logo banner

Saturday, January 26, 2013

ටැබූගේ සෙවණැල්ල යට | Under the shadow of Taboo



"ටැබූ... යන නම බ්ලොග්-අවකාශයේ සරන්නන් හට අමුතු නුපුරුදු නමක් වන්නට බැරිය. බ්ලොග් එකකට කළ හැකි දේ මේ යැයි විදහා දැක්වූ, අතිශයින් සුමට කර්කශ (විරුද්ධාභාසයක් නොවේ) වාග් ප්‍රහාරයක අනුකම්පා විරහිත ප්‍රහාරය, පරිණත ලේඛකයකුගේ ස්වයං පාලනය සමග එකට දක්නට ලැබුණු විරල අවස්ථාවකි, ඒ. ඔහුගේ දේශපාලන දර්ශනය මොකක් වුණත්, (ගියා නම්) කාට කඩේ ගියත්, (කළා නම්) මොනවා මාකට් කළත් එය වටින්නේ ඒ නිසාය. 

ටැබූගේ පරණ ලිපි කිහිපයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ තැන් තැන් වල දක්නට ලැබුණා මතකය. අතීතාවර්ජනා නමින් අපද ඒ ගැන වරෙක කියා තිබේ. එදා කී ඒ බොහෝ දේ අදටද එලෙසින්ම වලංගු යැයි සිතෙන තරමට ඒ කතා අළුත් බව නොකියාම බැරිය. 

"Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා"  නමින් එදා ඒ පළ කළ ලිපි සමහරක් යළි බ්ලොග් අවකාශයට මුදා හරින්නට ටැබූ පාඨකයකු ඉදිරිපත් වී සිටීම අප අගයන්නේ එබැවිනි. 

මේ සියල්ල කියන්නේ, මෙකී පුනරාගමනය නිසා "සැබෑ ටැබූ" හට මොනයම් හෝ අකරතැබ්බයක් සිදු නොවේවා! යයි පතන අතරතුරම බවද කිව යුතුමය. 

ගෙදරට ආපු මනුස්සයෙක් හිස'තින් යැවීම මේ රටේ සිරිත නොවෙන බැවින් ආපු එකේ කියවන්නට ඉහත බ්ලොගයෙන් ගත මෙන්න මේ කෙටි උධෘත දෙකක් පමණක් දක්වනු කැමැත්තෙමි.
"  ...කෙනකු උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නොවේ. ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙත්මැයි. මේ කිව්වේ චේගුවේරා නොව බුදුන් වහන්සේය. එහෙත් අපේ රටේ සිංහල බෞද්ධ ජනතාවට නම් තවමත් කුලය වැදගත් සාධකයකි. සිළුමිණ පත්තරයේ බොහෝ මංගල යෝජනා පළ කරන්නේ “බොදු ගොවි දියණියට” හෝ “බොදු කරාව පුතුට” සම කුල පුතකු හෝ දියණියක හොයන දෙමාපියන්ය. ගෙදරට නාකිවුනත්, ගර්භාෂයේ මකුළු දැල් බැඳුනත් අඩු කුළ එකකු/එකියක හා සරණ යන්නට අපේ කුලවත් දියණියන්/පුතනුවන් කැමති නැත.කුලය ඉස්සරහට එන තවත් අවස්ථා දෙකක් අපේ සමාජයේ ඇත. එකක් දේශපාලනයයි. ජනප්‍රියතාවයෙන් හීන මහින්ද විජේසේකර නැමති දේශපාලනඥයා තාමත් ජාම බේරා ගන්නේ කරාව කුලයෙන් පක්ෂය නොසලකා ලැබෙන ඡන්ද වලිනි. කියන්නට ලැජ්ජා වුනත් කුලය වැදගත් වන අනෙක් අවස්ථාව දරුවකු මහණ කිරීමයි. අඩුකුල එවුන් වැද්ද ගැනීමට සියම් නිකායික භික්ෂූන් තවමත් සූදානම් නැත. එකට දේශපාලනය කළත් ගොවිගම මේධානන්දත් දුරාවේ ඕමල්පේ සෝභිතත් සිවුර පොරවන්නේ දෙයාකාරයකටය. ... "

මේ දෙවැන්නය.
" ...ප්‍රාග්-කොමියුනිස්ට්, වැඩවසම් රුසියාවේ යස්නයා පොල්යානාහි ලෙව් නිකොලායෙවිච් තෝල්ස්තෝයි දිවි ගෙවන්නේ රදළ සිටුවරයකුට සැම අතින්ම ගැළපෙන ආකාරයටය. හැම රදළයකු ලෙසින්ම තෝල්ස්තෝයිද තම වැයික්කියේ හැම බිම් අඟලක්ම තමගේ රාජකාරි සීමාව කරගනී. මීට දුප්පත් ගොවියන්ගේ පැල්පත් වල කීරි ගහන පරණ ඇඳන්ද අයත්ය. රදළයා ඇතුළුගෙයි තම තරුණ රූබර දියණිය සමඟ යහන් ගත වෙද්දී ඇගේ පියා හූල්ලමින් පිලේ ඈඳිගෙන සිටියි.

මොවුන් ගැබ්බර වූ විට (මේ ප්‍රාග්-කොමියුනිස්ට් පමණක් නොව ප්‍රාග්-කොන්ඩෝම් යුගයක්ද වේ.) සිටු මැදුරෙහි සේවය කරන නෝංජල් මිනිසකුට සරණ පාවා දෙනු ලබන්නේය. තරුණිය ලබන දරුවන් කාගේද යන්න ටික දෙනකුට රහසක් නොවන මුත් උප්පැන්නය ලියැවෙන්නේ අර නෝංජල් ‘පියාගේ’ නමටය.

මේ තෝල්ස්තෝයිට අවමන් කිරීමකැයි වරදවා වටහා නොගත යුතුය. මෙය වැඩවසම් යුගයේ සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදායයි. රදළයකුසේ තෝල්ස්තෝයිද මේ ගැන දෙවරක් නොසිතුවාට සැක නැත. වඩා ආසන්න පරිසරයකට ආවොත් ලංකාවේ හොරණ ශ්‍රීපාලිය බිහිකළ විල්මට් ඒ. පෙරේරාද මීට සමාන ජීවිතයක් ගතකළ රදළයෙකි. එවක සාරධර්ම අනුව මේවා අසාධාරණ හෝ අසම්මත චර්යාවන් සේ සැලැකුණේ නොවේ.
සමාජය රැවටුවද ජීව විද්‍යාව රවටනු බැරිය. කරදඬු උස්වන විට මෙකී දරුවෝද තම ජීව විද්‍යාත්මක පියාගේ ගති ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමට පටන් ගනිති. නෝංජල්ව ඇකිළී සිටිනු වෙනුවට රදළයන්ට පොදු ගතියක් වන ‘චණ්ඩිකම්’ ප්‍රදර්ශනය කරන්නට පටන් ගනිති.

තෝල්ස්තෝයිටද මෙබඳු මැර ‘අවජාතක දරුවකු’ සිටි බව සඳහන්ය. මේ සිය ගණනකින් එකකු විය හැකිය. පසු කලෙක ඔහුගේ අස්ස කරත්තයේ රියැදුරා වූයේ මේ තරුණයාය. කොයි තරම් පැමිණිලි ආවත් තෝල්ස්තෝයි තම ‘රියැදුරාගේ’ මැරකම් මුවින් නොබැණ ඉවසූ බවත් සඳහන්ය. ...  "

ඉතුරු ටික කියවනවාද නැද්ද යන්න ඔබට භාරය. 

7 comments:


  1. මේ සියල්ල කියන්නේ, මෙකී පුනරාගමනය නිසා "සැබෑ ටැබූ" හට මොනයම් හෝ අකරතැබ්බයක් සිදු නොවේවා!

    matath kiyanna thiyenne mechcharayi...

    ReplyDelete
    Replies
    1. මේ ලියන්නේ මේ ලිපිය ලියා සෑහෙන කලකට පසුව.. අද වෙනවිට ටැබූ ගේ පුනරාගමනය ඉතාම සාර්ථකව සිදු වී ඇති බව සතුටින් සිහිපත් කරනවා සහන්..

      Delete
    2. ලසන්ත වික්‍රමතුංගට උපහාරයක්ම වේවා . එකෙකු මියෙන විට තවකෙකු පැමිණේවි. ඔහු නැති අඩුව පුරවාවී ඔහුගේ පුතෙකු වී . . .

      Delete
    3. ඔබ දන්නවාද සහන් ලසන්ත වික්‍රමතුංගගේ ප්‍රියතම වැකිය?

      "වදින තැනකට වදී වා! රිදෙන තැනකට රිදේ වා! වැදී රිදී හෝ හැදේ වා!.."

      Delete
    4. SilentSahanDecember 10, 2013 at 4:46:00 PM



      වටහා ගන්නෝ වටහා ගනිත්වා..
      සෙස්සෝ මං මුළා වෙත්වා !
      මං මුළා වූවෝ හති වැටෙත්වා .
      හති වැටෙන්නෝ මැරී වැටෙත්වා !
      මට පිටු නොපෑවෝ දිය ලබත්වා.
      දිය ලැබූවෝ එතෙර වෙත්වා !

      Delete
  2. මෙන්න මෙතන ටැබූගේ පෝස්ට් ඔක්කොම ආර්කයිව් කරලා තියෙනවා ...

    http://wayback.archive.org/web/20100327202633/http://taboosubjects.wordpress.com/

    Happy reading!

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.