logo banner
Showing posts with label අධ්‍යාපනය. Show all posts
Showing posts with label අධ්‍යාපනය. Show all posts

Thursday, November 6, 2014

ෂර්ලොක් හෝම්ස්ට එරෙහිව හිස්.බී. | Mr. Ass Bee vs Sherlock Holmes


(by Chithru de Silva)

මොර සූරන වැස්සේ පාර පනිනා විට, ඇඟේ ළාවට ගෑවී නොගෑවී ගිය ත්‍රීවීලරථයේ රියදුරාගේ මව සහ පියා සිහිපත් කරමින් බේකර් වීදීයේ (නොබෝ දිනකින් මද්දුම බණ්ඩාර හෝ වීර පුරන් අප්පු වීදිය ලෙස නම් වනු ඇත ) නොම්බර 221 කරා පියමන් කෙළෙමි. මා යනවිට හෝම්ස් සිටියේ Assassin's Creed: Brotherhood ගසමිනි. බාගෙට කා තිබූ චිකන් කොත්තුවක්ද පසෙකින් දක්නට ලැබිණි. කෙසේ නමුත් මගේ අන්පේක්ෂිත කඩාගෙන පාත් වීම පිලිබඳ හෝම්ස් හට ‪‎ගාණක්වත් නැති‬ විය. 

'හෝම්ස්...හෝම්ස්? හෝම්ස්!!!'

'කෑවා!! වොට්සන් ආවනං කටපියන් පැත්තකට වෙලා ඉන්නවකො! බලනවා, තමුසේ නිසා Ezio තව පොඩ්ඩෙන් මැරුම් කනවා.'

'ඔහොම ගේම් ගහනකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලද හිතන් ඉන්නෙ? අන්න කොස්ලන්ද නාය ගිහින් මිනිස්සු බැර ගාණක් මිසින්. අපි මොනාහරි කරන්න ඕනෙ!'

'දුකයි තමා. ඒත් ඒ මිනිස්සු ගැන බලාගන්න තොග පිටින් ෆේස්බුක් එකේ ස්ටේටස්, පින්තූර අප්ලෝඩ් කරන සෙට් එකක් ඉන්නවානේ? ඕවාට වැටෙන ලයික්, කෑම බීම වලට පරිවර්තනය වෙලා, ඒ අසරණ ජනතාවගේ දෙපා ළඟට වැටෙනවලු. කොහොමද ආස්චර්‍ය? සම(හරක්) අය කියනවා ඕක වුන පෙර කරපු පින් පවු හේතු කොටගෙන කියලා. ඉතින් තව මොන කතාද?'

මා කරකවා අතහැරියාක් මෙන් විය.

'දෙයියනේ හෝම්ස් උඹට අමු කැවිලද? දැන් අපි යමු. ගිහින් ඒ මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් හොයා බලමු'.

දිගු නිහැඬියාවකට පසු ඔහු එකඟ විය.

'හරි, හැබැයි නවයට කලින් එන්න ඕනේ. අද Breaking Bad පෙන්නනවා.'

මා 'ඔයා හුඟක් වෙනස්වෙලා' ගීතය මුමුණමින්, හොම්ස් සමග මහ මගට පිවිසුනෙමි. 

99 බදුල්ල බස් රථයට ගොඩවුනු අප, පැය පහක් පුරාවට ගිරිය කඩාගෙන හඩා වැලපෙන මී හරක් ගීත අසමින්, අවට සිරිය නරඹමින්, රටකජු පැකට් දෙක තුනක් අනුභව කරමින් සෙමෙන් සෙමෙන් ගමනාන්තය දක්වා ළඟා විය. නමුත් සිදුවූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ සිදුවීමකි. 

'මොකක්ද ඒ සද්දේ?'

'මොකක් උනත් අපිට පාන්ද? පාන් තියා පාන් පෙත්තක්වත් නෑ වොට්සන්'

'නෑ ඉතින් නිකං ඇහුවෙ'

'මම හිතන්නේ එක්කෝ කෙල්ලෙක් අර සාම්ප්‍රදායික ස්ත්‍රී පීඩක චින්තනයට වදින්න කොල්ලෙක්ට තඩි බාලා, නැත්නම් සාදු කියපන් ඩෝ සංවිධානේ මීටිමක්, නැත්නම් වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට හමුදාවෙන් වෙඩි තියෙනවා, එහෙමත් නැත්තම් මී හරක් රංචුවක් ඇවිස්සිලා.'

නමුත් අප දුටුවේ, නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය අයිතාවාසිකම් සුරැකීම උදෙසා පාරට බැස උද්ඝෝෂණයේ නිරත වන 2000කට පමණ අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකි.

'බෙස් ඉ ගෙදර පල'

'නිදහස් අධ්‍යාපනය රැක ගනිවු!'

'හෝම්ස්..ඔයා..' මෙම කලබගෑනියෙන් මදක් දෑස් ඉවතට ගත් මා, හෝම්ස් දෙසට හැරුණු නමුත් ඔහු දක්නට නොලැබිණි. 

බසයෙන් බිමට බැසගත් මා දුටුවේ දණ ගසා පොළොව වඳිමින් සිටි හෝම්ස්වය. 

'මොනාද මනුස්සයො කරන්නේ?' මම විමතියෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙළෙමි.

'ඇයි අපේ ලොක්කා වාහනේකින් බහින බහින සැරේට 'පළමුවත් (මගෙයි ) රට, දෙවනුවත් (මගෙයි ) රට, තුන්වනුවත් (මගෙයි ) රට කියලා පොළොව අල්ලලා වැඳ වැටෙන්නේ? මම හිතුවා ඒක චාරිත්‍රයක් කියලා.'

'නැගිටපන් යකෝ!!' ඇත්ත කියපන්. අර කොත්තුවේ මොනාද තිබුනේ?'

කෙමෙන් කෙමෙන් අප මහා ජනකාය මැදින් ඉදිරියට ගමන් ගත්තෙමු. 

එක්වරම ලොරියකින් බැසගත් නිලධාරින් පිරිසක් ලවුඩ්ස්පීකරයක් ගෙන මෙසේ පැවසූහ.

'නාපු නැති කට්ටිය ඔක්කොම ඉස්සරහට එන්න. අද අපි නොමිලේ ඔගොල්ලො නාවන්න හදන්නේ. ඔන්න ඔහොම පෝලිම් ගැහිලා එන්න. හැබැයි පීනස වගේ තියෙන් එවුන් පැත්තකට වෙලා ඉන්න ඕකේ?'

ඇතිවූ සංතෝෂය හේතු කොට ගෙන රැස්වී සිටි පිරිස හූ කියමින් ප්‍රීති ඝෝෂා නැගුහ.

එක් වරම බවුසර් වලින් වතුර විදීමට පටන් ගත් අතර පිරිස සතුටින් එහෙ මෙහෙ දිව ගියහ. මුළු ප්‍රදේශයම සැණකෙළියක සිරි ගත් අතර ඇතමුන් ලිස්සා වැටී තුවාලද සිදුකරගෙන තිබුණි.

'හෝම්ස්!!! අපි යමු' 

අවාසනාවක මහත. බයිසන් හරකෙකුගේ පෙනුමින් යුත් නිලධාරියෙක් අප දෙදෙනා කුදලාගෙන ජීප් රථයකට දැමූවේය. 

'මහත්තයලා නාලා මදි. අපි නොමිලේ කුණු ටික අතුල්ලා දෙන්නම්'.

හෝම්ස් මා දෙස බලා දිග සුසුමක් හෙලුවේය.

'අද Breaking Bad බලලා ඉවරය් එහෙනන්. රෙද්ද'.

Saturday, October 26, 2013

දොස්තර vs ඉංජා ගේ කවි හබය | Doc vs Eng

දීර්ඝ නිහැඬියාවකින් පසුව යළිත් බ්ලොගෙහි මකුළු දැල් කඩා ඉහිරවා හැර යමක් ලියන්නට සිත සිතා සිටියත්, මේ වෙන සංගදි වලට මොනවා ලියන්නද කියා සිතෙන නිසාත්, මෙවුවා ලියනවාට වඩා මගේ පුද්ගලික ජීවිතය සකසා ගත යුතු නිසාත් නිහඬව සිටීමේ පිළිවෙත අනුගමනය කළෙමි. හැමෝම ආතල් ගන්නා ලෝකෙක අප පමණක් සීරියස් වීම තේරුමක් නැති දෙයක් දෝ සිතෙන වාර ගණන අනන්තය. අප්‍රමාණය. 



ඒ නිසා ඔන්න කාටත් ආතල් ගන්නට, පහුගිය දිනෙක බුකියේ පළ වූ සුහද ගී හබයක් මෙලෙස ලියා තබන්නෙමි. මේ ලියන්නේ ද මෙකී නිර්මාණ අමරණීය විය යුතුයැයි සිතන බැවිණි. මිසක් වෙනත් කිසිම පණිවුඩයක් දෙන්නට නොවේ. 

***
දොස්තර යනු එදා සිටම අපේ සමාජයේ මහත් "තැනක්" ලබන චරිතයකි. එහෙත් එකම වගේ අධ්‍යාපන සුදුසුකම් ඇති ඉංජාට, දොස්තරට ලැබෙන සමාජ ගෞරවය ලැබෙන්නේ කලාතුරකිනි. මේ ගැන විස්සෝප වන ඉංජා මෙසේ සිය දුක ගීයට පෙරළයි. (නිර්මාණය දමිත් කේතක)

දොස්තර සඳකි - අප ඒ ලොව හිරුය රිදී..... 
ඒ ඉර හඳෙන් - රෝගින් සැම සුවය ලදී.... 
බටහිර වෙදකමට ටෙක්නොලොජියක සැදී...
ඉන්ජිනියර්ට කව් ගී ලියැවුණා මදී.... //

සිරුරේ තුළට අල්ට්‍රා සවුන්ඩ් එක වැදුනේ....
කුසයේ ඇතුළතත් කැමරාවෙනි පෙණුනේ...
විදුලිය නැතිව ස්කෑනින් නැත හිස ඇතුලේ... 
පුදුමයි පුතුනි කිම අප "ජීවක"නොවුණේ.... 

ඩොකෙකුට මුවා වී ජීවය රැක දෙන්නේ.... 
අප වෙමු පුතුනි එය අප පමණයි දන්නේ.... 
ඉන්ජිනියර් නැතිද දරුවනි හඳුනන්නේ...
දොස්තර වරුන් පමණද මතු බුදු වන්නේ........ 

***

මෙන්න ඩොකාගේ පිළිතුර: (නිර්මාණය චින්තක පෙරේරා)

දොස්තර සඳකි වෙදකම ලොව හිරුය රිදී..
ඒ ඉර හඳින් මුලු ලෝකය එලිය වුණී..
රැක්මට ලෙඩුන් දිවියේ දුක් ගැහැට විදී..
ඒ වෙදකමට කවි ගී ලියවුනා මදී..

ජීවක එදා බුදුන්ගෙ ලෙඩ සුව කෙරුවේ..
අල්ට්‍රා සවුන්ඩ් එකකින් බලලද පුතුනේ..
"ක්ලිනිකල්" කියා වදනක් ඇත වෙද ලෝකේ..
ඉංජණි අනේ නැතිවද නුබ එය දන්නේ..

සිත්තරු කැන්වසය මත සිතුවම් ඇන්දේ..
සායම් වලින් ඒ සිත්තම හැඩ කෙරුවේ..
සායම් හැදුනෙ "සායම් කරුවෙකු" අතිනේ..
පුදුමයි පුතුණි කිම ඔහු "සිත්තරු" නොවුනේ..

"සුශෘත" එදා අරුමැති සැත්කම් කෙරුවේ..
"බුදදස්" නමින් වෙදකම සිහසුන දැරුවේ..
පස් මහ බලය ඇතුලෙත් වෙදකම තිබුනේ..
ඒ වෙදකමිනි මිනිසත්කම පණ ලැබුවේ..

ඩොකෙකුට මුවා වී ගොඩ යන්නට යන්නේ..
ඉංජණි ලොව නැතිද උඹලට සලකන්නේ..
විදුලිය නැති දාට ඉංජට කිම වෙන්නේ..
ඉංජන් නැතත් වෙදකම ලොව පවතින්නේ..

Sunday, August 18, 2013

ලකෆ්‍රෑන්ස්ට උත්තරයක් | Answering Lakafrance

"බ්ලොග් ලෝකයේ සංවාද මණ්ඩප ඇත. සාකච්ඡා මණ්ඩප ඇත. කවි මඩු ඇත. වාද පිටි ඇත. වැසිකිළියක් තිබ්බේ නැත. මෙතුමා ඒ යුතුකම ඉටු කර ඇත. බ්ලොග් ලෝකයේ ශෘංගාර, භයානක, භීභත්ස්‍ය, ආදී නව නළු රසයම ඇත. අසූචි රසයක් මෙතෙක් තිබුණේ නැත. දැන් එකත් ඇත.
කොල්ලෝ ද කෙල්ලෝ ද බ්ලොග් ලී හ. දැන් ඒ ගොඩට නපුන්සකයකුද එක්ව සිටී. සතුටුය. බ්ලොග් ලෝකයේ සම්මතය මෙන්ම අසම්මතය ද ඇත. දැන් නම් ඉතින් අමු අමුවේ චරිත ඝාතන ද ඇත.
අවසානයට කිව යුතු එකම දේ මෙවැනි කුහක බ්ලොග් කරුවන් බ්ලොග් අවකාශයේ සිටිය යුතු නැති බවයි. මේ ලියන කෙනා වරින් වර සිය ඊ-ලිපිනය දක්වමින් මේ කරන්නේ ඕපාදූප හිඟා කෑමකි. දැන් ඉතින් කාට කාටත් තමුන් ගැවෙන්නේ නැතිව පුද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගත හැක. තරහ කාරයෙක් වේ නම් කළ යුතු එකම දෙය උගේ (හෝ ඇගේ) කුණු ගොඩක් මෙතුමාට දීම පමණි. අන්තිමට හැමෝටම මඩ වැදී තිබෙණු ඇත. ලකෆ්‍රාන්ස් අහක ඉඳන් හිට් වනු ඇත.
සිදු වන්නට යන දෙය කලින්ම කීවෙමි. තීරණය පාඨක ඔබ අතේය."



මේ වනාහි ලකෆ්‍රෑන්ස් නමින් පටන්ගත් එක්තරා "නිර්නාමික" බ්ලොග් අඩවියක ලිපියකට අප විසින් දෙන ලද ප්‍රතිචාරයකි.  "නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසා කැපවෙමි" යි කියා පටන් ගන්නා බොහෝ බ්ලොග් අඩවිවල අනාගතය පිලිබඳ අනාවැකි කීම ඉතා පහසු ය. එක්කෝ එව්වා උපන්ගෙයි මරණයකට මුහුණ දෙයි. නැත්නම් ඒවා "මාෂ්ගුරු" මොඩලයට, "තට්ට සෝමේ" මොඩලයට හෝ වැලකතා මොඩලයට ඌණනය වේ. එදා අප දුන් අනාවැකිය අද වන විට සත්‍ය වී ද, අසත්‍ය වී ද යන්න සමස්ථ සිංහල බ්ලොග් අවකාශයම දන්නා බැවින් ඒ ගැන යළි යළිත් කියා තේරුමක් නැත. 

බොහෝ විට විවේචනාත්මක ලිපි පටන් ගන්නේ "අනේ මට අරයා එක්ක / ඔයා එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ බබෝ.. ඔයාගෙ මතවාදයට එරෙහිව තමා මේ කියන්නේ" යයි බබා ටෝකක් දීගෙන ය. එහෙත් අප එවැනි බබා ටෝක්ස් දෙන්නේ නැත. මන්ද අපට ලක ලියන්නා සමග පුද්ගලික ඇරියස් ඇති නිසාත්, බ්ලොග් අවකාශයේ බබ්බු නැති නිසාත්, හිටියත් බබ්බු වඩාගෙන පාරෙ නළවන්නට අප මෝහිණී නොවන නිසාත් ය. මේ ලිපිය ලියන්නේ පුද්ගලික ඇරියස් ද සමගය. කියවන්න අකැමැති කට්ටිය සිය බ්‍රවුසරය වසා දැම්මාට කමක් නැත. 

ලිපිය ලියන්නට ආසන්න හේතුව වන්නේ ඊයේ පෙරේදා ලකා විසින් ලියන ලද එක්තරා "සංවේදී" ලිපියකි. "සංවේදී" බ්ලොග් අඩවිය ලියන්නා හට පහර ගසමින් ලියන ලද එහි, ඔහුගේ "හීනමානය" ගැන බොහෝ බ්ලොග් විචාරකයින් පොරටෝක්ස් දී ඇති අයුරුද අපි ජුගුප්සාවෙන් බලා සිටියෙමු. එසේ හෙයින් ඊට පිළිතුරක් දැක්වීම යුතුකමකැයි ද සළකමු. 

සාරාර්ථ වශයෙන් ගත්කළ ලකා ගේ ලිපියේ අරමුණ වන්නේ මෙරට කැම්පස් ගිය උන්ට අමුතුම ජාතියේ අධිමානයක් ඇති බවකි. ඇත්තටම එවැනි අධිමානයක් ඇතැයි යන්න බොරුවක් නොවේ. වසර තුන හතරක් උපන්ගෙයින් වෙන්ව චමරියේ කට්ට කාගෙන, කැන්ටිමේ වේලෙන දෙපාරක් බැදපු රෝල් එකට යාළුවා එක්ක ගජේ දාගෙන බුක්ති විඳින, දවසට වේලක් කා ජීවිතේ ගැටගහන, කිලෝ ගණන් බර පොත්පත් ද ටොන් ගණන් බර නෝට්ස් ද අකම්පාල කරවන සුළු ටියුටෝරියල් ද සමගින් අවසානයේ හුදෙක් සමාජය ඉදිරයේ කොළ කැබැල්ලක් පමණක් වන සහතිකයක් මිලට ගන්නට ජීවිතෙන්ම මිල ගෙවන සරසවි කොල්ලා / කෙල්ල ගැන අවට සමාජය දන්නේ අන්තිම සොච්චමකි. "කැම්පස් උන්ගේ ඔලුව" යයි යමෙක් කියන්නේ නම්, අනිවාර්යයෙන්ම කිව යුත්තේ කැම්පස් උන්ට එකී ඔලුව තිබීම සම්පූර්ණයෙන්ම සාධාරණ බවයි. 

එසේම බොහෝ දෙනා සිතා ඉන්නා පරිදි කැම්පස් ජීවිතය යනු උසස් පෙළ සමත් වී පොර බුවාලා වගේ ඇතුළට ගොස් වසර තුන හතරක් බාහිර සමාජයෙන් වෙන්ව වැස, ඇතුළෙන්ම කසාදයකුත් ජෝඩු කරගෙන ආතල් එකේ ෂපාන් එකේ මහපොළ සල්ලි වලින් ජීවත් වී, අවසානයේ කළු කෝට් එක දමාගෙන පොර වගේ එළියට බහින ජීවිතයක් ද නොවේ. (මහපොළ ගැන දන්නෝ දනිති) එහි ඇතුළත කාලය ගලායාම පවා වෙනස් ය. සරසවි ජීවිතයේ සතියක් යනු බාහිර සමාජයේ මාසයකට ආසන්න කාලයකි. කාලය පමණක් නොව මුළු ජීවිතයම සාන්ද්‍රකරණයට ලක්වන ජීවිතයකි, සරසවි ජීවිතය. එහි ඇතුළත පරිසරයේ වෙන බොහෝ දේ බාහිර සමාජයට හිත කීරි ගස්වන සුළු අත්දැකීම් වන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස සරසවි ඇතුළේ වන ප්‍රේම සම්බන්ධතා සහ එහි ප්‍රතිවිපාක ගැන පමණක් වෙනම පොතක් ලිවිය හැකිය.  




කැම්පස් සමාජය ගැන බාහිර සමාජයෙන් එල්ලවන විවේචන ගැන අපට ගැටළුවක් නැත. එසේ විය යුතුය. අපේ වැරදි අපට පෙනෙන්නේ නැත. ඒවා පෙනෙන්නේ බාහිර සමාජයට ය. එබැවින් ඩිග්‍රී එකක් නොව දාහක් ගත්තත්, අඥ්ඥතර සමාජයේ හඬට හිස නමා කන්දීමේ යුතුකමක් සෑම සරසවි ශිෂ්‍යයෙක් / ශිෂ්‍යාවක් හටම පවතී. මන්ද සරසවියේ වන සෑම පොතකටම, සෑම මේසයකට ම, සෑම දේශ ශාලාවකටම, සෑම වැසිකිළි පෝච්චියකටම වියදම් වන මුදල ගෙවා ඇත්තේ බොහෝවිට කැම්පස් නොගිය මිනිසකු බැවිණි. පාරෙ තාර දමන සෝමපාල, උතුරේ යුද්ද කරන ගාමිණී, කොටුවේ බෝගහ ඉස්සරහ ඔරලෝසු විකුණන ජෙහාන්, ඇපලෝ හොස්පිටල් එකේ බිම අතුගාන ක්‍රිෂ්ණා, මහරගම මාකට් එකේ තේ වතුර අල්ලන සියාක්, නුගේගොඩ මාකට් එකේ සාරණ තම්පල විකුණන සිරියාවතී, විගොඩ පාරේ සාරවිට බෙදන ඇල්බට් අයියා, බ්‍රන්ඩික්ස් එකේ මිකැනික් වැඩකරන නලියා මල්ලි, බොරැල්ල-කොටුව 103 බස් එකේ කොන්දා මචං, BMICH එකේ කක්කුස්සි හෝදන සුමනේ අංකල්, මේ සියල්ලෝම අපේ අධ්‍යාපනය වෙනුවෙන් සතයක් හෝ වියදම් කර ඇත. අප ඉගෙන ගන්නේ ඔවුන්ගේ මුදලිනි. එබැවින් අප කරන කියන දේ ප්‍රශ්න කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ. ඒ ගැන අපට ගැටළුවක් නැත. 


එහෙත් ජීවිතේට කැම්පස් නොගිය මිනිසෙක්, කැම්පස් එක තුළ අන්තර්සමාජය ගැන පොරටෝක්ස් දෙන්න යාම කොහෙත්ම අනුමත කළ නොහැක. 

සරසවිය යනු වෙනම සමාජයකි. වෙනම පරිසරයකි. වෙනම විදියක පැවැත්මකි. තුම්මුල්ලෙන් කුමාරතුංග මුනිදාස මාවතට හැරී, කොළඹ සරසවි ගේට්ටුවෙන් ඇතුළු වන ඕනෑම කෙනෙකුට, සිය හැඳුනුම්පත ආරක්ෂක අංශයට බාරදී, විද්‍යාපීඨය පුරා සිත්සේ ඇවිදිය හැකිය. එහෙත් මුළු ජීවිත කාලයම ඇවිද්දත් ඔහුට සරසවිය යනු කුමක්ද යන්න වටහා ගත හැකි වන්නේ නැත. සරසවිය යනු ජීවත් වන හුස්ම වැටෙන සත්ත්වයකුයි කිවයුතු තරමට ම ඊටම ආවේනික අනන්‍යතාවක් ඊට තිබේ. එහි වන සෑම ගහක් කොළක් මලක් දියක් වැලි කැටයක් ගණනේ වෙනමම ඉතිහාස කතාවක් ඇත. 



කැම්පස් කොල්ලකු / කෙල්ලක කොතරම් කාලයකට පෙර සිය කැම්පස් ජීවිතය අවසාන කළත්, මැරෙන මොහොත තුරාවටම ජීවත් වන්නේ කැම්පස් කොල්ලකු / කෙල්ලක ලෙසය යන සත්‍යය බොහෝදෙනා ඉවෙන් මෙන් දන්නා කාරණයකි. 

ප්‍රශ්නය පැන නගින්නේ මෙකී කැම්පස් සමාජය, අතථ්‍ය සමාජය හා ගැටෙන තැනදී ය. 


සංවේදී ප්‍රශ්නය

මෙතැන ගැටළුව වුණේ අපේ සංවේදී බ්ලොග ලියන්නා විසින් කර තිබු මෙන්න මේ ප්‍රකාශයයි.
"මට බලෙන් 'සර්' කියවාගැනීමට අවශ්‍ය නැත. ගෞරවය යනු ඉල්ලා සිටිය යුතු දෙයක් නොව, ක්‍රියාවෙන් උපයාගත යුත්තක් බව දනිමි. 
මා කියන්නේ මට මචං, අයියා / මල්ලී කියන්නට එපා කියා නොවේ. ඔබ මගේ සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමහල් නම් ඔබේ රැකියාව, අධ්‍යාපනය කුමක් වුවද ඔබට එසේ කිරීමට අයිතියක් ඇත. කොහොමත් මචං යනු හෘද්‍යාංගම බව වැඩියෙන් දැනෙන අපූර්ව ඇමතීමකි. අයියා, මල්ලී යනුත් එසේය.
එහෙත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ දැනටමත් ශිෂ්‍යයෙක් නම්, ඔබට වඩා වසර ගණනාවක් වැඩිමහල් කෙනෙකුට අයියා හෝ මචං කීමට පෙර දෙවරක් සිතන ලෙසයි. මන්ද, ඒ අයියා හෝ මචං, ඔබේ ගුරුවරයා හෝ ආයතන ප්‍රධානියා වූ දිනක ඔබට මෙන්ම ඔහුටද ඔබ එසේ අමතන විට අපහසුතාවයක් දැනීම නොවැලැක්විය හැකි නිසා ය."

ඔය සබැඳිය දක්වා ඇති ලිපියේ පරිදි, සංවේදී බ්ලොග්කරු මතුකරන තර්කයේ ඇත්තටම සාධාරණත්වයක් ඇත. ෆේස්බුක්, බ්ලොග්, වැනි අතථ්‍ය මාධ්‍ය තුළදී ගුරු-ගෝල සම්බන්ධතා වලට පොඩි පරහක් එල්ල වේ. ලියන්නා ද උපකාරක දේශකයකු සේ කටයුතු කරන බැවින්, ගෝලයන් සමග ෆේස්බුක් සම්බන්ධතා මොන තරම් මළ කන්කරච්චල් වැඩක් ද දන්නා අත්දැකීමෙන්ම දනී. එක්කෝ දාන දාන හැම ෆොටෝ කබලටම ටැග් කරති. නැතිනම් ෂෙයාර් කරන හැම වීඩියෝවකටම ටැග් කරති. පන්තියේ දී "සර්" බුකියේ දී "අයියා" හෝ "මචං", "ඩූඩ්", "යෝ මෑන්" බවට පත් වේ. කෙල්ලන් නම් අපරාදෙ කියන්නට බෑ, "අයියා" වලින් එහාට යන්නේ නැත. කලාතුරකින් එකෙක් දෙන්නෙක් "ඩියර්" කියති. මේ සියල්ල වනාහි අතථ්‍ය මාධ්‍ය වලදී "ඔබ", "මම" යන සංකල්ප බිඳවැටී "ප්‍රොෆයිල් එක" ඉස්මතු වීමේ පළවිපාක ය. 

සමාජ මාධ්‍ය ගැන වදනක්

ඇත්තටම සමාජ මාධ්‍ය වලට තිඹිරිගෙය වන්නේ තනිකම ය. නූතන වෙළඳපල සමාජය තුළ අප දිනාගෙන ඇති ලොකුවයින්ම මෙවුවා එක වන්නේ තනිකම ය. ඔබ මෙය විශ්වාස නොකරන්නේ නම් ඊළඟ පාර ඔබ කැමති ඕනෑම "නවීන" FM නාලිකාවක් අසන්න: ඉස්සර FM නිවේදකයෝ නිවේදන කළේ "මා කියන දේ පිරිසක් අසා සිටින්නේ ය". යන ආකල්පයෙනි. එහෙත් දැන් ඔවුන් සෑමවිටම අසන්නා අමතන්නේ "ඔයා" කියා ය. එදා "ඔබ" අද "ඔයා" වී ඇත. අද "ඔබලා" නැත. අද ඉන්නේ "ඔයා" ය. එනම් "ඔයා" තනි වී ඇත. අද ඇත්තටම FM නිවේදකයෝ කරන්නේ මෙකී මිනිසුන්ගේ තනිකම මැකීමට ලඟට වී මොනවා හෝ තොදොල් කතාවක් මුණුමුණු ගෑමයි. 

සමාජ මාධ්‍ය බිහි වන්නේ මෙකී "තනිකම" නැති කරන්නට යැයි කීවත් සිදුවන්නේ ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි; එනම් අප ඇත්තටම සමාජ මාධ්‍ය හරහා කරන්නේ සම්බන්ධතා ගොඩනැගීම නොව බිඳවට්ටවා ගැනීමයි. උදාහරණයක් ලෙස ඔබේ ෆේස්බුක් ගිණුමේ වන අයගෙන් කීදෙනෙක් ඔබ සැබෑවටම දැක ඇත්දැයි සිතන්න. බොහෝ විට සිදුවන්නේ, අපට සමාන අදහස් දරන කීප දෙනෙක් සමග, එසේත් නැතිනම් අප ලංවන්නට කැමති / අපට ලංවන්නට කැමති පිරිසක් සමග අප කල්ලි ගැසීම පමණි. මෙකී කල්ලිකරණය තුළ ඔබ නිතැතින්ම "මාකටබල්" භාණ්ඩයක් බවට පත් වේ. මෙකී මාකටබිලිටි එක ඔබේ පිංතුරයේ "හොට්නස්" එක, ඔබේ වත්කම් බැරකම් ඔබ ප්‍රදර්ශනය කරන (හෝ මවාපාන) මට්ටම, ඔබ කනබොන තැන් ආදී දේට අනුලෝමව සමානුපාතික වේ. උදාහරණයක් ලෙස පොඩ්ඩක් ඇහැට කණට පේන කෙල්ලෙක් "මම වැලේ රෙදි වැනුවා" කියා ස්ටේටස් එකක් දැමු විට ඊට ලයික් වැටෙන්නේ තප්පරයට දහය-දොළහ-පහළොහ ගණනේ ය. එහෙත් "හැන්සම්" පිචර් එකක් නැති කොල්ලෙක් "අද මට ප්‍රොමෝෂන් එකක් ලැබුණා" කී විට ඊට ලයික් වැටෙන්නේ උගේ ගැන්සියේ උන්ගෙන් පමණි (ඒකත් නොකර බැරිකමට ය). 

තනිකම ගැන වටිනා ලිංකුවක් අපේ ඔපීසියේ එකෙක් විසින් වතාවක් පෙන්වා දෙන ලදි. වචන දහසකට වඩා ඒ තනි වීඩියෝව වටී. 




සුගමාර්ථය ගත්කළ, අප සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමට ප්‍රධාන හේතුව තනිකම පමණක් ම නොවේ. අපට අපව "කස්ටමයිස්" කරගත හැකි එකම ස්ථානය එතැන වන බැවිණි. අපට සැබෑ ජීවිතේ අපව "කස්ටමයිස්" කරගන්නට බැරිය. උදාහරණයක් ලෙස අපට අපේ සැබෑ මුහුණ "එඩිට්" කළ නොහැක. (සල්ලිකාරයෙක් නම් ඇරෙන්නට). නමුත් අතථ්‍ය මාධ්‍ය හරහා අපට ඉතා පහසුවෙන් එසේ කළ හැක. අප අතථ්‍ය මාධ්‍ය හරහා සමාජයට පෙන්වන්නේ අප සැබැවටම ඉන්නා ආකාරය නොව, අප අපව සමාජයට පෙන්වන්නට කැමති ආකාරයයි. මෙහි විලෝමය ද සත්‍ය වේ. එනම් අප අතථ්‍ය මාධ්‍ය හරහා දකින්නේ ද, එහි වෙසෙන්නන් ගේ සැබෑ රුව නොව, ඔවුන් තමන්ව පෙන්වාගන්නට කැමති ආකාරයයි. 

එසේම අතථ්‍ය මාධ්‍ය වල වසන්නන් හට වයස් සීමාවක් නැති වීමද සැළකිය යුතු කරුණකි. උදාහරණයක් ලෙස, මේ ලියන්නා ගේ උසස්පෙළ ගුරුවරුන් දෙදෙනක් ද, උපාධි නිබන්ධන සුපරීක්ෂක වරයා ද, එසේම බැච් හතරක ගෝලයෝ ද ඔහුගේ ප්‍රොෆයිලයේ වෙයි. එසේම විවිධ ජාතිකත්ව සංවිධානවල ඉහළ පුටු හොබවන මිනිස්සු ද වෙති. කොටින්ම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ඔහු විසින්ම මෙහෙයවන ප්‍රොෆයිලයක් ද වෙයි. එහෙත් එසේ වූ පමණින් අප අමාත්‍ය චම්පික රණවකට "හායි මචං" කියන්නේ නැත. ඔහු අපට "හායි මචං" කියන්නේ ද නැත. අර මුලින් කී ගුරුවරු ද "Hello son" කියනවා මිස "Yo man" කියන්නේ නැත. (එසේ කියන මහාචාර්ය වරයෙක් ද වෙයි. එතුමා සාමාන්‍යයෙන් චැට් එකේදී අප අමතන්නේ "Yo dude, tell me what the fuck is up" කියා ය. එහෙත් ඒ ඔහුගේ තෝරාගැනීම මිස අපේ තෝරාගැනීම නොවේ). 

ගැටුම

ගැටුම ඇතිවන්නේ කොතනින් ද යන්න දැන් පැහැදිලිය. සැබෑ ජීවිතයේ මොකෙක් වුණත් ෆේස්බුකියේදී ඌ තවත් ප්‍රොෆයිලයක් පමණි. එබැවින් අප ඌට සළකන්නේ ඌට නොව, උගේ ප්‍රොෆයිලයට ය. ඔබේ ගුරුතුමා ඔබේ ෆේස්බුක් ගිණුමේ සිටි පළියට ඔබ ඔහුට මචං කියනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ඔබටම බාරකරමු.   

සංවේදී බ්ලොග් කරුවා ස්පර්ශ කර ඇත්තේ මෙන්න මෙකී කටුක යථාර්ථයයි. එනම් සමාජ ජාල හරහා වන සම්බන්ධතා හරහා සැබෑ ලෝකයේ සම්බන්ධතා බිඳවැටීමයි. ඔහු ද සරසවි විද්‍යාර්ථීයකු සහ දේශකයකු වන බැවින්, විය යුතු පරිද්දෙන්ම ඔහු එය දකින්නේ ඔහුගේ, එනම් දේශකයකු දේ දෘෂ්ටිකෝණයෙනි. අපට ඊට වරදක් කිව නොහැක. එහෙත් ලිපිය දැක ෆෝම් වූ අපේ කබ්බෝ සිතා ඇත්තේ, "අම්මට සිරි මුගේ ඔලුව" කියා ය. එහෙයින් ලිපියේ දැක්වෙන සාරය ගනු වෙනුවට ඉතාම පහත් මට්ටමේ පුද්ගලික අපහාස වලින් ඔහුට සංග්‍රහ කර තිබෙනු ද අපට දකින්නට ලැබිණි. මේ ලියන්නේ ඊට පිළිතුරක් ලෙස ය. 

ඇත්තම කියන්නේ නම් බ්ලොග් අවකාශය තුළ "ලොකු" / "පොඩි" පොරවල් නැත. ලියන්නෝ ලියති; මළවන්නෝ මලවති. හොඳට ලිවිය හැකි එකා හිට්වන අතර මළවන්නා වටේ එකතු වන්නේ උගේ ගජේ උන් ටික පමණි. මේක ඇතුළේ නීති දමන්නට (අප කොතරම් එසේ කළයුතු යයි සිතුවත්) කාටවත් බැරි ය. බ්ලොග් යනු විමධ්‍යගත මාධ්‍යයකි. එහි විමධ්‍යගත බව රැකෙන්නට නම් මෙකී "පොරත්වය" නැති විය යුතුය; ඒ කියන්නේ සැබෑ ජීවිතේ ඌ මොකෙක් වුණත්, බ්ලොග් අවකාශයේ ඌ "බ්ලොගෙක්" පමණි. එහෙත් එහෙමයි කියා බ්ලොග් ලොවේ මචං, සැබෑ ලොව තුළ ද මචං වන්නේ නැත. සැබෑ ජීවිතේ සම්බන්ධතා බ්ලොග් සමග ගැටේ නම් ෆේක් ප්‍රොෆයිලයක් හදාගත හැකිය. නැතිනම් ඇනෝ (Anonymous) හෙවත් නිර්නාමිකව ආව හැකි ය. ඇනෝ නිදහස අප අගයන්නේ සහ මුළු හදවතින්ම ඊට සපෝට් කරන්නේ අන්න ඒ නිසා ය. පටන්ගත් දා සිට අද මේ මොහොත වනතෙක් අප නිර්නාමික වාරණයක නොයෙදෙන්නේ සහ ඉදිරියටත් එසේ නොකරන්නේ, අඩුම තරමේ කමෙන්ට් මොඩරේට් කිරීමක් වත් නොකරන්නේ එකී නිදහස අගයන බැවිණි. 

ලකෆ්‍රෑන්ස් ගැන ද යමක් කිව යුතුය. අප පිළිගන්නට කැමති වුවත් අකැමැති වුවත් ලකා යනු බ්ලොග් අවකාශයේ "සාර්ථක" චරිතයකි. එසේ සාර්ථක වුණේ අනුන්ගේ කුණු විකුනං කන නිසා බවද ඒ වගේම සත්‍යයකි. මාරයා හට එල්ල කළ මඩප්‍රහාරයකින් සිය බ්ලොග් ගමන ඇරඹු ලකෆ්‍රෑන්ස් රචකයා මේ වන විට බ්ලොග් ලොව මඩ රජු ලෙස සියතින්ම කිරුළු පැළඳගෙන සිටී. එය ආඩම්බර වෙන්නට කාරණාවක් යයි ලකා සිතනවා වන්නට ඇති. අපට නම් එසේ නැත. මන්ද සිත් නොරිදවා හින්ට් ගැසීම කියන දේ ලකාට ගෑවිලාවත් නැති බැවින් සහ තමාට එවන එවන කුණුගොඩවල් එසේම පළකරන බැවිණි. ඇනෝ ලේඛකත්වය යනු කුණු විකිණීම නොවේ. අපහාසය හා උපහාසය අතර වෙනස දැනගෙන කරන බ්ලොග් අඩවි ඕනෑතරම් ඇත. උදාහරණයක් ලෙස "බ්ලොග් ගොංපාට්" අඩවිය සහ "සූස්ති ගුණේ" අඩවි දැක්විය හැකිය. කිසිම කුණුහබ්බයක් නොකියා කිසිම අනවශ්‍ය කතාවක් නොකියා රිදෙන තැනට රිදෙන්නම ගැසීම යනු ද ලේඛකයකු හට තිබිය යුතුම හැකියාවකි. 

සිංහල බ්ලොග් අවකාශයේ සහ බ්ලොග් කරුවන් අතර ගොංපාට් ඕනැතරම් ඇත. සමහර විට සමහරුන්ට අපද පෙනෙන්නේ ගොංපාට් එකක් සේ විය හැකිය. අපේ කිසිම තරහක් නැත. එවැනි ගොංපාට් වලට පොඩියට පාරක් ගැහුවාට ද අපේ තරහක් නැත. (අපටම ගැහුවා වුණත්). එහෙත් අපහාසය හා උපහාසය අතර වෙනස නොදන්නා කුණු වෙළෙන්දෝ බ්ලොග් අවකාශයේ සිටීම මහත්ම අවාසනාවකි. 

අනුන්ගේ කුණු කන එකාට සාමාන්‍යයෙන් කියන්නේ කසළඛාදකයා කියා ය. තොප්පිය හරිනම් දාගනු මැනවි! 

Monday, July 29, 2013

නලියානං වන්දාමි | Hail O Lord Nalin!


බටහිර විද්‍යාව ඉගෙනගන්නට ගොස් අනාගත් උදවියගේ සුපුරුදු අඬවැඩියාවත්, මිදිවල්ල කඩාගත නොහැකිව ඊට දෝෂාරෝපණය කරන නරියාගේ විලාපයත් අතර පැහැදිලි වෙනසක් සොයා දෙන්නෙකු හට තෑග්ගක් දිය යුතුයැයි මට සිතී තිබේ.!!! 

මේ අසාම්ප්‍රදායික ආරම්භය ගන්නට සිදුවුණේ එක්තරා සයිබර් සාකච්ඡා මණ්ඩපයක සිදු කරන්නට යෙදුණු සංවාදයක් අතරතුර, බටහිර විද්‍යාවට ගරහන, මහාචාර්ය නලින් ඩි සිල්වා අනුගාමිකයකු විසින් දෙසාබාන්නට යෙදුණු පච වට්ටෝරුවක් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ය. 

මහාචාර්ය නලින් යනු මේ දේශය සතු සම්පතක් බව සත්‍යයකි. අද බොහෝ දෙනා කරේ එල්ලගෙන කන "ජාතිකවාදය"ට ආරම්භක මූල බීජ සැපයු කීප දෙනා අතර එතුමෝ ද වෙති. ජාතිකත්ව මතවාදයට තමන්ටම කියා පැරඩයිම් එකක් නොතිබූ යුගයක, ඊට අනන්‍ය න්‍යායක් සපයන්නට වෙහෙසුණු චරිත කීපයක් වෙයි. ගුණදාස අමරසේකරයන්, නලින් ඩි සිල්වාණන් ඇතුළු කීප දෙනෙක් එහිදී මතකයට නැගේ. මෙහිලා න්‍යායාචාර්ය කාර්යය ඉහළින්ම ඉටු කලේ සහ ජාතිකවාදය දේශපාලනිකව සජීව්‍ය ස්ථරයට ඔසොවා තබනු ලැබුවේ නලින් තුමාණෝ බවට සැකයක් නැත. එහෙත් ඒ වූ පලියට බටහිර විද්‍යාව පිලිබඳ ඔහුගේ න්‍යාය සත්‍ය සහ සර්වතෝභද්‍ර වන්නේ නොවේ. ආසනික් ගැන කියන්නට ගොස් අනාගත් අනාගැනිල්ල අපේ පාඨකයන් හට අමතක වන්නට බැරි ය. ජාතික මතය සම්බන්ධයෙන් එතුමා කවර මට්ටමේ ප්‍රාමාණිකත්වයක් දැරුවද, බටහිර විද්‍යාවේ වලංගුභාවය ගැන කියන තැනදී හෙතෙම ඉතාම ළද බොළඳ ටෙලිවිෂන් පඬියකු බවට පත්වීම නොවැලැක්විය හැකිය. 

(සටහන: මෙකී තත්ත්වයට වගකිව යුත්තේ මෙරට නුහුගත ජනයා සහ උන්ටම හරියන ගොබ්බ මාධ්‍යකරණය බවට ද සැකයක් නැත. පියාඹන මාළු ජරා වෙද්දී සිද්ධාර්ථ චෝයි වෙන සමාජයකට, ඊට වඩා දෙයක් ඉල්ලීමට අයිතියක් ද නැත.)

මෙතැන් සිට ඉදිරියට ඉදිරිපත් වන්නේ එකී සංවාදය තුළ මතුකරන්නට යෙදුණු යම් යම් කාරනා කීපයකි. අප ඒවා Q & A ආකෘතියට (එනම් මේ ඊනියා පෙරදිග්ගුන්ට අනුව, "පටිපුච්ඡා ව්‍යාකරණීයව") දක්වා ඇත.


*** 

Q: බටහිර විද්‍යාව ඇතැම්මු විශ්වාස කරති. ඒ විශ්වාස කරන්නේ කුඩා කළ සිටම පාසලේ උගන්වන නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. පාසලේ බටහිර විද්‍යාව උගන්වන්නේ මෙය සත්‍යය ලෙස කියා මිස මෙය වෙනස්වන දෙයක් කියා නොවේ. ඒවා සිසුහු කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව විශ්වාස කරති.

A: බටහිර විද්‍යාවේ "විශ්වාස" කිරීමක් නැත. මෙය යළි යළිත් කීමට සිදුවන්නේ බටහිර විද්‍යාව යනු කුමක් අරබයා, කුමක් සඳහා, කවර පදනමකින් පවතින්නේද යන්න නොදැන, යම් යම් ටෙලිවිෂන් පඬියන් ගේ දේශනවලින් පමණක් එගැන අසා ඇති අඳබාලයන් හට ය.


Q: නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය හෝ අයින්ස්ටයින්ගේ අවකාශ-කාලය පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේ නොවේ. ඔවුන් ඉන්ද්‍රියානුභූතවාදීන් නොව යථාර්තවාදී භෞතිකවාදීන්ය.

A: බටහිර විද්‍යාව පමණක් නොව ලෝකේ ඕනෑම කෙහෙල්මල් විද්‍යාවක්, ඉන්ද්‍රීයානුභූතික ඥානය මත යැපේ. ඊනියා "පෙරදිග" විද්‍යාව හෙවත් දෙයියන්ට මල්පහන් තබා සාත්තර අසා දැනුම ලබාගැනීම වුව, එය හුදෙක් ඉන්ද්‍රීයානුභූතික ම වේ. 


උදාහරණයක් ලෙස මෑත කාලයේ ජනප්‍රියම විද්‍යාත්මක ක්‍රමවේදය වන "දෙයියන්ගෙන් සාත්තර ඇසීම" ගනිමු: සාත්තරය කියන්නේ A නම් දෙයියා යයි B නම් කෙනෙක් අපට කියා තිබේ; මේ A නම් දෙයියා ඇහැට දැකපු එකෙක් නැත. එසේ A නම් දෙයියෙක් වන්නේ ය, ඔහු තමා සමග සංනිවේදනය කරන්නේ ය යන්න හුදු කතාවකි. මෙය B ගේ අවංකත්වය මතම රඳා පවතී. එහෙත් A නම් දෙයියා, B නම් වූ යම් අතරමැදියකු හරහා යම් දැනුමක් ප්‍රදානය කරන්නේ යයි අපට කියා තිබේ. C නම් මිනිහා ඒ සාත්තරය අසා සිට, ඒ අනුව යම් ක්‍රියාමාර්ග ගනියි. දැන් මේ ක්‍රියාමාර්ග අනුව C නම් මිනිහාට සාර්ථක ප්‍රතිඵල ලැබුණේ ම යැයි සිතන්න: එහෙත් ඉන් A නම් දෙයියාගේ පැවැත්ම වත්, A නම් එකාගේ (එහෙම එකෙක් සිටී නම්) උගේ දේවත්වය වත්, B ගේ අවංකත්වයවත් සනාථ නොවේ. 

දැන් මේ "ජරා, කසිකබල්, පට්ටපල් බොරු" බටහිර විද්‍යාවට විකල්පයක් සේ ගෙන එනු ලබන "චෝයි" පෙරදිග විද්‍යාවේ, අර කී ඉන්ද්‍රීයබද්ධතාව නැද්ද? පෙරදිග විද්‍යාවේ ඔය කියන සාත්තර ක්‍රමවේදය, "ජරා" බටහිර විද්‍යාවටත් වඩා අවිශ්වසනීය බව කියන්නත් දෙයක් ද? අඩුම ගානෙ බටහිර විද්‍යාවේ තීරණ ගන්නා ක්‍රමය ඇහැට පෙනෙන්නට තිබේ. ඉලෙක්ට්‍රොන ඇහැට පෙනෙන්නේ නැති වුණාට ඉලෙක්ට්‍රෝන වල චලිතය නිසා ඇතිවන විද්‍යුතය සහ එමගින් ඇතිවන ආලෝකය ඇහැට පෙන්විය හැකිය. එහෙත් දෙයියෙක් හෝ උගේ විමානය මොනම ජගතෙක් ආවත් ඇහැට පෙන්විය නොහැකිය. ඒ අනුව ගත්තොත් ඊනියා පෙරදිග විද්‍යාව, බටහිර විද්‍යාවටද වඩා "black box" එකකි. 


Q: බටහිර විද්‍යාවේ (මෙතන පාරම්බාල තියෙන) වෙනස් වන ප්‍රවාද කතාව කාල් පොපර් වැනි පස්සෙ කාලෙක ආපු බටහිර විද්‍යාවේ දාර්ශනිකයන්ගෙ කතාවක් මිස විද්‍යාඥයන් හැමෝගෙම කතාවක් නොවේය. වැඩි විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරන්නේ තමන් "සොයා ගත්" දේ පරම සත්‍යය කියා මිස පසුව අසත්‍යකරණය කළ හැකි දෙයක් කියා නොවේය.

A: බටහිර විද්‍යාව එක් එක් පුද්ගලයා අධ්‍යයනය කරන ආකාරය අපට අදාළ නැත. ඉතාම දැඩි දේවභක්තිකයෝ ද, නිරාගමිකයෝ ද එකසේ බටහිර විද්‍යාව කෙරෙහි දායක වෙති. පෙරකී අයට එය දෙවියන් සොයා යාමක් වන අතර, දෙවනුව කී අයට එය යතාර්ථය සොයා යාමකි. (සමහරුන්ට අනුව යතාර්ථයක් නැතිබවට සාක්ෂි සොයා යාමකි.) එකී සොයා යන මොකක් හෝ දෙය, ඔවුන්ට අනුව නිරපේක්ෂ සත්‍යය ලෙස ඔවුහු සිතති. නිරපේක්ෂ සත්‍යය කියා දෙයක් ඇත්තටම ඇද්ද, නැද්ද යන්න, මෙහිදී වැදගත් වන්නේ නැත. 

Q: දෙවියන් ලෝකය නිර්මාණය කර ඇත්තේ එකම නොවෙනස්, සරල, ආකාරයකින් බවත් ඒවා සොයා ගැනීම තමන් කළ දේ බව නිව්ටන් සහ අයින්ස්ටයින් දෙදෙනාගේම විශ්වාසය විය. අනෙක් විද්‍යාඥයන් ගැන කවර කතාද?

A: බටහිර විද්‍යාව යනු නිව්ටන්, අයින්ස්ටයින් හෝ පොපර් ගේ පරවේණි බූදලයක් නොවේ. නිව්ටන්, අයින්ස්ටයින් දෙදෙනා එතෙක් මෙතෙක් බිහිවූ විද්‍යාඥයන් අතර විශිෂ්ටතමයන් දෙදෙනා වන බවට ද සැකයක් නැත. එහෙත් සචින් තෙන්ඩුල්කාර් හොඳ පිතිකරුවකු වූ පළියට, ඔහු වැසිකිළියේ මුත්‍රා කරන්නේ හිටගෙනද ඉඳගෙනද යන්න අපට වැදගත් නොවේ. අපට වැදගත් වන්නේ ඔය කියන විද්‍යාඥයින් ඉතා භක්තිමත් දේවවාදීන් ය යන්න නොව, ඔවුන්ගේ විද්‍යාත්මක චින්තනය පමණි. බටහිර විද්‍යාව යනු ඔවුන්ගේ සොයාගැනීම් සහ ඉදිරිපත් කළ ප්‍රවාද මිස, එතැනින් එහාට ඔවුන් කනබොන නිදියන යාඥා කරන ප්‍රජනනය කරන මළපහ කරන ආකාරය නොවේ.


***

ඊනියා "පෙරදිග විද්‍යාව" හෙවත් සත්‍ය වශයෙන්ම "anti-බටහිර විද්‍යාව" වෙනුවෙන් පෙනී සිටින බොහෝ පුස්පඬියන් හට පොදු බරපතළ වරදක් තිබේ: එනම් මාතෘකාවකට අනුව කරුණු පෙළගස්වා ගන්නට බැරි කම සහ කියන දේ තේරුම් ගන්නට බැරි වීමයි. 

බුදුන් වහන්සේ කෙරෙහි "ඇදහීමක්" බෞද්ධයින්ගේ තිබිය නොහැක. බෞද්ධයින් හට ඇත්තේ සකාරණ විශ්වාසයකි. හෙවත් ශ්‍රද්ධාවකි. ඒ ශ්‍රද්ධාව අන් කිසිවකට වඩා ඉහළින් පවතී. බටහිර යැයි කියන විද්‍යාව කොතෙක් පරිහරණය කළත් ඒ කෙරෙහි ඇති ලැදිකම තිබිය හැක්කේ  අරිට පහළිනි. බොහෝ "පෙරදිගාගමිකයන්" සිතා සිටින පරිදි අයින්ස්ටයින් වන්දනාවක් හෝ නිව්ටන් වන්දනාවක් හෝ එහි නැත. එහෙත් මේ කෑගහන බකයන් හට නම් හොඳ කළ නොහැකි නලිනාභිවන්දනයක් වැළදී තිබේ.


මෙකී නලිනාගමිකයන් නිතර පම්පෝරි ගහන කාරණාවක් නම්, බටහිරාගමේ (ඔවුන්ගේ වචනයකි) උගන්වන ක්ෂේත්‍ර සහ අංශු ඇහැට දැකපු අය නැතැයි යන්නය. ක්ෂේත්‍ර සහ අංශු ඇහැට දැකපු එකෙක් නැතිවා සේම, නාථ දෙවියන් (අපේ උදාහරණයක් ලෙස) ඇහැට දැකපු එකෙක් ද නැත. කොටින්ම නාථ කියා එකෙක් ඉන්නවාදැයි වත් මේ එකෙක්වත් දන්නේ නැත. (දේව නමින් සත්ත්ව කොට්ඨාසයක් ඇති බවක් මිසක නාථ කියා දෙවි කෙනෙක් ගැන බුදුන් වහන්සේ දේශනා කර නැත. එබැවින් බුද්ධ වචනය උකසට තබා නාථට අයිඩෙන්ටි හැදිල්ල හරියන්නේ නැත.) ක්ෂේත්‍ර දකින්නට බැරි වුණාට එහි ප්‍රතිඵල දැකිය හැකිය. එහෙත් නාථ තබා ඔහුගේ ප්‍රතිඵල කොහෙවත් දකිනට නැත. එසේනම් ඔවුන් ගෙනෙන විකල්ප බුද්ධි ගවේෂණ ක්‍රමය, එමගින් ප්‍රතිස්ථාපනය කරන්නට හදන එකට වඩා අජූත ය. ලෑලි බිත්තිය නරකයි නම් එය ගලවා සිමෙන්තියෙන් දමනු මිස, ලෑලි වෙනුවට කෙසෙල් කොළ වලින් බිත්ති ගහන සිරිතක් නැත.   

මේ හැර මේ ඊනියා විකල්ප විද්‍යාව භාවිත වන ඊළඟ වැදගත්ම කරුණ වන්නේ එක එකාගෙ දේසපාලන ආරම්මණයන් සාධාරණීකරණය කරනු පිණිස ය. ඒ ගැන වෙනත් මානයක දිවෙන කතාවක් අපට වඩා හොඳට "දයල් බතී" විසින් ලියා තිබේ: ගිහිං බලනවා නම් මෙන්න ලිංකුව.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. මේ ඊළඟ ඡේදය තුළ, ජාතිකවාදය මුවාවෙන් පෙනී සිටින ජාතිකවාතය ගැන අපේ සම්පූර්ණ නිරීක්ෂණය අන්තර්ගත ය. 


"ලංකාවේ ජාතිකවාදීන්ට අමතරව හුජ්-ජාතිකවාදීන් නම් පිරිසකුත් සිටිති. බොහෝ විට මේ පිරිස පහළ මධ්‍යම පාන්තික (යැයි සම්මත) පවුලක ඉපිද, නිසි අධ්‍යාපනයක්, රැකියාවක් හෝ ක්‍රය ශක්තියක් නැති, තමා අවට සමාජයෙන් පිළිගැනීමක් නැති, තමාට කියා "නිකේතනයක්" (niche එකක්) නැති, පරිගණක සාක්ෂරතාව මඳක් ඇති, සිංහල යුනිකෝඩ් කොටාගැනීමේ හැකියාව තරමක් දුරට ඇති, ෆොටෝ බඩ් කිරීමට තරමක හැකියාවක් ඇති, අතිශය දරුණු ගණයේ අනන්‍යතා විසංකූලතාවකින් (පොරසෝකයෙන්) පෙළෙන, දොරමඩලාවෙන් හා විජ්ජුත් ටීකාවෙන් උගත් ඉතිහාසය ඇරෙන්නට සෙල්ලිපියක් දැකලාවත් නැති, කූරගල ගැන ළය පැලී මියයන්නට වගේ උන්නත් ජීවිතේට කූරගල ගිහිං නැති, බොහෝ විට හයිලෙවල් (138) පාර, ගාලුපාර හෝ බේස්ලයින් පාර අවට පදිංචි, බටහිරට හා බටහිර සංස්කෘතියට වෛර කරන, එහෙත් ඒ ගමන්ම ඒ සංස්කෘතියේ එන කාම සුඛල්ලිකානුයෝගයට හිත යටින් පෙරේත කම් කරන, එහෙත් එය ලබා ගන්නට තරමේ හැකියාවක් නැති, ඒ නිසාම උතුරායන නෂ්ටකාමයෙන්, ලිංගික දරිද්‍රතාවෙන් හා ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙලන ලද, පුදුමාකාර ලෙස අනුකම්පාවට මෙන්ම සියුම් නිරීක්ෂණයට ද ලක්විය යුතු සත්ත්ව කොට්ඨාසයකි."

තවත් තේරෙන්නේ නැතිනම් අපට කියන්නට දෙයක් නැත: අර උඩ පෙන්වා ඇති කාටූනයම කථා කරනු ඇත. 

Saturday, July 27, 2013

උදුලාලංකාරය | The Untold Story

උදුල් ප්‍රේමරත්න යනු මෑතකාලීන සරසවි ඉතිහාසයේ කැපී පෙනෙන නමක් දිනාගනු ලැබූ ක්‍රියාකාරී ශිෂ්‍ය දේශපාලකයෙකි. තවමත් උපාධිය අවසාන කර නැති උදුල් හට, සරසවි ශිෂ්‍යයා යයි නොකියා ශිෂ්‍ය දේශපාලකයා යැයි කියන්නේ යම් හේතුවක් ඇතිවය. [උදුල් ද මේ ලේඛකයා මෙන්ම සුලෝහිතයකු වුණාට කරන්නට දෙයක් නැත.] එහෙත් ඒ හේතුව පහදා දීමට තරම් මහා විසාල දෙයක් නොවේ. ඇරත් මේ අප කියන්නේ අපේ ලිපියක් ලිවීම නොව, වෙනත් ලිපියකට පාර පෙන්නීමක් පමණි. 

ආරළු බීරළු කාසි කුරක්කල් නැතිව කෙටියෙන් කියන්නේ නම්,



  • ලිපිය ලිව්වේ චමිල ඩි අල්විස්.
  • ලිපිය තියෙන්නේ උගෙ බ්ලොගේ. Feeding the Monkey.

  • මෙන්න උපුටනය.

    "...මේ උදුල් ගැන කතා කිහිපයක්.
    • දවසක් පප්පා නිදහස් අද්දියාපනේ විකුණන්න ගියා. විෂ්ණු දෙයියො ඒක දැකල උදුලට කතා කලා. කතා කරල කිව්ව ලංකාවෙ නිදහස් අද්දියාපනේට කෙල වෙන්නයි යන්නෙ. උඹ ගිහින් බේර ගනින් කියල. එදා තමයි උදුලය ඉපදුනෙ.
    • උදුල් පුංචි කාලෙ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් අම්ම කෙනෙක්ට සෙක්ස් එකට කතා කරල තිබ්බ පුතා ඉස්කෝලෙට දාලා දෙන්නං කියල. උදුල ගත්ත වැලි පොල් කට්ට අතට. එක පාරයි ප්‍රින්සිපල්ට ගැහුවෙ. පුතාව නිකන්ම ඉස්කෝලෙට දාලා දුන්න.
    • උදුල පලවෙනි පන්තියට යනකොට තුන වසරෙ ටීචර් පන්ති වලට උගන්නන්නෙ නැතුව පොඩි එවුන්ට එයාගෙ ටියුෂන් එකට ගෙන්න ගෙන තිබුන. උදුල ගිය ටීචර් ගාවට. ගිහින් කිව්වා “තීතල්, අදිලාද්‍යවාදී අමනකං අතෑලලා පීදිත පන්තියට අද්දියාපනේ ලබා දෙන්න“ කියල. ටීචර් තුනේ පන්තියට පීඩිත පන්තියත් එකතු කරල නිදහස් අද්දියාපනේ දුන්න.
    • උදුල් පහ වසරෙ සිස්සත්තෙ කරන්න ඉද්දි ඕලෙවල් අයියලගෙ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිට වෙලා තිබුන. උදුලට ආරංචි වුනා විතරයි කලාප අද්දියාපනේට කතා කරල කිව්ව “සර් පහ වසරෙ සිස්සත්තෙට එහෙම මෙහෙම වුනොත් අපි දීප ව්‍යාප්ත මෙව්වා එකක් ගෙනියනව ඔක්කොම වැඩ කරන මාමල නැන්දල එකතු කරල“ කියල. පහ වසරෙ සිස්සත්තෙ කිසිම අවුලක් නැතුව ගියා.
    • උදුල් ඕලෙවල් කරන්න ආවලු. එතකොට විසය ඔක්කොම වෙනස් වෙලා සිලබස් කරකැවිලා ගිහින්ලු. උදුල බලං හිටියෙ නෑලු. ගියාලු ඉසුරුපාය දෙබෑ කරන්ඩ කියල. අධ්‍යාපන ලේකංගෙ මේසෙට නැග්ගලු. නැගල මොනවත් නොකියා අර අභීත බැල්මෙන් මෑන්ගෙ මූණ දිහා බලාගෙන හිටියලු. කොහොම හරි ඊලඟ දවස වෙද්දි සිලබස් ප්‍රශ්න ඔක්කොම හරිලු. ජාතියන්තර කොරොමවේදෙකට අප් ටු ඩේට් සිලබස් එකක් එක රැයින් ගොඩ දැම්මලු. ඒ මදිවට සිලබස් එකේ අන්තර්ගතේ ගැන බලන්න ක්‍රියාකාරී කමිටුවක් අද්දියාපන ලේකං අතින් සල්ලි දීලම දැම්මලු.
    • උදුල් ඒලෙවල් වලට එනකොට කිසිම ඉස්කෝලෙක හරි හමං විදියට උගන්නන්නෑලු, ටියුසන් යන්නැති එකෙක් හිටියොත් ඌට බඩුම තමාලු. මේ අසාදාරනේ දැකපු උදුල්ට යකා නැග්ග. උදුල ගියා ටියුසන් වල අගනගරය, නුගේගොඩට. ගිහින් ඔක්කොම ටියුසන් පන්ති වලින් ඒ ටියුසන් බුවාලව පැන්නුවලු. ඉස්කෝලෙ වගේ දහ ගුණයක් හොඳින් ටියුසන් වල උගන්නපු සෑර්ලා මිස්ලට කස පාර දීල ආපහු ඉස්කෝල වලට යැව්වලු. එදා ඒ සිද්ද වුන දේ ජේසු යුදෙව් වෙලෙන්දන්ට ගැහුව එකටත් වැඩිය හැපනිං ලු. එදායින් පස්සෙ ඉස්කෝල වල ඉගැන්නිල්ල 100% දක්වා කාර්යක්සම වුනාලු. ටියුසන් වලට තිබුන ඩිමාන්ඩ් එක අඩු වුනාලු. එහෙමම එකෙක් ඇර නිදහස් අද්දියාපනේම පිහිටෙන් විතරක් ඒලෙවල් පාස් වෙන්න හැමෝටම පුලුවන් වුනාලු.
  • ඉතිරියත් බලනවා නම් මෙන්න ලිංකුව. 

          Wednesday, July 24, 2013

          හැකියාවට රැකියාව | A Job to Sob

          අපේ රටේ ඉංජිනේරු අධ්‍යාපනය ගැන සරලම විවරණයක් අකිල නිමේෂ් සහෘදයාගෙන්... 



          ඕන්න පෙර රජදවස අරලියගහ නුවර සියල්ලදත්ත නම් රජකෙනෙක් දැහැමින් රටපාලනය කරාලු. සෑම සාර්ථක පුද්ගලයෙකුගේම කඩාවැටීම පිටුපස ගැහැනියක් ඇත කියන්නා වගේ සියල්ලදත්ත රජතුමාටත් ඉටිකිරිස් බිසවක් හිටියලු නොදත්තා කියල. අරලියගහ නුවර කොයිතරම් වස්තුව, සම්පත් තිබුනත් සියල්ලදත්ත රජතුමාගේ වටිනාම වස්තුව උනේ මේ නොදත්තා බිසවලු. බිසව සතුටු කරන්න රජතුමා නොකළ දෙයක් නෑලු. බිසවට ඕනකරන හැම දෙයක්ම ටින් ටින් ගාල ගෙනල්ල දෙන්න වෙනම අමාත්‍යාංශයක් හිටන් තිබුනලු. ඉතිං ඔය හයිෆයි බිසවුන්ව නඩත්තු කිරීමත් ලෙසිපහසු නොවන නිසා රජතුමා මේ අමාත්‍යන්ශේට දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක්‍ම වෙන්කරල තිබුන කියලයි සෙල්ලිපිවල තියෙන්නෙ. 

          අපේ ප්‍රධාන නිළිය, නොදත්තා දේවිය පරිපාලනයේ අගතැන්පත් නිසාම බිසෝ කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂය ඩොලර් එක වගේ දවසින් දවස ඉහල ගියාලු. ඉතිං අයවැය හිඟය අඩුකරන්න කියල හිතාන සියල්ලදත්ත රජු මුලින්ම සහනාධාර කපාහරියාලු. දෙවනුව බදු වැඩිකරාලු. ටිකදවසකින් සංවර්ධන වැඩකටයුතුත් ඇනහිටලලු. ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ................. ගිහිල්ල අවසානයේ එක දුක්බර දිනයක රාජ්‍ය නිලධාරීන්ගේ දිරිදීමනා, අතිකාල සහ අශ්ව රථ බලපත්‍ර කප්පාදු කරාලු. ඔන්න එදා තමයි සියල්ලදත්ත රජතුමා කෙහෙල් ගහට කෙටුවේ.
          දැන් රටපුරා වැඩවර්ජන, පාගමන් කැරලි කෝලාහල හින්ද අරලියගහ නුවර අරාජික වෙනවලු. මේ අතරේ රජතුමාගේ බුද්ධි අංශයත් යුනියන් මහත්තුරු ගැන විපරමින්ලු හිටියේ. ඉතින් ටික දවසකින්ම සුදු අශ්වරථ වලින් ආපු නාඳුනන පිරිසක් නිලධාරීන්ගේ සංගමේ ප්‍රධානියෝ තුන්දෙනාව කුදලගෙන ගියාලු. මේ ප්‍රධානියෝ තුන්දෙනා පූජකවරයෙක්, වෛද්‍යවරයෙක් සහ ඉංජෙක්ලු. මේ තුන්දෙනාට තියෙන චෝදනා බරපතලයි. සියල්ලදත්ත රජුට විරුද්ධව කැරලි ගැසීම, මහජනයා කුපිත කිරීම, ඔය ඔක්කොම කමක්නෑ කියමුකෝ. නොදත්තා ශ්‍රී දේවියට අපහාස කිරීම. ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව එල්ලුම් ගස් යවන්න එපැයි ඒ කරපු අපරාදෙට. රජතුමත් බොහොම සාධාරණව නඩු විසඳලා තුන් දෙනාටම මරණ දඬුවම නියම කරාලු.
          වැඩේ කියන්නේ, රජතුමා වධකාගාරේට නිකුත්කළ ප්‍රතිපාධන කප්පාදු කරපුනිසා වධකයන්ව සේවයෙන් පහකරළලු තිබුනේ. ඒ වෙනුවට වධකාගාරයේ ගිලටීන් එකක් හයිකරළලු. දන්නවනේ අර බ්ලේඩ් එක පහලට ඇවිත් ඔටෝ බෙල්ල කපන ගැජට්එක. මේ තියෙන්නෙ. 

          ඔන්න තුන්දෙනාගේ ගෙල සිඳින දුක්බර දවස. මුලින්ම පූජකතුමාගේ වාරය. ශ්‍රී දේවියට අපහාසකල එකා නෙව. උඩුබැලි අතට හාන්සි කරාලු බ්ලේඩ් එක පහලට එනවා පේන්නම. බ්ලේඩ් එක සුරූස් ගාල උල්කාපාතයක් වගේ ආව. හරියටම බෙල්ලට අඟල් භාගයක් තියල නතර උනාලු.

          "මේක දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිදුඋන හාස්කමක්" පූජකතුමා සංතෝසෙන් කිව්වලු. දෙවියෝ කිව්වනම් නොකර කෝමෙයි කියල හිතපු සියල්ලදත්ත රජු පූජකයව නිදහස් කරාලු. ඊළඟට ඩොකා. ඇදල ගත්ත, උඩුබැලි අතට තිව්වා, බ්ලේඩ්එක එව්වා. මේ පාරත් හරියටම බෙල්ලට අඟල් භාගයක් තියල නතරඋනා කියමුකෝ.

          "මම සුවපත්කල ලෙඩුන්ගේ ආශිර්වාදයෙන් සිදුඋන හාස්කමක්" ඩොකත් සංතෝසෙන් කිව්වලු. මහජනයා කිව්වනම් නොකර කෝමෙයි කියල හිතපු සියල්ලදත්ත රජු ඩොකාවත් නිදහස් කරාලු. ඊළඟට ඉංජා, ඇදල ගත්ත, උඩුබැලි අතට තිව්වා, බ්ලේඩ්එක එව්වා. තුන්වෙනි පාරටත් හරියටම බෙල්ලට අඟල් භාගයක් තියල නතරඋනා කියමුකෝ.

          සුට්ට වෙලාවක් උඩ බලාගෙන හිටිය ඉංජා "ආ,.. මේකයි මේ කේබල්එක හිරවෙන්නේ" කිව්වලු. එතැන්සිට ඉංජාගේ තත්ත්වය සෝචනීයයි පිංවතුනි. 

          හැකියාවට රැකියාවක්, රැකියාවට කැපවීමක් නිසා ඉල්ලන්කන ඉංජන් වෙනුවෙන් සාදුකාරයක් දෙන්න පිංවතුනි.

          සටහන: ඡායාරූපයේ දැක්වෙන්නේ "පාන් නැත්නම් කේක් කන්න කියපල්ලා" යන සුප්‍රසිද්ධ ප්‍රකාශය කළ ස්පාඥ්ඥයේ මරියා තෙරේසා ය. බොහෝ දෙනා සිතන පරිදි මෙය ප්‍රංශයේ මාරි ඇන්ටනොයිට් කුමරියගේ ප්‍රකාශයක් නොවේ. චිත්‍රය අඳින ලද්දේ Diego Velázquez විසිනි.

          Wednesday, July 17, 2013

          විශාඛාව විකුණාගෙන කෑම | Selling the Serene

          පසුගිය දිනෙක විශාඛා විද්‍යාලයය මගින් සංවිධානය කර තිබු පාගමනට ලංකාවේ ඉන්නා සංස්කෘතික බල්ලෝ බැල්ලියෝ බොහෝ දෙනෙකු හට අන්ද කයිප්පුව තද වී ඇති බව අපට දකින්නට ලැබිණි. මුලින්ම මුහුණු පොතෙන් මේ උඩුබුරලීම ඇරඹුවේ බොංග මඩවර්ධන නොහොත් සමහරුන් කියන පරිදි බොගවර්ධන සූරීහු ය; එනම් සයිබරය පුරා මෙකී (රෙද්ද පල්ලේ සදාචාර) සුනඛාලාපය හෙවත් Hyperconductophilia නම් වූ අධි සදචාරවාදය දෙසන සදාචාර ජුන්ටාවේ ඉඩි අමීන් වන්නා හ. අප උහුට දිය යුතු ඉහළම මට්ටමින් පිළිතුර දී ඇත්තෙමු. ඒ ලිපිය බලා නැත්නම් මෙතනින් බලා සිටීම වඩාත් සුදුසු ය.

          කෙසේ වෙතත් මෙකී බිරිල්ල පසුපස හුදෙක් ලිංගික ඊර්ෂ්‍යාව පමණක් පදනම් ව ඇති බවට අප කළ අනුමානය වැරදි බව මේ වන විට පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ අපේ ඊනියා අධිසදාචාර වාදී හුචක්කුවන්ගේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ. අප මුලින් උපකල්පනය කෙළේ මෙකී අධිසදාචාර අයියලා වනාහි හුදෙක් "පහන තියා බුදු සාදුට හිමිදිරියේ" ගෙදරින් ඇවිත් රෑට "යටලීයෙන් නාරිලතා මල් පූදිනු" දකින තාලේ ජෙකීල්-හයිඩ් මානසිකත්වකාරයන් කියා ය. බැලින්නම් ඊට වඩා මුන්ගේ මානසික විකෘතිය දරුණු ය.

          අප මීළඟට ඔබට පෙන්වන විගඩම පළකළ අපේ ෆොටෝ කරුවා තමාගේ පිටුව හඳුන්වා දෙන්නේ "සිංහල ජාතියට,බුදු දහමට වින කරන අයගේ මූණු බලන්න ආසද? එහෙනම් මෙහෙ එන්න" යනුවෙනි. ඇත්තටම එය ඇත්ත ය; මන්ද ඔහුගේ පිටුවේ ඇත්තේ ම, සිංහල ජාතියට, බුදු දහමට වින කරන ආකාරයේ පෝස්ට් පමණක් බැවිණි. මේ ඉන් මෑතදීම පළ වූ ජෝක් එක ය. මෙය උපුටාගෙන ඇත්තේ "සිංහ FBI" ලෙස තමන්වම හඳුන්වා ගන්නා නපුංසකයකු ගේ වෙනත් පිටුවකිනි. (මේ දෙකම කරන්නේ එකාම බව උන්ගේ වචන භාවිතය බැලුවාම පැහැදිලිව පෙනේ. )


          පුහුල් හොරා කරෙන් දැනෙන්නේ කියන්නේ මෙව්වාට ය. මෙව්වා බලා පුකෙන් හිනා වෙනවාට වඩා මොනවා කරන්නද? "ආදරණීය විශාඛාවනි!" යැයි මේ ෆොටෝ එකේ උලා තිබෙන එකාලා සහ උගේ හැත්ත බුරුත්ත පහුගිය කාලයේ විශාඛාවන්ට ඇමතුවේ "ආදරණීය" කියා නොවේ. වේසාඛා, වෛශාඛා, වේසියෝ යනාදී සුන්දර අමෘතාවාහ වචනයෙනි.

          හොරාට කලියෙන් කෙහෙල් කැන වැට පනිනවා යයි කීවා සේ ලත් තැනම රීගෙන ඇති මේ ගොන් කතාවට දෙන්නට ඇති හොඳම උත්තරය අපේ ෆේස්බුක් සහෘදයකු විසින් මුහුණටම කියා තිබිණි. අපි එයද එසේම උපුටා දක්වමු:

          "සිංහ එෆ්.බී.අයි.... බඩ යනවා ඕයි හිනා වෙලා...!....ෆේක් පුණ්ඩියන්ගෙ එෆ්.බී.අයි....! එෆ්.බි.අයි එකයි, සිංහයොයි දෙගොල්ලම මුන්ට නඩු දානවා මේක දැක්ක නම්...
          "අපි ඔබට බුර්කා අඳින්න කියන්නෙ නැත... ඔබලාට ලැබී ඇති නිදහස එයයි..." ... යකෝ එතකොට මුන් තමයි ගෑණුන්ට අඳින්න ඕන එක කියලා දෙන, උන්ට නිදහස දෙන පොරවල් දැන්.... මුන් බුර්කා අඳින්න නොකියන නිසා තමයි ලංකාවෙ ගෑණුන්ට ඒ නිදහස ලැබිලා තියෙන්නෙ....! අඳින්න කියලා මුන් නියෝග කළා නම් අඳින්න වෙනවද එතකොට...? .....කියලා වැඩක් නෑ ඕයි...!...ෆේස්බුක් පුණ්ඩි ගිය උඩ කිව්වලු...!....මරු අයියලා ටික නම් ගම් මූණු නැති....!"

          දැන් මේ "සිංහ FBI" aka "වින කටින උන් අල්ලන මහඑකා" ගේ පේජ් එක කරන එකා කරන්නට හදන්නේ කුමක් ද? මේ කරන්න හදන්නේ "උඹලට මේ මඩ ප්‍රහාර නවත්වා ගන්න ඕනේ නම් අපිත් එක්ක වරෙවු" යනුවෙන් බ්ලැක්මේල් කිරීම නොවේ ද? මේ වනාහි හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නොව, හොරාගේ අම්මා, බඩුවේ අයිතිකාරයාගේ ගෙදෙට්ට ඇවිත් රෙද්ද ඉස්සීමකි. මීට හේතුව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. දිනෙන් දින පල්ලම් බහින ඊනියා අම්මගේ රෙද්දේ ජාතික ව්‍යාපාරය හෙවත් ජාතිකත්වය ව්‍යාපාරයක් කරගැනීම නමැති නරාවලට මිනිස්සු වැටීම ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතී. වරක් අපේ සහෘදයකු පැවසුවා සේ, අදටත් මේ ජාතිකත්ව මෙවුවා එකේ ඉදිරියෙන්ම සිටින්නේ 138 පාර දෙපැත්තේ ඇති ජනාවාස සහ (ඊට යමක් එක්කරන්නේ නම්) දෙහිවල සිට එහාට ගාලු පාර දෙපස කළුතර වාද්දුව දක්වා ජනාවාස පමණි. එයද, මෙකී අධිසදාචාරවාදීන් ගේ අහවල් වික්‍රමයක් නොව, (අපවත් වූ නොව) අපවත් කරවා වදාළ අති ගෞරවාර්හ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන් ගේ සහ ඊට පෙර, මුළු රටම දහම් සුවෙන් නැහැවූ සුමධුර ධර්ම කථික, විචිත්‍රභාණක පානදුරේ අරියධම්ම හිමිපාණන් ගේ දේශනා මහිමය නිසා ය.

          එසේ වෙතත් මෙකී ජාතික ව්‍යාපාරයේ ලැගගෙන ඉන්නා අමන පිස්සු බල්ලන්ගේ ක්‍රියාවන් නිසා තත්වය මොකක් වුණත් දිනෙන් දින මිනිස්සු ඒ හා බිඳෙමින් ඉවත් වෙමින් යන බව ඇස්පනාපිට ම දකින්නට හැකි විය යුතුය. එසේ නොපෙනෙන්නේ පඬු පාට කණ්නාඩි පැළඳි දෑසින් ලොව බලන අමන මුග්ධයන් හට ය. මෙය කිසි සෙත් අප අපේක්ෂා කළ මට්ටමක් වත්, අප අනුමත කරන ප්‍රපංචයක් වත් නොවේ. කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය කෙතරම් ඛේදනීය ද යත්, සමහර සංවිධාන වලට තමන්ව ප්‍රොමෝට් කරගැනීම පිණිස මුදල් ගෙවා "ප්‍රවර්ධකයන්" ද පත්කර ගැනීමට සිදුවී තිබේ. දැන් මේ සිද්ද වන්නේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා වාගෙ, දිනෙන් දින පජාත වන ඊනියා ස්වොත්තම වාදයට උන්මාදයට අලුතින් පිරිස බඳවා ගැනීමයි. මේ එහි අලුත්ම පියවරයි. එනම් පාරෙ යන වරත්තු බල්ලකු ලයිට් කණුවකට සුළුදිය බහන්නා සේ, සිංහල බෞද්ධ සංස්කෘතියේ පාදම් කණු වලට හුලිජ්ජ වත් කරමින් එතැනින් වත් ගොඩ යා ගත හැකිදැයි බැලීම ය. මළාට මේවයින් නම් මිනිස්සු අන්දවන්නට ලැබෙන්නේ නැත. විශේෂයෙන් කොළඹ මධ්‍යයේ ගෙන්දගම් පොළොවේ රස්නේ හොඳට හුරු පුරුදු විශාඛාවන් අන්දවන්නට නම් මීට වඩා සූදුරු මාදුරු අරං එන්නට සිද්ද වනු ඇත.

          තහනම් වචන ලියන අප, එදා සිටම ජාතික ව්‍යාපාරයට සහ විශේෂයෙන් ම බොදු බල සේනාවට යම් පාර්ශ්වික භාවයක් දැක්වූ බව රහසක් නොවේ. එහෙත් දැන් මේ සිද්ධ වන්නා වූ දේවල් සමග අපට එහි යම් ක්‍රියාකාරීන් (හෝ එසේ පෙනී සිටින්නන්) සමග බරපතළ මතගැටුමකට මුහුණ දීමට සිදු වී තිබේ.

          වජිර S යනුවෙන් අප හඳුන්වන්නට කැමති එක්තරා ඓහිකවාදී විචාරකයෙක් ෆේස්බුක් හරහා මේ ගැන සිය දැකීම මෙසේ පැහැදිලි කර තිබිණි. මෙය වනාහි ජාතිකත්ව චින්තනයේ සීමාවෙන් ඔබ්බෙහි වසන යම් තුන්වන පාර්ශ්වයකගේ කියවීමක් ලෙස සළකමු:

          "සදාචාරය පුද්ගලිකය, එය හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගය වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති නිහඬ පිළිවෙතයි, අන් අයගේ සදාචාරාත්මක භාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල ගිරිය යටින් කෑගසන්නන් සියල්ලම පාහේ වදවෙන්නේ ඔවුන්ගේ සදාචාරත්මක භාවය ගැන නොවේ. තමන්ට කිසි සේත්ම අදාලත්වයක් නැති, තමන් අන්තර්ජාලයෙන් පමණක් දැක ඇති, අන් තැනෙක වෙසෙන අයගේ හැදියාව ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්ලජ්ජිත භාවයක් සහ මුග්ධ බවක් අපේ තරුණ පරපුරට ලැබී ඇත්තේ මෙවැනි රටක වෙසෙන්නේකුගේ ස්වභාවික මානසික පීඩනය සහ ලිංගික අසහනය “ ජාතික ව්‍යාපාරය” නමැති කිණිහිරය මත තැලුම් කන විටය.  
          බොදු බල සේනාව හා අනෙකුත් “ජාතික ව්‍යාපාර” වලින් රටට සිදු වන හානිය හුදෙක් ජාතිවාදය හෝ ප්‍රචණ්ඩත්වය පමණක් නොවේ - රටෙහි තරුණ පරපුරෙහි මනස තුල පසුගාමී චින්තනයක් වැපිරීමේ හානිය මේ දෙකටම වඩා භයානකය, “හම්බයින්ට” සහ “කුරුසකාරයින්ට” එල්ල වන ප්‍රචණ්ඩත්වය පිළුණු වූ විට එය නැවතත් හැරෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනදා නිදහසට, රටෙහි කාන්තාවගේ අයිතිවාසිකම්වලට එරෙහිව අන්තවාදී සහ පසුගාමී “සිංහල බෞද්ධ” යුටෝපියාවකට රට ගෙනයන බෞද්ධ සෞදි රාජයකට පාර කපන බල කඳවුරකටය.
          ජාතික ව්‍යාපාරයට පෙර මෙවැනි ආකල්ප තිබුනානම් එය සුළුතරයකි, සින්හලකමද නොවන, බෞද්ධකමද නොවන මෙවැනි ආකල්ප වලට මුල් වන්නේ ඊර්ෂ්‍යාව සහ කාලකන්නිකමයි.
          රටෙහි “ගැහැනුන්” සදාචාරාත්මක කිරීමට වලිකන පිරිමින් තුල ඇත්තේ සදාචාරය නොවේ, ආතතිය සහ පැරනොයාවකි, අරාබිකරයේ වෙසෙන ඔවුනේ ඉස්ලාමික අන්තවාදී සහෝදරයින් මෙය දෑනටමත් අත්පත් කරගෙන ඇත්තේ සිය කාන්තා පරපුර හිසේ සිට පාද තෙක් වසා, සමාජයෙන් කොන්කර, භාෂණයට හෝ අද්‍යාපනය ඇති අයිතීන් උල්ලංගනය කොට මුහුණක්, හඬක් හෝ සිතිවිලි නැති හුදෙක් ප්‍රජනන උපාංග බවට පත් කිරීමෙනි - ඔවුන්ට එරෙහිව හඬ නගන අපේ කරුමක්කාරයින් වෙනස් වන්නේ ජාතියෙන් සහ ආගමෙන් පමණි, ආකල්ප අතර වැඩි වෙනසක් නැත...  
          සිය මව හැරෙන්නට අන් කිසි ගැහැණියකට සමීප නොවන්නෙකු ගේ මනසේ වෙසෙන ගැහැණිය, සිය මව වැනි දරදිය අදින, පියාට කීකරු, පුද්ගලිකත්වයක් නැති තැනැත්තියකි, එබැවින් සමාජයට පිළිපන් කල්හි මොවුන් අන් ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ මනෝභාවයන්ට අභියෝග නොකරන ඉතා කීකරු ඇවිදින මළකඳන් ය - ඔවුන් තනාගන්නා රාමුවෙන් පිට ජීවත් වන ගැහැණිය යනු “නිවැරදි මගට ගත යුතු” වෙය්ශ්යාවකි.
          ගැටුම් විසඳිය හැක, දේපල පිළිසකර කල හැක, නමුත් මෙවන් ආකල්ප සමාජය පුර ඔඩු දිවීම ඒ දෙකටම වඩා පිළිසකර කිරීමට අපහසු තත්වයකි."
          මේ මතය සමග සීයට සීයක් එකඟ විය නොහැකි තැන් ද ඇති මුත්, සමස්තයක් වශයෙන් එය ඉතා හොඳ කියවීමකි. මේ වනාහි ජාතිකත්ව ව්‍යාපාරය අද පත්ව ඇති තැන පිළිබිඹු කරන හොඳ කැටපතකි.

          මේ ෆොටෝ කල්ලියේ අමනයා ගැන ද යමක් කියා ම, මෙය අවසාන කරන්නෙමු. එදා මුගේම කල්ලියේ අනිත් උන්දෙලා සමග පාගමනට පලු යන්නට බණින ෆොටෝ වලට උඩ පනිමින් ලයික් කළ, ෂෙයාර් කළ, නුරා මතින් යුතුව හූ කියමින් කමෙන්ට් කළ ජාතිකත්ව නරි රැලේ ඉහළම සාමාජිකයා හෙවත් මෙකී කාලකන්නි ෆොටෝ කරුවා දැන් (රෙදිත් ඇඳගෙන දෝ හෝ) සිය ඊනියා ජාතික ව්‍යාපාර වල රැස්වීම් වලට ද එන ලෙස "ආදරණීය විශාඛාවන්ට" ආමන්ත්‍රණය කරයි.

          අනේ ආදරණීය නංගියේ.. රත්තරං දුවේ.. පණට ආදරයක් තියේ නම් මේ අසහනකාරයොන්ගෙන් හත්ගව්වක් ඈත් වෙලා හිටපල්ලා..

          Saturday, July 13, 2013

          විශාඛා පාගමන සහ ගෙරි පාගමන | The Visakha walk and Cattle walk

          විශාඛා විද්‍යාලයීය වාර්ෂික පාගමන මේ මස එනම් ජුනි පළමුවන දින පන්දහසකට අධික ශිෂ්‍යාවන් සහ ආදී ශිෂ්‍යාවන් ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදි. ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ලක් සඳහා මුදල් සම්පාදනය කිරීම පිණිස විද්‍යාලයීය ආදී ශිෂ්‍යා සංගමයේ සහ පාසැල් සංවර්ධන සමිතියේ මෙහෙයවීම යටතේ, විද්‍යාලයීය විදුහල්පතිනිය, ආදී විදුහල්පතිනිවරුන් සහ වෙනත් බොහෝ සම්භාවය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණි.

          විශාඛාවන් පාගමන ගිය එක ගැන හොඳම ඉස්ටෝරිය වාර්තා වන්නේ බුකියේ වෙසෙනා අධිසදාචාරවාදියකුගෙනි. පහසුව තකා අපි ඔහු බොංග මඩවර්ධන ලෙස හඳුන්වමු. බොංග අයියා මේ සයිබර් අවකාශයට අමුතු චරිතයක් නොවේ. හම්බාවන් නම් සත්ත්ව විශේෂය වඳකරලීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ, එදත් අදත් ආණ්ඩුවේ කුක්කු පැටියා වන මෙතුමා ගැන දන්නෝ ඉතාම හොඳින් දනිති. ඔහුට වඩා සදාචාර වාදියෝ මේ සයිබරයේ නැතැයි සිතෙන තරමට ඔහු සදාචාරවාදී ය.



          කෙසේ වෙතත් අපේ බොංග අයියා විශාඛා පාගමන ගැන මෙන්න මේ ෆොටෝ කෑල්ල පළ කරමින් මෙසේ කියයි:

          ඉස්සර පාසල් ජීවිතයේ අපි වාර්ශික ගමන් ගිය හැටි තාමත් මතකයි. අවුරුද්දකට වතාවක් පමණ පාසල් සුදු නිළ ඇඳුමෙන් සැරසී එක පෙළට මහ පාරේ යන විට අපේ අත් වල තිබුනේ "දුම් වැටි හා මත් වතුර බීමෙන් වළකින්න", "බුදු සසුන බැබලේවා" වගේ පාථ සඳහන් පුවරුයි. විහාරෙට යන ගමනක් නම් හැම ළමයෙක්ගේම අතේ මල් වට්ටියක් සහිතව සාදු කාර දෙමින් ගමන් කරද්දී, ළමයින්ගේ අම්මලා තාත්තලා හරිම ආසාවෙන් සතුටෙන් ඒ දිහා බලා හිටියා.
          "සික්ෂාවියන්" ට අද වෙලා තියෙන දේ බලන්නත් කණගාටුයි. මේ පින්තූරයෙන් දිස් වන්නේ විශාඛා විද්‍යාලයේ "Annuel Walk" එක. පාසල් සුදු නිළ ඇඳුම වීසි කර ඒ වෙනුවට ඩෙනිම් ටී ශර්ට් ඇඳගෙන. අහළ පහළින් වාහනයකට යන්න බෑ දැක්ක ගමන් කෙල්ලො ටික එකතු වෙලා ඒකට හූ තියනවා. ඒ හින්දමදෝ "Annuel Walk" එක දාට ඒ පාර වහලා මගීන් රස්තියාදු වෙනවා. මත් උවදුරෙන් රට මුදවගැනීම, රෝහලකට වැඩිහිටි නිවාසෙකට උදව් කිරීමේ අරමුණින් ආධාර එකතු කිරීම වගේ, අසූව අනූව දසක වල සිටි හැදිච්ච දරුවන්ගේ උදාරතර චේතනාවන් වීසි කළ අද කාලේ පොෂ් කෙල්ලෝ බෙර ගගහා ෆැෂන් එකට නට නටායි පෙළපාළියේ යන්නේ.
          විශාඛා විද්‍යාලයට තවදුරටත් ඔය නම භාවිතා කිරීම, එදා තම පියාණන් වහන්සේගේ උපදෙස් අනුව යමින් සංවරත්වයේ පරමාදර්ශී කාන්තාව වූ විශාඛා කුමරියටත් කරන අපහාසයක්.
          මහ පරේ ඔහොම හැසිරෙන්න ඉගෙන ගන්න කොළඹ පාසල් වල දැරියන් පාසල් ඇතුළේ හැසිරෙන හැටි මෙන්න මේ වගේ.
          1. http://www.youtube.com/watch?v=NZ2PObTZ6WU
          2. http://www.youtube.com/watch?v=YJuvkBgVfik
          පාසලෙන් පිටදි ඔවුන් හැසිරෙන හැටි බලාගන්න ඕනැනම් කොළඹ අවට ලැගුම්හල් සහ අනවසර ගබ්සා ආයතන වලින් සේවය ලබා ගන්නා අවුරුදු 18 ට අඩු දැරියන් ගැන සමීක්ෂණ වාර්තා කියවා බැලීම හොඳටම ප්‍රමාණවත්. ලැගුම්හල් වලට එන පාරිහෝගිකයින්ගෙන් 70%ක් පමණ පාසල් වයසේ දරුවන් බව දිවයින පුවත්පතේ පළ වූ එක් සමීක්ෂණ වාර්තාවක තිබුණා මතකයි.
          පාසල් වලිනුත් මෙලෙසින් "බටහිර සංස්කෘතිය" පොවාපු මේ දරුවො කසාද බඳින්නත් කළියෙන් බඩ වුණාම හෝ රස්තියාදු කාරයෙක් අතින් අනාත වුණාම අන්තිමට බටහිර බැලයිනුත් බනින්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දරුවන්ට කවදාවත් හුරු නොකළ "සිංහල බෞද්ධ සංස්කෘතියට" යි. ළමයින්ව දහ දුරා කමට හදලා අන්තිමට "ධර්මද්වීපයට වෙලා තියෙන දේ" කියල කියන්නනම් උන් එක පයින් කැමතියි. 
          සිංහල ගැහැණු දරුවන්ව මහ පාරේ විලි බිය නැතිව පෙළපාළි ගෙන යාමට හේතුව කුමක්ද? අදාල පාසල් වල විදුහල්පතිනියන් ඇතුළු මේවා සංවිධානය කරන අයගේ බැංකු ගිණුම් චෙක් කළානම් ඒ දේවල් වලට හේතු ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. සමලිංගික නොර්වේ තානාපතිනි ගේ‍්‍රට් ලෝචන් සහ ඇගේ ලෙස්බියන් සහකාරිය ව, සමලිංගිකත්වය තහනම් කරපු ශ්‍රී ලංකාවට පත් කර එව්වේ නොර්වේ විදේශ අමාත්‍යාංශයට වැරදීමකින් නොවෙයි. ඉදිරියේදී බ්‍රා බර්නිං ෆෙමිනිස්ට්ලා (ස්ත්‍රීවාදිනියන්) නිරුවතින් බෝඩ් ලෑලි එල්ලගෙන මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් මේ රටේත් ඇති කිරීමට බටහිරයින් කළ හැකි සෑම දේම කරාවි.

          විශාඛා පාගමනට එල්ල වූ බරපතලම චෝදනාව වන්නේ එහි බාලිකාවන් ඩෙනිම් ඇඳීමයි. මේක ලෙඩකි. එසේ මෙසේ ලෙඩක් නොව තදින්ම බෝවෙන ලෙඩකි. මේ දිනවල හෝ ගා පැතිර යන මේ ලෙඩට හේතු වන්නේ අලුත්ම වෛරසයකි. මෙහි මුල් නිජබිම ඉන්දියාව වන අතර දැනට මෙය වඩාත්ම දරුණුවට පැතිර යන්නේ මැද පෙරදිග ය. නමින් මෙය Hyperconductophilia හෙවත් "අධිසදාචාරෝන්මාදය" නම් වේ. මෙහි නිත්‍ය සහ අනන්‍ය රෝග ලක්ෂණ වන්නේ කොට ගවුම්, කොට සායවල්, පාරේ නටන කෙල්ලන්, සිංදු කියන කෙල්ලන්, දත් පෙන්වා හිනාවෙන කෙල්ලන්, මොඩලින් කරන කෙල්ලන්, ජීන්ස් අඳින කෙල්ලන් පෙනෙන්ට බැරි වීමය. (සටහන: බුරිය පෙනෙන්ට සාරි අඳින කෙල්ලන් කමක් නැත. ) දෙරණේ ඩිල්කා ගේ ඇඳුමටත් මල්ලි නැග්ග උන්දෙලාට ඩෙනිම දැක්කාම මොනවා හිතෙන්නට ඇත්දැයි අපට හිතා ගන්නට පිළිවනි.

          බොංග අයියාගේ බොක්කතාවට (බොග + කතාව = බොක්කතාව) කොමෙන්ටුවක් දමා තිබු එක මීහරකෙක් කමෙන්ට් කරමින් බෞද්ධ පාසලක් නම් කෝ බෞද්ධ කොඩිය කියා අසා තිබුණි. මේ ලියන ලේඛකයාද ආදී ආනන්දීයයෙකි. එසේ වෙතත් අපි බෞද්ධ කොඩිය බිග්මැච් එකට එල්ලන සිරිතක් නැත. බෞද්ධ කොඩිය දාන තැන් වගේම නොදැන තැන් ද පවතී. මේ ගොන් ප්‍රශ්නය අහපු එකා උගේ හනිමූන් එක දවසේ කාමරේ එල්ලන්නෙත් බෞද්ධ කොඩිය විය යුතුය.

          බොංග අයියාගේ කතාවට තාලයට තප්පුලන සිහ සැරිය (ඔව් ඔව් අර එඩ්වඩ් ස්නොඩන්ට සිංහල කෙල්ලක් පංගාර්තු කරන්න ගිය එක තමා) නම් පිටුවක පළවූ එක්තරා පුවතක් අපි දුටිමු. එනම් සාරුවා සුනිල් පෙබරවාරි මස නවවන දින අල්ලන බවයි. දැන් අගෝස්තු ය. සුනිලා තාම එළියේ ය. අපේ උන්දෙලාට අමතක වුණොත් කියා අපි මෙන්න මේ පුංචි මතක් කිරීම කර තබන්නෙමු.



          විශාඛා පාගමනට පහරදෙන උන්දෙලාට මෙතැන ඇති එකම අමාරුව වනාහි ලිංගික අහේනිය මත පදනම් වූ ඊරිසියාව ය. මන්ද අපේ ලංකාවේ ඉන්නා එව්වන්ට ඇති ලොකුම ලෙඩේ වන්නේ ලිංගික අධ්‍යාපනයක් නැතිකම වීම නිසා ය. මුන්ට පොඩි කාලේ කියන්නේ බබා ගෙනාවේ රෝස කැලෙන් ය, නැත්නම් වහලෙන් කොකා ගෙනත් දැම්මා කියා ය. ඉතින් යමක් කමක් තේරෙන වයසට ආවිට, සෙක්ස් කියන දේ තේරෙන්නට පටන්ගත් විට මුන්ට දෙලෝ රත්වෙන්නේ ය. මන්ද මුන් ඉන්නා අවමානික සහ අවර්ධිත මානසික මට්ටමේ හැටියට තමුන්ගේ අම්මා තමුන්ගේ තාත්තත් එක්ක බුදියගත්තය යන සත්‍යය පිළිගන්න තරම් ධෛර්යයක් නැති කම නිසා ය. එතනින් එහාට මුන් ලෝකේ ගෑණු දකින්නේ වර්ග දෙකකට ය. එනම් "සෙක්ස් කරන ගෑණු" සහ "අම්ම වගේ ගෑණු" ය. මුන්ට මේ වර්ග දෙකෙන්ම ඕනේ ය. එකක් අවශ්‍ය වන්නේ ආතල් ගන්නට ය. ඒ වනාහි අර කොට ඩෙනිම් සායවල් අඳින, වොඩ්කා බෝතලේ කටේ තියන් බොන, ක්ලබ් යන "කෑල්ල" ය. බොහෝවිට මේ "කෑල්ල" ගැන මුන්ගේ හිතේ තියෙන්නේ බටහිර චිත්‍රපටයක ස්ට්‍රිපර් කෙනෙක් වටා හදාගත්ත අධිස්වාභාවික මානසික විකෘතියකි. හැබැයි මුන්ට ඒක ඕනේ අවශ්‍ය ය. මොකටද, ආතල් ගන්නට ය. බඳින්නට නොවේ. 

          දෙවෙනි වර්ගයේ ගෑණු වනාහි දහම් පාසැල් යන, ඩෙනිම් නාඳින, බිම බලාගෙන යන, (කොටින්ම කිව්වොත් තමන් ඇරෙන්න වෙන මිනිහෙක් එක්ක බුදිය ගන්න එකක් නැතෙයි කියල සීයට සීයක් සහතික වෙන්න පුළුවන්) ගෑණු ය. ඒ කියන්නේ "අම්ම වගේ ගෑණු" ය. ඒ හොයන්නේ බඳින්නට ය. තමුන් හතර වටේම ගිහිං පොල්පිති හතම පැනල ගෙට ආවා වුණත් කකුල් දෙක සෝදා ගෙට පිළිගන්නා, දෙවියන්ට වගේ සැමියාට සලකන ගෑණු ය.

          මේ දෙකම එකට කරන්න බැරිය. මොකද මේ යක්කු "The American Pie" බලල හිතේ මවාගන්නා සාන්දෘෂ්ටික ලෝකය මේ පොළොවේ නැති නිසාය. (සටහන: මුන්ට "The American Pie" යනු සෙක්ස් ෆිල්ම් එකක් බව සළකන්න. Original Sin, Sleeping Dictionary වගේ එව්වා ගැන මුන් අහලාවත් නැත.) ඉතින් අන්න ඒ නිසා සෙක්ස් ඉල්ලුමට සරිලන සැපයුම නැතිවු විට අපේ අයියලාගේ මෝල කරවෙන්නේ ය. මෙන්න ලිංගික අහේනිය හෙවත් සෙක්ස් ඇරියස් බිහිවෙන තැන.  



          මෙන්න මේ සෙක්ස් ඇරියස් සහිත සමාජයේ උන්දෙලාට ය මේ ප්‍රශ්න ඔක්කොම. කෙල්ලෙක් පාරේ ඩෙනිමක් ඇඳන් ගියාම ඒ කෙල්ලට බඩුව කියන්නේ අන්න ඒ නිසා ය. බස් එකකදී කෙල්ලෙක් ඇඟේ වැදුණත් ඒ කෙල්ලට බඩුව කියන මිනිස්සු ගැන ය, මා මේ කියන්නේ. බස්වල කෙල්ලන්ට පමණක් නොව ආච්චිලාට වුවද ජැක ගහන්නේ, ෆෝන් එකෙන් හොරෙන් ටොයිලට් ෆොටෝ ගන්නේ, නොදන්නා නම්බර් වලට මිස්කෝල් දිදී සෙක්ස් චැට් හොයන්නේ මෙන්න මේ සෙක්ස් ඇරියස් ඇති බයියලා ය.. මෙහෙව් බයියලාට මේ විශාඛා පාගමන වගේ එකක් දැක්කම පුදුම ඊරිසියාවක් මතුවෙන්නේ ය. "අම්මට සිරි මෙන්න කෙල්ලෝ පාරට බැහැලා නටනවා..!!!! %$^#$^%#^ මුන්ගේ අම්මලාට...!! " 

          විශාඛා පාගමන වගේ දෙයක් දුටුවාම ඇටදෙක පොළොවේ ගහගෙන කෑගහන අපේ සමහර සිංහල බෞද්ධ අයියලා සහ, තමන්ගේ ගෑනු හිජාබ් නම් වූ ගෝනි රෙද්දෙන් වසා  සමාජයෙන් කොන් කරන සමහර ඉස්ලාම් ආගමික අයියලා අතර මොනම වෙනසක් වත් අපිනම් නොදකිමු. මේ දෙගොල්ලොම වනාහි තාර්කික බුද්ධියක් නැති, ලිංගික අසහනයෙන් පෙලෙන එකම අච්චුවේ උදවිය ය. මුන් දෙගොල්ලොම බෙල්ලෙන් අල්ලා එකම සිර කුටියක තිබ්බා නම්, එකාට එකා මරාගන්නවාට වඩා එකඟ වියයුතු බොහෝ දේ ඇති බව උන් උන්ටම වැටහෙනු ඇත.

          මේ සිද්ධිය දඩමීමා කරගෙන සමහර විචාරක බයියෝ ලංකාවේ බෞද්ධ පාසැල් නැතැයි කියාද කියනු පෙනේ. මීට වඩා සාවද්‍ය කියවීමක් ගැන අපට හිතා ගන්නට වත් බැරිය. ලංකාවේ බෞද්ධ පාසැල් බෞද්ධ වන්නේ, ළමයි සරං ලමාසාරි ඇඳගෙන පාසැල් එන නිසා වත්, සිංහල රජකාලේ වගේ වැලිපිල්ලේ ලියන නිසාවත් නොවේ.  අපේ සංස්කෘතිය හඳුනන, එමෙන්ම නූතන සංස්කෘතිය සමග කිසිම ගැටලුවකින් තොරව ආබද්ධ වන බැවිණි; එසේ ආබද්ධ වන අතරම බෞද්ධ සංස්කෘතියට දිය හැකි උපරිමය දෙන බැවිණි.

          විශාඛාව පාලනය වන්නේ NGO එකකින් යයි ද සමහරු කියා තිබුණි. කතෝලික පාසැල් පල්ලියෙන් පාලනය වන්නා සේ, විශාඛාව පාලනය කිරීම ද පන්සලකට දිය යුතු යැයි ද එක්තරා මීහරකෙක් තප්පු ලා තිබිණි. අනේ සාදු! අපි නම් මේ යෝජනාවට උඩින්ම එකඟය. මන්ද අද වන විට රටේ අඩුවෙනවාය කියන සිංහල ගහණය ඉබේම ඒ හරහා වැඩිවන බව දන්නා බැවිණි. එකම දේ රටේ අනාත නිවාස පොඩ්ඩක් වැඩියෙන් හදා තියන්නට වනු ඇත. කොහොමත් ඊට පෙර අනිවාරයෙන්ම ගබ්සාව නම් තහනම් කල යුතුය. නැතිනම් අපේ උන්නාසේලාගේ මහන්සිය අපතේ යනු ඇත.

          කතාව සම්පූර්ණ වන්නට අපි බොංග අයියාගේ ආදරණීය "අහවල් රාවය" නම් සංවිධානය කර තිබු වෙනත් පාගමනක් ගැන විමසා බලමු. ඔය "රාවයෙන්", හරක් මැරිල්ලට එරෙහිව රුහුණේ සංවිධානය කර තිබු පාගමනක් අතරතුර දී තංගල්ලේ හරක්මස් කඩ කුඩු කරමින් යකා නැටු ආකාරය උසාවිය දක්වා දුරදිග ගිය ආකාරය අපට මතක තිබේ. මතක නැත්නම් මෙතැනින් බලන්න.

          දැන් ඔය විශාඛාවන් ගියේ ද පාගමනකි. අහවල් රාවයෙන් ගියේ ද පාගමනකි. විශාඛා පාගමනින් අපේ ගොබ්බ වාහෙලාට ආතල් කුඩු වීමට අමතරව වෙනත් වරදක් නම් සිද්ද නොවීය. එහෙත් අහවල් රාවයේ පාගමනින් අවසානයේ නම්, සංවිධායකයෝ ද මිනී මරාගෙන ඇති බව ආරංචි වේ. දැන් එතකොට සැබෑ ගෙරියෝ කවුදැයි සිතා ගැනීමට වැඩි මහන්සියක් දැරිය යුතු නොවේ.

          ගෙරි මැරිල්ලට එරෙහි පාගමනට ආවඩන, එහෙත් විශාඛා පාගමනේ දොස් දකින, උන්ගේ සදාචාරය ගැන බණ කියන අසහන කාරයින්ගේ ආතල් කුඩු කරනු පිණිස , දමිත් කේතක විසින ලියන ලද මෙන්න මේ ගීය බහා තබමි. (වැටෙන් එහා මල් පඳුරේ ගීයේ තාලයට ගයන්න).


          වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
          එහෙම උනත් මේ දෙරණේ.....
          ගෙරි මරන්න නම් තහනම්......
          ගෙරි මරන්න නම් තහනම්.......//
           
          රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
          රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
          රටට දිදී......
          රටට දිදී තිබුණත් ඇතුළේ - ගෙරි මරන්න නම් තහනම්....!
          ගෙරි මරන්න නම් තහනම්..... 
           
          වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
          එහෙම උනත් මේ දෙරණේ.....
          ගෙරි මරන්න නම් තහනම්......
          ගෙරි මරන්න නම් තහනම්.......//
           
          තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
          තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
          තිබෙන නිසා.....
          තිබෙන නිසා අං හිස මුදුනේ - ගෙරි මරන්න නම් තහනම්....
           
          වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
          එහෙම උනත් මේ දෙරණේ.....
          ගෙරි මරන්න නම් තහනම්......
          ගෙරි මරන්න නම් තහනම්.......//

          Tuesday, March 5, 2013

          සුලෝහිත වලිය (Maroons Clash)



          වසරේ අන්තර් පාසල් ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ වී තිබේ. මේ වසරේ පළමුවෙන්ම තිබුණේ සුලෝහිත සංග්‍රාමය හෙවත් ආනන්ද--නාලන්දා සංග්‍රාමයයි. ඒ 84 වන වරටයි. සාමාන්‍යයයෙන් වාර්ෂික ක්‍රිකට් සංග්‍රාම වලදී වැඩි අවධානයක් යොමුවන සංග්‍රාම අතරින් ප්‍රමුඛ තැනක් සුලෝහිත සංග්‍රාමයට හිමිවේ. ඒ කරුණු කීපයක් නිසාය. පළමුවෙන්ම ගත් කළ, සුලෝහිත මිත්‍රත්වය ලංකාවේ පාසල් ස්වල්ප ප්‍රමාණයක පමණක් දැකිය හැකි මට්ටමේ එකක් නිසාය. දෙවැන්න, සුලොහිතයන් පමණක් සැළකුවත් රටේ ක්‍රිකට් ක්ෂේත්‍රයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කළ පාසල් ද්විත්වය වන නිසාය. තෙවනුව, මේ පිටුපස ඇති දේශපාලන බලපුළුවන්කාරකම් නිසාය. 

          දැන් සුලොහිතයන් ලෙස සැළකෙන්නේ ආනන්දය සහ නාලන්දාව පමණක් වුවත්, කලකට පෙර සත් සුලොහිතයන් සේ සැලකු පාසල් හතක් තිබිණි. ආනන්ද, නාලන්දා, අශෝක, ධර්මරාජ, මලියදේව, මහින්ද සහ ධර්මපාල යනු ඒ හතයි. කෙසේ වෙතත් අදවන විට සාමාන්‍යයෙන් සුලොහිතයන් යන නම යෙදෙන්නේ මේ පාසල් දෙකටය. 

          සාමාන්‍යයෙන් බිග් මැච් කාලය පිස්සුම කාලයකි. කොල්ලන් මෙන්ම කෙල්ලන් ද පුදුම උන්මාදයකින් වැළඳ ගන්නා වූ සමයකි. වීරයන් මෙන්ම පජාතයන් ද බිහිවන සමයකි. හැට් කලෙක්ෂන්, බම්පි රයිඩ්, පෙරෙඩ්, රෝම්පේ ආදී නානාවිධ විසුක දස්සන සියල්ලම මේ කාලයට බලාගත හැක. කොළඹ පාසල් වල පෙරෙඩ් අතර මරුන් පෙරෙඩ් එක සාමාන්‍යයෙන් "පොෂ්" වන්නට උත්සාහ නොකරන බවට පිළිගැනීමක් තිබුණත්, මෙවර සුලොහිතයන්ද ඒ මතය උඩු යටිකුරු කරමින් පෙරෙඩ් එකට උපරිම ෂෝ එක දී තිබුණි. වෙනෙකක් තබා මෙදා පාර පෙරෙඩ් එකට සමහරු හෙලිකොප්ටර් පවා ගෙනවිත් තිබුණි. 



          මෙදා පාර සුලොහිතයන් දෙපළම කරට කර සිටි බැවින් තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි කල් තියාම කවුරුත් දැන සිටියහ. සාමාන්‍යයෙන් තරුණ පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් පෑම අනාගතයේ ජාතික කණ්ඩායමට එකතු වීමට ලැබෙන ටිකට් එකකි. මෙවර ද කණ්ඩායම් දෙකම සිය උපරිමය පෙන්වීමට සියලුම සූදානම ගෙන සැරසී සිටියහ.

          තරගයේ වාසිය යම් තරමකින් හෝ බර වූවා නම් ඒ නාලන්දාවටය. නවක ක්‍රීඩක ප්‍රමුද් හෙට්ටිවත්ත විසින් නොදැවී ලබා ගත් ලකුණු 103 තරගයේ හැරවුම් ලක්ෂ්‍යය විය. නාලන්දාව කඩුලු 5 කට ලකුණු 298 ක්  ලබා ගනිද්දී, ආනන්දය කඩුලු 5 කට ලකුණු 301 ක් වාර්තා කොට සිටියේය. ධනුක පතිරණ ලබාගත් ලකුණු 109 ඊට මහඟු පිටිවහලක් විය.

          තරග බිමට නරඹන්නන් කඩා වැදීම සාමාන්‍යයෙන් ඕනෑම තරග වාරයක සුලබ දෙයකි. මෙහිදීද එහි වෙනසක් නොවීය. වරින් වර පාසල් ධජ රැගෙන පිටියට පිවිසුණු ප්‍රේක්ෂකයන් නිසා තරගය ඉදිරියට ඇදුණේ මන්දගාමීවය. සාමාන්‍යයෙන් කොල්ලන් පිටියට පැනීම අරුමයක් නොවේ. කෙල්ලන්ගේ තරගයක කෙල්ලන් පිට්ටනියට පැනීම ද සාමාන්‍යයය. එහෙත් මේ ලියන ලේඛකයාගේ දැනුම අනුව මේ වසර ගණනාවකටම, පාසල් තරග වාරයක, පෙම්වතුන් යුවළක් එකට පිට්ටනියට පනිනු දුටුවේ පළමු වතාවටය. 




          තරගයේ අවසන භාගය වනවිට තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නොවැලක්විය හැකි බව පෙනී යමින් තිබිණි. නමුත් කාටවත් එහි එතරම් වගක් නොතිබුණේ තරගය සහ "ආතල් එක" දෙකක් බැවිණි. සාමාන්‍යයෙන් වාර්ෂික ක්‍රිකට් ගැටුම් වලට ආදී සිසුන් සහභාගී වන්නේ පළමුව බොන්නටය. දෙවනුවද බොන්නටය. තුන් වෙනුවද බොන්නටය. බෞද්ධ පාසල්, බෞද්ධ නොවන පාසල්, ගමේ පාසල්, නගරයේ පාසල් කියා වෙනසක් නැත. තරගය පැත්තකින් තිබියදී පිට්ටනියට පැන චියර් කරන පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වී, එහි උච්චතම අවස්ථාව උදා වුයේ තේ පානයෙන් අනතුරුවය. තරගය පවත්වාගෙන යාමට දුෂ්කර තත්වයක් උද්ගත වෙද්දී, තරගය අතහැර දැමීමට සංවිධායකයන් හට සිදු විය.

          දවසේ අවාසනාවන්තම සිද්ධිය ඇරඹෙන්නේ එතැනිනි. කොහේදෝ එකෙකුට දෙන්නෙකුට කුලප්පු වීමෙන් හටගත් ආරවුල, අන්තිමේ කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරයක් දක්වා වර්ධනය වුයේ විනාඩි 15කටත් නොඅඩු කාලයකිනි. සිද්දිය අප කියනවාට වඩා බැලීම හොඳය. 





          වලිය නරකය. එහි කතා දෙකක් නැත. එහෙත් කවුරු කවුරුත් බඹර පදමට දෙකක් ගෙන වැනෙන මොහොතක, එකෙක්ගේ සිගරට්ටුව අනිකාගේ අතේ වැදීම පවා වලියකට මුලකි. අනික වලියක් නැති බිග් මැච් එකක් කවදාවත් තිබුණේ නැත. තියේ නම් හොඳය. එහෙත් ප්‍රයෝගික නැත. මෙහිදී මතු කළ යුතු වැදගත් කරුණු කිහිපයකි.

          1. වලිය ගියේ පිට්ටනියේ ය. ක්‍රීඩාගාරයේ නොවේ. වාතාශ්‍රයක් නැති, ආවරණය වූ, ක්‍රීඩාගාරයට ගෑස් බෝම්බ ගසන්නේ අහවල් එකකටද?
          2. වලිය දා ගත්තේ සුළු පිරිසකි. (වීඩියෝව බලන්න) එහෙත් පොලිසිය පන්න පන්නා පහර දෙන්නෙ හැමෝටමය.
          3. පොලිසිය ගහන්නේ කාට ද? යන්න හොඳින් බලන්න: එකෙක් අනිකාට ගහයි. ගහපු එකාට උගේ වටේ ඉන්නා උන් දෙකක් දී පැත්තකට දමති. පොලිසිය ගහන්නේ කාටද? වලි කාරයන්ටද, ශේප් කරන අයටද?

          කෙසේ වෙතත් මාධ්‍ය මේ සිද්ධිය වවාගෙන කෑවේ ඉතාමත්ම ජුගුප්සා ජනක ලෙස බව නොකියම බැරිය. දැන් යුද්දේ නැති නිසා, සහ වාර්තා කළ යුතු දේ වාර්තා කරන්නට මාධ්‍යයට ඉඩ නොදෙන නිසා, මාධ්‍ය පෙළෙන්නේ බරපතල නිවුස් හිඟතාවකිනි. ඒ නිසා මේ සිද්ධිය හරියට හත් අවුරුද්දකින් හාමතේ හිටපු සිවල් රැළකට අලි කුණක් ලැබුණා සේ විය. සිරසක් නැති සිරස, නයි.ටී.එන්. සහ බොරූපවාහිනිය මේ සිද්ධිය පට්ට ගැසුහ. තවත් පට්ට ගසති. තවත් හිරිකිතයක් නැත. 

          මාධ්‍ය වලට ප්‍රතිචාර:

          වැදගත්ම දේ නම්, මේ සිද්ධියට පාසල් දෙකේ නිල සහ නිල නොවන මාධ්‍ය කණ්ඩායම් සහ ආදී සිසුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ඔවුහු කිසිවෙකු වෙත බෝලය පාස් නොකොට වරද පිළිගත් හ. එපමණක් නොව, සැබෑ සහෝදර පාසල් දෙකක් ලෙස එකිනෙකාට කණගාටුව ප්‍රකාශ කළහ. තුවාල ලැබුවන් (බහුතරයට තුවාල වී තිබුණේ වලිය නිසා නොව, පොලිස් ප්‍රහාර නිසාය) බලන්නට එකට ගියහ. එකට ගැටළුව විසඳා ගත්හ. ෆෙස්බුකියේ සියලු ආනන්ද-නාලන්දා කණ්ඩායම් මේ ගැටුම එක සේ පිළිකෙව් කළහ. වලිය එයින් ඉවර විය යුතුය සහ පාසල් දෙක අතර මිත්‍රත්වය ඊට වඩා වටිනා බව අනායාසයෙන් ම වටහා ගත්හ. ගැටුම් වැලැක්වීම කෙසේ වෙතත් ගැටුම කළමනාකරණය කිරීම ඉතාම ප්‍රශස්ත මට්ටමකින් සිදු කළහ. මෙය වැදගත් වන්නේ තරගයට පෙර සිටම "අහවල් පාසලේ උන්ට අරක නැත", "මේ පාසලේ උන් ගූ කන්නෝය", ආදී වශයෙන් අපහාස කරගැනීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව ඇති කාලයක ය.

          මේ සිද්ධියට ප්‍රතිචාර ලෙස ෆේස්බුක් වෙබ් අඩවියේ පල වූ අදහස් කිහිපයක් පහතින් උපුටා දක්වමු.

          "අපි සැමදා සහෝදරයන් වන්නෙමු. ඔබ නිවස තුලදීද සහෝදරයා සමග නිරත්තරයෙන් අඩ දබර කරගන්නවා ඇති. නමුත් ඒ කිසිදු දබරයක් අවසානයේ එය ජන්මන්තර බේදයක් නොවී සහෝදරත්වයෙන් තවත් බැදුන ආකාරය සැමගේ අත්දැකීමක් වන්නට ඇති. එවන් සහෝදරත්වයක් ඇති ආන්නද සහ නාලන්දා සහෝදරයන් තුලද දබර අවසානයේ සිතේ කහටක් නොතබාගෙන සහෝදරත්වයෙන් තවත් බැදී සැබෑ සහෝදරයන් සේ එක්ව සිට සැමට ආදර්ශයක් වනවා නොඅනුමානයි. මාධ්‍යයන් විවිධාකාරයේ පුවත් නිර්මාණය කලද අප එයට සහෝදරත්වයෙන් පිළිතුරු දී සැබෑ සහෝදරයන් සේ අත්වැල් බැද පෙරට යාමට පෙළ ගැසෙමු."



          "අද දින කොළඹ SSC පිටියේදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම ගැන සියලු නාලන්දීයයන් වෙත ආදී ආනන්දීයයන් ලෙස කණගාටුව ප්‍රකාශ කරමු. මේ කතාව මෙතැනින් අවසන් විය යුතුවා පමණක් නොව, මේ කතාවේ මින් ඉදිරියට අනාගතයක් ද නොතිබිය යුතුය.අපගේ සහෝදරත්වය සැමදා පවතී .."

          (මේ ප්‍රකාශයම නාලන්දයීයන් ද  මෙලෙසම ආනන්ද කණ්ඩායමේ ෆේස්බුක් පිටුවෙහි පළකොට තිබිණි)




          "වලිය ඉවරයි. බලා සිටි ඔබ සැමට, වලිය මාකට් කරපු සැමට, අහක ඉඳන් හූ කියපු සැමට සහ මෝඩ චූන් ගත්තු සැමට බොහොම ස්තුතියි.. අයියල මල්ලිලා සේරම දැන් ගෙදර ගියා නම්! 


          ප.ලි. අනේ බං කොල්ලනේ ලබන අවුරුද්දේ වත් මරානොගෙන හිටපල්ලා.. උඹලව චාටර් වෙනකල් කී දෙනෙක් නම් බලන් ඉන්නවද..
          ප.ප.ලි. කොල්ලෝ ටික ගහගත්තට, පොලෝසියේ කෂ්ටිය කඳුළු ගෑස් ගහද්දි දෙගොල්ලොම කළේ වලිය පැත්තකින් තියල සෙට් වෙලා ගෑස් බෝම්බ ටික ඇහිඳලා ආපහු ගහපු එක, හරිය මල්ලි? (මෝඩ චූන් ගන්න උන්දෙලාට ඒ ටික කිව්වේ!) "



          මේ තවත් ප්‍රතිචාරයකි.

          "ආනන්ද - නාලන්ද දිනුවා ලක් දෙරණ තු ල
          සිරසක් නැති සිරසක් හැදුවා සමගිය නසන්න ට
          නොහැකිද සොදුර අප හඩවා දමන්න ට
          දුටුවද දස පරපුරක් ඇත් බව සුභ පතන්න ට

          වරක් දෙවරක් තෙවරක් හැඩුවා අප බෙදුන දි න
          දස වරක් යලි එක් වුවා රණ බෙර වයන්න ට
          රෑ පොත තුල සිතුවම් මැව්වා අප යලි බැදෙන්න ට
          දෙපිලක් යළි හමුවූවා මව් බිමේ පෙර පිනක ට

          ගොන් පරපුරක් ඇති බව සිතු මහ රා ජා
          රඡ පරපුරක් ඇති බව නොදනී මහ රා ජා
          දුටුවද රජතුමනි කේසර අපගේ මහ රා ජා
          පිං බර මව් දෙපළගේ දරැවන් සවිමත් බව ගොන් රා ජා

          ආනන්ද නාලන්දා සහෝදරත්වය සදා නොමියෙනු ඇත !!!

          - නාලන්දා විද්‍යාලය (2011) ශිෂ්‍යයෙක්"

          ලස්සනම කතාව කියා තිබුණේ ඩේලි නිවුස් එකෙනි. මීට වඩා තව කියන්නට දෙයක් නැත. 





          සුබ සහ ජය!