logo banner
Showing posts with label බුර්කා. Show all posts
Showing posts with label බුර්කා. Show all posts

Sunday, March 24, 2013

රෙදි ගැලවීම | Denuding

රෙද්ද සහ රෙදි ගැලවීම
රෙද්ද යනු මේ සමාජයේ ඉතාම තහනම් වචනයකි. මීට මුලින් "අම්මගේ", "ආච්චිගේ" වැනි පදයක් එක් වූ විට එය තවත් දරුණු වෙයි. සාමාන්‍යයෙන් අම්මගෙ රෙද්දට වඩා ආච්චිගෙ රෙද්ද සැර බවින් අඩුය. ඒ මන්දැයි අප නම් නිච්චියටම දන්නේ නැත. ආච්චිට වඩා අම්මා ළඟ නිසා හෝ, කා තුළත් සැඟවී ඇතැයි කියන ඊඩිපස් සංකීර්ණය සිහිපත් වන නිසා හෝ, මේ දෙකම නොවෙන වෙනත් දෙයක් නිසා එසේ වනවා විය හැක. මවුපස ඥාතීන්ගේ රෙද්ද ගැන කියනවා මිසක පියපස ඥාතීන්ගේ රෙද්ද ගැන කවරෙකුවත් කතා කරන්නේ නැත. සමහර විට නිරුවත, පිරිමි සමාජය තුළ සාමාන්‍යයීකරණය වී ඇති නිසා හෝ, ගැහැණු නිරුවත තරම් පිරිමි නිරුවතෙහි "පෙනෙන්ට දෙයක් නැති නිසා" හෝ විය හැක. නමුත් මේ කතාවට අදාළ ජීව විද්‍යාත්මක පසුබිම ගැන කීමට මේ තැන නොවේ.

රෙදි ගැලවීම ලැජ්ජාවකි. රෙදි අඳින්නේ විළිබිය ඇති නිසාය. එහෙත් ඒ එසේ වන්නේ නො-රහත් සමාජයකය. රහත් සමාජයක රෙද්ද තිබුණත් නැතත් ඉන් වන වෙනසක් නැත. එක අතකට රෙදි අඳින්නට බල කිරීමට කාටවත් අයිතියක් නැත. නමුත් අපි අපිම, අප ජීවත් වන සමාජයේ මිනිසුන් රහත් වී නැති බව සළකා ගනිමින්, රෙදි අඳින්නට ස්වයං-වාරණයක් පණවා ගනිමු. නීතියට කළ හැක්කේ ඊට යම් අවම සීමාවක් පැනවීම පමණි. මේ සීමාව, එක් එක් රටේ, ජාතියේ, ආගමේ, සංස්කෘතියේ ස්වභාවය අනුව වෙනස් වේ.

කවුරු කොහොම කීවත් රෙදි ගැලවීමද කලාවකි. මේ කලාව නොදනී නම් පවුල් ජීවිතය ගෙනයනවාට වඩා ලොවුතුරු සැප සෙවීම අගනේය. "ලොව ඇති සුන්දරම කවිය නිරුවත් ලිය සිරුරය" කියා ඔමාර් ඛයියාම් කීවේ එනිසා විය යුතුය. "සිහිනෙන් වත් ලියන් තන නොසිපියේ සිය මවගේ යොවුන් බැව් නමැති වනයට එල්ල කළ පොරෝ පහරකැයි" අලගියවන්න මුකවෙටියෝ කීහ. (ගැලවීම පමණක් නොව රෙදි ඇන්දවීමද කලාවකි; ඇඳගැනීම ද කලාවකි; ඒ ගැන පසුවට). රෙදි ගැලවීම යන පදයටද ලිංගික අර්ථයක් මෙන්ම ව්‍යන්ගාර්ථයක් ද තිබේ. ලිංගිකව ගත් විට රෙද්ද ගැලවීම යනු අනිකාගේ ලිංගික තෘප්තිය පිණිස සිය සිරුර සූදානම් කර දීමයි. මෙය නීත්‍යානුකූලව කරන විට ඊට කසාදය කියාද, නීතිවිරෝධීව කරන විට අවලම් කම කියාද කියති. රෙදි ගැලවීමට ගාස්තුව පිණිස යම් සන්තෝසමක් ලබා ගන්නේ නම් ඊට ගණිකා වෘත්තීය කියාද කියති. මෙය මුදල් ම වීම අත්‍යවශ්‍ය නැත. වැඩකරන ඔපීසියක නම් ලොක්කාගේ බුරුල, විශ්ව විද්‍යාලයක නම් ඉහල පන්ති සාමාර්ථ, නීති විරෝධී සමාජය තුළ නම් නීතියෙන් සහනය යනාදී විවිධ මුදල් පරිමාණ වලට මෙය කෙරේ. (වැඩකරන සමාජය තුළ ලෙහෙසියෙන්ම රෙදි ගැලවීමට ලක් වන්නේ, සමාජයටම අඳින්නට රෙදි මහන සන්නාලියන් වීමද බරපතල විරුද්ධාභාසයකි. )

මේ අනුව බලන විට රෙද්ද යනු හුදෙක් සෙලියුලෝස්, නයිලෝන් කෙඳිති එක්ව සෑදෙන වියමනක් පමණක් නොව, සමාජයීය වගකීමක් ද වේ. අප රෙදි අඳින මට්ටම හෝ ආකාරය ගැන තහංචි දැමීමට සමාජයට නීති සපයා දෙන්නෙ අපම වන බැවින් එහි දේශපාලනාර්ථයක් ද වෙයි. ඒ අර්ථයෙන් ගත්විට, රෙද්ද පමණක් නොව රෙදි ගැලවීමද දේශපාලන වැදගත්කමක් ඇති ක්‍රියාවකි. (දේශපාලනයේදීද රෙදි ගැලවීම් සිදු වේ. මෑතකදී විමලෙ මල්ලි සුජීව ගෙන් ප්‍රශ්න අහන්නට ගොස් රෙද්ද ගලවා ගත්තා කාටත් මතක ඇතැයි සිතමු).

මේ සොපහාසී ආරම්භය අප ලබා ගත්තේ මේ දිනවල රෙද්ද සහ හෙළුව දේශපාලන මුහුණුවරකින් කතා කරන නිසාය. කොටින්ම අමු හිංගලෙන් කියන්නේ නම් මීළඟ දේශපාලන ගුණ්ඩුව (වරහන් තුළ: ජනතාවට අන්දවන රෙද්ද) වන්නේ බුර්කාව නිසාය.



බුර්කාව (برقع‎ )

බුර්කාව, හිජාබය, නිකාබය, පර්දාව සහ අබායාව ආදී ඉස්ලාමික සම්භවයක් ඇති විව්ධාකාර ඇඳුම් තිබේ. ඉනුත්, මුළු ශරීරයම ආවරණය වන සේ අඳිනු ලබන කළු පැහැති ලෝගුවක් වැනි ඇඳුම, බුර්කාව ලෙස හඳුන්වනු ලැබේ.

කුරාණයේ බුර්කාව ගැන සඳහන් වන්නේ මෙසේය.

And tell the believing women to reduce [some] of their vision and guard their private parts and not expose their adornment except that which [necessarily] appears thereof and to wrap [a portion of] their head-covers over their chests and not expose their adornment except to their husbands, their fathers, their husbands' fathers, their sons, their husbands' sons, their brothers, their brothers' sons, their sisters' sons, their women, that which their right hands possess, or those male attendants having no physical desire, or children who are not yet aware of the private aspects of women. And let them not stamp their feet to make known what they conceal of their adornment. And turn to Allah in repentance, all of you, O believers, that you might succeed.—Surat An-Nūr (The Light) - سورة النور
පරිවර්තනය: තවද, සිය දර්ශනයෙන් (පෙනුමෙන්, රූපයෙන්) කොටසක්ද, රහස්‍ය අංගද ආවරණය කරගන්නා ලෙසත්, ස්වභාවයෙන්ම පෙනෙන අලංකරණ හැර වෙනත් කිසිවක් ප්‍රදර්ශනය නොකරන ලෙසත්, සිය හිස් ආවරණයෙන් කොටසක් ළය වැසෙන සේ පොරොවන ලෙසත්, සිය සුන්දරත්වය සිය සැමියා, පියා, සැමියාගේ පියා, පුතා, සැමියාගේ පුතා, සහෝදරයා, සහෝදරයාගේ පුතා, සහෝදරියගේ පුතා, ඔවුන්ගේ ගැහැණුන් (අඹුවන්), වහලුන් (lit. "මා මලකත් අයිමාන්'කුම්--දකුණු අතට අයත් අය: එනම් වහලුන්), ශාරීරික ආශාවක් නැති පිරිමි සහචරයන්, කාන්තා ශරීරය ගැන අවබෝධයක් නැති කුඩා දරුවන් හැර අන් උදවිය ඉදිරියේ  නොපෙන්වන ලෙසත්, විශ්වාසී (" මුසල්මානු ": මුස්ලිම් යන්නෙහි අරුත දේව භක්තික හෙවත් විශ්වාසී යන්නයි) කාන්තාවන්ට කියන්න. 


සාමාන්‍යයෙන් අන්තවාදී යයි හංවඩු ගසනු ලබන කුරාණය, මේ කාරණාවේදී ඉතාම තර්කානුකූල ප්‍රවේශයක් ලබාගෙන ඇති බව පෙනේ. කොටින්ම මේ හදිත් වැකියෙහි සරල සාරාංශය වන්නේ, සිය ශරීරය, අන් පිරිමියකුගේ කාමාශාව වර්ධනය කරවීමට අනුබල නොදෙන්න කියාය. "පිරිමින්ගේ පාප කඳට ගැහැනුන් දෝස විඳීම" අප අනුමත නොකළත්, සදාචාර සම්පන්න සහ රහත් නොවූ සමාජයක, පිරිමින්ගේ කාමාශාව උද්දීපනය නොකර සිටීමට ගැහැණුන් හට ඇති යුතුකම අප පිළිගන්නා බැවින් මේ වැකිය දෙස අප බලන්නේ උපේක්ෂා සහගතවය. ස්ත්‍රී ශරීරය තරම් පිරිමි සිත හාත්පසින්ම වෙලාගන්නා අන් කවර හෝ දෙයක් මම නොදකිමි යයි කීවේ නබි නොව බුදුන් ය. නාබිය නොදක්වා -- සළු ඇඳ බොලට දක්වා -- නොපව තන සක්වා -- සිනා නොමසෙන් දසන් දක්වා යයි කියන තරමට සදාචාර වාදීන් සිටියත් මේ ලංකාවේ ගැහැණු සුද්දා එන්නට පෙර ඇන්දේ යටට පමණි. උඩට නොවේ. (සීගිරි ගැහැණු බ්‍රෙෂියර් ඇන්දේ නැත.) උඩුකය නිරාවරණව දළදා මැදුරට මල් ගෙනයන ගැහැණුන්ගේ චිත්‍රයක් මහනුවර කෞතුකාගාරයේ තිබේ. සූසැට බරණින් සැරසුණු පංච කල්‍යාණියකට මේ ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යසට ආවගිය හැකි කාලයක් පැවතුණු බවද සිහිපත් කළයුතුය. ඊට හේතුව වන්නේ ලංකාවේ එවුන්ට ඇති ලිංගික බෙලහීනතාවක් හෝ, මහා අමුතු සදාචාරයක් නිසා හෝ නොවේ. ලිංගිකත්වය අපේ සමාජයේ වහංගු කොට නොතැබූ නිසාය. ඕනෙම නම්, දවල්ට පාරේ යන පංච කල්‍යාණිය දකින මිනිහා රෑට සිය බිරිඳ සමග පොඩ්ඩක් වැඩියෙන් සෙල්ලම් කරනු ඇත. කතාව එතනින් අහවරය.


සංවර ඇඳුමක් ලෙස, ලිංගික ප්‍රදේශ ආවරණය වන්නට අන්දපල්ලා යයි කී රෙද්ද, මුහුණ මතු නොව, ඇස් දෙක පවා වැසෙන තැනට ආවේ කෙසේද? මෙන්න ඊට පිළිතුර:

The correct view as indicated by the evidence is that the woman's face is 'awrah which must be covered. It is the most tempting part of her body, because what people look at most is the face, so the face is the greatest 'awrah of a woman. [source]
මේ ලියන්නේ නබි නොවේ. මේ ලියන්නේ නබිගේ අහලකින්වත් තියන්නට බැරි උලෙයිමාවෙකි. අර බුකියේ ආදිවාසියා කියන පරිද්දෙන්, ගැටළු ඇතිවන්නේ ආගම් කර්තෘන් නිසා නොව, ඔවුන්ගේ සේල්ස් රෙප් ලා ගෙනි. ඔවුහු බුදුන්ට වඩා බුදුදහමද, ජේසුට වඩා කිතුණු දහමද, ක්‍රිෂ්නාට වඩා වේදයද, නබිට වඩා ඉස්ලාමයද දනිති. ඉස ගසාගෙන ජීවත් වන්නට බැරි මේ කාලකන්ණි සත්ත්ව විශේෂ නිසාය. ඔවුන්ගේ අතෘප්තකර කාමාශාව වර්ධනය වීමේ ලා ගැහැණු මුහුණක් වුව ප්‍රමාණවත් යයි මින් ගම්‍ය කරගත යුතු දේ  වන්නේය.


අපට පෙනෙන ආකාරයට නම්, හිස වැසෙන්නට ඇඳි පර්දාව, මුහුණ වැසෙන්නට ඇඳපු නිකාබයේ සිට හිජාබය සහ බුර්කාව දක්වා පරිණාමනය වීමේ ක්‍රියාවලිය එහෙම පිටින්ම පුරුෂ ලිංගික පද්ධතියේ බලපෑම මිසක, ස්ත්‍රී ලිංගික පද්ධතියේ බලපෑම නිසා සිදු වූවක් නොවන බව පෙනේ. ගැහැණුන්ට ඇඟ වැහෙන්ට අන්දන ගමන්ම, පිරිමින්ට හැඟුම් පාලනයත් ඉගැන්නුවා නම්, ඉස්ලාමය මේ කාරණාවේදී අතිවිශිෂ්ට වන්නට ඉඩ තිබිණි. නමුත් එහෙම එකක් නැත. ඉස්ලාමයේදී මේ කාරණාවේ බර එහෙම පිටින්ම දමා ඇත්තේ කාන්තාවගේ උර මතටය. අප හිජාබයට එරෙහි වන්නේ අන්න ඒ නිසාය. මන්ද මේ තුළින් ස්ත්‍රී දූෂණ වල වරද පවා ගැහැනියගේ පිට පටවා ඈ කස පහරට ලක් කිරීමට තරම් නිදහසක් සහ ආධිපත්‍යයක් පිරිමි සමාජයට ලැබෙන බැවිනි.



බුර්කා විරෝධය
අප අපේ ප්‍රස්තුත මාතෘකාවේ වැදගත්ම තැනට එන්නේ දැන්ය. එනම් බුර්කා විරෝධය දෙසටය.

කිසිම ආගමක වතාවත් වලට හෝ සිරිත් විරිත් වලට හෝ විරුද්ධ වීමට ඒ ආගමේ නොවන අප හට අයිතියක් නැත. මීට වසර ගණනකට පෙර "ටැබූ" නම් බ්ලොග් රචකයා සිය අවසන් ලිපියේදී කී වචන ටික මෙහි දක්වනු රිසියෙමි.

ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.


ටැබූ ගේ දර්ශනය සමග අපට එරෙහි වන්නට බොහෝ දෑ තිබුණත් මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් සීයෙට සීයක් එකඟ විය හැකිය. මුස්ලිම් පල්ලියක සිදුවන යම් දෙයක් වේ නම් එය ඔවුන්ගේ බිත්ති හතර තුළ පමණක් සිදු වන දෙයකි. එය සමාජ විරෝධී ක්‍රියාවක් නම් හැර, අපට ඊට එරෙහි විය නොහැක. උදාහරණයක් ලෙස මුසල්මානුවන් ගේ හලාල් සහතිකය ගැන අපට විරුද්ධ විය නොහැක, නමුත් ඒ වෙනුවෙන් අපෙන් මුදල් අයකරගැනීමට අපට විරුද්ධ විය හැක. ඔවුන්ගේ වතාවත් වලට අපට විරුද්ධ විය නොහැකි වුණත්, ඔවුන්ගේ යාඥා වෙලාවල් වල කෙරෙන කන්කරච්චලයට අපට විරුද්ධ විය හැක. හිජාබය ගැනද එසේමැයි.

මෙහිදී අපි අන්ත දෙකක් දකිමු. එකක් නම් වරෙක අපේ රටේ ද කළුතර කැලිඩෝ වෙරළෙහි අරින්නට ගිය නිරුවත් වෙරළයි. ඒ ගැන අපේ මිත්‍ර මාලන් සමරවික්‍රම සජීවී වාර්තාවක් "හැන්දෑව" හරහා ඉදිරිපත් කළා අපට මතකය. දෙවැන්න හිජාබයයි. නිරුවත් වෙරළෙහි ඇඳුම් නැත. සැවොම නිරුවතින් හිරු රැස් සුව විඳිති. රමණයේ යෙදෙනු කැමැත්තෝ එසේ කරති. රැල්ල පාගනු කැමැත්තෝ එසේ කරති. එයද එක්තරා සුන්දර දෙයකි. එහෙත් ගැටළුව අපේ රටේ සංස්කෘතියට එය නොගැලපීම කෙසේ වෙතත් අපේ අයියලාගේ අහවල් එකේ පාලනයක් නැති වීමයි. අප ඉන්නේ හිජාබය සහ නිර්වස්ත්‍ර භාවය අතර මැද සාධනීය තැනකය. අර කී අන්ත දෙකම අපට හුදෙක් අන්තවාද පමණි.

එසේනම් හිජාබයට / බුර්කාවට විරුද්ධ වීමට අපට අයිතියක් තිබේද? මා සිතන්නේ එසේ විරුද්ධ වීමක් වේ නම් එය මතුවිය යුත්තේ මුස්ල්මානු සමාජය තුළින්ම මිස ඊට පිටතින් නොවේ යනුවෙනි. එසේ විරුද්ධ වන්නන් නොවේ යයි කාටවත් කිව නොහැකිය. මුස්ලිම් ෂරියා නීතියේ අලුත්ම බිල්ල වන ඊජිප්තුව තුළ, ඇඳුම් පැළඳුම් වාරණයට එරෙහිව, අලියා-මහ්දා-එල්-මාහ්දී නම් තරුණ කාන්තාව, සිය නිරුවත් චායාරූප ප්‍රසිද්ධියේම සිය බ්ලොග් අඩවියේ පලකලාය. ඈට සහය දැක්වීමට ගිය අනිකුත් අයට විවිධ හිංසන වලට ලක්වීමට සිදු විය. එහෙත් ඉන් හිජාබයට එරෙහි ජනමතයක් ගොඩ නැගුණු බව පිළිගත යුතුය.



එහෙත් හැමදාමත් වාගෙ බොදුබල සේනා මෙහිදී පොලිස්කාරයාගේ චරිතය සිය කැමැත්තෙන්ම අතට ගෙන තිබේ. වෙන මොකක් සිදු වුණත්, නූනත්, මින් සිදුවන්නේ ඇත්තටම බුර්කාවට විරුද්ධ මුස්ලිම් ප්‍රජාව පවා, ඒ විරෝධය යටපත් කරගෙන "මේන්ස්ට්‍රීම් එකට" එකතු වීම බව අපේ අයියලාට තේරෙන්නේ නැත. එබැවින් අපට කළ හැකි එකම දේ සාධුකාරයක් දී බලා සිටීම පමණි.