logo banner
Showing posts with label නාථ. Show all posts
Showing posts with label නාථ. Show all posts

Monday, February 25, 2013

නාථ සහ ආසනික් (Natha God & Arsenic)

පූර්විකාව

පසුගිය දිනවල හොට්ම හොට් මාතෘකාවක් ව තිබුණේ රජරට වකුගඩු රෝගය ය. ඊටත් වඩා එම රෝගයට හේතුව ලෙස අපේ සමහර මහාචාර්ය වරුන් විසින් ගෙන හැර දැක්වූ සුන්දර සුරංගනා කතා ය. 

මේ ගැන අප කියනවාට වඩා එවැනි එක මහාචාර්ය වරයකු කියන ප්‍රකාශයක් මෙහි ගෙන හැර දැක්වීම වඩා ප්‍රයෝගිකයයි සිතමු.

"රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ය. මම ඔවුන් කවුරුන් දැයි නමින් හැරෙන්නට නො දනිමි. ඔවුන් සමග මගේ ඍජු සම්බන්ධයක් ද නැත. ඔවුන් සමග මගේ සියයට සියයක පෑහීමක් ද නැත. එහෙත් ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත. ඒ මෙන්ම මට නොහැකි වුව ද ආධ්‍යාත්මික ව දියුණු අයට (පාරමී දම් පුරා ඇති අයට) දෙවියන් ගෙන් බඹුන් ගෙන් නාගයන් ගෙන් දැනුම ලබා ගත හැකි බවට ද මට කිසිම සැකයක් නැත. 


රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව ද, ආසනික් එකතු වන්නේ කෘමිනාශක ඔස්සේ බව ද රජරට ප්‍රදේශවල ජලයේ කිවුල් බව හා පසෙහි ස්වභාවය එයාට බලපාන බව ද දෙවියෝ අපට කියා දුන් හ. අපි ඒ අනුව රසායන විද්‍යාවෙහි කළ හැකි පර්යේෂණ කළෙමු. මා අවුරුද්දකට මඳක් වැඩි කාලයක් කැලණියෙහි සේවා දිගුවක් ලබා ගත්තේ ද මේ පර්යේෂණ සඳහා අවශ්‍ය නිල ශක්තිය ලබා දීමට ය. අප ඒ පර්යේෂණ කළේ තමන් බටහිර විද්‍යාඥයන් යයි සිතා සිටින නිවට පුස්සන් ගේ බලවත් විරෝධතාව මධ්‍යයෙහි ය."

උපුටා ගැනීම නලින් ද සිල්වා, 2012 ජනවාරි 29, "බටහිර විද්‍යාව, ආසනික් සහ දෙවියෝ, විසිදුණු ප්‍රකාශන, ISBN 978-955-0955-09-1.

මේ කතාවෙන් ගම්‍ය වන කරුණු කීපයක්ම ඇතත් අප ඉන් වැදගත්ම කරුණු ටික මෙහි සාරාංශ කොට දක්වමු:

1. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් වේ.
2. ආසනික් එකතු වන්නේ කෘමිනාශක ඔස්සේ ය.
3. එසේ කියා ඇත්තේ "නාථ" සහ "විපස්සක" ලෙස හඳුන්වා ගන්නා ලද "දෙවිවරු" පිරිසකි. (සැ.යු. යකුන්, භූතයන්, ප්‍රේතයන් නොවේ. කෙළින්ම දෙවිවරුය. මෙය අපට පසුවට ඉතාම වැදගත් වේ.)
4. නමුත් එසේ කියා ඇත්තේ මහාචාර්ය තුමාට නොවේ. එතුමාට එවැනි ආධ්‍යාත්මික දියුණුවක් නැත.
5. එසේ කියා ඇත්තේ වෙන කාට හරි ය. මහාචාර්ය තුමා ඒ සමග ඍජු සම්බන්ධයක් නැත.
6. එසේ වුවත් එතුමා ඒ මතය ආරක්ෂා කිරීමට පමණක් නොව, ඒ වෙනුවෙන් සිය ධුර කාලය දික් කර ගැනීමට වුවද සූදානම් ය.
7. ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට යයි සහතික දීමට ද එතුමා ප්‍රමාද නොවේ. 


මේ මාතෘකාව එක ලිපියකින් කතා කොට අවසාන කළ හැකි එකක් නොවේ. එබැවින් අපි මේ ගවේෂණය පියවරෙන් පියවර ඉදිරියට කරගෙන යාමට තීරණය කළෙමු. එබැවින් එහි මූලික පියවරක් ලෙස හෙට දින, එනම් පොහොය දින, තහනම් වචන නියෝජිතයෙකු මාලබේ බලා පිටත් වනු ඇත. මාලබේ පිට්ටුගල ආසන්නයේ ඇති, "වේද ගෙදර" නමින් දන්නා තැනක, එක්තරා තැනැත්තියක් අධිමානසික බලයෙන් ලෙඩ හොඳ කරන බවත්, රජරට ජලයේ ආසනික් ඇති බව කියා ඇත්තේ එම තැනැත්තිය බවත් අපට ආරංචි වූ නිසාය. 




එම මූලික ගවේෂණය පල දරන තුරු අපි නලින් මහතා ගැනද යමක් කිව යුතුය.

නලින් ඩි සිල්වා යනු මෙරට බිහි වූ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු බවට විවාදයක් නැත. බටහිර විද්‍යාවට පදනම වූ එහි දර්ශනවාදය හෙවත් ඥානවිභාගය ගැන ඔහු තරම් මේ රටේ කතා කොට ඇති ඇත්තෝ විරල බව ලේඛකයා අවධාරණය කරයි. නලින් පෙනී සිටින්නේ මේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරය වෙනුවෙනි. ඔහු ඊට "චින්තන පදනම" යැයි නමක්ද යොදා ගෙන තිබේ. 

නලින්ට දේශපාලනයක් ද තිබේ. ඒ බොහෝ දුරට පවත්නා රජය සමග සංගාමී වන්නකි. මහින්ද චින්තනය, වාර්ගික ගැටළුව, තිස් අවුරුදු යුද්ධය, ප්‍රභාකරන් ආදී සියලු මෙකී නොකී මාතෘකා ගැන මාගල් තරම් දිග ලිපි එතුමා විසින් ලියන්නට යේදී ඇත. මින් බහුතරයක් සාමාන්‍යයෙන් හරවත්ය. හීනියට කඩේ ගියත් කරුණු වල සාරවත් භාවය ගැන අපි එතුමා අගය කරමු.

නලින් යනු දරුණු විවේචකයෙකුද වේ. බටහිර විද්‍යාව පට්ට පල් බොරු යැයිද, අවැසි නම් ඒ බව ඔප්පු කරන්නට තමා සූදානම් යැයිද ඔහු කීවේය. එමතු නොව, ඒ ගැන අවශ්‍ය නම් පානදුරා වාදය සේ දින ගණනක් පැවැත්වෙන වාදයකට ඔහු ආරාධනා කෙළේය. 


බටහිර විද්‍යාව යනු කතන්දර ගොඩකි. ඒ බව නලින් මෙන්ම අපිද දනිමු. මේ ලියන ලේඛකයාද සරසවිය පසු කෙළේ විද්‍යා විෂය ධාරාවෙන් නිසා (වෛද්‍ය හෝ ඉංජිනේරු නොව, ශුද්ධ විද්‍යා විෂය නිසා) ඒ ගැන අමුතුවෙන් පාරම් බෑම විකාරයක් බව අපේ අදහසයි. බටහිර විද්‍යාව පමණක් නොව, ඕනෑම විද්‍යාවකින් කරන්නේ කතන්දර හැදීමයි. එහෙත් මේ කතන්දර සුරංගනා කතන්දර නොවේ. තාර්කික කතාන්දරය. සුරංගනා කතාව සහ නිව්ටන් නියම වෙනස් වන්නේ එබැවිනි. කලක් නිව්ටන් ගේ නියම වලින් පැහැදිලි කළ භෞතික ලෝකය දැන් පැහැදිලි කරන්නේ වෙනත් සුසමාදර්ශයක් මගිනි. ඒ විද්‍යාවේ හැටි ය. වරදක් නොවේ. 

අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. බටහිර විද්‍යාව නිසා හිස පැළඳි මහාචාර්ය පට්ටම නොසළකා බටහිර විද්‍යාවට ම පලු යන්නට බනින එතුමා (සරලව සිතන්න. නලින් ඩි සිල්වා මහාචාර්ය වරයකු නොවුණා නම් ඔහුට මේ මාකට් එක තිබේවි ද?) දැන් මේ කරන්නේ බටහිර විද්‍යාව තුළ පැන නගින ගැටළුවකට පාර භෞතික පිළිතුරක් දීමටය. මීට කලකට පෙර "බුදු දහම විද්‍යාත්මක කිරීමේ මුළාව" නමින් විදුසරට පිටු ගණන් ලිපි ලී ඔහු, අද කරන්නේ බුදු දහම හා බැඳුණු සංකල්ප ඇසුරින් බටහිර විද්‍යාවට පැලැස්තර ඇලවීමය.

නලින්ගේ ජනප්‍රියම වචනයක් වෙයි. එනම් "ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි සංස්‌කෘතිය" යන්නයි. ඔහුට අනුව විද්‍යාව යනු තනිකරම ජෙහෝවා සොයා යන ගමනකි. ඔහුට අනුව විද්‍යාව මෝසෙස් කෙනෙකි. එදා විද්‍යාවට එහෙම කී ඔහු, අද කරන්නේ ඊටම නොදෙවෙනි ක්‍රියාවකි. එදා ජෙහෝවා අද නාථ ය. එදා මෝසෙස් අද නලින්ය. අහෝ දෛවයේ සරදමක මහත! 

නාථ

නාථ යන්නෙහි අරුත "ගැලවුම්කරුවා" යන්නයි. සනාථ, අනාථ, වැනි සමප්‍රභව වචන වලින් කෙනෙකුට අර්ථය තහවුරු කර ගත හැක. (අප ලියන සියලු අර්ථ දැක්වීම් වලට මූලාශ්‍රය වන්නේ මොනියර් විලියම්ස් සංස්කෘත ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ 2005 වර්ෂයේ නව මුද්‍රණයයි). නාථ යනු අවලෝකිතේශ්වර බොධිසත්ත්වයන්ගේ නමක් ලෙසද සැළකේ. ඒ කතාව සත්‍ය නම්, නාථ යන්නට "නොපැමිණි තැනැත්තා, ස්වරූපයක් රහිත කෙනා" වැනි අරුත් ද තිබේ. මහායාන සාහිත්‍යය අනුව නාථ වාසය කරන්නේ බඹ ලොවේය. හීනෙන් වත් මනුලොවට නොඑන බඹ ලොවේය. (දෙවියෝ නම් ඉඳ හිටලා වත් මිනිස්සු හමුවෙති). එසේ මෙසේ බඹ ලොවකද නොවේ; නිසංඛාර ප්‍රවර්තකයේ හෙවත් සුඛාවතියේ ය. අවලෝකිතේශ්වර යන්නෙහි අරුත "ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා සිටින ඊශ්වර" යන අරුතයි. අවලෝකිතේශ්වර, පද්මසම්භව (මනිපද්ම), වජ්‍ර ගර්භ සහ මෛත්‍රී යන සිවු මහා බෝසතුන් අතරින් නිහඬ ම කෙනා අවලෝකිතේශ්වර ය. එබැවින් ඔවුන'තරින් අඩුම වන්දනීයත්වයක් ලබන්නේ ද ඔහු ය. පශ්චාත් වෛදික හින්දු සමාජයේ සියල්ල අතික්‍රමණය කරමින් පැන නැගී තාන්ත්‍රික චින්තනය තුළ, ශිව හෙවත් ඊශ්වර, අවලෝකිතේශ්වර සමග සමානකරණයක් කෙරී තිබේ. මෙය ගුහ්‍යසූත්‍ර, හේවජ්‍ර තන්ත්‍ර වැනි තාන්ත්‍රික ග්‍රන්ථ වල මනාව කැපී පෙනේ. මෙකී තාන්ත්‍රික මතවාද හරහා "නාථ" (මෙය ද ශිව ගේ විරුදයකි) ලෙස අලුත් පණක් ලබන නාථ දේව සංකල්පය, ලංකාවේ රජ පෙළන්තිය නායක්කර් වංශයට අයිති වීම සමග සතර මහා දේවාල වලින් එකක අයිතිය ලැබීම දක්වා වර්ධනය වේ. අප අද දන්නේ එකී විෂ්ණු, කතරගම (ස්කන්ධ), නාථ සහ පත්තිනි යන දේවාල හතරයි. (මීට වෙනස් ව ගනේශ්වර, කෘතෙශ්වර, නාතේශ්වර සහ මහේෂ්වර ලෙස වෙනත් හතර මහා දේව සංකල්පයක් පවතින බවද අප කළ සොයා ගැනීම් වලදී පෙනී ගියේ ය). උඩරට කෙසේ වෙතත් පහත රට දී නම් නාථ එතරම් පිදුම් ලබන කෙනෙක් නොවේ. ඊට වඩා පිරිසක් ගනේශ්වර නැතහොත් සරස්වතී දෙවාලයයේ පාක්කුඩම් අල්ලාගෙන සිටිති. 

මේ සියල්ල කීවේ නාථ යනු කවුද, නලින් යනු කවුද යන්න කෙටියෙන් හඳුන්වා දිය යුතු නිසාය. කවුරු මොනවා කීවත් අපේ නම් පිළිගැනීම වන්නේ මේ කතාව විශ්වාස කිරීමට අපහසු බවයි. පූජනීය මහනුවර දළදා මාළිගයට බෝම්බ ගහද්දී, මහබෝ මැඩදී අමු අමුවේ මිනී මරද්දී, අරන්තලාවේ අහිංසක බුදු පුතුන් කපා කොටා මස් ගොඩක් කරද්දී, වන්නියේ, පදවියේ සිංහල බෞද්ධ කුල කාන්තාවන් සමූහ වශයෙන් දූෂණය කරද්දී, ජවිපෙ සහ ආණ්ඩුව තරගයට මිනී මරද්දී, තරුණ කොල්ලන් කෙල්ලන් දහස් ගණනක් දස වධ දී මරා දමද්දී, සෝම හිමි ඇස් පනා පිට අපට අහිමි කරද්දී, සුනාමියෙන් දකුණු පළාතම සෝදා ගෙන යද්දී, රටේ සාරය හූරා කද්දී, මේ සියලු කී-නොකී සියල්ල වෙද්දී නොඇරුණු නාථ ගේ ඇස දැන් ඇරී ඇතැයි ඔබ සිතන්නේ ද? දෙව්දතුන් බුදුන්ට ගල් පෙරලද්දී නාපු නාථ අපේ රජරට වකුගඩු රෝගයට පිහිට වෙන්නට ආවයි ඔබ සිතනවාද?  

කෙසේ වෙතත් මේ මාතෘකාව මෙසේ එක ලිපියකින් අවසාන කළ නොහැක්කකි. අප මින් මඳ විරාමයක් ගෙන අපේ නියෝජිතයා සිය රාජකාරිය ඉටු කොට තොරතුරු රැගෙන එනතුරු සිටිය යුතුය. 

එතෙක් අවසර!