logo banner

Saturday, November 16, 2013

කන්‍යාවන් අවශ්‍ය කර තිබේ (18+) | Virgins wanted (18+)

අද සමාජයේ පවතින විවාදාපන්න ම සහ පිළිකුල් දනවන සුළුම මාතෘකාවන්ගෙන් එකක් ගැන කතාකරන්නට ය, මේ සැරසෙන්නේ. ලිපියට ආරම්භයක් ලෙස අපි අපේ සහෘද බ්ලොග් රචිකා "සිත්තරී" ලියු "සංස්කාර විනිවිද" බ්ලොගයෙන් "ලේ" නම් වූ ලිපිය උපුටා දක්වමු.
ඉස්කෝලෙන් පස්සෙ ආපු අළුත් ජීවිතේ, විවාහයත් එක්ක තවත් විභාග ගණනාවක් මගේ ඉස්සරහ දිගහැරුණා. අම්මගෙ අතින් එදා සුදු රෙද්ද මගේ ඇඳුම් බෑග් එකේ උඩින්ම ඇතිරුණේ අළුත උපන් බබෙක් වගේ පරිස්සමට. ලැජ්ජාවද, බයද, කුතුහලයද, සැකයද, අස්ථාවරත්වයද කියන්න දන්නෙ නැති මොකද්දෝ හැඟීමක් එක්ක මම ඒ වෙලේ අම්ම දිහා බලල හිනා වෙන ගමන් බිම බලා ගත්තා. මංගල රැය ගැන මනාළියකගෙ හිතේ ඇතිවන තිගැස්ම අනිත් කාටත් වගේ මටත් ඒ වෙලේ ඇති වෙලා තිබුණා.  
එදා පෝරුවට නගින්න කලින් දවසෙ මුළු රෑම ඇහැරගෙන එකින් එක පොර කකා ආපු සිතිවිලි අතර ඒ වගේ සිතිවිල්ලකුත් අහම්බෙන් හරි මතු වෙන්න ඇති කියල මට හිතුණා. ඇස් වලට උනපු කඳුළු ආයෙමත් ඇස් යටටම ගිලාබස්සවන්න මම උඩ බලාගෙන ඇහිපිල්ලන් ගැහුවේ මීදුමත් එක්ක හිතේ ආයෙමත් පුරෝගත්තු මහා බර එක මොහොතකට හරි පැත්තකින් තියන්න ඕන නිසා. කඳුළු කියන දේ ඉස්සරහටත් මට ඕනකරන වටිනා දෙයක් බව තේරුම් අරන් හිටිය නිසා කඳුළු පරිස්සම් කරගන්න අවශ්‍ය වුණත් මම ඒ මොහොතෙදිත් ආයෙමත් මටම වුණ පොරොන්දුව මතක්කරගත්තා.  
'ඇඳ හදනවා' 
ඕනෑවට එපාවට සඟරාව පෙරළ පෙරළ හිටපු ඔහු මට කිවෙ රෑ කෑම මෙසේ අස් කර කර ඉද්දි. හීල්ලුණ සුසුමට ඔහේ පාවෙන්න ඇරල මම පුරුදු වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න උත්සාහයක යෙදුණෙ සීතලට නොවුණත් මටම වාරු නැතින වෙව්ලන ඇඟිලි තුඩු අවනත කරගන්න උත්සහයක යෙදෙන ගමන්. ඒ නියෝගය හැමදාම ලැබෙන එකක් නොවුණත් මම කවදාවත් කනට අහන්න ආස කරපු නියෝගයක් නෙවෙයි ඒක.

'කි පාරක් කියන්න ඕනද මළමිණියක් වගේ ඉන්ඩ එපා කියලා' 
හතියත් හුස්මත් අතර අරගලයට මද විවේකයක් දීලා කඳ කෙලින් කරගත්තු ඔහුගෙ ඇස් මගේ ඇස් වලට එබුණ ඒ තරවටුවත් එක්ක. ඒත් එක්කම ජනේලෙ විනිවිදගෙන ආපු අකුණු එළියෙන් ලා රතු පාටට ඒ ඇස් දිලිසුණා. 
'තෝ මගේ ජීවිතේ කාලකණ්ණි කළා වල් වේසාවි' මගේ කන් අස්සෙ නිදාන උන්නු ඒ වචන අඬු පඬු දිගහැරල අවදි වෙනවත් එක්කම මම කකුල් තද කරල ඔහුගෙ උකුල හිරකරගත්තා 
මගේ ඇස් කට්ට කළුපාට අඳුරෙ මමත් නොදන්න දෙයක් හෙව්වා. කවදාවත්ම මට හොයාගන්න බැරිවුණු, සමහරවිට හෙව්වත් ජීවිත කාලෙටම හොයාගන්න බැරිවෙන දෙයක්. ඔහේ බලා ඉන්නව ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නැහැ. ඔහුගෙත් මගේත් එකට කලවම් වුණු දාඩිය පිහදන්න ටිකෙක් ටික එළියෙ දඟලපු සීතල ලං වුණා. 'කල්ප, අනේ ප්ලීස් මට දරු පැටියෙක් දෙන්න' මම මට පුළුවන් උපරිම හඬින් ඒ වෙලේ මුර ගෑවා.

මේ එක් පුද්ගලයකු ගේ කතාවක් නොවේ. "මේ බුදුන්ගේ දේශයයි" කියා බස්වල තඩි පොල් අකුරෙන් ලියාගෙන යන (නමුත් ඇතුළේ තම දරුවන්ගේ වයසේ පාසැල් දරුවන්ට ජැක ගහන අංකල්ලා ඉන්න) රටේ මානවිකාවන් බොහෝ දෙනෙකු නොකියන කතාවයි. 

කාලකන්ණි වර්තමානයෙන් මොහොතකට මිදී, අතීතය දෙස හැරී බලා පොඩි සංසන්දනයක් කරනු පිණිස, අපි මොහොතක ඉසිඹුවක් ගෙන, මෙන්න මේ පුද්ගලයා දෙස බලමු.


මේ ඡායාරූපයේ දැක්වෙන්නේ, 1918 දී "What A Young Woman Ought To Know" ග්‍රන්ථය රචනා කළ ලේඛිකා Mary Wood Allen (1841-1908) මහත්මියයි. "Self and Sex" නම් ග්‍රන්ථ මාලාවේ කොටසක් ලෙස වර්ෂ 1918 දී ඈ විසින් රචනා කරන්නට යෙදුණ මේ ග්‍රන්ථය, දශක ගණනක් තිස්සේ දෙමාපියන් විසින් සිය දූවරුන්ට "හරිමග" කියා දෙන්නට පාවිච්චි කරන ලද්දකි. මේ වනාහි අද කන්‍යාභාවය මෙන්, එදා "අතිවිශිෂ්ට" ගණයේ සදාචාර සම්පන්න රාමුවක් ලෙස අර්ථ ගන්වන ලද යම් කරුණු කීපයක් දෙස, දශක ගණනකට පසුව ආපසු හැරී බැලීමකි. මූලාශ්‍ර වූ ඉංග්‍රීසි ලිපිය මෙතැනින් බලන්න.



මේ පහත දැක්වෙන්නේ එකී ග්‍රන්ථයේ "හුදෙකලා පාපය" (Solitary Vice) නම් පරිච්ඡේදයේ සිංහල පරිවර්තනයකි.


ගැහැණු දරුවකුගේ ලිංගික ප්‍රජනක පද්ධතිය අවදිවීමත් සමග, එය ස්වාභාවිකවම ඇයගේ මානසික ආකර්ෂණය ඇදගන්නට සමත්වන අතර, මෙය සිදුවීමත් සමග ඇගේ මනස (ඒ හැර) වෙනත් දේවල් වලට යොමු කරවීම කෙරෙහි උත්සුක විය යුතු වේ.  
මා කලිනුත් පවසා ඇති ආකාරයට, බොළඳ ආදර කතා කියැවීම (මේ කෙරෙහි) වඩාත්ම හානිකර බලපෑම ඇති කරයි. අනුරාගී ප්‍රේම ජවනිකා වලින් පිරී ඇති ඔවැනි ආදරබර, ශෘංගාරාත්මක කතන්දර කියැවීම මගින් එය කියවන්නා ගේ ලිංගික පද්ධතිය කෙරෙහි උත්තේජනයක් ඇති කරනු ලබන අතර, එමගින් ඇගේ ප්‍රජනක පද්ධතිය සක්‍රීය කරවීමත්, ඒ තුළින් ඇගේ මනස, එහි පියවි තත්ත්වයෙන් පිරිහීමටත් හේතු පාදක වේ. තරුණයන් සහ තරුණියන් අතර සිදුවන අල්ලාප සල්ලාප, බොළඳ කතා, හැඟුම්බර සිහින ආදියෙන් පිරි ලෝකයක අතරමංවීම, ගැහැණු දරුවකුගේ ප්‍රජනක පද්ධතිය අනවශ්‍ය ලෙස උද්දීපනය කිරීමට හේතු වන අතර, එමගින් ගැහැණු ළමයකු, ගැහැණියක බවට පත්වීම ඉක්මන් කරවයි.  
මෙකී උද්දීපනය, සමහර අවස්ථාවලදී "ස්වයං-අපහරණය" ලෙස හඳුන්වනු ලබන තත්ත්වය දක්වා වර්ධනය විය හැකි අතර, එහිදී ලිංගික අවයවයන්හි වින්දනාත්මක උත්තේජනයක් ඇතිකරනු ලබයි. මෙකී උත්තේජනය, භෞතික ක්‍රම මගින් හෝ හුදු මානසිකවම හෝ සිදු විය හැකි අතර, බොහෝ තරුණ ගැහැණු ළමෝ (සමහර විට මෙහි අහිතකර භාවය පිළිබඳව ඉවෙන් මෙන් වටහාගත්තත්) මෙහි ආදීනව පිළිබඳව දැනුවත් නොවෙති.  මෙකී උත්තේජනය ලබාගනු පිණිස භෞතිකව ස්පර්ශය හෝ වෙනත් එවැනි ක්‍රම භාවිතා කිරීමට තරම් පහත් මට්ටමට නොවැටෙන ගැහැණු ළමෝ පවා, මානසිකව මෙකී වින්දනයට ඇබ්බැහි ව සිටින හෙයින්, අර පළමු කී අයවලුන්ගෙන් එතරම් වෙනස් නොවෙති.  
ස්වයං-අපහරණයේ ප්‍රතිඵල ඉතා භයානක ය. එය මානසික ශක්තිය දුර්වල කරයි; මතක ශක්තිය පිරිහීමට හේතු වෙයි. එය සමේ වර්ණය අවපැහැ ගන්වයි; ඇස් වල දීප්තිය මිලාන කරවයි. ශරීරය දුර්වල කරවයි; එසේම උමතු භාවය දක්වා වර්ධනය විය හැකිය. ඉතාම ඇබ්බැහි කරවන සුළු මේ නරක පුරුද්දෙහි අයථා ප්‍රතිඵල දීර්ඝ කාලයක් පුරා පවතිනවා පමණක් නොව, ඉදිරි පරම්පරා වලට පවා සම්ප්‍රේෂණය විය හැකිය. 
පළමුව: මේ පොත කියවන්නට අවශ්‍ය කෙනෙක් වේ යයි සිතාගන්නට අපහසු වුණත්, මෙය ඓතිහාසික වැදගත්කමක් ඇති ග්‍රන්ථයක් නිසා, එය බාගත කරගන්නට කැමැත්තවුන් සිටී යයි උපකල්පනය කරමු. අවශ්‍ය උදවිය මෙතැනින් බා ගන්න.

දෙවනුව, අපි මේ කෘතිය වත්මන් දැනුම සමග සංසන්දනය කර බලමු. මෙය කොහෙත්ම අපහාසාත්මක විවේචනයක් නොවේ. එදා Mary Wood Allen මහත්මිය විසින් ඉතාම සද්භාවයෙන් යුතුව ලියන්නට යෙදුණු මේ කෘතියේ අඩංගු කරුණු කෙතරම් ප්‍රමාණයක් අද වන විට අවලංගු වී ඇත්දැයි සිතාගැනීම අපහසු නොවේ. විශේෂයෙන්ම දෙමාපිය පුරුදු නිසා දරුවන්ට ලිංගික සංකූලතා අත්වන්නේ ය යන කාරණයම, මෙකී මතයේ ඇති දුර්වලභාවය සනාථ කරවයි.

සටහන: කිසිදු ජීවියෙක්, සිය ජීවිත කාලය තුළ අත්කරගන්නා වූ ශාරීරික වෙනස්කම්, දරුවන් හට සම්ප්‍රේෂණය කිරීමෙහි සමත් වන්නේ නැත. එසේනම්, අතක් කැපුණු මිනිසකුගේ දරුවා ද අතක් නැතිව ඉපදිය යුතුය. මෙසේම, පරම්පරාවෙන් ඉතා කෙසඟ සිරුරක් හිමි අයෙකුට, දීර්ඝ කාලීන ව්‍යායාම මගින් පුෂ්ටිමත් සිරුරක් ලබාගත හැකිය. එහෙත් එසේ වුනාය කියා ඔහුගේ දරුවන් එවැනි සිරුරක් සහිතව උපදින්නේ නැත. 

අප මේ ලිපිය පළකෙළේ, කාලයත් සමග, සමහර සංකල්ප කෙතරම් නම් අවලංගු වන්නේ ද යන්න පෙන්වනු පිණිස ය. එදා ස්වයං-අපහරණය ලෙස හඳුන්වනු ලැබූ මෙම චර්යාව, අද හඳුන්වන්නේ ස්වයං වින්දනය යන නමිනි. එසේම එදා මෙන් නොව, අද එය වෛද්‍යවරුන් විසින් කිසිම දෝෂ දර්ශනයකට ලක් කිරීමකින් තොරව අනුමත කරනු ලබන සාමාන්‍ය චර්යාවකි. ඒ වනාහි, මීට වසර ගණනකට පෙර බටහිර ලෝකය ලිංගිකත්වය දුටු ආකාරයයි. වාසනාවකට මෙන් ඔවුන් අද ඒ ගොත්‍රිකත්වය කෙරෙන් මිදී ඇත. එහෙත් සුද්දා ගැහැණුන් වෙනුවට බල්ලන් ආදේශ කළ වනචාරී යුගයේ, යුද්දෙට යන සොල්දාදුවන්ගේ ගැහැණුන්ගේ අවංකත්වය රක්කවනු පිණිස කකුල් දෙක එක්කොට ඉබි යතුරු දැමු ම්ලේච්ඡ යුගයේ සිටිද්දී, කිසිදු සංස්කෘතික මරාලයකින් තොරව ගැහැණු උඩුකය නිරුවත්ව සිටි, එසේම ඕනෑම ගැහැනියකට ඕනෑම වෙලාවක නොබියව පාරේ යන්නට පිළිවන් ව හිටි අප, අද සුද්දාටත් වඩා කාලයේ ආපස්සට ගොස් ඇත.

ඕනෑම වැඩුණු ජීවියකු තුළ ලිංගික පරිණතියෙන් අනතුරුව ඇතිවන ලිංගික උද්දීපනයක් තිබේ. මෙය, බලෙන් යටපත් කොට වැළක්විය හැක්කක් නොවේ. එසේ කළ යුත්තක් ද නොවේ. එහෙත් ලිංගික හැගීම් සහ චර්යාවන් එළිපිට නොපෙන්වීම, මානව ශිෂ්ටාචාර ලක්ෂණයකි. එබැවින්ය, අප ඇඳුම් අඳින්නේ සහ ගෙවල් හදාගන්නේ. අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවට අනුව, ලිංගපරිණාමය නිසා නොවන්නට මිනිසුන්ට තනිව වෙසෙන්නට ගෙවල් අවශ්‍ය වන්නේ ද නැත.

එබැවින් ලිංගික උත්තේජයන් සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අපට දිය හැකි පිළිතුරු ප්‍රමාණය සීමාසහිත වෙයි. අප රහතන් වහන්සේලා හෝ සාන්තුවරුන් හෝ නොවන බැවින්, (එවැනි මානසික වර්ධනයක් ලබාගන්නා තුරු වත්, අඩුම ගණනේ) යෙදිය හැකි විසඳුම් දෙකක් වෙයි: එක්කෝ ප්‍රාග්-වෛවාහික ලිංගික සම්බන්ධතා අනුදැනිය යුතුය; නැතිනම්, ස්වයං-වින්දනය අනුදැනිය යුතුය. අපි මුලින්ම, මින් වඩාත්ම ආකර්ෂණීය මාතෘකාව වන ප්‍රාග්-වෛවාහික ලිංගිකත්වය පිළිබඳව කතා කරමු.  

පළමුව: කන්‍යාව යනු ලිංගික හැසිරීමක නොයෙදුණු තැනැත්තිය ය. කන්‍යාභාවය, ගැහැණුන්ට පමණක් අදාළ කරන්නේ මෙහි අපේ කලාපයේ ය; බටහිර රටවල නම් virgin යන වදන, ගැහැණු පිරිමි දෙපාර්ශවය කෙරෙහිම සම සේ යෙදේ. ගැහැණියට පමණක් බර පටවන මෙකී වචනය ගැන අපට ගැටළු රාශියක් ඇත. එහෙත් ඒ සියල්ලට පළමුව, මෙහි අර්ථ දැක්වීම පිළිබඳවම මහා බරපතළ ගැටළුවක් ඇති හෙයින් ඒ ගැන මුලින් සාකච්ඡා කරමු. සැබවින්ම කන්‍යාව යනු කිසිදාක ලිංගික චර්යාවක නොයෙදුණු පුද්ගලයෙකි. යුනික (vaginal), ගුදාශ්‍රීය (anal) සහ මෞඛ (oral) ලෙස ලිංගික චර්යාවන් ප්‍රධාන වර්ග තුනකි. අප රටේ මෙන්ම දකුණු ඉන්දීය කලාපයේ ම, කන්‍යාව ලෙස ගැනෙන්නේ කන්‍යා පටලය ලෙස හඳුන්වන චර්මීය සිවිය නොබිඳුණු, එනම් යුනික සංසර්ගයක නොයෙදුණු ඇත්තියකි. එසේනම්, "කටින් සහ යටින්" සියලු ශිල්ප දක්වා ඇති, එහෙත් කන්‍යා පටලය නොබිඳගත් ගැහැණියක්, මංගල යහනේදී කන්‍යාවක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද යන්න පළමුව විමසිය යුතුය.

දෙවනුව, උපතින්ම කන්‍යා පටලය අහිමිව උපදින 20%ක පමණ කාන්තාවන් සම්බන්ධයෙන් කන්‍යාභාවය පිරික්සන්නේ කෙලෙසක දැයි විමසිය යුතුය. (සටහන: අර උඩ කී සෙල්ලංකාරිය පරම පිවිතුරු කන්‍යාවක් ලෙස ගරුසම්මාන ලබා ගෙට වැද්දගනිද්දී, නොකළ දෙයකට [අප මෙහිදී "නොකළ වරදකට" යැයි නොකියා නොකළ දෙයකට කියන්නේ හිතා මතාම ය] අර දෙවනු කී කාන්තාව හතුරෙකුට වත් නොකරන අන්දමේ නින්දා අපහාස ගැරහුම් ලබන, නින්දා සම්පන්න සමාජයක් අදටත් මෙහි පවතින බව අපි ඔබට සිහිපත් කරමු).

තෙවනුව, කන්‍යා පටලය ද හුදෙක් අවයවයක් ම බව සිහියේ තබාගත යුතු බව ද කිව යුතුය. මේ කියන්නේ, කෙනෙකුගේ කේශ කලාපය, ඇස්වල වර්ණය, සමේ වර්ණය මෙන්ම, කන්‍යා පටලයේ ද ස්වභාවික වෙනස්කම් පැවතිය හැකි බව ය. සමහරුන්ගේ මෙය ඉතා ගනකම්ව පිහිටිය හැකිවාක් මෙන්ම, සමහරුන්ගේ මෙය ඉතා සියුම් ව ද පිහිටා තිබිය හැකිය. ශාරීරික ව්‍යායාම් හෝ හදිසි අනතුරු වැනි හේතු මත, අතක් පයක් තුවාල වනවා මෙන්ම, කන්‍යා පටලයට ද හානි පැමිණිය හැකිය. දැන් මේ කාණ්ඩයේ උදවිය කන්‍යාවන් සේ සලකනවාද නැද්ද යන්න ද ඇසිය යුතුය. (සටහන: මෙකී අනියත බිය නිසාම සිය දියණියන් ක්‍රීඩා වලට සහභාගි නොකරවන දෙමාපියන් ගණන අද සමාජයේ ද සුළුපටු නොවන බව කිව යුතුය).  

සිවුවෙනුව, hymenoplasty නම් සැත්කම් විශේෂය මගින්, හානි පැමිණුනු කන්‍යා පටලයක් ප්ලාස්ටික් සැත්කම් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට තරම් අද වෛද්‍ය විද්‍යාව දියුණුව ඇති බවද කිව යුතුය. අද වන විට ලක්ෂ කිහිපයක මුදලින් සිංගප්පූරුව වැනි රටකදී මෙකී සැත්කම කරවා ගැනීමේ පහසුව තිබේ. ලංකාවේ ද එක්තරා සුප්‍රසිද්ධ පුද්ගලික වෛද්‍ය ආයතනයක මෙකී සේවය සපයනු ලබන අතර, එහි මෙම සේවය ලබාගෙන ඇති පිරිස ද සුළු පටු නොවේ. (සටහන: මේ කියන්නේ මීට වසර තුනකට එපිට මතකය ඇසුරිනි; අද වන විට මෙම සැත්කම් හි සමත් අදාළ ශල්‍ය වෛද්‍යවරයා එහි සේවය කරන්නේ ද නැද්ද යන්න අප දන්නේ නැති බැවින්, ඒ ගැන විමසීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.) දැන් මෙකී සෙකන්ඩ්-හෑන්ඩ් කන්‍යාව, කන්‍යාවක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද, නැද්ද යන්න, කන්‍යා සිවියෙන් සියල්ල මනින සංස්කෘතික පොලිස්කාරයින් ගේ විචාරයට ලක්කළ යුතුය.

පස්වෙනුව, කන්‍යාභාවය තිබ්බත් නැතත්, වැදගත් වන්නේ ඉන් ඉදිරියට කාන්තාවක් හැසිරෙන ආකාරය ය. සිරි යහනේ දී කන්‍යාවක් වන ගැහැණියක්, ඉන් පසුව රට වටේ අයාලෙ යන්නියක් වුණොත්, අපේ සංස්කෘතික පොලිස්කාර අයියලා කොහොම හිටීවි ද? සැබවින්ම ඔබ තෝරාගන්නට කැමැති, මංගල යහනේ දී කන්‍යාවක් වන, එහෙත් ඉන්පසුව කිසිම සංවරයක් නැති ගැහැණියක් ද, නැතහොත් කන්‍යාවක් නොවන නමුත් විවාහය පණමෙන් රකින ගැහැණියක් ද?  

බටහිර රටවල නම් කන්‍යාභාවය යනු නොගිනිය හැකි වැදගත්කමක් ඇත්තාක් වනවා පමණක් නොව, සමහර විටෙක ලජ්ජා වීමට කාරණාවක් ද වන අවස්ථා තිබේ. එබැවින් විවාහයට ප්‍රථම ලිංගික එක්වීම යනු එහි එතරම් සැළකිය යුත්තක් ද නොවේ. එහෙත් ලාංකේය යයි අපම කියා ගන්නා සංස්කෘතිය තුළ, කන්‍යාභාවය යනු ඉතාම වැදගත්කමක් සහ බලවත්කමක් ඇති දෙයකි. ඇත්තටම අප්‍රිකානු ගෝත්‍රික සමාජ වල සහ දකුණු ඉන්දීය (උදා: කන්නඩා) වැනි සංස්කෘතීන්හි හැරෙන්නට, කන්‍යාභාවය පිරුවටයෙන් පරීක්ෂා කිරීම නම් වූ අමන ගෝත්‍රික චාරිත්‍රයට මේ තරම් වැදගත්කමක් ආරෝපණය කරන එකම රට අප විය යුතුය. 

කන්‍යාභාවය පමණක් නොව ස්ත්‍රියක් හා බැඳුණු බොහෝ සංකල්ප, ද්‍රාවිඩිය සමාජය තුළ "taboo" හෙවත් තහනම් වචන වෙයි. මෙහිදී අප ද්‍රාවිඩිය සමාජය යන්නෙන් අදහස් කරන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පැවතෙන ආර්යයන්ට අයත් නොවන, ඉන්දීය අර්ධද්වීපයට ආර්යයන් පැමිණීමට පෙර වාසය කළ ගෝත්‍රික ජනයා ය. දමිළ, තෙලිඟු, වංග, කන්නඩා, චෝඩ, මලයාලි, ආදී විවධ ජනවර්ග රාශියක් මීට අයත් වේ. මෙකී ජනවර්ග සියල්ල තුළම, කාන්තාව සහ ලිංගිකත්වය යන සංකල්ප, පෙට්ටගමක් ඇතුළේ ලා වසා තැබීමේ සිරිත දක්නට තිබේ. එසේම කාන්තාවන් හට අවසැළකිලි දැක්වීම, අසාමාන්‍ය විවාහ චාරිත්‍ර (උදා: දකුණු ඉන්දියාවේ දී කාන්තාවකගේ මවගේ බාල සොයුරු මාමා හට සිට ලේලිය අතර විවාහය තහනම් නොවේ.), ළමා විවාහ, බහු විවාහ යන මේවා සාමාන්‍ය දේවල් ය. අද ද, දකුණු ඉන්දියාවේ කන්නඩා චාරිත්‍ර අනුව, ඔසප් කාන්තාව ගෙට වැද්දගනු නොලැබේ; ඇය ඔසප් පසුවන තුරු ගෙයින් පිටත වෙනම කුටියක වාසය කළ යුතුය. ආර්යයෝ මේ චාරිත්‍ර තරයේ පිළිකුල් කළහ. ඔවුන් අතර ද බහු විවාහ සහ සොයුරු-සොයුරි විවාහ නොපැවැත්තේ නොවේ. එහෙත් ඔවුන් කිසිදාක ලිංගිකත්වය මේ තරම් හිංසක සංකල්පයක් බවට පත්කෙළේ නැත. පසුකාලීන බ්‍රාහ්මණ සංකල්ප නිසා නොවන්නට, ආර්ය සමාජය පැහැදිලිව ස්ත්‍රිය හට දිය යුතු තැන දී තිබු සංස්කෘතියක් විය. මෙය මෙවැනි තනි ලිපියකින් පැහැදිලි කළ නොහේ. 

කෙසේ වෙතත් අද අප "කිළි" කියා අදහන බොහෝ දේවල්, සැබවින්ම දකුණු ඉන්දීය ආක්‍රමණ සහ ඉන් ලද ආභාසය නිසා ලද දේවල් මිස අපේ සංකල්ප නොවන බව කිව යුතුය. 

කන්‍යාභාවය සෙවීමේ වෙනම කුහක යටි අරමුණක් ද වෙයි. එනම් තමා මේ සයනය කරන්නේ නහඹුල් යුවතියක් සමගය යන හැගීම විඳිනු පිණිස ය. එහි වරදක් අපට කිව නොහැක. එහෙමනම්, කසාදය කරගන්නට පෙරාතුවම තමා කන්‍යාවක් සොයන බව පැහැදිලිව ප්‍රකාශ කර, ඊට ගැළපෙන විදියේ සහකාරියක් සොයා ගත යුතුය. නමුත් එසේ වන්නට නම්, තමාද එවැනිම වූ සංයමයකින් යුක්තව ඉන්නා එකෙක් වී තිබිය යුතුය. සරලව, ඔබ නහඹුල් යුවතියක් සොයන්නේ නම්, ඔබද නහඹුල් විය යුතුය. මිනිහෙකුට කළ හැකි කුහකම වැඩේ වන්නේ තමා ලෝකේ වටේ ඉන්නා ගැහැණුන් සමග සයනය කරන්නටත්, එසේ සයනය කර මංගල යහනේ දී කන්‍යාවක් සමග සයනය කරනු පිණිස සිහින දකින්නට සැරසීමත් ය. 

අපේ කාන්තාවන් හට මේ විකාරය මෙතැනින්ම කපා හෙළීම එතරම් අපහසු නොවේ. මේ ගැන අපට අදහස් රාශියක් දිය හැකි නමුත් අපි සරල ප්‍රශ්නයකින් ලිපිය අහවර කරමු: වැරදිලාවත් රටේ සියලු කාන්තාවන් කන්‍යාවන් නොවන දිනයක් ආවොත්, ඔය පරසක්වළ ගහන පාරිශුද්ධභාවය සොයන සිල්වත් ගුණවත් උපාසක අයියලා එදාට කසාද නොබැඳ ඉඳීවි ද? 

22 comments:

  1. එතකොට කියනවා මෙහෙම. "මොනවා කොරන්නද... ජාතිය රැකගන්නත් එපෙයි මල්ලි. සිංහල ජාතිය නැතිවෙන්න දීලා බලාගෙන ඉන්න පුලුවනෙයි" :D

    ReplyDelete
    Replies
    1. අම්මපා.. ගොයා මොකා වුණාම මොකෝ මල්ලි බාව නේ වැදගත්.. කන්න ඕනේ වුණාම උයනවා.. සිම්පල්..

      Delete
  2. hymenoplasty dan issarata wada labeta pahasuwata lankawen karagatha heka.

    ReplyDelete
    Replies
    1. වර්තමාන තත්ත්වය ගැන නම් අවංකෙන්ම දන්නේ නැත.

      Delete
  3. පිළිකුල් දනවන සුළුම මාතෘකාවන්ගෙන් එකක් //

    ඔච්චරම තමයි තහනම්.. ගැහැණියක් හැටියට මට මේ ගැන කෙලින්ම දෙයක් කියන්න පුලුවන්... ලංකාවේ කෙල්ලෙක්ගේ ජීවිතේට තියෙන ලස්සනම, වැදගත්ම කාලය වෙන අවුරුදු 15- විසිගනං වෙනකං කාලයෙන් වැඩිහරියක් ඔය කෙහෙල්මල් කන්‍යාභාවයක් හින්ද විඳගන්න අවස්ථාව නැති වෙලා යනව.. සමහරුන්ට ට්‍රිප් එකක් යන්න, ක්‍රීඩා වලට සහභාගී වෙන්න, සමහර වෙලාවට නිදහසක් කියලා දෙයක් නැති වෙන තරමට අම්මලා පස්සෙන් පන්නනව... හිතට අනවශ්‍ය බරක් පටවනවා... ඒ ළමයින්ට ආදරේටද, ළමයගේ කන්‍යාභාවය රැකගන්නද කියලා මට සමහරු වෙලාවට හිතෙනව ඇත්තමයි... මොකද ඒක පුදුමාකාර මානසික පීඩාවක්.. මම පෞද්ගලිකව ඒ මානසික පීඩාව විඳලා තියෙනව... විවාහය ගැන හිතන වෙලාවට හිතෙනව දැං බැරි වෙලා හරි ඕක තිබ්බෙ නැත්තං මොනවා වෙයිද කියල.. පුදුම බයක්... එහෙම වෙලාවට මට ඔය කෙහෙල්මලෙන් වැඩක් නෑ කියන කොල්ලෙක් මට හිටිය හින්ද හිත හදාගත්තට, ඇත්තටම විවාහ වෙලා මංගල රැයෙන් පස්සෙ තමයි හිතේ තිබ්බ බර, ඒ මානසික පීඩනය නැති වෙලා ගියෙ...වැරැද්දක් කරලා නැතුව හිරේ දැම්ම වගේ, ජීවිතේ දුක් විඳින ලොකුම දෙයක් තමයි ඕක... මගේ පෞද්ගලික අත්දැකීම මේ වගේ තැනක කියන්න හිතුවෙ වෙන දෙයක් හින්දා නෙවෙයි.. මේකෙන් මොන වගේ මානසික පීඩාවක් තරුණියකගෙ හිතකට පටවනවද කියන එක තේරුම් ගන්න බැරි අයත් මේ ලංකාව ඇතුලෙ තාමත් ඉන්න හින්ද...

    ReplyDelete
    Replies
    1. ඒත් මම හිතන්නෙ කන්‍යාභාව නිසා සමාජ රෝග පැතිර යාම අසම්මත ලිංගික සම්බන්ධතා නිරත විම පාලනයක් වි තිබෙනවා කියා

      Delete
    2. Anonymous, umbana maaraekke ban

      Delete
    3. සීයට සීයක් එකඟයි හිරු.. මං හිතන්නේ මෙවැනි කමෙන්ටුවක් කාන්තාවකගෙන්ම වැටීම ඉතාම වටිනා දෙයක්. ඔබ කී මේ වචන ටිකම ලියාගන්නට බැරි කාන්තාවන් කී දෙනෙක් නම් ඉන්නවද.. ඒ සියලු දෙනා වෙනුවෙන්ම ඔබට බොහොම ස්තුතියි..

      Delete
    4. oya hari akke.. math eka piligannawa.

      Delete
  4. // එසේනම්, "කටින් සහ යටින්" සියලු ශිල්ප දක්වා ඇති, එහෙත් කන්‍යා පටලය නොබිඳගත් ගැහැණියක්, මංගල යහනේදී කන්‍යාවක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද යන්න පළමුව විමසිය යුතුය. // මෙන්න මේක තේරුම් නොගන්න පිංපි රැල තමයි තවමත් සුදු රෙද්දෙ ජපන් කොඩිය හොයන්නෙ..... ඒක තිබ්බම ඔක්කොම හරි.

    ReplyDelete
    Replies
    1. ජපන් කොඩිය වෙනුවට බංගලාදේශ කොඩිය වැටුණත් ජාම බේරගන්න දන්නා ගෑණු නෑ නෙමෙයි. නමුත් කිව්වත් වගේ තමන් කන්‍යාවක් නොවී අනුන්ගේ කන්‍යාභාවය සෙවීම තරම් කුහක වැඩක් තවත් නෑ.

      Delete
  5. ලිපිය අගය කරනවා.. වර්තමාන තරුණයන් තම බිරිඳගේ කන්‍යාභාවය ගැන දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ..ඇතැම් තරුණයන් බිරිඳව බේරාගැනීමට තම නියමල කඩා සුදු පිරුවටයට රුධිරය දමන අවස්ථාද ඇත..

    කෙසේ උනත් වටේ යෑම සහ කන්‍යාභාවය යනු දෙකක්...! වටේ යන ( අතීත කාල නෙවේ වර්තමාන කාල ) ගෑණියෙක්ගෙන් නම් වැඩක් නැහැ ...

    ReplyDelete
    Replies
    1. ඔව් සහන්.. නමුත් වටේ යාම අතීත කාලයෙන් මැනීමට ගන්න සහතිකයක් විදියට කන්‍යා භාවය පාවිච්චි කිරීම තමා අවුල.

      Delete
  6. මේ ලිපිය කවුරුත් කියවිය යුතු ලිපියකි. අපේ තරුන පරම්පරාව තවමත් මේ කාරනය දිහා නිවැරදිව බලනවා කියලා මම හිතන්නේ නැහැ. සරළ භාශාවෙන් කියනවා නම් පෙට්ටියක් කඩපු එකාත් කසාද බඳින්න හොයන්නේ පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෙක්....තම එකම ආදායම් මාර්ගය හැටියට ගණිකා වෘත්තියේ යෙදුනු මවක් ඇයගේ පුතාට විවාහ කරදෙන්න සොයන්නේ කන්‍යාවියක්.... ආපහු හිතන්න ඕන.

    මේ මම වෙන බ්ලොගක දාපු අදහසක්....
    .arugeadaviyaAugust 7, 2013 at 6:01 PM
    ගබ්සාව කියන කාරනය ලිබරල් යැයි කියන යුරෝපයේ පවා මහත් සංවාදයකට තුඩු දුන් කාරනයක්.එය ඉතා සංවේදී මාතෘකාවක් විශේෂයෙන් ආගමික පසුබිම් තුල.....ප්‍රජණනය විෂය පාසල් තුල පුලුල්ව ඉගැන්වීම තුලින් විද්‍යාත්මක දැනුමක් ලබනවා හැර ඉන් බාහිර සංකල්පමය වෙනසක් ඇතිවේ යැයි හිතන්න අමාරුයි.මොකද ඔය සබ්ජෙක්ට් එකේ ඔස්තාර්ලා වන දොස්තරලා පවා කසාදයක් බඳින්න බලාපොරොත්තු වෙන්නේ *යියක් ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්වය.අවාසනාවකට අපේ කලාපයේ රටවල්වල හැටි එහෙමය.
    ලිංගිකව හැසිරීම කායිකවත් මානසිකවත් අති ප්‍රභල උවමනාවක්ය.ඕනෑම කොල්ලෙක් විවාහයට පෙර පවා *කන්න ආසය,ඕනෑම කෙල්ලෙක් *කාගන්න ආසය. විවාහ වෙන තෙක් මම එසේ නොකරමි යන්න පවා අපි අපිවම රවට්ටා ගැනීමකි.එහෙම ආසාවක් නැති අය සිටීනම් එය කායික හෝ මානසික දුබලතාවයක් විය යුතුය. සංසර්ගය කියන වචනය පාවිච්චි නොකිරීම ගැන සමාවන්න.අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් තොරව මේ දේවල් සිද්ධ වෙනවානම් අන් ප්‍රශ්න මතු නොවන බව මගේ හැඟීමයි.මා වැරදි විය හැක.
    ප්‍රශ්ණය මතුවන්නේ විවාහයට පෙර මැස්සෙක්වත් වහපු නැති සහ මට හැර අන් කිසිම කෙනෙකුට ආදරය නොකරපු ගැහැනියක් සොයන පිරිමින්ගේ පටු මානසිකත්වය තුලමය.විවාහයට පෙර නිදාගත්තේ කාඑක්කද කවදාද යන්න ගැටලුවක් නොවන්නේ අප විවාහ වන්නේ නැවත එසේ නොවිය යුතු සහ නොකල යුතු යන ශිෂ්ඨ සම්පන්න ආකල්පය සහ අවබෝධයකින් පසුව බැවින්ය .විවාහයෙන් පසුවත් එවැනි අනියම් අවශ්‍යතාවයන් මතුවන්නේ නම් ගහමරා ගන්නේ නැතිව අවබෝධයෙන් වෙන්වී කරගත්තාට කමක් නැත. විවාහයට පෙර ,මුදලට හෝ නො*කපු පිරිමියෙක් සොයාගැනීම අපහසු විය හැක .නමුත් පිරිමියා විසින් බලා පොරොත්තුවන්නේ හීනෙන්වත් පිරිමියෙක් එක්ක නොනිදාගත් ගැහැණියක් නම් තත්වය ශෝචණීයය.අසාධාරණය.
    නොයෙකුත් ප්‍රශ්ණ ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේත් මිනිසා හෝ ගැහැණිය සතු ලිංගිකව හැසිරීමට ඇති මූලික අයිතිය පිලිබඳ දක්වන කුහක ආකල්පයමය.ලිංගික වශයෙන් අසහනකාරි සමාජ වටපිටාවක් ඇතිවීමට මේවාත් එක්තරා සාධකයන්ය.තව කරුනු බොහෝය.වෙනස් විය යුත්තේ සමාජ ආකල්පය.නීති රීති වෙනස් වීම තුලින් සහ විෂයාවබෝධය පුලුල් කිරීම තුලින් පමනක් වැඩක් වේ යැයි සිතිය නොහැක.ඔබ සහ අපි විවෘතව සිතන්නේනම් ගබ්සාව යන විෂය සෞඛ්‍යමය හේතුන් සඳහාම පමනක්(අවම වශයෙන්.) සීමා කර අපේ පාඩුවේ ඉන්න පුලුවන් බව මගේ හැඟීමයි.
    ලිස්ට් හදාගෙන හෝ නැතුව අසරණ දැරියන්ට,ගැහැණුන්ට මදාවිකම් කරන අසහනකාරි චන්ඩි පොන්නයින්ට මෙය අදාල නොවේ.
    ප.ලි:........මචං කියලා උඹලාට කතාකරාට මම වයසින් මුහුකුරා ගිය මිනිහෙකි.මෙහෙම සඳහන් කලේ,නැත්නම් මේ කමෙන්ට් එක තරුණ විසේට ලියපු එකක් කියලා හිතන්න පුලුවන් නිසාය.මම පුහු සදාචාරවාදියෙක් නොවේය,


    රස්තියාදුකාරයාAugust 8, 2013 at 10:27 AM

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු.. විශේෂයෙන්ම මෙන්න මේ ටිකට.. "විවාහයට පෙර, මුදලට හෝ නො*කපු පිරිමියෙක් සොයාගැනීම අපහසු විය හැක .නමුත් පිරිමියා විසින් බලාපොරොත්තුවන්නේ හීනෙන්වත් පිරිමියෙක් එක්ක නොනිදාගත් ගැහැණියක් නම් තත්වය ශෝචණීයය. අසාධාරණය."

      Delete
  7. වටිනා ලිපියක් ස්තුතියි

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.