logo banner

Monday, August 5, 2013

පිස්සු බල්ලන් බැඳ දමවූ | Muzzle that Dog

මේ පළවෙන්නේ අපේ සහෘද ප්‍රසාද් වැලිකුඹුර විසින් පසුගියදා අප වෙත එවන ලද ලිපියකි. මේ ලිපිය "රියර්ගේට්" අඩවියේ ද පළ වී ඇතත්, අප ද මෙය පළකරන්නේ මෙවැනි සිද්ධි කාලයේ වැලිතලාවෙන් වැසී නොයනු පිණිස ය. 

සාමය සුරකිනවා යයි කියන නාරාහේන්පිට පොලිසියේ නිරුවත.

දිනය 2013-07-30.
වේලාව ප.ව. 11.00.

මමත් මාගේ තවත් යහළුවන් කිහිප දෙනෙකුත් අප නිවසින් මීටර් 400කටත් අඩු දුරකින් පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියෙමු. ඔහුගේ නිවසේ පිහිටා තිබෙන්නේ මහවත්ත නිවාස සංකීර්ණයේ අවසානයට වන්නට ය.  මමත් තවත් මාගේ මිතුරන් තිදෙනෙකුත් හරියටම රාත්‍රි 11.00ට එතැනින් පිටත් වීමු. එතැන් සිට මීටර් 5ක් පමණ ගමන් කල පසු මාගේ මිතුරන් දෙදෙනෙකු අපගෙන් වෙන් වී ඔවුන්ගේ නිවාස දෙසට ගමන් ගත් අතර මාත් මාගේ මිතුරෙකු වූ සම්පතුත් ඉදිරියට ගමන් කළෙමු.

අප මහවත්ත නිවාස සංකීර්ණයේ දෙවන හරස් වීදියට ළඟා වන විටම නාරාහේන්පිට පොලිසියට අයත් ජීප් රථයක් දෙවන හරස් වීදියේ සිට අප ගමන් කරනා මාර්ගයට හරවන ලදී. අප ඔවුන් ව පසු කරනා විට දීම එම ජීප් රියේ ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයෙකු (පසුව දැන ගත් පරිදි මොහු නාරාහේන්පිට අපරාධ අංශය භාර පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියා වේ) අප වෙතට හැරී

“උඹලා කොහේ ද යන්නේ?” යනුවෙන් විමසන ලදී.

ම විසින් ඔහුට අප යහළුවෙකු ගේ ගෙදර ගිය බවත් දැන් නැවත අපගේ ගෙදර දෙසට යන බවත් පවසන ලද අතර ඔහු මා පදිංචි වී සිටින ස්ථානය විමසන ලදි. මම මා පදිංචි වී සිටින ස්ථානයත් එයට යන පාරත් ඔහුට විස්තර කර දෙන ලදි. එවිට ඔහු මාගේ ජාතික හැඳුනුම් පත පිළිබඳ ව විමසන ලද අතර එවිට මා සතු ව ජාතික හැඳුනුම් පත නො පැවතිණි මාගේ නිවසේ සිට මාගේ මිතුරාගේ නිවසට ඇත්තේ මීටර් 400කටත් අඩු දුරක් බවත් එම නිසා එතරම් සුළු දුරක් යාමේ දී ජාතික හැඳුනුම් පතක් ගෙන යා යුතු යයි නො සිතූ බවත්, මාගේ මව නීතිඥවරියක් වන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් දැන් මා හට මාගේ හැඳුනුම් පත ගෙනැවිත් පෙන්විය හැකි බවත්  පවස සිටියෙමි. එවිට එම පුද්ගලයා ජීප් රියෙන් බැස ගත් අතර, ඔහු හොඳට ම බීමතින් පසු වන බව ඔහුගේ මුහුණෙන් සහ ඔහුගේ ගමන් විලාසයෙන් දැක ගත හැකි විය. එවලේ ම මම මාගේ මවට දුරකථන ඇමතුමක් දී හැඳුනුම් පත ගෙන එන ලෙස පැවසීමට සැරසීමි. එවිට මාගෙන් දුරකථනය බලෙන් උදුරා ගත් ඔහු “මම නාරාහේන්පිට පොලිසියේ ක්‍රයිම් ඕඅයිසී කතා කරන්නෙ මේ ඉන්නේ තමන්ගේ පුතා ද?” යනුවෙන් හතර පස් වතාවක් බීමත් ස්වරයකින් පවසන ලදි. ඉන් පසුව පුතාගේ හැඳුනුම් පත රැගෙන පොලිසියට පැමිණෙන ලෙස පැවසූ අතර මහට මාගේ දුරකථනය ක්‍රියා විරහිත කරන ලෙස පවසන ලදී. මාගේ මිතුරා ද මාගේ පදිංචිය සනාථ කිරීමට උත්සාහ ගත්ත ද ඔහුට “උඹ පලයන් යන්න” යනුවෙන් පවසා මහට ජීප් රියට නඟින ලෙස දන්වන ලදි.

ජීප් රිය තුල තවත් මෙසේ අත් අඩංගුවට ගත් කිහිප දෙනෙක් සිටින ලද අතර එහි සිටි පොලිස් නිලධාරීන් මගෙන් දිගින් දිගටම ඇසුවේ උඹ කවදා සිට කුඩු ගසන්නේ ද යන්න සහ උඹ කුඩු ගහන්න සොරකම් කරනවා නේද යන්න යි. මෙය මානසික වදයක් වන තරමටම පෙරල පෙරලා ප්‍රශ්න ඇසීමක් විය.

මාත් මාගේ මිතුරනුත් මත් කුඩු භාවිතයට තදින් ම විරුද්ධ පිරිසක් වන අතර මහවත්ත තුල කුඩු ව්‍යාපාරය නො කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම ප්‍රදේශයේ තරුණයින් ඒ සම්බන්ධව දක්වන දැඩි විරෝධයයි. එමෙන්ම අප විසින් මත් කුඩු භාවිතය නතර කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට ම රැකියා ලබා ගැනීමටත් නැවත එය සඳහා නො පෙලඹීමටත් අවශ්‍ය සහාය ලබා දී ඇති බව මහවත්ත ජනතාව දන්නා අතර නාරාහේන්පිට පොලිසියට පවා ඒ පිළිබඳ ව අවබෝධයක් ඇත්තේ යයි සිතමි. එමෙන්ම මා අත් අඩංගුවට ගැනීමට හේතු විමසීමේ දී එසේ හේතුවක් අවශ්‍ය නොවන බවත් නමුත් අවශ්‍ය නම් නඩුවක් සමඟ අත් අඩංගුවට ගත හැකි බවත් ම වෙත දන්වන ලදි. නාරාහේන්පිට පොලිසිය මඟින් ඔවුන් කරන අසාධාරණකම් වලට එරෙහි වන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වූ පුද්ගලයන්ට කුඩු, ගන්ජා එමෙන්ම බෝම්බ වැනි දේ දමා ඔවුන් අපහසුතාවට පත් කිරීම පිළිබඳ අසා ඇති සහ එසේ අපහසුතාවට පත් පුද්ගලයන් හඳුනා ගැනීමට ලැබී ඇති මට සත්‍ය වශයෙන් මාගේ ආරක්ෂාව පිළිබඳ දෙගිඩියාවක් ඇතිවීමට මෙය හේතු විය.

මා ස්වභාවයෙන් ම කෙට්ටු පුද්ගලයෙක් වන අතර එසේ කෙට්ටු පුද්ගලයෙක් වීම පදනම් කර ගනිමින් වෙනත් කිසිදු හේතුවක් නොමැතිව එසේම මාගේ කිසිම වරදක් නොමැති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිය දී, මෙසේ නින්දිත අයුරින් මාගේ මනසට බලපෑම් කිරීමට තැත් කිරීම ලංකාවේ නීතිය සහ සාමය රකිනවා සහ ජනතාවගේ ආරක්ෂාව සලසනවා යයි කියන ආයතනයක් මඟින් සිදු වීම පිළිබඳ මා තුල ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

පොලිසියට පැමිණීමෙන් අනතුරුව මා සමඟ සිටි අනෙක් සියලු දෙනාගේ නම, ලිපිනය සහ අනෙකුත් තොරතුරු සටහන් කර ගන්නා ලදි. පොලිසියට පැමිණ විනාඩි 10-15ක් ඇතුළත මාගේ මව සහ මාගේ තවත් යහළුවෙකු මාගේ ජාතික හැඳුනුම් පත සහ මා අධ්‍යාපනය ලද රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් මඟින් ම වෙත නිකුත් කර තිබූ හැඳුනුම්පත් කිහිපයක් රැගෙන පැමිණි අතර ඒවා අපරාධ අංශය භාර නිලධාරියා සහ මා අත් අඩංගුවට ගත් නිලධාරියා වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියාට ඉදිරිපත් කරන ලදි. එහු එය රැගෙන කිහිප වරක් එ දෙස බලා නැවත මාගේ මවගේ අතට ලබා දෙන ලදි.

ඔහු මාගේ ඇඳුම සහ මාගේ කොණ්ඩය විවේචනය කරමින් මට කුඩු කාරයා, හොරා මංකොල්ල කාරයා, ලෙස මහ හඬින් අපහාස කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් විනාඩි කිහිපයක් ගත කල අතර ඔහුගේ කම්මුල් බීමතින් රතු වී එමෙන්ම ඇස් අවට පවා රතු පැහැති වී තිබීම අප සියලු දෙනාට ඉතා පැහැදිලි ලෙස දැක ගැනීමේ හැකියාව තිබින. මාගේ මිතුරාගේ නිවස පිහිටා ඇත්තේ මාගේ නිවසට ඉතා ආසන්නයේ බවත්, මා ගිය ගමන හුදෙක් මිතුරෙක් බැලීම සඳහා ගිය ගමනක් මිස වෙනත් උත්සවයක් සඳහා ගිය ගමනක් නොවන බවත්, එම නිසා සාමාන්‍ය සැහැල්ලු ඇඳුමක් භාවිතා කිරීම වඩා යෝග්‍ය බවත්, කරාබුවක් පැලඳීම නූතන සමාජයේ සාමාන්‍ය දෙයක් බවත් ඔහුට අවබෝධ කිරීමට ම විසින් කල උත්සාහය අසාර්ථක විය.

යම් අයකුගේ කොණ්ඩා මෝස්තරය, ඔහු පලඳින ආභරණ, එමෙන්ම ඔහු අඳින ඇඳුම සඳහා පොලිස් අනුමැතියක් ලබා ගත යුතු ද යන්න එමෙන්ම ඒ කියන දේ මත හොරෙක් මංකොල්ල කාරයෙක් හෝ කුඩුකාරයෙක් ලෙස නිර්වචනය කිරීමේ පදනම නීතිය පිළිබඳ යම් අවබෝධයක් ඇති එමෙන්ම නීතිඥයින්, විශෝධන නිලධාරීන් හා මනෝ සමාජීය උපදේශකයින් විශාල ප්‍රමාණයක් පුද්ගලිකව ආශ්‍රය කර ඇති සහ උපදේශනය පිළිබඳ වෘත්තීය පුහුණුවක් සහ සුදුසුකමක් ලබා සිටින ම හට අදටත් ගැට‍ළුවක් ව පවතී.

මෙම පුද්ගලයා පවසන ආකාරයට හොරෙකු, මංකොල්ල කාරයෙකු, කුඩුකාරයෙකු නොවන පුද්ගලයා ගෙදර සිට මීටර් 400ක් දුරින් පිහිටි තම යහළුවෙකුගේ නිවසට යන විට හොඳින් ඇඳ-පැලඳ කොණ්ඩය පීරා සුවඳ විලවුන් ගල්වා පාවහන් පැලඳ කරාබු හෝ වෙනත් කිසිදු ආභරණයක් නො පැලඳ යා යුතු වේ.
මේ සියල්ල අවසන් වීමෙන් පසු මා හරි මඟට ගැනීම සඳහා එදින පොලිස් ස්ථානයේ මා රඳවා ගන්නා බවත් පසු දින උදෑසන 8.00 පොලිස් ඇප මත නිදහස් කල හැකි බවත් මාගේ මව වෙත දන්වන ලදි. මාගේ මව මෙයට විරුද්ධ වූ අතර ප්‍රශ්න කිරීම සඳහා මා රඳවා තබා ගන්නා බව ඉන් පසුව ඔහු පවසන ලදි. බොරු වැරැද්දක් මත උසාවියට දැමීමේ හැකියාව මොවුන් සතු ව පවතින නිසා මේ පිළිබඳ ව වැඩි වාදයකට යාම ම විසින් වැළැක්වීමි.

මෙසේ පොරොන්දු වුව ද පසු දින අත් අඩංගුවට ගත් මා සහ තවත් අට දෙනෙකු පසු දින දෙමටගොඩ පොලිසියේ පැවැත්වූ පෙළගැස්වීමකට සහභාගී කරන ලදි.

මෙහි වඩාත් බියකරු පැතිකඩ වන්නේ එදින ඉදිරිපත් කල අය අතරින් බොහොමයක් එසේ රඳවා බාගැනීමට වත් පෙළගැස්වීමකට සහභාගී කර වීමට වත් කිසිදු අවශ්‍යතාව යක් ඇති පුද්ගලයින් නො වීමයි. එතැනින් දෙදෙනෙකු ඔවුන්ගේ හෝටලය ඉදිරිපස දී අත් අඩංගුවට ගෙන තිබුණ අතර, අයකු ඔහුගේ නිවස ඉදිරිපස දී ද, අයකු ඔහුගේ දරුවාට බිස්කට් පැකට්ටුවක් ගෙන යාමට කඩය ආසන්නයට පැමිණි විට ද, අයකු තම සහෝදරයාගේ ගෙදරට ගොස් නැවත ගෙදර පැමිණෙමින් සිටින විට දී ද, තවත් අයකු ඔහු වැඩ කරන ගෙදර අශ්‍යතාවයකට ඖෂධ මිල දී ගැනීමට ගොස් පැමිණෙන විට ද අත් අඩංගුවට ගෙන තිබින.

තවද යම් කිසි ආකාරයකින් පෙළගැස්වීමක් පැවැත්වෙන දිනක ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් සැකකරුවන් නොමැති නම් පාරේ අසු ජජ අහඹු පුද්ගලයින් පෙළගැස්වීම  සඳහා ඉදිරිපත් කර වීම මෙම නිලධාරියා පුරුද්දක් ලෙස කර ගෙන යන ක්‍රියාවක් බව පසුව දැනගන්නට ලැබින.

ඉහත නම සඳහන් සුමිත් පෙරේරා යන නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රදේශයේ බොහෝ දෙනෙකු තුල සැකයක් පවතින අතර, ඔහු වෙත අල්ලස් චෝදනා පවා ඉදිරිපත් වී ඇත. එමෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව තුල ඇති අප්‍රසාදය ඔහුට ඇති බිය නිසා යටපත් වී ඇති බව ඔහු පිළිබඳ ව සොයා බැලීමේ දී මට වැටහින. මේ සියල්ල දැනගෙන නාරාහේන්පිට පොලිසියේ බොහෝ නිලධාරීන් ඔහුගේ වැඩ වලට ඉඩදී හෝ සහය දෙමින් සෘජුව හෝ වක්‍ර ආකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නාමය විනාශ වීමට සහාය දෙන බවක් පෙනී යයි.

සත්‍ය වශයෙන් ම නාරාහේන්පිට පොලිසිය යනු ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙන ආයතනයක් ද යන තීරණය ඔබට භාරයි.




(රටක සාමය පවත්වා ගැනීමේත් නීතිය සාමය ආරක්ෂා කර ගැනීමේත් උතුම් වගකීම පැවරී ඇත්තේ ශ්‍රී-ලංකාවේ පොලිසියට වන අතර, ඒ සඳහා ඔවුන් වෙත විශාල බලතල ප්‍රමාණයක් ලබා දී තිබෙන අතර එම බලතල භාවිතා කිරීමේ දී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සහ සීමා මායිම් ලබා දී තිබෙන්නේ එම බලතල වල ඇති ප්‍රබලත්වය සහ ඒවා අයථා ලෙස භාවිතා කිරීම මගින් සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්මට ඇතිවිය හැකි බලපෑම් සැකිල්ලට ගැණීමෙනි. මේ බලතල ලබා දී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත් මිස ඒවා භාවිතා කරමින් සාමාන්‍ය ජනතාව පීඩනයට පත් කර ඔවුන්ගෙන් මුදල් හා අනෙකුත් ප්‍රයෝජන ලබාගැනීමට වත් නොවේ.

නමුත් අවාසනාවකට නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශය තුල වෙසෙන ජනතාවට නාරාහේන්පිට පොලිසිය ඔවුන් ව ආරක්ෂා කිරීමට පවතින ආයතනයකට වඩා ඔවුන්ගේ ජීවිත ව්‍යාකුල කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල කිරීමටත්, සමහර අවස්ථාවල ජන ජීවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කිරීමටත් ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් වෙමින් පවතී. නාරාහේන්පිට පොලිසිය යනු තවත් එක් මැර කල්ලියක් බවට පත් වන දිනය වැඩි ඈත නොවන බව පෙනෙන්නට තිබේ.

මා මේ පවසන සිදුවීම මොවුන්, ඔවුන් සතු බලය අත්තනෝමතික ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි මම විශ්වාස කරමි.)

- ප්‍රසාද් වැලිකුඹුර

9 comments:

  1. KUNTA WEHI NETHI HENA PATH WENNA OONE.

    ReplyDelete
  2. නාරෙහ්න්පිට ෙපාලිස් ෙලාක්කාට අයිස් ක්‍රිම් ලීටරයක් යවන්න ඔ්නි ෙම් ෙකාරපු කැත වැෙඩ්ට..

    ReplyDelete
  3. අම්මත් නීතීඥවරියක්නම්, මේක පොලිස්පතිටයි, මානව හිමිකම් එකටයි ගෙනියන්න ඕන. ඒක සමාජය වෙනුවෙන් කරන යුතු කමක්.

    ReplyDelete
    Replies
    1. මාතලන්,
      ඔයාගේ බ්ලොගයේ හිටු කියලා ඔයාගේ පිට කහන කේන්ජි@ජපෑන් කියන හාදයා නම් රියරිගේට් එකේ කමෙන්ට් දාලා කියලා තිබුනේ මීටර් හාරසියයක් නෙවෙයි මීටර් සීයක් පහක් ගියත් හැඳුනුම්පත අරන් යන්න ඕනෑ, අනික පිරිමි කරාබු දාන්න හොඳ නෑ.. කරාබුදාලා කොණඩෙ වවලා හිටපු නිසා තමයි පොලීසිය එයාට හිරිහැර කරලා තියෙන්නේ කියලා.

      මැැන් ඇත්තටම ඉන්නේ ජපානෙද? මුල්ලේරියාවෙද????

      Delete
    2. අන්න ඔය කියන මැන්ටල් පිස්සා ඇදගෙන නාල එතනම රීල.

      Delete
  4. මේ සිදුවීම නාරාහේන්පිට පෝලීසියට පමණක් සීමා කළ හැකිද? අඩු වැඩි වශයෙන් සෑම පෝලීසියකම ක්‍රියාත්මක වන බවයි මට සිතෙන්නේ.

    ReplyDelete
  5. මොලයක් තියෙන එකෙක් පොලිසියට යන්නේ නෑනෙ, ඌ වෙන හොඳ රස්සාවක් හොයාගන්නවා, ඉතින් පොලිසියෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    අම්ම ලෝයර් කෙනෙක් නම් ඇයි මේක මානව හිමිකම් කොමිසමට ගෙනියන්නේ නැත්තේ කියන එක ප්‍රශ්නයක්, මොකද යමක් කල හැකි පුද්ගලයන් තමන්ට සිදුවෙන මෙවන් සිද්ධි නොසලකාහරිනවිට සාමාන්‍ය ජනතාව කිසිවිටකත් ඉන් එහාට සිතන්නේ නැති නිසාය..

    ReplyDelete
  6. අද පොලිසියට අයිති වැඩේ කරන්නේ හමුදාවය.පොලිසිය කරන්නේ කිසිම එකෙකුට අයිති වැඩ නෙමේය.මේ අබුද්දස්ස කාලේය.අසාධාරණයට ලක්වූ ප්‍රසාද් කරන්නේත් තවත් කෙනෙක් එක්ක සරම උස්සගෙන අම්මා මතක් කරගෙන කුනුහරපෙන් කෑකොස්සන් දීමය.සරම පල්ලෙහා දමා කරාබුව පිටින්ම මානව හිමිකම් පැත්තේ ගියානම් හොඳ බව මගේ අදහසය.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කුනුහරුපෙන් කෑගහගන්නවා කිව්වේ වෙන තැනකය.මෙතන නොවේ. මේ මම, කුනුහරුප කීම ලෝකේ තියෙන ලොකුම වරදයැයි හිතන බොරු සදාචාරවාදීයෙක් නොවන බවත් සලකන්න.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.