logo banner

Sunday, August 18, 2013

ලකෆ්‍රෑන්ස්ට උත්තරයක් | Answering Lakafrance

"බ්ලොග් ලෝකයේ සංවාද මණ්ඩප ඇත. සාකච්ඡා මණ්ඩප ඇත. කවි මඩු ඇත. වාද පිටි ඇත. වැසිකිළියක් තිබ්බේ නැත. මෙතුමා ඒ යුතුකම ඉටු කර ඇත. බ්ලොග් ලෝකයේ ශෘංගාර, භයානක, භීභත්ස්‍ය, ආදී නව නළු රසයම ඇත. අසූචි රසයක් මෙතෙක් තිබුණේ නැත. දැන් එකත් ඇත.
කොල්ලෝ ද කෙල්ලෝ ද බ්ලොග් ලී හ. දැන් ඒ ගොඩට නපුන්සකයකුද එක්ව සිටී. සතුටුය. බ්ලොග් ලෝකයේ සම්මතය මෙන්ම අසම්මතය ද ඇත. දැන් නම් ඉතින් අමු අමුවේ චරිත ඝාතන ද ඇත.
අවසානයට කිව යුතු එකම දේ මෙවැනි කුහක බ්ලොග් කරුවන් බ්ලොග් අවකාශයේ සිටිය යුතු නැති බවයි. මේ ලියන කෙනා වරින් වර සිය ඊ-ලිපිනය දක්වමින් මේ කරන්නේ ඕපාදූප හිඟා කෑමකි. දැන් ඉතින් කාට කාටත් තමුන් ගැවෙන්නේ නැතිව පුද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගත හැක. තරහ කාරයෙක් වේ නම් කළ යුතු එකම දෙය උගේ (හෝ ඇගේ) කුණු ගොඩක් මෙතුමාට දීම පමණි. අන්තිමට හැමෝටම මඩ වැදී තිබෙණු ඇත. ලකෆ්‍රාන්ස් අහක ඉඳන් හිට් වනු ඇත.
සිදු වන්නට යන දෙය කලින්ම කීවෙමි. තීරණය පාඨක ඔබ අතේය."



මේ වනාහි ලකෆ්‍රෑන්ස් නමින් පටන්ගත් එක්තරා "නිර්නාමික" බ්ලොග් අඩවියක ලිපියකට අප විසින් දෙන ලද ප්‍රතිචාරයකි.  "නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසා කැපවෙමි" යි කියා පටන් ගන්නා බොහෝ බ්ලොග් අඩවිවල අනාගතය පිලිබඳ අනාවැකි කීම ඉතා පහසු ය. එක්කෝ එව්වා උපන්ගෙයි මරණයකට මුහුණ දෙයි. නැත්නම් ඒවා "මාෂ්ගුරු" මොඩලයට, "තට්ට සෝමේ" මොඩලයට හෝ වැලකතා මොඩලයට ඌණනය වේ. එදා අප දුන් අනාවැකිය අද වන විට සත්‍ය වී ද, අසත්‍ය වී ද යන්න සමස්ථ සිංහල බ්ලොග් අවකාශයම දන්නා බැවින් ඒ ගැන යළි යළිත් කියා තේරුමක් නැත. 

බොහෝ විට විවේචනාත්මක ලිපි පටන් ගන්නේ "අනේ මට අරයා එක්ක / ඔයා එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ බබෝ.. ඔයාගෙ මතවාදයට එරෙහිව තමා මේ කියන්නේ" යයි බබා ටෝකක් දීගෙන ය. එහෙත් අප එවැනි බබා ටෝක්ස් දෙන්නේ නැත. මන්ද අපට ලක ලියන්නා සමග පුද්ගලික ඇරියස් ඇති නිසාත්, බ්ලොග් අවකාශයේ බබ්බු නැති නිසාත්, හිටියත් බබ්බු වඩාගෙන පාරෙ නළවන්නට අප මෝහිණී නොවන නිසාත් ය. මේ ලිපිය ලියන්නේ පුද්ගලික ඇරියස් ද සමගය. කියවන්න අකැමැති කට්ටිය සිය බ්‍රවුසරය වසා දැම්මාට කමක් නැත. 

ලිපිය ලියන්නට ආසන්න හේතුව වන්නේ ඊයේ පෙරේදා ලකා විසින් ලියන ලද එක්තරා "සංවේදී" ලිපියකි. "සංවේදී" බ්ලොග් අඩවිය ලියන්නා හට පහර ගසමින් ලියන ලද එහි, ඔහුගේ "හීනමානය" ගැන බොහෝ බ්ලොග් විචාරකයින් පොරටෝක්ස් දී ඇති අයුරුද අපි ජුගුප්සාවෙන් බලා සිටියෙමු. එසේ හෙයින් ඊට පිළිතුරක් දැක්වීම යුතුකමකැයි ද සළකමු. 

සාරාර්ථ වශයෙන් ගත්කළ ලකා ගේ ලිපියේ අරමුණ වන්නේ මෙරට කැම්පස් ගිය උන්ට අමුතුම ජාතියේ අධිමානයක් ඇති බවකි. ඇත්තටම එවැනි අධිමානයක් ඇතැයි යන්න බොරුවක් නොවේ. වසර තුන හතරක් උපන්ගෙයින් වෙන්ව චමරියේ කට්ට කාගෙන, කැන්ටිමේ වේලෙන දෙපාරක් බැදපු රෝල් එකට යාළුවා එක්ක ගජේ දාගෙන බුක්ති විඳින, දවසට වේලක් කා ජීවිතේ ගැටගහන, කිලෝ ගණන් බර පොත්පත් ද ටොන් ගණන් බර නෝට්ස් ද අකම්පාල කරවන සුළු ටියුටෝරියල් ද සමගින් අවසානයේ හුදෙක් සමාජය ඉදිරයේ කොළ කැබැල්ලක් පමණක් වන සහතිකයක් මිලට ගන්නට ජීවිතෙන්ම මිල ගෙවන සරසවි කොල්ලා / කෙල්ල ගැන අවට සමාජය දන්නේ අන්තිම සොච්චමකි. "කැම්පස් උන්ගේ ඔලුව" යයි යමෙක් කියන්නේ නම්, අනිවාර්යයෙන්ම කිව යුත්තේ කැම්පස් උන්ට එකී ඔලුව තිබීම සම්පූර්ණයෙන්ම සාධාරණ බවයි. 

එසේම බොහෝ දෙනා සිතා ඉන්නා පරිදි කැම්පස් ජීවිතය යනු උසස් පෙළ සමත් වී පොර බුවාලා වගේ ඇතුළට ගොස් වසර තුන හතරක් බාහිර සමාජයෙන් වෙන්ව වැස, ඇතුළෙන්ම කසාදයකුත් ජෝඩු කරගෙන ආතල් එකේ ෂපාන් එකේ මහපොළ සල්ලි වලින් ජීවත් වී, අවසානයේ කළු කෝට් එක දමාගෙන පොර වගේ එළියට බහින ජීවිතයක් ද නොවේ. (මහපොළ ගැන දන්නෝ දනිති) එහි ඇතුළත කාලය ගලායාම පවා වෙනස් ය. සරසවි ජීවිතයේ සතියක් යනු බාහිර සමාජයේ මාසයකට ආසන්න කාලයකි. කාලය පමණක් නොව මුළු ජීවිතයම සාන්ද්‍රකරණයට ලක්වන ජීවිතයකි, සරසවි ජීවිතය. එහි ඇතුළත පරිසරයේ වෙන බොහෝ දේ බාහිර සමාජයට හිත කීරි ගස්වන සුළු අත්දැකීම් වන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස සරසවි ඇතුළේ වන ප්‍රේම සම්බන්ධතා සහ එහි ප්‍රතිවිපාක ගැන පමණක් වෙනම පොතක් ලිවිය හැකිය.  




කැම්පස් සමාජය ගැන බාහිර සමාජයෙන් එල්ලවන විවේචන ගැන අපට ගැටළුවක් නැත. එසේ විය යුතුය. අපේ වැරදි අපට පෙනෙන්නේ නැත. ඒවා පෙනෙන්නේ බාහිර සමාජයට ය. එබැවින් ඩිග්‍රී එකක් නොව දාහක් ගත්තත්, අඥ්ඥතර සමාජයේ හඬට හිස නමා කන්දීමේ යුතුකමක් සෑම සරසවි ශිෂ්‍යයෙක් / ශිෂ්‍යාවක් හටම පවතී. මන්ද සරසවියේ වන සෑම පොතකටම, සෑම මේසයකට ම, සෑම දේශ ශාලාවකටම, සෑම වැසිකිළි පෝච්චියකටම වියදම් වන මුදල ගෙවා ඇත්තේ බොහෝවිට කැම්පස් නොගිය මිනිසකු බැවිණි. පාරෙ තාර දමන සෝමපාල, උතුරේ යුද්ද කරන ගාමිණී, කොටුවේ බෝගහ ඉස්සරහ ඔරලෝසු විකුණන ජෙහාන්, ඇපලෝ හොස්පිටල් එකේ බිම අතුගාන ක්‍රිෂ්ණා, මහරගම මාකට් එකේ තේ වතුර අල්ලන සියාක්, නුගේගොඩ මාකට් එකේ සාරණ තම්පල විකුණන සිරියාවතී, විගොඩ පාරේ සාරවිට බෙදන ඇල්බට් අයියා, බ්‍රන්ඩික්ස් එකේ මිකැනික් වැඩකරන නලියා මල්ලි, බොරැල්ල-කොටුව 103 බස් එකේ කොන්දා මචං, BMICH එකේ කක්කුස්සි හෝදන සුමනේ අංකල්, මේ සියල්ලෝම අපේ අධ්‍යාපනය වෙනුවෙන් සතයක් හෝ වියදම් කර ඇත. අප ඉගෙන ගන්නේ ඔවුන්ගේ මුදලිනි. එබැවින් අප කරන කියන දේ ප්‍රශ්න කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ. ඒ ගැන අපට ගැටළුවක් නැත. 


එහෙත් ජීවිතේට කැම්පස් නොගිය මිනිසෙක්, කැම්පස් එක තුළ අන්තර්සමාජය ගැන පොරටෝක්ස් දෙන්න යාම කොහෙත්ම අනුමත කළ නොහැක. 

සරසවිය යනු වෙනම සමාජයකි. වෙනම පරිසරයකි. වෙනම විදියක පැවැත්මකි. තුම්මුල්ලෙන් කුමාරතුංග මුනිදාස මාවතට හැරී, කොළඹ සරසවි ගේට්ටුවෙන් ඇතුළු වන ඕනෑම කෙනෙකුට, සිය හැඳුනුම්පත ආරක්ෂක අංශයට බාරදී, විද්‍යාපීඨය පුරා සිත්සේ ඇවිදිය හැකිය. එහෙත් මුළු ජීවිත කාලයම ඇවිද්දත් ඔහුට සරසවිය යනු කුමක්ද යන්න වටහා ගත හැකි වන්නේ නැත. සරසවිය යනු ජීවත් වන හුස්ම වැටෙන සත්ත්වයකුයි කිවයුතු තරමට ම ඊටම ආවේනික අනන්‍යතාවක් ඊට තිබේ. එහි වන සෑම ගහක් කොළක් මලක් දියක් වැලි කැටයක් ගණනේ වෙනමම ඉතිහාස කතාවක් ඇත. 



කැම්පස් කොල්ලකු / කෙල්ලක කොතරම් කාලයකට පෙර සිය කැම්පස් ජීවිතය අවසාන කළත්, මැරෙන මොහොත තුරාවටම ජීවත් වන්නේ කැම්පස් කොල්ලකු / කෙල්ලක ලෙසය යන සත්‍යය බොහෝදෙනා ඉවෙන් මෙන් දන්නා කාරණයකි. 

ප්‍රශ්නය පැන නගින්නේ මෙකී කැම්පස් සමාජය, අතථ්‍ය සමාජය හා ගැටෙන තැනදී ය. 


සංවේදී ප්‍රශ්නය

මෙතැන ගැටළුව වුණේ අපේ සංවේදී බ්ලොග ලියන්නා විසින් කර තිබු මෙන්න මේ ප්‍රකාශයයි.
"මට බලෙන් 'සර්' කියවාගැනීමට අවශ්‍ය නැත. ගෞරවය යනු ඉල්ලා සිටිය යුතු දෙයක් නොව, ක්‍රියාවෙන් උපයාගත යුත්තක් බව දනිමි. 
මා කියන්නේ මට මචං, අයියා / මල්ලී කියන්නට එපා කියා නොවේ. ඔබ මගේ සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමහල් නම් ඔබේ රැකියාව, අධ්‍යාපනය කුමක් වුවද ඔබට එසේ කිරීමට අයිතියක් ඇත. කොහොමත් මචං යනු හෘද්‍යාංගම බව වැඩියෙන් දැනෙන අපූර්ව ඇමතීමකි. අයියා, මල්ලී යනුත් එසේය.
එහෙත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ දැනටමත් ශිෂ්‍යයෙක් නම්, ඔබට වඩා වසර ගණනාවක් වැඩිමහල් කෙනෙකුට අයියා හෝ මචං කීමට පෙර දෙවරක් සිතන ලෙසයි. මන්ද, ඒ අයියා හෝ මචං, ඔබේ ගුරුවරයා හෝ ආයතන ප්‍රධානියා වූ දිනක ඔබට මෙන්ම ඔහුටද ඔබ එසේ අමතන විට අපහසුතාවයක් දැනීම නොවැලැක්විය හැකි නිසා ය."

ඔය සබැඳිය දක්වා ඇති ලිපියේ පරිදි, සංවේදී බ්ලොග්කරු මතුකරන තර්කයේ ඇත්තටම සාධාරණත්වයක් ඇත. ෆේස්බුක්, බ්ලොග්, වැනි අතථ්‍ය මාධ්‍ය තුළදී ගුරු-ගෝල සම්බන්ධතා වලට පොඩි පරහක් එල්ල වේ. ලියන්නා ද උපකාරක දේශකයකු සේ කටයුතු කරන බැවින්, ගෝලයන් සමග ෆේස්බුක් සම්බන්ධතා මොන තරම් මළ කන්කරච්චල් වැඩක් ද දන්නා අත්දැකීමෙන්ම දනී. එක්කෝ දාන දාන හැම ෆොටෝ කබලටම ටැග් කරති. නැතිනම් ෂෙයාර් කරන හැම වීඩියෝවකටම ටැග් කරති. පන්තියේ දී "සර්" බුකියේ දී "අයියා" හෝ "මචං", "ඩූඩ්", "යෝ මෑන්" බවට පත් වේ. කෙල්ලන් නම් අපරාදෙ කියන්නට බෑ, "අයියා" වලින් එහාට යන්නේ නැත. කලාතුරකින් එකෙක් දෙන්නෙක් "ඩියර්" කියති. මේ සියල්ල වනාහි අතථ්‍ය මාධ්‍ය වලදී "ඔබ", "මම" යන සංකල්ප බිඳවැටී "ප්‍රොෆයිල් එක" ඉස්මතු වීමේ පළවිපාක ය. 

සමාජ මාධ්‍ය ගැන වදනක්

ඇත්තටම සමාජ මාධ්‍ය වලට තිඹිරිගෙය වන්නේ තනිකම ය. නූතන වෙළඳපල සමාජය තුළ අප දිනාගෙන ඇති ලොකුවයින්ම මෙවුවා එක වන්නේ තනිකම ය. ඔබ මෙය විශ්වාස නොකරන්නේ නම් ඊළඟ පාර ඔබ කැමති ඕනෑම "නවීන" FM නාලිකාවක් අසන්න: ඉස්සර FM නිවේදකයෝ නිවේදන කළේ "මා කියන දේ පිරිසක් අසා සිටින්නේ ය". යන ආකල්පයෙනි. එහෙත් දැන් ඔවුන් සෑමවිටම අසන්නා අමතන්නේ "ඔයා" කියා ය. එදා "ඔබ" අද "ඔයා" වී ඇත. අද "ඔබලා" නැත. අද ඉන්නේ "ඔයා" ය. එනම් "ඔයා" තනි වී ඇත. අද ඇත්තටම FM නිවේදකයෝ කරන්නේ මෙකී මිනිසුන්ගේ තනිකම මැකීමට ලඟට වී මොනවා හෝ තොදොල් කතාවක් මුණුමුණු ගෑමයි. 

සමාජ මාධ්‍ය බිහි වන්නේ මෙකී "තනිකම" නැති කරන්නට යැයි කීවත් සිදුවන්නේ ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි; එනම් අප ඇත්තටම සමාජ මාධ්‍ය හරහා කරන්නේ සම්බන්ධතා ගොඩනැගීම නොව බිඳවට්ටවා ගැනීමයි. උදාහරණයක් ලෙස ඔබේ ෆේස්බුක් ගිණුමේ වන අයගෙන් කීදෙනෙක් ඔබ සැබෑවටම දැක ඇත්දැයි සිතන්න. බොහෝ විට සිදුවන්නේ, අපට සමාන අදහස් දරන කීප දෙනෙක් සමග, එසේත් නැතිනම් අප ලංවන්නට කැමති / අපට ලංවන්නට කැමති පිරිසක් සමග අප කල්ලි ගැසීම පමණි. මෙකී කල්ලිකරණය තුළ ඔබ නිතැතින්ම "මාකටබල්" භාණ්ඩයක් බවට පත් වේ. මෙකී මාකටබිලිටි එක ඔබේ පිංතුරයේ "හොට්නස්" එක, ඔබේ වත්කම් බැරකම් ඔබ ප්‍රදර්ශනය කරන (හෝ මවාපාන) මට්ටම, ඔබ කනබොන තැන් ආදී දේට අනුලෝමව සමානුපාතික වේ. උදාහරණයක් ලෙස පොඩ්ඩක් ඇහැට කණට පේන කෙල්ලෙක් "මම වැලේ රෙදි වැනුවා" කියා ස්ටේටස් එකක් දැමු විට ඊට ලයික් වැටෙන්නේ තප්පරයට දහය-දොළහ-පහළොහ ගණනේ ය. එහෙත් "හැන්සම්" පිචර් එකක් නැති කොල්ලෙක් "අද මට ප්‍රොමෝෂන් එකක් ලැබුණා" කී විට ඊට ලයික් වැටෙන්නේ උගේ ගැන්සියේ උන්ගෙන් පමණි (ඒකත් නොකර බැරිකමට ය). 

තනිකම ගැන වටිනා ලිංකුවක් අපේ ඔපීසියේ එකෙක් විසින් වතාවක් පෙන්වා දෙන ලදි. වචන දහසකට වඩා ඒ තනි වීඩියෝව වටී. 




සුගමාර්ථය ගත්කළ, අප සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමට ප්‍රධාන හේතුව තනිකම පමණක් ම නොවේ. අපට අපව "කස්ටමයිස්" කරගත හැකි එකම ස්ථානය එතැන වන බැවිණි. අපට සැබෑ ජීවිතේ අපව "කස්ටමයිස්" කරගන්නට බැරිය. උදාහරණයක් ලෙස අපට අපේ සැබෑ මුහුණ "එඩිට්" කළ නොහැක. (සල්ලිකාරයෙක් නම් ඇරෙන්නට). නමුත් අතථ්‍ය මාධ්‍ය හරහා අපට ඉතා පහසුවෙන් එසේ කළ හැක. අප අතථ්‍ය මාධ්‍ය හරහා සමාජයට පෙන්වන්නේ අප සැබැවටම ඉන්නා ආකාරය නොව, අප අපව සමාජයට පෙන්වන්නට කැමති ආකාරයයි. මෙහි විලෝමය ද සත්‍ය වේ. එනම් අප අතථ්‍ය මාධ්‍ය හරහා දකින්නේ ද, එහි වෙසෙන්නන් ගේ සැබෑ රුව නොව, ඔවුන් තමන්ව පෙන්වාගන්නට කැමති ආකාරයයි. 

එසේම අතථ්‍ය මාධ්‍ය වල වසන්නන් හට වයස් සීමාවක් නැති වීමද සැළකිය යුතු කරුණකි. උදාහරණයක් ලෙස, මේ ලියන්නා ගේ උසස්පෙළ ගුරුවරුන් දෙදෙනක් ද, උපාධි නිබන්ධන සුපරීක්ෂක වරයා ද, එසේම බැච් හතරක ගෝලයෝ ද ඔහුගේ ප්‍රොෆයිලයේ වෙයි. එසේම විවිධ ජාතිකත්ව සංවිධානවල ඉහළ පුටු හොබවන මිනිස්සු ද වෙති. කොටින්ම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ඔහු විසින්ම මෙහෙයවන ප්‍රොෆයිලයක් ද වෙයි. එහෙත් එසේ වූ පමණින් අප අමාත්‍ය චම්පික රණවකට "හායි මචං" කියන්නේ නැත. ඔහු අපට "හායි මචං" කියන්නේ ද නැත. අර මුලින් කී ගුරුවරු ද "Hello son" කියනවා මිස "Yo man" කියන්නේ නැත. (එසේ කියන මහාචාර්ය වරයෙක් ද වෙයි. එතුමා සාමාන්‍යයෙන් චැට් එකේදී අප අමතන්නේ "Yo dude, tell me what the fuck is up" කියා ය. එහෙත් ඒ ඔහුගේ තෝරාගැනීම මිස අපේ තෝරාගැනීම නොවේ). 

ගැටුම

ගැටුම ඇතිවන්නේ කොතනින් ද යන්න දැන් පැහැදිලිය. සැබෑ ජීවිතයේ මොකෙක් වුණත් ෆේස්බුකියේදී ඌ තවත් ප්‍රොෆයිලයක් පමණි. එබැවින් අප ඌට සළකන්නේ ඌට නොව, උගේ ප්‍රොෆයිලයට ය. ඔබේ ගුරුතුමා ඔබේ ෆේස්බුක් ගිණුමේ සිටි පළියට ඔබ ඔහුට මචං කියනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ඔබටම බාරකරමු.   

සංවේදී බ්ලොග් කරුවා ස්පර්ශ කර ඇත්තේ මෙන්න මෙකී කටුක යථාර්ථයයි. එනම් සමාජ ජාල හරහා වන සම්බන්ධතා හරහා සැබෑ ලෝකයේ සම්බන්ධතා බිඳවැටීමයි. ඔහු ද සරසවි විද්‍යාර්ථීයකු සහ දේශකයකු වන බැවින්, විය යුතු පරිද්දෙන්ම ඔහු එය දකින්නේ ඔහුගේ, එනම් දේශකයකු දේ දෘෂ්ටිකෝණයෙනි. අපට ඊට වරදක් කිව නොහැක. එහෙත් ලිපිය දැක ෆෝම් වූ අපේ කබ්බෝ සිතා ඇත්තේ, "අම්මට සිරි මුගේ ඔලුව" කියා ය. එහෙයින් ලිපියේ දැක්වෙන සාරය ගනු වෙනුවට ඉතාම පහත් මට්ටමේ පුද්ගලික අපහාස වලින් ඔහුට සංග්‍රහ කර තිබෙනු ද අපට දකින්නට ලැබිණි. මේ ලියන්නේ ඊට පිළිතුරක් ලෙස ය. 

ඇත්තම කියන්නේ නම් බ්ලොග් අවකාශය තුළ "ලොකු" / "පොඩි" පොරවල් නැත. ලියන්නෝ ලියති; මළවන්නෝ මලවති. හොඳට ලිවිය හැකි එකා හිට්වන අතර මළවන්නා වටේ එකතු වන්නේ උගේ ගජේ උන් ටික පමණි. මේක ඇතුළේ නීති දමන්නට (අප කොතරම් එසේ කළයුතු යයි සිතුවත්) කාටවත් බැරි ය. බ්ලොග් යනු විමධ්‍යගත මාධ්‍යයකි. එහි විමධ්‍යගත බව රැකෙන්නට නම් මෙකී "පොරත්වය" නැති විය යුතුය; ඒ කියන්නේ සැබෑ ජීවිතේ ඌ මොකෙක් වුණත්, බ්ලොග් අවකාශයේ ඌ "බ්ලොගෙක්" පමණි. එහෙත් එහෙමයි කියා බ්ලොග් ලොවේ මචං, සැබෑ ලොව තුළ ද මචං වන්නේ නැත. සැබෑ ජීවිතේ සම්බන්ධතා බ්ලොග් සමග ගැටේ නම් ෆේක් ප්‍රොෆයිලයක් හදාගත හැකිය. නැතිනම් ඇනෝ (Anonymous) හෙවත් නිර්නාමිකව ආව හැකි ය. ඇනෝ නිදහස අප අගයන්නේ සහ මුළු හදවතින්ම ඊට සපෝට් කරන්නේ අන්න ඒ නිසා ය. පටන්ගත් දා සිට අද මේ මොහොත වනතෙක් අප නිර්නාමික වාරණයක නොයෙදෙන්නේ සහ ඉදිරියටත් එසේ නොකරන්නේ, අඩුම තරමේ කමෙන්ට් මොඩරේට් කිරීමක් වත් නොකරන්නේ එකී නිදහස අගයන බැවිණි. 

ලකෆ්‍රෑන්ස් ගැන ද යමක් කිව යුතුය. අප පිළිගන්නට කැමති වුවත් අකැමැති වුවත් ලකා යනු බ්ලොග් අවකාශයේ "සාර්ථක" චරිතයකි. එසේ සාර්ථක වුණේ අනුන්ගේ කුණු විකුනං කන නිසා බවද ඒ වගේම සත්‍යයකි. මාරයා හට එල්ල කළ මඩප්‍රහාරයකින් සිය බ්ලොග් ගමන ඇරඹු ලකෆ්‍රෑන්ස් රචකයා මේ වන විට බ්ලොග් ලොව මඩ රජු ලෙස සියතින්ම කිරුළු පැළඳගෙන සිටී. එය ආඩම්බර වෙන්නට කාරණාවක් යයි ලකා සිතනවා වන්නට ඇති. අපට නම් එසේ නැත. මන්ද සිත් නොරිදවා හින්ට් ගැසීම කියන දේ ලකාට ගෑවිලාවත් නැති බැවින් සහ තමාට එවන එවන කුණුගොඩවල් එසේම පළකරන බැවිණි. ඇනෝ ලේඛකත්වය යනු කුණු විකිණීම නොවේ. අපහාසය හා උපහාසය අතර වෙනස දැනගෙන කරන බ්ලොග් අඩවි ඕනෑතරම් ඇත. උදාහරණයක් ලෙස "බ්ලොග් ගොංපාට්" අඩවිය සහ "සූස්ති ගුණේ" අඩවි දැක්විය හැකිය. කිසිම කුණුහබ්බයක් නොකියා කිසිම අනවශ්‍ය කතාවක් නොකියා රිදෙන තැනට රිදෙන්නම ගැසීම යනු ද ලේඛකයකු හට තිබිය යුතුම හැකියාවකි. 

සිංහල බ්ලොග් අවකාශයේ සහ බ්ලොග් කරුවන් අතර ගොංපාට් ඕනැතරම් ඇත. සමහර විට සමහරුන්ට අපද පෙනෙන්නේ ගොංපාට් එකක් සේ විය හැකිය. අපේ කිසිම තරහක් නැත. එවැනි ගොංපාට් වලට පොඩියට පාරක් ගැහුවාට ද අපේ තරහක් නැත. (අපටම ගැහුවා වුණත්). එහෙත් අපහාසය හා උපහාසය අතර වෙනස නොදන්නා කුණු වෙළෙන්දෝ බ්ලොග් අවකාශයේ සිටීම මහත්ම අවාසනාවකි. 

අනුන්ගේ කුණු කන එකාට සාමාන්‍යයෙන් කියන්නේ කසළඛාදකයා කියා ය. තොප්පිය හරිනම් දාගනු මැනවි! 

34 comments:

  1. ඔබ කවර තර්ක ගෙන ආවත් සංවේදී බ්ලොග් කරු බ්ලොග් අවකාශය හරිහැටි හඳුනා ගෙන නැති බව දැනෙයි.ගරුත්වය උපයා ගතයුතු දෙයක් මිස සිඟා කා ලබාගතයුතු දෙයක් නොවේ.ඔහු හීනමානී පුද්ගලයෙකු ලෙස හැඳින්වීම නොකරමි.මන්ද මාද යම්තරමකට හීනමානයෙන් පෙළෙන්නෙකි.මට අනුව ඔහු තරමක් අමුතුය.

    ReplyDelete
    Replies
    1. ඔබට පමණක් නොව අපටද එසේමය. එසේම, අපවද බොහෝදෙනාට අමුතු විදියට පෙනෙනු ඇත. මගේ මෑණියෝ මා ලියන දේ දැක්කා නම් ඕහට ද එදාසිට මා අමුතුවට පෙනෙනු නොඅනුමානය. එහෙත් ඔහු හඳුනාගෙන නැතැයි අප කියන බ්ලොග් අවකාශය හඳුන්වා දෙන්නේ අර වැනි මඩප්‍රහාර වලින් නම් ඒ හඳුන්වා දීම මොකර සිටීම නොවේද වඩා සුදුසු?

      Delete
  2. මට නං හිතෙන්නේ තහනම්වචන බ්ලොග් එකත් මේ නොවැදගත් (ලකෆ්‍රැන්ස්) දේ ගැන ලියන්න කාලය නාස්ති කළාය කියලයි!

    අයියා, මල්ලී, සර්, බචං කේස් එක නං කතා කළයුතු දෙයක්. මගේ නම් අදහස දීලා තියෙන නමෙන් කතා කලාම ඉවරනේද කියන එකයි. මචං, හෝ අයියා කීවාම අප්සෙට් ගියත් නම කියලා කතා කළාම වරදක් කියන්ණ බෑනේ. මොකද ඒ තමන්ගේ නම. අකමැති නම්, වෙන නමක් දාගන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. කකාට මතකනෙ වතාවක් පෑඩාට එහෙම කිවුව කියල වෙච්චි සන්තෑසිය :D

      Delete
  3. මට සංවේදීගේ ආකල්පයන් සමග පුංචි අවුලක් තිබුනි.ඒ ඔය කියන බ්ලොගේ මා විසින් දමන ලද කොමෙන්ටුවකට සං\වේදී දැක්වු ප්‍රතිචාරයත් සමගය.එය මමත් සංවේදීත් ප්‍රශ්ණ සහ පිලිතුරු තුලින් බ්ලොග තුලම සුහදව විසඳාගන්නා ලදී.

    ReplyDelete
    Replies
    1. එකඟයි, විශිෂ්ටයි! වෙන්න ඕනෙත් ඒ දේම තමා.

      Delete
  4. කකා මුලින් කියපු කතාවම තමයි මට කියන්න තියෙන්නෙත්...

    මේකට සංවේදී ලේඛකයා සහ ලකෆ්‍රෑන්ස් ගාවගන්නෙ නැතුව ලිව්වනං මේ ලිපියෙන් මීට වඩා සාර්ථකත්වයක් ගන්න තිබ්බා... දැන් වෙන්නෙ මේකත් නිකම්ම නිකම් මඩ පෝස්ට් එකක් ගානට ඉස්මතු වෙන එක, ලිපියේ කතා කරලා තියෙන සමාජ මාධ්‍ය සහ කැම්පස් මානසිකත්වය කරුණු ගැන තියෙන සාර්ථක අදහස් දැක්වීමට වඩා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක ලකෆ්‍රෑන්ස් ඉලක්ක කිරීමක් නෙමේ; නමුත් ලිපියෙන් ඍජු ප්‍රහාරය වදින්නේ ඔහුට බව දැනදැනම එහෙම නැතෙයි කියන්න අවශ්‍යයි කියල මට හිතුණෙ නැහැ.

      Delete
  5. ලකා ගැන ලියපු කාලය අපරාදෙ තමා. ලකා කියන්නෙ තනිකර තර්කානුකූල නොවන වචන කීපයක් ලියල දාන ගොං බිජ්ජෙක්.

    ඒත් ලිපියේ අන්තර්ගතය වැදගත් දෙයක් තියෙනව බං. ලකාට තේරෙන්නෙ නැහැ කියවන්න ආස හිතෙන විදිහට නොදැනෙන්න ගහන්න. ඌ දන්නෙ කුනු හබ්බ වපුරන්න විතරයි. ටිකක් මෑතකදි මම එකෙක්ට ගැහුව, ඌ කෑව කියල ඌවත් දන්නෙ නැතුව ඇති. (හිකිස්.. එක්කො මම අසාර්ථකද දන්නෙ නැහැ..)

    ලකාගෙ ලිපි නොසලකා හැරීම, නොකියවීම, සහ මාකට් නොකිරිමයි කල යුත්තෙ.

    ReplyDelete
    Replies
    1. ලකාට බණිනවා නම් ඒ බණින භාෂාව මීට වඩා ගොඩක් වෙනස් එකේ වේවි! මේක බැනිල්ලක් නම් නෙමේ, අදාළ තැනට අදාළ දෙයක් ලිව්වා පමණයි. හැබැයි අර කිව්වත් වගේ අතාර්කික මඩකරියන්ට පිනුම් ගහන්නට බාත්ටබ් හදන්න වැය කරන කාලය නම් අපරාදේම තමා.

      Delete
  6. මම බ්ලොග් 3ම කියෙව්ව . මගෙ අදහසත් කියන්න හිතුව .
    ආචාර්ය වරයෙක් - මැති - ඇමති - මොකා උනත් නමින් කතා කරනම් වැඩේ යිවරයි .
    ඔය කියන එයාලගෙ පුහු ආත්ම අබිමානය හදල දීල තියෙන්නෙ අපේ ශ්‍රී ලාංකික මිනිස්සු ශ්‍රී ලංකාව තුල පමනයි.
    වෙන රටකට ගියාම නිකන්න වුර්තිය අගට නමේ කෑල්ල මහත්තය නෑ නෝන නෑ හරියට මෙහෙම ඩොක්ටර් සටත් ප්‍රොෆෙසර් සමන් ඔය වගේ ඔය කියන වුර්තිකයට වයස 55 ක් 60 ක් උනත් වයස අවුරුදු 5 ක පොඩි එකත් කතා කරන්න ඔය අකරයටයි
    ඒකයි මෙහෙත් වෙන්න ඕනෙ
    ඒත් මම හිතන්නෙ මේ පෝස්ට් 2ක 3න කියෙව්වම අපේ ලංකාවෙ අයියලටනම් එහෙම කතා කරොත් රිදෙයී වගේ----------- ලොල්.

    මම දන්න මුදලාලි කෙනෙක් ලග උපාදි දාරියො 3ක් වැඩ පට්ට කුනුහරුප අහ අහා
    හොදම වැඩේ ඒ මුදලාලි ඉගනගන තියෙන්නෙ 5 වසරර විතරයි පවු අරුන්
    ඔය ඔක්කොම බොස්ල සර්ල මිස්ල මහත්වරු අර මුදලාලිය ලග සල්ලිවලට බලුවෙන්නෙ ඔය

    අවසාන වශයෙනුත් කියන්න තියෙන්නෙ තමුන්ට තමුන්ගෙ දෙමා පියන් හරියට ගණ පිහිටල නමක් දාල තියෙන්නෙ නම බාවිතාකරන්නයි ඒකට (වයස වුර්තිය සමජ තත්වය සල්ලි කාරකම අදාළ නෑ)
    ඔබලට ජය -- සජාන්

    ReplyDelete
  7. exerpts from සංවේදී

    (1)
    //මම දිගටම දොඩමළු වෙමි.
    "ඔයා දන්නවද..? අපේ තාත්ත ආර්ථික විද්‍යාව විශේෂ ගෞරව උපාධියක් තියාගෙන අවුරුදු 6ක් කුඹුරු කෙටුව කියල...ඊට අමතරව කුළී වැඩත් කරල තියෙනව. තාත්තත් එක්ක වහල තිබිල පටන් ගන්න හදන ෆැක්ටරියක මැෂින් වල මලකඩ කඩපු අපේ මාම අද මහ බැංකුවෙ ඩිපියුටි ඩිරෙක්ටර් කෙනෙක්."//

    (2)
    //ඔබ දන්නවාද, අද ජාත්‍යන්තර සමාගමක ඉලෙක්ට්‍රොනික සහ රොබෝ ඉංජිනේරු විද්‍යාව විශේෂඥ ඉංජිනේරුමය උපදේශකයෙකු වන මම පළමුවරට සංකීර්ණ යාන්ත්‍රණයක් වටහා ගත්තේ වයස අවුරුදු 4 දී බව? අපේ ගමේ ප්‍රභූ නිවසේ (වැවේ ගෙදර) ගුවන් විදුලි යන්ත්‍රය අළුත්වැඩියා කළේ වයස අවුරුදු 5දී බව//

    (3)
    //මගේ තාත්තා කලාකාරයෙක්. ඔහු තාක්ෂණය පිළිබඳ මළපොතේ අකුරක් දන්නේ නෑ. ඔහු සහ මගේ අම්මා යන දෙන්නාම ගණිතය සහ ඉංග්‍රීසි භාෂාවට අතිශයින්ම දුර්වලයි. නමුත් මා කුඩා කල සිටම ඒ විශයන් දෙකට පුදුමාකාර ලෙස ලෙන්ගතුයි සහ දක්ෂයි.//

    (4)
    //මොරටුව සරසවියේ මා හැදැරූ පශ්චාත් උපාධියට තෝරාගන්නා ලැබුයේ ලංකාවේ අපේක්ෂකයින්ගෙන් ඉතාම විශිෂ්ට ලෙස ප්‍රථම උපාධිය සමත් සහ බුද්ධි ඵලයෙන් ඉතාම ඉහළ අය පමණයි. නමුත් ඔවුන් අතුරින් උසස් ගණිතය, රොබෝ තාක්ෂණය සහ දර්ශනය යන ඉතාම සංකීර්ණ විෂයන් සියල්ලටම A+ සාමාර්ථ ලැබූ ඉතාම අතළොස්ස අතර මා සිටිනවා. විශේෂයෙන්ම දර්ශනය විෂයයට එවැනි සාමාර්ථයක් ලැබීමට ඉතාමත්ම ඉහළ ඉංග්‍රීසි කියැවීමේ සහ ලිවීමේ හැකියාවක් අවශ්‍ය බව දන්නෝ දන්නවා.//

    (5)
    //එහෙත් ඒ වනවිටත් ජාන ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටි මට මා දියවැඩියා රෝගයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව ඇති බවට සැකයක් නොවීය.//


    මෙහෙම ඉංගිරිස් දන්නවා කියා තවුසන් ටෝක් දෙන අපේ විශ්වවිද්‍යාල ආචාර්ය (Dr)සංවේදී(PhD,Cambridge; MSc,MIT; ??)ඉංගිරිස් කමෙන්ට් එකක් හත්පොලේ ගාගෙන අනාගත්තේමෙසේය

    (6)
    //AnonymousSeptember 30, 2012 at 8:49 PM
    Macho, I know "Wela","N","D" & "N's boyfriend. I also can't believe this....Extremely sorry 4 ur loss.

    Reply
    Replies

    සංවේදීOctober 1, 2012 at 1:07 PM
    මචං.....
    ඇත්ත තිත්තයිනේ......
    මේකෙ එක අකුරක්වත් ගොතපු ප්‍රබන්ධයක් නොවෙයි කියලා මගේ හදවත දන්නවා...
    මිනිස්සු කතාකරන, හිනාවෙන විදියෙන් කෙනෙක්ගෙ සැබෑ ස්වරූපය හඳුන ගන්න බැරි එක ලොකු අවාසනාවක්...
    උඹ මාව අවිශ්වාස කරලා N ව විශ්වාස කරන්න විශේෂ හේතුවක් තියෙනවද...?
    මම කොල්ලෙක් වුන නිසාද...?
    N කෙල්ලෙක් වුන නිසාද...?
    මේක පළ කළ කියලා N ගෙ යුනියෙ 450 ක් විතර මට විරුද්ධව ප්‍රතිචාර දක්වලා තිබුනා...//


    ReplyDelete
    Replies
    1. නිකමට කල්පනා කරලා බලන්න ඇයි ඔයා මේ තරම් වෙලාවක් අරගෙන මේ කමෙන්ට් එක දැම්මෙ කියලා. මොකක්ද මේකෙන් ලබපු තෘප්තිය? ටිකක් වෙලා අරගෙන කල්පනා කරලා බැලුවොත් ඔයාගෙ මානසිකත්වය මොකක්ද කියලා තේරෙයි.

      Delete
    2. කට් ඇන්ඩ් පේස්ට් කරන්න ගියේ විනාඩි දෙකයි. මුගෙ පොර ටෝක් ටික තඩි අකුරෙන් දාල තියෙන නිසා හොයාගන්න විනාඩි පහයි. අන්තිමට ඉංගිරිස් අනාගත්ත කමෙන්ට් එක ලින්ක් කරන්නයි ඒ වචන ලියන්නයි විනාඩියයි. මගෙ මානසික තත්වේ එහෙමයි කියමු, බ්ලොග් එකක් අටවන් ලොරි ටෝක් දීලා පබ්ලික් ඇනගන්න මුගේ මානසික තත්වෙ?

      Delete
  8. මානසික රෝගින් සහ අසහනකාරයින් බෙහෙත් ගත්තත් නොගත්තත් සමාජයේ අඩු වැඩි වශයෙන් ඉන්නවා..සයිබර් අවකාශයට එන්නෙත් ඒ අයමයි..අඩු වැඩි වශයෙන්..
    කෙනෙක්ගෙ පෞද්ගලික දේවල් ලියන ඒ වගේ බ්ලොග් පවත්වා ගෙන යන අය නම් හැබෑවටම බෙහෙත් ගන්ඩ ඕනි මානසික රෝගින් සහ අසහනකාරයින් තමයි..ඒකෙන් වෙන්නෙ නිර්නාමික සැබෑ යහ අරමුනකින් කෙරෙන විවේචක බ්ලොග් පවා අධෛර්‍යයමත් වෙන එක සහ කරන එක..

    ReplyDelete
    Replies
    1. බ්ලොගයක කෙනෙක් ලියන්නේ තමන්ට හිතෙන දේ නිසා අපට ඒ ගැන වාරණ නියෝග පනවන්නට නම් බැහැ තමා.. නමුත් අර කිව්වත් වගේ බෙදා ගන්න දෙයක් නැත්නම් නොලියා සිටීම වඩාත් සුදුසුයි.

      Delete
  9. මම මේ කිසිවක් ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකිමි. කවදහරි මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි. හිතට එකඟව අසාධාරණය වෙනුවෙන් වචනයක් හෝ කතාකිරීම පිළිබඳව මගේ හෘද්‍යාංගම කෘතඥතාව පිරිනමමි.

    ReplyDelete
  10. සමාවෙන්න. අදහස් දක්වන්නේ නෑ කිවුවද එකම එක දෙයක් පමණක් මේ බ්ලොග් ලෝකයේ පරිණත විනිසුරුවන් ඉදිරියේ මට නිදහසට කරුණු වශයෙන් කීමට ඇත. ඒ බ්ලොග් ලෝකයේ කිසිවෙකුට මට 'සර්' කියන්නට යයි මා කිසිම තැනක සඳහන් කර නොමැති බවයි. මා සටහන් කර ඇත්තේ සරසවි පරිශ්‍රයක් තුළදී ශිෂ්‍යයෙකු සිය ආචාර්යවරයාට අයියා කීම ලාංකික සන්දර්භයේදී නොගැලපෙන බව පමණකි....! වෙනත් රටකදී මගේ ශිෂ්‍යයෙකු මට සුනෙත් කීයේ නම් මම එය එකහෙළාම පිළිගනිමි. මන්ද මාද මගේ විදෙස් මහචාර්යවරුන්ට නම කියා අමතන බව බොහෝ දෙනා නොදනී. එය ඒ සංදර්භයේදී ඉහළින්ම වලංගු වේ.
    මගේ තර්කය ගැන ඔබට ප්‍රතිතර්කයක් ඇත්තේ නම් ඔබ කළ යුත්තේ ජීවිතයේ ඔබට අකවදා හෝ අකුරක් හෝ ඉගැන්වූ ඔබේ ඕනෑම ගුරුවරයෙකුට ඔහුගේ නමින් කතා කර ප්‍රතිචාරය නිරීක්ෂණය කරන ලෙසයි. එවිට ඔය තර්කය දමන බොහෝ අයට 'ලංකාවේ හැම ගුරාම හීනමානකාරෙක්නේ' යයි කීමට සිදුවනු ඇත.
    සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමල් නම් වෘත්තිය, අධ්‍යාපනය කුමක් වුවත් මට මචං කියන්නට ඕනෑම කෙනෙකුට් අයිතියක් ඇති බව පුන පුනා කියද්දිත්, මා නොකියූ, කොහේවත් යන අයෙක් මා එසේ කියා ඇති බව අදහාගෙන මට මෙසේ අවමන් කරන්නේ ඇයි...? පියවි ලෝකයේ බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා මට මචං කියන අතර මමද පෙරළා මචං කියමි. මගේ මාමාගේ වයසේ පසුවන දුකාට, මාතලංට මා මචං කීවේ ඔය මතබේදයට තුඩු දුන් ලිපිය ලීමට තුන් හිතකවත් අදහසක් නැති කාලයේය.
    සාමාන්‍ය ජීවිතයේදී මහන මැෂින් කාර්මිකයෙකු වූ අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිතාන හා මා මචං ආමන්ත්‍රණයෙන් එකිනෙකා අමතන්නේද ඔය ලිපිය ඔබ දකින්නටත් පෙරය. මොකටද ඔහු මට සර් කියන්නේ..? ඔහු මගේ ශිෂ්‍යයෙක් නොවෙයි, මගේ යටතේ වැඩ කරන කෙනෙකුත් නොවෙයි..තමන්ගේ පාඩුවේ සාධාරණයෙන් හම්බකරකෙන ජීවත්වන මට වගේම ආත්ම ගරුත්වයෙක් ඇති මනුෂ්‍යයෙක්....

    ReplyDelete
    Replies
    1. Pattai harima sanwediy. Lassanata liyala thiyanawa :-P

      Delete
    2. "සාමාන්‍ය ජීවිතයේදී මහන මැෂින් කාර්මිකයෙකු වූ අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිතාන" මෙතන තියෙන්නෙත් ඔබේ පොර මානසිකත්වය නේද? අටමා ලියන්න කියවන්න දන්නා එකෙක්,අපට නම් ඒ ඇති.ඌ රෙදි අඳින්නේ නැතිව උනත් කියවන්න හැකි යමක් ලියනවානම් උගේ පැටිකිරියෙන් වැඩක් නැත.

      Delete
  11. Good article but too long!

    ජපානෙ නම් ගුරුවරයට කියන්නෙ සෙන්සේ කියලා. මම ඇමරිකාවෙ ඇරිසෝනා ප්‍රාන්තයෙ විශ්ව විද්යාලයක මහාචාර්ය වරයෙකුගෙන් ඇහුව ඔබ ශිශ්යයො කොයි විදියට ඔබට ආමන්ත්‍රණය කරන්නද පොළඹවන්නෙ කියලා. ඔහු කිව්වෙ;

    If they are PhD students, I let them call me Paul. But if they are Masters or Undergrad students, they have to call me Professor Paul. That's discipline!

    මේක රටෙන් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට විතරක් නෙමෙයි පුද්ගලයගෙන් පුද්ගලයටත් වෙනස්. හාඩ් ඇන්ඩ් ෆාස්ට් රූල් නෑ. තමුන් ඉන්න තැන සංස්කෘතිය හඳුනාගෙන ඊට අඩප්ට් වෙනකල් ආරක්ශිත ආමන්ත්‍රණයක් පාවිච්චිකරන එක හොඳයි, මිස්ටර් නැත්නම් ප්‍රොෆෙසර් වගේ.

    ඔබ තාම කවරහෝ ආකාරයක ශිශ්යයෙක් නම් විශ්වවිද්යාලවල වගේම වෙනත් තැන්වලත් සර් කියවගන්න කැමති අය තාමත් ඉන්නව කියන එක අමතකකරන්න එපා. එතනදි එකපාරටම නමින් කතාකරන්න ගිහින් ඇනගත්තම කතන්දර තුමා එන්නෙ නෑ උදව්වට.

    ගරුත්වය උපයාගන්න උත්සාහ කිරීම වගේම අනුන්ට ගරුත්වය දෙන්න හම්බල් වීමත් වැදගත්. නැත්නම් ඒක පොරත්වය වෙනවා.

    කොහොමත් සංවේදීට කියන්න තියෙන්නෙ බ්ලොග් එකේ ප්‍රොෆයිල් නේම් එකෙන් වෙනම ෆේස්බුක් ගිණුමක් හදාගන්න කියන එක. එතකොට අනවශ්ය මිනිස්සු අනවශ්ය ආමන්ත්‍රණ ප්‍රශ්න නෑ.

    ReplyDelete
  12. තහනම් වචන..මල්ලි, මේ ආටිකල් එක ඔයා හොඳ පරමාර්ථෙකින් ලිව්ව කියලා පේනවා. නමුත් මේක අර පොලුකාරයා ලියලා නාගත්ත ආටිකල් එක වගේම වෙන්න පුලුවන් එකක්. සංවේදිව දිරවන්නෙ නැති මිනිස්සුන්ට මිනිහට බනින්න හොඳ අවස්ථාවක් වගේම ඔයා කමෙන්ට් මොඩරේට් කරන්නෙ නැති නිසා අසහනකාරයින්ටත් හොඳ ස්ටේජ් එකක්! ඒ ගැන පොඩ්ඩක් හිතන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අරමුණ සුපසන් එකක් බවට පැහැදිලියි. ඒ ගැන මගේ ප්‍රණාමය පිළිගන්න. නමුත් මෙහි ඇති හෝ අනාගතයේ ප්‍රතිචාර වශයෙන් මෙහි වැටෙන කිසිවක් ඉවත් කිරීමට අවශ්‍ය නෑ. මට දරාගැනීමේ ශක්තියක් ඇතුවා මෙන්ම හොඳින් හෝ නරකින් මගේ වැරදි පෙන්වා දීම මට කරන අනුග්‍රහයක් ලෙසයි මා සලකන්නේ.

      Delete
    2. ඔව් සමහර විට මේ, ඔයාකාරයෙන් ලියැවෙන එකම ලිපිය වෙන්නටත් ඉඩ තිබෙනවා.

      Delete
  13. "මා මෙය සටහන් කර තබන්නේ මා (ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා) සිදුකරන අතිවිශාල සමාජ මෙහෙවර හේතුවෙන් මා යම් දිනක ජාතික වීරයෙක් ලෙසට නම් කරන්නට ඉඩ ඇති නිසාත්,
    එවිට මා ජීවතුන් අතර නැති වීමට බොහෝ දුරට ඉඩ ඇති නිසාත්ය. එදාට මා ගැන තොරතුරු සොයන මාධ්‍යවේදීන් අමාරුවේ වැටීම වලකනු වස් මෙසේ ලියා තබමි."

    Is he for real?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විහිළු තේරෙන්නේ නැති මිනිස්සු සිටිනවා යයි මා දැන සිටිමුත් මෙතරම් සරල ප්‍රහසනයක්වත් තේරුම් ගන්නට බැරි අය සිටී යයි මා සිහිනෙන්වත් සිතුවේ නැත....!

      Delete
    2. ඔව්..ඔව්..කොහොමද..පෙරලුනාම පෙරලුන පිට හොඳයි කියනවා..

      ඉතින් ගල් ඉබ්බෝ ලියහන්කෝ උඹේ කොමෙන්ටුවත් ඉන්ගිරිස් වලින්. සින්හලෙන් ලියලා චා වෙන්නේ මොටෝ.

      Delete
    3. mata first class ekak nethi nisada koheda matanam a sarala prahasanaya thama terune ne :(

      Delete
  14. අදාළ කතා සහ අදාළ නැති කතා ගොඩක් දුටුවා නිසා පොදු පිළිතුරක් දෙන්නට අවශ්‍ය බවක් දැනෙනවා. ඇත්තටම තහනම් වචන ලියන අපට සංවේදී හට කඩේ යන්නට කිසිම අවශ්‍යතාවක් නෑ. සංවේදී ලියන්නා ගේ දැක්ම සහ අපේ දැක්ම සමගාමී වන අවස්ථා ඇත්තේ ඉතාම අල්ප වශයෙන්. ඔහුගේ සෑම ලිපියක්ම පාහේ අකුරක් නෑර කියවා තිබුණත් අප ඔහුගේ ලිපිවල කමෙන්ට් කරනවා ඉතාම අඩු වන්නෙත් ඒ හේතුව නිසා.

    එසේම බොහෝදෙනා මතුකරන කාරණයක් වන සංවේදී ලියන්නාගේ අපරිණතභාවය ගැනත් අප වාද කරන්නේ නැහැ. අපි හැමෝම යම් දේවලින් පරිණතයි, යම් දේවලින් අපරිණතයි. අපට අනෙකාගේ පරිණතභාවයේ දිග පළල හොයන්නට බැහැ. හෙව්වත් එය වෙනස් කරගනිං කියා බලකරන්නත් බැහැ.

    නමුත් යමෙකුගේ පුද්ගලික අඩු ලුහුඬුකම් ඉලක්ක කරගෙන අදාළ පුද්ගලයා මානසිකව වැට්ටවීම, පුද්ගලික ගණයේ මඩප්‍රහාර එල්ල කිරීම වැනි දේට අප මොනම විදියක වත් සමාවක් දෙන්නේ නෑ. විශේෂයෙන්ම ලකෆ්‍රෑන්ස් වැනි කුණුකබ්බන් හට ඒ අවස්ථාව ලැබිය යුතුම නැතැයි අප තරයේ විශ්වාස කරනවා.

    ඒ වගේම බ්ලොග් ලියන්නන් සැමදෙනාම එක්තරා අතකින් සමානයි. ඒ තමා පාඨක ග්‍රහණය කෙරේ ඇති ආශාව. කාටවත් නොබලන්න බ්ලොග් ලියන කෙනෙක් වේයැයි අප සිතන්නේ නැහැ. අනිත් අය කෙසේ වෙතත් අපනම් බ්ලොග් ලියන්නේ මැස්සෝ මදුරුවොන්ට බලන්නට නොවේ. අන්න එකී පාඨක ප්‍රතිචාර ග්‍රහණය කිරීමේ කටයුත්තේ දී සෑම බ්ලොග් කරුවෙක්ම බබෙක් පමණයි. ඒ අතින් ගත්කල සංවේදීත්, ඔබ අප සෑමදෙනාම අයත්වන බබා කෙයාර් එකේ තවත් එක බබෙක් පමණයි. ඔහුට බබා කියන උදවියම, මීට වඩා බබාකම් කර නැත්ද?

    අවසාන වශයෙන්, මෙය සංවේදී වෙනුවෙන් පෙනී සිටීමක් හෝ ඔහු කහදියරෙන් නහවා සෝදා කුණු අපුල්ලා පවිත්‍ර කිරීමක් නොව, හුදෙක් අප දුටු යම් අසාධාරණයකට එරෙහිව පෙනී සිටීමක් බව කාරුණිකව සළකන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ වැරදියට "චම්පික" රණවක යනුවෙන් හඳුන්වන්නෙ චම්පක රණවක විය යුතුය. චම්පකයා ගැන දන්නා, "අමාරිසා" යනුවෙන් හඳුන්වන නිර්මාල් ද හොඳටම දන්නා පශ්චාත් ව්‍යුහවාදය, සහ පශ්චාත් නූතනවාදයට අනුව මෙටා-නැරේටිව් හෙවත් මහා ආඛ්‍යාන වල බිඳවැටීම ගැන කියවෙයි. ශිෂ්‍ය-ගුරු, දෙමාපිය-දු දරු ආදී සම්බන්දතා ව්‍යුහවල බිඳවැටීම මහා බක්කක් නොවේ. චම්පක ඇමැති වුනත් නැතත් අපි නම් අමතන්නේ චම්පක කියාය. චම්පකයාට සමහරු අයියා කියති. කොලඹ හතේ නෝනලා කියන්නෙත් චම්පක කියාය. චම්පක ගැනත් නෝනලා ගැනත් තවත් විනෝදජනක කතා ගොඩක් තිබේ. ඒවා අවශ්‍ය වේලාවට පලකරන්නටත් පුලුවනි. චම්පකයාත් අපට නම් මහ බක්කෙක් නොවේ.

      "විශේෂයෙන්ම ලකෆ්‍රෑන්ස් වැනි කුණුකබ්බන් හට ඒ අවස්ථාව ලැබිය යුතුම නැතැයි අප තරයේ විශ්වාස කරනවා."
      ලකෆ්‍රාන්ස් කුනුකබ්බෙක් වන්නේත් ඔබ එසේ නොවන්නේත් ඇයි? මිනිම්දඬු දැනගැනීමට පුලපුලා බලා සිටින්නෙමු.

      -*ලියෝතාද් ගේ බාප්පා*-

      Delete
    2. අසාධාරණය වෙනුවෙන් හඬ නගන්නත තහනම් වචන ලියන සහෘදයාට සහජයෙන් ලැබී ඇති ශක්තිමත් කශේරුකාවට නැවත වාරයක් හිස නමා ආචාරය පුදමි. මා පරිපූර්ණ හෝ සෑම අතින්ම පරිණත පුද්ගලයෙකු නොවේ. පුහුදුන් මනුෂ්‍යයන් අතරැ'ති මිනිස් දුර්වලතා වන මානය, තමා පිළිබඳ අධි තක්සේරුව ආදී දුර්ගුණයන් යම් පමණකට මා තුළ ඉතිරිව ඇති බව දනිමි. මටද එයින් මිදීමට අවශ්‍යය. එහෙත් ඔබ පෙන්වා දුන් ආකාරයටම එය කළ යුත්තේ අපහාසයෙන් නොව උපහාසයෙනි. ඇතැමුන් මගේ පෞද්ගලික ජීවිතයේ කරුණු, මගේ පාසල් සමයේ හැසිරීම, මා ප්‍රථම උපාධිය හැදෑරූ සරසවිය, එහි පන්ති සාමාර්ථය පමණක් නොව මගේ මුහුණේ හැඩය පවා මා අවමානයට ලක්කිරීමට යොදාගෙන තිබුණි. මෙය කෙතරම් දුරට ගියේද යත්, මගේ ෆේස්බුක් ප්‍රොෆයිලයෙන් මගේ ඡායාරූ සොරාගෙන ඒවා වෙනත් අඩවි වලට අප්ලෝඩ් කර එහි සබැඳිය දක්වා "බලපල්ලා මුගෙ මූනෙ හැටි විතරක්" කියන්නට පවා පෙළඹුණි.
      මා තබන සටහන්වල අන්තර්ගතයේ යම් දුර්වලතා හෝ සාවද්‍ය, ද්වේශසහගත කරුණු අන්තර්ගත වේ නම් එය විවාදයට ලක් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. බුද්ධිමය සංවාදයක් තුළින් ඔවුන් හා මා අතර ඇති පරස්පර විරෝධීතා සාකච්ඡා කිරීම වෙනුවට ඇතැම් පිරිසක් මගේ පෞද්ගලිකත්වය අරභයා ප්‍රහාර එල්ල කිරීමට පෙලැඹීම අනුමත කළ නොහැහි ශිෂ්ට විවේචනය ඉක්මවා යාමකි. මනුෂ්‍යත්වයට නිගාදෙන්නකි. තහනම් වචන ලේඛකයා දකින්නේ මේ අසාධාරණයයි. නැතහොත් ඔහු තුළ ඇති මා පිළිබඳ අනුකම්පාවක් හෝ මා කෙරේ ඇති විශේෂ ඇල්මක් නොවේ.
      මෙය මා මුරුංගා අත්තේ තැබීමක් හෝ සංවේදී අඩවියට ලැබුණු අනිසි ප්‍රචාරයක් ලෙස භාරගන්නේ නම් එය ලොකු මුළාවකි.
      තහනම් වචන ලියුම්කරු මේ ලිපියෙන් දෙන්නට උත්සාහ කරන පණිවුඩය මෙවැන්නක් යයි මට සිතේ.:
      "ඔව්. අපි ඔහුගේ ආකල්පමය වැරදි නිර්දය ලෙස විවේචනය කරමු. නමුත් ඔහුගේ පෞද්ගලික දේවල් ඊට ඈඳා ගැනීම නොහොබී."

      Delete
    3. Anonymous August 20, 2013 at 5:09:00 AM GMT+5:30 වෙත
      පළමුව කිවයුත්තේ අපනම් ඔය කියන පශ්චාත්භාග වාද වලට මොනම ආකාරයකවත් ප්‍රියතාවක් නොදක්වන බවයි. පසුගිය දශක කිහිපය ඇතුළත බටහිර දර්ශනවාදය තුළ ඇතිව තිබෙන මතවාදමය හිස්තැන පුරවාගනු පිණිස බිහිව ඇති විවිධාකාර අබග්ග සංකල්ප රාශියක් අතරින් නූතනවාදය හා පශ්චාත් නූතනවාදය ද දෙකක් පමණි. අප නම් හැමදාමත් පෙනී සිටියේ සිංහල බෞද්ධ සංස්කෘතික පදනම වෙනුවෙනි. අප "ජාතික" යයි කියාගන්නා ඊනියා සංවිධාන වලට කඩේ නොයන බැවින් සහ නිර්දයව ඒවා විවේචනය කරන බැවින් බොහෝදෙනා අපට බටහිරවාදී ලේබලය ගහන්නට උත්සුක වෙතත්, අප හැමදාමත් කතා කළේ අන්න එකී පදනමේ සිට ය. එකී පදනමට අනුව නම් ඔය කියන මාපිය දූදරු සම්බන්ධතා බිඳවැටීම "මහා බක්කක්" ම වන්නේය.

      ඔබට පමණක් නොව අපටද රණවක "මහා ලොක්කෙක්" නොවේ. ඔහු ඇමැති වූ පළියට අප ගොස් "අනේ දේවයිනි පස්වාන් දහසකට අවසර" කියා ඔහුගේ පශ්චාත්භාගය සිපින්නේ නැත. එහෙත් ඔහුට ඔහු හොබවන නිලයට අදාළ තනතුරු නාමයක් තිබේ. එය ඔහුට ලැබිය යුත්තකි. එය නොලැබිය යුතුයි, නැත්නම්, නමින් පමණක් කතා කළ යුතුයි කියන උන්දෙලා ගෙදර අම්මාට අප්පාට අමතන්නෙත් ඔයාකාරවදැයි දැනගනු රිසියෙමු.

      ලකෆ්‍රෑන්ස් කුණුකබ්බෙක් වන්නේ ඔහු කරන්නේ "කබ්බන්" යයි ඔහු විසින්ම ලේබල් කරගන්නා ලද පාර්ශ්වයකගේ කුණු විකුණන් කෑම පමණක් බැවිණි. යම් දිනෙක ඔහු "කබ්බෝ" ය කියන කොටස් සියල්ල බ්ලොග් ලිවිල්ල නැවත්තුවොත් ලකෆ්‍රෑන්ස්ට යන එන මං නැතිවනු ඇත.

      Delete
  15. මේ මගුල් හරි බෝරින්ග් ඕයි

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.