එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න!
ඡායාරූපය උපුටාගත්තේ "ගොඩේ බයියා" ලියු සටහනකිනි...
ඔක්කාරය දනවන තරමේ අප්‍රසන්න මාතෘකාවක් වුවද, පසන් කොඩිකාරගේ මරණය සහ ඉන් පසුව සිදු වූ යම් යම් කාරණා පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුව තිබේ.. එසේ වන්නේ පසන් කොඩිකාරවත්, ඔහුගේ නික්මයාමෙන් අනතුරුව තමන් පොරවල් යැයි සිතාගන්නා උදවියවත් ළඟ ඇති අමුතු බක්කක් නිසාවත් නොවේ.. මේ විප්‍රකාර බලං ඉන්නා පොඩි එව්වෝ "මේ මොකක්දැයි" අපෙන් අසන බැවිනි.. මෙතෙක් කල් ඒ නොකර සිටියේ බීගත්තු මිනිහෙක් කාගේවත් පස්සක් සහ තනයක් මිරිකීම අපට ස්ටේටස් දැමීමට හේතුවක් විය යුතු නැති බැවිනි.. එහෙත් ඒ පුද්ගලයා විසින් කරන ලදැයි කියන පස්ස (සහ තනය) මිරිකීම, දැන් ජාතික දේශපාලනයේ "නවමු හැරවුම් ලක්ෂ්‍යයක්" වෙතැයි සම "හරක්" ත්‍රීවිල් මතවාදීන් විසින් සලකනු ලබන බව පෙනේ... මේ ටික ලියන්නේ ඒ නිසා ය..
මුලින්ම පසන් කොඩිකාර ගැන යමක් කිවයුතුය.. පසන් කොඩිකාර නම් මිනිසාව මා කිසිදිනෙක පුද්ගලිකව ආශ්‍රය කර නොමැති බැවින් ඔහුගේ මානුෂික මුහුණුවර කෙසේදැයි මම නොදනිමි.. එහෙත් පරිවර්තකයකු වශයෙන් පසන්ගේ පරිවර්තන නම් බඩ දඟලවන සුළු, ඔක්කාරය දනවන සුළු මට්ටමේ ඉතාම දුර්වල ඒවා බව නොකියාම බැරි ය.. "Anti-Christ" යන්න "ප්‍රතිවාදී කිතුනුවා" ලෙස පරිවර්තනය කරන පුද්ගලයකු ගැන මීට වඩා ලිවීම නිරර්ථකය.. පසන්ගේ පරිවර්තන ගැන "Feeding the Monkey" බ්ලොග ලියන අපේ මිත්‍ර චමිලයා මට වඩා හොඳට ලියා ඇත.. කීප විටක්ම පසන්ට පුද්ගලිකව සහ වෙනත් සංවාද මණ්ඩපවලදී "මොනවද යකෝ මේ ලියන අණ්ඩර දෙමළ" කියා අසා ඇති අතර, ඒවාට ප්‍රතිචාර නම් නොලැබුණු තරම් ය..
කෙසේ වෙතත් පසන් නික්මගොස් ඇත.. පරිවර්තකයකු ලෙස කෙසේ වෙතත් ලේඛකයකු ලෙස ඔහුගේ ශක්‍යතාව පිළිබඳ හොඳ මතකයක් අප සතුව ඇති බැවින්, ඔහුට නිවන් සුව පැතීමේ වරදක් ඇතැයි මම නොදකිමි.. පසන් නිර්වාණය විශ්වාස කළා ද නැද්ද යන්න මීට අදාළ නොවේ..
පසන්ගේ මරණයෙන් අනතුරුව (සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන්) යහළු මිත්‍රයන් කීප දෙනෙකු එක්ව දුක නිවාගැනීමට බාර් එකකට යාමෙනි, කතාව ආරම්භ වන්නේ.. ඒ අතර පිරිමින් මෙන්ම ගැහැණුන් ද වූ අතර, එය මහා අමුත්තක් විය යුතු නැත්තේ බීම හුදෙක් පුරුෂමූල අයිතියක් විය යුතු නැති බැවිනි.. (ඒ කෙසේ වෙතත් ලංකාවේ බාර්වල ගැහැණුන්ට මත්බීම විකිණීම තහනම් ය..) සාමාන්‍යයෙන් පදමට දෙකක් දමාගත්තාම කොයි කවුරුත් පිස්සු කෙළින බැවින් බොනපාට් එක අතර සිදු වූ දෑ වත්, හුවමාරු වූ දෑ වත් අපට අදාළ නැත.. (වැඩි විස්තර සර්පයා සිය බ්ලොගෙහි ලියා ඇත..) කොහොමත් මා එතන නොසිටි බැවින් මට නම් ඒ කතාව අදාළ ම නැත.. කෙසේ හෝ වේවා, මීවිතෙන් පටන්ගත් කතාව අවසාන වී ඇත්තේ වංගීස සුමනසේකර විසින් එහි සිටි එක්තරා කාන්තාවකගේ පස්ස මිරිකීමෙනි.. (කාන්තාවගේ නම නොලියන්නේ සහේතුකව ය..) මේ අසංවර සහ අසංස්කෘතික හැසිරීම වංගීසගෙන් මීට පෙරද ප්‍රදර්ශනය වී තිබුණු බව රහසක් නොවන අතර, ඒ අවස්ථාවන්හි කළාක් මෙන්ම මේ අවස්ථාවේදී ද සුපුරුදු පරිදි නොනවත්වා කෙරෙන සමාව ඉල්ලීම් ද පසුගිය දින කීපයේ ෆේස්බුක් හරහා දක්නට ලැබිණි..
දැන් මේ සිද්ධිය අරබයා ප්‍රශ්න කීපයක් විසඳාගත යුතුව තිබේ.. එකක් නම්, බාර් එකකදී දක්වන අසංවර හැසිරීම යම් පුද්ගලයකුගේ "ඇකඩමික්" භාවය කෙරෙහි බලපාන්නේ කෙසේ ද යන්නයි.. මානව දුර්වලකම් පසෙක තැබුවහොත් වංගීස යනු සිය දැනුම් ක්ෂේත්‍රයේ ප්‍රාමාණික උගතෙකි.. විධිමත් අධ්‍යාපනයක ඵල ලැබුවෙකි.. වංගීස කැමති වුවත් අකැමැති වුවත් මිනිස්සු ඔහු අයත් වන "කැලෑසියෙන්", "ඇකඩමියාව" නම් මෙන්න මේ වගේ එකකැයි සිතේ දෙයක් මවා දනිති.. එසේ තමා හරහා යම් පන්තියක අනන්‍යතාව නිරූපණය වීමට වංගීස අකමැති වූවාට බලා සිටින අපට කරන්නට දෙයක් නැත.. මන්දයත් වංගීස යනු මෙන්න මේ වගේ දෙයකැයි තීරණය වීමට ඔහු අයත් වන මේ "ඇකඩමික්" කුලය ටිකක් නොව ගොඩාරියක් බලපාන බැවිනි..
ඇකඩමික් vs නන්-ඇකඩමික් විරෝධය මේ සරල සිද්ධියට සීමා වූවක් නොවේ.. "උඹට තියෙන්නේ මොනවාදැයි" චාපා විසින් බාර් එකේදී සර්පයාගෙන් විමසීමත්, "ලංකාවේ උන් දන්නේ මොනවාදැයි" නලින් ද සිල්වා විසින් ධර්මවර්ධනට පැවසීමත් අතර වෙනසක් මට නම් නැත.. වෙනසක් වේ නම් ඒ පළමුවැන්න බාර් එකකදී සිදුවීමත් දෙවැන්න ජාතික තලයේ පුවත්පතක සිදුවීමත් නිසා පමණි.. දැන් සිදුවී ඇත්තේ මෙතෙක් කල් ඇකඩමියාවට ගහන්නට පොටක් සොයමින් සිටි නන්-ඇකඩමික්ලාට, වංගීසගේ පිටේ තබා ඇකඩමියාව මස් කරන්නට පොටක් පෑදී තිබීමයි.. මෙය තනිකරම ඇරියස් පිරිමහීමකැයි නොබියව කිවයුත්තේ එහෙයිනි.. (වංගීස කර ඇත්තේ වරදක් නොවේයැයි හෝ, ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් සමාව නොගත යුතුයැයි මින් අදහස් නොවේ..)
ඇකඩමික් ප්‍රශ්නය එසේ තිබියදීම, විසඳාගත යුතු වෙනත් මහා බරපතළ ගැටළුවක් ද ඇත.. එනම්, මෙතෙක් කල් "සංස්කෘතිය" සහ "සදාචාරය" යන වචන දුටුමතින් සමේ පලු නගින්නාක් මෙන් බෙරිහන් දුන් කීප දෙනෙකුට මේ හදිස්සියේ සදාචාරය සහ සංස්කෘතිය මතක් වී ඇත්තේ මන්ද කියා ය.. අප දන්නා සංස්කෘතියට අනුව නම් පස්සවල් මිරිකීම ඉතාම පෞද්ගලික ක්‍රියාවකි.. එය සිදුවිය යුත්තේ ඒ සඳහා වූ සාමාජීය ලයිසන් එකක් සහිතව ය.. සාමාන්‍ය බාසාවෙන් ඒ ලයිසන් එකට "කසාදය" කියා කියති.. (කසාද බඳින්නේ ඒකට පමණකැයි මින් අදහස් නොවේ..) එහෙත් කසාදය වැනි ඉතාම ප්‍රාථමික සංකල්පවලින් මිදී වඩා ඉහළ තලයක චින්තනයක් ඇතැයි කියන නෝනාවරු මහත්වරු අපට කියන්නේ කසාදය වනාහි පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රිය යටපත් කිරීමට යොදාගන්නා මෙවලමක් යැයි කියා ය.. මේ නෝනාවරු මහත්වරුන්ගේ චින්තනයට අනුව පස්සවල් මිරිකීම සහ වෙනත් එවැනි චර්යා රටාවන් දැක්වීමට අප සමාජයෙන් හෝ කාගෙන්වත් ලයිසන් ගත යුතු නැත.. කසාදය වැනි සම්මතයන් වනාහි සමාජය පසුගාමීත්වය වෙත ඇදගෙන යනු ලබන දෑ යැයි පවසන්නේ අප නොව මේ උත්තරීතර චින්තකයන්ම ය.. එසේනම් දැන් මේ ඊනියා චින්තකයන් "සම්මතය", "සදාචාරය" සහ "හරි වැරැද්ද" ගැන කතා කරන්නේ කෙසේ ද?
සදාචාරය කියා නිරපේක්ෂ දෙයක් නැතැයි ද, හොඳ-නරක යනු අදාළ සමාජය මත තීරණය වන සාපේක්ෂ සංකල්ප යැයි ද මෙතෙක් කල් කියූ බහුතරයක් මේ සිද්ධියේදී දක්වන ප්‍රතිචාර ගැන මට මහත් පුදුමයක් පවතී.. මෙය පැහැදිලි කරගැනීමට අපි පොඩි මනෝ-පරීක්ෂණයක් කරමු.. අප්‍රිකාවේ කොහේ හෝ නොදන්නා කොණක, පිරිමින් විසින් හිතුමතේට ගැහැණුන්ගේ පස්සවල් මිරිකීම "හොඳ" යැයි අර්ථ දැක්වෙනවා යැයි සිතමු.. දැන් එවැනි තැනක මේ සිද්ධිය සිද්ධ වීමත්, ලංකාවේ ඊ.ඒ.පී. එකේදී මේ සිද්ධිය සිද්ධ වීමත් අතර වෙනස පහදන්නේ කෙසේ ද? සදාචාරය සාපේක්ෂ නම්, ඒ සදාචාර සම්මතය වලංගු වන සීමාව හුදෙක්ම ඒක පුද්ගල නිදහස මතම තීරණය වනවාත් නම්, එදා ඊ.ඒ.පී. සිද්ධිය ගැන කාටවත් කලබල වෙන්නට දෙයක් නැත.. ඇයි, සදාචාරය කියා එකක් නිරපේක්ෂව නෑ නොවැ? සදාචාරය සාපේක්ෂ නම්, ඊ.ඒ.පී. එකේ මධුවිත බොමින් සිටින පිරිසගේ සදාචාරය ඒ අයට සාපේක්ෂ යැයි අපට කිව හැක.. එසේ නම්, ඊ.ඒ.පී. එකේදී සිදුවූ සිද්ධිය හරි ද, වැරදි ද කියා මිනිය යුත්තේ අපේ මේ සිංහල බෞද්ධ රටේ සදාචාර සම්මතය අනුව නොව, ඊ.ඒ.පී. එකේ බිබී හිටපු එවුන්ගේ සදාචාර සම්මතය අනුව ය..
මේ ඊනියා චින්තකයන්ගේ මහාර්ඝ චින්තනයේ නිරුවත්භාවය හෙළිවන්නේ සැබෑ ලෝකයේ සිදුවන මෙවැනි සිද්ධීන්ගෙනි.. පොත්වල, බ්ලොග්වල, සම්මන්ත්‍රණවල, ඊනියා කතිකාවල ආදී තැන්වලදී සිංහල බෞද්ධ සදාචාරය පට්ටා ගසන, සිංහල බෞද්ධ යන වචන හපා අඹරා හක්කේ තබා සෙම අරින, මේ රට දියුණු නොවන්නේ මේ ඊනියා සිංහල බෞද්ධ සදාචාරේ නිසා යැයි බෙරිහන් දෙන උදවියට, බෞද්ධ සදාචාරය මතක් වන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක ය.. සිංහල බෞද්ධකම වනාහි ගඳගහන මඩ ගොහොරුවකැයි ද, තමන් එතැනින් උඩට නැගගෙන, පඩිපෙලක් වගේ එකක ඉඳන් පල්ලෙහා බලාගෙන කතා කරනවාය කියා සිතා සිටින කාටවත්, බීගත්තු මිනිහෙක් තමන්ගේ පස්ස මිරිකන්නට එන විට ඔය ඒක පුද්ගල නිදහස ගැන පරසක්වළ ගසමින් කියූ කතාවන් එකක්වත් මතක් වන්නේ නැත.. එතකොට සිදුවන්නේ අර තමන් විසින් නැගගෙන සිටින මානසික පඩිපෙළෙන් පල්ලෙහාට "ඩිගි ඩිගි" ගා ඇදගෙන වැටී, තමන් මෙතෙක් කල් බැනවැදුණු සදාචාර සම්මතය දක්වාම තල්ලු වීමයි..
එබැවින් මෙකී "නූතන" සහ "පශ්චාත් නූතන" චින්තකයන් තමන්ව එසේ හඳුන්වා ගැනීම ඉතාම යුක්තියුක්ත බව කිව යුතුය.. මන්ද "නූ තන" යනු "අලුත් තන" ලෙස ද අර්ථ දැක්විය හැකි බැවිනි.. අවැසිනම්, "පශ්චාත්භාගය නූතන" කරගැනීමේ චින්තනයක් ලෙස ද එය අර්ථ දැක්විය හැකි ය.. (අවශ්‍ය නම් අපට ඒ සඳහා මෙන්න මෙහෙම ටැග් ලයින් එකක් ද ලිවිය හැකිය: "ඔබේ පශ්චාත්භාගය පැරැණි වැඩි ද? දුක්වෙන්න එපා, පශ්චාත්භාගය නූතන කරගැනීම සඳහා නොමිලේ පන්ති, ඊ.ඒ.පී. හිදී") ඒ කෙසේ හෝ වේවා, අප විසින් සම්මත යැයි සලකන සදාචාරයේ බංකොළොත්භාවය ගැන කතාකරන "නූ තන" සහ "පශ්චාත්" භාග මත පදනම් වූ චින්තකයන්ගෙන් ඒ වෙනුවට ඉදිරිපත් වන විකල්පය වනාහි, කල්පනා ඇම්බ්‍රෝස් විසින් නිවැරදිවම කියා ඇති පරිදි "යහළුවාට වඩා සෙරෙප්පුව විශ්වාස කරන්නට සිදුවන" මට්ටමේ විකල්පයක් නම්, අපට අපේ දන්න යකා හොඳා කියනු ඇරෙන්නට වෙන කිවයුතු දෙයක් නැත..
එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න!