logo banner

Thursday, May 16, 2013

පාප්තුමන් සහ අලුත් සාන්තුවරු | Pope and the New Saints

විශේෂ සටහන: පාඨක අදහසක් අනුව, මේ කතාවට ම අදාළ, Dan Brown සහ මොනාලීසා ගැන කතාව, වෙනම ම ලිපියක් ලෙස, වඩා සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත. මන්දයත් මොනාලිසා සහ පල්ලිය ගැන කියන්නට සෑහෙන දිග විස්තරයක් ඇති බැවිනි. 

මෙතෙක් කතාව

XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ හදිසි සහ අනපේක්ෂිත ඉල්ලා අස්වීම පිටුපස ඇති ප්‍රසිද්ධ රහසක් ගැන අපි මීට පෙර ලිපියකින් සාක්‍ෂි සහිතව කරුණු ගෙන හැර දැක්වුයෙමු. ඒ අනුව වතිකානුව යනු තව දුරටත් ශුද්ධ වූ පූජ්‍ය නගරයක් නොව, (ශුද්ධවන්තයන් අතර) ළමා අපචාරකයන්, සමලිංගික ගණිකා වෙළෙන්දන් සහ පිම්පියන් ද වෙසෙන නගරයක් බවට අපි කරුණු ගෙන හැර දැක්වීමු.



සටහන: මේ කිසිවක් අප පවසන්නේ කිසිදු ආගමකට අපහාස කරනු පිණිස නොවන බව කාරුණිකව සළකන්න. කුණු ඇත්තේ පන්සලේ ද, කතෝලික පල්ලියේ ද, ජම්මියතුල් උලමාවේද යන්න අපට අදාළ නැත. කුණ කොහේ තිබුණත් කුණ මැයි.

බෙනඩික්ට් පාප් වහන්සේ ගෙන් අනතුරුව එම තනතුරට තෝරා පත් කරගනු ලැබුයේ ආජන්ටීනු කාදිනල් ජෝර්ජ් මාරියෝ බෙර්ගොග්ලියෝ පියනමය. මෙය ද හිටපු පාප් තුමන්ගේ නික්මයාම මෙන්ම අනපේක්ෂිත සිද්ධියකි. මන්දයත් ජෝර්ජ් මාරියෝ පියනම, පාප් ධුරයට පත්වීමට ඉඩ ඇති කාදිනල් වරුන් ලෙස සාමාන්‍ය ජනයා සිතා සිටි ලයිස්තුවේ වත්, වතිකානු විශේෂඥයන් විසින් අනුමාන කරන ලද පිරිස අතර වත් නොසිටි "සෙවණැලි" චරිතයක් බැවිනි.



මේ ගැන අදහස් දක්වන වියානාවේ අගරදගුරු කාදිනල් Christoph Schönborn, "Telegraph" පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබුණේ "මේ තීරණය ගැනීමට දිව්‍යමය හේතු සාධක බලපෑ" බවයි. මේ ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ, කාදිනල් ක්‍රිස්ටෝෆ් තෙමේ ද, මීළඟ පාප් ධුරයට පත්වීමට වඩාත්ම ඉඩ තිබුණු කිහිප දෙනාගෙන් කෙනෙකු වීම නිසා ය.

මේ හැර, වැදගත්ම සාධකයක් වන්නේ, බෙනඩික්ට් පාප්තුමන් "සාම්ප්‍රදායිකයන්ගේත් සාම්ප්‍රදායිකයකු" වන විට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාම "නූතනවාදී" අයෙකු ලෙස නමක් දිනා සිටීමයි.

ඉස්ලාම් විරෝධී සාන්තුවරු

වැදගත්ම සිද්ධිය වන්නේ අභිනව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කරන ලද ඊළඟ වීර ක්‍රියාවයි. එනම්, එතෙක් මෙතෙක් රෝමානු කතෝලික සභාවේ කරන ලද විශාලම ශුද්ධවරයට ඔසොවා තැබීම සිදු කරනු ලැබීමයි. ඒ අනුව පසුගිය 12 වන ඉරුදින සාන්ත පේදුරු චතුරශ්‍රයේ දී, අභිනව පාප් තුමෝ එකවර 800 දෙනෙක් සාන්තුවර තත්ත්වයට හෙවත් ශුද්ධවරයට ඔසොවා තැබුහ.

ශුද්ධවරයට ඔසොවා තැබීම යන්නෙන් අදහස් වනුයේ යම් පුද්ගලයකු සාන්තුවරයකු ලෙස හැඳින්වීමයි. සාන්ත අන්තෝනි, සාන්ත පීතර, සාන්ත ජෝසප් ආදී වශයෙන් හැඳින්වෙන්නේ ඔවුන් ය. සාමාන්‍යයෙන් සාන්තුවර තත්වයට කෙනෙකු නම් කරන්නේ ජීවිත කාලයක් මුළුල්ලේ පැවති අචල දේව භක්තිය කරණකොට ගෙන, ඔහු හෝ ඇය හට යම් අධිමානුෂික දිව්‍යමය බලයක් ඇතැයි සනාථ කෙරේ නම් ය. සාමාන්‍යයෙන් බැතිමතෙකු සිය ජීවිතයම දේව කාරිය වෙනුවෙන් කැපකළ විට, ඔහු හෝ ඇය ස්වර්ගස්ථ වූ පසුව, මුලින්ම භාග්‍යවරයට ඔසොවා තබනු ලැබේ. මෙය, සාන්තුවරයකු / වරියක ලෙස තෝරා ගැනීමට සුදුසු කම් ලැබීමක් හා සමාන ය.

මේ කතාව වඩාත් පැහැදිලි වීම සඳහා අපේ අසල්වැසි ඉන්දියාවේ අසරණයින් වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළ තෙරේසා මවුතුමිය සලකමු. ඇගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව, ඇය භාග්‍යවරයට ඔසොවා තබනු ලැබීය. මෙය සාන්තුවර මට්ටමට වඩා එකක් පහළින් සිටින්නේ යැයි අපට කිව හැකි ය. භාග්‍යවරයෙන් සාන්තුවරයට ඔසොවා තැබීමට නම්, අදාළ බැතිමතාගේ නාමයට හාස්කම් බලපැවැත්විය හැකි අධිමානුෂික බලයක් පැවතිය යුතුය. සිය ජීවිතයම අසරණයින් හට අඩුම ගණනේ සුන්දර මරණයක් ලබා දෙන්නට කැපකළ ඇය ද, අදටත් හැඳින්වෙන්නේ "Mother Teresa" හෙවත් තෙරේසා මවුතුමිය ලෙස මිස, සාන්ත තෙරේසා ලෙස නොවේ.

එසේනම් මේ හිටිහැටියේම ආලිප්ත කරනු ලැබූ අලුත් සාන්තුවරු කවරහු ද?

මේ පිරිස සියල්ලෝ ම ඉතාලි ජාතිකයෝ වෙති; ගණනින් හරියටම 813 දෙනෙකි. ඔවුන් ඉතිහාසයේ හැඳින්වෙන්නේ "Martyrs of Otranto" හෙවත් "ඔට්රන්ටෝ හි ජීවිත පූජා කළවුන්" ලෙස ය. මේ පිරිස දිවි දුන්නේ 1840 දී තුර්කියේ ඉස්ලාමික සේනාව විසින් කිතුණුවතට එරෙහිව කරන ලද ආක්‍රමණයේ දී ය. ඉස්ලාමයට හැරීම හෝ හිස්ගැසුම් කෑම යන දෙකෙන් එකක් තෝරාගන්නට කී විට, ආගම පාවාදෙනවාට වඩා හිස්ගැසුම් කෑම අගනේ යැයි සිය කැමැත්තෙන් මරණය තෝරාගත් පිරිසකි, ඒ.

මේ අතර බොහෝ දෙනා නොදන්නා කරුණක් ද තිබේ. එනම්, මේ පිරිස සාන්තුවරුන් ලෙස නම් කෙළේ අලුතින් පත් වූ ෆ්‍රැන්සිස් පාප් තුමන් වුණත්, ඔවුන් හට සාන්තුවරදානය ලබා දීමට තීරණය කෙළේ, ඉල්ලා අස්වූ බෙනඩික්ට් පාප් වහන්සේ බවයි.

පාප් වහන්සේගේ දෙපා සේදීම

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය තෝරා ගැනීමෙන් පසුව කළ ඓතිහාසික සිද්ධියකින් ම මේ කතාව ඇරඹිය හැකි ය. එනම් මුළු කතෝලික පල්ලියේ ඉතිහාසයේම නොවූ විරු ලෙස, මුසල්මානු සිරකාරිනියක ගේ දෙපා සේදීමෙනි. 



(දෙපා සේදීම ගැන මෙතනින් බලන්න.)

මහ සිකුරාදා ගැන බොහෝ දෙනා දනිතත්, මහ බ්‍රහස්පතින්දා ගැන දන්නේ කිතුණු නොවන සමාජයෙන් අල්පතරයකි. මහ සිකුරාදාට යෙදෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උකුත් වීමට පෙර, අවසන් භෝජන සංග්‍රහයට පසුව, උන් වහන්සේ සිය අනුගාමිකයන් ගේ දෙපා සේදු බව බයිබලයේ ශුභාරංචි වල සඳහන් වේ. 

මේ සිද්ධිය සංකේතවත් කරමින් අද ද, මහ බ්‍රහස්පතින්දා රාත්‍රී දේව මෙහෙයේ දී, පල්ලියේ පියනම විසින් චාරිත්‍රානුකූලව බැතිමතුන් දොළොස් දෙනෙකුගේ දෙපා දෝවනය කිරීම කරනු ලැබේ. සාමාන්‍ය දියෝකීසි වල මේ සඳහා බැතිමතුන් තොර ගත්තත්, බටහිර ඉහළ මට්ටමේ පල්ලි වල මේ සඳහා තෝරා ගන්නේ සිර කරුවන් හෝ රෝගීන් ය. 

පාප් වහන්සේ කෙනෙකු විසින් චාරිත්‍රානුකූලව ඉතාලි සිර ගෙදරක සිරකරුවන් ගේ දෙපා සේදීම මහ දෙයක් නොවේ. එහෙත් මෙහි වැදගත්ම සහ ආන්දෝලනාත්මක ම සිද්ධිය වන්නේ, සම්ප්‍රදායට එකහෙළා පිටුපාමින්, උන් වහන්සේ ඒ සඳහා කාන්තාවක් ද තෝරා ගැනීමයි. (ජේසු තුමන්ගේ අපොස්තුලුක වරුන් අතර කාන්තාවන් සිටියේ නැත.) දෙවැන්න සහ අරිටත් වඩා වැදගත් සිද්ධිය වන්නේ මේ කාන්තාව සර්බියානු ඉස්ලාමික සිරකාරිනියක වීමයි. සාම්ප්‍රදායික දැඩි මතධර කතෝලිකයන් හුස්ම ඉහළට ඇදගෙන බලා සිටි මේ සිද්ධිය, මාධ්‍ය විසින් ඉතාම පුළුල් ප්‍රචාරයක් දෙමින් වාර්තා කළ බව ද කිව යුතුය. 

මේ සිද්ධිය බොහෝ විචාරකයන් විසින් නොඑකුත් ආකාරයට අරුත් ගන්වන්නට යෙදුණු සිද්ධියකි. පිරිසක් මෙය ඉස්ලාම් ම්ලේච්ඡත්වයට එරෙහිව පාප් තුමන් පෙනී සිටීමේ සංකේතයක් ලෙස දැක්වුහ. තවත් පිරිසක් මෙය පාප් තුමන්ගේ නූතනත්වයට උදාහරණ ලෙස දැක්වූ හ. තවත් සමහරු මේ සිද්ධිය විවේචනයට ද ඉදිරිපත් වූ හ.

එහෙත් මේ සිද්ධියෙන් ඉහළම වාසිය නෙළා ගත්තේ කොහෙවත් ඉන්නා පිරිසකි. වචනයෙන්ම කියන්නේ නම් Dan Brown පාඨකයෝ ය. 


  

මෙතනින් කොයිබට ද?

මෑත කාලයේ ඉස්ලාමික අන්තවාදයට එරෙහිව ලොව පුරා රැල්ලක් ගොඩ නැගෙමින් පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. එහිදී කතෝලික පල්ලිය දරන්නේ කවර ආස්ථානයක් ද යන්න වැදගත් වන්නේ, ලෝකයේ බලවත්ම ආගමික පාර්ශ්වයක් ඔවුන් මගින් නියෝජනය කිරීමයි. ඉස්ලාමික-කතෝලික සම්බන්ධතා පැත්තෙන් ගත්කළ, ඉස්ලාමයට එරෙහිව දිවි දුන් මිනිසුන් ශුද්ධවන්තයන් සේ නම් කෙරෙන, නව පාප්තුමන්ගේ මේ වරදානය, ඉස්ලාමික ආක්‍රමණ වාදයට එල්ල කළ කණේ පහරකි. නිකම්ම නිකම් කණේ පහරක් නොව, වට දෙක තුනක් කරකැවී වැටෙන්නට තරම් ප්‍රබල කණේ පහරකි. පාප්තුමන් කිහිප විටක්ම දැඩි මතධාරී ඉස්ලාමික කල්ලි විවේචනය කරන සුළු ප්‍රකාශන නිකුත් කොට තිබෙන අතර, කෙළින් කතා කරන කෙනෙකු වීම නිසා දැනටම අන්තවාදී ඉස්ලාමික ලෝකය තුළ සෑහෙන සතුරන් ගණනක් ද නිර්මාණය කරගෙන තිබෙන චරිතයකි. එසේ හෙයින් මේ අවස්ථාවේදී සම්ප්‍රදායික කිතුණු පාර්ශ්ව වල සහය එතුමන් දිනා නොගන්නේ නම්, එතුමාගේ දේශපාලන බලය සෑහෙන මට්ටමකට දුර්වල වන බවද අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

මූලාශ්‍ර


1. "Pope Francis gives church hundreds of new saints", USA today, May 12, 2013
2. "A saint-making record is also a diplomatic headache for Pope Francis"— World News on NBC News, May 12, 2013
3. "Pope washes feet of young Muslim woman prisoner", The Telegraph, May 14, 2013

6 comments:

  1. සංවාදයට ලක් විය යුතු අගනා ළිපියක්. මෙවන් ළිපියක් අද පත්තරයකවත් කියවන්න නෑ. මට කනගාටු මෙවන් ළිපි අගය කිරීම කෙසේ වෙතත්. කියවන්නෙවත් නැති වීමයි. දිගටම ලියන්න. මටත් මුලදි මෙහෙම තමයි. අදත් කුණුහබ්බත් ලියන්නේ ඒකයි...

    ReplyDelete
  2. ඉතාම වටිනා සංවාදාත්මක ලිපියක්. මෙවන් ලිපි ඉතාම දුර්ලබයි දිගටම ලියන්න......!

    ReplyDelete
  3. විශේෂ සටහන: පාඨක අදහසක් අනුව, මේ කතාවට ම අදාළ, Dan Brown සහ මොනාලීසා ගැන කතාව, වෙනම ම ලිපියක් ලෙස, වඩා සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත. මන්දයත් මොනාලිසා සහ පල්ලිය ගැන කියන්නට සෑහෙන දිග විස්තරයක් ඇති බැවිනි.

    ReplyDelete
  4. කතෝලික ආගම ගැන එතරම් දෙයක් නොදත් මට මේ ලිපිය අගනාම එකක් විය...බොහොම ස්තුතියි. දිගටම ලියන්න. හරිම වටිනවා.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.