නම් කෙරෙන, නව පාප්තුමන්ගේ මේ වරදානය, ඉස්ලාමික ආක්‍රමණ වාදයට එල්ල කළ කණේ පහරකි. නිකම්ම නිකම් කණේ පහරක් නොව, වට දෙක තුනක් කරකැවී වැටෙන්නට තරම් ප්‍රබල කණේ පහරකි. පාප්තුමන් කිහිප විටක්ම දැඩි මතධාරී ඉස්ලාමික කල්ලි විවේචනය කරන සුළු ප්‍රකාශන නිකුත් කොට තිබෙන අතර, කෙළින් කතා කරන කෙනෙකු වීම නිසා දැනටම අන්තවාදී ඉස්ලාමික ලෝකය තුළ සෑහෙන සතුරන් ගණනක් ද නිර්මාණය කරගෙන තිබෙන චරිතයකි. එසේ හෙයින් මේ අවස්ථාවේදී සම්ප්‍රදායික කිතුණු පාර්ශ්ව වල සහය එතුමන් දිනා නොගන්නේ නම්, එතුමාගේ දේශපාලන බලය සෑහෙන මට්ටමකට දුර්වල වන බවද අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

මූලාශ්‍ර


1. "Pope Francis gives church hundreds of new saints", USA today, May 12, 2013
2. "A saint-making record is also a diplomatic headache for Pope Francis"— World News on NBC News, May 12, 2013
3. "Pope washes feet of young Muslim woman prisoner", The Telegraph, May 14, 2013

Tuesday, May 14, 2013

පාප් වහන්සේ ඉල්ලා අස්වුණේ ඇයි? | Why the Pope Resigned

මේ වසරේ සිදු වූ ලෝක ආගමික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධීන් අතරින් ඉහළම වැදගත්කම ඇති සිද්ධිය කුමක්දැයි විමසුවහොත්, ඊට අවිවාදයෙන්ම දිය හැකි එකම පිළිතුර වන්නේ, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම යන්නයි. මේ සිද්ධියේ ඇති බරපතළකම වටහා ගනු පිණිස අපි කෙටි පෙරදැක්මකට යොමුවෙමු.


පාප් වහන්සේ යනු කවරෙක් ද?

පාප් වහන්සේ යනු කතෝලික ලෝකයෙහි ආගමික නායකයාණෝ වෙති. ලොව වැඩිම පිරිසක් විශ්වාස කරන ආගමක නායකයකු ලෙස, මිහිපිට සිටින බලවත්ම ධුරයක් හෙබවීමේ වරම රෝමානු බැසිලිකාවේ අගරදගුරු ධුරය හෙවත් පාප් ධුරය හොබවන කෙනෙකුට හිමි වේ. 

සාමාන්‍යයෙන් මේ ධුරය සඳහා තොර ගනු ලබන කාදිනල් වරයා හොඳ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්වයෙන් ද පසුවිය යුතු අතර, භාෂා ඥානය, දේවධර්ම ඥානය, ජ්‍යෙෂ්ටත්වය වැනි සාධක රාශියක් ඒ සඳහා බලපායි. (පාප් වහන්සේ ඉල්ලා අස්වූ විට ඊළඟ පාප් වහන්සේ අපෙන් පත් වේ යයි සිහින මැවූ පිරිස් ද මේ කොදිව්වේ වූ බව අපි ඔබට සිහිපත් කරන්නෙමු.)

බෙනඩික්ට් පාප් වහන්සේ යනු කවරෙක් ද?

වර්ෂ 1927 අප්‍රියෙල් මස 16 වන දින Joseph Aloisius Ratzinger නමින් ජර්මනියේ බැවේරියාවේ මාර්ක්ල් හිදී පොලිස් නිලධරයකුට දා ව උපත ලද බෙනඩික්ට් පාප් තුමෝ, එම ධුරය හෙබවූ නවවන ජර්මානු කාදිනල්වරයා වෙති. එමෙන්ම පාප් ධුරයට තෝරාගන්නා විට වයසින් වසර 78ක් වූ එතුමෝ, 1730 දී XII වන ක්ලෙමන්ට් පාප්තුමන් ගෙන් පසුව තෝරා පත්කරගන්නා ලද වයෝවෘද්ධම පාප් වරයාණෝ ද වෙති. VIII වන පියුස් (1829-30) පාප් වහන්සේගෙන් අනතුරුව, පාප් ධුරයට තෝරා ගන්නා ලද එකම කාදිනල් බිෂොප් වරයා සේ ම, වසර 600කින් මෙහා සිය ජීවිත කාලය තුළදී ඉල්ලා අස්වූ එකම පාප්වරයාණෝ ද වෙති. [මීට පෙර අවසන් වතාවට පාප් වහන්සේ කෙනෙකු ඉල්ලා අස්වූයේ වර්ෂ 1415 දී ය. ඒ XII වන ග්‍රෙගරි පාප් වහන්සේ ය.]


ඉතිහාසයෙන් පිටුවක්

බෙනඩික්ට් කාදිනල් තුමන්, වතිකානුව තුළ සිටි සාම්ප්‍රදායික අන්තය දැඩි ව නියෝජනය කළ අයෙකු බව කවුරුත් දන්නා කරුණකි. Catholic Times සඟරාව එතුමන් හැඳින්වුයේ "සාම්ප්‍රදායිකයන්ගේත් සාම්ප්‍රදායිකයකු" ලෙස ය. කොටින්ම වතිකානුව තුළ දෛනික යාඥාවන් සියල්ල ලතින් බසින් කිරීමට ද බෙනඩික්ට් කාදිනල් තුමා වරක් යෝජනා කෙළේ ය. මෙවැනි සමහර ක්‍රියා මාර්ග, වතිකානුව තුළ සිටි සමහර පාර්ශ්ව වල විවේචනයට බඳුන් වූ අවස්ථා ද විය. "ඔහුගේ ධුර කාලය එහෙම පිටින්ම විනාසයක්" යයි පාප් ධුරය පිලිබඳ අදහස් දක්වන බ්‍රිතාන්‍ය ඉතිහාසඥ Michael Walsh වරක් කී ය. 

එහෙත් හිටපු පාප් වහන්සේ ගේ විශ්වාසවන්තම උපදේශකයා ලෙස, වතිකානුව තුළ එතුමන් හට සැහෙන බලයක් තිබුණු බව ද නොරහසකි. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ අභාවයෙන් අනතුරුව, තමන්ට වඩා ජ්‍යෙෂ්ට කැමර්ලෙඥ්ඥෝ ධුරධාරියා සිටියදී, නව පාප් තුමන් තෝරා ගැනීමේ කාරිය සහමුලින්ම අධීක්ෂණය කළේ ඔහු බව බොහෝ දෙනාට මතක තිබිය යුතුය. 

එසේනම්, මේ "සාම්ප්‍රදායිකයන්ගෙත් සාම්ප්‍රදායිකයා", සියලු සම්ප්‍රදාය පසෙක ලා ඉල්ලා අස්වන්නට තීරණය කෙළේ ඇයි? 

වතිකානුවේ සොරකම

මේ සිද්ධියට ආසන්නම මූල බීජය වැටෙන්නේ වතිකානුව සතු රහස්‍ය ලේඛන එකතුවක් 2012 ඔක්තෝබර් මස දී හදිසියේම අතුරුදන් වීමත් සමග ය [1]. වතිකානුව යනු ලෝකයේ කුඩාම රාජ්‍යය වූවාට, එය ලෝකයේ විශාලම පුස්තකාල සහ ලේඛනාගාර වලින් සමන්විත නගරයක් වන අතර, ශතවර්ෂ ගණනාවක් තිස්සේ කතෝලික ඉතිහාසයට අදාළ ලිපිලේඛන ලක්ෂ ගණනක් ඔවුන් සතුව ඇත. එසේම ඒවායින් බහුතරයක් මානව ඉතිහාසය හා බැඳුණු වැදගත් සිද්ධි හා සම්බන්ධ ද වේ. එබැවින් වතිකානුවෙන් ලිපි ලේඛන සොරකමක් වාර්තා වන්නේ ය යන්න, පෙන්ටගනයෙන් සොරකමක් වාර්තා වූවාට ද වඩා බරපතළ ය. 

මේ සිද්ධිය ගැන වතිකානුවේ ඉහළම මට්ටමින් නොපමාව පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහි වාර්තාවට කිමෙක් වුයේ ද යන්න මෑතක් වන තුරු මාධ්‍යයට දැනගන්නට ලැබුණේ නැත. එහෙත් අවසානයේ ඉතාලියේ "ලා රිපබ්ලිකා" පුවත්පත වාර්තා කරන පරිදි, මේ සොරකම ගැන කාදිනල් වරුන් තිදෙනෙකු විසින් [2] පවත්වන්නට යෙදුණු පරීක්ෂණයක, පිටු 300ක අතිදීර්ඝ වාර්තාවක්, 2012 දෙසැම්බර් මස 17 වන දින බෙනඩික්ට් පාප් වහන්සේ හට ලබා දී තිබේ. 

මේ දිනය අතිශයින්ම වැදගත් ය. මන්ද පාප් වහන්සේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කොට පළමු අභ්‍යන්තර නිවේදනය නිකුත් කෙළේ ද එදාම බැවිනි. පාප් වහන්සේට ධුරය එපා කරවන්නට තරම් මේ වාර්තාවේ තිබුණේ මොනවා ද? 

සමලිංගික වාර්තාව

වාර්තාව සම්පූර්ණයෙන් මාධ්‍ය වෙත නිදහස් කොට නැති වුවත්, ඒ ගැන මෙතෙක් හෙළිදරව් වී ඇති දේ අනුව, මාතෘකාවෙන් කියවෙන කාරණාව ගැන නම් දැන් වන විට කිසිදු සැකයක් නැත. එනම් වතිකානුව තුළ, සමලිංගික සේවනයට ඇබ්බැහි වූ කාදිනල් වරුන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. භක්තිමත් කතෝලිකයන් හට මේ ආරංචිය හද සසල කරවන්නක් විය හැකි වුවත්, ඒ ගැන දැන් වන විට කිසිදු සැකයකින් තොරව එකඟ වීමට දැඩි මතධාරී බටහිර මාධ්‍ය වලට ද සිදු වී තිබේ.

පළමුව, මේ වාර්තාව ලැබුණාය කියන දෙසැම්බර් 17 වනදාට දින කිහිපයකට පසු, සමලිංගික විවාහ සහ සම්බන්ධතා විවේචනය කරමින් පාප් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ආවේගාත්මක කථාව සිහිපත් කළ යුතුය. 

දෙවනුව, මේ වාර්තාවට අනුව මෙකී සමලිංගික පාර්ශ්වකරුවන් නිතර මුණගැසෙන්නේ යැයි කියන රෝමයට ආසන්න නගරයක සමාජ ශාලාවක් ගැන කියැවේ. පුදුමයට කරුණ නම් මීට වසර කිහිපයකට පෙර, ඉහළ පෙළේ කාදිනල් වරුන් සමලිංගික පිරිමි ගණිකාවන් සමග ආශ්‍රය කරන බවට වාර්තාවක් ලියු ලේඛකයෙක් ද සිය ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මේ සමාජ ශාලාව ගැන ම වීමයි. 

තෙවනුව, සාමාන්‍යයෙන් මාධ්‍ය නිවේදන කෙරෙහි ඉතා සැළකිලිමත් වන වතිකානුව, මේ වාර්තාව ගැන කියන පරස්පර විරෝධී ප්‍රකාශයි. එමෙන්ම මේ සිද්ධියේදී "හොරාට කලින් කෙහෙල්කැන වැට පනින්නා සේ", නිකුත් වූ සමහර මාධ්‍ය ප්‍රකාශ ගැන ද දැන් අපට පැහැදිලි වැටහීමක් ලබා ගත හැක. උදාහරණයක් ලෙස, පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීමේ තීරණය ගැන කියන විට, වතිකානු මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමන්, ඊට කිසි සේත් සම්බන්ධයක් නැති "බාහිර බලපෑම්" ගැන කීවේ මන්දැයි බොහෝ මාධ්‍ය විපිළිසර ව උන් හ. (උපුටනය: "පාප් වහන්සේ මේ තීරණය ගත්තේ උන් වහන්සේගේ සිය කැමැත්තෙන්ම, හොඳ මානසික තත්වයකින් මයි; කිසිදු බාහිර බලපෑමකින් නොවෙයි") 

එහෙත් "වතිකානුව තුළ වෙසෙන සමහර කාදිනල් වරු, සිය සමලිංගික සහකරුවන් ගේ අල්ලේ නැටවෙන මට්ටමේ සිටින බව" ලා රිපබ්ලිකා පුවත්පත වාර්තා කළ විට, වතිකානු මාධ්‍ය ප්‍රකාශක පියතුමන් කියා සිටියේ "තමා එවැනි බාහිර බලපෑම් ඇති බව තහවුරු කරන්නේවත්, ප්‍රතික්ෂේප කරන්නේ වත් නැති" බවකි. 

එසේම මෙකී රහස් වාර්තාවට අනුව මේ පලහිලවු වලට පැටලී සිටින්නේ පහළ මට්ටමේ පිරිස් පමණක් නොවන බව, ඕස්ට්‍රේලියානු කාදිනල් Pell පියතුමන් කරන පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. "වාර්තාවේ ඇත්තේ මොනවාදැයි මා දන්නේ නැහැ, නමුත් වතිකානු ධුරාවලිය තුළ සැළකිය යුතු වෙනස්කම් රාශියක් සිද්ද විය යුතුයි කියන දේ නම් පැහැදිලියි."



පාප් වහන්සේ ගේ ප්‍රතිචාර

සමහර මඩ පත්තර කලාවේ යෙදෙන ටැබ්ලොයිඩ් සඟරා හැරෙන්නට, අන් සියලු මාධ්‍ය, එකඟ වන එක කරුණක් තිබේ. එනම් පාප් වහන්සේ ඉල්ලා අස්වූයේ කළකිරීම මත මිස, සිය චරිතයේ වරදක් නිසා නොවන බවයි. වතිකානුව ගැන බොහෝ දේ ලියා ඇති La Stampa හි Marco Tosatti මෙසේ කියයි: "කාදිනල් තුමා වසර විසිපහක් තිස්සේ වතිකානුවෙන් සමලිංගික සේවක පූජකයන් එළවා දමන්නට, පූජකයන් හික්මවන්නට උත්සාහ කළ අයෙක්. පාප් ධුරයට පත්ව වසර අටකුත් ඔහුට ඒ දේ කරන්නට වුණා. කොටින්ම කියන්නේ නම් ඔහු දකින්න තියෙන හැමදේම දැකපු අයෙක්. ලෝකයේ ඕනෑම අහුමුල්ලක දකින්නට ලැබෙන කුණු ගොඩවල්, වතිකානු බැසිලිකාව ඇතුළෙත් තියෙන බව දැනගත්තාම (එතුමාගේ වචනයෙන් කියන්නේ නම්, හැම ජාතියෙම මාළු මෙහෙත් ඉන්න බව දැනගත්තාම) එතුමාට හැමදේම එපා වුණාය කියල හිතන්න බැරි නැහැ."

[සටහන: ABC ප්‍රවෘත්ති අනුව, කතෝලික පල්ලියේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම පූජකයන් ගණනක් එළවා දැමු පාප් වහන්සේ වන්නේ බෙනඩික්ට් පාප් වහන්සේ ය. ඒ මාසයකට දෙදෙනෙක් හෙවත් සමස්ත පූජක ප්‍රජාවෙන් ~2% කි.] [3]

මීට කලකට පෙර සිදු වූ ළමා අපචාර සිද්ධියේදී අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් කතා කරන්නට, ඔවුන් ගේ සැප දුක හොයනු පිණිස සහ ඔවුන්ගේ මානසික තත්වය යළි නගා සිටුවනු පිණිස සිය පුද්ගලික කාලය පවා කැපකළ අයෙකි, බෙනඩික්ට් පාප් වහන්සේ. එහෙත් වතිකානුව තුළ ක්‍රියාත්මක වූ යම් පාර්ශ්ව වල බලපෑම සහ අකුල් හෙළීම නිසා ඒ ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන්නට උන් වහන්සේ ට නොහැකි වූ බව ද රහසක් නොවේ.

අන්‍ය මත

කෙසේ වෙතත් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම සහ මෙකී වාර්තාව අතර සම්බන්ධය ගැන සෑම දෙනෙක්ම එක සේ එකඟ වන්නේ නොවේ. උන් වහන්සේ ගේ ජීවිත කතාව ලියු මාධ්‍යවේදී David Gibson පවසන්නේ මෙසේ ය: "පැහැදිලිවම, උන් වහන්සේ ගේ ඉල්ලා අස්වීම කරුණු රාශියක බලපෑමෙන් සිදු වූ දෙයක්. ඉන් බහුතරය වතිකානුව තුළ පවතින අභ්‍යන්තර ගැටළු හා සම්බන්ධයි. මේ කියන ලිංගික විෂමාචාර වුණත් එහි කොටසක් පමණයි. මා හිතන්නේ නෑ එය උන් වහන්සේගේ ඉල්ලා අස්වීමට එකම හේතුව තබා අඩුම තරමේ ප්‍රධාන හේතුව කියා වත්." [4]

පාදක සටහන්

[1]. This so-called “Vatileaks” scandal involves the pontiff’s former butler, Paolo Gabriele. Gabriele was arrested in May for stealing and leaking papal correspondence to the press.

[2]. The report was prepared by Spanish Cardinal Julián Herranz, Slovak Cardinal Jozef Tomko and Cardinal Salvatore De Giorgi, a former archbishop of Palermo.

[3]. Pope Benedict oversaw the highest rate of removal of bishops for sexual misconduct ever recorded by the Catholic Church, the ABC's religion unit has revealed. The former pontiff removed at least one bishop a month, accounting for 2 per cent of the world's bishops. The list obtained by the ABC's Religion Unit includes 50 bishops who lost their jobs over breaches of celibacy or alleged sexual assaults. Forty per cent of those bishops were forced to resign after having sexual relations with women - and many fathered children. A significant number were accused of rape, sexual assault and sexual abuse of minors. Relations with men, including other members of the clergy, make up the rest of the list.

[3]. "Benedict’s resignation was most certainly the result of numerous factors, mainly revolving around the internal problems of the Vatican, of which sexual shenanigans were likely one — but hardly the only one, or even the principal one,” Gibson wrote in his online blog.

මූලාශ්‍ර

1. "Why did the Pope resign?", Daily Nation, May 14,  2013
3. "Did gays in the Vatican drive Benedict out?", Sacred and Profane, Feb 22, 2013
4. "Pope Benedict's resignation linked to gay conclave", Daily News World, Feb 22, 2013
5. "Pope Benedict XVI's resignation explained", CNN News, Feb 28, 2013