Saturday, October 25, 2014
භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics
භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන නිමිත්තකි. එදා සිය නිවුණු ස්වරයෙන් රටක් සැනසූ පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ තාර්කික විශ්ලේෂණ වෙනුවට, අද සියල්ල පරදවා මතුව ඇත්තේ මහා කුණුහබ්බ සුත්‍ර දේශනාවයි. මෙකී කුණුහබ්බ දේශනාවලින් යුටියුබ් සිංහල සිංහල ගොසිප් පුවත් නාලිකා පිරී ඉතිරී යන බැවින් ඒවා යළි මෙහි පළකිරීමේ සෙතක් නොදකිමු. එහෙත් පසුගිය දෙතුන් වසර තුළ බොහෝ දේ වෙනස්ව ඇති බව නම් සත්‍යයකි. බොහෝ දේ වෙනස් වුණාට කමක් නැත, බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැතිව කරන්නේ නම්. එහෙත් අහන අහන අත, දකින දකින අත අපට පෙනෙන්නේ බුද්ධ ශාසනය, එතුළම වෙසෙන කඳපණුවන් විසින් කා දමන ආකාරයයි.
කතාව පටන්ගන්නට පෙර අපි භික්ෂුව කවුදැයි බලමු. භික්ෂුව යනු කවුද? භ + ඉක්ෂු = එනම්, භය දකින්නේ භික්ෂු නම් වෙයි. දකින්නේ වෙන මොන බයක් වත් නොව සසර බය ය. සසර බය දකින භික්ෂුවට වෙන මොන කෙහෙල්මලක් වත් පෙනෙන්ට විදියක් නැත. එවැන්නකු හට දේශපාලනය ද අරකද මේකද මේ සියල්ල වැඩක් නැති හිස් ප්‍රලාප ය. ලොකුම බය ලෙස එහෙම සසර බිය පේන්නෙ නැත්නම් හෙතෙම චීවරය දැරිය යුතු ද නැත. මන්ද ඔහු භික්ෂු යන්නෙහි වචනාර්ථය පවා නොදන්නා බැවිණි. එසේ සසර බිය දකිමින් සසරින් මිදෙන්නට හදන භික්ෂුව ඇරෙන්නට වෙනත් භික්ෂුන් ඉන්නට විදියක් ද නැත. මන්දයත් භික්ෂු යන වචනයේම අර්ථය වන්නේ සසර බිය දකින පුද්ගලයා යන්න නිසා ය. ඉතිං එවැනි පුද්ගලයකු දේශපාලනය කිරීමට යාම මොන විහිළුවක් ද?
භික්ෂුවට පුද්ගලික ජීවිතයක් නැත. එසේ පුද්ගලික ජීවිත ඇත්තේ ගිහියන්ට ය. භික්ෂුව යනු දහදිය මහන්සියෙන් හරිහම්බ කරගෙන කන මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් උපන්නා වූ දෙයින් යැපෙන්නෙකි. භික්ෂුව යනු තම කය උදෙසාවත් ජීවත් නොවන්නෙකි. භික්ෂුව ආහාර ගන්නේ ද, "මේ ආහාරය මාගේ ශරීර ශෝභාව පිණිස, කය පුෂ්ටිමත් වීම පිණිස නොගනිමි, හුදෙක් කෙළෙස් දුරුකර නිවන් දකිනාතුරා ජීවත් වීමට පමණක් ආහාරය ගනිමි" යයි ප්‍රත්‍යවේක්ෂා කොට ය. එවැන්නකු ගිහි ජීවිතයේ අමාරුම ජොබ් එක වන දේශපාලනය කිරීමට උත්සාහ කිරීම කොහෙත්ම හිනා නොයන විහිළුවකි.
දේශපාලනය කිරීම බෝධිසත්ත්ව ලක්ෂණයක් යැයිද සමහරු අර විහිළුවට උඩින් තවත් විහිළුවක් සපයති. ඔවුන්ට මතක නැතුවාට, සිදුහත් බෝසතුන් පෙරකල ක්ෂත්‍රිය මහාසාර කුලයක ඉපිද, උපතින්ම ලද පුබ්බේ නිවාසානුස්සති ඥාණය හේතුවෙන් පෙර කල රජව ඉපිද මිනිසුන් ගේ අත්පා කපා දඬුවම් කිරීමෙන් කරගත් පාපය ගෙවන්නට සිද්ද වූ හැටි දැක, රජකම කෙරෙහි බියට පත්ව, උපතින් උරුම රජකම එපා කියන්නට බැරිකමට, ගොලුවෙක් බිහිරෙක් සේ රඟපෑ අවස්ථවක් ද ජාතක පාළියේ එයි. රජකම බෝසත් සිරිතක් නම් එසේ කළේ මොන මගුලටද කියා දැන් ඇසිය යුතුය. එසේම, සිදුහත් කුමරුන් පැවිදි වුණේ සත් දවසකින් ලැබෙන්නට නියමිතව තිබුණු සක්විති වත අතහැර බව පූජාවලියේ දැක්වේ. එසේනම් ඔය කියන ලෝකානුකම්පා චර්යාව ඒ විදියට කරන්නට තිබුණා නොවැ.. අපරාදෙ දේ අර දරුවා සහ භාර්යාව අතහැරලා වනගත වුණේ.. අපේ එකෙක් ඒ කාලයේ සිදුහත් කුමරුගේ ඇමතියා වෙලා හිටියා නම් ෂුවර් එකටම කියන්නේ "යන්න එපා දේවයිනි, එක්කෝ සක්විති වත පුරන ගමන් පිළිවෙත් පුරමු, නැත්නම් සිවුරේ ඉඳන් දේශපාලනේ කරමු" කියා වෙන්ටෑ!
දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු ගතවීම පමණක් නොවේ. සිවුරේ ඉඳගෙන ම ජාතිවාදී අදහස් දැරීමද දේශපාලනයක්ම වෙයි. භික්ෂුව යනු ජාති ගෝත්‍රවාද සියල්ල බිම තැබුවෙකි. භික්ෂුවට ජාතියක් තිබිය හැකිනම් ඒ කවර ජාතියක් ද? ඒකාන්තයෙන්ම ඒ ආර්ය ජාතියම පමණකි. ආර්ය වන්නේ කෙසේද යන්න ගැන අපේ වීරයන්ට පැහැදිලි අදහසක් නැත. වෙලාවකට සියලු උපසම්පදා භික්ෂුන් යයි කියති. වෙලාවකට සෝවාන් වත් වෙලා තිබිය යුතුයැයි කියති. අවස්ථාවේ හැටියට කෙළින පචය වෙනස් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් අංගුලිමාල සුත්‍රයෙන් ලැබෙයි. අඟුල්මල් හිමියෝ අර ගැබ්බර කාන්තාවට සෙත් පතන්නේ, "නැගණියනි, මා යම් දිනෙක ආර්ය ජාතියේ උපන්නාද, එදා සිට..." යනුවෙනි. ආර්ය ජාතියේ උපන්නා යනුවෙන් උන් වහන්සේ අදහස් කරන්නේ මාර්ග ඵල ලැබීම නොවන බව තේරුම් ගන්නට රොකට් සයන්ස් අවශ්‍ය නැත. මේ කියන්නේ යම් දිනෙක තමා බුදුසව්වෙකු වුණා නම් එදා සිට යන අර්ථයෙනි. වැඩිපුර විස්තර පහාරාද සුත්‍රයෙන් දැක්වේ. එහිදී බුදුහිමියෝ පැහැදිලිව මෙසේ කියති. "ගංගා යමුනා අචිරවතී සරභූ යන මේ කවර ගඟේ ජලය මුහුදට ආවත්, එතැන් පටන් එයට කියන්නේ එකම මහා සමුද්‍රය කියා ය. එසේම, සතර වර්ණයන්ගෙන් කවර වර්ණයෙන් පැවිදි වුණත්, පැවිද්දෙන් පසු ඔවුන් හඳුන්වන්නේ එකම ශ්‍රමණ සක්‍යපුත්‍රීය යන නාමයෙන්" කියා ය. වාසි හැටියට බොරු දෙසාබාන හුජ්ජාතිකවාදීන්ට පහාරාද සුත්‍රය පෙන්නන්න බැරි මෙන්න මේ ටික නිසා ය.
පැහැදිලි මදි ද? කරුණාකර අම්බට්ඨ සුත්‍රය ගන්න. එහි පැහැදිලිව මෙසේ කියවේ. "යමෙක් ජාතිගොත්‍ර වලින් ගටා කතා කරනවාද එවැනි කතාවල් ඇතිවන්නේ මගුල් තුලා වලදී. එහෙම ඉන්න ඒ පුද්ගලයා සසරට බැඳිලයි ඉන්නේ, ඔහු අනුත්තර විජ්ජා චරණ සම්පත්තියේ නම් නෙමෙයි ඉන්නේ". මේ මගේ වචන නොවේ, මේ තථාගත සම්මා සම්බුද්ධ වචනය ය. ඒ අනුව, තාමත් භික්ෂුවට ජාතිගොත්‍ර තිබෙන්නට පුළුවන් කියන උදවියගෙන් "මොන මගුලක්ද" කියා ඇසීමේ කිසිදු වරදක් නැත. මන්ද ජාති ගෝත්‍ර විමසන්නේ මගුලට මිස නිවනට නොවන නිසා ය.
සමහරු තවත් පියවරක් ඉදිරියට ගොස්, බුදුරජාණන්වහන්සේ ද ජාති ගෝත්‍රවාද අනුමත කළ කතාවක් කියති. ඔවුන්ගේ ජනප්‍රියම උදාහරණය වන්නේ අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවයි. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සුත්‍රය දේශනා කළේ චතුර්වර්ණ අතරින් බ්‍රාහ්මණ වර්ණයම උතුම් වන්නේය කියා සිතා සිටි පුද්ගලයකු හට, එය එසේ නොවේය, ඉතිහාසය ඇසුරින් ගතහොත් වඩා උත්තම වන්නේ ක්ෂත්‍රිය වංශය බව පෙන්වීමට ය. මිසක් බුදුන් වහන්සේ සිය ගෝත්‍රය ගැන පාරම්බෑමක් එතැන නැත. තමා හැදු පිය මහරජුට ද බුදුන් වහන්සේ මුහුණටම කිව්වේ, "මහරජ, ඔබේ වංශය ක්ෂත්‍රිය වංශයයි, තථාගතයන්ගේ වංශය බුද්ධ වංශයයි, මා පිළිපදින්නේ බුද්ධ වංශයේ සිරිතයි" කියා ය. එහෙම කියූ බුදුන් වහන්සේ ආයෙම වෙන තැනක "මගේ ගොත්තරේ තමා උතුම්" කියන්නේ නැත.
ගොත්‍රවාදීන්ගේ තවත් ජනප්‍රිය උදාහරණයක් වන්නේ විඩුඩභ කුමරුන් ශාක්‍යයන් වනසන්නට යද්දී, ශාක්‍ය දේශසීමාවේ දී බුදුන් වහන්සේ කළ ප්‍රකාශයයි. ශාක්‍යයන් නසනු පිණිස සිය සේනාව සමග ශාක්‍ය දේශ සීමාවට ආ විඩුඩභ කෝසල කුමරු, බුදුන් වහන්සේ කාෂ්ඨක අව්වේ සිටිනු දැක, "වහන්ස, මෙතරම් සෙවණ ඇති ගසක් තිබියදී ඔබ වහන්සේ මේ අවුවේ ඉන්නේ මන්දැයි" විමසු බවත්, "කිඹුල්වතින් හමා එන සුළඟ ඉතාම සුවදායක ය" යනුවෙන් බුදුන් වහන්සේ ඊට උත්තර දුන් බවත්, විඩුඩභ කුමරු ඒ අසා ආපසු හැරී ගිය බවත් සඳහන් වේ. මෙතනදී බුදුන් වහන්සේ අර ප්‍රකාශය කළේ, විඩුඩභ කුමරුන් මහා පාපයක් කරගන්නවා වැළක්වීමට මිසක සිය ඥාතීන් හෝ ශාක්‍ය ගෝත්‍රය කෙරෙහි හෝ වූ අමුතු කරුණාවකින් නොවේ. එයද අර කිසාගෝතමියට අබ සොයන්නට කීවා සේම, චුල්ල පන්ථක තෙරුන්ට අවුවේ සිටගෙන රෙදිකඩක් පිරිමදින්නට කීවා සේම, අංගුලිමාලට "මම නැවතී සිටිමි, ඔබත් නවතින්න" කීවා සේම සම්‍යක් ප්‍රයෝගයකි. මිසක් වෙන ගෝත්‍රවාදයක් ඔතන නැත.
ඒ කාලයේ ශික්ෂා පද මේ කාලයට ගැළපෙන්නේ නැතැයිද, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් අවකාශ ඇතැයිද සමහරුන්ගේ තර්කය වෙයි. කාලයට අවැසි පරිදි වෙනස්කර ගන්නට බුදුහිමියන් පිරිනිවන් මංචකයේ දී අවසර දුන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වලට ය. ඒ කියන්නේ කුඩා අනුකුඩා සිකපද ය. එහෙත් ඒ කුඩා අනුකුඩා සිකපද කවරේද යන්න අසාගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආනන්ද හිමියනට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එල්ල වූ චෝදනා පහෙන් එකකි, ඛුද්දානුඛුද්දක සිකපද අසා නොගැනීම. එබැවින් බුදුන් ධරමාන කාලයේ වෙනස් කළ සිකපද මිසක, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් ථෙරවාද සම්ප්‍රදායය තුළ එදා මෙදාතුර කවමදාකවත් සිකපද වෙනස් කරගැනීමක් සිදුවී නැත. එසේ කළ හැකියැයි යමෙක් කියන්නේ නම් එය ගල් පැලෙන පට්ටපල් කෙබරයකි.
භික්ෂුව සිංහලකම පෝෂණය කිරීම වරදක් යයි අප කිසිදාක කියන්නේ නැත. ලංකාවේ බුදුසසුන රැකෙන්නේ සිංහලකම තිබෙන තුරු ය. එබැවින් ශාසනයේ ආරක්ෂාව ගැන සිතා, ගිහි දායකයන්ට අවවාද අනුශාසනා කිරීමේ වරදක් නැත. එහෙත් එය කුල දූෂණය දක්වා යන තැනට නොආව යුතුය. කියන එක වචනයක් හෝ වෙයි නම් එය හුදෙක් බුදුසසුන වෙනුවෙන්ම කියන්නට හැකිනම් පමණක් එසේ කිව්වාට කමක් නැත. බැරිනම් කටවසාගෙන සිටීම වඩාත් උචිත ය. මන්දයත් අග්ගික්ඛන්දොපම සුත්‍රයට අනුව, එසේ නොවන මහණුන් හට ගිලින්නට වෙන්නේ ලොහොගුලි බැවිණි.
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDeleteභාරතයේදී භික්ශූන් නිකාය වශයෙන් බෙදී යෑමට හේතු වූ තවත් කරුණක් ද පවතිනවා. ඒ පලමු ධර්ම සංගායනාවේදී ඇති වූ සිද්ධියක්. බුද්ධ දේශනාවට අනුව සංඝයාවහන්සේ හට අවශ්‍යනම් තමන් වහන්සේ දේශනා කරන ලද සුළු විනය නීතීන් නොසලකා හැරිය හැකිව තිබුනා. නමුත් ප්‍රථම ධර්ම සංගායනාවේදී මෙම සුළු විනය නීතීන් යනු මොනවාදැයි ගැටලුවක් පැන නැගුනා. සුළු විනය නීතීන් යනු මොනවාදැයි නිවැරදිව පැහැදිලි කර නොගැනීම සම්භන්දයෙන් ආනන්ද රහතන් වහන්සේට චෝදනා කල ඇති බවක්ද පොත පතෙහි සදහන් වෙනවා. කෙසේ නමුත් මහා කාශ්‍යප රහතන් වහන්සේ ප්‍රමුඛ ප්‍රථම ධර්ම සංගායනාවේදී, බුදුරදුන් වදාල කිසිම විනය නීතියක් කිසිදු ලෙසකින් අත නොහැරීමට හෝ වෙනසක් නොකිරීමට තීරණය කෙරුනා. මෙම තීරණය පසු කාලයේදී 'මහා සාංඝික' හා 'ථේරවාද' ලෙස බෙදීමක් ඇති කීරීමට තරම් ප්‍රබල උනා. 'මහාසාංඝික' යනු මහායාන ලෙස පසුව වර්ධනය උන විවිධ නිකායන් ( මධ්‍යාමික, යෝගාකාර, සෙන්, ත්‍රන්ත්‍ර ආදී) සමූහයක මූලාරම්භයයි.
ReplyDelete