logo banner
Showing posts with label ලකෆ්‍රෑන්ස්. Show all posts
Showing posts with label ලකෆ්‍රෑන්ස්. Show all posts

Sunday, August 18, 2013

ලකෆ්‍රෑන්ස්ට උත්තරයක් | Answering Lakafrance

"බ්ලොග් ලෝකයේ සංවාද මණ්ඩප ඇත. සාකච්ඡා මණ්ඩප ඇත. කවි මඩු ඇත. වාද පිටි ඇත. වැසිකිළියක් තිබ්බේ නැත. මෙතුමා ඒ යුතුකම ඉටු කර ඇත. බ්ලොග් ලෝකයේ ශෘංගාර, භයානක, භීභත්ස්‍ය, ආදී නව නළු රසයම ඇත. අසූචි රසයක් මෙතෙක් තිබුණේ නැත. දැන් එකත් ඇත.
කොල්ලෝ ද කෙල්ලෝ ද බ්ලොග් ලී හ. දැන් ඒ ගොඩට නපුන්සකයකුද එක්ව සිටී. සතුටුය. බ්ලොග් ලෝකයේ සම්මතය මෙන්ම අසම්මතය ද ඇත. දැන් නම් ඉතින් අමු අමුවේ චරිත ඝාතන ද ඇත.
අවසානයට කිව යුතු එකම දේ මෙවැනි කුහක බ්ලොග් කරුවන් බ්ලොග් අවකාශයේ සිටිය යුතු නැති බවයි. මේ ලියන කෙනා වරින් වර සිය ඊ-ලිපිනය දක්වමින් මේ කරන්නේ ඕපාදූප හිඟා කෑමකි. දැන් ඉතින් කාට කාටත් තමුන් ගැවෙන්නේ නැතිව පුද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගත හැක. තරහ කාරයෙක් වේ නම් කළ යුතු එකම දෙය උගේ (හෝ ඇගේ) කුණු ගොඩක් මෙතුමාට දීම පමණි. අන්තිමට හැමෝටම මඩ වැදී තිබෙණු ඇත. ලකෆ්‍රාන්ස් අහක ඉඳන් හිට් වනු ඇත.
සිදු වන්නට යන දෙය කලින්ම කීවෙමි. තීරණය පාඨක ඔබ අතේය."



මේ වනාහි ලකෆ්‍රෑන්ස් නමින් පටන්ගත් එක්තරා "නිර්නාමික" බ්ලොග් අඩවියක ලිපියකට අප විසින් දෙන ලද ප්‍රතිචාරයකි.  "නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසා කැපවෙමි" යි කියා පටන් ගන්නා බොහෝ බ්ලොග් අඩවිවල අනාගතය පිලිබඳ අනාවැකි කීම ඉතා පහසු ය. එක්කෝ එව්වා උපන්ගෙයි මරණයකට මුහුණ දෙයි. නැත්නම් ඒවා "මාෂ්ගුරු" මොඩලයට, "තට්ට සෝමේ" මොඩලයට හෝ වැලකතා මොඩලයට ඌණනය වේ. එදා අප දුන් අනාවැකිය අද වන විට සත්‍ය වී ද, අසත්‍ය වී ද යන්න සමස්ථ සිංහල බ්ලොග් අවකාශයම දන්නා බැවින් ඒ ගැන යළි යළිත් කියා තේරුමක් නැත. 

බොහෝ විට විවේචනාත්මක ලිපි පටන් ගන්නේ "අනේ මට අරයා එක්ක / ඔයා එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ බබෝ.. ඔයාගෙ මතවාදයට එරෙහිව තමා මේ කියන්නේ" යයි බබා ටෝකක් දීගෙන ය. එහෙත් අප එවැනි බබා ටෝක්ස් දෙන්නේ නැත. මන්ද අපට ලක ලියන්නා සමග පුද්ගලික ඇරියස් ඇති නිසාත්, බ්ලොග් අවකාශයේ බබ්බු නැති නිසාත්, හිටියත් බබ්බු වඩාගෙන පාරෙ නළවන්නට අප මෝහිණී නොවන නිසාත් ය. මේ ලිපිය ලියන්නේ පුද්ගලික ඇරියස් ද සමගය. කියවන්න අකැමැති කට්ටිය සිය බ්‍රවුසරය වසා දැම්මාට කමක් නැත. 

ලිපිය ලියන්නට ආසන්න හේතුව වන්නේ ඊයේ පෙරේදා ලකා විසින් ලියන ලද එක්තරා "සංවේදී" ලිපියකි. "සංවේදී" බ්ලොග් අඩවිය ලියන්නා හට පහර ගසමින් ලියන ලද එහි, ඔහුගේ "හීනමානය" ගැන බොහෝ බ්ලොග් විචාරකයින් පොරටෝක්ස් දී ඇති අයුරුද අපි ජුගුප්සාවෙන් බලා සිටියෙමු. එසේ හෙයින් ඊට පිළිතුරක් දැක්වීම යුතුකමකැයි ද සළකමු. 

සාරාර්ථ වශයෙන් ගත්කළ ලකා ගේ ලිපියේ අරමුණ වන්නේ මෙරට කැම්පස් ගිය උන්ට අමුතුම ජාතියේ අධිමානයක් ඇති බවකි. ඇත්තටම එවැනි අධිමානයක් ඇතැයි යන්න බොරුවක් නොවේ. වසර තුන හතරක් උපන්ගෙයින් වෙන්ව චමරියේ කට්ට කාගෙන, කැන්ටිමේ වේලෙන දෙපාරක් බැදපු රෝල් එකට යාළුවා එක්ක ගජේ දාගෙන බුක්ති විඳින, දවසට වේලක් කා ජීවිතේ ගැටගහන, කිලෝ ගණන් බර පොත්පත් ද ටොන් ගණන් බර නෝට්ස් ද අකම්පාල කරවන සුළු ටියුටෝරියල් ද සමගින් අවසානයේ හුදෙක් සමාජය ඉදිරයේ කොළ කැබැල්ලක් පමණක් වන සහතිකයක් මිලට ගන්නට ජීවිතෙන්ම මිල ගෙවන සරසවි කොල්ලා / කෙල්ල ගැන අවට සමාජය දන්නේ අන්තිම සොච්චමකි. "කැම්පස් උන්ගේ ඔලුව" යයි යමෙක් කියන්නේ නම්, අනිවාර්යයෙන්ම කිව යුත්තේ කැම්පස් උන්ට එකී ඔලුව තිබීම සම්පූර්ණයෙන්ම සාධාරණ බවයි. 

එසේම බොහෝ දෙනා සිතා ඉන්නා පරිදි කැම්පස් ජීවිතය යනු උසස් පෙළ සමත් වී පොර බුවාලා වගේ ඇතුළට ගොස් වසර තුන හතරක් බාහිර සමාජයෙන් වෙන්ව වැස, ඇතුළෙන්ම කසාදයකුත් ජෝඩු කරගෙන ආතල් එකේ ෂපාන් එකේ මහපොළ සල්ලි වලින් ජීවත් වී, අවසානයේ කළු කෝට් එක දමාගෙන පොර වගේ එළියට බහින ජීවිතයක් ද නොවේ. (මහපොළ ගැන දන්නෝ දනිති) එහි ඇතුළත කාලය ගලායාම පවා වෙනස් ය. සරසවි ජීවිතයේ සතියක් යනු බාහිර සමාජයේ මාසයකට ආසන්න කාලයකි. කාලය පමණක් නොව මුළු ජීවිතයම සාන්ද්‍රකරණයට ලක්වන ජීවිතයකි, සරසවි ජීවිතය. එහි ඇතුළත පරිසරයේ වෙන බොහෝ දේ බාහිර සමාජයට හිත කීරි ගස්වන සුළු අත්දැකීම් වන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස සරසවි ඇතුළේ වන ප්‍රේම සම්බන්ධතා සහ එහි ප්‍රතිවිපාක ගැන පමණක් වෙනම පොතක් ලිවිය හැකිය.  




කැම්පස් සමාජය ගැන බාහිර සමාජයෙන් එල්ලවන විවේචන ගැන අපට ගැටළුවක් නැත. එසේ විය යුතුය. අපේ වැරදි අපට පෙනෙන්නේ නැත. ඒවා පෙනෙන්නේ බාහිර සමාජයට ය. එබැවින් ඩිග්‍රී එකක් නොව දාහක් ගත්තත්, අඥ්ඥතර සමාජයේ හඬට හිස නමා කන්දීමේ යුතුකමක් සෑම සරසවි ශිෂ්‍යයෙක් / ශිෂ්‍යාවක් හටම පවතී. මන්ද සරසවියේ වන සෑම පොතකටම, සෑම මේසයකට ම, සෑම දේශ ශාලාවකටම, සෑම වැසිකිළි පෝච්චියකටම වියදම් වන මුදල ගෙවා ඇත්තේ බොහෝවිට කැම්පස් නොගිය මිනිසකු බැවිණි. පාරෙ තාර දමන සෝමපාල, උතුරේ යුද්ද කරන ගාමිණී, කොටුවේ බෝගහ ඉස්සරහ ඔරලෝසු විකුණන ජෙහාන්, ඇපලෝ හොස්පිටල් එකේ බිම අතුගාන ක්‍රිෂ්ණා, මහරගම මාකට් එකේ තේ වතුර අල්ලන සියාක්, නුගේගොඩ මාකට් එකේ සාරණ තම්පල විකුණන සිරියාවතී, විගොඩ පාරේ සාරවිට බෙදන ඇල්බට් අයියා, බ්‍රන්ඩික්ස් එකේ මිකැනික් වැඩකරන නලියා මල්ලි, බොරැල්ල-කොටුව 103 බස් එකේ කොන්දා මචං, BMICH එකේ කක්කුස්සි හෝදන සුමනේ අංකල්, මේ සියල්ලෝම අපේ අධ්‍යාපනය වෙනුවෙන් සතයක් හෝ වියදම් කර ඇත. අප ඉගෙන ගන්නේ ඔවුන්ගේ මුදලිනි. එබැවින් අප කරන කියන දේ ප්‍රශ්න කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ. ඒ ගැන අපට ගැටළුවක් නැත. 


එහෙත් ජීවිතේට කැම්පස් නොගිය මිනිසෙක්, කැම්පස් එක තුළ අන්තර්සමාජය ගැන පොරටෝක්ස් දෙන්න යාම කොහෙත්ම අනුමත කළ නොහැක. 

සරසවිය යනු වෙනම සමාජයකි. වෙනම පරිසරයකි. වෙනම විදියක පැවැත්මකි. තුම්මුල්ලෙන් කුමාරතුංග මුනිදාස මාවතට හැරී, කොළඹ සරසවි ගේට්ටුවෙන් ඇතුළු වන ඕනෑම කෙනෙකුට, සිය හැඳුනුම්පත ආරක්ෂක අංශයට බාරදී, විද්‍යාපීඨය පුරා සිත්සේ ඇවිදිය හැකිය. එහෙත් මුළු ජීවිත කාලයම ඇවිද්දත් ඔහුට සරසවිය යනු කුමක්ද යන්න වටහා ගත හැකි වන්නේ නැත. සරසවිය යනු ජීවත් වන හුස්ම වැටෙන සත්ත්වයකුයි කිවයුතු තරමට ම ඊටම ආවේනික අනන්‍යතාවක් ඊට තිබේ. එහි වන සෑම ගහක් කොළක් මලක් දියක් වැලි කැටයක් ගණනේ වෙනමම ඉතිහාස කතාවක් ඇත. 



කැම්පස් කොල්ලකු / කෙල්ලක කොතරම් කාලයකට පෙර සිය කැම්පස් ජීවිතය අවසාන කළත්, මැරෙන මොහොත තුරාවටම ජීවත් වන්නේ කැම්පස් කොල්ලකු / කෙල්ලක ලෙසය යන සත්‍යය බොහෝදෙනා ඉවෙන් මෙන් දන්නා කාරණයකි. 

ප්‍රශ්නය පැන නගින්නේ මෙකී කැම්පස් සමාජය, අතථ්‍ය සමාජය හා ගැටෙන තැනදී ය. 


සංවේදී ප්‍රශ්නය

මෙතැන ගැටළුව වුණේ අපේ සංවේදී බ්ලොග ලියන්නා විසින් කර තිබු මෙන්න මේ ප්‍රකාශයයි.
"මට බලෙන් 'සර්' කියවාගැනීමට අවශ්‍ය නැත. ගෞරවය යනු ඉල්ලා සිටිය යුතු දෙයක් නොව, ක්‍රියාවෙන් උපයාගත යුත්තක් බව දනිමි. 
මා කියන්නේ මට මචං, අයියා / මල්ලී කියන්නට එපා කියා නොවේ. ඔබ මගේ සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමහල් නම් ඔබේ රැකියාව, අධ්‍යාපනය කුමක් වුවද ඔබට එසේ කිරීමට අයිතියක් ඇත. කොහොමත් මචං යනු හෘද්‍යාංගම බව වැඩියෙන් දැනෙන අපූර්ව ඇමතීමකි. අයියා, මල්ලී යනුත් එසේය.
එහෙත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ දැනටමත් ශිෂ්‍යයෙක් නම්, ඔබට වඩා වසර ගණනාවක් වැඩිමහල් කෙනෙකුට අයියා හෝ මචං කීමට පෙර දෙවරක් සිතන ලෙසයි. මන්ද, ඒ අයියා හෝ මචං, ඔබේ ගුරුවරයා හෝ ආයතන ප්‍රධානියා වූ දිනක ඔබට මෙන්ම ඔහුටද ඔබ එසේ අමතන විට අපහසුතාවයක් දැනීම නොවැලැක්විය හැකි නිසා ය."

ඔය සබැඳිය දක්වා ඇති ලිපියේ පරිදි, සංවේදී බ්ලොග්කරු මතුකරන තර්කයේ ඇත්තටම සාධාරණත්වයක් ඇත. ෆේස්බුක්, බ්ලොග්, වැනි අතථ්‍ය මාධ්‍ය තුළදී ගුරු-ගෝල සම්බන්ධතා වලට පොඩි පරහක් එල්ල වේ. ලියන්නා ද උපකාරක දේශකයකු සේ කටයුතු කරන බැවින්, ගෝලයන් සමග ෆේස්බුක් සම්බන්ධතා මොන තරම් මළ කන්කරච්චල් වැඩක් ද දන්නා අත්දැකීමෙන්ම දනී. එක්කෝ දාන දාන හැම ෆොටෝ කබලටම ටැග් කරති. නැතිනම් ෂෙයාර් කරන හැම වීඩියෝවකටම ටැග් කරති. පන්තියේ දී "සර්" බුකියේ දී "අයියා" හෝ "මචං", "ඩූඩ්", "යෝ මෑන්" බවට පත් වේ. කෙල්ලන් නම් අපරාදෙ කියන්නට බෑ, "අයියා" වලින් එහාට යන්නේ නැත. කලාතුරකින් එකෙක් දෙන්නෙක් "ඩියර්" කියති. මේ සියල්ල වනාහි අතථ්‍ය මාධ්‍ය වලදී "ඔබ", "මම" යන සංකල්ප බිඳවැටී "ප්‍රොෆයිල් එක" ඉස්මතු වීමේ පළවිපාක ය. 

සමාජ මාධ්‍ය ගැන වදනක්

ඇත්තටම සමාජ මාධ්‍ය වලට තිඹිරිගෙය වන්නේ තනිකම ය. නූතන වෙළඳපල සමාජය තුළ අප දිනාගෙන ඇති ලොකුවයින්ම මෙවුවා එක වන්නේ තනිකම ය. ඔබ මෙය විශ්වාස නොකරන්නේ නම් ඊළඟ පාර ඔබ කැමති ඕනෑම "නවීන" FM නාලිකාවක් අසන්න: ඉස්සර FM නිවේදකයෝ නිවේදන කළේ "මා කියන දේ පිරිසක් අසා සිටින්නේ ය". යන ආකල්පයෙනි. එහෙත් දැන් ඔවුන් සෑමවිටම අසන්නා අමතන්නේ "ඔයා" කියා ය. එදා "ඔබ" අද "ඔයා" වී ඇත. අද "ඔබලා" නැත. අද ඉන්නේ "ඔයා" ය. එනම් "ඔයා" තනි වී ඇත. අද ඇත්තටම FM නිවේදකයෝ කරන්නේ මෙකී මිනිසුන්ගේ තනිකම මැකීමට ලඟට වී මොනවා හෝ තොදොල් කතාවක් මුණුමුණු ගෑමයි. 

සමාජ මාධ්‍ය බිහි වන්නේ මෙකී "තනිකම" නැති කරන්නට යැයි කීවත් සිදුවන්නේ ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි; එනම් අප ඇත්තටම සමාජ මාධ්‍ය හරහා කරන්නේ සම්බන්ධතා ගොඩනැගීම නොව බිඳවට්ටවා ගැනීමයි. උදාහරණයක් ලෙස ඔබේ ෆේස්බුක් ගිණුමේ වන අයගෙන් කීදෙනෙක් ඔබ සැබෑවටම දැක ඇත්දැයි සිතන්න. බොහෝ විට සිදුවන්නේ, අපට සමාන අදහස් දරන කීප දෙනෙක් සමග, එසේත් නැතිනම් අප ලංවන්නට කැමති / අපට ලංවන්නට කැමති පිරිසක් සමග අප කල්ලි ගැසීම පමණි. මෙකී කල්ලිකරණය තුළ ඔබ නිතැතින්ම "මාකටබල්" භාණ්ඩයක් බවට පත් වේ. මෙකී මාකටබිලිටි එක ඔබේ පිංතුරයේ "හොට්නස්" එක, ඔබේ වත්කම් බැරකම් ඔබ ප්‍රදර්ශනය කරන (හෝ මවාපාන) මට්ටම, ඔබ කනබොන තැන් ආදී දේට අනුලෝමව සමානුපාතික වේ. උදාහරණයක් ලෙස පොඩ්ඩක් ඇහැට කණට පේන කෙල්ලෙක් "මම වැලේ රෙදි වැනුවා" කියා ස්ටේටස් එකක් දැමු විට ඊට ලයික් වැටෙන්නේ තප්පරයට දහය-දොළහ-පහළොහ ගණනේ ය. එහෙත් "හැන්සම්" පිචර් එකක් නැති කොල්ලෙක් "අද මට ප්‍රොමෝෂන් එකක් ලැබුණා" කී විට ඊට ලයික් වැටෙන්නේ උගේ ගැන්සියේ උන්ගෙන් පමණි (ඒකත් නොකර බැරිකමට ය). 

තනිකම ගැන වටිනා ලිංකුවක් අපේ ඔපීසියේ එකෙක් විසින් වතාවක් පෙන්වා දෙන ලදි. වචන දහසකට වඩා ඒ තනි වීඩියෝව වටී. 




සුගමාර්ථය ගත්කළ, අප සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමට ප්‍රධාන හේතුව තනිකම පමණක් ම නොවේ. අපට අපව "කස්ටමයිස්" කරගත හැකි එකම ස්ථානය එතැන වන බැවිණි. අපට සැබෑ ජීවිතේ අපව "කස්ටමයිස්" කරගන්නට බැරිය. උදාහරණයක් ලෙස අපට අපේ සැබෑ මුහුණ "එඩිට්" කළ නොහැක. (සල්ලිකාරයෙක් නම් ඇරෙන්නට). නමුත් අතථ්‍ය මාධ්‍ය හරහා අපට ඉතා පහසුවෙන් එසේ කළ හැක. අප අතථ්‍ය මාධ්‍ය හරහා සමාජයට පෙන්වන්නේ අප සැබැවටම ඉන්නා ආකාරය නොව, අප අපව සමාජයට පෙන්වන්නට කැමති ආකාරයයි. මෙහි විලෝමය ද සත්‍ය වේ. එනම් අප අතථ්‍ය මාධ්‍ය හරහා දකින්නේ ද, එහි වෙසෙන්නන් ගේ සැබෑ රුව නොව, ඔවුන් තමන්ව පෙන්වාගන්නට කැමති ආකාරයයි. 

එසේම අතථ්‍ය මාධ්‍ය වල වසන්නන් හට වයස් සීමාවක් නැති වීමද සැළකිය යුතු කරුණකි. උදාහරණයක් ලෙස, මේ ලියන්නා ගේ උසස්පෙළ ගුරුවරුන් දෙදෙනක් ද, උපාධි නිබන්ධන සුපරීක්ෂක වරයා ද, එසේම බැච් හතරක ගෝලයෝ ද ඔහුගේ ප්‍රොෆයිලයේ වෙයි. එසේම විවිධ ජාතිකත්ව සංවිධානවල ඉහළ පුටු හොබවන මිනිස්සු ද වෙති. කොටින්ම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ඔහු විසින්ම මෙහෙයවන ප්‍රොෆයිලයක් ද වෙයි. එහෙත් එසේ වූ පමණින් අප අමාත්‍ය චම්පික රණවකට "හායි මචං" කියන්නේ නැත. ඔහු අපට "හායි මචං" කියන්නේ ද නැත. අර මුලින් කී ගුරුවරු ද "Hello son" කියනවා මිස "Yo man" කියන්නේ නැත. (එසේ කියන මහාචාර්ය වරයෙක් ද වෙයි. එතුමා සාමාන්‍යයෙන් චැට් එකේදී අප අමතන්නේ "Yo dude, tell me what the fuck is up" කියා ය. එහෙත් ඒ ඔහුගේ තෝරාගැනීම මිස අපේ තෝරාගැනීම නොවේ). 

ගැටුම

ගැටුම ඇතිවන්නේ කොතනින් ද යන්න දැන් පැහැදිලිය. සැබෑ ජීවිතයේ මොකෙක් වුණත් ෆේස්බුකියේදී ඌ තවත් ප්‍රොෆයිලයක් පමණි. එබැවින් අප ඌට සළකන්නේ ඌට නොව, උගේ ප්‍රොෆයිලයට ය. ඔබේ ගුරුතුමා ඔබේ ෆේස්බුක් ගිණුමේ සිටි පළියට ඔබ ඔහුට මචං කියනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ඔබටම බාරකරමු.   

සංවේදී බ්ලොග් කරුවා ස්පර්ශ කර ඇත්තේ මෙන්න මෙකී කටුක යථාර්ථයයි. එනම් සමාජ ජාල හරහා වන සම්බන්ධතා හරහා සැබෑ ලෝකයේ සම්බන්ධතා බිඳවැටීමයි. ඔහු ද සරසවි විද්‍යාර්ථීයකු සහ දේශකයකු වන බැවින්, විය යුතු පරිද්දෙන්ම ඔහු එය දකින්නේ ඔහුගේ, එනම් දේශකයකු දේ දෘෂ්ටිකෝණයෙනි. අපට ඊට වරදක් කිව නොහැක. එහෙත් ලිපිය දැක ෆෝම් වූ අපේ කබ්බෝ සිතා ඇත්තේ, "අම්මට සිරි මුගේ ඔලුව" කියා ය. එහෙයින් ලිපියේ දැක්වෙන සාරය ගනු වෙනුවට ඉතාම පහත් මට්ටමේ පුද්ගලික අපහාස වලින් ඔහුට සංග්‍රහ කර තිබෙනු ද අපට දකින්නට ලැබිණි. මේ ලියන්නේ ඊට පිළිතුරක් ලෙස ය. 

ඇත්තම කියන්නේ නම් බ්ලොග් අවකාශය තුළ "ලොකු" / "පොඩි" පොරවල් නැත. ලියන්නෝ ලියති; මළවන්නෝ මලවති. හොඳට ලිවිය හැකි එකා හිට්වන අතර මළවන්නා වටේ එකතු වන්නේ උගේ ගජේ උන් ටික පමණි. මේක ඇතුළේ නීති දමන්නට (අප කොතරම් එසේ කළයුතු යයි සිතුවත්) කාටවත් බැරි ය. බ්ලොග් යනු විමධ්‍යගත මාධ්‍යයකි. එහි විමධ්‍යගත බව රැකෙන්නට නම් මෙකී "පොරත්වය" නැති විය යුතුය; ඒ කියන්නේ සැබෑ ජීවිතේ ඌ මොකෙක් වුණත්, බ්ලොග් අවකාශයේ ඌ "බ්ලොගෙක්" පමණි. එහෙත් එහෙමයි කියා බ්ලොග් ලොවේ මචං, සැබෑ ලොව තුළ ද මචං වන්නේ නැත. සැබෑ ජීවිතේ සම්බන්ධතා බ්ලොග් සමග ගැටේ නම් ෆේක් ප්‍රොෆයිලයක් හදාගත හැකිය. නැතිනම් ඇනෝ (Anonymous) හෙවත් නිර්නාමිකව ආව හැකි ය. ඇනෝ නිදහස අප අගයන්නේ සහ මුළු හදවතින්ම ඊට සපෝට් කරන්නේ අන්න ඒ නිසා ය. පටන්ගත් දා සිට අද මේ මොහොත වනතෙක් අප නිර්නාමික වාරණයක නොයෙදෙන්නේ සහ ඉදිරියටත් එසේ නොකරන්නේ, අඩුම තරමේ කමෙන්ට් මොඩරේට් කිරීමක් වත් නොකරන්නේ එකී නිදහස අගයන බැවිණි. 

ලකෆ්‍රෑන්ස් ගැන ද යමක් කිව යුතුය. අප පිළිගන්නට කැමති වුවත් අකැමැති වුවත් ලකා යනු බ්ලොග් අවකාශයේ "සාර්ථක" චරිතයකි. එසේ සාර්ථක වුණේ අනුන්ගේ කුණු විකුනං කන නිසා බවද ඒ වගේම සත්‍යයකි. මාරයා හට එල්ල කළ මඩප්‍රහාරයකින් සිය බ්ලොග් ගමන ඇරඹු ලකෆ්‍රෑන්ස් රචකයා මේ වන විට බ්ලොග් ලොව මඩ රජු ලෙස සියතින්ම කිරුළු පැළඳගෙන සිටී. එය ආඩම්බර වෙන්නට කාරණාවක් යයි ලකා සිතනවා වන්නට ඇති. අපට නම් එසේ නැත. මන්ද සිත් නොරිදවා හින්ට් ගැසීම කියන දේ ලකාට ගෑවිලාවත් නැති බැවින් සහ තමාට එවන එවන කුණුගොඩවල් එසේම පළකරන බැවිණි. ඇනෝ ලේඛකත්වය යනු කුණු විකිණීම නොවේ. අපහාසය හා උපහාසය අතර වෙනස දැනගෙන කරන බ්ලොග් අඩවි ඕනෑතරම් ඇත. උදාහරණයක් ලෙස "බ්ලොග් ගොංපාට්" අඩවිය සහ "සූස්ති ගුණේ" අඩවි දැක්විය හැකිය. කිසිම කුණුහබ්බයක් නොකියා කිසිම අනවශ්‍ය කතාවක් නොකියා රිදෙන තැනට රිදෙන්නම ගැසීම යනු ද ලේඛකයකු හට තිබිය යුතුම හැකියාවකි. 

සිංහල බ්ලොග් අවකාශයේ සහ බ්ලොග් කරුවන් අතර ගොංපාට් ඕනැතරම් ඇත. සමහර විට සමහරුන්ට අපද පෙනෙන්නේ ගොංපාට් එකක් සේ විය හැකිය. අපේ කිසිම තරහක් නැත. එවැනි ගොංපාට් වලට පොඩියට පාරක් ගැහුවාට ද අපේ තරහක් නැත. (අපටම ගැහුවා වුණත්). එහෙත් අපහාසය හා උපහාසය අතර වෙනස නොදන්නා කුණු වෙළෙන්දෝ බ්ලොග් අවකාශයේ සිටීම මහත්ම අවාසනාවකි. 

අනුන්ගේ කුණු කන එකාට සාමාන්‍යයෙන් කියන්නේ කසළඛාදකයා කියා ය. තොප්පිය හරිනම් දාගනු මැනවි!