logo banner

Tuesday, December 25, 2012

අතීතාවර්ජනා


මේ හදිස්සියේ අතීතාවර්ජනාවක් කිරීමට පාදක වූ හේතුව ගැන යමක් නොකියා මේ කතාව ඇරඹීම අර්ථ විරහිතය. ඒ ගැන කියන්නට නම් මා මාලන් සහ හැන්දෑව ගැනද වචනයක් කිව යුතුය. මන්ද මේ සටහනට පාදක වූ නොස්ටැල්ජියාව හෙවත් අතීතාසක්තතාව (සිංහලෙන් කියනවා නම් “උණ”) මා තුල ඇති වුයේ මාලන් සහ හැන්දෑව නිසා බැවිනි.
මාලන් සමරවික්‍රම මා ජීවිතේට දැක නැත. බුකියේ වාද පිටි වල හැරෙන්නට වචනයක් හෝ කතා කොටද නැත. මා මාලන් ගේ හැන්දෑව දුටුවේ මේ රටේ තීරණාත්මක හැරුම් ලක්ෂ්‍ය කිහිපයක්ම ඉබාගාතේ මගහැරී ගොස් රටම එකම නිදි මරගාතයක් බවට පත්ව සිටින මොහොතක, එමෙන්ම රටේ ජනතාව ගේ බඩගින්න අමතක කොට සැවොම සැපෙන් දොයියන්නට යැවීම පිණිස නයිට් රේස් පමණක් නොව, පිටසක්වල යානා පවා ගෙන්වීමට සිදුව ඇති මොහොතක, දරා ගන්නට බැරිව නලියන ලේ දහරාව පිටකරගන්නට (මාලන්ගේම වචනයෙන් කියනවා නම් එක්තරා විදියකට “සිරිදාසගේ සරමට හිනාවෙන්නට“) බුකියට ගොඩ වැදුණු මොහොතකය.
ටැබූ… 
වසර ගණනකට එපිට “බ්ලොග්” එකකට කළ හැකි දේ මේ යැයි පෙන්වූ ටැබූ ගේ අවසන් ලිපිය ම නෙත ගැටුනේ එවිටය.
ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.
එදා කී මේ කතාව එදාට වඩා ගැලපෙන්නේ අදට බව මේ රටේ අවදියෙන් සිහි බුද්ධියෙන් සිටින ඕනෑම අයකුට වැටහී යා යුතුය. එදා මෙන් නොව අද ආගම යනු දේශපාලන බලයට නැතිවම බැරි ලින්කුවකි. ආගම යනු ගඟෙන් එතෙර වන පහුරක් නොව, කර තබාගෙන යන බරක් බවට පරිනාමය කළෝ එදා වේල හොයාගන්නට බැරිව ලතවන මිනිස්සු නොවෙති. එසේ කිරීම සඳහා අවශ්‍යතාවක් හෝ අභිප්‍රේරණයක් ඔවුන් හට වේ යයි කියනවා නම් ඒ මේ රටේ වැසියකු වන්නට බැරිය. ආගම පුද්ගලික දේපලකින් ගලවා උදුරාගෙන දේශපාලන බැනරයක් බවට පත් කළෝනම් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ නයුවෝමයැ.
අද වනවිට අප කැමති වුවත් නැතත් අපේ සමාජයේ යම් හැරුම් ලක්ෂ්‍යයක් වෙත අපි එළඹෙමින් සිටිමු. පසුගිය වසර කිහිපයක පටන් ම මේ රටේ ජනතාව උන්නද මළාද යයි පවා නොසිතමින්, රටේ ජනතාව එදා වේල සරි කර ගන්නට බැරිව දුක් විඳිද්දී සුර සැප විඳින පාලකයන් ක්‍රියාකළ ආකාරය මෙම විදර්භයට මග පෑදූ ආසන්නතම හේතුව වේ. මේ රෙජීමය මීට පෙර පැවති අනිකුත් රෙජිම වලින් වෙනස් වන සාමුද්‍රිකාව (Hallmark) වන්නේ ජනමතය සියුම් ලෙස විසංවේදනීය කිරීමට ඇති සුවිශේෂ දක්ෂතාවයි.
“මොන දක්ෂතාවක්ද යකෝ.. දුප්පත් අපේ රීරි මාංශ ටික හූරන් කන එක. “
[සමාවෙන්න මහත්වරුනි, මම සමාජවාදියෙක් නොවේ. මා මේ දෙස බලන වියුක්ත දෘෂ්ටි කෝණය ඔබට දිරවනවාද නැද්ද යන්න මට අදාළ නොවේ.]
අප කැමති වුවත් නැති වුවත් අපිද මේ කී විසංවෙදන ක්‍රියාවලියේ ගිනි–පිග්ස් ලා බවට පත්ව හමාරය. එබැවින් මින් එහාට ගත යුතු පියවරක් ගැන සිතීමට පෙර මැරී ගිය ස්නායු වලට පණ දිය යුතුය. එහෙත් අවාසනාවකට වගේ මෙකී “පණ ගැසීමේ අවැසියාවද” රෙජීමය මගින් අතිශය නිරවද්‍යව පුරෝකථනය කොට තිබේ. නයිට් රේස්, පිටසක්වල ජීවී ආක්‍රමණ මතු නොව, රාවණා උමග පවා වැදගත් වන්නේ අන්න එකී ක්‍රියාවලිය තුළදීය. ජනතාවට නිර්වින්දක සැපයීම අතින් මේ රෙජීමයට ගහන්නට එකක් නැතැයි අප කියන්නේ ඒ නිසාය.
“ඉතින් තමුසෙලත් කරන්නේ රෙජීමයේ කුණු ජොබ් එක අදින එක නේ. නැතිනම් ඔච්චර හලාල් ගැන කියවයිද? “
පැහැදිලිවම නැත. ටැබූ ගේ වචනය වැදගත් වන්නේ අන්න එතැනදීය. අපට මුස්ලිම් ප්‍රජාව සමහ කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව නම් මුස්ලිම් නොවන ප්‍රජාව මත බලෙන් පටවා ඇති මේ හලාල් බද්දයි. ඔවුන්ගේ ආගම ඔවුන් කර ගත්තාවේ, ඊට අපෙන් කිසිම බාධාවක් නැත. අප යෝජනා කරන්නේ ඉතාම සරල විසඳුමකි. එක්කෝ හලාල් නොමිලේ (හෝ සහන මිලකට) දෙන්න. බැරිම නම් හලාල් අකුලා ගන්න. ඔබ ඔබේ වියදමින් ඔබේ ආගම ප්‍රවර්ධනය අපට කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව එය අපේ වියදමින් කිරීමයි.
හලාල් ආහාර යනු විශේෂ අවශ්‍යතාවකි. එම විශේෂ අවශ්‍යතාව පිරිමැසීම අමතර බරකි. එම අමතර බර අපි [මුස්ලිම් නොවන ජනයා] දරනවා මදිවාට තව ඒ වෙනුවෙන් මුදලුත් ගෙවීමට කීම කෙතරම් සාධාරණද?. වැදගත්ම දේ වශයෙන්, ඒ ගැන අප කතා කිරීම තුල අප රෙජීමයේ මඩ ශෝධක ගණයට ලඝු කිරීමට ඇතැමුන්ට මේ තරම් ඇති හදිසිය කුමක්ද?
මින් එහාට ටික කීමට පෙර ටැබූ ගැන කී වචනය අවසාන කළ යුතුය. එක පින්තුරයකින් කී හැකි දේ කීමට වචන දහසක් වුව මදිය. (බොහෝ දෙනා විශ්වාස කරන පරිදි මේ කියමන චීන පිරුළක් නොවේ. මෙය ඇමෙරිකානු  දැන්වීමකි)

මතු ආරක්ෂාව සදහා එක් කරන ලදි: 
මම පුද්ගලිකව “ටැබූ සබ්ජෙක්ට්ස්” බ්ලොග් රචකයා හදුනන්නේ නැත. දන්නේ නැත, දැක නැත. මේල් ගණුදෙනු කර නැත (ඔහුගේ බ්ලොග් අඩවියේ කමෙන්ට් කර ද නැත). ඔය අවජාතික පාහරයගේ බ්ලොග් එකට කෙළ වෙච්ච එකමයි හොඳ, අනේ අම්මපා. පරයා!
අනේ මමනම් අහිංසකයි (රටක් වටී).

No comments:

Post a Comment

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.