logo banner

Wednesday, October 17, 2012

බලු කපුටු දානය

සාමාන්‍යයෙන් කේන්දර පිළිගන්න කවුරුත් එක සේ බිය වන එකම දෙයක් ඇත්නම් ඒ හෙනහුරු අපලයයි. හත් අවුරුදු හෙනහුරු එරාෂ්ටකයෙන් ගැලවී සිටින්නට විෂ්ණු දෙවියන්ටත් බැරි විය. හත් අවුරුද්දක් බට කොළ කකා දුක් විඳි උන්නාන්සේට දේව සභාව මැද්දෙම හෙනහුරා කින්ඩිය දැමූ හැටි කවුරුත් පහේ දනිති. එහෙවු රටේ සම්බුද්ධ ශාසනය රකින්නට විෂ්ණු දෙවි රාජෝත්තමයානන්ට බාර දුන් අපි, මෙතෙක් කල් සුව සේ නිදා ගත්තෙමු. අප සුව නින්දේ පසුවන අතරේ හෙනහුරා දැනටමත් අපට බට කොළ කවන්නට පටන් ගෙන ඇති බව වටින් ගොඩින් ඇහෙන ආරංචි වලින් පෙනී යයි. 

ඔය කියන හෙනහුරු එරාස්ටකේ හැදුනාම කරන්නට කියා අප දන්නේ එකම දෙයකි. එනම් බලු කපුටු දානයක් දීමයි. ඒ කියන්නේ සතියක් වත් පේවී සිට පිරිසිදු හුන් හාලෙන් උයා ගත් කිරිබත් ගොටුවක් ගිතෙල් පාන්තිර සමගින් උදේ ඉර පානට පෙරාතුව ගහක දෙබලක තබා කාක්කන්ට අඬ ගැසීමයි. රට වටේම තියෙන තරමක් කුණු කන්දල් අවුස්සන් කන කාක් රෑන ඔය සද්දේ ඇහෙන තුරු බඩ තද කරන් බලා ඉන්නවා යයි හිතන්නට බැරිය. කොහොමත් අපලේ තදටම වැදී ඇත්නම්, කාක්කෙක් තබා කාක් පිහාටුවක් වත් දකින්නට නොලැබීම ද සාමාන්‍ය සිද්දියකි. 

බලු කපුටු දානය ගැන මේ ටීකාව ලීවේ මේ රටේද බහුලවම සිදුවන එකම ක්‍රියාව කපුටු දාන දෝ හෝයි සාධාරණ සැකයක් මතුවන බැවිනි. කාට හෝ අපලයක් සෙට් වීගෙන එන විටම කොහෙන් හෝ කාක්කන් රෑනක් හොයාගෙන දනක් පිනක් දී ශේප් වීම මේ රටේ සිරිතයි. ටී-ටුවෙන්ටිය එහෙම එකකට හොඳම උදාහරණයකි. එහෙම කීවේද හේතුවක් ඇතිවය. දිගින් දිගටම කෙළවා ගැනීම සහ එහෙම වෙලාත් රෙදිත් ඇඳගෙන තව තවුසන්ඩ් ටෝක්ස් දීම නිසාවෙන් ආසියාවේ ආශ්චර්යය බවට පත්ව සිටින මේ රටේ ආණ්ඩුවට, රටේ ලෝකේ සිද්දවෙන හැම එක දෙයක්ම පාහේ හෙනහුරු අපල සේ දැනෙන්නට පටන් ගෙන තිබේ. එක අතකට ආචාරිය මැරවින් කැලණිය, මෝලක සිල්වර්, බන්දු-බණ්ඩා අම්බාන වැනි අතිශූර ප්ලේයර්ස්ලා ඉන්න තැනක එහෙම වීම අහන්නට දෙයක්දෝ කියාද සිතේ. 

ඉතින් ඔහොම අපලයක් වුනාම කාට කියන්නදෝ කියා ද පැනයක් පැන නගී. කොහොමත් අර කුඩු දුමියා ඉන්නා පැත්ත පළාතක දේවතාවියක් නම් වඩින්නේ ම නැති බව එකෙන්ම විස්වාසය. දෙයියොත් හන්ටර් වෙන ආකාරයේ අමුතුම ගේම් දෙන්නට උපන් හපනුන් ඉන්නා රටක දෙයියන්ටත් ඇම්නීෂියා හැදීම අහන්නත් දෙයක් දැයි සිතේ. ඔයින් මෙයින් අන්තිමට ඔය කොයි අවනඩුවත් කියන්නට ඉතුරු වෙන්නේ මේ රටේ තිස්තුන් කෝටියක් මහා ජනතාවය. තලාටු, බූමාටු, ඈ විසින් නානාප්‍රකාර පන්ති ප්‍රාන්තර වල දෙයියෝ එතන සිටිති. මේ ඔක්කොමල්ලගේම පොදු ලක්ෂණ දෙකක් ඇත. එකක් වනාහි "අරක දෙන්නම්, මේක දෙන්නම් " කියා බාර වෙලා ගිය පසු ආයෙත් පැත්ත පළාතක නාවත් ඊළඟ අන්චියේදීද බොක්කෙන්ම සප් එක දී අපේ උන්දෙලාව පාර්ලිමේන්තු ගත කිරීමයි. දෙවැන්න  නම් මේ හැමෝටම සක්කරයාට වාගේ පාණ්ඩු කම්බල සයිලාසනයක් තිබීමයි. ඒකට පොදු වහරේ කියන්නේ ගෙදර කියාය. ඕක කොයි වෙලෙත් ඇත්තේ පත්තු වීගත්තු ගමන් ම ය.

හෙට රෑට මොනවා වැඩි වේ දෝහෝයි නිරන්තර සැකෙන් බියෙන් ඉන්නා නිසා ම අපේ දෙයියන්ගේ චවි කල්‍යානයද එතරම් හොඳ නැත. ඒ නිසා එකසිය විස්සට දෙසිය විස්සක් ආයු අරන් ආවත් යන්තම් පනහ පැන්න ගමන් චුත වීම මේ දෙවු ලොවේ හැටියකි. ඒ නැතත් මෙහෙ යමරෙට තියෙන අමෘතය බීම වැඩි කමෙන් ද සමහරු චුත වෙති. සමහරුන්ට නම් කලින්ම ටිකට් එක ඇදේ. ඒ කියන්නේ, ඔය උද්ඝෝෂණයකට වාගේ දේකට සහභාගී වූ විට නොමිලේ රිය අනතුරකින් චුත වීමට වාසනාව ලැබේ. එහෙම කෙනෙක් චුත වෙද්දී ළඟ ඉන්න අනික් එවුවෝ "අනේ සබඳ! ආයේ නම් මෙහෙ නේන්නටම පතමින් චුත වෙය! " යයි එක සිතින් සජ්ජායනා කොට ආසිරි පතන්නෝය.

දැන් අපි අයෙමත් ප්‍රස්තුත මාතෘකාවට එමු: ඒ කියන්නේ බලු කපුටු දාන ගැන කතාවටය. මන්ද යත් කපුටන් ගැන කීවා මිසක බල්ලන් ගැන නොකී බැවිනි.

බල්ලෝද නානාප්‍රකාර වෙති. ඇල්සේෂන්, ඩැල්මේෂන් වලින් පටන් ගත්තාම සාමාන්‍ය පොදු වල්ටේෂන් දක්වා වූ නානාවිධ පන්ති වලට අයත් බල්ලෝ සිටිති. සැපට හැදෙන උන් මෙන්ම දුකට හැදෙන උන්ද මේ අතර වෙති. මොන දහදුක වින්දත් හැදෙන ගෙදරට නොබිරීම බල්ලන්ගේ ඇති මහත්මා ගතියකි. එසේම මේ රටේ ජනී ජනයාද හාම්පුත්තු මොන තරම් පයින් තද කොට පෑගුවත් කෙඳිරිල්ලක් තරමේ නොකොට සද්ද වසා සිටින්නෝය. මුන්ගේ චණ්ඩිකම් පෙනෙන්නේ පිට මිනිස්සුන්ට සහ වැයික්කියෙන් පිට බල්ලන්ටය. අන්න එතකොට නම් නැට්ට කරේ තබාගෙන බුරාගෙන මිනී කන බ්ලඩ්-හවුන්ඩ් සිහි ගන්වන විලාසෙන් නැතහොත් මාරාවේශ වූ බැස්කවිල් සුනඛ විලාසෙන් මග දෙගේ එලව එලවා බුරති. බුරන බල්ලෝ සපා නොකතියි කියන කියමන සැබෑ කිරීමට දෝ බුරන තරමට අපේ උන්ගේ හැපිලි නැත. ඊළඟ චන්දය ආ විගසම නගුට දෙපරංශය අස්සේ ගසා ගෙන චන්ද පොලට ගොස් (කකුලක් උස්සාදෝ මංදා) චන්දය දමා එති.

No comments:

Post a Comment

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.